Sri Lanka Brief
පුවත්විවරණමානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවේ යුද අපරාධ චෝදනා නැහැ – ජනපති සිරිසේන ( සම්පූර්ණ කතාව)

මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවේ යුද අපරාධ චෝදනා නැහැ – ජනපති සිරිසේන ( සම්පූර්ණ කතාව)

by

ශ‍්‍රී ලංකා යුද හමුදාව වැනි වසර 68 ක දීර්ඝකාලීන අත්දැකීම් තිබෙන, ඒවගේම ලෝකයේ ප‍්‍රබල ම්ලේච්ඡු ත‍්‍රස්තවාදී සංවිධානයක් සමග සටන් කර ඔවුන් පරාජයට පත් කර අත්දැකීම් ලබා ඇති ඔබේත් මගේත් මාතෘභූමියට ගෞරවය කරන, ආදරය කරන, හිසනමන විශිෂ්ට යුද හමුදාවක සාමාජිකයින් වන ඔබ සියලුදෙනා ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

අද ඔබත් මමත් යුද හමුදාව වශයෙන් පමණක් නොව මුළුමහත් මානව සමාජයේ විවිධ ක්ෂේත‍්‍රවල විවිධ විෂයන්වල ඇති වන පරිවර්තනයන් වෙනස්වීම් සියල්ල සමග තාක්ෂණික ලෝකයේ තරගකාරිත්වය සමගයි ඉදිරියට යන්නේ. මීට වසර 68 කට පෙර ශ‍්‍රී ලංකා යුද හමුදාව ආරම්භ වන අවස්ථාවේ සිට අද දක්වා ලෝකය තුළ අපේ මාතෘභූමිය තුළ සියලු අංශවල විශාල පරිවර්තනයන් සිදුවී තිබෙනවා. ඒ වෙනස්වීම් සමග අපට අවශ්‍ය විදියට අපට ගැලපෙන ආකාරයට අප විසින් වෙනස් විය යුතු වෙනවා. වෙනස්වීම අවශ්‍ය වන්නේ ඒ වෙනසේ තිබෙන වැදගත්කම ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් මානව සමාජයේ ඇති වී තිබෙන්නා වූ ඇතිවෙන්නා වූ විශේෂිත වූ දියුණුව, සංවර්ධනය, ප‍්‍රගතිය ප‍්‍රවර්ධනය ඒ සියල්ල තුළයි. ඔබ සෑම කෙනෙක්ම අපේ මාතෘභූමිය වෙනුවෙන් පෙර පරිදිම තිබිය යුතු ආත්මශක්තිය, ආත්මධෛර්ය, ආත්මඅභිමානය, අධිෂ්ඨානශීලීභාවය, කැපවීම, වීරත්වය, සටන්කාමිත්වය සමග කටයුතු කරන පිරිසක් හැටියටයි මා දකින්නේ.

ශ‍්‍රී ලංකා යුද හමුදාව අපේ මාතෘභූමියේ අපේ ජාතියේ අපේ ජනතාවගේ ඉතාමත් වාසනාවන්ත වූ ඉතාමත් භාග්‍යවන්ත වූ විශිෂ්ට හමුදාවක් ලෙස අප සෑම කෙනෙක්ම දකින්නේ. ඒ නිසා ඔබ සැමවිටම රටේ ඒකීයභාවය, ස්වෛරිත්වය, භෞමික අඛණ්ඩතාවය, ජාතික ආරක්ෂාව, කලාපීය ආරක්ෂාව, අන්තර්ජාතික සබඳතා, ජාත්‍යන්තර එකඟතාවයන් තුළ වැඩකිරීමට එක්වීමට සැමවිටම බැඳී සිටිනවා.

මා පෙර කී පරිදි ඔබ ලෝකයේ ඉතාමත් ප‍්‍රබල ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් සමග ත‍්‍රස්තවාදී සංවිධානයක් සමග වසර විසි අට වසරක් පමණ අඛණ්ඩව සටන් කළ ශ්‍රේෂ්ඨ විශිෂ්ට පිරිසක්. ඔබ මාතෘභූමියට ඉතාම ගෞරව කරන ආදරය කරන පිරිසක්. ඒ වගේම ඔබ විශිෂ්ට ලෙස යුද ජයග‍්‍රහණය ලබා ගත්තා වගේම ඇතැම් අවස්ථාවන්වල පසුබෑම් සහ පරාජයන්ට මුහුණ දුන්නා. එහෙත් පසුබෑම් සහ පරාජයන්වලට මුහුණ දුන්නත් ඔබේ තිබූ සටන්කාමිත්වය, හැකියාව, කුසලතාවය, දක්ෂතාවය, වීරත්වය තුළ ඔබ අවසානයේදී ලෝකයේ ප‍්‍රබලතම ම්ලේච්ඡු වූ ත‍්‍රස්තවාදීන් පරාජය කරලා මාතෘභූමිය වෙනුවෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගත්තා. ඒ විශිෂ්ට ජයග‍්‍රහණය නිසා අපේ මාතෘභූමියට සාමය උදා වුණා.

ශ‍්‍රී ලංකා යුද හමුදාව, නාවික, ගුවන්, ත‍්‍රිවිධ හමුදාව වගේම පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ සියලුදෙනා දැඩි කැපවීමකින් ඒ යුදමය ජයග‍්‍රහණය ලබා ගත්තා. ඒ ජයග‍්‍රහණය සමග ඇති වූ සාමය අප ස්ථාවර සාමයක් කර ගන්නේ කෙසේද? නැවත මේ රටේ යුද්ධයක් ඇති නොවන ආකාරයට ඒ සාමය පවත්වා ගෙන යන්නේ කෙසේද? ඒ සඳහා තිබෙන්නා වූ අභියෝග මොනවාද?. ඊට එරෙහිව තිබෙන්නා වූ ගැටලු හා ප‍්‍රශ්න මොනවාද? ඔබ විසින් අපේ ආරක්ෂක හමුදා විසින් පැහැදිලි ලෙසම 2009 මැයි මාසේ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන් පරාජය කරනු ලැබුවා. ඒ තුළ අපිට සාමයක් ඇති වුණා.

