Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංග1953 හර්තාලය: වහල්භාවයේ යදම් බිඳලීමට හෙලූ යකුලූ පහරකි – ප්‍රේමපාල හේවාභටගේ

1953 හර්තාලය: වහල්භාවයේ යදම් බිඳලීමට හෙලූ යකුලූ පහරකි – ප්‍රේමපාල හේවාභටගේ

by

ජායාරූපය: ඇන්.ඇම්. පෙරේරා හර්තාලය කැඳවීමේ රුස්වීම අමතමින්.

‘‘…. නිර්ධන පංති විප්ලවයක් ගැන පාලක පංතිය බියෙන් තැති ගත්තාදෙන්, නිර්ධනීන්ට සිය වහල් බැමි විනා නැති වීමට අන් කිසිවක් නොමැත. දිනා ගැනීමට ලෝකයක් ඇත” – කොමියුනිස්ට් ප‍්‍රකාශනය –

1953 ලංකාවේ අගෝස්තු විප්ලවීය ජනතා නැගිටීම තවමත් ලංකා දේශපාලනයට ආගන්තුක වචනයකි. හර්තාලය යනු ඉන්දීය නිදහස් සටනේ දී ‘ගාන්ධිවාදී’ අවිහිංසාවාදී විරෝධය පෑමේ ක‍්‍රමයකි. හර්තාලය යන්නේ සාමාන්‍ය තේරුම වන්නේ විරෝධය පෑමක් හෝ ශෝකය පලකිරීමක් හෝ ප‍්‍රකාශ කරනු වස් කඩ සාප්පු, කාර්යාල ආදිය වසා තැබීමයි. සමහරවිට කළු කොඩි එසවීමක් ද කෙරේ.

තවත් විශේෂණ පදයක්: නොනගතය

ලංකා සමසමාජ පක්‍ෂයේ ප‍්‍රමුඛ නායකයෙක් වූ කොල්වින් ආර් ද සිල්වා තවත් විශේෂණ පදයක් එයට එකතු කළේය. ඒ ‘නොනගතය’ යන්නයි. කවුරුත් දන්නා පරිදි නොනගතය යනු සිංහල – හින්දු නව අවුරුදු චාරිත‍්‍රවලට සම්බන්ධ දෙයකි. ඒ අනුව අදාල කාලය තුළ කිසිඳු වැඩක් පලක් නොකර නිකරුනේ කාලය ගත කිරීම ඉන් අදහස් කෙරේ. සමහරු කොල්වින්ට ප‍්‍රශංසා කරන්නේ, එදින වැඩ වර්ජනය කර සිටීම කම්කරු පංතිය ප‍්‍රමුඛ ලංකාවාසී ජනතාවට තේරුම් කර දීමට මෙම පදය නැතහොත් එම උපමාව යොදා ගැනීම ඥානාන්විත ක‍්‍රියාවක් හැටියටය. 19 සියවසේ අග දශකයේ සිට වැඩ වර්ජනය යනු කුමක් දැයි දැන සිටින ජනතාවකට මෙවැනි උපමා කුමකට ද? එවැනි අවබෝධයක් ඇති ජනතාවකට කලබල නොකර නිවෙස්වලට වී සිටින්නැයි අවවාද කිරීම මොන තරම් විකාරයක් ද?

කොල්වින් දෙගිඩියාවෙන්

කොල්වින් කවදත් අරගලය පස්සට ඇද්දේය

පංති අරගලයේ දී හැමවිටම පසුගාමී දේශපාලන චරිතයක් වූ මේ ඊනියා සම සමාජ නායකයා 53 ජනතා නැගිටීම ගැන ද දෙගිඩියෙන් සිටි බව වසන් කිරීමට අසමත්ය. පසුව ඔහු කළ ප‍්‍රකාශයක් මෙසේය. ”….ඉන්දියාවේ දී 1942 සිදු වූවාක් මෙන් එය (හර්තාල් අරගලය) විප්ලවීය වර්ධනයක් ඇතිවිය හැකි ජනතා අවියක් වූයේය”. එය එසේම විය. 53 අගෝස්තු ජන අරගලයේ දී සිද්ධීන්ගෙන් ඔප්පු වූවාක් මෙන් සාමකාමී හර්තාල් විධික‍්‍රමය, කම්කරු පංතියේ වැඩ වර්ජන අරගලය පවා අභිබවා ඉදිරියට ගියේය. 53 අගෝස්තු ජන අරගලය ‘හර්තාලයක්’ හෝ ‘නොනගතයක්’ නොවී විප්ලවීය ජන අරගලයක් දෙසට නැඹුරු වූයේ යැයි පැවසීම අතිශයෝක්තියක් නොවන්නේ ද එහෙයිනි. ඒ අරගලය ඉතා තියුණු පංති සටන් අරගලයක් වූයේය.

පංති සටන යනු කුමක් ද?

පංති සටනට අතීතයක්, වර්තමානයක් මෙන්ම අනාගතයක් ද ඇත. මනුෂ්‍ය සංහතියේ ඉතිහාසය පංති සටන් ඉතිහාසයක් යැයි මාක්ස් අදහස් කළේ එහෙයිනි. පංති සටනේ ඉතා විශේෂ ලක්‍ෂණය වන්නේ එහි අනාගත කාර්යභාරයයි. සුරා කෑමෙන් තොර පංති විරහිත, එහෙත් මනුෂ්‍ය වර්ගයාගේ සකලවිධ නිදහස අර්ථවත් කරන විවිධත්වයෙන් තොර නොවූ ලොවක්, සමාජයක් එහි අනාගතයයි. එම නව ලොව පුරවැසි සමාජයකි. එම නව පුරවැසි සමාජය සඳහා වූ අරගලයට බොහෝ දුර අතීතයක් ද විය. ආදි වහල් ක‍්‍රමයට විරුද්ධ සමයේදී ත් එය අර්ථවත් විය. යුක්තිය, නිදහස, සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ සියලූම අරගල පංති සටන් ඓතිහාසික ක‍්‍රියාවලියේ විවිධ අවධිවල විවිධ ආකාර ගත්තේය. එහෙත් කම්කරු පංති නායකත්වයෙන් යුක්ත ජන අරගලය එහි දියුණුම අවස්ථාවයි.

විරෝධය පෑම, වැඩවර්ජන, සත්‍යග‍්‍රහ, උපවාස, වීදි සටන්, පෙළපාලි, නා නා විධ උද්ඝෝෂණ ක‍්‍රියාවන්, සන්නද්ධ කැරලි, බලය සඳහා වූ සංවිධානාත්මක ජනතා සටන්, ජාතික විමුක්ති ව්‍යාපාර සහ සටන්, සංස්කෘතික විප්ලව සටන් (චීනයේ දී මෙන්) ගොවි – තරුණ – ශිෂ්‍ය – ස්ත‍්‍රී සටන් යනාදී මේ සියල්ලක්ම පංති සටන් කි‍්‍රයාවලියේ විවිධත්වයේ ආකාරයන්ය.

ලංකාවේ 53 අගෝස්තු ජන අරගලය මින් කවර ආකාරයේ අරගලයක් වීද? නොඑසේ නම් අරගල කීපයක සංයුක්තයක් ද?

හර්තාලයේ අවස්ථාවක්

53 අගෝස්තු ජන අරගලය ගැන මෙතෙක් සිදු කර ඇති සම්ප‍්‍රදායක් බඳු විචාරයන්ට වෙනස් මගක් ගත් විවරණයක් අවශ්‍ය වී තිබුණේ කලක සිටය. ලංකා දේශපාලනයේ අනාගතය හෙවත් නව පුරවැසි ලොව සහ 53 අගෝස්තු ජන අරගලය අතර ඇති ඓන්ද්‍රීය සබඳතාවය තවත් එක් ඓතිහාසික සිදුවීමක තත්වයට ලඝු කළ නොහැක. එම සටනේ අනන්‍යතාවය නව නිර්වචනයකට ලක් කළ මනාය. 1953 අගෝස්තු 12 වන දා සිදුවූයේ හර්තාලයක් නොව කම්කරු පංති නායකත්වයෙන් යුක්ත විප්ලවීය ජනතා නැගිටීමකි. එහි කෙටි නාමය මින් ඉදිරියට ‘53 අගෝස්තු ජනතා නැගිටීම’ නම් වේ.

