Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගපලපසා කැෆේ කියන්නේ විශේෂ නවකතාවක් – චූලානන්ද සමරනායක

පලපසා කැෆේ කියන්නේ විශේෂ නවකතාවක් – චූලානන්ද සමරනායක

by

හැත්තෑ එකේ අරගලයේ යෞවන සටන්කාමියෙක් හැටියට දේශපාලන ජීවිතය අරඹපු, අසූව දශකය වන විට පුවත්පත් කලාවේදියෙක්, මාධ්‍යවේදියෙක් හැටියට වෙනස් භූමිකාවකින් නැවත පිටියට පිවිසුණු, යුද්ධයේ දරුණුතම අවධියේදී මනුෂ්‍යත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටිමින් වර්ගොත්ත්මවාදයට එරෙහි වීමේ වරදට  දේශප්‍රේමයේ නාමයෙන් ජාතිවාදය පත අට එකට හිඳ පානය කළ වර්ගවාදී සහ ආගම්වාදී පිරිස් වෙතින් ඩොලර් කාක්කෙක්, එන්ජීඕ කාරයෙක් මෙන්ම දේශද්‍රෝහියෙක් හැටියට බෞතිස්මය ලබපු, යුද්ධයෙන් පසුව තම පිටුවහල නිමා කරමින් දිගු කාචයක් සහිත කැමරාවක් ගත් අතින් නැවත මහජන සභාවන්හී කැමරා ශිල්පියකු ලෙසින් ප්‍රාදුර්භූත වුන සුනන්ද දේශප්‍රිය සහෝදරය සාහිත්‍ය පරිවර්තක භූමිකාවට පණ පොවන මේ අවස්ථාවෙදි අදහස් දැක්වීමකට ඉඩ ලැබීම ගැන සැබැවින්ම සතුටුයි.

මම සුනන්ද සහෝදරය ගෙ ලිපියක් පලමුවෙන්ම කියෙව්වෙ අසූව දශකයේ මැද භාගය පහු වුණ ගමන්ම වගේ. සුනන්ද එදා ලියපු ලිපිය මට මතක හැටියට පලවුණේ රාවයෙ. ඒක හැත්තෑ එකේ අප්‍රියෙල් සමරුව කාලෙ ලියවුණ එකක්. යෞවනයෙක් හැටියට තමන් අරගලයට සම්බන්ධ වුණ හැටි දුම්රියෙන් බදුල්ලට ගිය හැටි වගේ විස්තර ඒකෙ තිබුණ මට මතකයි. ඒ ලිපිය වඩාත්ම මගෙ සිත ගත්තෙ එය තුළ තිබුණ අනුරාගී බව නිසා. ලේඛන ශෛලියෙ තිබුණ සංකා සහගත තානය නිසා. මේ වෙද්දි සුනන්ද ජවිපෙ හැර ගිහින් ඉවරයි. වික්ටර් අයිවන් වඩා තැන්පත්, සංයමශීලී ස්වරයකින් ජවිපෙ දෙවන අරගලය විවේචනාත්මකව බලන්න පටන් අරන්. සුනන්දත් හිටියෙ ඊට ඈතින් නෙවෙයි. එතකොට මම හිටියෙ ජවිපෙ දෙවන අරගලයෙ ක්‍රියාකාරිකයෙක් හැටියට. හරියටම කිවුවොත් විප්ලයවීය අනුරාගයෙන්. මේ අරගලයෙන් සමාජ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් කියන විශ්වාසයෙන්. ඉතිං ඊට පටහැනිව දේවල් ලියනකොට ඒ ලියන තැනැත්තා සමග ඇතිවෙන්නෙ කේන්තියක්. ඒ කේන්තිය සුනන්ද කෙරෙහිත් නොතිබුණා කිවුවොත් බොරුවක්. හැබැයි ඒ සියල්ල මැද මම දිගටම ලක්මිණ, ලක්දිව, හිරු, විනිවිද වගේම රාවය, යුක්තිය, විවරණ කියවපු පාඨකයෙක්. අසූව දශකය නිමා වෙලා අපිව අන්තිමටම මර්ධනය කරල හිරගත කරපු කාලෙ මාව රඳවපු සෑම සිරකුටියකටම කොහොම හරි මං මේ පත්තර සඟරා ගෙන්න ගත්තා. හුඟ වෙලාවට ඒකට රහසින් උදවු කළෙත් අපිව මුර කරපු කාකි සහෝදරවරුම තමයි. ඉතිං අසූව දශකයේ යුක්තියේ සිට අද රාවයේ තහංචි මැද්දෙන් කොලම දක්වා සුනන්දගෙ ලිපි කියවන පාඨකයෙක් වෙන මට සුනන්ද තමන්ගෙ පලමු පරිවර්තන කෘතිය එළි දක්වන මොහොතෙ කතා කරන්න ඇරයුම් කිරීම මං බාර ගත්තෙ බස් පෙරලන්නෙක් හැටියට මම ඒ ගැන කතා කළ යුතුයයි අවංකවම හිතපු නිසයි.

