Sri Lanka Brief
පුවත්විවරණශ්‍රී ලංකාවේ බදු ක්‍රමය ගැන සලකා බැලීමක් – උමේෂ් මොරමුදලි

ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය ගැන සලකා බැලීමක් – උමේෂ් මොරමුදලි

by

ජායාරූපය: විශාල බදු ප්‍රමාණයක් වක්‍ර බදුවලින් උපයා ගන්නා ඕනෑම රටක, ආදායම හෝ හැකියාව මත නොරැඳෙමින්, සියලු පුරවැසියන්ගෙන් අයකර ගනු ලබන්නේ, එකම බදු ප්‍රමාණයකි. ( පින්තූරය පුන්ගුඩුතිව් වාර්තා චිිත්‍රපටයෙනි).

බදු යනු මිනිසුන් බිය ගන්වන නරක වචනයකැ යි බොහෝ දෙනාට සිතේ. එම වචනය ඇසෙන විට මට මතක් වන්නේ, රොබින්හුඞ් කෘතියේ එන නොටින්හැම් පොලිස් ප්‍රධානියා බදු එකතු කිරීම සම්බන්ධයෙන් ඒ පළාතේ ජනතාව තුළ ඇති කරන ලද භීතියේ ස්වභාවයයි. එම බදු බර ඉදිරියේ එම ජනතාව මොන තරම් අවාසනාවන්ත තත්වයකට පත්වී ද යන්නයි. කෙසේ වෙතත්, මා වයසින් වැඩෙත්ම, බදු යනු රටක වෙසෙන සෑම පුද්ගලයෙකුගේම ජීවිතයේ අත්‍යාවශ්‍ය අංගයක් වශයෙන් ගැනීමට මම පුරුදු වීමි. ඒ, එක් සරළ හේතුවක් නිසා ය. එනම්, මහජන සුභසිද්ධිය සලසනු වස් ආණ්ඩුවකට අවශ්‍ය කරන ආදායම සොයා ගැනීමේ ප්‍රධාන මාර්ගය එය වන නිසා ය.

අලුත් දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමත් සමග මේ බදු පිළිබඳ කතාව මෑතක සිට නැවතත් අසන්ට ලැබේ. මට කුඩා කාලයේදී සිතුණා සේ, බොහෝ ශ්‍රී ලාංකිකයන්ට තවමත් බදු යනු භීතිය දනවන කාරණයකි. බදු ගෙවන්ට සිදු වේ යැයි මිනිස්සු බිය වෙති. බදු අය කිරීමේ ඇති වැදගත් කම ගැන ප්‍රශංසා කරන කෙනෙකු හමුවන්නේ කලාතුරකිනි.

බදු අය කිරීමේ වැදගත් කමත්, ආර්ථිකයකට එයින් සැලසෙන කාර්ය භාරය ගැනත් සැලකිල්ලට ගනිමින්, ආර්ථික විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන ඇඩම් ස්මිත්, ප්‍රධාන බදු මූලධර්ම හතරක් ගෙනහැර දැක්වීය. ඒවා නම්, සමානාත්මතා මූලධර්මය, නියතතා මූලධර්මය, පහසුකම පිළිබඳ මූලධර්මය සහ සකසුරුවම් මූලධර්මයයි.

සමානාත්මතා මූලධර්මය යනු, කෙනෙකුගේ හැකියාවේ හැටියට කෙනෙකුගෙන් බදු අය කර ගැනීමේ ඇති අවශ්‍යතාවයි. වෙනත් වචනවලින් කිවහොත්, වැඩියෙන් උපයන අයවළුන් වැඩියෙන් බදු ගෙවිය යුතුය. ඇඩම් ස්මිත් එය පැහැදිළි කෙළේ මෙලෙස ය: “සෑම රටකම වැසියන්, හැකි තාක්, තම තමන්ගේ හැකියාවන්ට අනුපාතිකව හෙවත් රාජ්‍යයකින් තමන් භුක්ති විඳින ආරක්ෂාවේ ප්‍රමාණයට සමානුපාතිකව, ආණ්ඩුවට සම්මාදම් විය යුත්තේය.”

