Sri Lanka Brief
පුවත්විවරණමාදුළුවාවේ සෝභිත හිමි ආදර්ශය -කරූ ජයසූරිය

මාදුළුවාවේ සෝභිත හිමි ආදර්ශය -කරූ ජයසූරිය

by

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත මා හිමිපාණන්වහන්සේ අපවත්වී  දෙවසරක් සම්පූර්ණවීම නිමිත්තෙනි.

නූතන ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන වපසරිය තුළ සද්භාවය පෙරටුකර ගනිමින් කිසිඳු ආත්මලාභයක් පිළිබඳ අපේක්ෂාවකින් තොරව, අන්තවාදී ස්ථාවරයන්හි නොඇළී තම වගකීම අකුරටම ඉටුකළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මා හිමිපාණන් වහන්සේ දැයෙන් සමුගෙන මේ වන විට වසර දෙකකි. කවර අරුතකින් සළකා බැලුව ද කවර මානයකින් විමසා බැලුව ද උන්වහන්සේ ශ්‍රි ලංකාව තුළ බිහි වූ අසම සම යතිවරයාණන් වහන්සේ නමක් ලෙස හැඳින්විය හැකිය.

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මා හිමිපාණන් වහන්සේගේ පැවිදි ජීවිතයේ ආරම්භක යුගයේදී සාමණේර භික්ෂුන් වහන්සේ නමක් ලෙස ගතකර ඇති කාලය අද වැඩවසන සෑම තරුණ භික්ෂුන් වහන්සේ නමකටම අනගි ආදර්ශයක් සපයයි. සිය ගුරුහිමිපාණන් ගිලන්ව වැඩසිටි සමයක උන්වහන්සේට උවටැන් ද කරමින් විහාරස්ථානයෙන් සිදුවිය යුතු ආගමික හා සමාජයීය යුතුකම් ඉටුකරමින් තම අධ්‍යාපන කටයුතු ද කිසිදු අතපසුවීමකින් තොරව සිදුකර ඇත්තේ අපමණ දුක්ගැහැට වළඳමිනි. පසුකාලයේදී විචිත්‍ර ධර්මදේශකයාණන් වහන්සේ නමක් ලෙස මුළු මහත් ලංකාවෙහිම සුපතළ වූ උන්වහන්සේ මේ රටේ සාමාන්‍ය ජනතාව අතර බෞද්ධ සාරධර්ම ප්‍රචලිත කිරීම සඳහා ගනු ලැබූ අනවරත වෙහෙස තුළ ප්‍රදර්ශණය කර ඇත්තේ ද බෞද්ධ භික්ෂන්වහන්සේ නමකගෙන් ඉටුවිය යුතු ශාසනික හා සමාජ කාර්යභාරයයි. පසු කලෙක මේ රටේ ජාතික, ආගමික හා සමාජ ප්‍රශ්න හමුවේ උන්වහන්සේ පිළිපන් මාර්ගය ද බුදුන් වහන්සේ අනුදත් මාර්ගයම වී තිබේ.

ඒ තුළ උන්වහන්සේ සැමවිටම පෙනී සිටියේ සිය පූර්වගාමී බෞද්ධ යතිවරුන් පෙන්වා දුන් අනාගතවාදී දැක්මට අනුකූලවය. ර්‍භික්ෂු ජීවිතයට කැළැල් නොවන පරිද්දෙන් අපේ රට වැසියාගේ යහපතට හේතුවන යම් වැඩපිළිවෙළක් වේ නම් එහි නම දේශපාලනය හෝ වේවා වෙන කුමක් හෝ වේවා එය බෞද්ධ භික්ෂූන්ට සුදුසුමය යන පිළිවෙත” උන්වහන්සේගේ ද පිළිවෙත විය. එකී අරුතින්ම උන්වහන්සේ පිළිපන් මග හඳුනාගත හැකිය. ශ්‍රී ලංකාව නිදහස ලැබූ මුල් යුගයේදී මේ රටේ සමස්ථ ජාතියටම නායකත්වය ලබාදී ඇති යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම, වල්පොළ ශ්‍රී රාහුල වැනි මහා යතිවරයාණන් වහන්සේලා පෙන්වා දුන් භික්ෂු දේශපාලනයේ මාවත උන්වහන්සේ විසින් තරණය කරන ලද්දේ එකී මුල් අරුතට කිසිඳු නිගරුවක් ඇති නොවන ආකාරයටය. ඒ අනුව උන්වහන්සේ නියැළී සිටියේ එක් පක්ෂයක, එක් ජන වර්ගයක, එක් සමාජ කුලයක අභිවෘද්ධිය උදෙසා පිණිසවන කාර්යභාරයක නොවේ. සමස්ථ ජාතියටම වූ වගකීම් සහගත අතිශය දුෂ්කර මගක් තරණය කරන්නට එහිදී උන්වහන්සේට සිදු විය. ඒ 1947 නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගැනීමේ අරගලයට දායකවීම උදෙසා තම පූර්වගාමී මහා සංඝරත්නය අදහස් කළ ර්‍ණඅපේ රට වැසියන්ගේ යහපතට හේතුවන ක්‍රියාවලියකට භික්ෂුන් වහන්සේලා මැදිහත්වීමේ වැඩපිළිවෙළ” මනා සේ සිහිතබා ගෙනය.