රට බෙදීමේ මතවාදය තවම තිබෙනවා

එහෙත් ඔබත් මමත් අවධානය යොමුකළ යුතු තවත් ප‍්‍රබල කරුණක් තිබෙනවා. ඒ නම් යුදමය වශයෙන් පරාජය කළ නොහැකි වූ එල්.ටී.ටී.ඊ මතවාදය, එනම් රට බෙදීම පිළිබඳව මතවාදය අපේ රට තුළ ඔවුන් ජීවත් නොවුණත් ඔවුන්ගේ ඒ ත‍්‍රස්තවාදී ව්‍යාපාරය ලෝකයේ විවිධ රටවල්වල ක‍්‍රියාත්මක වන බව ඔබ දන්නවා. අපිට තිබෙන ප‍්‍රධාන වගකීමක් වන්නේ, ඒ මතය පරාජය කිරීමයි.

රට තුළ සාමය ඇති කිරීමෙන් පසුව අප විසින් ඇති කර ගත යුතු සංහිඳියාව පශ්චාත් යුද සමයේ ඉතා අත්‍යාවශ්‍ය වූ දෙයක් ලෙස මා විශ්වාස කරනවා ඔබ සෑම කෙනෙක්ම පිළිගන්නා බව. මගේ රට තුළත් ඔබේ රට තුළත් අපේ රට තුළත් අපේ රටෙන් පිටස්තරව විදේශයන්හි සිටින ශ‍්‍රී ලාංකිකයින් වගේම අපේ රටේ විවිධ ක්ෂේත‍්‍ර පිළිබඳව උනන්දුවක් දක්වන, ඇල්මක් දක්වන, ආකර්ෂණයක දක්වන බොහෝ පිරිස් ඒ බව අද පිළිගන්නවා.

 

සංහිඳියාව යන වචනය පසුගිය දශක දෙකක තුනක කාලය තුළත් අපේ රටේ රටේ යුද්ධය අවසන්වීමෙන් පසුවත් ඊටත් වඩා 2015 ජනවාරි මාසයේ 08 වැනිදා පැවැති මැතිවරණයෙන් මා ජනාධිපති ධූරයට පත්වූවාට පසුව වඩාත් ප‍්‍රබල ලෙස ඉස්මතු වුණා. සංහිඳයාව ඒ සඳහා අවශ්‍ය ක‍්‍රියාකාරිත්වයන් සහ සැලසුම් අප විසින් සකස් කර ක‍්‍රියාත්මක කරන බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා.

මේ රටේ ජීවත්වන සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ඒ සියලු ජන කොටස්වල සහෝදරත්වය, විශ්වාසය, සමගිය තහවුරු කිරීම සහ සැක, බිය, අවිශ්වාසය ඉවත් කිරීම අත්‍යාවශ්‍ය දෙයක්. මේ කරුණු මුල් කරගත් සංහිඳියාව අරබයා අප විසින් විවිධ ක්ෂේත‍්‍ර හරහා කළ යුතු කාර්යයන් රාශියක් තිබෙනවා. ඇතැම් කරුණු තාක්ෂණික කරුණු, ඇතැම් කරුණු ශාස්ත‍්‍රීය කරුණු, ඇතැම් කරුණු සමාජයීය කරුණු, ඇතැම් කරුණු ආධ්‍යාත්මික කරුණු. මේ ආකාරයට අප විසින් සංහිඳියා පිළිවෙත ශක්තිමත් කරමින් අපේ මාතෘ භූමිය තුළ නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා ශ‍්‍රී ලාංකික ජනතාව එකට එක්ව සහෝදරත්වයෙන් ජීවත්වන සමාජයක් ගොඩනැගිය යුතු වෙනවා.

සංහිදියාවේ වැදගත්කම

 

