Sri Lanka Brief
පුවත්විවරණපළාත් පාලන මැතිවරණයෙන් ශක්‌තිමත් වන ප්‍රජාතන්ත්‍රවාදය – මාහාචාර්ය එම්.ඕ.ඒ.ද. සොයිසා

පළාත් පාලන මැතිවරණයෙන් ශක්‌තිමත් වන ප්‍රජාතන්ත්‍රවාදය – මාහාචාර්ය එම්.ඕ.ඒ.ද. සොයිසා

by

මෙම නව මැතිවරණ ක්‍රමයේ තවත් කැපී පෙනෙන ලක්‍ෂණයක්‌ ලෙස මනාප ඡන්ද ක්‍රමය නොමැති වීම පෙන්වා දියහැක. ඡන්දදායකයන්ට හිමි වන්නේ එක්‌ ඡන්දයක්‌ පමණක්‌ය. ඡන්දදායකයා තමන්ගේ ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ තමන් කැමති දේශපාලන පක්‍ෂයට හෝ ස්‌වාධීන කණ්‌ඩායමටය. මේ අනුව කොට්‌ඨාශ මට්‌ටමෙන් ප්‍රකාශ කරන ඡන්ද පදනම් කරගෙන කොට්‌ඨාසයේ ජයග්‍රාහී නියෝජිතයා තෝරාපත් කරන අතර සමස්‌ත පළාත් පාලන බල ප්‍රදේශය තුළ ඒ ඒ දේශපාලන පක්‍ෂයට සහ ස්‌වාධීන කණ්‌ඩායමට ප්‍රකාශ වී ඇති මුළු ඡන්ද ප්‍රමාණය ගණනය කොට ලැයිස්‌තුවෙන් හිමිවන නියෝජිතයන්ගේ ප්‍රමාණය වෙන් කරනු ලැබේ.

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුකරණයේ පදනම ජනතා පරමාධිපතිත්වයයි. මෙහි අදහස වන්නේ රාජ්‍ය නමැති දේශපාලන සංවිධානය සතු බලයේ අවසාන හිමිකරුවා ජනතාව වන බවත් සහ රාජ්‍ය බලය ක්‍රියාවට නැංවිය යුත්තේ ජනතා කැමත්ත පදනම් කරගෙන බවත්ය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක්‌ තුළ ජනතාව තමන් සතු පරමාධිපත්‍ය බලය රට පාලනය කිරීම සඳහා නැතිනම් ආණ්‌ඩුකරණය සඳහා පරිවර්තනය කරන්නේ මැතිවරණ මගින්ය. මැතිවරණ මගින් ජනතාව කරනුයේ තමන් සතු පරමාධිපත්‍ය බලය රට පාලනය කිරීම සඳහා තීරණය කරන ලද යම් කාල පරිච්ඡේදයකට තමන්ගේ ඡන්ද බලය මගින් තෝරා ගන්නා ජනතා නියෝජිතයන්ට පවරා දීමය. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුක්‍රමයක්‌ වූ කළී ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ඒබ්‍රහම් ලින්කන් විසින් ප්‍රකාශ කළ පරිදි zජනතාව විසින් ජනතාව උදෙසා ක්‍රියාත්මක වන ජනතාවගේ ආණ්‌ඩුවක්‌Z වේ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක්‌ තුළ ජනතා පරමාධිපතිත්වය ක්‍රියාවට නැංවීමේ පිළිගත් ක්‍රමය වන්නේ බල හවුල් කාරිත්වයයි. එනම් පරමාධිකාරී බලය විවිධ දේශපාලන ආයතන අතර බෙදා හදාගෙන ක්‍රියාවට නැංවීමය. හේතුව තනි ආණ්‌ඩුවක්‌ විසින් පමණක්‌ පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැංවීමේදී ආඥාදායකත්වයක්‌ කරා ගමන් කිරීමට ඇති ප්‍රවණතාවයෙන් ආණ්‌ඩුව බේරා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කර ගැනීමට ඇති අවශ්‍යතාවයයි.

මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රම තුළ රාජ්‍ය පාලන බලතල ක්‍රියාවට නැංවීම සඳහා මධ්‍යම ආණ්‌ඩුවට අමතරව පළාත් මට්‌ටමෙන්, දිස්‌ත්‍රික්‌ක මට්‌ටමෙන්, නගර මට්‌ටමෙන් සහ ගම් මට්‌ටමෙන් පිහිටුවා තිබෙන තවත් දේශපාලන ආයතන පද්ධතියක්‌ ක්‍රියාත්මක වන ආකාරය දැකිය හැකි වේ. මෙම දේශපාලන ආයතන පද්ධතිය හඳුන්වන්නේ පළාත් පාලන ආයතන නැතිනම් පළාත් ආණ්‌ඩු ආයතන වශයෙන්ය. ඒකීය රාජ්‍යයක දේශපාලන බලය ක්‍රියාවට නැංවීමේ ආයතනික පදනම ගොඩනැගී තිබෙන්නේ මෙයාකාරයටය. එනම් මධ්‍යම ආණ්‌ඩුවේ අධිකාරී බලයට යටත්ව පිහිටුවන ලද පළාත් පාලන ආයතන පද්ධතියක්‌ සමඟ හවුල්කාරී පදනමක්‌ මත බලය ක්‍රියාවට නැංවීමය. මේ අනුව පළාත් පාලන ආයතන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුකරණයේ අත්‍යවශ්‍යම කොටසක්‌ වේ. හේතුව එක්‌ අතකින් මධ්‍යම ආණ්‌ඩුවේ තනි අධිකාරී බලය සංවරණය කොට පවත්වා ගෙන යාමට පළාත් පාලන ආයතන ප්‍රයෝජනවත් වීමය. අනෙක්‌ අතින් ප්‍රාදේශීය මට්‌ටමෙන් ආණ්‌ඩුකරණයට සහභාගි වීමට ජනතාවට ඇති එකම දේශපාලන ආයතන පද්ධතිය පළාත් පාලන ආයතන වීමය.

ශ්‍රී ලංකාව තුළ පළාත් පාලන ආයතන පද්ධතිය සමන්විත වී තිබෙන්නේ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන ආයතන ත්‍රිත්වයෙනි. මෙයට අමතරව පළාත් සභා තිබුණද ඒවා පළාත් පාලන ආයතන ලෙස සළකනු ලබන්නේ නැත. හේතුව පළාත් සභා පිහිටුවා තිබෙන්නේ සහ ඒවාට බලය පවරා දී තිබෙන්නේ රටේ මූලික නීතියෙන් හෙවත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් වීමය. මෙයට වෙනස්‌ව ඉහත දැක්‌වූ පළාත් පාලන ආයතන ත්‍රිත්වය සංස්‌ථාපනය කර තිබෙන්නේ සහ ඒවාට බලය පවරා දී තිබෙන්නේ මධ්‍යම ආණ්‌ඩුවේ පාර්ලිමේන්තුව විසින් පනවන ලද අණපනත් වලිනි. මෙසේ අණපනත් මගින් කරන බලය පැවරීම හඳුන්වන්නේ බලය අවධාරිත කිරීම ලෙසය. අවධාරිත කරන ලද බලය හා සම්බන්ධව දැකිය හැකි විශේෂ ලක්‍ෂණය වන්නේ මධ්‍යම ආණ්‌ඩුවේ අභිමතය පරිද පවරා දී ඇති බලතල වැඩි කිරීමට, අඩු කිරීමට හෝ ආපසු පවරා ගැනීමට මධ්‍යම ආණ්‌ඩුවට බලය තිබීමය. අනෙක්‌ ලක්‍ෂණය වන්නේ පවරා දී ඇති බලතල ක්‍රියාවට නැංවීම යම් අධීක්‍ෂණයකට යටත් කොට තිබීමය. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ මෙම අධීක්‍ෂණ බලය ක්‍රියාවට නැංවීමේ වගකීම පළාත් සභා වලට පැවරී ඇත.