නියතතා මූලධර්මය යනු, යම් පුද්ගලයෙකු විසින් ගෙවනු ලබන බදු ප්‍රමාණය කොපමණ ද, ගෙවිය යුත්තේ කවදා ද සහ කෙසේ ද යන්න පිළිබඳ නිශ්චිත බවක් තිබිය යුතු බව ය. එනම් බදු ගෙවීමේ යම් නිශ්චිත ක්‍රමයක් පැවතීම වැදගත් බවයි.

පහසුකම් පිළිබඳ මූලධර්මය යනුවෙන් ගැනෙන්නේ, බදු ගෙවන්නාට පැටලිලිවලින් මිදී, සරළ ආකාරයෙන් බදු ගෙවීමට හැකියාව තිබිය යුතු බව ය. සකසුරුවම් මූලධර්මය යනු, බදු එකතු කිරීමේ ක්‍රියාවලිය තුළ දැරීමට සිදු වන වියදම් අවම කර ගත යුතු බව ය. ඒ සමගම, බදු එකතු කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම විය යුතු බව ය.

ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය තුළ ප්‍රශ්න ගණනාවක් තිබේ. ඒවා තුන් ආකාරයක් ගනී. එකක් වන්නේ, ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ගත් විට, ලංකාවේ බදු ආදායම ඉතා පහළ මට්ටමක පැවතීමයි. දෙවැන්න වන්නේ. රටේ බදු ව්‍යුහය ඉතා සංකීර්ණ වීමයි. බදු ගෙවන්නා සම්බන්ධයෙන් ගත් විට එය ඉතා පැටලිලිකාරී වීමයි. තුන්වැන්න වන්නේ, බදුවල සංයුතියේ ස්වභාවයයි. උදාහරණයක් වශයෙන් ගතහොත්, බදු ආදායමෙන් විශාල ප්‍රමාණයක් උත්පාදනය කරගන්නේ, ‘අගය එකතු කළ බදු’ (වැට්) වැනි වක්‍ර බදු හරහා වීමයි.

සංචාරකයින්ට පෙන්වීමට බොරුවට මාලු බෑවත් වක්‍ර බද්දට අසුවේ.

පහළ බදු ආදායම

සෑහෙන කාලයක් තිස්සේ ලංකාවේ බදු ආදායම, රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන්, පහළ යමින් තිබේ. වර්තමානයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතිකව ලංකාවේ බදු ආදයම පවතින්නේ, ලෝකයේ වෙනත් රටවල බදු ආදායම්වල මට්ටමට වඩා ඉතා පහළ අඩියකයි, 2014 දී මේ බදු ආදායම, අපේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ගත් විට, සියයට 11.6 ක් විය. එහෙත් පසුගිය අවුරුදු දෙකක කාලය තුළ එය කෙමෙන් වර්ධනය වී, 2016 වන විට 14.3 ක් දක්වා වැඩි වී තිබේ.

අතීතයට ගියොත්, 1990 දශකයේදී මේ බදු ආදායම සියයට 20 ක් තරම් ඉහළ අගයක් ගත්තේය. 1993 දී එය සියයට 19.7 ක් වූ අතර 1995 දී සියයට 20.5 ක් විය. එහෙත් එවක් පටන් මේ ආදයම දිගටම පහළ යමින් 2003 වන විට සියයට 15.7 ක් දක්වා පහළ බැස තිබුණි. දියුණු රටවල බදු ආදායම, එම රටවල දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ඉතා ඉහළ අගයක් ගනී. උදාහරණයක් වශයෙන්, ඩෙන්මාර්කයේ බදු ආදායම එරට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ගත් විට සියයට 46.6 කි. සාමාන්‍යයෙන් වෙනත් දියුණු රටවල එම ප්‍රමාණය සියයට 30 ට වැඩි වන්නේය. එවැනි දියුණු රටවල් පසෙකින් තිබියේවා. අපේ කලාපයේම වෙනත් රටවල් සමග සැසඳුවත් අපේ බදු ආදායම පවතින්නේ ඉතා පහළ මට්ටමක ය.