මා පෙර සඳහන් කළ පරිදි සංහිඳයාවේ වැදගත්කම අප සෑම කෙනෙක්ම තේරුම් ගත යුතු වෙනවා. ඒ සංහිඳියාව ඇති කිරීම අප විසින් ඉටුකරනු ලබන්නේ රාජ්‍ය ප‍්‍රතිපත්තියක් ලෙස තිරසර සංවර්ධන දැක්මක පිහිටමිනුයි. කාර්යය රටේ සියලු ක්ෂේත‍්‍රවල තිරසර සංවර්ධන ප‍්‍රතිපත්තිය ක‍්‍රිියාත්මක කරමින් රට සංවර්ධනය කිරීමේදී ඒ තුළ ඉතාමත් ප‍්‍රබල මාතෘකාවක්, ප‍්‍රබල ක‍්‍රියාකාරී අංශයක් බවට ජාතික සංහිඳියාව ඇතුළත්වී තිබෙනවා. අද මේ වනවිටත් අපේ ත‍්‍රිවිධ හමුදාව ශ‍්‍රී ලංකා යුද හමුදාව කරන්නාවූ මෙහෙවර මා ඉතාමත් අගය කරනවා. එම අගය කිරීම වගේම පසුගිය කාලසීමාව ගත්විට අපේ රටේ යුද්ධය පැවැති උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල යුද හමුදාවට අවශ්‍ය නැති ඉඩම් උතුරේ සහ නැගෙනහිර ප‍්‍රදේශවල යුද්ධය පැවැති කාලයේදී හමුදාවේ කඳවුරු සහ අවශ්‍යතාවයන් සඳහා ලබාගත් ඉඩම් මේ වන විට ඔබ දන්නවා අපි එම ඉඩම් විශාල ප‍්‍රමාණයක් ජනතාව වෙනුවෙන් නිදහස් කර තිබෙනවා. ඉදිරියටත් මේ ප‍්‍රදේශවල දැනට ත‍්‍රිවිධ හමුදාව භාවිතා කරන කඳවුරුවලට අනවශ්‍ය ඉඩම් තිබේනම් ඒවා අපි ජනතාව වෙත නිදහස් කරනු ලබනවා. කිසිවිටකත් ජාතික ආරක්ෂාවට බාධාවක් වන ආකාරයේ ජාතික ආරක්ෂාව දුර්වල වන ආකාරයේ අපේ හමුදාවලට යම් බලපෑමක් වන ආකාරයේ එවැනි හමුදා කඳවුරු ඉවත් කිරීමක් මේ වන විටත් සිදුකර නොමැති බව ඔබ දන්නවා. එවැනි කාර්යයන් කරමින් ඒ ප‍්‍රදේශවල ජනතාවගේ විශ්වාසය දිනාගනිමින් ඔබ හොඳ මහජන සම්බන්ධතාවයක් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල වගේම මේ රටේ ගොඩනගාගෙන තිබෙනවා.
අපේ රටේ සාමාන්‍ය පොදු ජනතාව අපේ ත‍්‍රිවිධ හමුදාවට ගෞරව කරනවා. අපේ ත‍්‍රිවිධ හමුදාවට ආදරය කරනවා. අපේ ත‍්‍රිවිධ හමුදාව කෙරෙහි විශ්වාසයක් තිබෙනවා. අපේ ත‍්‍රිවිධ හමුදාව අවංක, දක්ෂ, කැපවීමෙන් වැඩ කරන විශිෂ්ටයින් පිරිසක් බව පොදුජන මතයක් රජයේ මතයක් බව ඔබ දන්නවා. ඒ තත්ත්වය තුළ අපි කටයුතු කිරීමේදී තිරසර සංවර්ධන ක‍්‍රියාවළියේ අපි විසින් කරන්නාවූ කාර්යයන් තුළ එක් පැත්තකින් නැවත පදිංචි කිරීම් ජාතික සංහිඳියාවේ ඉතා වැදගත් දෙයක්. ඔබ දක්ෂ ලෙස බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කළා. කරගෙන යනවා. මේ සියලු කටයුතු සම්බන්ධයෙන් විශාල කැපවීමක් කර තිබෙන බව සෑම කෙනෙක්ම දන්නවා. මේ කටයුතු කරගෙන යාමේදී රට තුළ පවතින ආර්ථික, දේශපාලන, සමාජමය තත්ත්වයන් පිළිබඳවත් අප සැලකිල්ල යොමු කළ යුතු වෙනවා.

සංහිඳියා පිළිවෙත ඇතැම් අය ඉතා ගෞරවනීය ලෙස විග‍්‍රහ කරමින් නිර්වචනය කරමින් එහි වැදගත්කම සලකා කටයුතු කරනවා වගේම ඇතැම් විට සංහිඳියාව යන වචනය අපහාස උපහාස කරමින් අවතක්සේරුවට ලක්කිරීමට කටයුතු කරන බව අප මාධ්‍ය තුළ දකිනවා. වර්තමාන රජය යුද හමුදාව ත‍්‍රිවිධ හමුදාව අවතක්සේරුවකට ලක්කරන බව ඇතැම් අය ප‍්‍රකාශ කරනවා. හමුදාවේ සම්පත් අඩුකරන බව ඇතැම් අය ප‍්‍රකාශ කරනවා. ඇතැම් අය මාධ්‍ය තුළ සහ දේශපාලන වේදිකාවේ වර්තමාන රජය විසින් රණවිරු ද`ඩයමක් කරන බව ප‍්‍රකාශ කරනවා. ඇතැම් අය ප‍්‍රකාශ කරනවා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම හරහා යුද්ධය පැවැති කාලයේ ඇති වූ තත්ත්වයන් පිළිබඳව එල්ලවී ඇති චෝදනා සහ යෝජනා පිළිබඳව මගේ රජය පාවාදීමක් කර ඇති බව.

ඒ ප‍්‍රකාශ කරන අය අතරේ ඔබ දන්නවා දේශපාලනඥයින් , මාධ්‍යවේදීන්, නොදැනුවත්භාවයෙන් සිටින ඇතැම් ජනතාව, හමුදාවේ විශ‍්‍රාමික ඇතැම් නිලධාරීන්, ආදි පිරිස් ඉන්නවා. මේ කරන්නා වූ ප‍්‍රකාශ වල සත්‍ය වූ සැබෑ තත්වය කුමක් ද ඇතැම් පිරිස් කිව්වා ජාත්‍යන්තර යුද අධිකරණයකට අපේ පිරිස් ගෙනයනවා කියලා. ඇතැම් පිරිස් කිව්වා යුද්ධය කළ හමුදා ප‍්‍රධානීන් විදුලි පුටුවට ගෙන ගොස් ඔවුන්ට දඬුවම් කිරීමට ජාත්‍යන්තරය සූදානම් බව.

