Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගජාතික දේශපාලනය සහ පළාත් දේශපාලනය – සුනන්ද දේශප්‍රිය

ජාතික දේශපාලනය සහ පළාත් දේශපාලනය – සුනන්ද දේශප්‍රිය

by

ජායාරූපය: කුණු කානුව මත වැජඹෙන මැතිවරණ දේශපාලන පොස්ටර්.

මා ජීවත්වන්නේ කොළඹ තදාසන්න පෙදෙසකය. අප නිවෙසට යනෙන පාර දිගටම කුණු වතුර ගලා බස්නා කාණුවක් තිබේ. එහි බොහෝ තැනක ජලය ගලා යන්නේ නැත. එමෙන්ම කානුව දිගටම නිවැසියන් විසින් එහි දමන පොලිතීන්, මයිලෝ යනාදී නොදිරන අපද්‍රව්‍යද පිරී අැත. මෙම පෙදෙස ඩෙංගු රක්තපාත උණ පෘතූලව පැතිරී ගිය තවමත් එවැනි රොගීන් සිටින පෙදෙසකි. එනමුත් රජයේ කිසිදු ආයතනයක් විසින් මෙම කුණූ කානුව පිරිසිදු කරන්නේ නැත. ඒ වෙනුවට එහි දක්නට ලැබෙන්නේ මෙහි කුණූ දමන එවුන්ගේ පරම්පරා පිටින් ඩෙංගු සෑදී මැරිය වැනි පළිගසන මහජන අපේක්ෂා ලියූ පෝසටර්ය.

අප කලින් ජීවත් වූයේ කුරුණෑගල යකල්ලේය. එම පෙදෙසෙහි ලිංවල වතුර නැත. අප එහි පදිංචි වූ 2000 වසරෙහි අප ලිදෙහි ජලය පානයට සුදුසු වුවද දැන් ලවන අධික බැවින් පානයට නුසුදුසුය. ඒ නිසාම ලිං ජලය බීමට නුසුදුසු අතර වියලි කාලයෙහි එම ලිං සිදී යයි. පානීය ජල ප්‍රශ්ණය අවට ගම්මාන ගණනාවකද

ප්‍රශ්ණයකි. මෙම ප්‍රශ්ණයට විස දුමක් වශයෙන් නළ ජලය දීමට නළ එලා මාස ගණනාවක් ගතවීත් ජලය නැත. ඊට හේතුවක් කියන්නට දන්නා කෙනෙක්ද නැත.

මෙවැනි ප්‍රශ්ණ නැති පළාත් පාලන ප්‍රදේශයක් මෙරට නැත. ජනයා පෙළෙන මෙවැනි සෞඛ්‍ය ප්‍රශ්ණ විසදීම බාරව ඇත්තේ පළාත් පාලන ආයතනයන්ටය. ඒ වනාහී ඒවා විසින් සැපයිය යුතු වන එක් ප්‍රධාන සේවාවකි.

මේ වන විට පක්ෂ දෙකකින්ම ජන්දය ඉල්ලා අප නිවසට පැමිණ ඇති නමුත් ලොකු කතා බහ හැරුණ විට තමන් කරන්නට යන්නේ කුමක්දැයි ඒ කිසිවකු කියන්නට දන්නේ නැත. ‘ අපට ජන්දය දෙන්න. අපි වැඩක් කරන්නයි එන්නේ’ කියා ඒ අය කියති. අනෙත් අතට පළාත් පාලන ආයතන විසින් සැපයිය යුතු සේවාවන් ගැන අප හරියට දන්නේද නැත.

අපේ හන්දියේ හැමෝම පොස්ටර් අලවා තිබෙන්නේ ගඳ ගසන ඒ කුණූ කානුව උඩිනි. හැම පොස්ටරයකම තියෙන්නේ ගම හදන බවයි. ‘ ගම නිදහසට’ ‘ගම අපට’ ‘ආණ්ඩුවට ගම’ යනාදී සටන් පාඨ මගිනි. පොදු සටන් පාඨ හැරුන විට ඒ ඒ පළාත් පාලන ප්‍රදේශය සම්බන්ධයෙන් තමන් කරන්නට සිටින්නේ කුමක්දැයි මා දන්නා තරමට නම් කිසිම පක්ෂ කන්ඩායමක් විසින් ඉදිරිපත් කර නැත.

කුණු නිවසේ තාප්පයේ අලංකාරය පිනිසද?

පළාත් පාලන පනත අනුව එකී ආයතන විසින් ප්‍රජාවෙහි සැපත, පහසුව සහ යහපත උදෙසා සේවාවන් සැපයිය යුතුය. මහජන සෞඛ්‍ය ඉහළ නැංවීමත්. යටිතල පහසුකම් සැපයීමත් බාර වන්නේ පලාත් පාලන ආයතනයන්ටය. පාරවල්, කාණු පද්දති, උද්‍යාන, පුස්තකාල, අපද්‍රව්‍ය එක් කිරීම, පොදු පහසුකම් සැපයීම, වෙළද පොලවල් පවත්වා ගෙන යෑම සහ විනෝදය සහ ක්‍රීඩා සඳහා පහසුකම් සැළසීම ඒ අතර වෙති.