බදු සංයුතිය

ශ්‍රී ලංකාවේ බදු ව්‍යුහය තුළ පවතින ප්‍රධානතම ප්‍රශ්නයක් වන්නේ බදු සංයුතියේ ස්වභාවයයි. රජයේ බදු ආදායමින් සියයට 80 වැඩි ප්‍රමාණයක් උපයා ගැනෙන්නේ වක්‍ර බදුවලිනි. ඒ මගින් ඉහත කී සමානතා මූලධර්මය උල්ලංඝණය කෙරෙන්නේය. විශාල බදු ප්‍රමාණයක් වක්‍ර බදුවලින් උපයා ගන්නා ඕනෑම රටක, ආදායම හෝ හැකියාව මත නොරැඳෙමින්, සියලු පුරවැසියන්ගෙන් අයකර ගනු ලබන්නේ, එකම බදු ප්‍රමාණයකි.

මේ තත්වය පසුගිය දශක දෙකක පමණ කාලයේදී ලංකාවේ උග්‍ර අතට හැරී ඇත. 1994 රාජ්‍ය වාර්තාවන්ට අනුව, එම වසරේ වක්‍ර බදු සංයුතිය සියයට 45 ක් පමණි. එහෙත් මේ වන විට, ‘භාණ්ඩ හා සේවා බද්ද‘ සහ ඉන් පසු ඇති කර ගත් ‘අගය එකතු කිරීමේ බද්ද’ (වැට්) හරහා එම ප්‍රමාණය සියයට 80 ත් ඉක්මවා ගොස් තිබේ. 2016 මුළු බදු ආදායමින් සියයට 17 ක් සමන්විත වුණේ වැට් බද්දෙනි.

බදු දැළ ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව සහ අවිධිමත් අංශය

වසරක් පාසා රටේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ ගොස් ඇතත්, සෘජු බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් නැත. ඒ අනුව, බදු පදනම එක තැන පල් වෙමින් තිබෙන අතර එය සෘජු බදු ආදායම වැඩි කර ගැනීමට ආණ්ඩුව අසමත් වීමේ ප්‍රධාන හේතුව වී ඇත. මේ බදු පදනම ව්‍යාප්ත කිරීමට නොහැකි වී ඇති ප්‍රධාන හේතුවක් වන්නේ, අපේ ආර්ථිකය තුළ විශාල අවිධිමත් අංශයක් පැවතීමයි. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව, අපේ ශ්‍රම බලකායෙන් සියයට 60 ක් යෙදී සිටින්නේ අවිධිමත් අංශයේ ය. මේ අංශයේ ආදායම් නිල වශයෙන් ගණන් නොගැනෙන නිසා ඔවුන්ගෙන් බදු අය කර ගැනීම ප්‍රශ්නයක් වී තිබේ. උදාහරණයක් වශයෙන් අලුත් පනත යටතේ, මසකට රුපියල් 100,000 කට වැඩි ප්‍රමාණයක වැටුපක් ලබන රජයේ නිලධාරියා ‘උපයන විට ගෙවීමේ බද්ද’ (පේයී) ගෙවිය යුතු වුවත්, එම ආදායම හෝ ඊට වැඩි ආදායමක් මාසිකව ලබන අවිධිමත් අංශයේ සේවයේ යෙදෙන පුද්ගලයා මේ කියන ‘උපයන විට ගෙවීමේ බද්ද’ ගෙවන්නේ නැත.

