Sri Lanka Brief
පුවත්විවරණනයෝමිගේ පච්චය, භික්ෂුවකගේ මතුගම මස්කඩය සහ සදාචාරය – සුනිල් ජයසේකර

නයෝමිගේ පච්චය, භික්ෂුවකගේ මතුගම මස්කඩය සහ සදාචාරය – සුනිල් ජයසේකර

by

ජායාරූපය: පච්ච කෙටූ භික්ෂුවක්.

ඕනෑම රටකට අදාළව බලාත්මක නීති තිබේ. නීතියේ ප්‍රබවය හෙවත් නීති පනවන්නන් වෙනස් වියහැකි වුවත් රටක බලාත්මක වන නීතිය තුළ ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගන්නා කරුණු කිහිපයක් තිබේ. රාජ්‍යයේ ආරක්ෂාව, මහජනතාවගේ ආරක්ෂාව, ජනසමාජයේ පැවැත්ම හා පුරවැසියාගේ අයිතිවාසිකම් හා නිදහස ද ඇතුළුව මනුෂ්‍ය අයිතිවාසිකම් එහිදී මූලික වශයෙන් අවධානයට යොමුකරයි.

ඒ අනුව රටක ජීවත් වන සියලු පුරවැසියන් ද ඇතුළු එහි වෙසෙන සියලුම දෙනා අත්‍යන්තයෙන්ම බැදී සිටින්නේ එකී නීතියට ය. ඒ සමග ආගමික, සදාචාරාත්මක මිනුම් දඬු අනුව පිළිගත් සදාචාරාත්මක පිළිගැනීම් මෙන්ම සම්ප්‍රදායන් ද ඒ ඒ ජනසමාජ තුළ මුල් බැසගෙන පැවතිය හැකි බව අප පිළිගත යුතුය. එහෙත් එහිදී ඉතා වැදගත්ම කාරණය වන්නේ ඒ කිසිවෙකට රටේ පවත්නා නීතිය ඉක්මවා කටයුතු කළ නොහැකි බවය.

සමාජ පුරුෂාර්ථයන් නීතියට පටහැණි ආකාරයට අභ්‍යාස කළ නොහැකි බවය. බොහෝවිට මෙහිදී ගැටළු ඇතිකරවනු ඇත්තේ ඒ ඒ ජනසමාජයන්හි මුල් බැසගත් සංස්කෘතික හා සදාචාරාත්මක ආකල්ප මුල්කරගෙනය.
ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණය විසින් පසුගිය සතියේ ලබා දී ඇති ඉතා වැදගත් නඩු තීන්දුවක් හා මේ රටේ පුරවැසි සමාජය නියෝජනය කරන සමාජ බලයක් සහිත එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ගෙන ඇති ක්‍රියාමාර්ගයක් පිළිබඳව සලකා බැලීමේදී පුරවැසි නිදහස හා මහජන සුබසෙත ද මුල් කරගත් රටේ මූලික නීතිය හා සමාජ ආකල්ප අතර මතුවන ගැටුම තේරුම්ගත හැකිය.සංස්කෘතික හා සදාචාරාත්මක හැඟීම් මුල්කරගනිමින් ඇතිවිය හැකි අනිටු විපාක හඳුනාගත හැකිය.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අදාළ සිදුවීම වී ඇත්තේ මෙයට වසර හතරකට පමණ පෙරය. එනම් 2014 වසරේදී ය. එය එකල මේ රටේ මෙන්ම විදේශීය ජනමාධ්‍යයන් හි ප්‍රමුඛ අවධානයට යොමුකළ කරුණක් විය. එනම් සිය එක් අතක බාහුවේ බුදු රුව සහිත පච්චයක් කොටාගෙන තිබීම නිසා ශ්‍රී ලංකාවට පැමිණ සිටි විදේශීය කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමය. අද අපගේ අවධානයට බඳුන් වන දෙවන සිදුවීම වාර්තා වන්නේ මතුගම ප්‍රදේශයෙනි. මතුගම නගරයේ පවත්වාගෙන යන ගව මස් වෙළෙඳසැලක් සඳහා ඉදිරි වසරට අදාළ බලපත්‍රය නිකුත් කිරීමට ටෙන්ඩර් කැදවා තිබූ අවස්ථාවේදී ඉහළම ලංසුව ඉදිරිපත් කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් එකී ටෙන්ඩරය මිලදී ගැනීම හරහා මතුවිය හැකි තත්වය පෙර සිදුවීමටත් වඩා සංකීර්ණ වන අතර ඒ තුළ ඇතිවිය හැකි ගැටලු ඇතැම්විට වඩා බරපතළ ද වියහැකිය. ඒ අන්කිසිවක් නිසා නොව එකී ටෙන්ඩරය මිලදී ගත් භික්ෂූන් වහන්සේ ප්‍රකාශ කරන ආකාරයට ඉහළම ලංසුවක් ඉදිරිපත් කරමින් උන් වහන්සේ එකී ටෙන්ඩරය මිලදී ගෙන ඇත්තේ මස් කඩය පවත්වාගෙන යාමට නොව එය වසා දැමීමේ අදහසින් වන නිසාය.