ජ්‍යාත්න්තරය අපට සෙනෙහබරයි

බොහෝ වේලාවට දේශපාලන වේදිකාවේ ජාත්‍යන්තර යුද අධිකරණය, යුද අපරාධ, විදුලි පුටුව පිළිබඳව බොහෝ අසන්නට ලැබුණා. 2015 ජනවාරි මාසයේ 08 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මම ජනාධිපතිධුරයට පත්වීමත් රට තුළ තිබූ නිදහස හා මානව අයිතිවාසිකම් ශක්තිමත් කරමින් ගත් මූලික පියවර කිහිපයක් හේතුවෙන් ලෝකයේ බලවත් රාජ්‍යයන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය අප කෙරෙහි ඉතාම පැහැදිළිව, සෙනෙහෙබරව, කටයුතු කිරීමට පටන්ගත්තා. අප දෙස බලාපොරොත්තු සහිතව, විශ්වාසවන්තව බලන්න පටන්ගත්තා. 19 වන සංශෝධනය මේ රටේ මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, අධිකරණයේ නිදහස, නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ස්වාධීන කොමිෂන් සභා සමග පරිවර්තනයකට ලක්කරා. ඒ තුළ අන්තර්ජාතික වශයෙන් අප කෙරෙහි විශ්වාසයක් ඇතිවුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග, එහි මහලේකම්වරයා සමග අපේ නිලධාරීන් සාකච්ඡුා කළා. අපි කරුණු පැහැදිළි කළා. අපිට එල්ල වී ඇති චෝදනා පිළිබඳ කතාබහ කළා. අපි ආණ්ඩුවක් විදියට කටයුතු කරද්දි මූලික අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, සහතික කරන මාධ්‍ය නිදහස තහවුරු කරන සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ගෙන යන බවට අපි ජාත්‍යන්තරයට තහවුරු කළා. අපේ ජනතාවට තහවුරු කළා.

සංවර්ධනයට අපිට මුදල් ලබාදෙන ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සියල්ලට අපි පැහැදිළි පණිවුඩයක් දුන්නා අපේ රට තුළ නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම් තහවුරු කළා කියලා. ඒ ආකාරයෙන්් අපි ආණ්ඩුවක් විදියට කටයුතු කරන්න පටන්ගත්තා. ජාත්‍යන්තරය අපි කෙරෙහි විශ්වාසය තබන්න පටන්ගත්තා. යුද සමයේ ඇතිවුණා කියන යුද අපරාධ හා මානවහිමිකම් කඩවීමේ චෝදනා පිළිබඳව අපි බලයට පත්වීමට පෙර ඔවුන් යෝජනා කර තිබෙන්නේ ඔවුන් විසින් පරීක්ෂණ කළයුතුයි කියා යි. විදේශීය විනිශ්චයකාරවරුන් මේ රටට පැමිණිය යුතු බවයි. විදේශීය පරීක්ෂකයින් මේ රටට පැමිණිය යුතු බවයි. මානව හිමිකම් කොමිසම මේ රටට පැමිණිය යුතු බවයි. එවැනි දේ සිදුවී ඇත්නම් ඔවුන් විසින් එම ද`ඩුවම් තීරණය කළයුතු බවයි. නමුත් මගේ රජය බලයට පත්වීමෙන් පසු 2015 මාර්තු මස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සභාව රැුස්වූ අවස්ථාවේ අපි ඒ සඳහා කාලය ඉල්ලා සිටියා. සැප්තැම්බර් වෙනකල් ඔවුන් අපේ ආණ්ඩුවට කල්දුන්නා. අපි සැප්තැම්බර් මාසයේදී ප‍්‍රධාන වශයෙන්ම කියා සිටියා මේ එල්ල කරන චෝදනා හා යෝජනා පිළිබඳව කටයුතු කිරීමේ සැබෑ අයිතිය අපට දෙන්න කියලා. අපේ රජයට දෙන්න කියලා. වැරැුද්දක් සිදුවී තිබේ නම් ජාත්‍යන්තර නීති රීති උල්ලංඝනය කර තිබේ නම්, ඒ කරන චෝදනා සැබෑවක් කියා ඔවුන් කියන්නේ නම් ඒ සඳහා කටයුතු කිරීමට විදේශීය විනිසුරුවරුන්ට හෝ විදේශීය කණ්ඩායම් වලට හෝ ඉඩ නොදී ඒ සඳහා ඉඩකඩ අපිට ලබාදෙන්න කියලා අපි ඉල්ලීම් කළා. ඒ අනුව තමයි 2015 සැප්තැම්බර් මාසයේ එවැනි එක`ගතාවයක් අපි ඇතිකර ගත්තේ. ඇමරිකා එක්සත් ජනපදය හා අප ප‍්‍රධාන වශයෙන්ම ඇතිකරගත් එක`ගතාවය ඇතැම් අය වැරදි විදියට අර්ථකතනය කලා.

විශ්‍රාමික හමුදා නිලධාරියාට පිළිතුරු

මම දැක්කා විශ‍්‍රාමික හමුදා නිලධාරියෙක් නිතර නිතර ප‍්‍රකාශ කරනවා රට හැමතැනම, ඉතිහාසයේ කිසිම දවසක නොකළ දෙයක් අපේ ආණ්ඩුවක් කළ බවත් හමුදාව පාවාදුන් බවත් ඇමරිකා එක්සත් ජනපදය සමග අත්සන් කර මානව හිමිකම් කොමිසමේ යෝජනා සම්බන්ධයෙන්. ඉතා පැහැදිළිව අපි කියනවා ඒ ඇතිකරගත් එකඟතාවයෙන් අපි ඇතිකරගත්තේ එවැනි චෝදනාවන් අපිට තිබේ නම් ඒ චෝදනා පරීක්ෂා කිරීමට ශ‍්‍රී ලංකා රජයට ඉඩකඩ ලබා ගැනීමටයි. ඒ එකඟතාවය තමයි අදත් ක‍්‍රියාත්මක වන්නේ. ඒ නිසා තමයි මම මේ රටේත් ජාත්‍යන්තයේත් හමුවෙන සෑම රාජ්‍ය නායකයෙක් එක්කමත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සමගත් මානව හිමිකම් කොමසාරිස්වරයා සමගත් ඒ සියලු දෙනාටම මම එදත් අදත් කියන්නේ මේ ප‍්‍රශ්න විසඳා ගැනීමට අපට ඉඩකඩ දෙන්න කියලා. අපිට ආණ්ඩුවක් විදියට ඒ දේවල් කරගන්න දෙන්න. අපේ රටේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය, නිදහස තුළ අපිට කටයුතු කරන්න දෙන්න, අපේ අධිකරණය කෙරෙහි විශ්වාසය තබන්න. ප‍්‍රශ්නයක් තිබේ නම් ඒක විසදගන්න අපිට දෙන්න, ඒ ඇරුණු කොට මාගේ මාතෘභූමියට මගේ හමුදාවන්ට එරෙහිව විදේශීය විනිසුරුවරුන් ගේන්න, විදේශීය විමර්ශකයින් ගේන්න, කිසිසේත් ඉඩදෙන්නේ නැහැ බොහොම පැහැදිළිව ප‍්‍රකාශ කරනවා. ඒක තමයි ඇත්ත තත්වය. ඒක තමයි සත්‍යය තත්වය. ඒ අනුව අද අප විසින් ප‍්‍රධාන වශයෙන්ම එවැනි ප‍්‍රශ්න තිබේනම් අපි රජයක් විදියට කටයුතු කිරීම පිළිබඳව අපි කාලසටහනක් හදාගෙන තිබෙනවා. ඒ කාලසටහනේ කාරණා අපි පියවරෙන් පියවර ඉදිරියට යනවා. එහිදී පේනවා ඇති අපි අනුගමනය කරන ප‍්‍රතිපත්තිය කුමක්ද කියන කාරණාව.

