Sri Lanka Brief
පුවත්විවරණඋන්ඩය මල්ටි බැරල්වීම සහ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය

උන්ඩය මල්ටි බැරල්වීම සහ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය

by

ධනුශ්ක සිල්වා විසිනි.

2015 ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයට ව්‍යාතිරේකයකි. සාම්ප්‍රදායික දේශපාලන තලයේදී සාමාන්‍යයෙන් ප්‍රතිපක්ෂ වන ශ්‍රී.ල.නි.ප කොටසක් හා රනිල් විකමසිංහ ප්‍රමුඛ මුළු එ.ජා.ප යත් ඉතිසාසයේ පළමුවරට බහුතර මිත්‍ර පාර්ශවය බවට පත් වේ. මැතිවරණයේදී ජනතාව ඉදිරියේ තබන ප්‍රධාන පොරොන්දු තුනෙන් එකක් නම් දේශපාලන පක්ෂ, පසමිතුරුකම්, මතවාදීමය වෙනස්කම්වලට නායකත්වය දෙමින් ඒ සියල්ල අභිභවා යන ආකාරයේ නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමයි. එහිදී 72 හා 78 ව්‍යවස්ථාවල මූලික දුර්වලතා හදුනාගෙන අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල හා ව්‍යවස්ථානුකූලවාදය ශක්තිමත් කරන නව ව්‍යවස්ථාවකින් යහපාලනයේ කුළුණු සවිමත් කිරීම අනෙක් පොරොන්දු අතර රටේ අනාගතය සම්බන්ධයෙන් වැදගත්ම පොරොන්දුව වශයෙන් සැළකිය හැකිය. මන්ද වසර 30 යුද්ධකින් පසු ගොඩනැහෙන සමාජයක සංහිදියාව, වාර්ගික එක්සත්කම යන මහ පොදුසාධක මෙම පොරොන්දුව මත රදාපවතින නිසයි.

නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට  අවශ්‍ය මූලික අදියරේ කටයුතු රජය මේ වනවිට හමාර කරමින් සිටී. ඒ සඳහා ජනතාවගේ අදහස් විමසා ඇති අතර දේශපාලන පක්ෂ වලටද තම මතය විවෘතව ප්‍රකාශ කිරීමට වේදිකාවක් සපයා දී තිබේ. එහෙත් තවමත් මෙරටට ව්‍යවස්ථාවක් අවශ්‍යද අනවශ්‍යද කාරණය ගැන තිබෙන්නේ වාදයකි. විශේෂයෙන් ම මෙරට පාලන ධාරාවේ ප්‍රධාන නීති වෙනස් කිරීමේ (ව්‍යවස්ථාව සම්පාදනය වැනි) ලිට්මස් පරීක්ෂණය වන මහා සංඝරත්නයේ එක් කොටසක් මෙරටට නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවටත් පවත්නා ව්‍යවස්ථාවට සංශෝධන කිහිපයක් එක් කර තවදුරටත් එය කල්තබා ගත හැකි බවටත් තරයේ විශ්වාස කරයි. මේ තත්වය මත ඒකාබද්ධ විපක්ෂය රටේ ආරක්ෂාව,ඒකීයභාවය හා බුද්ධාගම යන කාරණා නව ව්‍යවස්ථා නිමැවුම් වාර්තා සමඟ තුලිත කර 78 ව්‍යවස්ථාව රැකගැනීමේ අනවතර මෙහෙයුමක නිරතව සිටී. එමනිසා නව ව්‍යවස්ථාවකට එරෙහිව පවතින ව්‍යවස්ථාව (New constitution Vs. 78 constitution) රැකගැනීමේ උත්සහයක් වෙත ඔවුන් තල්ලුවෙමින් සිටී.