පසුගිය කාලය පුරාම බෙහෝ පළාත් පාලන සභිකයින් කලේ ගරානාවය. ජනයාට වැඩක් කරනු වෙනුවට ගරානාව හොදින් ඇති වැඩය. මෙවැනි මහජන සේවකයකු ශ්‍රාස්ත්‍රාලීය උගතකු වීමට අවශය නැති නමුත් පළාත් පාලන දේශපාලන උගතකු විය යුතුය. එවැනි අවබෝධයක් ඇති මහජන සභිකයින් සිටින්නේ කීයෙන් කී දෙනෙක්ද?

පාරක් පිළිසකර කරන්කට බැරිනම්, කාණූ පද්දතිය නිසි ආකාරයෙන් පවත්වා ගැනීමට බැරි නම් අප කවර හෝ පක්ෂයකට අප ජීවත්වන පළාත් පාලන ප්‍රදේශ බාර දිය යුත්තේ ඇයි? කොටින්ම එළඹෙන පළාත් පාලන මැතිවරණයෙහිදී අප ජන්දය දිය යුත්තේ ඇයි? එම ප්‍රශ්නයට බැදුම්කරයෙන් හෝ අගමැති සහිනයෙන් හෝ පිළිතුරු නොලැබේ.

දැන් පෙනෙන අන්දමට අප මෙම පළාත් පාලන ජන්දයේදී අපේ ජන්දය දිය යුත්තේ එක්කෝ රාජපක්ෂ අගමැති කරන්නටය. සිරිසේනගේ කඩුව මුවහත් කරන්නටය. බැදුම්කර හොරු හිරේ යවන්නටය. තනි එජාප ආණ්ඩුවක් පිහිටුවන්නටය. වික්‍රමසිංහගේ පිරිසිඳුකම සනාථ කරන්නටය. 2020 දිනවනු පිනිස ගම ජවිපෙට දෙන්නටය යනාදී වශයෙනි.

කොටින්ම අප එදිනෙදා ජීවිතයේ දී අප ජීවත්වන ප්‍රදේශයන්හි මුහුණ දෙන ගැටළු විසඳා ගැනීමට නොවේ. ඔබ අඩුම වශයෙන් එවැනි මාතෘකා සාකච්ජා වන එක් ලිපියක් හෝ වැඩ සටහනක් දැක ඇත්දැයි කල්පනා කර බලන්න.

එළඹෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳ ජනමාධ්‍ය වාර්තාකරණය සහමුලින්ම වෙන්ව ඇත්තේද එවැනි ජාතික දේශපාලන කරුණු කාරණ වලටය. පළාත් පාලන අයතනයන්ගෙන් අප අපේක්ෂා කළ යුතු සේවාවන් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අපේක්ෂක අපේක්ෂිකාවන් සමඟ දැනුවත් සාකච්ජාවක් දියත් කිරීමට මේ තාක් කිසිදු ජනමාධ්‍යක් පියවර ගෙන නැත.

අපි උදාහරණයක් ගෙන බලමු. 1920 වසරෙහි මෙරට වන ගහනය සියයට 49ක් විය. 2000 වසර වන විට එය සියයට 26ක් දක්වා පහත බැස තිබුණි. වාර්ශිකව අප අක්කර 65,000ක් බැගින් වනාන්තර හෙළිකර තිබේ. අපේ නගර කිසිවක ක්‍රමානුකූලව රැක් රෝපනය කිරීමක් නැත. සිදු වන්නේ තිබෙන ගස් පරණ බැවින් කපා හෙළීම පමණි. මේ වනාහී ඍජුවම පළාත් පාලනය විසින් බාර ගත හැකි අභියෝගයකි. නමුත් අදත් අප පළාත් පාලන ජන්දය දෙන්නට යන්නේ අහවලාගේ අගමැති සිහිනයට හෝ කඩු ගෑමේ තරඟය බලා සිටීම පිනිසය.

තවත් උදාහරණයක් ගමු. දෙවන ලෝක යුද්ධය නිසා ජපානයේ ටෝකියෝ නගරයෙහි වීථි දෙපස වූ ගස් ලක්ෂ 105,000 සිට 42,000 දක්වා අඩුවී තිබුණි. යුද්දයෙන් පසු දර පිනිස කපා ගැනීම සහ රෝග නිසා තවත් ගස් 35,000ක් නැති විය. එසේ නමුත් 1980 වන විට ප්‍රමාණය 235,000 දක්වා ඉහළ නැංවීමට ටෝකියෝ නගරය සමත් විය. නාගරික වන ගහණය නගරයක ජනතාවගේ ජීවිතය සැපවත් සහ යහපත් බවට පත් කරන එක් සාධකයක් බව විවිධ අත්දැකීම් මගින් සනාථ වී තිබේ.

