Sri Lanka Brief
පුවත්විවරණගබ්සාව: ජාතියක රුදුරු සන්තාපය – රොහාන් පෙතියාගොඩ

ගබ්සාව: ජාතියක රුදුරු සන්තාපය – රොහාන් පෙතියාගොඩ

by

ශ්‍රී ලංකාවේ පවතින, අවුරුදු 130 ක් පැරණි ගබ්සා විරෝධී නීතිය පැහැදිළි ය: මවගේ ජීවිතය බේරා ගැනීමට මිස දරු ගැබක් ගබ්සා කිරීම අපරාධයකි. දණ්ඩනීති සංග්‍රහයේ 303 වැනි වගන්තියේ මෙසේ සඳහන් වෙයි: “දරු ගැබක් දරා සිටින ගැහැනියකගේ ගැබ ගබ්සා කිරීමට ස්වේච්ඡාවෙන් කටයුතු කරන කවරෙකු හෝ එම ගබ්සාව කරන්නේ කාන්තාවගේ ජීවිතය බේරා ගැනීමේ අපේක්ෂාව පෙරදැරි සත්භාවයෙන් නොවේ නම්, එය අවුරුදු තුනකට නොවැඩි සාමාන්‍ය සිර දඬුවමකට හෝ බරපතල වැඩ සහිත හිර දඬුවමකට හෝ ඒ දෙකටම හෝ යටත් කළ යුත්තේය.”

එහෙත් සත්‍ය වශයෙන් ගත් විට, ගබ්සාව ලංකාවේ අද සමාජයේ පොදුවේ පවතින සංසිද්ධියකි. 1990 අග භාගයේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ අනුග්‍රාහකත්වයෙන් ජාතික මට්ටමින් කරන ලද අධ්‍යයනයකට අනුව, දිනකට ලංකාවේ ගබ්සා කිරීම් 650 ක් සිදුවෙයි. අද වන විට එය දිනකට 1000 ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. 2009 දී කරන ලද සමීක්ෂණ වාර්තාවක, කොළඹ විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා සහ විෂ විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය එන්. එල්. අබේසිංහ කියන පරිදි, දරුවන් 1000 ක් දෙනා රටේ උපදින විට, තවත් දරුවන් 740 ක් ගබ්සා කරනු ලැබේ.

1883 දී ඇති කර ගත් මෙම ගබ්සා-විරෝධී නීතිය නිසා, අවුරුදු පතා ලක්ෂ ගණනක් ගැහැනුන්ව අපරාධකරුවන් බවට පත් කෙරෙනවා පමණක් නොව, වෛද්‍ය වෘත්තිය තුළ ගබ්සාව තහනම් කොට ඇති තත්වය තුළ, හොර වෙදුන්ගේ සරණ සෙවීමට ගැහැනුන්ව තල්ලු කරනු ලැබේ. එසේ හොර රහසේ සිදු කෙරෙන ගබ්සාවන් බොහෝ විට අසාර්ථක වන අතර, දරුවා නැති කර ගැනීමට අමතරව බොහෝ විට මවටත් රෝහල්ගත වීමට සිදු වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2011 ‘වාර්ෂික සෞඛ්‍ය විවරණිකාවට’ අනුව, වසරකට රජයේ රෝහල්වලට ඇතුළත් කෙරෙන ගැහැනුන්ගෙන් සියයට 7-16 අතර ප්‍රමාණයක්, අසාර්ථක ගබ්සාවන් නිසා රෝහල්ගත වන්නන් ය. එම ප්‍රමාණය වසරකට 100,000 ටත් අධික ය. ඒ වනාහී, දැනටත් දුෂ්කර තත්වයක පවතින ජාතික සෞඛ්‍ය සේවා අයවැයෙන් විශාල කොටසක් වැය කිරීමට සිදු වන අංශයකි. අනිත් අතට, මේ හේතුවෙන් වාර්ෂිකව මරණයට පත්වන සංඛ්‍යාව අනුව ගත් විට, ගැහැනියට ද එය මහත් විනාශයක්ම වන්නේය.