53 අගෝස්තු ජනතා නැගිටීම ඊටම ආවේනික වූ සංවර්ධන ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයකි. එක් අතකින් ලංකාවේ කම්කරු පංති ව්‍යාාරයට සාපේක්‍ෂව 53 අගෝස්තු ජනතා නැගිටීම කම්කරු පංතියේ දේශපාලන සටනකි. ලංකාවේ කම්කරු පංති ව්‍යාපාරයට 19 වන සියවසේ අග දශකයන් තරම් ඈත සිට සටන්කාමී අතීතයක් තිබුණි. බොහෝදුරට එම අරගලය කිසියම් සංසිද්ධියක අරගල තත්වයේ වූයේය. 1893 මුද්‍රණ කම්කරුවන්ගේ අරගලය සහ එහි නායකයෙකු වූ විලියම් සිරදඬුවමකට පවා යටත් විය. දුම්රිය කම්කරු නායකයන් වූ යකා ජෝන්, හමිබන් විලියම් සහ මාර්ෂල් වැනි කම්කරු සටන්කාමීන්ගේ නාමයන් මෙවැනි කුඩා ලිපියක හෝ සටහන් කර තැබීම වටී.

ඊ.ඒ. ගුණසිංහ: ප්‍රථම වාත්තීය සමිති නායකයා

ඊ.ඒ. ගුණසිංහ ප්‍රතිමාව

1923 දී සංවිධානාත්මක වෘත්තීය සමිති නායකයා වූයේ ඒ. ඊ. ගුණසිංහ ය. මේ කාලය අතර ඇති වූ කම්කරු සටන් බොහෝය. ට‍්‍රෑම් රථ වර්ජනය හා මරදාන පොලීසියට පහර දී ගිනිලෑම වැනි අරගල ද විය. 1923 සමස්ත මහා වැඩ වර්ජනය, 1929 විදුලි රථ (ට‍්‍රෑම් කාර්) වර්ජනය ඉතා තියුණු බලවේග සහිත විය. මරදාන පොලීසිය වටලා දින දෙකක් ජනතාව විසින් පොලීසියට පහර දෙන ලදී. 1947 සමස්ථ මහා වර්ජනය ද තීරණාත්මක විය. 1929 පොලීසියට කළ පහර දීමේ දී පොලිස් වෙඩි පහරින් කම්කරුවන් කිහිප දෙනෙක් මරුමුවට පත්වූහ. එහෙත් කම්කරුවන් බියපත් වූයේ නැත. පසුදින වරාය ආදී ස්ථානවල කම්කරුවන් 20000 ක් පමණ පොලීසියට පහර දෙන ලදී. 1947 රාජ්‍ය සේවක වර්ජනයේ දී දිවි පිදූ කන්දසාමි, වතු කම්කරු අරගලයේ දී දිවිදුන් ගෝවින්දන් කම්කරු වීරයෝ වූහ. 53 අරගලයේ දී කම්කරු පංති දේශපාලන නායකත්වයක් කරා මෝරා වැඩුනේ මෙවන් අරගල ක‍්‍රියාදාමයකි. 53 අගෝස්තු ජනතා අරගලය දේශපාලන මුහුණුවරක් ගත්තේ ඉහත සඳහන් අතීත සටන් අභිබවා දේශපාලන අරමුණක් පෙරදැරිව වර්ධනය වීම නිසාය.

1935 ලංකා සමසමාජ පක්‍ෂය සහ 1943 ලංකා කොමියුනිස්ට් පක්‍ෂය වැනි වාම දේශපාලන ව්‍යාපාරයන්ගේ බලපෑම කම්කරු පංති ව්‍යාපාරය තුළ කම්කරු පංති නායකත්වයක් බිහි වීමට ද හේතු විය. 1952 මහා මැතිවරණයෙන් බලයට පත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ඉල්ලා අස්වන ලෙස කරන ලද බලපෑම 53 අගෝස්තු ජන අරගලයේ කම්කරු පංති සටන් පාඨය විය. එම දේශපාලන සටන් පාඨය බොහෝ දේශපාලන විචාරකයෝ පහසුවෙන් අමතක කරති. ආණ්ඩුව ඉල්ලා අස් වී නව ආණ්ඩුවක් තෝරා ගැනීමට අවස්ථාව දිය යුතු යැයි හඬක් නැගීමට වාම දේශපාලන පක්‍ෂවලට පවා සිදු වූයේ කම්කරු පංතියේ හා වාම දේශපාලන පක්‍ෂවල පහලින් පැමිණි තෙරපුම නිසාය.

 සුභසාධක ප‍්‍රතිපත්තිය අත්හැරීම

53 අගෝස්තු ජනා නැගිටීමට තුඩු දුන් සමීප සංවේදී හේතූන් හැටියට ප‍්‍රකාශ වන්නේ ආහාර සහනාධාරයේ සහ අනෙකුත් සේවාවන්වල මිල ඉහල යාමය. එහෙත් අප රට අනුගමනය කළ සමාජ – ආර්ථික සුභසාධක ප‍්‍රතිපත්තිය අත්හරින ලෙස විශාල බලපෑමක් ලෝක බැංකුව විසින් එල්ල කළේ 1952 මහා මැතිවරණයෙන් පසුවය. 1952 මහා මැතිවරණයේ දී ”ඉර හඳ පවතින තුරු හාල් සේරුව ශත 25 යි” කියූ එ.ජා. පක්‍ෂයට වසරක් ගතවීමට පෙර සහල් සළාකය අඩු කිරීමට හා එය ශක 25 සිට ශත 70 දක්වා වැඩි කිරීමට සිදු වූයේ සුභසාධක ආර්ථික ප‍්‍රතිපත්තිය අත්හරින ලෙස ලෝක බැංකුව විසින් කරන ලද බලපෑම නිසාය. සීනි මිල ශත 15 කින් වැඩි කළේ 1952 සැප්තැම්බර් මාසයේදී ය. 1953 ජූලි මාසය වනවිට සහල් සළාකය අඩු කිරීම, එහි මිල වැඩි කිරීම, පාසල් ළමුන්ගේ දිවා ආහාරය අහෝසි කිරීම, විදුලි පණිවුඩ – තැපැල් හා දුම්රිය ගාස්තු වැඩි කිරීම ආදී එකවර කඩා වැටුනු ආර්ථික පීඩනයකට පොදුවේ ජනතාවම ලක් වූයේය.

විරෝධය පෑම ඇරඹෙයි

අරගලය විනෝදයේ ද අවස්ථාවකි

ලංකා සමසමාජ පක්‍ෂයේ මූලිකත්වයෙන් මහජන අත්සන් 70,000 ක් මගින් විරෝධය පෑමක් ප‍්‍රකාශ කෙරින. ග‍්‍රාමීය ජනතාවගේ විරෝධය පෑමේ ක‍්‍රියා වඩාත් උත්සන්න වූයේ ආණ්ඩුවේ මර්දනකාරී ක‍්‍රියා පිලිවෙත උත්සන්න කිරීමට ප‍්‍රතිචාර වශයෙනි. ජනතා විරෝධයේ බලවත්ම සංඥාව ප‍්‍රකාශ වූයේ දකුණු පළාතෙන්ය. දකුණු පළාතේ බලපිටිය හා අම්බලන්ගොඩ අතර ‘රන්දොඹේ’ නැමැති ගමේ ජනතාව මහපාරේ වැතිර ගමනාගමනය වළක්වාලූහ. මෙහිදී ස්ත‍්‍රීන්ගේ ක‍්‍රියාකාරීත්වය කැපී පෙනින. ගැමි ජනතාවගේ විරෝධය සටන්කාමී මගක් ගත්තේ ආණ්ඩුවේ හිතුවක්කාර මර්දනකාරී ක‍්‍රියාපිලිවෙත නිසා පමණක් නොවේ. එය ආසන්න ප‍්‍රධාන හේතුව පමණි. එහෙත් සමසමාජ දේශපාලන බලපෑම සහිත ප‍්‍රදේශවල සටනටවන් ජනතාව අත වූ රතු ධජය ඊට වඩා ඉදිරි ගමනක සළකුණක් බඳු විය. දකුණේ ගාලූ දිස්ත‍්‍රික්කයේ රන්දොඹේ සටන ඇති වූයේ 1953 ජූලි 21 දාය.