කෙසේවෙතත් මූලික වශයෙන් නිදහසෙන් පසුව සාධාරණ සමාජයකට අවශ්‍ය ව්‍යවස්ථානුකූල ගැන හරි අත්දැකීමක් සැපයීමට මෙරට කිසිදු ව්‍යවස්ථාවකට නොහැකිවීම හා 78 වවස්ථාව විසින් ජනනය කළ තවමත් විසදා ගැනීමට නොහැකි උභතෝකෝටික විසදාගැනීම නව වවස්ථාවක් සම්පාදනයෙන් මෙපිට කිරීමට අසීරු බව පැහැදිළිව පෙනේ.

සාධාරණ සමාජයකට ව්‍යවස්ථානුකූල අත්දැකීමක්

 නිදහසෙන් පසුව මෙරටට ව්‍යවස්ථා දෙකක අත්දැකීම් ඇතත් ඒ දෙකෙහිම එක හා  සමාන රික්තක දක්නට ලැබේ. ඒ අතර එම ලේඛන යම් දේශපාලන පක්ෂයක දෘෂ්ටිවාද වෙනුවෙන් තරයේ පෙනී සිටීම, සිංහල බෞද්ධ හෙජමොනියට සහය දීම, විධායකයේ බලය ආරක්ෂා කරගැනීම සඳහා මිස ජනතාව වෙත නොනැමුණු අහංකාර ලියවිලි දෙකක් වීම විශේෂයෙන් කැපී පෙනේ.

72 ව්‍යවස්ථාව ‘සමගි ආණ්ඩුවේ ව්‍යවස්ථාව’ වූ අතර 78 ව්‍යවස්ථාව ‘ජේ. ආර්ගේ   ව්‍යවස්ථාව’ විය. ඒ නිසා ඒ දෙකම රටේ ව්‍යවස්ථා හෝ ජනතාවගේ ව්‍යවස්ථා වශයෙන් ගැඹුරු ‘අර්ථයකින් හැදින්වීම සාධාරණ නැත. අඩුම තරමින් එම ලේඛන දෙකටම ජන අභිලාෂයන් නියෝජනය කිරීමට නොහැකි වූ අතර බහුතර ජනතා මතයද නියෝජන ය නොකරන්නේය. 72 ව්‍යවස්ථාව දෙමළ භාෂාව දෙවන තැනට පත් කර සිංහලකම ඉහළට එසවූ අතර 78 වවස්ථාව රාජ්‍ය හා ආගම එකට ගැටගැසීමෙන් බෞද්ධකම සමාජයේ අධිපතිකරණය කරයි. අගමැතිකමයකට පදනම දැමූ 72 වවස්ථාවට පා¾ලිමේන්තුව ශක්තිමත් කිරීම වැදගත් වූ අතර ඒ සදහා සරල බහුතර නියෝජන ක්‍රමයද හදුන්වාදුන්නේ ය. ඊට සමාන්තරව, 78 ව්‍යවස්ථාවට විධායක ජනාධිපති වැදගත් වූ නිසා අනෙකුත් සියලුම ආයතන දුර්වල කර විධායකයේ සෘජු හෝ වක්‍ර ආඥාදායකත්වයට නතු කළේය.

ඒ නයින්, සමාජයේ සිදුවන කාලානුරූප පරිවර්තනයන්ට අනුව වෙනස් කළ ව්‍යවස්ථාවක් යටතේ පාලනය මෙරටට තවමත් ආගන්තුක  අතර ව්‍යවස්ථාවට හිතෙන හැටියට සමාජය වෙනස් කිරීමට යෑමෙන් සමාජ ගැටීම් ඇතිකිරීමටද ඒවා මුල් වී තිබේ. එම නිසා දේශපාලන පක්ෂවලටවත් පුද්ගලන්ට අනුවවත් නොව රටේ ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කරන; ඔවුන් වෙතට නැමුණු ව්‍යවස්ථා භාවිතයක අත්දැකීමක් ලබදීමට නව ව්‍යවස්ථාවක් ම අවශ්‍ය වේ.

