Sri Lanka Brief
පුවත්විවරණසරත් සිල්වාගේ පෙත්සම සහ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත: කාර්ය පරිපාටිය සහ අභියෝග – නිහාල් සෙනෙවිරත්න

සරත් සිල්වාගේ පෙත්සම සහ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත: කාර්ය පරිපාටිය සහ අභියෝග – නිහාල් සෙනෙවිරත්න

by

ජායාරූපය: ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවේ 80 (3) වගන්තිය යටතේ මෙසේ විශේෂයෙන් සඳහන් වන බව ය: “යම් කෙටුම්පතක් කතානායකවරයාගේ හෝ ජනාධිපතිවරයාගේ සහතිකය මත අනුමැතිය ලද පසු, එවැනි පනතක වලංගු භාවය මොනම තත්වයක් යටතේවත්, කිසි අධිකරණයකින් හෝ විනිශ්චය සභාවකින් ප්‍රශ්න නොකළ යුත්තේය.”

2017 අංක 17 දරණ ‘පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත’ සැප්තැම්බර් 20 වැනි දා පාර්ලිමේන්තුවේ සම්මත වුණි. කතානායකවරයා සැප්තැම්බර් 22 වැනි දා එය සහතික කරමින් ඊට අත්සන් තැබීය. මේ කෙටුම්පත සම්මත කර ගැනීම සහ ඒ සඳහා අනුගමනය කළ කාර්ය පරිපාටිය බොහෝ වාද විවාදවලට සහ ආන්දෝලනයට තුඩු දී තිබේ.

මෙය කෙටුම්පතක් වශයෙන් පාර්ලිමේන්තුවට මුලින්ම ඉදිරිපත් කෙරුණේ ජුලි 26 වැනි දා ය. එය පාර්ලිමේන්තුවේ දී ප්‍රථම වර කියවන ලද්දේ සැප්තැම්බර් 20 වැනි දා ය. අනතුරුව දෙවැනි වර කියැවීමෙන් පසුව ඡන්ද 154 ක් පක්ෂවත්, ඡන්ද 43 ක් විපක්ෂවත් ලබා ගනිමින් එය පාර්ලිමේන්තුවේ සම්මත විය. අනතුරුව කාරක සභා අවස්ථාව පසු කොට තුන්වැනි වර කියැවීමෙන් පසුව ඡන්ද 157 ක් පක්ෂවත්, ඡන්ද 37 ක් විපක්ෂවත් ලබා ගනිමින් සම්මත කර ගැනුණි. ඉන් දින දෙකකට පසුව මේ කෙටුම්පත කතානායකවරයා විසින් සහතික කරනු ලැබීමෙන් අනතුරුව, 2017 අංක 17 දරණ පනත වශයෙන් නීතිගත විය.

බොහෝ වාදවිවාද සහ ආන්දෝලන ඇතිව තිබෙන්නේ, කාරක සභා අවස්ථාවේ නොයෙක් සංශෝධන මේ කෙටුම්පත සඳහා ඉදිරිපත් කොට තිබීම නිසා ය. අගෝස්තු 3 වැනි දා කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණු අවස්ථාවේ මේ කියන සංශෝධන ඉදිරිපත්ව නොතිබුණු බවත්, පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියැවීමේදී පවා එම සංශෝධන ඉදිරිපත් නොකෙරුණු බවත් කියා සිටින විවේචකයෝ, අදාළ සංශෝධන පිළිබඳ ගැඹුරු හැදෑරීමක් කිරීමට ඒ නිසා අවස්ථාව නොලැබුණු බව පෙන්වා දෙති.

එක්තරා ආකාරයකින් ඒ තර්කය නිවැරදි ය. එහෙත් කාරක සභා අවස්ථාවේදී යම් කෙටුම්පතකට සංශෝධන ඉදිරිපත් කළ හැකි ක්‍රියාපරිපාටිය, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 37-40 යටතේ පැහැදිළිව දක්වා ඇති බව කෙනෙකු අමතක නොකළ යුතුය. එය පිළිගත් පාර්ලිමේන්තු පරිපාටියක් වන අතර ලෝකය පුරා පාර්ලිමේන්තුවල එම ක්‍රමය අනුගමනය කරනු ලැබේ. එසේම සංශෝධන ඉදිරිපත් කළ හැකි ආකෘතිය ස්ථාවර නියෝග 38 යටතේ දක්වා තිබෙන අතර, ඉදිරිපත්ව ඇති සෑම සංශෝධනයක්ම අදාළ වන බවට, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 77 වැනි වගන්තිය ප්‍රකාරව නීතිපතිවරයා විසින් පරීක්ෂාවට ලක්කළ යුතු බව, ස්ථාවර නියෝග 3 දරණ අනුවගන්තිය යටතේ කියැවෙයි.