පුංචි මැතිවරණය නමින් මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී තිබෙන පළාත් පාලන ආයතන වලට නියෝජිතයන් තෝරාපත් කර ගැනීමේ මැතිවරණය පැවත්වීමට නියම වී තිබෙන්නේ එළඹෙන පෙබරවාරි 10 දිනය. මෙම මැතිවරණය පවත්වන්නේ යහපාලන ආණ්‌ඩුව බලයට පත් වීමෙන් පසුව යම් යම් සාධාරණ මෙන්ම අසාධාරණද හේතු සාධක දක්‌වමින් අක්‍රීය කර තිබූ පළාත් පාලන ආයතන 341 ක්‌ සක්‍රීය කිරීම සඳහා ජනතා නියෝජිතයන් තෝරාපත් කර ගැනීම පිණිසය. මෙම පළාත් පාලන ආයතන වලින් 24 ක්‌ මහ නගර සභා වන අතර 41 ක්‌ අයත් වන්නේ නගර සභා කාණ්‌ඩයටය. ඉතිරි 276 ප්‍රාදේශීය සභාවන් වේ. මෙම පළාත් පාලන ආයතන 341 සඳහා තෝරාපත් කළයුතු සභිකයින්ගේ මුළු සංඛ්‍යාව 8356 ක්‌ වේ. එයින් 5092 ක්‌ හෙවත් මුළු සභික සංඛ්‍යාවෙන් 60% ක්‌ තෝරා ගන්නේ ඡන්ද කොට්‌ඨාස පදනම් කරගෙන සෘජුවම ඡන්දදායකයන් විසිනි. ඉතිරි 3264 හෙවත් මුළු සභික සංඛ්‍යාවෙන් 40% තෝරා ගන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයේ ලැයිස්‌තු ක්‍රමය පදනම් කර ගෙනය. පුංචි මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින මුළු අපේක්‍ෂක සංඛ්‍යාව 57252 ක්‌ වේ. මොවුන් තෝරා පත්කර ගන්නේ කේවල මන්ත්‍රී ඡන්ද කොට්‌ඨාස සහ බහු මන්ත්‍රී ඡන්ද කොට්‌ඨාස වශයෙන් මැතිවරණ කොමිසම විසින් සීමා නීර්ණය කර ඇති මැතිවරණ බල ප්‍රදේශ 4914 කිනි. බහු මන්ත්‍රී ඡන්ද කොට්‌ඨාශ වලින් නියෝජිතයන් තෝරා ගැනීම කරනු ලබන්නේ ඡන්ද කොට්‌ඨාශය තුළ ඒ ඒ දේශපාලන පක්‍ෂය හෝ ස්‌වාධීන කණ්‌ඩායම ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය අනුවය. මේ අනුව කොට්‌ඨාසය තුළ වැඩිම ඡන්ද සංඛ්‍යාවක්‌ හිමිකර ගන්නේ කුමණ දේශපාලන පක්‍ෂයද නැතිනම් ස්‌වාධීන කණ්‌ඩායමද එයට බහු මන්ත්‍රී ආසන සියල්ල හිමි වේ.