හැබැයි තව ඇත්තක් කියන්නත් ඕනැ. බැරි වෙලාවත් සුනන්ද මේ පොත පරිවර්තනය කරන්නෙ අසූව දශකයේ අග භාගයේදී නම් එකපාරටම මෙය මගේ හිත නොගන්න තිබුණා. අසූව දශකයේ අපේ සාහිත්‍ය ලෝකයේ ප්‍රධාන කියවීම් වුණේ අම්මා, වානේ පන්නරය ලැබූ හැටි, සැබෑ මිනිසකුගේ කතාවක්, ගුරු ගීතය, පෙරළුෑ නැවුම් පස, ඇට මැස්සා, වෘකයන් අතර නග්නව වගේ කෘති. අපේ වීරයන් වුණේ, පරමාදර්ශ වුණේ ගොර්කිගෙ පාවෙල්, ඔස්ත්‍රොව්ස්කිගෙ පාවෙල්, ෂෝලහව්ගෙ දවීදව්, අයිත්මාතොව්ගෙ දුයිෂෙන්, වොයෙනිච්ගෙ ඇට මැස්සා වගේ චරිත. ඒකෙන් කොහොමටවත් අද ඒ චරිත මගේ වීරයො නෙවෙයි කියල කියවෙන්නෙ නෑ. අදටත් ඒ කෘති සහ චරිත මට වැදගත්. හැබැයි අද එදා වගේ අතිශය හැඟීම්බර නොවී ජීවිතයේ සංකීර්ණතා වටහා ගන්න මම පෙළඹෙනව. පූර්ණ නිර්දෝෂී හෝ පූර්ණ දූෂිත කියන බෙදුම වෙනුවට ධනවාදය හමුවේ මිනිස් හැසිරීම් විග්‍රහ කරගන්න පෙළඹෙනව. කොහොම වුනත් එදා මේ කෘතිය කියවන්න ලැබුණ නං මගේ ප්‍රතිචාර වෙනස් කියල මං අවංකවම කියන්න ඕනැ.

සුනන්ද පරිවර්තනයට තෝර ගන්න පල්පසා කැෆේ කියන්නෙ නාරායන් වග්ලේ ගේ ඉංග්‍රීසි බසට පරිවර්තනය වුන එකම නවකතාව. ඔහුගෙ මුල්ම කෘතිය. එය මුල් වසර තුළ පිටපත් විසිපන්දාහක වාර්තාගත අලෙවියක් ලබනව. එය නේපාලයේ ඉහලම සාහිත්‍ය සම්මානය වන මදාන් පුරස්කාර් සම්මානය දිනා ගන්නව. එය පලවෙන්නෙ 2005 වසරෙ. සුනන්ද එය පරිවර්තනය කරන්නෙ ඊට වසර 12 කට පස්සෙ 2017 දි.

