Sri Lanka Brief
පුවත්විවරණව්‍යවස්ථාවට එරෙහිව නන් දෙඩවීම – ජයතිලක ද සිල්වා

ව්‍යවස්ථාවට එරෙහිව නන් දෙඩවීම – ජයතිලක ද සිල්වා

by

අද රට තොට කතා වන්නේ රට බෙදීමක් ගැන. රට බෙදෙතැයි, රට කැඩෙතැයි කියන්නෝ බොහෝ. අහස කඩා වැටෙතැයි බියෙන් අවිච්ජියා දිව ගොස් වැල්ලේ හිස හංගා ගත් බවක් ජන කතාවක කියැවෙයි. ඇතැමුන් එවන් බියකින් වෙළී ඇති සැටියෙක් ද පෙනේ.

පිරිසක් දෙපිල බෙදී රට බෙදෙනු ඇත – රට බෙදෙනු නැත යැයි ජප කරමින් ද්වන්දව සටනක නියැලෙත්. එහෙත්, කෙසේ බෙදෙන්නේ ද නැත් ද යනු නො කියත්. එහෙයින් ඇත්ත නැත්ත දැන ගනු වස් එය මඳක් විමසා බැලිය යුතුය.

රට භූමිය වශයෙන් දෙකඩ වන්නේ නැත. එසේ වෙතොත් අතිප‍්‍රබල භූ චලනයකින් පමණක් වන්නට පිළිවනි. එහෙත් එය කණ කැස්බෑ විය සිදුරෙන් අහස බලන තරමටත් වඩා විය නොහැකි අවස්ථාවෙකි. දුලබ අවස්ථාවෙකි.

කතාබහ වන්නේ එබන්දක් ගැන නොව දේශපාලන බෙදීමක් ගැන ය. වඩාත් පැහැදිලිව කිවහොත් රජය දෙකක් බිහි වීම ගැන ය. එහෙත් රජයක් ඉබේ බෙදෙන්නේ නැත. ඉබේ කැඩෙන්නේ නැත. නිකම්ම පුපුරා යන්නේ නැත. හදිසියෙහි සිදු වන්නේ ද නැත. ඒ සඳහා කාලයක් පවත්නා මානව ක‍්‍රියාකාරීත්වයක් තිබිය යුතු ය. කඩන්නවුන් සිටිය යුතු ය.

රට බෙදෙතැ යි කියන්නවුන් දරන මතය ජාත්‍යන්තර බලවතුන්, විශේෂයෙන්ම බටහිර බලවතුන්, එක්ව අප රට කඩන බව ය. එය ඇත්තක් ද? ලෝකයේ සියලූ ජාතීහු ශ‍්‍රී ලංකාවෙහි භෞමික අඛණ්ඩතාව පිළිගෙන ඇත්තා හ. ඒ බව අනේක වාරයක් ගනුදෙනුවල දී සහතික කැරැ ඇත්තාහ. රට බෙදන්නට ඔවුන්ට වුවමනා විණි නම් බෙදුම්වාදී යුද්ධය සමයෙහි එයට කදිම අවස්ථාවෙක් පැවැතිණි. එහෙත් ඔවුහු එම යුද්ධයෙහි දී ශ‍්‍රී ලංකා රජයට සහාය දුන්හ.

ඒ බව අප රටෙහි නායකයෝ ප‍්‍රසිද්ධියේ පිළිගත්හ. එක්සත් ජනපදය, යුරෝපා සංගමය, ඉන්දියාව ආදී රටවල් ගණනාවක්ම විමුක්ති කොටි සංවිධානය තහනම් කළහ. බොහෝ තන්හි එම තහනම තවමත් බලාත්මකය. අපට යුද අවි ප‍්‍රහාරක යානා ආදිය චීනය සහ රුසියාවෙන් පමණක් නොව බටහිර රටවලින් ද ලැබිණි. සිහින ලෝකයේ නොව ඇත්ත ලෝකයෙහි තත්ත්වය එයයි. එහෙයින් බටහිර කුමන්ත‍්‍රණ කතාව ජනතාව බිය වද්දා බලයට පත්වීමට කෑදර දේශපාලනඥයන් ගෙතූවකි. ඊට බොහෝ දෙනා ගොදුරු වීම කනගාටුදායක ය.

නැති හතුරෙකු මවන්නේ ඇති හතුරෙකු වසන් කරන්නට යැයි කතාවක් තිබේ. ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ කතාව ද බලයට ඒමට පහසු මඟක් ලෙස ජාතික සමගිය හා සංහිඳියාව බිඳ, වාර්ගික කෝලාහලයකට සහ යුද්ධයකට පවා යළි රට පත් කරන්නට මාන බලන ඊනියා ඒකාබද්ධ විපක්ෂයේ සැබෑ කුමන්ත‍්‍රණය වසන් කැරීමෙහි උත්සාහයෙකි.