උතුරේ ජනතාවගේ විරෝධය

එහෙත් ඊට පෙර, එනම් 1953 ජූලි 18 වන දා යාපනයේ පැවති මහජන රැලිය ෆෙඩරල් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය. මෙහි කැපී පෙනුන ලක්‍ෂණය වූයේ අරගලය ආරම්භය දකුණට පෙර උතුරෙන් ප‍්‍රකාශ වීමයි. මොරටුවේ නගර සභාව, වාද්දුවේ නගර සභාව ආණ්ඩු විරෝධී යෝජනා සම්මත කරන විට යාපනයේ නගර සභාව ද ඒ පෙළට එකට සිටියේය.
කුණාටුව හමයි

පොලිස් බලය නොතකා 1953 අගෝස්තු 12

මෙම සටන රන්දොඹේ සිට ජූලි 22 දින වනවිට බලපිටියට ද මාදම්පෙ, අකුරල, තොටගමුව, කරන්දෙනිය, ඌරගහ සහ අහුන්ගල්ල වැනි ප‍්‍රදේශ කරා ඇවිලී ගියේ ලැව්ගින්නක් පරිදිය. ජූලි 24 වන දා අහුන්ගල්ලේ ජන විරෝධය ආයුධ සන්නද්ධ පොලිස් බලයට එරෙහි පසු නොබස්නා ප‍්‍රති ප‍්‍රහාරාත්මක සටනක් විය. ගැමි කාන්තාවන්ගේ සටන්කාමීත්වය මෙහිදී කැපී පෙනේ. පොලිස් භටයන් අත වූ බැටන් පොලූ හමුවේ ඉදිරියට පැමිණි කාන්තාවන් අත වූයේ පොල් ලෙලි තලන කිතුල් පොලුය. කිතුල් පොලු වලින් සන්නද්ධ කාන්තාවන් පිරිමින් අභිබවා ඉදිරියට ආවා පමණක් නොව ප‍්‍රචණ්ඩ ලෙස හැසිරුනු පොලස් නිලධාරියෙකුට එක් කාන්තාවක් අතුල් පහරකින් සංග‍්‍රහ කිරීමට තරම් නිර්භීත වූවාය. එයම, අරගලයේ ස්වභාවය සංකේතවත් කරන්නක් නොවේ ද?

53 සටන රන්දොඹේ සිට ජූලි 22 දින වනවිට බලපිටියට ද මාදම්පෙ, අකුරල, තොටගමුව, කරන්දෙනිය, ඌරගහ සහ අහුන්ගල්ල වැනි ප‍්‍රදේශ කරා ඇවිලී ගියේ ලැව්ගින්නක් පරිදිය.

ජූලි 24 වන දා අහුන්ගල්ලේ ජන විරෝධය ආයුධ සන්නද්ධ පොලිස් බලයට එරෙහි පසු නොබස්නා ප‍්‍රති ප‍්‍රහාරාත්මක සටනක් විය. ගැමි කාන්තාවන්ගේ සටන්කාමීත්වය මෙහිදී කැපී පෙනේ. පොලිස් භටයන් අත වූ බැටන් පොලූ හමුවේ ඉදිරියට පැමිණි කාන්තාවන් අත වූයේ පොල් ලෙලි තලන කිතුල් පොලූය. කිතුල් පොලූ වලින් සන්නද්ධ කාන්තාවන් පිරිමින් අභිබවා ඉදිරියට ආවා පමණක් නොව ප‍්‍රචණ්ඩ ලෙස හැසිරුනු පොලස් නිලධාරියෙකුට එක් කාන්තාවක් අතුල් පහරකින් සංග‍්‍රහ කිරීමට තරම් නිර්භීත වූවාය. එයම, අරගලයේ ස්වභාවය සංකේතවත් කරන්නක් නොවේ ද?

විරුද්ධ දේශපාලන පක්‍ෂවලට ජනතා බලපෑම

ප‍්‍රධාන වාම පක්‍ෂ තුනක් විය. ඒවා නම්, ලංකා සමසමාජ පක්‍ෂය, ලංකා කොමියුනිස්ට් පක්‍ෂය සහ විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂය වේ. ඒ වනවිට විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂයේ නායකත්වය දැරුවේ පිලිප් ගුණවර්ධනය. පිලිප්ගේ විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්‍ෂය අතර නොමේරූ දේශපාලන සන්ධානයක් විය. මෙම සන්ධානයත්, සමසමාජ පක්‍ෂයත් අතර ආණ්ඩු විරෝධී සන්ධානයක් අරමුණු කරගත් සංවාදක් ඇති වී තිබුණි. ඒ වාම පක්‍ෂවල ක‍්‍රියාකාරීන්ගේ බලපෑම නිසාය.

ඇන්.ඇම්, පිලිප් සහ වික්‍රමසිංහ

1953 අගෝස්තු 05 වන දින ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ දේශපාලන මණ්ඩලයේ ප‍්‍රකාශය, අවදිවෙමින් සිටින ජන අරගලය සටන් පාඨ ගත කළේ මෙසේය.

”…. දැන් ඕනෑ සමගියයි. රටපුරා පැතිරෙන ආණ්ඩු විරෝධී සටන ජයග‍්‍රහණය කරා ගෙනයාමට නම් එක්සත් නායකත්වයක් අවශ්‍යය. එක්සත් ජාතික පක්‍ෂ ( ආණ්ඩුවට හා අධිරාජ්‍යවාදයට විරුද්ධව සියලූ පක්‍ෂ හා බලවේගයන් එකතුව එක්සත් නායකත්වයක් යටතේ මේ ව්‍යාපාරය ඉදිරියට ගෙනයනු පිණිස විධිවිධාන වහා යොදවන ලෙස බලපෑම් කරන්න.

”ජනතාවනි,

”එක්සත් වාමාංශික ව්‍යාපාරයක් මත පදනම් වූ එක්සත් කම්කරු පංති නායකත්වයක් යටතේ මෙම ව්‍යාපාරය ගෙනයන ලෙස ඉල්ලා බලපෑම් කරන්න.
”මේ සඳහා සටන් කිරීමට එක්සත් මහජන කොමිටි පිහිටුවන්න. එමගින් ජනතාව සටනට මෙහෙයවන්න. ආණ්ඩුව බලයෙන් පහ කොට ඒ වෙනුවට මහජන ආණ්ඩුවක් පිහිටු වීමට සමත් වන බලගතු ජනතා ව්‍යාපාරයක් ගොඩ නගන්න.

ජාතික ද්‍රෝහීන්ගේ ආණ්ඩුව භංග වේවා !
සියලූ අධිරාජ්‍ය විරෝධී  බලවේගයන්ගේ සමගිය සඳහා ඉදිරියට යමු !!
මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක් සඳහා පෙරට යමු !!!

ඉහත සඳහන් දේශපාලන සටන් පාඨ ඔස්සේ අරගලයේ දේශපාලන නායකත්වයක් ගොඩ නගන ලෙස ප‍්‍රකාශයක් කිරීමට සිදු වූයේ නායකත්වයට වඩා පහල ක‍්‍රියාකාරීන්ගේ බලපෑම නිසාය. නායකත්වය තුළ වූයේ සුපුරුදු කර ඇරීම හා කඹ ඇදීමයි. ලංකා කොමියුනිස්ට් පක්‍ෂය සමගිය සඳහා ආයාචනය කරන අතරම අනවශ්‍ය කොන්දේසීන් එයට එක් කරයි. ඉන් එකක් වන්නේ ‘සෝවියට් දේශය විවේචනය කිරීමෙන් වැළකිය යුතුය’ යන්නයි. ලංකා සමසමාජ ඊට ප‍්‍රතිචාර දැක් වූයේ ”….න්‍යයාත්මකව ප‍්‍රතිපත්ති දේශපාලනය සඳහා ලංකා සමසමාජ පක්‍ෂයට ඇති අයිතියට නිදහසට බාධා වන කොන්දේසි අනවශ්‍ය බවත් ජනතා සටනේ පලල් පෙරමුණු ඒකරාශී වීම රැුඳී පවත්නේ ප‍්‍රාථමික වශයෙන් ලංකාවේ වමේ දේශපාලන පක්‍ෂ අතර පමණක් ඇති කරන ලද එක්සත් පෙරමුණක් මතය. වමේ දේශපාලන පක්‍ෂ අතර එක්සත් පෙරමුණක සැබෑ පදනම රැුඳී ඇත්තේ ඒ පක්‍ෂ අතර කලින් ඇති කරගනු ලැබූ දේශපාලන සම්මුති උඩ නොව සටනට වන ජනතාවගේ උවමනාවන් උඩය. වමේ එක්සත් පෙරමුණකට කලින් බාධාවක්ව පැවති ස්ටාලින්වාදී ආණ්ඩු හා පක්‍ෂ විවේචනය කිරීමේ නිදහස ප‍්‍රශ්නය ජනතා සටන විසින් මකා දමන ලදී.”