ගබ්සාව පිළිබඳ සංකල්පයම නීති විරෝධී වන නිසා, මේ විෂය සම්බන්ධයෙන් ගැබිණි මව්වරුන් සඳහා උපදේශන සේවා පැවැත්වීමට සෞඛ්‍ය සේවකයන්ට පුළුවන් කමක් නැත. මන්ද යත්, එය පවා අපරාධයකට සහාය වීමක් හෝ උදව් කිරීමක් විය හැකි බැවිනි. ඒ හේතුව නිසාම, මේ විෂයය පාසල්වල ලිංගික අධ්‍යාපනික පාඨමාලාවන්ට ඇතුළත් කිරීමේ හැකියාවක් ද නැත. කොටින් කිවහොත්, මේ සමස්ත විෂයයම තහනම් කලාපයක් සේ සැළකීමට සිදුව තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ශ්‍රී ලංකාවේ කාන්තාවන් දස ලක්ෂ ගණනකට එය මහා හෙනයක් වී තිබේ.

මේ තත්වය තුළ, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විවිධ කාන්තා සංවිධාන සේම ලෝක සෞඛ්‍ය සංවිධානයත්, මේ ආචීර්ණ කල්පික නීතිය සංශෝධනය කළ යුතු බවට දැන් කලක සිට හඬ නගයි. ගබ්සාව අපරාධයක් සේ නීතිය තුළ සැළකුණත්, සෑම දිනකම කාන්තාවන් 1000 ක් පමණ දෙනා එම අපරාධයේ යෙදෙන බව ඔවුහූ දනිති. ඔවුන්ගේ අරමුණ වන්නේ, ගබ්සා ක්‍රියාවලිය තුළ ආරක්ෂාව සහතික කිරීමත්, විධිමත් පවුල් පාලන උපදේශන සේවාවන් හරහා ගබ්සා අනුපාතිකය අවම කිරීමත් ය.

ගබ්සාව පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් නීතිය සංශෝධනය කිරීමේ ප්‍රයත්නයන් පිළිබඳ අපේ ඉතිහාසය අවුල් සහගත ය. බොහෝ දේශපාලඥයෝ, සදාචාරවාදීහූ සහ ආගමික නායකයෝ ඒ නීතිය වෙනස් කිරීමට සපුරා විරුද්ධ වෙති. සෑම ජීවිතයකම අගයක් දකින ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය තුළ, හිතුමතේ ගබ්සා කිරීමේ නිදහස දීමට ඔවුන්ගේ කැමැත්තක් නැත. කෙසේ වෙතත්, මේ නීතිය සංශෝධනය විය යුතු බවට තර්ක කරන පිරිස්, නොමේරූ අවදියේ කරන ගබ්සා කිරීම් නීත්‍යානුකූල කිරීමෙන්, අඩු වශයෙන් විශේෂ අවස්ථාවලදීවත්, අදාළ කාන්තාවන්ට ලිංගික අධ්‍යාපනික පාඨමාලා හරහා අවබෝධයක් ලබා දෙමින් ගබ්සා කිරීමේ අනුපාතිකය පහළ දැමීමට හැකි වන බව පෙන්වා දෙති.

කටුක තේරීම

දැනට පවතින නීතියේ හැටියට, පිරිමියෙකු අතින් දූෂණයට ලක්වීමෙන් දරුවෙකු පිළිසිඳ ගන්නා ගැහැනියක් වුව එම දරු ගැබ දරා ගත යුතුව තිබේ. ඉහත සඳහන් කළ ආචාර්ය අබේසිංහගේ අධ්‍යයන වාර්තාව පෙන්වා දෙන පරිදි, මේ කාරණා ආශ්‍රයෙන් සම්මුඛ සාකච්ඡාවන්ට ලක් කළ ගැහැනුන්ගෙන් සියයට 75 ක්, මව මානසිකව රෝගාතුර වන්නේ නම් හෝ ඇය දූෂණයක හෝ ව්‍යභිචාරී ලිංගික සම්බන්ධයක වින්දිතයෙකු වන්නේ නම් හෝ ඇගේ කළලයේ ආකූලතා පවතින්නේ නම් හෝ, ගබ්සාවට නීතියෙන් ඉඩක් තිබිය යුතු බවට විශ්වාස කරති.