නූතන ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ අරමුණු කරගත් සමස්ත ක්‍රියාවලිය සැලකීමේදී අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මා හිමිපාණන් වහන්සේ පෙන්වා දුන් මග ඊට විවිධාකාරයෙන් මැදිහත්වී සිටි කිසිඳු පාර්ශ්වයකට බැහැර කළ නොහැකි වූයේ ඒ නිසාය. මේ රටේ අමද්‍යප ව්‍යාපාරයට පුනර්ජීවනයක් ලබාදෙමින් ආරම්භ කරන ලද උන්වහන්සේගේ එකී වැඩපිළිවෙළ ඒ සඳහා වන ගමනේ සමාරම්භය සනිටුහන් කරලීය. මත්පැන් හා මත්ද්‍රව්‍ය සමාජය ගිල ගනිමින් පැවති මොහොතක ඊට එරෙහිව උන්වහන්සේ ආරම්භ කළ සටන එහි ප්‍රතිඵලයකි. නිස්සාර පුරුෂාර්ථයන් පෙරටුකරගත් ආත්මලාභය උදෙසා පමණක් පෙනී සිටින බල දේශපාලනයට එරෙහිව අප රටේ දැනුවත් සමාජය බලමු`ථ ගැන්වීම සඳහා උන්වහන්සේ පෙරට එනු ලැබූයේ ඉන් අනතුරුවය. ඒ සඳහා වන පෙනී සිටීම තුළ විටෙක සිරබත් කන්නට ද, තවත් විටෙක මැර ප්‍රහාර වලට ලක්වන්නට ද උන්වහන්සේට සිදු විය. මරණ තර්ජන, ඝාතන ප්‍රයත්නයන්ට ද මුහුණ දෙන්නට සිදු විය. එහෙත් උන්වහන්සේ ඒ කිසිවක් නිසා පෙරළා පහර දුන්නේ නැත. ඒ කිසිවෙකුට වෛර කළේ ද නැත. අතිශය දුෂ්කර වූ තත්පරයේදී පවා බුදු දහමින් උගන්වන අහිංසාවාදී මාවතින් උන්වහන්සේ බැහැර නොවීය.

එක්තරා යුගයකදි මේ රට වෙළාගෙන පැවති ත්‍රස්තවාදයට එරෙහිව උන්වහන්සේ විසින් සමාජගත කරන ලද පණිවිඩය මුළු මහත් ජාතියම එක මිටක රඳවන්නට තරම් ශක්තිමත් විය.

දේශපාලනික හා සමාජයීය වශයෙන් බෙදී සිටි ස්ථර ගණනාවක් එක මගකට යොමු කරවීමට තරම් උන්වහන්සේගේ හඬ එහිදී බලවත් විය. ඒ තුළ උන්වහන්සේගේ ඒකායන පරමාර්ථය වූයේ ජාතික වශයෙන් ලබාගතයුතු නිදහසය. ඒ තුළ දේශපාලනික හෝ වෙනයම් කුමන හෝ ආකාරයේ බලයක් අත්පත් කර ගැනීම උන්වහන්සේගේ අභිප්‍රාය නොවීය. වාර්ගික හා ආගමික වශයෙන් කුමන හෝ ආකාරයක අගතියක් සමාජගත කිරීමට ඒ තුළ උන්වහන්සේ කිසිවිටෙක කටයුතු නොකළේය. සමස්ථ ජාතියෙහිම නිදහස හා ආරක්ෂාව තහවුරු වනු දැක්ම උන්වහන්සේගේ ඒකායන පරමාර්ථය විය.