ඒ ලංකා සමසමාජ පක්‍ෂයේ වඩා ප‍්‍රායෝගික වූ ප‍්‍රතිචාරයයි. ක්‍රෙමිලින් පාලකයන් සතුටු කිරීමේ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ යෝජනාවට වඩා එය ප‍්‍රශස්ත වූවකි.

හර්තාල් (ලංකා සමසමාජ පක්‍ෂයේ හැඳින්වීම* හා ස්ට‍්‍රයික් ඒකාබද්ධ කොමිටියේ (ඒ වනවිට එවැනි එකතුවක් පිහිටුවා තිබින* අරමුණ වූයේ ආණ්ඩුවට ඉල්ලා අස් වී මහා මැතිවරණයක් කැඳවීමට බලපෑම් කිරීමයි. එසේ අපේක්‍ෂා කරන නව ධනපති විරෝධී ආණ්ඩුවේ සවරූපය පිළිබඳව තවම කවර හෝ එකඟතාවයක් නොමැති වූවත්, ඉහත කී එක්සත් පෙරමුණ නොබිඳී පැවතිය යුතුය. ලංකා සමසමාජ පක්‍ෂයේ ප‍්‍රතිචාරය එබඳු විය.
ඉහත සඳහන් සත්‍ය කරුණු සැකෙවින් හෝ මෙහිලා, සටහන් කිරීම අවශ්‍ය වූයේ අදට පවා විශේෂයෙන්ිඡු්රඑහ ඡුදකසඑසජ’ පක්‍ෂ දේශපාලනයේ අනර්ථකාරී බලපෑම හඳුනා ගැනීම ප‍්‍රයෝජනවත් දේශපාලන හැදෑරීමක් වන නිසාය. ලංකා සමසමාජ පක්‍ෂය පළමුව එක්සත් වාම පෙරමුණක් යෝජනා කළ බව සැබෑය. ඒ 1952 මැතිවරණය සඳහාය. සටන් බිමේ සමගිය සඳහා ලංකා කොමියුනිස්ට් පක්‍ෂය සහ විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂය එම යෝජනාව ප‍්‍රතික්‍ෂේප කළේය.

කම්කරු පංති සමගිය

කොමියුනිස්ට් පක්ෂයේ එක් වෘත්තීය සමිති නායකයකු වූ ඇම්.ජී. මැන්ඩිස්

සටන්කාමී දේශපාලන ව්‍යාපාරයක් උදෙසා කම්කරු පංතියේ සමගිය සඳහා බලපෑමක් පැමිණියේ සංවිධානාත්මක කම්කරු සමිති සම්මේලන කෙරෙන්ය. එම සමගිය සඳහා මුලින්ම යෝජනා ඉදිරිපත් කළේ තමන් විසින් යැයි ලංකා කොමියුනිස්ට් පක්‍ෂය හා ලංකා සමසමාජ පක්‍ෂය අතර පටු විවාදයක් ද විය. කම්කරු සමිති හා සම්මේලන ඒ ගැන තැකීමක් නොකළ අතර ඔවුහු සමගිය ඉහලින්ම ඉල්ලා සිටියහ.
ලංකා කොමියුනිස්ට් පක්‍ෂය කියන විදියට ලංකා කම්කරු සමිති සම්මේලනය විසින් ප‍්‍රධාන කම්කරු සමිති සම්මේලනවලට පොදු ඉල්ලීම් තුනක් වටා සන්ධාන ගතවීමට යෝජනා කරන ලදදේ 1953 ජූලි 20 වන දාය.
දෙවනුව කම්කරු හා වෘත්තීය සමිති සම්මේලන 04 ක් විසින් කම්කරු සමිති මධ්‍යස්ථානයක් පිහිටු වීමට යෝජනා සම්මත කරගත්තේය. පහත සඳහන් පරිදි මෙම යෝජනාවට අත්සන් තබා තිබුණි.

ඇම්. ජී. මැන්ඩිස්
ලංකා කම්කරු සමිති සම්මේලනය
ප‍්‍රධාන ලේකම්
පී. බාලා තම්පො
ලංකා වෙළඳ සේවක සංගමය
ප‍්‍රධාන ලේකම්
යූ. ඊ. පෙරේරා
ලංකා කම්කරු සම්මේලනය
ප‍්‍රධාන ලේකම්
ඇම්. සුබ්බයියා
ලංකා කම්කරු සංගමය

කම්කරු සටන් මාලාවක් ආරම්භ වෙයි

වැල්වත්ත රෙදි මෝලේ සියලූම කම්කරුවන් ද, වරාය කම්කරුවන් 12,000 කට වඩා සහභාගී වූ සංකේත වර්ජනය අනෙකුත් ස්ථානගත වර්ජන අතර කැපී පෙනුනි. විප්ලවයේ කම්කරු පංති නායකත්වය හැමවිටම ඒකාකාර ආකෘතියක් බඳු දෙහක් නොවේ. රුසියානු විප්ලවයට වඩා වෙනස් ආකාරයකින්, චීන විප්ලවයේ කම්කරු පංති නායකත්වය නැමැති දේශපාලන ප‍්‍රපංචය පංති අරගල ඉතිහාසයට එක්වන්නේ. 1917 ඔක්තෝම්බර් රුසියානු විප්ලවයේ ජනතා නැගී සිටීම සාර්ථක වන්නේ ගමට වඩා නගරයේ කම්කරු පංති විප්ලවීය ක‍්‍රියාකරකම් මතය. මුළු රටේ ජනගහනය අනුව ඉන් 25% ක් පමණ වූ පෙට්‍රොගෑඞ් නගරයේ කම්කරු පංති නායකත්වය විප්ලවයේ තීරණාත්මක වූ බව ලියෝන් ට්‍රොට්ස්කිගේ පමණක් නොව ලෙනින්ගේ ද පිළිගැනීම විය. එහෙත් චීන විප්ලවයේ කම්කරු පංති නායකත්වයේ භූමිකාව ව්‍යූහාත්මකව වෙනස් විය.
දිග්ගැස්සුනු මහජන යුද්ධය බලමුළු ගැන්වුනේ කම්කරු බල කේන්ද්‍ර වූ නගරවල නොව, න්‍යායාත්මකව කම්කරු පංති දේශපාලනයේ ඉදිරි දැක්මක මගපෙන්වීම ලත් ජන අරගලයේය. එම අරගල හොඳින් සංවිධානය වූ පුහුණුව ලත් විනයක් සහිත යුද හමුදාවක (රතු හමුදාව* සටන්කාමී රැුකවරණය ලත් ජන අරගලයක් විය. එහි උපාය මාර්ගය වූ නගරවල ජයග‍්‍රහණය ගමට ගෙන යාමේ රුසියානු විප්ලව උපාය මාර්ගය නොව ගමෙන් නගර වටලා ජයගැනීමේ යුද්ධෝපායික උපාය මාර්ගයයි.

53 අගෝස්තු ජන හැසිරීම

එහෙත් 53 අගෝස්තු ජන නැගිටීම නගරයට පෙර ගම්බද ජනතා නැගිටීමක් ලෙස වර්ධනය වීම සුවිශේෂී ලක්‍ෂණයකි. එම අරගල දාමය කිසියම් දේශපාලන උපාය මාර්ගයක් අනුව සැලසුම් කරන ලද්දක් නොවේ. එහෙත් ගමේ සටන්කාමීත්වය නගරයට උත්තේජනයක් විය. මෙවැනි හැදෑරීමක් අවශ්‍ය වන්නේ 1971 අපේ‍්‍රල් කැරැුල්ල ලංකාවේ පංති සටන් ක‍්‍රියාවලියේ අතර මගදී හමු වූ නිසාය.
එක් ට්‍රොට්ස්කි වාදී න්‍යායධරයෙක් 53 ජනතා නැගිටීම ගැන කරන ලද විවරණයක දී කීවේ, ට්‍රොට්ස්කි විසින් රචනා කරන ලද ‘රුසියානු විප්ලව ඉතිහාසය’ නම් මහා ග‍්‍රන්ථයේ උපුටනයක් දක්වමිනි. ඒ මෙසේය ”…. ගම නිහඬව සිටියේය. ඒ නිසා ගම ගැන නගරය නිහඬ වූයේය.” යනුවෙනි.