වග්ලේ ගෙ මේ කෘතිය නේපාලි සාහිත්‍යයේ වැදගත් කඩඉමක් ලෙස සැලකෙනව. සුනන්ද මේ කෘතියට පල්පසා කැෆේ කියන නමට අමතරව ගරිල්ලා යුධ බිමක සිත්තරකුගේ රොමැන්ටික් සිහිනය කියල අතුරු වැකියක් එකතු කරනව. ඒ සියල්ල මැදත් කෘතියෙ පිටපත අතට ලැබුණම ඒක බාහිර පෙනුමෙන් මගෙ හිත ගත්තෙ නෑ. පල්පසා කියන නම මට කිසිම දෙයක් කිවුවෙ නෑ. අවම තරමින් එය පුද්ගල නාමයක් හැටියට මට දැණුනෙ නෑ. නවකතාවක් කියන හැඟීම පිටකවරයෙන් මට ලැබුණෙම නෑ. ඒ කොහොම වුනත් පොතේ ප්‍රවේශය කියවපු ගමන් මේ කියවන්න හදන්නෙ විශේෂ නවකතාවක් කියන හැඟීම මට ආවා.

මම මේ නවකතාව කියවගෙන යද්දී දිගටම මට සිහිපත් වුණ තවත් නවකතාවක් තිබුණා. ඒකයි මේකයි බොහෝ අතින් සමානයි. භූගෝලීය වශයෙන් ගත්තහම නවකතා දෙක දුර කලාප දෙකක. මේ කෘතිය නේපාලයේ. මං කියන අනෙක් කෘතිය පේරුවෙ. කෘතියෙ නම ඩෙත් ඉන් ද ඇන්ඩීස්. අන්දීසයේ මරණය කියල මං ඒක සිංහලට පරිවර්තනය කළා. ඒ කතාව දිග හැරෙන්නෙ පේරුවෙ ෂයිනිං පාත් ගරිල්ලා අරගලය අබිමාල් ගුස්මාන්ගෙ නායකත්වයෙන් තදට ඇදිල යන අවධියක. හරියට මේ කෘතිය පුෂ්පකමාල් දයාල් නැතිනම් ප්‍රචණ්ඩාගෙ නායකත්වයෙන් මාවෝවාදී ගරිල්ලා ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වූ කාලයෙ වගේමයි. පොතේ කතෘ නොබෙල් ත්‍යාගලාභී මාරියෝ වර්ගාස් යෝසා. කතාව දිග හැරෙන්නෙ ප්‍රධාන චරිත දෙකක අවලෝකනයක් හැටියට. එක්කෙනක් දඬුවම් මාරුවක් ලබල දුර පිහිටි පාලු ආකර බිමක ගරිල්ලා තර්ජන මැද අනතුරු දායක ජීවිතයකට පලවා හැරපු කෝප්‍රල් කෙනෙක්. ලිටුමා ඔහුගෙ නම. අනෙකා ඔහුගේ මුර පොලේ ඉන්න එකම සෙබලා. ටොමාස්. ඔවුන් ඉන්නෙ මරණය අතින් අරගෙන. ඒ අතරෙ ටොමාස් තමන්ගෙ කතාව ලිටුමට කියනව. ඔහු ඉන්නෙ බිඳ වැටුණ ආදරයක විරහව තදට විඳිමින්. ඔහු පෙම් කරන්නෙ ධනවත් පරපීඩාකාමුකයෙකුගේ සතුට වෙනුවෙන් වදයට කැපවෙලා ජීවිකාව සරිකරගන්න ගණිකාවකට. අර  ධනවතා සිය සතුට වෙනුවෙන් ඇයට වද දෙන මොහොතක ඔහුගේ ශරීරාරක්ෂකයෙක් හැටියට ඉන්න ටොමාස් ඔහු මරා දානව. දැන් ඔහු මේ දුර මුර කපොල්ලෙ ඉන්නෙත් දඬුවම් මාරුවකට. මේ මුළු කතාවම එකට වෙලන හුය වෙන්නෙ ටොමාස්ගෙ ආදර කතාව. හැබැයි යෝසා මේ ප්‍රධාන කතාව තුළට අතුරු කතා ගණනාවක් ඉතාම රමණීය ආකාරයට එකතු කරනව. ඒ හරහා ඔහු පේරුවෙ දේශපාලන කූණාටු සහගත කාලයේ අතිශය පොහොසත් සිතුවමක් නිමවනව. අපිට මේ කතාව තූළ ෂයිනිං පාත් ගරිල්ලන්, ඔවුන්ගේ විප්ලවයට දායක වෙන අය වගේම ඊට කිසිම සම්බන්ධයක් නැතිව එහි ගොදුරු බවට පත්වෙන විදෙස් සංචාරකයන්, රටෙහි පරිසරයට ආදරය කරමින් වන වගාවන් සඳහා ඇවිත් ගරිල්ලන් අතින් ද්‍රෝහී ලේබලය ලබල මැරුම්කන අවංක මිනිසුන්, මිථ්‍යා දෘෂ්ටීන්හී ඇලුණ මිනිසුන්, අහිංසක ගෝත්‍රික ජනයා,  විප්ලවයේ ගොදුරු බවට පත්වන වන සතුන්, මාෆියා කල්ලි, ආදී නොයෙක් පාර්ශව හමුවෙනව. එක් අවස්ථාවක ද්‍රෝහීන් කියල අහිංසක විදෙස් සංචාරක යුවළකට ගරිල්ලො ගල් ගහල මරනව. කෙන්යාවෙ නිදහස පතා මාවු මාවු ව්‍යාපාරය ක්‍රියාත්මක වුණ කාලයෙ තත්වයත් ඒකම තමයි. සිය ව්‍යාපාරයේ දිවුරුම ප්‍රතික්ෂේප කරන ස්වජාතිකයන් මාවු මාවු ගරිල්ලන්ට අනුව ද්‍රෝහීන්. මේ ගැන බෙවර්ලි නායිදු තමන් යෞවනයන් උදෙසා ලියූ නවකතාවල කදිමට මතුකර දක්වනව. සත්‍ය කතාවක් ඇසුරින් නිමවුන ෆස්ට් ග්‍රේඩර් සිනමා පටයෙ ප්‍රධාන චරිතය වන කිමානි මරුගේ එලෙස මාවු මාවු දිවුරුම දුන් කෙනෙක්. බි්‍රතාන්‍යයො ඔහුගෙ බිරිඳ සහ දරුවා මරා දමල ඔහුට අති අමානුෂික වධහිංසා කරන්නෙ මාවු මාවු දිවුරුම අත්හරින්න කියල. මේ හා සමාන තත්වයන් ගැන ලංකාවෙ උතුරෙ සහ දකුණෙ ගරිල්ලා අරගල අපිට කී වතාවක් පෙන්වන්න ඇතිද. ගරිල්ලා සටනක් ක්‍රියාත්මක වන පසුබිමක සියළු දෙනාම අඩුවැඩි වශයෙන් ගොදුරු.