සංකීර්ණ බදු පද්ධතිය

තවත් ප්‍රශ්නයක් වන්නේ රටේ පවතින බදු පද්ධතියේ පවතින සංකීරණතාවයි. දැනට විවිධ ආකාරයේ බදු සහ තීරුබදු රාශියකි. එය බදු ගෙවන්නාට දුෂ්කර තත්වයකි. මේ ක්‍රියාවලියේ පවතින සංකීර්ණ බව නිසා බදු ගෙවන ව්‍යාපාරිකයා බෙහෙවින් වෙහෙසට පත්වෙයි. උදාහරණයක් වශයෙන් දැනට පවතින ‘වරාය සහ ගුවන් තොටුපොළ බද්ද’ ගෙනහැර දැක්විය හැකිය. මේ මගින් ආනනය ක්‍රියාවලිය දුෂ්කර කෙරේ. ඒ නිසා, එකම ආනයන භාණ්ඩය සඳහා විවිධ බදු වර්ග ගෙවනවා වෙනුවට, ක්‍රියාවලිය පහසු කරවනු වස්, වැඩි අගයකින් යුත් ඒකීය බදු ක්‍රමයක් යෝජනා කොට තිබේ.

වැට් බද්ද ගැන සලකා බැලුවහොත්, එහි ව්‍යතිරේක 150 කට වඩා තිබේ. ඒ නිසා එම බද්ද කාර්යක්ෂම නොවෙයි. විවිධ අනුපාතිකයන් වෙනුවට තිබිය යුත්තේ තනි සරළ බදු අනුපාතිකයකි.

මෑත කාලීන ප්‍රවණතා

සමරවීරගේ නව බදු පිළවෙත බදු ක්‍රමය වෙනස් කිරීමට දැරෙන උත්සාහයකි.

2016 මහ බැංකු වාර්තාව පෙන්වා දෙන පරිදි, ආණ්ඩුවේ අයවැය තුළ නිතර දකින්ට ලැබෙන ව්‍යුහාත්මක දුර්වලතා විසඳීම සඳහා, හුදෙක් වැය ශීර්ෂයන් කප්පාදු කරනවා වෙනුවට, ආදායම් වර්ධනය කර ගැනීම හරහා මූල්‍ය ස්ථායීතාව ඇති කර ගැනීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. “මෑත කාලීනව දකින්ට ලැබුණු, බදු ආදායම්වල පහත වැටීමේ ප්‍රවණතාව 2015 වන විට ආපසු හරවා ගැනීමට හැකි වී ඇතත්, රටේ පවතින බදු ව්‍යුහයේ ප්‍රශ්න ගැන සලකා බලන විට, එහි ප්‍රවේගය එක දිගටම පවත්වා ගත හැකි වන ආකාරයේ ප්‍රවේශයන් ඇති කර ගත යුතුව තිබේ. ඒ අනුව, බදු ක්‍රමය ක්‍රමවත් කර ගැනීම සඳහාත්, සරළ කර ගැනීම සඳහාත්, බදු පාදකය (පදනම) ව්‍යාප්ත කොට, බදු ව්‍යතිරේක සහ සහන වඩාත් ක්‍රමවත් කොට, බදු පරිපාලනය සවිමත් කිරීමට මේ වසරේ පියවර ගෙන තිබේ. ඒ අනුව, වැට් බදු වැඩි කොට ඇති අතර, වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු කෙරෙහි දෙන ලද විවිධ ව්‍යතිරේකයන් ඉවත් කොට, බදු දැළ තුළට අලුත් භාණ්ඩ සහ සේවා ඇතුළත් කොට බදු පදනම පුළුල් කරමින්, ජාතිය ගොඩනැගීමේ බදු සීමාව අඩු කරමින්, ආයෝජන මණ්ඩලය හරහා සපයන ලද දිරිගැන්වීම් වඩාත් ක්‍රමවත් කරමින්, ‘ආර්ථික සේවා ගාස්තුව’ වැනි වෙනත් බදු ඉහළ නංවමින්, විවිධ බදු වර්ග යටතේ සපයන ලද ව්‍යතිරේක ඉවත් කරමින් යම් පියවර ගෙන තිබේ.” යනුවෙන් මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.

