Sri Lanka Brief
පුවත්විවරණඅත්හළ රන් යතුරු සහ රට හමුවේ ඇති අභියෝගය – සුනිල් ජයසේකර

අත්හළ රන් යතුරු සහ රට හමුවේ ඇති අභියෝගය – සුනිල් ජයසේකර

by

ජායාරූපය: මගහැරුණ, මෑත කාලීන අවස්ථාවන් දෙකක් ද තිබුණි. පළමුවැන්න සුනාමි ව්‍යසනයෙන් පසු අපට ජාතියක් ලෙස නැ‍ඟී සිටීමට බලකෙරුණු අවස්ථාවයි.

ශ්‍රී ලංකාව ලෝකය හමුවේ බලවත් ලෙස නැ‍ඟී සිටීම සඳහා විවර වූ ස්වර්ණමය අවස්ථාවන් කිහිපයක්ම අප විසින්ම අහිමි කරගෙන තිබේ. එම කරුණ මේ රටේ බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව ඇත්ද යන්න පැහැදිළි නැතත් නියත වශයෙන්ම එහි බරපතළ සත්‍යයක් ඇති බව පැහැදිළිය. ඊට උදාහරණ ගණනාවක් තිබේ. සුනාමි ව්‍යසනයෙන් අප රට පීඩාවට පත්වීමෙන් පසු අන්තර්ජාතික වශයෙන් රටට ගලා ආ ආධාර හා පරිත්‍යාග සැලකීමේ දී මෙන්ම අප රට පිළිබඳව සමස්ත ලෝකයම අවධානය යොමුකරන ලද අවස්ථාව ඉන් එකක් පමණකි.

අද පවා මේ පිළිබඳව ගැඹුරු අවධානයක් යොමුකළ යුත්තේ අප විසින් අහිමි කරගත් අවස්ථා පිළිබඳව ආඩපාලි කීමට නොවේ. රටට වැරදුණු තැන් නැත්නම් වරද්දා ඇති තැන් නිවැරදිව හඳුනාගෙන අනාගතයේ එවැනි අවස්ථාවලින් මි දී සිටීමට ය. සත්‍යවශයෙන්ම අපට අහිමි වූ එකී ස්වර්ණමය අවස්ථාවන් පිළිබඳව නැවත මෙනෙහි කිරීම තුළ ඉතා පැහැදිළි වන සත්‍යයක් තිබේ. එනම් එම සියලු අවස්ථා අහිමි කරගෙන ඇත්තේ මේ රටේ ජනතාව විසින් නොවන බවයි. ඒ සඳහා වගකිව යුතුව ඇත්තේ ඒ ඒ යුගයන්හි දී මේ රට පාලනය කළ පාලකයන් බව එහි දී මැනවින් තේරුම්ගත හැකිය.

අහිමි වූ අවස්ථා

සත්‍යවශයෙන්ම අප එසේ අහිමි කරගෙන ඇති ස්වර්ණමය අවස්ථාවන් මොනවාද? ඒ සියල්ල සඳහා දැක්විය හැකි උදාහරණ පිළිබඳ ලැයිස්තුව තරමක් දිගු විය හැකි නිසා ඒ සියල්ල පිළිබඳව අවධානය යොමුකිරීම පසුවට තබා තීරණාත්මක ප්‍රධාන අවස්ථා කිහිපයක් පිළිබඳව පමණක් හෝ මේ මොහොතේ අවධානය යොමුකිරීම ඉතා වැදගත්ය. එහි දී අප ප්‍රථමයෙන්ම අවධානය යොමුකළ යුතු වන්නේ අප අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබාගත් මොහොතේ දී රට තුළ පැවැති යහපත් තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට නොහැකිවූයේ මන්ද යන්න පිළිබඳව ය. අද මේ රටේ බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකි වුවත් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබාගත්තේ ආසියානු කලාපයේ පැවැති ශක්තිමත්ම රටක් ලෙසට ය.