නව මැතිවරණ ක්‍රමය දෙස බලන විට පෙනී යන්නේ එය සරළ බහුතර නියෝජන ක්‍රමය සහ සමානුපාතික නියෝජන ක්‍රමය යන මැතිවරණ ක්‍රම දෙකේ සම්මිශ්‍රණයකින් නිර්මාණය කර ඇති එකක්‌ වන බවය. මේ අනුව එක්‌ අතකින් ඡන්දදායකයන්ට තම ඡන්දය භාවිත කරමින් සෘජුවම තමන්ගේ නියෝජිතයන් තෝරාපත් කර ගැනීමට හැකියාව හිමිවන අතර අනෙක්‌ අතින් තමන් අයත් පක්‍ෂයට හෝ ස්‌වාධීන කණ්‌ඩායමට ප්‍රකාශ කරන ලද සමස්‌ත ඡන්ද සංඛ්‍යාව පදනම් කරගෙන ලැයිස්‌තුව යටතේ තවත් අතිරේක නියෝජිතයන් කණ්‌ඩායමක්‌ පත්කර ගැනීමේ හැකියාව හිමි වේ. මේ ක්‍රමය මගින් ඡන්දදායකයන්ට ද්විත්ව නියෝජනයක්‌ හිමි වේ. මේ අනුව බලන විට නව ක්‍රමය හරහා ජනතා පරමාධිපතිත්වය වඩාත් හොඳින් ක්‍රියාවට නැංවීමට ඡන්දදායකයන්ට ඉඩප්‍රස්‌ථාව හිමිවන බවට කෙනකුට තර්ක කළහැක.

මෙම නව මැතිවරණ ක්‍රමයේ තවත් කැපී පෙනෙන ලක්‍ෂණයක්‌ ලෙස මනාප ඡන්ද ක්‍රමය නොමැති වීම පෙන්වා දියහැක. ඡන්දදායකයන්ට හිමි වන්නේ එක්‌ ඡන්දයක්‌ පමණක්‌ය. ඡන්දදායකයා තමන්ගේ ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ තමන් කැමති දේශපාලන පක්‍ෂයට හෝ ස්‌වාධීන කණ්‌ඩායමටය. මේ අනුව කොට්‌ඨාශ මට්‌ටමෙන් ප්‍රකාශ කරන ඡන්ද පදනම් කරගෙන කොට්‌ඨාසයේ ජයග්‍රාහී නියෝජිතයා තෝරාපත් කරන අතර සමස්‌ත පළාත් පාලන බල ප්‍රදේශය තුළ ඒ ඒ දේශපාලන පක්‍ෂයට සහ ස්‌වාධීන කණ්‌ඩායමට ප්‍රකාශ වී ඇති මුළු ඡන්ද ප්‍රමාණය ගණනය කොට ලැයිස්‌තුවෙන් හිමිවන නියෝජිතයන්ගේ ප්‍රමාණය වෙන් කරනු ලැබේ.

නව මැතිවරණ ක්‍රමයේ තවත් විශේෂ ලක්‍ෂණයක්‌ වන්නේ කාන්තා නියෝජනය සඳහා සපයා තිබෙන ඉඩප්‍රස්‌ථා ප්‍රමාණය ඉහළ දැමීමය. මේ අනුව කොට්‌ඨාස මට්‌ටමින් ඉදිරිපත් කරන නාමයෝජනා ලැයිස්‌තුවේ මුළු නාමයෝජනා සංඛ්‍යාවෙන් 10% ක්‌ කාන්තාවන් සඳහා වෙන්කළ යුතුය. සමානුපාතික ලැයිස්‌තුවෙන් 50% ක්‌ කාන්තාවන් සඳහා වෙන්කළ යුතුය. මැතිවරණයෙන් පසුව පළාත් පාලන ආයතනයේ නියෝජන සංයුතිය තුළ කාන්තා නියෝජනය 25% ක්‌ වන බවට මැතිවරණ කොමසාරිස්‌වරයා වගබලා ගත යුතුය. එසේ වූවද මැතිවරණ ප්‍රතිඵල අනුව යම් දේශපාලන පක්‍ෂයකට හෝ ස්‌වාධීන කණ්‌ඩායමකට තමන් තරග කළ පළාත් පාලන බල ප්‍රදේශය තුළ ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණයෙන් 20% ක්‌ ලැබී නොමැත්තේ නම් සහ හිමි වී තිබෙන මන්ත්‍රී ධුර සංඛ්‍යාව 3 ට වඩා අඩු වන්නේ නම් එහිදී කාන්තා නියෝජනය සම්බන්ධයෙන් දක්‌වා තිබෙන අනිවාර්ය අවමය අදාල නොවේ. එසේවූවද, කොට්‌ඨාස මට්‌ටමෙන් තරඟ කොට පරාජයට පත්වූවද 25% අනිවාර්ය කාන්තා නියෝජනය හේතුවෙන් මැතිවරණයෙන් පසුව පළාත් පාලන ආයතන සංයුතිය සකස්‌ කිරීමේදී අනිවාර්ය කාන්තා නියෝජනය නොමැත්තේ නම් පරාජිත කාන්තාවන් වුවද ලැයිස්‌තුව යටතේ පත්කොට 25% අනිවාර්ය කාන්තා නියෝජන අවමය පවත්වා ගෙන යාමට පියවර ගත යුතුය.