ගම්බද ක‍්‍රියාකාරීත්වය 53 අගෝස්තුවේ දී නගරය අවදි කළේය යන්න සැබෑවකි. එමෙන්ම අවදි වූ නගරය හෙවත් අගනුවර (කොළඹ* මහ සටන, අරගලය තීරණාත්මක ඉමකට ගෙන ගියේය යන්න ද එසේම සැබෑවකි.

ගමේ අරගලය ඇවිලී ගිය හැටි

කොළඹින් පිට අරගලය දුම්රය මඟ හරස් කළේය

ඒ ගැන ප‍්‍රමාණාත්මක තොරතුරු මෙසේය. 1953 ජූලි 21 රන්දොඹේ සටන ජූලි 24 වනවිට බලපිටිය, මාදම්පෙ, අම්බලන්ගොඩ, තොටගමුව, කරන්දෙනිය, ඌරගහ, අහුන්ගල්ල, කොස්ගොඩ ආදී ප‍්‍රදේශවලට පැතිර ගියේ දින දෙකක් තුනක් ඇතුලතය. විරුද්ධ දේශපාලන පක්‍ෂ විසින් කැඳවන ලද ගාලූ මුවදොර මහජන රැුලිය අනිවර්යයෙන්ම සඳහන් කළ මනාය. එම මහා ජන රැුලියට කම්කරුවෝ 50,000 කට වඩා සහභාගී වූහ. ජන රැුලිය කඩාකප්පල් කිරීම පිණිස පොලීසිය විසින් සිදු කළ ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරය සහ ජනතාව පෙරලා පොලිස් හමුදාව වෙත එල්ල කළ ප‍්‍රචණ්ඩ ප‍්‍රති ප‍්‍රහාරය රට පුරා මහත් නොසන්සුන් තාවයක බලාපොරොත්තුවක් විය. එම සටන නුදුරු දිනෙක ඇවිලෙන මහා ජන අරගලයේ පෙර නිමිත්තක් බඳුය. ඒ සමගම 53 ජූලි 23 ගාලූ මුවදොර සංග‍්‍රාමය අරගලයේ ගම සහ නගරය අතර අන්නෝන්‍ය බලපෑමේ බලය කියාපෑමක් ද වූයේය. ජූලි 21 රන්දොඹේ අරගලයේ සටන්කාමීත්වය විශේෂයෙන් ස්ත‍්‍රීන්ගේ සටන්කාමීත්වය ජූලි 23 ගාලූ මුවදොර (නගරයේ* සටනට මහත් සටන්කාමී උත්තේජනයක් වූවා මෙන්ම, නගරයේ ගාලූ මුවදොර සංග‍්‍රාමය අගෝස්තු ජන නැගිටීමේ ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශවල විසිරී පැතිරුණු සටන් ජාලයකට පෙරලා බලපෑම් සහගත වූයේය.

53 අගෝස්තු 12 උදාවූයේ මේ සමගය

අගෝස්තු 12 සටන වෙනුවෙන් ප‍්‍රකට කැඳවීමක් වූයේය. එම කැඳවීම සම්බන්ධ ලිපිය අවසන් කර තිබුණේ මෙසේය.

”…. අගෝ. 12 දින බදාදා ජාතික විරුද්ධතවය පළ කිරීමේ දිනයක් වශයෙන් පවත්වන ලෙස පහත සඳහන් සංවිධානයෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

”තම කඩ සාප්පු සහ වෙනත් ආයතන වසා දැමීමෙන් ද, වැඩපොලවල් වලට, පාසල්වලට නොයෑමෙන් ද, රැස්වීම් පැවැත්වීමෙන් සහ කළු කොඩි එසවීමෙන් ද, මේ විරුද්ධත්වය පලකිරීමට සහභාගී වන ලෙස අපි ජනතාවගෙන් සියලූම කොට්ඨාශයන්ගෙන් ඉල්ලා සිටිමු.

”ආපනශාලා, ඩිස්පැන්සරි සහ වෛද්‍ය ආයතනවල වැඩ කරන්නා වූ ද, ඒ ආයතනවල කෑම සහ බෙහෙත් සපයන්නා වූ ද සියලූම අයගෙන් එදිනට වැඩ නොනවත්වන ලෙසත්, කළු සළකුණු පැළඳීමෙන් තම විරෝධය ඵල කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු.”

අත්සන් කළේ,
පිලිප් ගුණවර්ධන – විප්ලවකාරී සමසමාජ පක්‍ෂය (ප‍්‍රධාන ලේකම්)
දොස්තර එස්. ඒ. වික‍්‍රමසිංහ – ලංකා කොමියුනිස්ට් පක්‍ෂය (ප‍්‍රධාන ලේකම්)
ආචාර්ය එන්. එම්. පෙරේරා – ලංකා සමසමාජ පක්‍ෂය ලංකා කම්කරු සම්මේලනය (සභාපති)
පීටර් කේනමන් – ලංකා කම්කරු සමිති සම්මේලනය (සභාපති)
ලෙස්ලි ගුණවර්ධන – ලංකා සමසමාජ පක්‍ෂය (ප‍්‍රධාන ලේකම්)
පී. බී. තම්පො – ලංකා වෙළඳ සේවක සංගමය (ප‍්‍රධාන ලේකම්)
ඒ. ඊ. ගුණසිංහ – ලංකා කම්කරු සම්මේලනය (සභාපති)
සී. එච්. හික්කඩුවගේ – සමස්ත ලංකා හාබර් සහ ඩොක් කම්කරු සමිතිය (සභාපති)

සිසු පරපුර සටනට එක්වීම

53 අගෝස්තු 11 වන දින වීදි බට සරසවි සිසු සිසුවියන් පේරාදෙණියේ දී සහ මහනුවර දී පොලිසිය සමග ගැටුනහ. පසුව සිරසවි භූමිය ආක‍්‍රමණය කළ සන්නද්ධ පොලිසිය, නේවාසිකාගාරවලට කඩා වැදී සිසු සිසුවියනට කුරිරු ලෙස පහර දෙන ලදී. කෝපයට පත් සිසු සිසුවියන් පෙරලා පොලීසියට පහර දුන්නෝය. සිසුන්ගේ හා දෙමව්පියන්ගේ ද, ජනතාවගේ ද බලපෑම කොතෙක් වීද යත් උපකුලපති නිකලස් ආටිගලට උසාවියේ දී සිසුන් වෙනුවෙන් ඇප කරුවෙකු ලෙස පෙනී සිටීමට සිදුවිය. ජයතිලක ශාලාවේ කොරිඩෝවක් කලක් යනතුරු රතු පැහැයෙන් නම්කර තිබුණේ හර්තාල් මාවත යන (Harthal Avenue) නමිනි.

උතුරේ – යාපනයේ ජනතාව සටනට එක් වූයේ විශේෂයෙන් පුළුල් වාම දේශපාලන නායකත්වයකින් සහ එවැනි මගකින් මෙහෙයවුන පසුබිමක නොවේ. බිඳුණු හදවත් ඇති ඔවුනට එසේ වීමට බලපෑ කාරණය වූයේ 1948 ‘පුරවැසි පනතයි’. එහෙත් කිසියම් සීමාවක් තුළ වූව ද උතුරේ ජනතාව මෙකී අරගලය මග හැරියේ නැත.