අද ඇතැම් වෙලාවට අපිට චෝදනා එල්ලවෙනවා එල්.ටී.ටී.ඊ ඩයස් පෝරාවෙන්. ඒ ඇතිකරගත් එකඟතාවයන් තුළ මානව හිමිකම් කොමිෂන් සභාවේ තීරණ අනුව අපි ක‍්‍රියාකරන්නේ නැහැ කියන චෝදනාව අපිට එල්ල කරනවා. ඒ වගේම එල්.ටී.ටී.ඊ ය ට සහය වන රාජ්‍ය නොවන සංවිධානත්, ඒවා අදත් ලෝකය පුරා තැනින් තැන ඉතාමත් අවිචාර ලෙස කියනවා අපේ හමුදාව යුද අධිකරණයට ගෙනියන්න ඕන, අපේ යුද නීති කඩකරලා තිබෙනවා, මානව හිමිකම් කඩකරලා තිබෙනවා, ආදි ලෙසට. ඔවුන් අදත් එය කියනවා. නමුත් ඉතා පැහැදිළිව කියන්න ඕන මෙතැන සිටින උගත් බුද්ධිමත් නිලධාරීන් විදියට මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව ඔබ කියවා තිබෙනවා. ඒ වාර්තාවේ කිසිම තැනක අපට යුද අපරාධ චෝදනා එල්ලකර නොමැති බව ඔබ පැහැදිළිව දන්නවා.

ඒවා කතා කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන. නිල සංවිධාන නොවෙයි. මම පෙර කී පරිදි අදත් ඒ මතය දරන අය තමයි එසේ කතා කරන්නේ. ඒ හැරෙන්නට ඒ කිසිම තැනක යුද අපරාධ චෝදනා අපිට එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ මානව හිමිකම් කොමිසම් සභාව මගින් 2015 වාර්තාව තුළ සදහන් කරලා නැහැ කියලා බොහොම පැහැදිලිව කියනවා.

ඒ නිසා අපි මේ තිබෙන තත්ත්වයන් තුළ රටක් විදියට අපේ ආරක්ෂක හමුදාවල ගෞරවය රැුකගෙන ලෝකයේ පිළිගැනීමට ලක් කරගෙන අප කටයුතු කිරීම අවශ්‍ය වෙනවා.

අද ඇතැම් වෙලාවට සමහර හමුදා නිලධාරීන්ට, විශ‍්‍රාමික නිලධාරීන්ට පවා ලෝකයේ සමහර රටවල්වලට ඇතුල් වීමට විසා ලබා දෙන්නේ නැහැ කියලා ඔබ දන්නවා. රටවල්වලට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. අපි ඒ තත්වය වෙනස් කරගන්න අවශ්‍යයි. ඒ තත්ත්වය පරිවර්තනය කර ගන්න අවශ්‍යයි. ඒ තත්ත්වය නිවැරදි කර ගන්න අවශ්‍යයි. ඒ සඳහා උපක‍්‍රමශිලී ලෙස සහ ක‍්‍රමානුකූලව අප විසින් කටයුතු කිරීම අවශ්‍යයි. එහිදී සැමටවිමට මා පැහැදිලිව කියනවා අපේ ආරක්ෂක හමුදාවල ගෞරවය, ආරක්ෂාව ඒ සියල්ල කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් අපි කටයුතු කරන්නේ. ඒ නිසා මේ සියලු කාරණා සැලකිල්ලට ගැනීම ඉතාම වැදගත් වෙනවා.

රණවිරු දඩයමක් නැහැ

මම කියන්න අවශ්‍යයි රණවිරු දඩයම් කියමින් කියන කතාන්දර ගැන. මේ රණවිරු දඩයම් එල්ටීටීඊය සංවිධානයට විරුද්ධව සටන් කළ කිසිවෙකුට අද වාර්තමාන රජය යටතේ හෝ අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වෙනත් විමර්ශන කණ්ඩායමකින් කිසිම ආකාරයකින් පරීක්ෂණයක් කරලාත් නැහැ පටන් අරගෙනත් නැහැ.

යුද්ධය පැවති සමයේ දී යුද්ධය අවසන්වීත් ඇතැම් දේශපාලනඥයින්ගේ දේශපාලන උවමනාවන් මත හමුදාවේ ඉතා සුළු පිරිසක් සමග තිබූ පෞද්ගලික සම්බන්ධතාවයන් තුළ ඒ දේශපාලන උවමනාවන් ඉෂ්ට කර ගැනීම සඳහා කර ඇති යම් යම් සිදුවීම් පිළිබඳව, එල්ලවී ඇති චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ඒ හැර කිසිම රණවිරුවෙක් කිසියම් ආකාරයක අගෞරවයකට ලක් වන්න සැබෑ රණවිරුවෙකුට යුද්ධය කරපු කෙනෙකුට ඒ යුද්ධය කිරීම නිසා කිසි තැනක චෝදනාවක් එල්ල වෙලා නැහැ. එවැනි චෝදනාවක් එල්ල වෙන්න දෙන්නෙත් නැහැ.