බැලූ බැල්මටම පෙනී යන්නේ මෙකී සිදුවීම් දෙකටම මුල් වී ඇත්තේ සමාජයේ මුල් බැසගෙන ඇති හෝ එසේ නැතහොත් සමාජය තුළ යම් කැපී පෙනෙන බලයක් අත්පත් කරගෙන ඇති සමාජ කණ්ඩායම් විසින් පිළිගන්නා සදාචාරාත්මක මිනුම් දඬු අනුව මතු වූ ගැටුම්කාරී තත්වයක් වන බවයි. ප්‍රථම සිදුවීමට අදාළ වන බි්‍රතාන්‍ය ජාතික පුරවැසියෙකු වන නයෝමි කෝල්මන් නම් කාන්තාව සිය එක් අතක බාහුවේ බුදු රුව සහිත පච්චයක් කොටාගෙන ඇත්තේ බුදුන් වහන්සේ කෙරෙහි ඇය තුළ පවත්නා භක්තිය හා ගෞරවය හේතුවෙනි. වාර්තා වන ආකාරයට ඇය බුදු දහම වැළඳගෙන ඇති කාන්තාවක් වන අතර බුදුදහමේ ගැඹුරු හරය අවබෝධ කරගැනීමට ද ආගමික වශයෙන් සිදුකරන්නා වූ වන්දනා මාන කටයුතු සඳහා ද තායිලන්තය හා නේපාලය යන රටවල් වෙත ද ඇය කිහිපවරක් ගමන්කර තිබේ. එමෙන්ම ඇය ශ්‍රී ලංකාවට ද වාර දෙකක් පැමිණ ඇති බව ද සඳහන් ය. එහෙත් අවසන් වරට එනම් 2014 වසරේ දී ඇය ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපලේදී ම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඇය මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කරමින් පොලිසිය සඳහන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ රුව සහිත පච්චයක් කොටාගෙන තිබීම හේතුවෙන් අප රටේ මහජනතාව කුපිත වීමට ඇති හැකියාව අනුව ඇයට රටට ඇතු`එ වීමට ඉඩක් දිය නොහැකි බවය. ඒ අනුව අධිකරණ නියෝගයක් ලබාගනිමින් ඇය අප රටෙන් පිටුවහල් කිරීමට පොලිසිය කටයුතු කරමින් තිබේ.

