Sri Lanka Brief
පුවත්විවරණයුක්තිය ධර්මය ඉල්ලා පෝලිමේ යාමට වීම

යුක්තිය ධර්මය ඉල්ලා පෝලිමේ යාමට වීම

by

ශ්‍රී ලංකාවේ ජීවත් වෙන කවුරුත්, නැතහොත් ශ්‍රී ලංකාව ගැන ඈතින් හෝ දන්නා කවුරුත්, ලංකාවේ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇති බව දනිති. එහෙත් එය මොන තරම් හදිසි සහ අත්‍යාවශ්‍ය කාරණයක් ද යන්න, සමහර විට කෙනෙකු විමතියට පත් කරවන තරම් බරපතල විය හැකිය.

මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කොට ඇති අධිකරණ අමාත්‍යාංශ දත්තවලට අනුව, 2016 සැප්තැම්බර් මාසය වන විට අපේ අධිකරණ ඉදිරියේ තුළ ගොඩගැසී ඇති නඩු ප්‍රමාණය 750,000 ක් පමණ වෙයි. එයින් වැඩිම ප්‍රමාණය, එනම් 535,000 ක් ගොඩගැසී ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණවල ය. ඊට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 3486 ක් ද, අභියාචනාධිකරණයේ නඩු 4817 ක් ද, සිවිල් අභියාචන මහාධිකරණවල නඩු 5890 ක් ද, මහාධිකරණවල නඩු 16,811 ක් ද, දිස්ත්‍රික් අධිකරණවල නඩු 167,945 ක් සහ කම්කරු උසාවිවල නඩු 5048 ක් ද ගොඩගැසී ඇති බව අධිකරණ අමාත්‍යාංශය පෙන්වා දෙයි.

සංඛ්‍යාත්මක වශයෙන් ඉහත සඳහන් ගණන්හිලව් මොන තරම් විශාල වෙතත්, යුක්තිය පතා අධිකරණවල රස්තියාදු වන අති මහත් ජනතාවගේ සැබෑ ආතතිය ඒ මගින් පෙන්නුම් නොකෙරේ. දූෂණයට ලක්වු කාන්තාවකගේ දුක, ඝාතනය වූවෙකුගේ මවකගේ ශෝකය, ණය බේරුමක් කර ගැනීම සඳහා බලා සිටින ව්‍යාපාරිකයෙකුගේ වියවුල, උරුමයක් බලාපොරොත්තුව සිටින දරුවෙකුගේ තැවුල, මේ සංඛ්‍යාවලින් නිවැරදිව නිරූපණය කෙරෙන්නේ නැත. අධිකරණ පද්ධතියේ ඈලියාවෙන් මේ මිනිසුන්ගේ මිනිසත් බව පාගා පොඩි කෙරේ.

වැඩි වැඩියෙන් විනිසුරුවරුන් පත් කිරීමෙන්, මේ නඩු ගොඩ ඉවරයක් කර ගැනීමට දශක ගණනක් තිස්සේ ආණ්ඩු උත්සාහ කොට තිබේ. ඒ සම්බන්ධයෙන් වන මෑතම උදාහරණය වන්නේ, බරපතල නඩු දිනපතා අසා ඉවරයක් කිරීමට තීරණය කර තිබීමයි. මේ ආණ්ඩුව බලයට පත්වු පසුව පටන් ගත් බොහෝ දූෂණ නඩුවල අලස ප්‍රගතිය මගින් පෙන්නුම් කරන්නේ ද, අපේ අධිකරණ පද්ධතියේ පවතින නැතිබැරි කමයි. මේ සම්බන්ධයෙන් මතු වන කලකිරීම කෙතෙක් ද යත්, නඩු විමර්ශන ක්‍රියාවලියේ හිරවෙන තැන්වල ගැඹුර හඳුනා ගනිමින්, දූෂණ නඩු විමර්ශනය සඳහා වෙනම උසාවි පත් කරන බවට ජනාධිපතිවරයාම පොරොන්දු වීම දැක්විය හැකිය.