සුනන්ද පරිවර්තනය කරපු පල්පසා කැෆේ කෘතියට පාදක වෙන්නෙ 1994දී නේපාල කොමියුනිස්ට් පක්ෂයේ කොටසක් ප්‍රචණ්ඩා ගෙ නායකත්වය යටතේ ගරිල්ලා අරගලයට ගියාට පස්සෙ ඇති වන අර්බුද සමය. නමුත් මේ කෘතියෙ ප්‍රධන චරිත වෙන්නෙ බොහිමියානු ජීවිතයක් ගත කරන මාධ්‍යවේදියෙක් සහ පල්පසා නම් තරුණියක් අතර ගොඩ නැගෙන සම්බන්ධය. එය අතරමග බිඳ වැටෙන ප්‍රේමයක්. දෙදෙනාටම වෙන්නෙ තමන්ගේ ජීවිතෙන් තමන් සම්බන්ධ නොවුන අරගලයක ගොදුරු බවට පත්වෙන්න. නාරායන් වග්ලේ මේ දෙදෙනාගේ කතන්දරය මැදට ඉතා මනරම් ආකාරයට සන්නද්ධ අරගලය සහ එය මර්ධනයට ලක්වන පසුබිමක නේපාලයේ දෛනික ජීවිතය වැටි වැටී ඉදිරියට ඇදෙන ආකාරය ගෙන එනව. මෙහි අපට හමුවන බොහෝ චරිත අරගලයේ කොටස්කරුවන් නෙවෙයි. වැඩි පිරිසක් මධ්‍යම පංතික යයි කිව හැකි චරිත. ඒ අතර ඔවුන්ගේ ජීවිත වලට ගරිල්ලා අරගලයත්, රාජ්‍ය මර්ධනයත් කඩාවදින ආකාරය නිරූපණය කෙරෙනව. රටක් අවියෙන් තීරණ ගන්න පසුබිමකට ආවට පස්සෙ සාමාන්‍ය යයි කියන පැවැත්මක් ඉතිරි වෙන්නෙ නෑ. සෑම කෙනකුටම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඊට මැදි වෙන්න සිදුවෙනව. අරගල සමයක අරගලකරුවන් සහ එය මර්ධනයට ඉදිරිපත් වන රජය සමස්ත ජනතාවම ඉතා සරල සමීකරණයකට හසුකරගන්නව. ඔබට මතක නම් ලංකාවෙ යුද්ධය අවසන් වූ පසුව රාජපක්ෂ ජනපතිවරයාගේ ප්‍රකාශ සිහියට නගා ගන්න. එවක රජයට අනුව ලංකාවෙ ඉන්න පුළුවන් දෙකොටසකට පමණයි. දේශප්‍රේමීන් සහ  දේශද්‍රෝහීන්. වෙන කිසිම කෙනකුට ඉඩක් නෑ. අනිත් අතින් රජය තමයි මේ බෙදුම් රේඛාව තීරණය කළේ. සුනන්දත් ඊට අනුව අයිති වුණේ ද්‍රෝහී ගොඩට. අසූව දශකයෙ දකුණේ අරගලයෙත්, උතුරේ අරගලයෙත් සටන්වැදුණ පාර්ශව පාවිච්චි කළෙත් මේ බෙදුම් රේඛවමයි. ඔවුන් සමග ඉන්නන් හැර අන් සියල්ලම ද්‍රෝහීන්. මෙය අරගල සමයක පොදු සත්‍යය.