නව මැතිවරණ ක්‍රමයේ තවත් ලක්‍ෂණයක්‌ වන්නේ ඡන්ද ගණන් කිරීම ඡන්දය පවත්වන ස්‌ථානයේදීම සිදුකිරීමය. මේ සඳහා ඡන්දය පැවැත්වීම භාරව කටයුතු කරන නිලධාරීන් ඡන්දය පැවැත්වීම අවසාන වීමෙන් පසුව එනම් සවස 4.00 න් පසුව ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන් බවට පත් වේ. ගණන් කිරීම අවසන් වූ පසු එම ස්‌ථානයේදීම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ලැබේ. ඡන්ද පොළවල් එකකට වැඩිනම් ඒ ඒ ඡන්ද පොළේ ප්‍රතිඵල එහිදීම ප්‍රකාශ කොට එම ප්‍රතිඵල ප්‍රධාන මධ්‍යස්‌ථානයට ගෙනගොස්‌ අවසාන ප්‍රතිඵලය ප්‍රදර්ශනය කරනු ලැබේ. අනතුරුව සෑම ජන්ද පොළකම ප්‍රතිඵල එකට එකතු කොට ගණන් කිරීමෙන් අනතුරුව පළාත් පාලන ආයතනයේ අවසාන ප්‍රතිඵලය ප්‍රකාශ කරනු ලැබේ. පළාත් පාලන ආයතනයේ නායකත්වය හිමි වන්නේ ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර කොට්‌ඨාස සංඛ්‍යාවක්‌ එනම් මුළු කොට්‌ඨාස සංඛ්‍යාවෙන් 50% ට වඩා හිමිකර ගත් දේශපාලන පක්‍ෂයට හෝ ස්‌වාධීන කණ්‌ඩායමටය. එසේ නොමැති වූ විට සභාවේ මුළු සාමාජික සංඛ්‍යාව විසින් බහුතරයකගේ අනුමැතියෙන් තෝරාපත්a කරන තැනැත්තාටය. මේ සඳහා මැතිවරණය පවත්වා මාසයක්‌ ගතවීමට ප්‍රථමයෙන් අදාළ ප්‍රදේශයේ සහකාර මැතිවරණ කොමසාරිස්‌ වරයා විසින් පළාත් පාලන ආයතනයේ සභාවාරයක්‌ කැඳවිය යුතුය.