නමුත් ඔබ සෑම කෙනෙක්ම ඔබේ හෘද සාක්ෂිය අනුව පිළිගත යුතු වෙනවා. යුද හමුදාවට අයත් නොමැති දෙයක්. යුද්ධයට අයිති නොමැති දෙයක්. රටේ නීතියට එක`ග නොවන දෙයක්. රටේ සදාචාරයට එක`ග නොවන දෙයක්. රටේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එක`ග නොවන දෙයක්. ඇතැම් දේශපාලනඥයින්ගේ උවමනාකම් මත හමුදාවේ ඇතැම් නිලධාරීන් යොදවා ගෙන කර ඇති යම් යම් සිද්ධීන් පිළිබඳව එල්ල වී තිබෙන ඇති චෝදනා පිළිබද පරීක්ෂණ පැවැත්වෙන බව ඔබ දන්නවා. ඒවායේ දී අත්අඩංගුවට ගත් යම් පිරිස් ඉන්නවා නම් ඔවුන් පැහැදිලි ලෙස සම්බන්ධකම් නොමැති පිරිස් නම්, ඔවුන් පැහැදිලි ලෙස අධිකරණයේ දී නිදහස් වේවි. ඒ සම්බන්ධයෙන් මේ රණවිරු දඩයම කියා කතා කරන මේ දේශපාලන වචනය. දේශපාලන වේදිකාවේ කරන චෝදනා මම පැහැදිලි ලෙස ප‍්‍රතික්ෂේප කරනවා.

මම දැක්කා සමහර වේලාවට බොහෝ වේලාවට ඒ වාගේ දේවල් පළ වෙන්නේ අන්තර් ජාලය, වෙබ් සයිට්, ෆේස් බුක් වගේ දෙවල් වල. සමහර විට පත්තරවල ලියන අයත් ලියනවා මම දැකලා තියෙනවා.
ඒ වගේම පොලිසියට සහ පොලිසියටම සම්බන්ධ විශේෂ කාර්ය බලකායට හමුදාවට වඩා මේ රජය සලකනවා කියලා මතයක් තියෙනවා. නමුත් මම දන්නා පරිදි අදත් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ තිබෙන දුක්ගැනවිල්ල තමයි හමුදාවට රජය සලකන විදියට ඒගොල්ලන්ට සලකන්නේ නැහැ කියන එක.

ඉතින් බොහෝ වෙලාවට යම් යම් අපහසුකම් සහ මේ දුක්ගැනවිලි පිළිබඳ යම් සත්‍යයක් තිබෙන බව පේනවා. පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බලකායට තිබෙන ඒ අඩු පාඩුකම් තිබෙනවා. ඒ වගේම පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමේදී ති‍්‍රවිධ හමුදාවේ දරුවන්ට තිබෙන පහසුකම් ඒ වරප‍්‍රසාද අපි ලබා දෙනවා. පොලිසියේ පවුල්වල දරුවන්ට ඒ පහසුකම් වරප‍්‍රසාද ඒ ආකාරයෙන් කි‍්‍රයාත්මක කිරීමට අපි කටයුතු කරලා තියෙනවා.

දේශපාලනය වේදිකාවේ කියන බොරු

ඒ නිසා මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගත්විට මූලික වශයෙන්ම දේශපාලන වේදිකාවේ ගන්නා යම් යම් උත්සාහයන් පිළිබද මා ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඒවා පිළිබද උපේක්ෂා සහගත සහ සානුකම්පිත ලෙස බලන ලෙසයි. දේශපාලන වේදිකාව ඇතැම් විට අර්ථවත්, ඇතැම්විට අනර්ථවත්. ඇතැම්විට අසත්‍ය. මේ සියල්ලෙන් තමයි දේශපාලන වේදිකාව සකස් වෙන්නේ. ඒ නිසා දේශපාලන වේදිකාවට එක්වන ඇතැම් හමුදාවේ විශ‍්‍රාමික නිලධාරීන් කිහිපදෙනෙක් ඉතාම අසත්‍ය දේවල් කියන බව මා මෙහිදී නොකියාම බැහැ.

ඒ නිසා මම ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසය සමග අපේ හමුදාවේ තිබෙන ඒ අප‍්‍රමාණ ජීවගුණ ඒ ශක්තිය ඔබේ ඒ වීරත්වය සහ සටන්කාමීත්වය ඔබ තව තවත් ශක්තිමත් විය යුතුයි. මේ අධිතාක්ෂණික ලෝකයේ ඔබේ තිබෙන ශිල්පිය දැනුම, පුහුණුවීම් තව තවත් වර්ධනය කර ගනිමින් අපේ හමුදාව ශක්තිමත් කිරීම අතවශ්‍යයි කියන එක මෙහිදී මම යෝජනා කරනවා. ඔබ ඊයේ දවසට වඩා හෙට දවස වෙනුවෙන් ශක්තිමත් විය යුතුයි. ඒ යුද්ධයක් සඳහා නොවෙයි රටක යුද හමුදාවට සැමවිටම හමුදාවකට අවශ්‍ය පුහුණුවීම් ලබාදීම අවශ්‍යයි. හමුදාවට අවශ්‍ය වරප‍්‍රසාද ලබාදීම අවශ්‍යයි. හමුදාවට අවශ්‍ය ශීල්පීය දැනුම, තාක්ෂණික දැනුම දීම අවශ්‍යයි ජාත්‍යන්තරය පිළිගත් හමුදාවක් විදියට කටයුතු කිරීම සඳහා ඔබේ තාක්ෂණික දැනුම, ශිල්පීය ඥානය, යුද පුහුණුව ඉතාමත් වැදගත් වෙනවා. එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා සඳහා ඔබේ සමාජිකයින් වරින් වර යවනවා. අපි ඒ තත්ත්වය තව තවත් වර්ධනය කර ගැනීම අවශ්‍යයි. එහිදී ඔබේ දැනුම අත්‍යවශ්‍ය වෙනවා.