ශ්‍රීලනිපය පස්ස ගැසීම

බණ්ඩරනායක හර්තාලයට සහාය දුනනේ නැත

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මෙම අරගලය නාවන්නට ඇදගෙන යන පිස්සු බල්ලෙකුට සමාන විය. ලංකා දේශපාලනයේ මහත් ම අවුල එදා පවා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. ශ‍්‍රී. ල. නි. ප. නිර්මාතෘ එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත් ව ශ‍්‍රී. ල. නි. ප. බිහි කළේ ද, 56 ඊනියා ජයග‍්‍රහණයක් නිමානය කළේ ද බලලෝභයෙන් වියරු වැටුනු දේශපාලන නායකයෙකු නිසාය. 53 අගෝස්තු ජන නැගිටීම දෙස ඔහු බැලූවේ ද සිය සගයින් සමග කෑදර සිතකිනි. 1953 ජූලි 23 වන දින ගාලූ මුවදොර පිටිය දෙවනත් කළ 53 ජනතා අරගලයේ පෙරහුරුව වූ මහජන රැලියට ඇදෙන මහජනයා දෙස බණ්ඩාරනායක බලා සිටියේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පියගැට පෙළ මත සිටගෙනය. රැලියට සහභාගී වීම සඳහා ඒ දෙසට යමින් සිටි වරාය කම්කරුවන් 500 ක පමණ පිරිසක් ඔහුව වටකරගෙන සිට ඇත. ඒ අතර සිටි අය අතුරෙන් දැවැන්ත සිරුරක් ඇතිව සිටි ‘චණ්ඩි’ නැමැති අන්වර්ථ නාමයෙන් හැඳින් වූ වරාය කම්කරුවකු ‘යමු, යමු’ යැයි කියමින් බණ්ඩාරනායක රැස්වීම් භූමියට බලයෙන්ම ඇදගෙන ගොස් ඇත. රැස්වීම් වේදිකාව අසලට කැඳවාගෙන ගිය බණ්ඩාරනායක උණුසුම් ලෙස පිළිගත් සමසමාජ නායක එන්. එම්. පෙරේරා විසින් සිය මුලසුන බණ්ඩාරනායක වෙත පිරිනමා ඇත. එසේ වී නමුත්, බණ්ඩාරනායක අගෝස්තු අරගලයට සහාය දැක්වීමෙන් තොරවීම, මගහැර සිටීම ප‍්‍රශංසාවට ලක් කළේ ලේක් හවුස් පත්තර බිස්සේ ඬේලිනිව්ස් පුවත්පතයි.

ෆෙඩරල් පක්‍ෂය එක් නොවුනද..

ෆෙඩරල් පක්‍ෂය වාමාංශික පක්‍ෂ එක්සත් හවුලට සම්බන්ධ නොවුන ද දෙමළ ජනතාව අරගලයෙන් වෙන් කිරීමට කිසිසේත් ම කටයුතු නොකළ අතර සහය දැක් වූ ප‍්‍රකාශ පවා නිකුත් කිරීමට පෙළඹී සිටියේය. යාපනයේ නගර සභා කම්කරුවන් වර්ජනයට එක්වෙමින් ක‍්‍රියා කළේ කිසිදු බාධාවකින් තොරවය. මහජන රැස්වීම් හා පෙළපාලි පැවැත්වීම් ද සිදු විය. 53 අගෝස්තු 12 වෙනි දා අරගලයේ කේන්ද්‍රය බවට අගනුවර (කොළඹ) පත්වූයේ ඊට දින කීපයකට පෙර සිටය. විශේෂයෙන් වරාය, දුම්රිය අංගනය, රජයේ කම්හල, වැල්ලවත්ත රෙදි මෝල මෙන්ම පුද්ගලික අංශයේ කම්හල් බොහෝමයකම කම්කරුවෝ අරගලයට එක් වෙමින් සිටියහ. අගෝස්තු 11 දා මධ්‍යම රාත‍්‍රියේ දී කොළඹ දුම්රිය අංගනයේ දී (Running Shed)කම්කරුවන් පළමු වෙඩි මුරය තබමින් වැඩ වර්ජනය ආරම්භ කළේ අරගලයේ දී කම්කරු නියෝජනයක් ඇති කරමිනි.
අගෝස්තු 12 වන දා උදේ වනවිට කොළඹ සහ තවත් උප නගරවල වැඩ වර්ජනයට එක් වූ කම්කරුවෝ සංඛ්‍යාවෙන් 75,000 ටත් අධික වූහ. එසේ වැඩවර්ජනයට එක් වූ කම්කරුවන් පමණක් දළ වශයෙන් පහත සඳහන් ආයතනවලට හා මධ්‍යස්ථානවලට අයත් වූහ.

කොළඹ දුම්රිය අංගනය
(Running Shed)
රත්මලාන දුම්රිය වැඩබිම
කොලොන්නාවේ රජයේ කම්හල
ඇන්ඩි වර්ක්ස්
තැපැල් සේවය
හම් කර්මාන්ත ශාලාව
වරාය
වඩු කර්මාන්ත ශාලාව ආදී තැන්වල දෛනික වැටුප් ලබන ආණ්ඩුවේ සියලූම කම්කරුවන්
වරායේ පුද්ගලික සමාගම්වල වැඩ කරන සියලූම කම්කරුවන්
වෝකර් ටකර්, කොලෝනියන් මෝටර්ස්, බ‍්‍රවුන්ස්, හෝර් වෝකර්, ග‍්‍රීත් ආදී ඉංජිනේරු ආයතනවල කම්කරුවන්
කොළඹ නගර සභාවට අයත් ගිලන් රථ හා ඩිස්පැන්සරි සේවය හැර අන් සියලූම කම්කරුවන්
විදුලි රථ, ට්‍රොලි බස්, සවුත් වෙස්ටර්න් බස් සමාගමේ ගමනාගමන සේවා කම්කරුවන්
ගෑස් සමාගමේ හා වැල්ලවත්ත රෙදි මෝලේ සියලූ කම්කරුවන්
සැල්බි ස්ටෝරුව, සිලෝන් ටෙ‍්‍රඩිං සමාගම, ලිවර් බ‍්‍රදර්ස් සමාගම, හෙන්ඩර්සන් පෙරේරා සහ පුත‍්‍රයෝ සමාගම
සිගරට් කම්හල්වල කම්කරුවන්, වෙළඳ සේවකයින්, මුද්‍රණ කම්කරුවන් ද, බීඩි කම්කරුවන් ද වූහ.

කොළඹට නුදුරු පෙදෙස්වල 5000 ක් පමණ රා කර්මාන්තයේ කම්කරුවන් ද, කැලණියේ උළු කම්හල්වල කම්කරුවන් ද, ගිනිපෙට්ටි කම්හල්වල කම්කරුවන් ද, පළාත් පාලන මණ්ඩල කීපයක කම්කරුවන් ද මේ අතර විය. පාන්දරම වැඩට ගිය සහ පෙරදින රාත‍්‍රී කම්හල්වල වැඩ බිම්වල නැවතී සිටි කම්කරුවන් වර්ජන ව්‍යාපාරයට එක්වීමට තීරණය කළ බැවින් අගෝස්තු 12 දා පෙරවරු 11 පමණ වනවිට සමස්ථ මහා වැඩ වර්ජනය අතිශයින්ම සාර්ථක විය.

බස්නාහිර පළාත: අරගලයේ කේන්ද්‍රය

බස්නාහිර පළාතේ අරගලයේ කේන්ද්‍රය වූයේ (කොළඹ) අගනුවරය. එහෙත් වත්මන් ගම්පහ දිස්ත‍්‍රික්කයේ සහ කළුතර දිස්ත‍්‍රික්කයේ ද අරගලය පැතිරිනි. බස්නාහිර පළතේ කොළඹ දිස්ත‍්‍රික්කයේ වර්ජනය බෙහෙවින් උණුසුම් විය. අවිස්සාවේල්ල, කොස්ගම පුවක් පිටිය, තල්දූව, ගැටහැත්ත ආදී ප‍්‍රදේශවල වෙළඳ සැල් වසා තිබින. අරෝග්‍ය ශාලා සේවකයන් කළු පටි පැළඳ විරෝධය දක්වමින් වර්ජනයට එක් වනු දක්නට ලැබින. ගමනාගමන අංශයේ බස් සේවක වර්ජනය ආරම්භයේ දී ගැටුම් සහිත විය. ඒ බස් සමාගම් හිමියන්ගේ බලහත්කාරයට එරෙහිවය. කොළඹ අවට ගැටුම් ඇති වූයේ ගාමිණී බස් සමාගම සහ හයිලෙවල් බස් සමාගම යනාදිය සමගය.

හර්තාලයේ අවස්ථාවක්

සවුන් වෙස්ටර්න් බස් සමාගමේ හිමිකරු වූ එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබලයෙකු වූ සිරිල් ද සොයිසා ප‍්‍රකාශ කළේ වැඩ වර්ජනයට සහභාගී වනවාද නැද්ද යන්න තීරණය කිරීම සේවකයන්ට භාර බවයි. බස් සමාගම් සේවකයන් ඒ වනවිට වර්ජනයට සහභාගී වීමට තීරණය කර තිබුණි. බලහත්කාරයෙන් බස් ධාවනය කිරීමට තැත් කළ බස් සමාගම් හිමිකරුවන්ට මහජනතාවගේ ප‍්‍රහාරයට ලක් වී පසු බැසීමට සිදුවිය. බොරලැස්ගමුවේ දී ගාමිණී බස් සමාගමේ බස් රථ කීපයක් ගිනි තබා විනාශ කරන ලදී. දුම්රිය වර්ජනය කඩා කප්පල් කිරීමට දැරූ ප‍්‍රයත්නයන් සියල්ල අසාර්ථක විය.