සෑම කෙටුම්පතක්ම නීතිපතිවරයා විසින් පරීක්ෂා කළ යුතු බවට වන පරිපාටිය මේ මගින් පැහැදිළි කෙරෙන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, තුනෙන් දෙකක ඡන්දයකින් මිස සම්මත කළ නොහැකි ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පරිපාටියත් ඒ මගින් දැක්වෙයි. ස්ථාවර නියෝගවල තවදුරටත් දැක්වෙන පරිදි, පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති කෙටුම්පතක් සඳහා යෝජනා කෙරී ඇති ඕනෑම සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන අවස්ථාවේදී ඒ සංශෝධන සම්බන්ධයෙන් වන තමාගේ මතය නීතිපතිවරයා විසින් කතානායකවරයාට දන්වා සිටිනු ලැබේ.

ආණ්ඩුව වෙනුවෙන් අදාළ ඇමතිවරයා මේ සංශෝධන කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කරන විට, ඒ සියලු සංශෝධන සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් අවශ්‍ය බව නීතිපතිවරයා විසින් කතානායකවරයා වෙත දන්වා තිබේ. අංක 195 දරණ මුල් කෙටුම්පත ජුලි 26 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ එහි අඩංගුව තිබී ඇත්තේ සංශෝධන දෙකක් පමණක් බව ඇත්ත ය. ප්‍රධාන ප්‍රඥප්තියේ වගන්තිය සඳහා සංශෝධනයක් ඉදිරිපත් කොට තිබුණි. එයින් කියැවුණේ සමස්ත අපේක්ෂක සංඛ්‍යාවෙන් සියයට 30 කාන්තාවන් විය යුතු බවයි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා විසින් අනුමත කරනු ලබන පුද්ගලයන් පස් දෙනෙකුගෙන් සමන්විත සීමා නිර්ණය කමිටුවක් පිහිටුවීම ඇතුළු තව බොහෝ සංශෝධන කාරක සභා අවස්ථාවේ අලුතෙන් එකතු කොට ඇති බවත් ඇත්ත ය. ඒවා අතර, දේශපාලන පක්ෂවල නම්, පළාත් සභා සාමාජිකයන් තෝරා පත්කර ගැනීම සහ ඡන්ද පෙට්ටිවලට අදාළ සංශෝධන ආදිය තිබේ.

පාර්ලිමේන්තු ක්‍රියාපරිපාටි සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්ප්‍රදායන් පිළිබඳ ලෝ ප්‍රකට විශේෂඥ අධිකාරිය වශයෙන් සැළකෙන තෝමස් එර්ස්කින් ඔහුගේ එනමින් යුත් කෘතියේ, “සංශෝධනයක අරමුණ සහ විවාදය කෙරෙහි වන බලපෑම” නැමැති අනුශීර්ෂය යටතේ මෙසේ සඳහන් කොට තිබේ: “සංශෝධනයක අරමුණ වන්නේ, එක්කෝ, අදාළ කාරණය කෙරෙහි වැඩි එකඟතාවක් ලබා ගැනීමට හැකි වන ආකාරයෙන් එය ඉදිරිපත් කිරීම හෝ, නැතහොත්, මූලික කාරණයට විකල්පයක් වශයෙන් වෙනස් ප්‍රස්තුතයක් ඉදිරිපත් කිරීම ය.”

ඒ සමගම කල්පනාවේ තබා ගත යුතු තවත් කාරණයක් ද තිබේ. එනම්, ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවේ 80 (3) වගන්තිය යටතේ මෙසේ විශේෂයෙන් සඳහන් වන බව ය: “යම් කෙටුම්පතක් කතානායකවරයාගේ හෝ ජනාධිපතිවරයාගේ සහතිකය මත අනුමැතිය ලද පසු, එවැනි පනතක වලංගු භාවය මොනම තත්වයක් යටතේවත්, කිසි අධිකරණයකින් හෝ විනිශ්චය සභාවකින් ප්‍රශ්න නොකළ යුත්තේය.”

මේ තත්වය තුළ, මෙම පනතට කතානායකවරයාගේ සහතිකය ලබා දීම පිළිබඳ කාරණය මූලික අයිතිවාසිකම් පෙත්මක් හරහා අභියෝගයට ලක්කරමින් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා, ගැසට් පත්‍රයේ හෝ පාර්ලිමේන්තුට මෙය ඉදිරිපත් කරන අවස්ථාවේ හෝ දෙවැනි වර කියැවීමේදී හෝ සඳහන්ව නොතිබුණු සංශෝධනවලට අදාළ විස්තරාත්මක කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති බව දැන ගැනීමට තිබේ. එම කරුණු සත්‍ය ය. ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති තමාගේ පෙත්සම හරහා, පනතට ලැබී ඇති කතානායකවරයාගේ සහතිකයේ වලංගු භාවය පිළිබඳ විනිශ්චයක් ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටී. මෙය දැනට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවතින කාරණයක් වන නිසා, ඒ සම්බන්ධයෙන් නිවැරදි විනිශ්චයක් ලැබෙනු ඇතැයි ද, ඉන් පසු කාරණය නිරාකරණය කෙරෙනු ඇතැයි ද අපට අපේක්ෂා කළ හැකිය.

-නිහාල් සෙනෙවිරත්න  මහතා හිටපු පාර්ලිමේන්තු මහ ලේකම් ද වේ.

(2017 ඔක්තෝබර් 15 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ Controversial Provincial Councils (Amendment) Act: The Procedure and The Challenges  නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

Back to Top