Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගසාධාරණ ජන්දය ජෝන් බාස්ට යෑම -සුනන්ද දේශප්‍රිය

සාධාරණ ජන්දය ජෝන් බාස්ට යෑම -සුනන්ද දේශප්‍රිය

by

ජායාරූපය: දෙන්න දෙපැත්තෙන්, සාංචි මැද්දෙන්.

සාධාරණ සහ නිදහස් මැතිවරණය විපක්ෂයේ සිටි යූඇන්පීයේ  ප්‍රධාන ඉල්ලීමක් වූ බව නොදන්නා කෙනෙක් නැත. රාජපක්ෂ පාලනය පරාජය කිරීමට සාධාරණ සහ නිදහස් මැතිවරණය කොතරම් තීරනාත්මක වූයේද  යන්න නොදන්නා අයෙක්ද නැත.

එනමුත් දැන් යූඇන්පීයේ ප්‍රධානීන් ගණනාවක්ම සාධාරණ ජන්දය ජෝන් බාස්ට යවා තිබේ. වැඩේ ජොන් බාස්ට ගිහින් යන වහරේ ආරම්භය  කොතැනකදැයි සෙවීම අමාරු ය. නමුත් දැන් අලුත් ජොන් බාස් කෙනෙක් එම වහරට පණ පොවමින් සිටී. ඒ කළක් රාජපක්ෂ සමඟ කදේ වැටී සිටි එජාප පතාකයකු වන ජෝන් අමරතුංගය.

කලින්ම ජෝන් බාස් ගල් බෝරයක් ගසමින් කීවේ “මෙදා සැරේ රජයත් අපේ පොලීසියත් අපේ නිසා  මේ සැරේ ආවොත් ගහල එලවනව ඕන එකෙකුට” යැයි කියාය. එම කියමනට  අන්තර් ජාල සමාජ ජාලන්හි හැරුණ විට වෙනත් ලොකු විරුද්ධත්වයක් මතු වූයේ නැත. රාජපක්ෂවරු පමණක් එම ප්‍රකාශය ගැන මැතිවරණ කොමිසම පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි කියා සිටියේ ය.

රාජපක්ෂවරු  මෙසේ ප්‍රකාශ කරන්නේ 2015 ජනාධිපතිවරණයෙහිදී තමන් විසින් කරන ලද අනේක දූෂණ සහ අක්‍රමිකතා මෙරට දේශපාලන ඉතිහාසයෙන් මැකී ගොස් ඇතැයි සිතාගෙන විය යුතුය. රාජපක්ෂ ජනාධිපති  ධූරය හෙබවූ  2005 සිට 2015 දක්වාම සාධාරණ සහ නිදහස් මැතිවරණයට ඉඩක් තිබුණේ නැත. ඒ කෙසේ වෙතත් නමුත් ජොන්ගේ කතාවට විරුද්ධවීමට රාජපක්ෂවරුන්ට  අයිතියක් නැතැයි කිව නොහැක.

ජොන් එතැනින් නැවැතුණේ නැත. කලම්බු ජර්නල් නම් වෙබ් අඩවියකට කතා කරමින් කියා සිටියේ ජන්ද ගැනීම පිනිස තමන් සෑම ජන්දදායක නිවසකටම අභ්‍යාස පොත් බෙදා දෙන බවත් දරුවන් කැඳවා තෑගි බෙදා දෙමින් සිටින බවත්ය. නමුත් ජොන්ගේ කට වසන්නට  කෙනෙක් නැත.

මෙරට දේශපාලන පක්ෂවලට සාධාරණ සහ නිදහස් මැතිවරණ අවශ්‍ය වන්නේ තමන්ට රාජ්‍ය බලය නැති විට පමණි. දැන් රාජපක්ෂවරුන් රඟපාන්නේ එම විපක්ෂ භූමිකාවයි. යූඇන්පිය තමන්ට රාජ්‍ය බලය තිබෙන බැවින් සාධාරණ සහ නිදහස් මැතිවරණය ගැන කතා නොකරනවා පමණක් නොව රටපුරාම පුංචි පුංචි ජොන්බාස්ලා නිර්මාණය කරමින් සිටිති.

එජාපයේ මී‍ලඟ නායකත්වය අපේක්ෂාවෙන් සිටින අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ‘සුසනට අරුණ  වැඩ සටහනද මැතිවරණ සමයෙහි කැරෙන අපචාරයක් බව පැහැදිලිය. මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසට ලිඛිතව දන්වා තිබෙන බවද වාර්තා වේ.