එසේම ගත වූ වසරේදී බදු විගණනය ක්‍රමවත් කිරීමෙන් රුපියල් මිලියන 225,424 ක් පමණ වන අප්‍රකාශිත ධනයක් සඳහා බදු අය කර ගැනීමටත් හැකිව ඇති බව වාර්තා වෙයි. ඒ මත පදනම්ව එම වසරේදී ලැබූ අමතර බදු ආදායම රුපියල් මිලියන 17,023 ක් වන්නේය.

(2017 අගෝස්තු 27 වැනි දා ‘සිලෝන් ටුඬේ’ පුවත්පතේ පළවූ   Sri Lanka’s Taxation at a Glance  නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)


ඔබේ මාසික ආදායම ලක්ෂයකට අඩු ද එසේ නම් බදු ඕනෑ නෑ

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක

පසුගිය මාස කිහිපය තිස්සේම අපේ බොහෝ දේශපාලන වේදිකාවල මෙන්ම ප්‍රවෘත්ති සාකච්ඡාවල නිරතුරුවම සාකච්ඡාවට බඳුන් වුණේ නව දේශීය ආදායම් බදු පනත සම්බන්ධයෙනුයි. විහාරස්ථානවල පිංකැටෙනුත් බදු අය කරන බවත්, හිඟන්නන්ගෙන් පවා බදු මුදල් අය කරන බවත් රජය විසින් ඉදිරිපත් කර තිබෙන බවට මේ සාකච්ඡාවලදී හෙළි වුණා. වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාටම බදු අංකයක් ලබා දීමෙන් රටේ වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාගෙන්ම බදු අය කරන බව මේ විවිධ මතධාරීන් ඉදිරිපත් කළ මත අතර තිබුණා. මේ සියලු කතා සත්‍ය තත්ත්වය ජනතාවවට අවබෝධ කර දීමට අප දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක මහතා හමු වුණා.

පසුගිය දින පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමෙන් සම්මත වූ දේශීය ආදායම් බදු (සංශෝධන) පනත යටතේ ඉදිරියේදී – එනම්: ලබන වසරේ අප්‍රේල් මස 1 වැනිදා සිට – රටේ වයස අවරුදු 18ට වැඩි සියලු පුරවැසියන්ට ආදායම් බදු අංකයක් හිමි වෙනවා. එයින් කිසි සේත්ම අදහස් වන්නේ නැහැ ඒ සියලු දෙනා ආදායම් බදු ගෙවිය යුතු බවක්. ඒත් මේ ක්‍රමවේදය වැරදියට වටහාගෙන සිටින, එසේත් නැත් නම් වැරැදි ලෙස අර්ථ දක්වන අයට රැවටීම නිසා රටේ යම් යම් අය අතර කැලඹීම් ඇතිව තිබෙන බව පෙනෙනවා.