ගබ්සාවක් කර ගැනීමට ගන්නා තීරණය ගැහැනියකට මුහුණදීමට සිදුවන අතිශය කටුක අත්දැකීමක් බවට සැකයක් නැත. එවැනි තීරණයක් කිසි ගැහැනියක් ආවාට ගියාට හිතුමතේට ගන්නේ නැත. එහෙත් වසරකට 400,000 ක් පමණ ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගබ්සා කර ගනිති. එය සුළුපටු සංඛ්‍යාවක් නොවේ. මේ ගැහැනුන්ව හිරේ දැමීම එම ප්‍රශ්නයට විසඳුමක් නොවේ. එබැවින් ගබ්සාව පිළිබඳ ගැටළුව නීති සංශෝධන මාර්ගයෙන් විසඳා ගත යුතුව ඇත.

පසු-උදෑසන පෙත්ත

ශ්‍රී ලංකාවේ ගබ්සාව තුළ පවතින ඛේදවාචකය වන්නේ, ඉංග්‍රීසි පත්තර කියවන, දැන උගත් සහ යමක් කමක් ඇති පංතියට එහි බලපෑමක් සාමාන්‍යයෙන් නොමැති වීමයි. ඔවුන්ට සහ ඔවුන්ගේ යෞවන දියණියන්ට උපත් පාලන කොපු පිළිබඳ තොරතුරු නිරතුරුව ලැබේ. කැමැත්තෙන් වේවා, බලහත්කාරයෙන් වේවා, ඕනෑම අනපේක්ෂිත ලිංගික සංසර්ගයකින් පසු, ළඟම ඇති ෆාමසියට වහා ගොස් ‘පොස්ටිනෝර්’ නැමැති පෙත්තක් ඔවුන්ට මිල දී ගත හැකිය. ඊනියා ‘පසුව දා-උදෑසන පෙත්ත’ වශයෙන් එය හැඳින්වෙතත්, ඇත්ත වශයෙන්ම එහි සාර්ථකත්වය ඇත්තේ ලිංගික සංසර්ගයෙන් පැය 12 ක කාලයක් තුළ ගතහොත් ය. එම ඖෂධය මාර්ගයෙන් පිළිසිඳ ගැනීමක අවදානම සියයට 95 කින් වළක්වා ගත හැකිය. අනිත් අතට, මේ පෙත්ත ඉතා ලාභ ය. එනම්, රුපියල් 150 ක් පමණ වන්නේය. එසේම, වෛද්‍යවරයෙකුගේ වට්ටෝරුවක් නොමැතිව පවා එය ලබා ගත හැකිය.

මේ ඖෂධය සාර්ථක නොවන අවස්ථාවක (බොහෝ විට, පමණට වඩා කල් ගත වී ගැනීම නිසා), දරුවකු පිළිසිඳ ගැනීමක් සිදු විය හැකිය. ලිංගික සංසර්ගයෙන් පසුව එළැඹෙන ප්‍රථම අවස්ථාවේ මාස් ශුද්ධිය සිද්ධ නොවෙන විට, සාමාන්‍ය පරීක්ෂණයකින් ඒ බව දැන ගැනීමේ හැකියාව තිබේ. ඒ අවස්ථාවේදී ඇය ‘සායනික’ වශයෙන් ගැබ්බර යැයි සැළකේ. එහිදී ප්‍රථම සති නවයක කාලය තුළ වෛද්‍ය පරීක්ෂාව යටතේ ‘වෛද්‍ය ගබ්සාවක්’ කළ හැකිය. ඒ සඳහා ‘ආර්.යු. 486’ නැමැති ක්‍රමය භාවිත කෙරේ. මා සැක කරන පරිදි, වෙනත් රටවලදී මෙන්ම ලංකාවේදීත් බොහෝ ‘නීති විරෝධී’ ගබ්සාවන් සිදු කරනු ලබන්නේ මේ කියන ‘ආර්.යූ. 486’ ක්‍රමය ඔස්සේ ය. කෙසේ වෙතත්, නිසි වෛද්‍ය පරීක්ෂාව යටතේ මේ ක්‍රියාවලිය සිදු නොවෙතොත්, බරපතල තත්වයක් ඇති වී මව රෝහල්ගත කිරීමටත් සිදු විය හැකිය. මෙයින් පෙනී යන්නේ, එකම ක්‍රියාවලියක්, ඇති-නැති භේදය මත දෙයාකාරයකින් ක්‍රියාත්මක වන බව ය. ධනවත් කාන්තාවට පෞද්ගලික සෞඛ්‍ය සේවාවන්ගේ පිළිසරණ තිබේ. එහෙත් දුප්පත් ගැහැනිය මේ සඳහා යා යුත්තේ හොර වෙදෙකු ළඟට ය.