දේශප්‍රේමිත්වයෙහි තනි උරුමක්කාරයන් සේ පෙනී සිටිමින් අන් සියල්ලන්ම ද්‍රෝහීන් සේ හංවඩු ගසන මෙම පිරිස් පෙනී සිටින්නේ තනි සිංහල බෞද්ධයන්ගේ ආධිපත්‍යයක් මෙරට ස්ථාපිත කරන්නට ය. එවන් පිළිවෙතක ප‍්‍රතිඵලය වනු ඇත්තේ ඉතිහාසය පුරා මෙරට රජ කළ සාමකාමී සහජීවන සංස්කෘතිය සහ සමානාත්මතාව පදනම් වන බෞද්ධ ඉගැන්වීම් වෙනුවට සුපිරි ජාතියක් පිළිබඳ නාසිවාදී මිනීමරු දැක්මක් තහවුරු වීමකි.

තවත් ජාතියක් පාගන කවර ජාතියකට වුවද නිදහසක් නැත. බටහිර හෝ පෙරදිග හෝ කවර විදේශ බලවේගයකට වුව මෙරට ආක‍්‍රමණයකට හෝ වෙනත් ඇඟිලි ගැසීමකට හෝ මඟ පෑදෙන්නේ මෙරට අසමගිය පැතිර ගියහොත් පමණකි. ජාතිවාදීන් තැත් කරන්නේ එවන් පසුබිමක් තැනීමට ය.

ජාතික අසමගිය, ජන වාර්ගික වෛරය සහ කලහ පැතිර ගියහොත් මෙරට සංර්ධනයක් ගැන සිතන්නට පවා බැරිය. එහි ප‍්‍රතිඵලය බහුතර ජනතාව දුකෙන් දුකට පත් වීමය. දුප්පත්කම, සාගත, මන්ද පෝෂණය, විරැකියාව ආදී දහසක් ව්‍යාධි පැමිණීමය.

ජනවාරි 8 මැතිවරණ සමයෙහි වන් ජාතික සංහිඳියාව අද පිරිහී ඇත. එහි වගකීම ආණ්ඩුව විසින් භාර ගත යුතු ය. ඒ එක් අතකින්, ජාතිවාදයට එරෙහි අධිෂ්ඨානශීලී සටනකින් බැහැරව ජාතිවාදීන්ගේම සටන් පාඨ උසුරුවන්නට ආණ්ඩුවෙහි බොහෝ මැති ඇමැතීන් පටන්ගත් හෙයිනි. අනෙක් අතින්, ජාතික සංහිඳියාව සවිමත් කරන සංක‍්‍රාන්ති යුක්ති පියවර ගැනීමට ආණ්ඩුව අදිමදි කිරීම හේතුවෙනි.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය සිය දුෂ්ට අරමුණු මුදුන්පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයත්, එයට නායකත්වය සපයන හිටපු ජනාධිපතිවරයාත් ක‍්‍රියා කරනු පෙනේ. මෙහි දී ඇත්තටම එක්සත් ජාතික පක්ෂය තනිව ඇති සැටියෙකි. ගරු ජනාධිපතිතුමන් හැරෙන්නට නිල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි බහුතරයක් නායකයෝ නව ව්‍යවස්ථාවකට විරුද්ධව පෙළ ගැසී සිටිත්.

මෙතෙක් කල් දැරූ මතය වෙනස් කරමින් නිල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරන්නට අකැමැතිය. එපරිද්දෙන්ම බලය බෙදීමට ද අකැමැති ය. ඔවුහු ද මුව හමට තලන්නාක් මෙන් ෆෙඩරල් ක‍්‍රමයක් ගැන නන් දොඩවමින් යෝජිත ව්‍යවස්ථාව ගැන අනිසි බිය ගැන්වීම් කරති.