එසේ වුවත් වයස අවුරුදු 18ට වැඩි හැමටම බදු අංකයක් ලබා දීමෙන් රටේ සියලු පුරවැසියන් එක් ක්‍රමවේදයකට අන්තර්ග්‍රහණය කිරීම සිදු කෙරෙනවා. ඒ ඔස්සේ මේ දක්වා බදු ගෙවිය යුතු අතිවිශාල ආදායම් හිමි කරගත් ව්‍යාපාරිකයන් හා තනි පුද්ගල ව්‍යාපාරිකයන් බදු ගෙවන ක්‍රමවේදයට අන්තර්ගත කිරීම මේ අනුව සිදු කෙරෙනවා.ඒ සඳහා අවශ්‍ය කරනු ලබන ප්‍රතිපාදන මේ මඟින් සකස් කර තිබෙනවා. ඒ මඟින් බදු නොගෙවා සිටින අතිවිශාල ආදායම් ලබාගන්නා පුද්ගලයන් බදු ගෙවන ලබන පුද්ගලයන් බට පත් කරගන්නවා විනා සියලු දෙනා බදු ගෙවන්නන් බවට පත් වන්නේ නැහැ. මේ සඳහා හොඳම උදාහරණයක් දෙන්න පුළුවන්. මීට කලකට පෙර ස්ථාවර තැන්පතු සඳහා බැංකු හා මූල්‍ය ආයතනවලට බදු වර්ෂ සඳහා රඳවාගැනීමේ බද්දට අදාළ අයදුම්පතක් පුරවා බාර දුන්නා. ඒ අයදුම්පත බාර දුන් සැණින් ඒ සියලු දෙනාටම ආදායම් බදු ගෙවන්න සිදු වුණේ නැහැ. අධික ලෙසින් ආදායම් ලබන අයට පමණක් යම් බදු ප්‍රතිශතයක් ගෙවන්න සිදු වුණා.

මේ නව ක්‍රමය යටතේ එක් පුද්ගලයකු වසරකට ලක්ෂ 12ක ඒක පුද්ගල ආදායමක් – තවත් ආකාරයකට කියනවා නම් මසකට ලක්ෂයක ආදායමක් – ලබාගන්නේ නම් ඒ ආදායම බද්දෙන් නිදහස් වෙනවා. ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලබන අයකු පමණයි බදු ගෙවිය යුත්තේ.

උදාහරණයක් ලෙස: යම් අයකුගේ මාසික ආදායම රුපියල් 125000ක් වුණොත් ඔහුගේ පළමු රුපියල් ලක්ෂය ආදායම් බද්දෙන් නිදහස් වනවා සේම ඉතිරි රුපියල් 25000ට පමණක් 4%ක බදු මුදලක් ගෙවිය යුතු වනවා. ඒ අනුව ඔහු විසින් ගෙවිය යුත්තේ රුපියල් 1000ක බදු මුදලක් පමණයි. එසේ වුවත් මේ වන විට ලංකාවේ රුපියල් ලක්ෂයක ආදායමක් ලබන පිරිස් අඩුආදායම් ලාභීන් හෝ මධ්‍යම පන්තියේ අය ලෙස පවා සලකනු ලබන්නේ නැහැ. ඔවුන් ඉහළ ආදායම්ලාභීන් ලෙසයි සලකන්නේ. ඒ තත්ත්වය අප පැහැදිලිව තේරුම් ගත යුතු වනවා.

එසේම තනි පුද්ගල ව්‍යාපාරවල ශුද්ධ ලාභයට රුපියල් ලක්ෂ 5ක් දක්වා වාර්ෂික බදු නිදහස් සීමාවක් තිබෙනවා. තම ව්‍යාපාරයේ සියලු වියපැහැදම් ජල, විදුලිය බිල්පත් ඇතුළු සියලු වැය පාර්ශ්වයන්ගෙන් පසුව ඉතිරි වන ශුද්ධ ලාභයට වසරකට රුපියල් ලක්ෂ 5ක බදු සීමා නිදහසක් හිමි වන අතර, එයින් පසු පළමු රුපියල් ලක්ෂ 6ක ශුද්ධ ලාභයට 4%ක් සහ එතැනින් පසු ලක්ෂ 6කට 8%ක් එතැනින් පසු ඉතිරි ලක්ෂ 6ට 12%ක් ආදි වශයෙන් උපරිමය 24%ක් දක්වා බදු අනුපාතය වැඩි වෙනවා. මේ බදු ප්‍රතිපත්තිය සකස් කර ඇත්තේ අධික ආදායම් ලබන, බදු නොගෙවා සිටීමට වැර දරන අය බදු ගෙවන්නන් බවට පත් කිරීමට හෙවත් බදු හොරුන් බදු දැලට අල්ලාගැනීමටයි. මේ වන විට බදු ගෙවිය යුතු පිරිස් විවිධ ක්‍රම ඔස්සේ බදු නොගෙවා සිටීමට කටයුතු කර තිබෙනවා. එම නිසා මේ සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව කිසිදු බියක් ඇති කරගත යුතු නැහැ. මීට පෙර සාමාන්‍ය ජනතාවට තිබූ බද්දෙන් නිදහස් සීමාවට වඩා වැඩි බදු සහනයක් මේ නව පනත අනුව ලබා දී තිබෙන බව ඉතා පැහැදිලියි.