එහිදී ඉතා පැහැදිළි වන්නේ එකී සිදුවීම් දාමයට පැහැදිළිවම මුල් වී ඇත්තේ පොලිසිය විශ්වාස කරන සදාචාරාත්මක වටිනාකම් වන බවයි. එනම් පච්චයක් කොටාගෙන සිටීම සදාචාරාත්මක නොවන පුද්ගල ක්‍රියාවක්ය යන ආකල්පයයි. “මරුවා සමග වාසේ” – “අම්මා බුදුවේවා” වැනි ජනප්‍රිය තේමාවන් ද සර්පයෙකු වෙලාගෙන සිටින කිණිස්සක්, ගොරවා කඩා පනින්නට බලා සිටින කොටි හිසක් වැනි පච්ච පිළිබඳව ද ඒවා කොටාගෙන සිටින පුද්ගලයන්ගේ ගති ස්වභාවයන් ගැන පමණක් අවබෝධයක් සහිත අපේ පොලිස් නිලධාරීන් හට කොටි මුහුණ සහ නෙළුම් මලක් මත වැඩ හිඳින බුදු රුව වෙන්කර හඳුනාගැනීමට නොහැකි වූවා වියහැකිය.

එමෙන්ම රටේ බලාත්මක නීතිය හා ඇතැම් අය තුළ මුල් බැසගෙන තිබිය හැකි අවර ගණයේ සදාචාරාත්මක ආකල්ප වෙන්කර හඳුනාගැනීමට ද නොහැකි වී තිබේ. එසේ කියන්නේ පච්චයේ නිරූපිත සංකේත මුල් කරගනිමින්ම නොවේ. ඇතැම්විට අප රටට ආගන්තුක වියහැකි වුවද අප ජීවත්වන ආසියානු කලාපයේ ඇතැම් රටවල පමණක් නොව ලොව බොහෝ රටවල පච්චා යනු ජනප්‍රිය කලාංගයක් බව අප රටේ බොහෝ දෙනෙකු නොදැන සිටීම තුළ ය. එය අප රටට ආගන්තුක වියහැකි වුවත් ලොව බොහෝ රටවල් තුළ පච්චා යනු ජනප්‍රිය සංස්කෘතියේ කොටසකි. ඒ අනුව ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවක් ගැහැණු, පිරිමි හෝ වයස් භේදයන්ගෙන් තොරව සිය සිරුර මත පච්චා කොටාගෙන තිබීම සුලබ දෙයකි. ඒ කිසිදු රටක පොලිසියක් අපරාධකරුවන් සොයායෑමේදී නීතිවිරෝධි හා සදාචාර විරෝධී පුද්ගලයින් පසුපස හඹා යන්නේ වුවද එහිදී සලකා බලන්නේ එක් එක් සිරුරු මත සටහන්ව ඇති පච්චා ලකුණු දෙස නොව. එක් එක් පුද්ගලයින්ට අදාළව සටහන් වී ඇති තොරතුරු හා වාර්තාවන් පිළිබඳව ය.

එදා අප රටේ පොලිසිය ද පොලිසියේ ඉල්ලීම මත මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළව වගකිව යුතු ඇතැම් ආයතන ද සිදුකර ඇති වරදකට මේ වනවිට වන්දිගෙවා ඇත්තේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් කිහිපදෙනා පමණක්ම නොවේ. මුළුමහත් ශ්‍රී ලංකා රාජ්‍යයට ද ඒ සඳහා වන්දි ගෙවීමට සිදුව තිබේ. ඒ අදාළ ක්‍රියාව මගින් ශ්‍රී ලංකාවේ මූලික නීතිය මෙන්ම තමන්ගේ මානව අයිතිවාසිකම් ද කඩ වූ බවට සඳහන් කරමින් අදාළ කාන්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකරන ලද පෙත්සම ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගෙන ලබාදී ඇති නඩු තීන්දුව මගිනි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝක කර ඇත්තේ ඇය අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීම නීතිවිරෝධී වන වගය. ඒ අනුව ඊට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන්ගෙන් එක් අයෙකුට රුපියල් 50,000 බැගින් වන ආකාරයට ඇයට වන්දි ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝග කර ඇති අතර රටක් ලෙස ශ්‍රී ලංකාව ද ඇය වෙත වන්දි ගෙවිය යුතු බව නිගමනය කර තිබේ.