එදා අපගේ දළ ජාතික නිෂ්පාදනය සැලකීමේ දී රටක් ලෙස අප දෙවැනි වී ඇත්තේ ජපානයට පමණකි. එදා ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම සැලකීමේ දී අප ජපානයට දෙවෙනි වී ඇත්තේ එක ඩොලරයකිනි. ශක්තිමත් අපනයන ආර්ථිකයක් ද කලාපයේ අන් සෑම රටකටම වඩා දියුණු මානව සම්පතක් ද හිමිව තිබූ අප රට එකල ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව ඉතාමත්ම සාමකාමී රටක් විය. එහෙත් ජාතික රාජ්‍යයක් කරා අප පියනැඟූ ඒ මොහොත මේ රටේ සියලූ ජනවර්ග, ආගමිකයන් හා අනෙකුත් ස්වදේශීය ජන කණ්ඩායම්වල පිළිගැනීම හා විශ්වාසය මත පදනම්ව ඒකාබද්ධ කරගැනීමට අප අසමත් විය. පසුකාලීනව මේ රටේ පැනනැගුණ බොහෝ අර්බුදවලට මූල බීජ සපයා ඇත්තේ අපට එදා වූ ඒ වැරදීම හෝ මගහැරීම හෝ නිසා බව අද වනවිට බොහෝ දෙනෙක් පිළිගන්නා කරුණකි.

77 වැරදීම

අපට මගහැරුණ තවත් එක් තීරණාත්මක හා ස්වර්ණමය අවස්ථාවක් ලෙස 1977 වසරේ දී රට තුළ ඇති වූ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හඳුනාගත හැකිය. සත්‍යවශයෙන්ම කුමන අඩුපාඩුකම් පෙන්වා දිය හැකි වුවද ශ්‍රී ලංකාව නූතන ලෝකයට යා කළේ 1977 වසරේ දී හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මගිනි. එම යුගයේ දී මෙන්ම ඊට පසු ඒ ආකාරයට විවෘත ආර්ථික පිළිවෙතකට යොමුවූ ඉන්දියාව, වියට්නාමය, ඉන්දුනීසියාව හා චීනය වැනි රටවල් ඒ තුළ ලබාගෙන ඇති දැවැන්ත ප්‍රගතිය සලකා බැලීමේ දී එදා අපට වැරදුණේ කෙසේද නැතහොත් මගහැරුණ තැන් මොනවාද යන්න තේරුම්ගත හැකිය. එදා අප රටක් ලෙස අපේ ආර්ථිකය විවෘත කරනවාට අමතරව දේශපාලන වශයෙන් දූෂණයට ද මගක් විවෘත නොකළේ නම්, දූෂණයට, දේශපාලනික අනුග්‍රහයන් ලබා නොදුන්නේ නම් ඇතැම්විට අද වනවිට අප ආර්ථික වශයෙන් දැවැන්ත පරිවර්තනයකට යොමුවී තිබෙන්නට බොහෝ ඉඩකඩ තිබුණි.

සුනාමිය

ඒ ආකාරයට මගහැරුණ, මෑත කාලීන අවස්ථාවන් දෙකක් ද තිබුණි. පළමුවැන්න සුනාමි ව්‍යසනයෙන් පසු අපට ජාතියක් ලෙස නැ‍ඟී සිටීමට බලකෙරුණු අවස්ථාවයි. එහෙත් ඒ වෙනුවට එදා අපේ හිටපු පාලකයන් උනන්දු වූයේ සුනාමි ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත්ව සිටි ජනතාවට ලැබුණ ආධාර හා පරිත්‍යාග කෙසේ කොල්ලකන්නේ ද යන්න පිළිබඳව ය. හෙල්පින් හම්බන්තොට අරමුදල ඒ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණයකි. හෙල්පින් හම්බන්තොට අරමුදලේ හොරකම පිළිබඳව අධිකරණය හමුවේ පවරන ලද නඩුව විභාග කර තීන්දුව ලබාදුන් මේ රටේ හිටපු අග්‍රවිනිශ්චයකාරවරයා ඒ පිළිබඳ කළ හෙළිදරව්ව අනුව මේ රටේ දේශපාලකයින් මහජන පීඩාවක දී පවා හැසිරී ඇති තුච්ඡ ආකාරය තේරුම්ගත හැකිය.