හවුල් ව්‍යාපාර හෙවත් පුද්ගලයන් කිහිප දෙනකු එකතුව පවත්වාගෙන යන ව්‍යාපාරවල තත්ත්වයත් මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. එහිදී යම් හවුල් ව්‍යාපාරයක පුද්ගලයන් තුන් දෙනකු සිටිනවා නම් ඒ තිදෙනාටම වෙන් වශයෙන් රුපියල් ලක්ෂ 5ක් දක්වා බද්දෙන් නිදහස් ශුද්ධ ආදායමක් ලබාගත හැකි වෙනවා. ඒ සඳහා හවුල් ව්‍යාපාර බද්දක් ගෙවිය යුතු නමුත්, හවුල් ව්‍යාපාර බද්ද ගෙවනු ලබන විට තනි පුද්ගලයන් විසින් ගෙවනු ලබන බද්ද ඒ ගෙවනු ලබන බදු මුදලෙන් නිදහස් කරගත හැකි වනවා.

ස්ථාවර තැන්පතුවලින් දැනට අය කරගනු ලබන රඳවාගැනීමේ බද්ද හෙවත් පොලී මුදල් ලබාගැනීමේදී බැංකුව විසින් අය කරගනු ලබන 2.5% බදු මුදල 5%ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. එමෙන්ම ඒ බදු අය කිරීමේ ක්‍රමය සාමාන්‍ය ඉතුරුම් ගිණුම්වලටද බලපවත්වන අතර, ඉතුරුම් පොලියෙන් 5%ක් රඳවාගැනීමේ බද්ද ලෙස බැංකුව විසින් අය කරගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත එවනු ලබනවා.

මෙහිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ බදු මුදල බල නොපාන බවත් පෙන්වා දිය යුතු වෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ බදු ක්‍රමය බලපවත්වනු ලබන්නේ මාසික පොලී මුදල රුපියල් ලක්ෂ 15ක් ඉක්මවන්නේ නම් පමණයි. එනම් රුපියල් ලක්ෂ 150කට අධික මුදලක් ගිණුමේ තැන්පත්ව තිබෙන අධික ආදායමක් ලබන අයගෙන් පමණයි. මසකට රුපියල් ලක්ෂ 15ක බැංකු පොලියක් හිමි වන අයකුගෙන් යම් බදු මුදලක් ලබාගැනීම සාධාරණද නැද්ද යන්න ගැනද මෙහිදී අප විසින්ම තර්ක කළ යුතු වනවා.
එමෙන්ම විදේශීය රටවල සේවය කරනු ලබන සේවික-සේවිකාවන් විසින් උපයනු ලබන මුදල් සඳහාත් බදු අය කරනු ලබන බවට පසුගිය දිනවල රාවයක් තිබුණා. මේ බදු පනත යටතේ විදේශීය රටවල සේවය කරන සේවක-සේවිකාවන් විසින් වසරකට උපයනු ලබන මුදල් රුපියල් මිලියන 15ක් දක්වා බද්දෙන් නිදහස් කර තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය වශයෙන් මසකට රුපියල් ලක්ෂ 18ක ආදායමක් මෙරටට එවනු ලබන අයකුට කිසිදු බදු මුදලක් ගෙවීමට සිදු වන්නේ නැහැ. අපේ රටේ ජනතාව එතෙර ගොස් දැඩි දුක් මහන්සි වී ගෘහ සේවය ආදියේ නියැළී මසකට රුපියල් ලක්ෂ 18ක් උපයන්නේදැයි යන්නද අප සිතා බැලිය යුතුය. විශේෂයෙන්ම එතෙර රැකියා කරනවා නම් රුපියල් ලක්ෂ 18ක් වැනි අතිවිශාල බදු මුදල් සහනයක් දී තිබීම නිසා ඔවුන් දිරිමත් කරගැනීමට මඟක්ද වනවා. එසේ වුවත් මේ සම්බන්ධයෙන් හරියාකාරව නොදැන බොහෝ දෙනා අදහස් පැවසීම කනගාටුවට කරුණක්.