පසුගිය කාල සීමාව තුළ අප මුහුණ දුන් ප‍්‍රධාන අපදා තත්වයන් කිහිපයක් ඔබ දන්නවා. මීතොටමුල්ල කුණු කන්දෙන් ඇතිවුණ විනාශය. ගංවතුර තත්වයන්, නාය යාම් තත්වයන්. එහිදී අපේ යුද හමුදාවේ නිලධාරීන් කටයුතු කරපු ආකාරය ඉතාම විශිෂ්ටයි. ඉතාමත් ගෞරවනීයයි එය අපි ඉතාමත් අගය කරනවා. ඒ සෑම ස්ථානයකටම ගිහිල්ලා තමාගේ ජීවිතය ගැන නොසලකා අන් අයගේ ජීවිතයේ වටිනාකම් ඔබේ හිතට අරගෙන, ඔබේ දෑතට අරගෙන ඔබ සෑම කෙනෙක්ම විශාල කැපවීමකින් කටයුතු කරනවා.
ඔබ දන්නවා අද ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කොතරම් ප‍්‍රබල ද කියලා. ඔබ දකින දේ පුහුණු වන දේ කියවන දේ තුළ ලෝකයේ හමුදාවන් මුහුණ දෙන ප‍්‍රශ්න පිළිබඳව ඔබ දන්නවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්දනය කරන්න. ආපදාවන් වලදී ජනතා සුබසාධන කටයුතු කරන්න. භූමිකම්පා, ලැව්ගිනි ආදී ඇතිවන වෙනත් විවිධ ව්‍යසනයන් වලදීත් එහෙමයි.

ලෝකයේ ගෝලීය උෂ්ණත්වය සමග ඇතිවන පරිවර්තනවලදී අපි බලාපොරොත්තු නොවූ ආකාරයේ බරපතළ ස්වාභාවික ව්‍යසනයන්ට ලෝකයේ රටවල් මුහුණ දෙනවා. ඒ සඳහා අප සූදානම් විය යුතු වෙනවා. ඒ සඳහා අපේ ත‍්‍රිවිධ හමුදාව දැනුමෙන් සන්නද්ධ වීම ඉතා අවශ්‍යයි.

පසුගිය වසරේ මාගේ ඕස්ට්‍රේලියා සංචාරයේ දී ඔස්ට්‍රේලියානු අග‍්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡුාවේදී මම එතුමාගෙන් ඉල්ලීමක් කළා අපේ රටට දුපත් රාජ්‍යයක් විදියට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මුහුදෙන් විශාල වශයෙන් මත්ද්‍රව්‍ය එවනවා. ඒවා මර්දනයට අපිට නව තාක්ෂණික උපකරණ සහ නිලධාරීන්ට පුහුණුව අවශ්‍යයි කියලා. පසුගිය සතියේ ඔස්ෙටි‍්‍රලියානු අගමැතිතුමා .ලංකාවට ආවා. එදා එතුමා මා සමග සාකච්ඡුාවට වාඩිවූ අවස්ථාවේදීම පැවසුවේ මගේ ඉල්ලීම අනුව නවීන අධි තාක්ෂණික උපකරණ අපට ළ`ගදීම එවනවා. මත්ද්‍රව්‍ය මර්දනය, හඳුනාගැනීම, විමර්ශනය ආදි කටයුතු සඳහා අපේ නිලධාරීන්ට පුහුණුව ලබාදීමට ඕස්ට්‍රේලියාවට ගෙනියන්න කැමතියි කියලා. ඒ සඳහා ඔවුන් සහයෝගය දෙන බව පැවසුවා.

වනාන්තර ආරක්ෂා කිරීම හමුදාවට

අපේ වනාන්තර ආරක්ෂා කරන්න අද අපි ති‍්‍රවිධ හමුදාව සම්බන්ධ කරලා තිබෙනවා ඔබ දන්නවා. අපේ රටේ අද වන ඝනත්වය තිබෙන්නේ සියයට 28 ක් වගේ ප‍්‍රමාණයක්. 1950 දශකයේ මැද භාගය වන විට අපේ වන ඝනත්වය සියයට 44- 45 ක් වගේ තිබුණා. අද අපි සියයට 28 දක්වා පහළ බැහැලා තිබෙනවා. මේ නාය යාම්, නියඟයන්, ගංවතුර මේ තත්ත්වයන්ට අප මුහුණ දෙන්නේ අප විසින් පරිසරය විනාශ කිරීම නිසා බව ඔබ දන්නවා. ඒ නිසා තමයි අද පොලිසිය සමග ති‍්‍රවිධ හමුදාව අපි සම්බන්ධ කරලා තිබෙන්නේ, පරිසර සංරක්ෂණ කටයුතු සඳහා. වනාන්තර විනාශ කරනවනම්, ඒ ජාවාරම්කරුවන් ප‍්‍රබල තත්ත්වයක සිටිනවනම් හමුදාව ඒ සදහා පොලිසිය සමග සම්බන්ධ වෙනවා. ඒ වගේම ගස් කපලා, කැලෑ කපලා ජාවාරම්කරුවන් මුහුදෙන් ගෙනියනවා නම්, ව්‍යාපාර කරනවනම් නාවික හමුදාවට භාරදීලා තිබෙනවා, නාවික හමුදාව ඒ කටයුත්ත ඉෂ්ට කරනවා. ඒ වගේම වනාන්තර විනාශ කිරීම පිළිබඳව සති දෙකකට සැරයක් ගුවන් හමුදාව ගුවනින් අධීක්ෂණය කරනවා. ඒ විදියට ති‍්‍රවිධ හමුදාවම පරිසරය සංරක්ෂණය සඳහා අපි යොදවලා තිබෙනවා.