ඔවුන්ගේ පසුබෑම ඉදිරියේ වඩාත් සවිමත්ව ඇති ජාතිවාදී, ආගම්වාදී සංවිධාන අද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පවා ඉවත් කරන සේ ඉල්ලති. එදා 13+ දෙන්නට පොරොන්දු වූ මහින්ද රාජපක්ෂ මහතා අද 13ටත් එරෙහිව එය කප්පාදු කරන්නට වලි කයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි බොහෝ නායකයන් පොහොට්ටු පක්ෂය තැනීම නොසලකා මෛත‍්‍රී – මහින්ද සමගි කරන්නට තැත් කරන්නේ රටෙහි අභිවෘද්ධියට වඩා පක්ෂය ගැන සිතමින් බලයට පත්ව වැජැඹෙන්නට වැඩි ඉඩකඩක් පතමිනි. මෙසේ බලන කල දෙපිලක් සේ බෙදී සිටිය ද ජාතිවාදයෙහි ප‍්‍රධානතම බලවේගය නියෝජනය කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි බහුතර නායකත්වය බව කිව යුතුය.

(සෙසු ජාතිවාදී බලවේග ඇති බව රුපියල් අස්සේ අලූක්කාල් ගැසීමක් වැන්න) ගරු ජනාධිපති තුමන් කමා වන සේක්ව! ජාතිවාදීන් සමග ගනුදෙනු බේරාගන්නා තෙක්, එම පිළි, ඉවත් කරන තෙක් නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක් ගොඩනැඟීමෙහි ජනාධිපතිතුමන්ගේ සිහිනය ඵල නො දරනු ඇත.

නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප‍්‍රමුඛ ස්ථානය නොලැබෙතැයි ද, බුද්ධාගම විනාශ වෙතැ යි ද කියනු ලැබේ. යෝජිත ව්‍යවස්ථාවෙහි බුද්ධාගමට හිමි තැන වෙනස් නොකෙරන බව රජය පුනපුනා කියත්දීත් ඔවුන් එසේ කියන්නේ ජනතාව මුළා කිරීමටය. එහි දී ඔවුන් පෙන්වන්නේ ඉංග‍්‍රීසි යටත්විජිත පාලකයන් පවා එසේ බුද්ධාගම සුරකින්නට පොරොන්දු වූ වගකි.

උඩරට ගිවිසුමට එවන් වගන්තියක් ඇතුළත් කරන ලද්දේ උඩරට රදළ ප‍්‍රභූන්ගේ සහාය ලබා ගැනුමට මිස බුද්ධාගම සුරැකීමෙහි අවංක චේතනාවකින් නොවන බව ඊනියා දේශපේ‍්‍රමීන් නොදන්නවාට මෙරට ජනතාව දනිත්. බුද්ධාගම රැකුණේ යටත් විජිත පාලකයන්ට එරෙහිව බුද්ධාගම රැක ගැනීමට බෞද්ධ ජනතාව ගෙන ගිය ප‍්‍රබල ජන අරගලය නිසා ය. අද වුව, හෙට වුව එය රැකෙනු ඇත්තේ බෞද්ධ ජනතාවගේ සහයෝගයෙනි. සියවස් ගණනාවක කෲර යටත්විජිත පාලකයනට පවා විනාශ කළ නොහැකි වූ බෞද්ධාගම ව්‍යවස්ථාවක් තුළින් විනාශ වෙතැයි සිතීම බොළඳ අදහසකි.

රට බෙදෙන්නේ යැයි ජාතිවාදීන් කියන්නේ සහේතුකව නොවේ. ඔවුන්ගේ ප‍්‍රබලම තර්කය විදේශ කුමන්ත‍්‍රණ චෝදනාව ය. එය අහේතුක බව මෙම ලිපියෙහි ආරම්භයෙහිදීම අපි සහේතුකව පෙන්වීමු.

සෙසු තර්ක ද සැබෑ තර්ජනවලට වඩා අනිසි නැතහොත් හුඹස් බිය පාදකව නඟා ඇති බව මෙරට මෑතකාලීන ඉතිහාසයෙන්ම පෙනේ. නිදසුනක් වශයෙන්, සිංහල හා දෙමළ භාෂාවන්ට සම තැන ලබා දීමෙන් සිංහල ජාතිය විනාශ වෙතැයි ජාතිවාදීහු මුර දුන්න ද අද භාෂා දෙකම රාජ්‍ය භාෂා ලෙස පිළිගෙන තිබේ. එයින් ඒ එක ද භාෂාවකට වත් අයහපතක් වී නැත. එබඳුම අනිසි බියක් උඩරට වැවිලිකරයෙහි දෙමළ ජනයාට පුරවැසිකම ප‍්‍රදානයෙන් සිදු වෙතැයි කීව ද, අද ඔවුන් පුරවැසියන් සේ පිළිගැනුන ද බිය වන්නට කිසිවක් වූයේ නැත.