මොරටුව ප‍්‍රදේශයේ එගොඩ උයනේ දී කැරලිකාරීත්වයන් උද්ගතව තිබිණි. එගොඩ උයනේ දී දුම්රියක් අත්අඩංගුවට ගත් ජනතාව එහි ගමන් කරමින් සිටි ආයුධ සන්නද්ධ පොලිස් භටයන් පවා පලවා හරින ලදී. බලහත්කාරයෙන් දුම්රිය ධාවනය කිරීමට තැත් කළ දුම්රිය රියදුරන් සහ ගාඞ්වරුන් අත්අඩංගුවට ගෙන ගස් බඳිනු ලැබුවේ යැයි ද, තොරතුරු වාර්තා විය. දුම්රිය පාරේ මොරටුවේ දී රේල්පීලි ගලවා එම පීලි මුහුද දෙසට හා අහස දෙසට හරවන ලදී. රේල්පීලි ගැලවීමට කඹ සහ මාළු දැල් පවා උපයෝගී කරගෙන තිබුණි. දකුණේ, විශේෂයෙන් මුහුදුබඩ තීරයේ අරගලයේ ඉදිරියෙන් සිටියේ ස්ත‍්‍රීන්ය.

රැඩිකල් බලයක් සඳහා කම්කරු පංතිය

අගෝස්තු 12 උදෑසන සිටම වරාය කම්කරුවෝ දුම්රිය සහ වෙනත් කම්කරුවෝ කොළඹ නගරයේ වීදි සරමින් විකල්ප බලයක් ගොඩනංවමින් සිටියහ. නොරිස් පාර (වර්තමාන ඕල්කට් මාවත) ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබින. වීදි බට පොලිසිය පළවා හරින ලදී. සමසමාජ තරුණයන්ට හා කම්කරුවන්ට නගරවාසී සාමාන්‍ය ජනයා උදව් කිරීම සුවිශේෂි විය. පොලීසියට පහරදීම සඳහා ගල් මුගුරු සැපයුවේ පදික වේදිකාවේ දෛනික කුලී වැඩ කරන්නන්ය. පිටකොටුවේ සටනේ දී (ගෑස්පහ) සමසමාජ තරුණයෙක් වූ පිටකොටුවේ එඞ්වින් හමුදා වෙඩි පහරට ලය පෑවේ මහත් එඩියෙනි. මේ වනවිට අරගලය මැඩලීමට පොලීසියේ සහාය පිණිස යුධ හමුදාව කැඳවා තිබුණි.

කොළඹ නගරයට ඇතුළු වන මාර්ග සියල්ල අහුරමින් ජනතාව නගරයට රොක් වෙමින් සිටියහ. ආණ්ඩුව බියෙන් තැතිගෙන සිටියේය. කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීම පැවැත්වීමට අගනුවර ආරක්‍ෂිත තැනක් නොවීය. එය රැස් වූයේ වරායේ නැංගුරම් ලා තිබූ ‘H. M. S. New Foundland’  එච්. එම්. එස්. නිව් ෆවුන්ඩ්න්ඩ් නම් බ්‍රිතාන්‍ය යුධ නෞකාව තුලය.

පාලක පංතිය හා ආණ්ඩුව තත්වය ඉතා බැරෑරුම් ලෙස භාරගෙන තිබුණි. එය සනාථ කළ හැකි හේතු රාශියකි. වරාය, රජගෙදර, අරලියගහ මැදුර, පාර්ලිමේන්තුව, මහා තැපැල් හල, විදුලි සංදේශ මධ්‍යස්ථානය සහ ලේක්හවුසිය ඇතුළු රාජ්‍යයේ මර්මස්ථාන පිහිටා තිබුණේ කැරලිකාර සටන්කාමීන් ප‍්‍රමුඛ මහජනතාව විසින් අත්පත් කරගෙන තිබුනා බඳු වූ අගනුවර තුළය; එනම් කොළඹ නගරය තුළය. ඒ වනවිටත් මහජනතාවගේ කෝපය එල්ල වී තිබුණේ ලේක්හවුසිය වෙතය. එය අත්පත් කරගැනීමේ අටියෙන් කෝපාවිශ්ඨ ජනයා වීදි දිගේ පොලපාලියෙන් ගමන් අරඹා සිටියහ. අරගලය තීව‍්‍ර වෙමින් තවත් බොහෝ දුර ගමන් කරමින් තිබෙන බව ප‍්‍රත්‍යක්‍ෂ විය. කම්කරු පංතිය ප‍්‍රමුඛ නව නායකත්වයක් අරගලය තුළම බිහි වී තිබුණි. න්‍යායවේදීන් හෝ ප‍්‍රභූ නායකයන් සිටියේ නැත. දෙවන පෙළ සමසමාජ ක‍්‍රියාකාරිකයෙකු වූ රෙජී මෙන්ඩිස් සහෝදරයා මේ වනවිට ගිනියම් වූ සටනේ කැපී පෙනෙන නියමුවෙකුගේ තත්වයට පත්ව තිබුණි. ඔහුගේ අත්දැකීම සහ අදහස වූයේ අරගලය බලය සඳහා වූ විප්ලවීය මාවත දෙසට හැරී තිබුන බවය.

සාදුකින් පෙලෙනවුන් දැන් ඉතින් නැගිටියව් !

ඕනෑම සටනක දී සටන් බිමේ සුවිශේෂී නායකත්වයක් බිහිවීම ස්වාභාවිකය. 71 කැරැල්ලේ දී පවා අපි එය දුටුවෙමු; අත්වින්දෙමු. දිග්ගැස්සුනු වැඩ වර්ජන අරගල වලදී ද නිල නායකත්වය අභිබවමින් නව නායක පුද්ගලයන් හා නායක බල ඇනි පවා අරගලය තුළින් ම ඉස්මතු වේ.

53 අගෝස්තු ජන අරගලයේ දී ග‍්‍රාමීය පුද්ගල ජන අරගලය නොසිතූ පරිදි සටන්කාමී වීමේ එක් ප‍්‍රධාන හේතුවක් වූයේ ද සටන්බිමේ නව නායකත්වයයි. මේ වනවිට පුන පුනා අවධාරණය කළ පරිදි ස්ත‍්‍රීන් පෙරටුගාමී බල ඇනියක් වූයේ ද ඒ නිසාය.

53 ජන අරගලයේ දී මෙකී වර්ධනය පොදුවේ දැකගත හැක්කේ නායකත්වයේ භූමිකාව තුළය. අගෝස්තු 12 දාට පෙර ප‍්‍රකට වූයේ ප‍්‍රභූ නායකත්වයකි. ඔවුන්ගෙන් වැඩිදෙනා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සහ මන්ත‍්‍රීවරියෝ වූහ. ඊට අමතරව තවත් සමහරු වෘත්තීය සමිති ප‍්‍රභූ නායකයෝ වූහ. ඔවුහු මන්ත‍්‍රී නායකත්වයටත් වඩා නිලධාරීවාදී වූහ. කම්කරු ව්‍යාපාරයේ පිලිලය ඔවුන්ය.

නායකත්වය කම්කරු පංතිය අතට

මෙකී ප‍්‍රමුඛ නායකයන් සටන් බිමේ ගිනියම් වූ මහ පොලොවේ පයගසා සිටිනු දුලබ දසුනක් විය. සටන්කාමී නව නායකත්වය ක‍්‍රියාකාරී කම්කරුවෝ වූහ; සටන්කාමී වාම සමසමාජ තරුණයෝ වූහ.
අප මෙහිදී සම්භාව්‍ය අරුතින් එතරම් සමීප නොවූව ද, කම්කරු පංති නායකත්වයෙන් සටන ඉදිරියට යනු දැකගත හැකි විනැයි කියන්නේ මේ වර්ධනය සමගය.