මේ රටේ වීරෝධාර ආරක්ෂක හමුදාවන්හි අප්‍රතිහත ධෛර්යය හා ප්‍රාණ පූජාවන්හි ප්‍රතිඵලයක් ලෙස ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු රටක් ලෙස අප උදාකරගත් නිදහස පිළිබඳව අප්‍රමාණ සතුටට පත් උන්වහන්සේ එම අවස්ථාව සලකන ලද්දේ ස්වර්ණමය මාවතකට පිවිසිය හැකි මොහොතක් ලෙසටය. සියලු ජන වර්ගයන්හි සාධාරණ අපේක්ෂාවන් සැලකිල්ලට ගනිමින් රට තුළ ස්ථීරසාර සාමයක් ගොඩනැගිය හැකි අවස්ථාවක් ලෙසටය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් ජනතාවගේ නිදහස හා රටේ ආර්ථික සමෘද්ධිය උදෙසා සිදුකළ යුතුව ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට සුදුසුම වූ මොහොතක් ලෙසටය. අවාසනාවකට මෙන් එකී අවස්ථාව අප වෙතින් මගහැරෙමින් පවතින ආකාරය දුටු උන්වහන්සේ නැවත වරක් තම පය පෙරට තබනු ලැබූවේ ඒ සඳහා වූ වගකීම සමාජයට සිහිපත් කරන්නටය.

දඹර අමිල හිමි මාදුළුවිවේ සෝභිත හිමි පසුබිම වූ 62 ලක්ෂයක අපේක්ෂා මහජන රැළිය අමතයි. ©s.deshapriya

එය අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මා හිමිපාණන් වහන්සේ සිය ජීවිත කාලය තුළ මුහුණ දුන් දැවැන්තම අරගලයට පිවිසීමක් බඳුය. ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂ වූ සියලු බලතල සංකේන්ද්‍රණය කරගත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර ගැනීම සඳහා සමාජය තුළ මතයක් ගොඩනැගීමට ද ඒ සඳහා වන සක්‍රිය සමාජ දේශපාලන සංවාදයක් නිර්මාණය කර ගැනීම ද එහි පළමු පියවර විය. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ගොඩනැගීම එහි ප්‍රතිඵලය වූයේය. ඒ තුළ උන්වහන්සේ අපේක්ෂා කරන ලද්දේ හුදු බල මාරුවක් සඳහා වන ක්‍රියාවලියක් පමණක්ම නොවේ. මුළු මහත් සමාජ ආර්ථික හා දේශපාලන දේහයන් පුරා පිළිළයක් මෙන් ඔඩුදුවා පැවති දුෂණය, භීෂණය හා අවනීතිය මත පදනම් වූ බලකාමිත්වයෙන් රට මුදාගෙන මහජනතාවට වගකියන යුක්තිගරුක, සාමකාමී මෙන්ම සමෘද්ධිමත් අනාගතයක් උදෙසා පිවිසිය හැකි සාර්ථක මාවතක් විවර කර ගැනීම උන්වහන්සේගේ ඒකායන අභිලාෂය විය. ඒ සඳහා වන පළමු පියවර ජයග්‍රහණය කරවීමට තරම් උන්වහන්සේ වාසනාවන්ත විය. එහෙත් ඒ අතර දෛවයට ඉඩදී උන්වහන්සේට සමුදීමට මුළුමහත් ජාතියටම සිදු විය.

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත මා හිමිපාණන් වහන්සේ දැයෙන් සමුගෙන දෙවසරක් සම්පූර්ණවන මේ මොහොතේ පවා අපට සිහිපත් වනුයේ උන්වහන්සේ තුළ පැවති මහාර්ඝ අපේක්ෂාවන්ය. එය පිරිපුන් ලෙස සපුරාලිය හැකි දිනයක ජාතියක් ලෙස අප උන්වහන්සේ වෙත ඇති ණයගැති භාවයෙන් මිදිය හැකි වනු ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක
කරූ ජයසූරිය

Back to Top