ආචාර ධාර්මික පසුබිම

ගබ්සාවට මොනම ඉඩක්වත් නොතිබිය යුතු යැයි කියනු වෙනුවට, නොමේරූ ගැබක් අවසන් කර ගැනීමේ ආචාර ධාර්මික අවකාශයක් සොයා ගත නොහැක්කේද? වත්මන් ලෝකයේ දස ලක්ෂ ගණන් කාන්තාවන් ලිංගික සංසර්ගයෙන් දින තුනක් ඇතුළත, ඒ සංසර්ගය නිසා සිදු විය හැකි යැයි සැක කෙරෙන ගැබක්, ‘ලෙවනෝජෙස්ටේ‍රල්’ නැමැති ක්‍රමය ඔස්සේ අවසන් කර ගැනීමට පෙළඹෙතැයි කීමෙන් පෙනී යන්නේ, එවැනි ගබ්සාවන් කෙරෙහි ලෝකයාගේ පොදු පිළිගැනීමක් පවතින බවයි. ගැබ් ගැනීමක් සායනික වශයෙන් නිශ්චය කිරීමෙන් අනතුරුව ‘ආර්.යූ. 486’ ක්‍රමය ඔස්සේත් ආරක්ෂාකාරීව සහ විශ්වාසවන්තව ගබ්සාවක් කර ගත හැකිය. එම ක්‍රම දෙකෙන්ම සති 9 ක් දක්වා දිවෙන ගැබක් අවසන් කර ගත හැක්කේය. සති 9 ක කළලයකට, මොන අර්ථයකින්වත් සචේතනිකත්වයක් ඇතැයි කීමට පුළුවන් කමක් ඇත්තේ නැත.

1980 දශකය වන තෙක්, කාන්තාවක් ගැබ් ගෙන ඇත්දැ යි ගැබ් පරීක්ෂාවන් මාර්ගයෙන් දැන ගත හැකි වුණේ, අවසාන ඔසප් වීමෙන් සති 6 ක පමණ කාලයක් ඉක්ම යාමෙන් පසුව පමණි. එනම්, පිළිසිඳ ගැනීමෙන් මාසයකට පමණ පසුව ය. අද කාන්තාවකගේ මූත්‍ර පරීක්ෂණයක් මාර්ගයෙන්, පිළිසිඳ ගැනීමෙන් දින කිහිපයක් ඇතුළත් ඒ බව දැන ගත හැකිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද අප දන්නා කාරණයක් වන්නේ, පිළිසිඳ ගැනීම්වලින් සියයට 30 ක් පමණ, ස්වභාවික ගබ්සාවට ලක්වන බව ය. එනම්, කළලය ඉබේ නැති වන බව ය. ඉතිං, සියලු පිළිසිඳ ගැනීම්වලින් සියයට 30 ක් මුල් කාලයේම ඉබේ ගබ්සා වෙයි නම්, වෛද්‍යවරයෙකුගේ සහාය සහිතව මුල් කාලයේ කර ගන්නා ගබ්සාවක් ඒ සා අපරාධයක් වීමට ඉඩක් නැත.