ප්‍රභාකරන් පරාජය කිරීම

ඊට පසුව අපට හිමි වූ ස්වර්ණම අවස්ථාව උදාවූයේ එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්කිරීමත් සමඟය. සත්‍යවශයෙන්ම එය අප ලැබූ සුවිශේෂි ජයග්‍රහණයක් බවට අවිවාදිතය. යුද්ධයෙන් තොර සාමකාමී රටක් ලෙස මේ රට ස්ථීරසාර ලෙස ගොඩනැඟීමට ලැබූ මහාර්ඝ අවස්ථාවක් ඒ සමගම නිර්මාණය විය. මේ රටේ ජාතීන් අතර ගොඩනැ‍ඟී පැවැති අවිශ්වාසය හා මතබේද දුරුකරලමින් සියලූ ජනවර්ගයන් හි විශ්වාසය දිනාගන්නා දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට එය අනගි මොහොතක් විය. එහෙත් අප රටේ එදා සිටි පාලකයාට ඒ සඳහා වන දූරදර්ශීභාවයක් තබා මූලික හැඟීමක්වත් තිබී ඇති බවක් නොපෙනේ. එහි දී ඔහු එම තත්ත්වය උපයෝගී කරගත්තේ යුද ජයග්‍රහණය තමන්ගේ හා තම පවුලේ සදාකාලික ජයග්‍රහණයක් බවට පත්කරගැනීමට ය. යුද්ධයේ ජයග්‍රහණය තුළ තමන්ගෙන් හා තම පවුලෙන් රටට වියහැකි ඕනෑම අගතියක් මේ රටේ ජනතාව ඉවසා සිටිය යුතුව ඇතැයි ඔහුගේ නිගමනය විය. ඊට එරෙහිව මතු වූ සියලූ බලවේග යකඩයෙන් හා ලෙයින් මර්ධනය කර මේ රටේ සාරය තම පවුලේ බූදලයක් බවට ඔහු පත්කර ගත්තේ ඒ නිසාය.

එහෙත් අවසානයේ ඒ සියල්ල උඩු යටිකුරු කරවීමට ගතවූයේ වසර කිහිපයකි. ඒ තුළ අද වනවිට මේ රට දේශපාලනික හා සමාජීය වශයෙන් පරිවර්තනයකට ලක්වුවද තම පවුලට අහිමි වූ දේශපාලන හා ආර්ථික බලය යළි අත්පත් කරගැනීමේ අරගලයකට එකී බලවේග පිවිසීම තුළ අද වනවිට ද ඇත්තේ දේශපාලන බල පොරයකට රට විවෘතව ය.

චෞර ප්‍රභූ සන්ධානය

ප්‍රභූ දූෂිත සන්ධානයක් අද වන විට නිර්මාණය වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ හෙළිදරව්වම ඊට නිදසුනකි. දූෂණය හා වංචාව ඉහවහා ගොස් ඇති රටක, රටේ අනාගත පැවැත්මට එය අතිශයින්ම බරපතළ අහිතකර බලපෑමක් සිදුකරන තත්ත්වයක් තුළ මේ රටේ දේශපාලනයට අරක්ගෙන ඇති බොහෝ චරිත හා බලවේග දූෂණයට හා වංචාවට එරෙහිව මතුවන ප්‍රතිවිරෝධයන් යටපත් කිරීමට හා මර්දනය කිරීමට සංවිධානගතවීම තුළ ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙන ප්‍රභූ සන්ධානය සතු බලය තේරුම්ගත හැකිය.

ඒ සඳහා දැක්විය හැකි සරල උදාහරණයක් තිබේ. එනම් මහා බැංකු බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සහ බරපතළ වංචා හා දූෂණ පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස හඬනැඟූ පිරිස අද කටයුතු කරන ආකාරය අවබෝධ කර ගැනීම තුළ ඒ බව තේරුම්ගත හැකිය.