දැන් අප සලකා බැලිය යුත්තේ සිද්ධිමය වශයෙන් එකිනෙකාට සපුරා වෙනස් වුවද ආකල්පමය වශයෙන් එක හා සමානත්වයක් ගන්නා මතුගම මස් කඬේ සිද්ධියට ය. මා දන්නා ආකාරයට බුද්ධ දේශනාව අනුව සතුන් මැරීම බලවත් පාපයක් වුවත් මස් මාංශ ආහාරයට ගැනීම පවක් ලෙස සලකා නැත. මස් මාංශ ආහාරයට ගැනීම වලකාලමින් ශික්ෂා පද පනවාත් නැත. ඒ සමගම ශ්‍රී ලංකාවේ පැරණි සංස්කෘතිය තුළ මස් මාංශ අනුබවය පිළිකෙව් කිරීමක් හෝ ඉන් වැලකී සිටි ආකාරයක් ද දකින්නට නොලැබේ. එහෙත් පසුකාලීනව සමාජ, දේශපාලනික හා ආර්ථික වුවමනාවන් පෙරටු කරගත් සමාජ ව්‍යාපාරයන්ට අනුව තම ප්‍රතිවාදියාට එරෙහි ප්‍රබල අවියක් ලෙස ඔවුන්ගේ ආර්ථිකය හා සංස්කෘතික ගති ස්වභාව පිටු දැකීමට ගනු ලැබූ ක්‍රියාමාර්ගයන් තුළ ඇතැම් අදහස් සමාජගත කර තිබේ. ගවමස් කෑමට එරෙහිව මතු වූ හඬ ද අමද්‍යප විරෝධය තුළ ද ඇත්තේ එවැනි තත්වයකි. අද පවා සමාජය තුළ මතුවන ඇතැම් සදාචාරාත්මක හා සංස්කෘතික අදහස් මුල් කරගනිමින් විටෙන්විට නැගෙන රැලි පිළිබඳ විමසුම් ණුවනින් සලකා බැලීමේදී ඒ බව තේරුම්ගත හැකිය. මේ වනවිට ඉතිහාසයේ අන් කවරදාටත් වඩා බලවත් උනන්දුවකින් හඬ නගන ගව ඝාතන විරෝධය හා ගවමස් කෑමට එරෙහිව මතු කරන්නට යන උත්සාහය ද සැලකිල්ලට ගතයුත්තේ පෙරකී තත්වයන් පිළිබඳව ද අවධානයට ගනිමිනි.

මතුගම මස් කඩය බදුගත් බෞද්ධ භික්ෂූන් වහන්සේගේ අරමුණ ද අප තේරුම්ගත යුතුව ඇත්තේ ඒ ආකාරයටම ය. එහිදී අදාළ භික්ෂූන් වහන්සේ එකී මස් කඩය බදු ගැනිීම තුළ කිසිදු නීතී විරෝධී කටයුත්තක් සිදුකර නැත. එහෙත් බෞද්ධ ශාසනික සම්ප්‍රදායට හා විනයට අනුව නම් එය ඉතා බලවත් වැරැද්දක් වියයුතුය. එහෙත් එහිදී උන්වහන්සේ නිදහසට ඉදිරිපත් කරන කරුණු සලකා බැලීමේදී පෙර සඳහන් කළ අතේ පච්චයක් කොටාගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් කියා ඇති කාරණයට හරයාත්මක අතින් කිසිසේත් දෙවැනි වන්නේ නැත. එනම් තමන් වහන්සේ අදාළ මස්කඩ ටෙන්ඩරය ලබාගත්තේ මස් කඩය වැසීමට මිස විවෘත කිරීමට නොවන බවය. එනම් උන්වහන්සේ විශ්වාස කරන ආකාරයට සදාචාරාත්මක පරිසරයක් නිර්මාණය කරගැනීම සඳහා වන උන්වහන්සේගේ දායකත්වය ඒ තුළ ලබා දී තිබේ. සදාචාරය යනු කුමක්ද යන ප්‍රශ්නය මෙහිදී පැන නගින්නේ එහිදීය.