අවුරුදු තුනකට වැඩි කාලයක්‌ තිස්‌සේ විවිධ හේතු දක්‌වමින් කල්දමමින් තිබූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට යහපාලන ආණ්‌ඩුව පියවර ගැනීම සැබැවින්ම ජනතාව අයත් කරගත් විශිෂ්ට ජනතා ජයග්‍රහණයක්‌ ලෙස හඳුන්වා දියහැක. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සාධාරණීකරණය කිරීම සඳහා ආණ්‌ඩුව විශේෂයෙන්ම ආණ්‌ඩුවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාර්ශවය කුමන හේතු සාධක ඉදිරිපත් කළද එසේ කිරීම මගින් සැබැවින්ම කළේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුකරණයේ ප්‍රථම මූලධර්මය වන ජනතා පරමාධිපතිත්වය පාගා දැමීමය. මෙහිදී ජනතාව එක්‌ කරුණක්‌ තේරුම් ගත යුතුය. එනම් පළාත් පාලන මැතිවරණය යහපාලන ආණ්‌ඩුව විසින් රිදී බන්දේසියක තබා ජනතාවට ලබාදුන් දෙයක්‌ නොවන බවය. එය ආණ්‌ඩුව විසින් කැමැත්තෙන් ලබා දුන් දෙයක්‌ නොව පුරාඅවුරුදු තුනකට ආසන්න කාලයක්‌ තිස්‌සේ ප්‍රජාතන්ත්‍රවාදයට කැපවුන ජනතාව විසින් අඛණ්‌ඩව කරන ලද ජනතා අරගලයක ප්‍රතිඵලයක්‌ වන බවය. දැන් ජනතාවගේ යුතුකම හා වගකීම වන්නේ ලබාගත් ජයග්‍රහණය ආරක්‍ෂා කර ගැනීමය. එය හොඳින් ක්‍රියාවට නැංවීමය.

මේ සඳහා ජනතාව විසින් අවධානය යොමුකළ යුතු කරුණු කිහිපයක්‌ තිබේ. මෙයින් එකක්‌ වන්නේ හොරුන්ගෙන්, තක්‌කඩියන්ගෙන්, වංචනිකයන්ගෙන්, කුඩු කාරයින්ගෙන්, කසිප්පුකාරයන්ගෙන්, ස්‌ත්‍රී දූෂකයින්ගෙන් පළාත් පාලන ආයතන බේරා ගැනීමය.

දෙවනුව උගත්, බුද්ධිමත් සහ විනයගරුක පුද්ගලයන්ට පළාත් පාලන ආයතනවල පාලනය බාර දීමය. තුන්වනුව යහපාලන ආණ්‌ඩුව තුළ අද දැකිය හැකි ආකාරයේ ඇණකොටා ගැනීම් වලින් තොරව පළාත් පාලන ආයතන ස්‌ථාවර පදනමක්‌ මත පවත්වා ගෙනයාම සඳහා එක්‌ දේශපාලන පක්‍ෂයකට හෝ ස්‌වාධීන කණ්‌ඩායමකට පළාත් පාලන ආයතනවල බලය පැවරීමය. අවසාන වශයෙන් දේශපාලන පක්‍ෂයකට බලය පවරනවා නම් නිශ්චිත දේශපාලන, ආර්ථීක හා සමාජ දර්ශනයක්‌ සහිත එමෙන්ම මනා සංවිධානයකින් යුක්‌ත සහ සාමාජිකයන් කෙරෙහි බලපාන දැඩි විනයක්‌ තිබෙන දේශපාලන පක්‍ෂය කුමක්‌ද යන්න සොයා බලා එම දේශපාලන පක්‍ෂයට බලය පවරා දීමය. මේ සියල්ල ඡන්දදායකයන්ට කළ හැක්‌කේ එකම එක්‌ දෙයකින් පමණි. එනම් ඡන්ද බලයෙනි. එසේනම් හැඟීම් සහ ආවේග වලට වහල් නොවී බුද්ධිය සහ තර්කය අනුව කටයුතු කරමින් වඩාත් සුදුසු අය කව්රුන්ද යන්න සොයා බලා එවැනි අයට පළාත් පාලන ආයතනවල බලය පැවරීම ජනතාවගේ පරම යුතුකම වේ. අරගලයෙන් ලබාගත් ජයග්‍රහණය ආරක්‍ෂා කොට පවත්වා ගෙන යා හැක්‌කේ ඡන්දදායකයන් තමන්ගේ යුතුකම නිසි පරිදි ඉටුකළ හොත් පමණක්‌ බව අවසාන වශයෙන් කිව යුතුය.

එම්.ඕ.ඒ.ද. සොයිසා – පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය.

Back to Top