එහි දී ජනාධිපතිවරයා ඉතා පැහැදිලි ලෙසම අවධාරණය කරන්නේ දූෂිත බලවතුන් හෙවත් දූෂණයට මූලික වී ඇති මේ රටේ සමාජ හා ආර්ථික බලයන් අත්පත් කරගෙන සිටින ප්‍රභූවරුන් අද වන විට සන්ධානයක් ගොඩනගා ගනිමින් එම වාර්තාව විවාදයට ගැනීම පවා කල්දමා ගෙන ඇති බවයි. ජනාධිපතිවරයා එහි දී පෙන්වා දෙන ආකාරයට මෙම චෞර ප්‍රභූ සන්ධානයට මේ රටේ දේශපාලන පක්ෂ පාට හෝ ජාති ආගම් වශයෙන් භේදයක් නොමැතිව ප්‍රබලතම පිරිසක් එක්වී සිටිති. ඔවුන්ගේ බලවත්භාවය හා ඔවුන් සිදුකර ඇති ක්‍රියාකාරකම්වල දැවැන්ත අනිටු ප්‍රතිවිපාක තේරුම් ගැනීම සඳහා ජනාධිපතිවරයා පැහැදිලි නිදර්ශනයක් ද රට හමුවේ තබා ඇත. එනම් 2005 සිට ගත වූ වසර දහයක කාලය තුළ රුපියල් ට්‍රිලියන 10 ක් තරම් අති දැවැන්ත වූ ණය කන්දරාවක් ශ්‍රී ලංකාව ලබාගෙන ඇතත් එම ලබාගත් දැවැන්ත ණය මුදලට අදාළව අද වන විට වත්කම් ලෙස පෙන්වීමට හැකිව ඇත්තේ ට්‍රිලියන එකක් වැනි මුදලකි.

(ට්‍රිලියනයක් යනු රු. මිලියන දස ලක්ෂයක් ලෙස සැලකීමේ දී ට්‍රිලියන 10 ක් යනු රුපියල් දස ලක්ෂ කෝටියක් තරම් විශාල මුදලකි) ඒ අනුව මේ රටේ ප්‍රභූ චෞරයන් විසින් රටට අහිමි කර ඇති දැවැන්ත මුදල් කන්දරාව මැනවින් තේරුම් ගත හැකිය. එහි දී වර්තමාන පාලන සමයට අදාළව මතුව ඇති අභියෝගය ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. ඒ අනුව යහපාලන රජය යටතේ ගත වූ වසර තුනක කාලය තුළ මුහුණ දීමට සිදුව ඇති බලවත්ම අභියෝගය ලෙස සැලකිය හැක්කේ රජයේ ආදායම් උපදවන ආයතන පවා පෞද්ගලීකරණයට ලක් කිරීමට ඇතැමුන් දක්වා ඇති උනන්දුවයි. එම කරුණට අදාළව ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එවැනි ඇතැම් ක්‍රියාමාර්ග සිදුව ඇත්තේ කැබිනට් මණ්ඩලයට ද නිසි තොරතුරු ලබා නොදෙමිනි. එය අතිශයින්ම බරපතළ තත්ත්වයකි. ඒ අනුව අද වනවිට රට පවතින්නේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් අභිමුවය.

මෙම හැරවුම් ලක්ෂය බොහෝවිට ඉදිරි පළාත්පාලන මැතිවරණයේ දී තීරණාත්මක ලෙස විසඳුමකට යොමුකරනු ඇතැයි සිතිය හැකිය. මේ රටේ දැනුවත් සමාජය මෙවර පළාත් පාලන මැතිවරණය කෙරෙහි බලවත් උනන්දුවක් දක්වන්නේ ද ඒ නිසාය. කෙසේ හෝ මේ රට ප්‍රජාතන්ත්‍රවා දී, සාරධර්මයන්ට ගරු කරන දූෂණයෙන් තොර ආර්ථික සංවර්ධනයකට යොමුකරන නව යුගයක් කරා ඒ තුළ හෝ යොමුවන්නේ නම් එය ද සැලකිය හැක්කේ ස්වර්ණමය අවස්ථාවක් ලෙසට ය.

සුනිල් ජයසේකර

Back to Top