අර්බුද වැලකට ගොදුරුවුන රටක සාහිත්‍ය කෘතියක් කියවන්න සැරසෙන විට අපි ස්වාභාවිකවම අපේක්ෂා කරන්නෙ අරගලයේ කතාවක්. අනෙක් අතින් අරගලකරුවන් නිර්මාණය කරන්නෙ ඔවුන්ගේ අරගලයේ සාහිත්‍යයක්. රුසියානු විප්ලවයෙන් පස්සෙ අපිට සෝවියට් සාහිත්‍යය යටතෙ එවන් කෘති බෙහොමයක් කියවන්න ලැබෙනව. රුසියාවෙ පවා ඉන් පස්සෙ වෙනත් සාහිත්‍ය ප්‍රවණතා අවතක්සේරු කෙරෙන පසුබිමක් නිර්මාණය වුණා. ඉවාන් බුනින් වැනි නොබෙල් ත්‍යාගලාභී විශිෂ්ට සාහිත්‍යකරුවන් අවප්‍රමාණ කෙරුණා. ස්ටාලින්ගෙ යුගයෙදි වර්ලාම් ශාලමොව් කියන ලේඛකයව දීර්ඝ කාලයකට සයිබීරියාවෙ ශ්‍රම කඳවුරකට පිටුවහල් කෙරෙනව. ඔහු කරන එකම වරද ඉවාන් බුනින් ශ්‍රේෂ්ට ලේඛකයෙක් බව ලිවීම. පැහැදිලියි. සෝවියට් පාලනය ගර්හාවෙන් සලකන ලේඛකයෙකුව ශේෂ්ටයයි කීමත් සමග ද්‍රෝහී ප්‍රේමී ඉර ඇඳෙනව. ඔහු පසුව සිය පිටුවහල අලලා කලීමා කතන්දර කියල වටනා ග්‍රන්ථයක් රචනා කරනව.