පළාත් සභා පිහිටුවීමෙහි දී ද එවැනිම බියක් පළ කැරිණි. එහෙත් පළාත් සභා ක‍්‍රමයෙහි කොතෙක් අඩුපාඩු ඇතත්, දශක තුනක පළාත් සභා අත්දැකීමෙන් පෙනෙන්නේ එම බිය ද අනිසි වූ බවෙකි.

බලය බෙදීමෙන් රට තුළ බෙදුම්වාදය සවිමත් වෙතැයි කියනු ලැබේ. එහෙත් මෙරට බෙදුම්වාදය පැන නැඟ සවිමත් වූයේ බලය නොබෙදු මධ්‍යගත බලය පැවැති තත්ත්වයක් තුළ ය. එයින්ම පෙනෙන්නේ බෙදුම්වාදයට හේතුව බලය බෙදීම නොව යම් ජන රාශියක් මත යෙදෙන පීඩනය සහ මානව හිමිකම් උල්ලංඝනය බව ය. මෙය අප රටට පමණක් සීමා නොවූ හැම රටකටම සාධාරණ සත්‍යයකි.

අනෙක් අතට, ජාතිවාදීහු බලය බෙදීමට පමණක් නොව එයින් ස්වායත්ත ප‍්‍රදේශ වෙන්වීමට වන පෙළැඹීම් වළක්වන්නට යොදන ප‍්‍රතිකර්මයන්ට ද විරුද්ධ වෙත්. නිදසුනක් වශයෙන්, බහුතරය නොවන ජන රාශිවලට මධ්‍යම ආණ්ඩුවෙහි වගකීම් පැවැරීමට ද ඔවුහු විරුද්ධ වෙත්. මෙරට අසිංහල, අබෞද්ධ පුරවැසියන්ට රටෙහි උසස්තම නිලයන්ට පත්වීමෙහි හැකියාව වළක්වන අදිසි පිළිගැනීමක් බහුතර ජන විඥානයෙහි පැලපදියම්ව ඇත. නිදසුනක් වශයෙන් එවන් තනතුරකට දෙමළ හෝ මුස්ලිම් ජාතිකයකු සුදුසුකම් අනුව පත් වුවත් ජාතිවාදීන්ගේ ඇස් උඩ යන අතර ජාතිවාදී කටකතා පැතිරෙන්නේ විදුලි වේගයෙනි. ඒ අනුව ඇතැම් විට පාලකයන්ට ද තමන් වරදක් කළැ යි මානසිකත්වයක් පහළ වන බවක් පෙනේ.

නව ව්‍යවස්ථාවෙන් දෙවැනි මන්ත‍්‍රී මණ්ඩලයක් පත් කැරීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇත්තේ ද මධ්‍යම රජයට සියලූ ජන රාශිවල සහභාගිත්වය ලබා ගැනීමට සහ ඒ තුළින්් මධ්‍ය රජය රැකගැනීමට ඔවුන් තුළ බැඳීමක් ඇති කැරු ගැනීමට. එයට ද ජාතිවාදීහු විරුද්ධ වෙත්. ඒ ඔවුන්ගේ අරමුණ රට අවුල් කැරීම නිසා ම ය. දෙවැනි මන්ත‍්‍රී මණ්ඩල බොහෝ රටවල පවතී. ඒ අතර ලෝකයේ ප‍්‍රබලම රාජ්‍ය ද වෙයි.

එවන් මණ්ඩලයක් සකස් විය යුතු වන්නේ අන් අයුරින් සහභාගි කරවා ගන්නට නොහැකි සුළු ජාතික කොටස්වලට මෙන්ම විද්වතුන්ට, වෘත්තිකයන්ට සහ ආගමික පිරිස්වලට නිසි නියෝජනයක් ලබා දී ඔවුන් හැමගේම සහාය පාලනයට ලබා ගැනීමට ය.

දෙවැනි මන්ත‍්‍රී මණ්ඩලයක් තනිකරම ඡන්දයෙන් තෝරා පත් කරන නියෝජිතයන්ගෙන්ම පත්කැරීම අනර්ථකාරී වන්නේ එහෙයිනි. මෙරට ජාතිවාදීන් බොහෝ විට පුළුල් නියෝජනයකට එරෙහි වෙත්. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ වන ස්වාධීන කොමිෂන් සභාවන්හි පාර්ලිමේන්තු නියෝජනය වැඩි කළ අයුරු නිදසුනකි.

ඉහත සඳහන් කරුණුවලින් පෙනෙන්නේ ඇත්ත රට නොබෙදෙනු ඇති බව ය. රට බෙදෙනු ඇත යනු ජාතිවාදීන්ගේ හුඹස් බියක් පමණකි.

(ජයතිලක ද සිල්වා) / ලංකාදීප

Back to Top