එය මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට පැවත එන, පුළුල් සංවාදයකට බඳුන් වියයුතු නොනිමි විවාදයක් වියහැකිය. වර්තමාන දාර්ශනික කථිකාව තුළ සදාචාරය යන විෂය පථය තුළ ප්‍රධාන වශයෙන් සලකා බලන්නේ හොඳ දේ කුමක්ද, නරක දේ කුමක්ද යන්න ගැනය. හොඳ සහ නරක එකිනෙකින් වෙන්කිරීමට ඉවහල් වන නිර්ණායක ස්ථාපිත කිරීමට උත්සාහ කරන්නේ ඉන් පසුවය. එහිදී සදාචාරය යන්න ආගමික ඉගැන්වීම් වලට පමණක් කිසිසේත්ම සීමා කර නොගැනේ. නූතන ශිෂ්ට ලෝකය එහිදී ප්‍රමුඛ වශයෙන් අවධානය යොමු කරන්නේ මනුෂ්‍ය වර්ගයාගේ නිදහස, පැවැත්ම හා ආරක්ෂාව පිළිබඳ කරුණු පිළිබඳව ය. අද වනවිට පෘථිවි ගෝලයේ පැවැත්මට හා ආරක්ෂාවට අදාළව සලකා බලමින් පරිසර ආරක්ෂණය කෙරෙහි ද එහිදී විශාල අවධානයක් යොමුකරයි.

ඒ තුළ සලකා බැලීමේදී මතුවන පළමු ප්‍රශ්නය වන්නේ රටේ අනෙකුත් ප්‍රදේශ වල ජනතාවට ලැබෙන හිමිකමක් මතුගම ප්‍රදේශයේ ජනතාවට අහිමි කිරීමට එක් පුද්ගලයෙකුට හැකියාවක් තිබේද යන්නය. එය ආගමික නිදහස, ආගමික ඉගැන්වීම් මෙන්ම ආගමික සහජීවනයට අදාළව සැලකීමේදී ද බරපතළ වරදක් වියයුතුය. එහෙත් රටක් ලෙස ඒ සමගම අවධානයක් යොමුකළ යුතු කරුණක් ද තිබේ. එනම් රටේ ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවයන්ට අදාළව ඒ තුළ ඇතිකළ හැකි බලපෑමය. ආගමික වශයෙන් හෝ සංස්කෘතික වශයෙන් හෝ මවාගන්නා සංකල්ප තුළ සමාජ පැවැත්මට හා නිදහසට ඒ තුළ මතුකරන්නා වූ සැඟවුණ තර්ජනය පිළිබඳව ය. ඒ සියල්ලටමත් වඩා රටේ පවත්නා පිළිගත් නීතියට අනුගත වන බවක් පෙන්වාලමින් නීති විරෝධී මහජන විරෝධී කටයුත්තකට ඒ තුළ යොමුවී තිබීමය. එතරම් සදාචාර විරෝධී ක්‍රියාවක් තවත් තිබිය නොහැකිය. එතරම් බෞද්ධ විරෝධී ක්‍රියාවක් තිබිය හැකිද? එහෙත් අවාසනාවකට මෙම සිදුවීම් දෙක මගින්ම පැහැදිළි වන්නේ එවැනි තත්වයකි. ඒ ගැන ගැඹුරු හා පුළුල් මහජන කතිකාවක් ඇති නොවන්නේ නම් හා යථාර්ථවාදී ලෙස මෙවැනි ක්‍රියාවන්ට පිළිතුරු නොදෙන්නේ නම් රටට සිදුවන්නේ බරපතළ වන්දි ගෙවීමකට සූදානම් වන්නටය.

සුනිල් ජයසේකර

Back to Top