ස්වභාව ධර්මයානුකූලව සියයට 30 ක ගබ්සාවන් ඉබේ ඇති වන තත්වයක් තුළ අප ඉදිරියේ මතු වන ආචාර් ධාර්මික ප්‍රශ්නය වන්නේ, ගබ්සාව පිළිගත හැකි ද යන්නට වඩා, කොපමණ කාලයක් තුළ කර ගන්නා ගබ්සාව පිළිගත හැකි ද යන්නයි. කළලයක් බෙහෙවින් වැඩුණු අවදියකදී කර ගන්නා ගබ්සාව ගැන බොහෝ දෙනා කම්පාවට පත්විය හැකි වෙතත්, කළලය නොවැඩුණු මුල් කාලයේ කර ගන්නා ගබ්සාවක්, උදාහරණයක් වශයෙන් පිළිසිඳ ගැනීමෙන් මුල් සති 9 ක කාලය තුළ, නිසි වෛද්‍ය සහායක් සහිතව කර ගන්නා ගබ්සාවකට අවසර දීම, ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් පිරිසක් නීතිය ඉදිරියේ අපරාධකාරියන් සේ සළකනවාට වඩා සාරධාර්මික විය හැකිය. මේ කියන සියලු ගබ්සාවන් පාහේ කර ගන්නේ, ශල්‍ය වෛද්‍ය ක්‍රමයෙන් නොව, ඖෂධ මාර්ගයෙන්ම වීම මෙහිදී සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් කාරණයකි.

 “ගබ්සාව ගැන විතරක්, නැත්නම් සමකාමී විවාහ ගැන සහ උපත් පාලන ක්‍රම ගැන විතරක් හැපි හැපී ඉන්න අපිට පුළුවන් කමක් නැහැ.‘ යි ෆැන්සිස් පාප් වහන්සේ කියා තිබේ.

අධ්‍යාපනය සහ උපදේශනය

එසේම, ශ්‍රී ලංකාවේ මෙතරම් අනවශ්‍ය ගැබ් ගැනීම් ඇති වන්නේ මන්ද යන්නත් අප විමසා බැලිය යුතුය. ලංකාවේ ගබ්සාව සඳහා වන වැඩිම ඉල්ලුමක් තිබෙන්නේ, දරුවන් දෙන්නෙකු හෝ ඊට වැඩි දරුවන් ගණනක් සිටින, තවත් දරුවෙකු අවශ්‍ය නොකරන, විවාහක කාන්තාවන්ගෙනි. පවුල් පාලන උපදේශන සහ අධ්‍යාපනය මෙහිදි ඉතා වැදගත් වෙයි.

එසේම, ඉස්සර සිතා සිටියාට වඩා, අද නාඹර වියේදී ලිංගික සේවනයේ යෙදෙති. 12 වැනි සහ 13 වැනි ශ්‍රේණිවල සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3000 කට අධික ප්‍රමාණයකින් සමන්විත නියැදියක් ආශ්‍රයෙන් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇති පරිදි, පිරිමි ළමුන්ගෙන් සියයට 60 කට ආසන්න ප්‍රමාණයක් සහ ගැහැනු ළමුන්ගෙන් සියයට 30 කට ආසන්න ප්‍රමාණයක් ඒ වන විටමත් ලිංගික සංසර්ගයේ යෙදී තිබුණි. ඊටත් වඩා, සියයට 20 ක පමණ තරුණ පිරිසක්, ‘බලහත්කාරී ලිංගික අත්දැකීමට’ (දූෂණයට) ලක්ව තිබුණි. වයස 19 ක තරම් වන එතරම් ශිෂ්‍යාවන් පිරිසක් ‘බලහත්කාරී ලිංගික අත්දැකීමට’ ගොදුරුව ඇත්නම්, එයින් සෑහෙන ප්‍රමාණයක් ශිෂ්‍යාවන් ගැබ් ගැනීමට ඉඩ තිබේ. මන්ද යත්, ස්ත්‍රී දූෂකයෙකු අපරාධයට පෙරාතුව කොන්ඩමයක් පාවිච්චි කරනු ඇතැයි සිතිය නොහැකි බැවිනි. (මීට වඩා විශාල සංඛ්‍යාවක් ඒ ‘බලහත්කාරී ලිංගික අත්දැකීම’ රහසක් වශයෙන් තබා ගන්නා බවත් මේ සමගම මතක තියාගන්න). තරුණ දැරිවියට, තමාගේ අබග්ගය අම්මාටවත් කියාගත නොහැකි නම් සහ ගොඩවෙදුන්ගේම පිහිට පැතීමට සිදු වෙයි නම්, තත්වය මොන තරම් අවාසනාවන්තදැ යි කෙනෙකුට සිතා ගත හැකිය.