මූලික වශයෙන්ම අපි බලාපොරොත්තුවන තිරසර සංවර්ධන ප‍්‍රතිපත්තියේදී ඒ කටයුතු ඉතා වැදගත් වෙනවා. ඒ නිසා තමයි මගේ කථාව ආරම්භ කරමින් මම මුලින්ම කිව්වේ තිරසර සංවර්ධන ප‍්‍රතිපත්තිය තුළ රට සංවර්ධනය කිරීමේදී ජාතික සංහිඳියා ප‍්‍රතිපත්තියේ වැදගත්කම සහ ඒ සඳහා අප තුළ තිබිය යුතු කැපවිම. ඒ නිසා ඔබ සෑම කෙනෙක්ම අද මගේ දේශනයට සවන්දීම පිළිබඳව ඉතාමත් සතුටු වෙනවා, ශී‍්‍ර ලංකා යුද හමුදාව විදියට සෑමවිටම ඔබේ ගෞරවය ආරක්ෂා කරමින් ඔබේ වරප‍්‍රසාද සහ පහසුකම් ආරක්ෂාකරමින් අප කටයුතු කරනවා. යුද්ධය පැවති අවස්ථාවේ ආබාධිත රණවිරුවන්, ඒ වගේම මිය ගිය රණවිරු පවුල්වල සාමාජිකයින් ඒ සියල්ලටම දෙන වරප‍්‍රසාද පහසුකම් ඒවා මගේ රජය යටතේ වැඩිකළ බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. විශ‍්‍රාමිකයින්, ඒ වගේම ආබාධිත රණවිරුවන්, ඒ සියලුදෙනාට කළින් ලබාදී තිබූ වරප‍්‍රසාදවලට තවත් දීමනා, පහසුකම් එක් කරමින් පසුගිය වසර දෙක හමාර තුළ අපේ රජය යටතේ ඔබට ලබාදුන් බව ඔබ දන්නවා ඇති.

ඒ නිසා අපිට ජාතික වශයෙන් වේවා, අන්තර්ජාතික වශයෙන් තිබෙන සියලු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන විශිෂ්ට හමුදාවක් ලෙස, ලෝකයේ ගෞරවණීය හමුදාවක් ලෙස ලෝකයේ පිළිගත් ඉතාමත් හොද විනයක් තිබෙන හමුදාවක් ලෙස, මානවවාදී සමාජයක් ගොඩනැගීමට කි‍්‍රයාශිලීත්වයක් ඇති ඒ සදහා කැපවිමක්, අධිෂ්ඨානයක් තිබෙන පැහැදිළි වැඩපිළිවෙළක යන හමුදාවක් ලෙස මම ඔබ සෑම කෙනෙක්ම පිළිගන්නා නිසා ජාත්‍යන්තර වශයෙන් ද ඒ පිළිගැනීම ඇතිකර ගැනිමට අප මේ ගෙනයන වැඩපිළිවෙළේදී අපි සියලුදෙනා එක්ව කටයුතු කරමුයි ඔබෙන් ඉල්ලා සිටින අතර සැමවිටම එදා ඔබ කළ විශිෂ්ට ඒ මෙහෙවර, ඒ මහා පරිත්‍යාගය අදත් ඉතාමත් සෙනෙහෙබරව සහ ගෞරවයෙන් සිහිපත් කරනවා වගේම ඒ ගෞරවය ඔබට පුද කරනවා.

ඊයේ දවසේ පමණක් නොවේ, එය අද දවසේ පමණක් නොවේ, හෙට දවෙසෙත් ඔබ සියලුදෙනා වෙනුවෙන් අපි ඒ වගකිම ඉටු කරනවා. යුද්ධය පැවති කාලයේ අවසාන සති දෙකේ වැඩ බලන ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කළේ මමයි. ඒ නිසා මේ ජාතික සංහිදියා වැඩපිළිවෙල ගෙන එන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඇතැම් කණ්ඩායම්, දෙමළ ඩයස් පෝරාවන් මම දැක්කා ජාත්‍යන්තරය තුළත් පසුගිය දිනවල ප‍්‍රකාශ කර තිබුණා ශ‍්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව පිළිබඳව කරන කටයුතු, මානව හිමිකම් කොමසාරිස්වරයාගේ යෝජනා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජය කරගෙන යන කටයුතු පිළිබඳව ඔවුන්ට විශ්වාසයක් නැති බවත් වර්තමාන ජනාධිපතිවරයා යුද්ධය අවසාන සතිදෙකෙහි වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සිටියේ කියලා මට චෝදනා කරනවා. ඒ නිසා ඒ සියල්ල සිත්හි තබාගෙන තමයි අපි කටයුතු කරන්නේ.

ඔබ වැනි විරුවන්, සමග ඔබේත් මගේත් මාතෘභූමිය රැුකගන්නටඑදා ඔබ කළ මෙහෙය මෙන්ම අද දවසේත් ඔබ කරන්නා දේ මෙන්ම හෙට දවස වෙනුවෙන් ඔබේ කැපවීම මා ඉතාමත් අගය කරමින් ඔබ සියල්ලන්ටම රජය විදියට ඒ ගෞරවය ලබාදෙමින් මගේ කතාව අවසන් කරනවා.

ස්තුතියි

(යුධ හමුදාවේ ඒකක අණදෙන නිලධාරීන්, විධායක අධිකාරීන් සහ සැරයන්, මේජර්වරුන් ආමන්ත‍්‍රණය කරමින්  2017.11.09 වන දින ප.ව. 4.00 ට නාරාහේන්පිට, යුද හමුදා රෝහල් ශ‍්‍රවණාගාරයේදීජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන  කළ කතාව )

Back to Top