78 හා මූලික දුබලතා

78 ව්‍යවස්ථාවත් සමඟ උත්ගත වී තිබෙන උභතෝකෝටික කිහිපයක් විමසන විට වත්මන් මූලික නීතියට තවදුරටත් ප්‍රජාතන්තවාදය සමඟ අත්වැල්බැදගෙන ගමනක් යෑමට අසීරු බව පෙනේ. තවද, ලෝකයේ ඕනෑම මූලික නීතියක් සමත් විය යුතු ව්‍යවස්ථානුකූලවාදය නැමැති මූලික පරීක්ෂණයෙන් 78 ව්‍යවස්ථාව සමත් වී නොමැත. ෆෙඩරඩ් හයක් (Friedrich Hayek) ව්‍යවස්ථානුකූලවාදය මෙසේ නිවචනය කරයි.

ව්‍යවස්ථාවේ බලය උපදින්නේ ජනතාවගෙනි. ඉන් පුනරාවර්තන නියෝජිතයින් ව්‍යවස්ථාව සංවිධානය කර ආයතන ව්‍යුහය ගොඩනගයි….ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ව්‍යවස්ථාදායකය සහ අනෙකුත් ආයතනවල සියලු අත්තනෝමතික ක්‍රියාවලට එරෙහි ආරක්ෂණයක් වේ.”

මෙහිදී  වවස්ථානුකූලවාදය මූලික අංග 3ක්, හයක් හදුනාගනී.

  1. ව්‍යවස්ථාව ආණ්ඩුකරණයට අවශ්‍ය දේශපාලන ආයතන හෝ මූලික ආයතන ව්‍යුහය සකස් කරයි.
  2. සුළුතරයගේ මෙන්ම බහුතරයගේ විවිධත්වය හදුනාගෙන තහවුරු කරයි.
  3. සමාජය පාලනය විය යුතු මූලික ප්‍රතිපත්ති සදහන් කරයි.

අද පවතින වවස්ථාව මෙම කරුණු තුනෙන් නියමාකාරයෙන් සළකා තිබෙන්නේ පළමුවැන්න පමණි. එමගින් දෙමළ බසට සමානාත්මතාවය පිරිනැමෙන්නේ ව්‍යවස්ථාව සම්පාදනයෙන් වසර 9 කට පසු (13 වන සංශෝධනයෙන්) ය. වසර 30ක් දක්වා ඇදුණු යුද්ධයේ කුඩා එළි දැල්වෙමින් පවතින විටත් ව්‍යවස්ථාව හැදෙන්නේ තනි සිංහල ව්‍යවස්ථාදායකයකිනි. නමුත් ඒ තුළ පාලනය වන්නේ සිංහල, දෙමළ හා මුස්ලිම් යන තුන්වර්ගයමයි. හාවඩ් විශ්වවිද්‍යාලයේ නීති මහාචාර්ය එවුගන් රොස්ටොව් (Eugene Rostow) කියන්නේ ව්‍යවස්ථාව පංති බහුතරයේ ලියවිල්ලක් (Counter Majoritarian Document) විය යුතු බවයි. එවිට පාලනය වඩාත් සාර්ථක වන බවයි. එහෙත් වත්මන් මූලික නීතිය බහුතරයගේ ලියවිල්ලක් ම පමණි.

උත්තරීතරභාවයේ ප්‍රශ්නය.

දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාවේ 1 වන වගන්තිය මෙසේය.“දකුණු අප්‍රිකාව ව්‍යවස්ථාවේ දැක්වෙන වටිනාකම්වලට ගරු කරන ජනරජයක්.” එම වටිනාකම් යටතට මානව ගරුත්වය, ජාතිවාදී නොවීම, ලිංගවාදී නොවීම, නීතියේ අධිපත්‍ය, බහු පක්ෂ ප්‍රජාතන්තවාදය, වගවීම, විවෘතභාවය, යන පරාමිතීන් සංග්‍රහයක් ඇතුළත් කර ව්‍යවස්ථාවේ උත්තරීතරත්වය උපරිම මට්ටමට තහවුරු කරයි. එහි 2 වන වගන්තිය මෙසේය. ජනරජයේ ව්‍යවස්ථාව උත්තරීතර වේ. මූලික නීතියට අනනුකූල සෑම නීතියක්ම බලරහිත වන්නේය.’