මේ සටන විප්ලවය කරා ගෙන යා හැකි යයි ඔවුහු අවංකවම සිතූහ. වරාය කම්කරුවන්ගේ අවසරයෙන් තොරව එහි ඇතුල් විය නොහැකි තරමට ඔවුන්ගේ බලය ඉස්මතු වී තිබුණි. ගමනාගමනය, දුම්රිය, බස් සහ පුද්ගලික වාහන ගමනාගමනය ද වීදි බට කම්කරු පංතිය ප‍්‍රමුඛ සටන්කාමී ජනයා විසින් සම්පූර්ණයෙන් ම පාලනය කෙරින. සටනේ ප‍්‍රකාශිත සටන් පාඨය වූ ‘ඹගභගඡුග ආණ්ඩුව පෙරළා දමව්’ යන්න කළ නොහැක්කක් නොවේය යන ප‍්‍රබල හැඟීමක් සැනින් පැතිර යමින් තිබින. අපේක්‍ෂා කළ එහි ප‍්‍රතිඵලය අන් කිසිවක් නොව මෙතෙක් හඬ නැගූ ”සාදුකින් පෙලෙනවුන් දැන් ඉතින් නැගිටියව්…කම්කරු ආණ්ඩුවක් පිහිටුවව් !” යන්නයි.

අගෝස්තු 12 දින මධ්‍යහ්නය වනවිට නගරයේ තැනින් තැන සැබැවින්ම ගිනිගනිමින් තිබින. වොල්කාට් සහ සහෝදරයන්ගේ ආයතනය, මැනිං මාර්කට්, වරායේ වෝකර් මැරින් ඉංජිනියර්ස් ආයතනයන් ගිනි ඇවිලෙමින් තිබින. ගිනි නිවන රථවලට පවා හරි හමන් දෙයක් කරන්නට බැරි තත්වයක් ඇති වී තිබුණේ අගනුවර ජනතා කැරලිකරුවන් අතට පත්වීමේ අද්දර තිබූ අතර තර්ජනය වඩා බලවත් වූයේ උප නගර සහ ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශවල කැරලි තත්වයක් වර්ධනය වෙමින් තිබූ නිසාය. තවද මෙවැනි කැරලිකාරී ජනතා නැගිටීමකට මුහුණ දීමේ පෙර අත්දැකීම් ඇති පොලිසියක් හෝ හමුදාවක් අප රටේ නොවීය. ආණ්ඩුවේ නායකයෝ කොතරම් කැළඹී සිටියේ ද යත් ඉහත සඳහන් පරිදි කැබිනට් රැුස්වීම පැවැත්වූයේ මුහුද මැද බි‍්‍රතාන්‍ය යුද නැවකය. ආරක්‍ෂාව ගැන බලාපොරොත්තු තබා සිටියේ අධිරාජ්‍යවාදී හාම්පුතුන් කෙරෙහිය. ඊට අමතරව ජලයෙන් වටව ආරක්‍ෂිත වූ තැනක් වඩාත් සුරක්‍ෂිත යැයි ඔවුන් එදා සිතූ බව නිසැකය. මේ බව තහවුරු කරන හොඳම සාක්‍ෂිකරු අන් කිසිවෙක් නොව, නම් දැරූ ප‍්‍රතිගාමියා වූ ‘යැංකි ඩිකී’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ, අර්බුදයේ වැඩි කොටසක් නිම_ානය කළ එවකට මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධනය.

වර්තමාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කළ දවසේ ඔහු මෙසේ ප‍්‍රකාශ කළේය. ”….පාර්ලිමේන්තු මන්දිරය ජලාශයක් මැද්දේ ඉදි කෙරුවේ 1953 හර්තාල් කෝලාහලවල පාඩම හිතේ තියාගෙනයි. 53 වගේ තත්වයක් ආපසු ඇති උනොත් හොඳම ආරක්‍ෂක ස්ථානය තමයි දියවන්නා ජලාශය මැද්දේ තියෙන නව පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව අල්ලගන්න කැරලිකාරයෝ එනව නම් පීනගෙන එන්න ඕන. එතකොට අපිට පුළුවන් උන්ට වෙඩි තියන්න”. 53 අගෝස්තු 12 වෙනි දා ආණ්ඩුවේ නායකයන් කොතරම් තැතිගෙන සිටියා ද යන්නට මෙය කදිම උදාහරණයකි.

අරගලය ප‍්‍රත්‍යන්ත බදව රටේ විශාල ප‍්‍රදේශයක් පුරා පැතිර තිබීම කෙතරම් බලවත් වී ද යන්නට කදිම උදාහරණයකි, ”….මහරගම ජනරජයක් වූයේ ය” යි යන කියමන. මෙසේ සඳහන් කරන්නේ 53 අගෝස්තු ජන නැගිටීමෙන් වසර 20 කට පසු ‘හර්තාලය’ යන නමින් පොත් පිංචක් ලියන කොල්වින් ආර් ද සිල්වාය.

වතු කම්කරු සහභාගීත්වය

වතු කම්කරු සහභාගීත්වය ගැන මෙහි ලා සටහන් කර තැබීම ප‍්‍රයෝජනවත් වන්නේ අද පවා වර්ගවාදයට එරෙහිව පංති සටන කොතරම් බලවත් ද යන්න ඔප්පු කෙරෙන නිසාය. ලංකා ඉන්දියානු සංගමයත් ඔවුන්ගේ වතු කම්කරු සංගමය මුල් වෙමින් විරෝධතා රැස්වීම් පවත්වමින් අරගලයට සහාය පළ කළහ. ලංකා කම්කරු සමිති සම්මේලනයේ වතු කම්කරු සමිතිය ද (CWC), ලංකා කම්කරු කොංග‍්‍රසයේ බහුතරය වැඩ වර්ජනය සක‍්‍රීයව පන ගැන්වූහ. රත්නපුර දිස්ත‍්‍රික්කයේ කම්කරුවෝ 18,500 කට වඩා එසේ වැඩ වර්ජනයට සහභාගී වූ අතර එම ප‍්‍රදේශයේ පමණක් වතු 28 ක වැඩ සම්පූර්ණයෙන් ම ඇන හිටියේය.

මහජන ආරක්‍ෂ පනත, හදිසි තත්වය (නීතිය) පැනවීම

අගෝස්තු 12 වන දා දහවල් 11.45 වනවිට මහජන ආරක්‍ෂක පනත යටතේ හදිසි තත්වය ප‍්‍රකාශ කළ අතර පොලීසියට අමතරව යුද හමුදාව කැඳවූයේය. මේ වනවිට මිනිස් ඝාතන කීපයක් සිදු වී හමාරය. වර්තමාන ගම්පහ දිස්ත‍්‍රික්කයේ දොම්පේ දී තිදෙනෙකු ඝාතනය කරනු ලැබුවේ ප‍්‍රසිද්ධියේ මහමගදීය. එසේ වූයේ කුපිත වූ මහජනයා යටත් කර ගැනීම සඳහා පොලිස් වෑන් රථ ගිනිතබමින් පොලීසියට කඩා වැදීම නිසා යැයි පිළිතුරු ලැබින. ආණ්ඩුවේ නිල සංඛ්‍යා ලේඛන අනුව මියගිය ගණන 09 දෙනෙකුට සීමා වූව ද අගෝස්තු 13 වනදාත් සිදු කළ වෙඩි තැබීම් නිසා මියගිය ගණන 21 දෙනෙකුටත් වඩා වැඩි යැයි ඬේලි නිව්ස් පුවත්පත වාර්තා කළේය. නිවැරදි සංඛ්‍ය ලේඛන ඉදිරිපත් කිරීම අපහසු බව, අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී පිළිගත්තේය.

ඓන්ද්‍රීය බුද්ධිමතකු වන පාල හේවාබටගේ 1971 ජවිපෙ නායකයකු වූ අතර 1971 පරාජයෙන් පසු ජවිපෙ ගොඩනැගිමේ රහසිගත ක්‍රියාකාර්ත්වයේ ප්‍රමඛයකු බවට පත් විය. පසුව ඇත් අඩංඟුවට ගැනනු ඔහු අප්‍රෙල් මහ නඩුවේ සැකකරුවකු විය.

(1953 අගෝස්තු ජනතා නැගිටීම සම්බන්ධයෙන් ප්‍රේමපාල හේවාබට මහතා විසින් පුරවැසියා මාසික සඟරාවේ අතිරේකයකට සකසන ලද ලිපි පෙළකින්මෙ උපුටා ගන්නා ලද්දකි.)

Back to Top