ප්‍රේමදාසගේ සසුනට අරුණ බෙදිලි ද රාජපක්ෂවරුන්ගේ උදහසට ලක්ව තිබේ. එය නම් හාස්‍යට කරුණකි. 2015 ජනාධිපතිවරණ සමයෙහි සිල් රෙදි බෙදීම සාධාරණ කරමින් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට වෙනුවෙන් සම්මාදම් එකතු කළ රාජපක්ෂ හවුල දැන් ප්‍රේමදාසගේ සසුනට අරුණට විරුද්ධය. රෙදි ඇඳගෙනය. එනමුත් හෙළුවෙනි.

ගංවතුරක් අවසන්වීමෙන් පසු පේලි ගැසී සහනාධාර අපේක්ෂාවෙන් සිටින පරිද්දෙන් මැතිවරණ සමයන්හි සිල් රෙදිද පාසැල් අභ්‍යාස පොත්ද ලාබ බඩු මල්ලක්ද රැකියා සඳහා බඳවා ගැනීමේ ඉල්ලුම් පත්‍රද ලබා ගැනීම සඳහා මෙරට ජහමනයා පෙළ ගැසීම සාධාරණ සහ නිදහස් මැතිවරණකට කණ කොකා හැඩීමක් නොවේද?.

පාලකයා ජනතාවගේ හැටියටය‍යි කියන්නේ නිකමට නොවේ. ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් එය ඕනෑවටත් වඩා සැබෑය.

නීතියෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සම්ප්‍රදායක් ගොඩ නැගිය නොහැකිය.  සෑම නීතියකින්ම බේරී යෑමට කපටි දේශපාලනඥයෝ ක්‍රම සහ විධි සොයා ගනිති. අභ්‍යාස පොත් බෙදීමට තහනම් කළ හැකි බැවින් කුකුල් පැටවුන් බෙදති. මැකොට අනුව කුකුල් පැටවුන් බෙදීම නතර කළ නොහැක්කේ උන් දවස් 45කදී ශීතකරණයට යැවිය යුතු නිසාය.

සාධාරණ සහ නිදහස් මැතිවරණයකට අවශ්‍ය දේශපාලන පරිසරය සකස් කිරීමේ ප්‍රමුඛ වගකීම පැවැරෙන්නේ ආණ්ඩුවටය. සෑම දේශපාලන පක්ෂයකටම සමාන තරඟ භූමියක් නිර්මානය කළ හැක්කේ ඒ සඳහා හුදෙක් නීති රීති පැනවීමෙන් නොව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමෙනි.

මැතිවරණයක් ඔන්න මෙන්න කියා තිබියදී අනෙක් පක්ෂවලින් බා ගන්නා මංත්‍රීවරුන්ට සහ වරියන්ට ඇමැතිකම් දී සාධාරණ මැතිවරණයක් ගැන කතා කිරීම විහිලුවකි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි යෙදෙන සිය අපේක්ෂකයින්ගේ තනතුරු පවා අහිමි විය හැකියැයි යනුවෙන්  ශ්‍රීලනිප ප්‍රකාශකයකු වන ඇමැති ලක්ෂ්මන් යාපා කළ ප්‍රකාශය හොඳය. ඔහුගේ පක්ෂයේ නායකයා වන සිරිසේන රාජපක්ෂ පිලෙන් පැන ආ මංත්‍රීවරියකට ඇමැතිකම දීමට ජන්දය අහවර වනතුරු සිටියා නම් ඊටත් වඩා හොදය.

ගුරුවරියක දණ ගැස්වූ අඥාන දේශපාලනඥ සරත් ආනන්ද මෙන්ම 100ක් කන්‍යාවන් කෙලෙසීම සැමැරීමට අරක්කු පාටි දමූ බව කියන සාරුවා ද දැන් සිරිසේනගේ ඊනියා පිරිසිදු දේශපාලනයේ නියමුවන්ය. සාරැවාගේ බිරිඳගේ ජන්ද පෝස්ටර්වල ඉන්නේ පිරිසිදු දේශපාලනය ගැන කතා කරන ලක්ෂ්මන් යාපාය.

ආණ්ඩුවේ ජනමාධ්‍ය බෙදා ගෙන සහ  බදා ගෙන පාලනය කරන්නේ අගමැති සහ ජනපතිගේ දේශපාලන හිතවතුන්ය. ඔවුන් පත් කරන ලද්දේ පක්ෂ දේශපාලනය ගෙන යෑම පිනිසය. දෙනොගේම මාධ්‍ය අද මෙරට පවත්නා ඉතාම අගතිගාමී මාධ්‍ය බවට පත්ව තිබේ. ඒවායේ විපක්ෂ දේශපාලනඥයින්ට කිසිදු සාධාරණ ආවරණයක් ලබා දෙන්නේ නැත. සාමාන්‍යයෙන් ජාතික යැයි කියා ගන්නා  නමුත් ඇත්ත වශයෙන්ම නම් ශ්‍රීලනිප – එජාප රෑපවාහිනියෙහි එක් ප්‍රවෘත්ති ප්‍රකාශයක ආණ්ඩුවේ මැති ඇමැතිවරු හත අටක්වත් සිටිති. ජනපති සිරිසේන අනීවාර්යය. හරියට ජනපති ප්‍රේමදාස කාලයේ මෙන්ය.