අපේ අගනුවර වන කොළඹ නගරය දෙස බලන්න. මෑත කාලයෙහි එය වරක් පාලනය කරන ලද්දේ නම ලිවීමටවත් නොදත් නන්නත්තාර පුද්ගලයකු විසිනි. පසුව රාජපක්ෂගේ අන්තේවාසිකයකු බවට පත් ඔහු බලයට පත් කරන ලද්දේ එජාපයේ ජන්ද මගිනි. රටෙහි ප්‍රධාන නගරයේ නගරාධිපති යනු අන්තර් ජාතික පිළිගැනීමක් සහිත අතිශය වැදගත් තනතුරකි. එහෙත් අද කොලඹ නගරාධිපතිවරුන් හෝ වරියන් පත්වන්නේ නගර වර්ධනය ගැන කිසිදු අදහසක් හෝ උනන්දුවක් නැතිව සිය පක්ෂයේ සහ තමන්ගේ බලය වර්ධනය කරගනු පිනිසය. නිකමට හෝ ‘ඔබේ කොලඹ සංවර්ධන විස්තීර්ණ වැඩ සටහන කුමක්ද’ යැයි ඔවුන්ගෙන් අසන්න. පිළිතුරු නැතිව ඔවුන් උඩ යට බලනු නොඅනුමානය. මහනුවර, යාපනය හෝ වෙනත් මහ නගරයක් වුව මෙම තත්වයෙහි වෙනසක් නැත.

වත්මන් ලෝකයෙහි ප්‍රධාන නගර තමන්ගේම පළාත් පාලන දේශපාලනයක් ගොඩ නඟා ගන්නා ප්‍රවණතාවයක ගමන් කරයි. ඩෙනල්ඩ් ට්‍රම්ප් පරිසරය ආරක්ෂා කිරීමේ පැරිස් ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත්කර ගත් මුත් එරට ප්‍රධාන නගර ගණනාවක්ම එම ගිවිසුම සමඟ රැදී සිටීමට තීරණය කළේය. නාගරානුබද්ධ රාජ්‍යතාන්ත්‍රිකත්වය යැයි කියනු ලබන නව පළාත් පාලන දේශපාලනය දැන් මහා ජනතාවගේ එදිනෙදා උවමනාවවන් නියෝජනය කරන ගැම්මක් බවට පත්ව වෙමින් තිබේ. ලොව මහ නගර අතර නව රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් පවා ඒ අනුව ගොඩ නැගෙමින් තිබේ.

කලකට පෙර අදාළ පළාත් පාලනය සඳහා ඉදිරිපත් වූයේ ජන්ද කොට්ඨාශයෙහි ජනයා දන්නා කියන, පොදු යහපත උදෙසා කටයුතු කිරීමේ ඉතිහාසයක් ඇති අයයි. ඔවුන් මැම්බර් මිස මංත්‍රී වූයේ නැත. ජේ.අාර්. ජයවර්ධන විසින් මෙරට දේශපාලන දූෂණය මත පදනම් වූ එකක් බවට පරිවර්ථනය කිරීම ආරම්භ කරන ලද අතර රාජපක්ෂ විසින් එයට ඔටුණු පළදවන ලදී. දැන් පළාත් පාලනයේ සිට ජනාධිපතිකම දක්වාම ඇත්තේ ගරානාව සඳහා අවස්ථාය. ගරානාව සඳහා ‘අපේ පක්ෂය’ බලයට ගෙන ආ යුතුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ගමේ නගරයේ ප්‍රශ්ණ විසදීමේ සැළැස්මක් නොව කවුද රාජා තේරීමේ සටන ජය ගැනීමය.

අපට මේ දූෂණයේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකිද? සැබෑ පළාත් පාලන දේශපාලනයක් සඳහා මඟ විවර කළ හැක්කේ කෙසේද? පළාත් පාලන දේශපාලනයේ ස්වාධීන අවකාශය යළි පිහිටුවිය හැක්කේ කෙසේද? කල්පනා කර බලන්න.

අද අප විසින් වාද විවාද කළ යුතු එක් ප්‍රධාන ප්‍රශ්ණයක් නම් එයයි. එසේ නොවුවහොත් ඩෙංගු මදුරුවාද කුණූ කානුවද පරම්පරාවම මැරී යන සේ කැරෙන ශාපයද ඊළඟ පළාත් පාලන ජන්දය එනතුරු එළෙසම තිබීමට ඉඩ වැඩිය. එය ලංකාවේ බොහෝ දෙනාගේ අත්දැකීම වන්නට ඇති ඉඩ ද වැඩිය.

Back to Top