තම පුරවැසියන් විවිධ තත්වයන් යටතේ ලිංගික සේවනයේ යෙදෙන බව රටක් වශයෙන් අප පිළිගත යුතුය. ඒ මගින්, අනවශ්‍ය ගැබ් ගැනීම් සිදුවන බවත්, ඊටත් වඩා, ලිංගික වශයෙන් බෝ වෙන රෝගාදියට ඒ මගින් ගොදුරු විය හැකි බවත් පිළිගත යුතුය. ඒ නිසා අවශ්‍ය කරන්නේ, ලිංගික අධ්‍යාපනය පිළිබඳ හරවත් පාසල් අධ්‍යාපනයකි. එහෙත් මේ අභියෝගයට මුහුණදීම සඳහා දැනුවත් වීම් ලංකාවේ ඉතා අල්ප බව කිව යුතුය.

ප්‍රථම ඔසප් වීමේ පටන්ම ජීවිතය පිළිබඳ වැදගත් කරුණු තරුණ දැරියන්ට කියා දිය යුතුව ඇත. වැඩියත්ම, අනාර්ක්ෂිත ලිංගික සේවනයේ ඇති අවදානම ගැන ඔවුන් නිසියාකාරයෙන් දැනුවත් විය යුතුය. ඒ අරභයා අවශ්‍ය කරන්නේ, මොට්ට ධර්ම දේශනා නොව, ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික කාන්තාවන් මුහුණදෙන සැබෑ අබග්ගය සංවේදීව තේරුම් ගැනීමට වෑයම් කිරීමයි. ලක්ෂ ගණන් ගැහැනුන් සිරගත කිරීම නීතියේ ඇති එකම විසඳුම විය හැකි වෙතත්, අප ඊට වඩා ප්‍රඥාගෝචර විය යුතු නැත් ද?

කෙසේ වෙතත්, මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් එක් යහපත් ප්‍රවණතාවක් ද දක්නට ලැබේ. මේ දක්වා දැඩි ගබ්සා-විරෝධී ස්ථාවරයක සිටි කතෝලික පල්ලිය, දැන් එම මතය තරමක් ලිහිල් කරමින් සිටී. “ගබ්සාව ගැන විතරක්, නැත්නම් සමකාමී විවාහ ගැන සහ උපත් පාලන ක්‍රම ගැන විතරක් හැපි හැපී ඉන්න අපිට පුළුවන් කමක් නැහැ.‘ යි ෆැන්සිස් පාප් වහන්සේ කියා තිබේ. මීට පෙර, සමකාමී විවාහ පිළිබඳ පල්ලියේ ස්ථාවරය විමසා සිටි අවස්ථාවේ උන්වහන්සේ පෙරලා විමසා සිටියේ, “ඒක විනිශ්චය කරන්න මං කවුද?” යනුවෙනි.

තමා නායකත්වය සපයන පල්ලියට ඉදිරියෙන් ඇති “කතෝලික” (විශ්ව) යන්නෙහි අර්ථය පාප්තුමා දනිති. “අපේ චින්තනයට අනුබල දෙන මේ පල්ලිය හැමෝගෙම නිවහන මිසක්, තෝරා ගත් පිරිසක් විතරක් වැද්ද ගන්න පුංචි පල්ලියක් නෙවෙයි.” යනුවෙන් ඔහු කියූ බව වාර්තා විය. “සාර්වත්‍රික පල්ලියේ ළමැද, අපේ අවිශිෂ්ටතාවට රැකවරණය සපයන කැදැල්ලක් විය යුතු නැතැ” යි ඔහු තවදුරටත් කියා තිබේ. ගබ්සාව පිළිබඳ යෝජිත ප්‍රතිසංස්කරණ ඉදිරියේ ලංකාවේ පල්ලිය හරහට නොසිටිනු ඇතැයි මෙයින් අපට විශ්වාස කළ හැකි ද? සමහර විට එසේ නොවිය හැකිය.

(2018 ජනවාරි 18 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ වෙබ් අඩවියේ පළවූ Abortion: The Agony of a Nation නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

Back to Top