අලුත් උසාවි පිහිටුවතත් නැතත්, පවතින දුර්වල අධිකරණ ආයතනවල වගකීම ඒ මගින් එක රැයකින් ඉවත් කෙරෙන්නේ නැත. සාමාන්‍යයෙන් සිවිල් ස්වභාවයේ නඩු විභාග 200,000 ට වැඩි ගණනක් දැනටමත් සෑම වසරකම සමථ මණ්ඩල වෙත යොමු කරනු ලැබේ. අධිකරණය හෝ පොලීසිය මගින් සමථ මණ්ඩල වෙත යොමු කෙරෙන එම නඩුවලින් සියයට 40 කට වැඩි ප්‍රමාණයක් සමථය කෙරේ. එය, සාමාන්‍ය උසාවි මාර්ගයෙන් නිරාකරණය කරනවාට වඩා වැඩි ප්‍රතිශතයකි. එසේ හෙයින්, සමථ මණ්ඩල නොවන්නට, ඉහත සඳහන් ගණන්හිලව් ඊටත් වඩා වැඩි වනු ඇත. ඉතිං, ලංකාවේ සමථ මණ්ඩල ක්‍රියාවලිය එවැනි සාර්ථකත්වයක් අත්කර ගැනීමේදී, රටේ පවතින සම්මත අධිකරණ ක්‍රියාවලියට එසේ සාර්ථක නොවන්නේ මන්ද යන්න ඇසිය යුතු ප්‍රශ්නයකි.

දියුණු රටවල සෑම පුරවැසියන් 50 දෙනෙකුටම විනිසුරුවරයෙක් සිටී. එහෙත් ලංකාවේ එම ගණන ඊට වඩා බෙහෙවින් අඩු ය. සමථ මණ්ඩලවල සාමාජිකයන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන අයවළුන් වන අතර අධිකරණවල විනිසුරුවරුන්ව පුහුණු කළ යුතුව තිබේ. එසේම ඔවුන්ට, නිසි විනිසුරවරුන් වශයෙන් සේවය සැපයීම සඳහා වැටුප් සහිත වෘත්තීය මට්ටමක් ඇති කළ යුතුව තිබේ. අනිත් අතට, අධිකරණ විනිසුරුවරුන් ඉටු කරන්නේ වඩාත් සංකීර්ණ නඩු විනිශ්චයන් ය. එය සමථ මණ්ඩල ක්‍රියාවලියට වඩා බෙහෙවින් බැරෑරුම් ය. ඉදිරිපත් කිරීම්, සාක්ෂි පරීක්ෂාවට ලක්කිරීම් සහ නීතිය අර්ථ දැක්වීම් ආදිය සඳහා වැඩි කාලයක් මිඩංගු කිරීමට අධිකරණයකට සිදු වෙයි. කෙසේ වෙතත්, ලංකාව වැනි දියුණු වෙමින් පවතින වෙනත් රටවල් සාර්ථක අධිකරණ පද්ධති ඇති කර ගැනීමට සමත්ව සිටින අතර ලංකාවට එසේ නොහැක්ව ඇත්තේ මන්ද යන්න සොයා බැලිය යුතුය.

දේශපාලනික දූෂණයන්ට සම්බන්ධ සිදුවීම් එසේ තිබියදී, ආයෝජන ආකර්ශණය කර ගැනීම සඳහා ලංකාවට විශේෂ පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ. එක පැත්තකින් අධිකරණ ක්‍රියාවලිය සංකීර්ණ වීමත්, තවත් පැත්තකින් බේරුම්කරණයක් නොමැති වීමත් නිසා තත්වය තවත් දුෂ්කර කෙරේ. ආණ්ඩුව විසින් සූත්‍රගත කෙරෙන නව ‘මූල්‍ය නගරය’ බේරුම්කරණ මධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කරනු ඇති වෙතත්, එය ක්‍රියාත්මක කිරීම සඳහා තව කොපමණ කලක් ගතවේද යන්න ප්‍රශ්නයකි. ඒ දක්වා, ආයෝජනයට අදාළ නීති රාමු ප්‍රවර්ධනය කර ගැනීමේ මාර්ග සොයා ගත යුතුව තිබේ. ලංකාවට, ‘ව්‍යපාරික පහසුව පිළිබඳ ලෝක බැංකු සූචියේ’ ඉහළ ස්ථානයකට පත්විය හැක්කේ එවිට ය. ඒ සඳහා අරමුදල් වැඩි වැඩියෙන් සැපයිය යුතුව තිබේ. පුහුණුව වැඩි කළ යුතුව තිබේ. වැඩියෙන් විනිසුරුවරුන් පත්කර ගත යුතුව තිබේ. එසේම, නීතිරීති සරළ කළ යුතුව තිබේ. සියල්ලටමත් වඩා වැදගත් වන්නේ, නිසි කලට ඒ සියල්ල ක්‍රියාවේ යෙදවීමයි.

2018 ජනවාරි 15 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ, Standing in Line for Justice නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top