නාරායන් වග්ලේ ගෙ කෘතියෙ මා දකින සුවිශේෂීම කරුණ වෙන්නෙ ඔහු සිය කතාව අරගලය හෝ අරගලකරුවන් වෙත කේන්ද්‍ර නොකර අර්බුද සමයක නොතකා හැරෙන අවශේෂ ජීවිත කෙරේ යොමු කිරීම. මෙහි එන ප්‍රධාන චරිත අරගලකරුවන් නෙවෙයි. එහෙත් ඔවුන් නොවැලැක්විය හැකි ලෙසම එහි ගොදුරු. මේ චරිත අරගලකරුවන්ගේ හෝ රජයේ හෝ අනුකම්පාව හෝ අවධානය දිනා ගන්නා අය නෙවෙයි. මේ දෙපාර්ශවයටම මෙවන් අය වැදගත් නෑ. ඔවුන්ගේ ඉරණම වෙන්නෙ ඉතිහාසයෙන් අමතක කරනු ලැබ වැලලී යාම. මෙය ලොව පොදු සත්‍යයක්. සිරියාවෙදි මිය ගිය මූලධර්මවාදී ගරිල්ලන් සහ රාජ්‍ය හමුදා දෙපාර්ශවයටම අනුව වීරයන්. එහෙත් යුද්ධයට මැදිවුන සාමාන්‍ය ජනයා අමතක කරදැමිය යුතු මිනිසුන් නොවන පිරිස් විතරයි. ලංකාවෙ යුද්දෙදිත් යුදවන් දෙපාර්ශවයටම දෙපාර්ශවයෙ සාමාජිකයන් විරුවන්. එහෙත්  යුද්ධයට මැදි වුණ සාමාන්‍ය ජනතාව නියමිත අමතක කර දැමීමට විතරයි. වග්ලේ කරන්නෙ මෙවන් අමතක කර දැමෙන චරිතවලට ජීවය දීම. ඔවුන්ගේ කතාව හරහා බරපතල අර්බුද සමයක ඉතිහාසය නැවත ලිවීම. ඒ අනුව මෙය අරගලකරුවන් ගැන ඔවුන්ගෙ අරගලය ගැන සෘජුව නොලියා එවන් සමයක නොවැදගත්වන චරිත කිහිපයක් මගින් තම යුගය ප්‍රතිනිර්මාණය කිරීමක්. වග්ලේ ඉතා හොඳින් ඒ කාර්යය ඉටු කරනව. කතාව හමාරවූ පසුව මේ අත්දැකීම් පොදු වුන මිනිසකුට දැනෙන්නෙ තමන් යළිත් වරක් තම පිලිබිඹුවම දකින ආකාරයක්.

සුනන්ද වග්ලේගේ කෘතිය පරිවර්තනයට තෝරා ගැනීම ඉතා වැදගත් කියල මං විශ්වාස කරනව. ඒ වගේම ඇතැම් දෙබස් පරිවර්තනයේදී එහි සජීවී බව මදක් ඔහු අතින් අඩු වුනත් ඔහු තම මුල්ම සාහිත්‍ය පරිවර්තනය මගින් අපට තවත් වැඩ කළ හැකි බව පෙන්වල තියෙනව. ඉතිං සියල්ල කැටි කරල සුනන්දට මං අන්තිමට කියන්නෙ මෙච්චරයි. සුනන්ද ඔබට ස්තුතියි.

(ඉහත දැක්වෙන්නේ පසුගිය ජනවාරි 11 දින කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයෙහි පැවැති ‘පලපසා කැෆේ‘ එළිදැක්වීමේ උත්සවයේදී  පරසිඳු ලේඛකයකු සහ සාහිත්‍ය පරිවර්ථකයකු වන චූලානන්ද සමරනායක විසින් සාකච්ජාවට කරන ලද එකතු කිරීමයි)

Back to Top