රාජ්‍ය මාධ්‍ය දේශපාලන වශයෙන් අවභාවිත කිරීම පැහැදිලිවම රාජ්‍ය දේපල අවභාවිත කිරීමකි. මන්ද යත් රාජ්‍ය මාධ්‍ය පාලක දේශපාලන පක්ෂයට අයත් ඒවා නොවන නිසාය. අද මෙරට ප්‍රවෘත්ති සම්බන්ධයෙන් වැඩි මහජන විශ්වාසයක් දිනාගෙන සිටින්නේ පුද්ගලික රෑපවාහිනී නාලිකා දෙකක් බව නොරහසකි. ඊට හේතුව එම නාලිකාවන් විසින් ප්‍රවෘත්තිවලට මුල් තැන දීමය.

රාජ්‍ය මාධ්‍ය මගින් මැතිවරණ ජයගත නොහැකි බව බලයේ සිටින කිසිදු දේශපාලන පක්ෂයක් තේරුම්  නොගන්නා බව ජේ.ආර්. ජයවර්ධන යුගයේ සිටම දක්නට ලැබෙන අතාර්කික යතාර්තයකි. රාජ්‍ය පාලිත ජනමාධ්‍ය ජනතාවගේ විශ්වාසය දිනා ගෙන නැත.

මැතිවරණ වාර්තාකරණයේ අගතිගාමිත්වය පෙන්වන අපූරු නිදසුනක් නම් ජවිපෙ සම්බන්ධයෙන් කැරෙන වාර්තා කරණයයි. රාජ්‍ය පාලිත රෑපවාහිනී බලන විට සිතෙන්නේ ජවිපෙ රාජපක්ෂ විරෝධී දේශපාලනයක් කරන බවයි. රාජපක්ෂවාදී  පුද්ගලික නාලිකා බලන විට සිතෙන්නේ ජවිපෙ එජාප සහ ශ්‍රීලනිප විරෝධී දේශපාලනයක් කරන බවයි. දෙපාර්ශවය ප්‍රචාරය කරන්නේ තමන්ට අවශ්‍ය දේ පමණි. ජවිපෙ අනාතය‍.

එක් අතකට මෙම පලාත්පාලන මැතිවරණය මහා මැතිවරණකට වඩා දූෂණය වීමට ඉඩ තිබේ. මන්ද යත් පලාත්පාලන ආයතනයක එක් කොට්ඨාශයක පමණක් දූෂිත ක්‍රියාවන් මගින් කවර හෝ අපේක්ෂකයකුට ජය දිනාගත හැකි නිසාය. බඩු බෙදීම යනාදී අවභාවිතයන් වර්ධනය වීමට ඉඩ ඇත්තේ ඒ නිසාය. එනයින් ජොන් බාස් ප්‍රපංචය ජනගත වනු ඇත.

ජොන්බාස් ප්‍රපංචය පැරදවීම සඳහා එනම් සාධාරණ සහ නිදහස් මැතිවරණයක් සහතික කර ගැනීම සඳහා ජනමාධ්‍ය දායකත්වය ද  තීරණාත්මක සාධකයකි. කණගාටුවකට මෙන් එවැනි ප්‍රවණතාවයක් ජනමාධයයෙහි දක්නට නැත.

සමාජයක් ලෙස අපට මැතිවරණ දූෂණ පිටු දැකීමට අවශ්‍යතාවයක් නැත්නම් අවසානයේදී එහි වන්දිය ගෙවීමට සිදුවනු ඇත්තේ ද අපටමය.  අප සාධාරණ සහ නිදහස් මැතිවරණයක් ගැන උනන්දු විය යුත්තේ එනිසාය.

පසු සටහන:

මා ලියූ පසුගිය සටහනකට අප මිත්‍ර වසන්ත ප්‍රිය රාමනායක පිළිතුරක් එවා තිබෙනු දුටිමි. රාමනායක ගැන මට කීමට ඇත්තේ මෙපමනකි: ‘දන්නෝ දනිති. නොදන්නෝ ලනු කති ҆ කියා පමණය.

Back to Top