මෙරට වවස්ථාවේ 16 (2) වගන්තිය සදහන් කරන්නේ මෙහි අනෙක්පැත්තය. එනම් පවත්නා ලිඛිත හෝ අලිඛිත ව්‍යවස්ථාවට පටහැනි වුවත් එය අභිභවා බලාත්මක වන බවය. නඩු තීන්දු ගණනාවකදීම ව්‍යවස්ථාව රටේ මූලික නීති ලියවිල්ල බවට සදහන් කර  ඇතත් 84 (1) වගන්තියට අනුව මූලික නීතියට පටහැනි කවර හෝ නීතියක් පැනවීමට පාර්ලිමේන්තුවට බලය ලැබේ. එනම් රටේ මූලික නීතිය අභිභවා යා හැකි මට්ටමට වෙනත්  ආයතනාවලියක් නිර්මාණය වී ඇති බවයි. පාර්ලිමේන්තුව යනු බලයේ සිටින ජනාධිපතිවරයාගේ බලයේ සංකේතයක් (Symble of Power) නිසා ආඥාදායක ජනාධිපතිවරයෙකුට මුළුමනින්ම මූලික නීතිය නොසළකා හිතුමනාපෙට නීති පැනවීමට හැකිය. එක් දිනකින් සම්මත කරගත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ගොඩනැගූ සොදුරු ආඥාදායකත්වය (Loyal Dictatorship) මීට ආසන්නතම නිදසුනකි.  ව්‍යවස්ථාව යනු පොදු ජන සමාජයේම නියෝජනයකි. යම් රටක මූලික නීතිය උත්තරීතර නොවීම යනු ව්‍යවස්ථාව පමණක් නොව රටේ ජනතාවද උත්තරීතර නොමැත හෝ ජනතාවට වඩා ආයතනාවලිය බලවත් බවයි. ඒතරම් ව්‍යවස්ථානුකූල පජාතන්තවාදයට අහිතකර තවත් යමක් ප්‍රජාතන්තවාදී සමාජයක් නැත.

දෙවන තරුණ නැගිටීමෙන් පසු 90 දශකයේ තරුණයාගේ ගැටලු සොයා බැලීමට පත් කළ කොමිෂම ඉතා වැදගත් උත්ප්‍රාසාත්මක නිර්දේශයක් ඉදිරිපත් කළේය. එනම්  අද උන්ඩයක් සදහා වැයවන මුදල වෙන්කර තරුණයාගේ ගැටළුවලට විසදුම් දීමට රජය අසමත් වුවහොත් තවත් දශක කිහිපයකින් මල්ටිබැරල් ගෙන්වීමට රජයට විශාල ලෙස මුදල් වැය කිරීමට සිදුවන බවයි. ඒ කියූ දේ එලෙසින්ම සිදුවිය. උගත් පාඩම් හා ප්‍රතිසංධාන වාර්තාව (LLRC) නිර්දේශ කරන ආකාරයට මෙරට ජාතික ගැටළුවට දේශපාලනික විසඳුමක් සෙවීම පශ්චාත් යුධ සමාජයක සිටින අප රටට හමුවේ ඇති ප්‍රධාන අභියෝගයකි. අපට දැන් නව ව්‍යවස්ථාවක් අවශයවන්නේ එම අභියෝගය ජයගහණය කිරීමේ සීමාවට ළගාවීමටය. එහිදී බහුතරයේද කැමැත්ත ඇතිව සුළුතරයට පිළිගතහැකි විසදුමක් සොයාගැනීමට නොහැකි වුනොත් තවත් දශක කිහිපයකින් මල්ටිබැරල් වැනි ආයුධ මිළදීගැනීමට අද නව ව්‍යවස්ථාක බිල්ලා මවන ආන්තික  දේශපාලනඥයන්ට විශාල මුදලක් වියදම් කිරීමට සිදුවේවි.

Dhanushka Silva විසිනි

Back to Top