එමෙන්ම මෙහිදී විශේෂයෙන්ම පැවසිය යුත්තේ විහාරස්ථාන පල්ලි, කෝවිල් හෝ වෙනත් ආගමික ආයතනවලින් කිසිදු ආකාරයක බදු මුදලක් මේ පනත අනුව අය කරන්නේ නැහැ. ජනතාව විසින් පිංකැටවලට දමනු ලබන මුදල් හෝ විහාරස්ථානයේ දියුණුවට ලබා දෙන මුදල් ආධාර හෝ මේ යටතට කිසි විටක අයත් වන්නේ නැහැ.

එසේ වුවත් යම් ආගමික ස්ථානයක ව්‍යාපාර පවත්වාගෙන යනවා නම්, උදාහරණයක් වශයෙන් දඹදිව වන්දනා චාරිකා, එසේත් නැත් නම් ව්‍යාපාරික ජ්‍යොතිෂය සේවා වැනි දේ සඳහා බදු පැනවෙනවා. එහිදී සිදු කරන්නේ ව්‍යාපාරයක් බවත් මෙහිදී පෙන්වා දිය යුතු වනවා.

අපේ රටේ මේ දක්වා ක්‍රියාත්මක වන 2010 අංක 6 දරන දේශීය ආදායම් බදු පනත සංකීර්ණ තත්ත්වයකයි පැවතුණේ. එනිසා බදු ගෙවනු ලබන ජනතාවට එය තේරුම් ගැනීමට පවා අපහසු වුණා. මේ නිසා මෙවර සරල පහසුවෙන් තේරුම් ගත හැකි ආකාරයේ බදු පනතක් සකස් කර තිබෙනවා. ඒ බදු පනත අන්තර්ජාතික ප්‍රමිතියට සියලු දෙනාට පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි සකස් කර තිබෙන්නේ සංශෝධන 215කට වැඩි ප්‍රමාණයක් එකතු කිරීමෙන් පසුවයි. මෙහි වැදගත්ම කරුණ වන්නේ එයයි. විවිධ දේශපාලන පක්ෂ මෙන්ම ගණකාධිකාරි මෙන්ම විවිධ වෘත්තිකයන් ඒ සඳහා අදහස් යෝජනා දක්වා තිබුණා.

ඉදිරියේදී රාජ්‍ය හා අනෙකුත් ආයතන සියල්ල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධ පරිගණක ජාලයක් මඟින් සම්බන්ධ කරගෙන ක්ෂණයකින් බදු ගෙවිය යුතු මට්ටමේ සියලු පුද්ගල විස්තර ලබාගත හැකි වනවා. ඒ සඳහා මේ වන විටත් ‘රමිස්’ නමින් මෘදුකාංගයක් ආයතන 32කට ලබා දි තිබෙනවා. එයින් විශේෂයෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැනි ආයතන මුල් තැනක් ගන්නවා. එහිදී කිසිවකුට පැන යා නොහැකි ලෙස ආදායම් බදු ක්‍රමවේදය සකස් වනවා. මේ ක්‍රමවේදය රටක පැවැත්මට ඉතා අත්‍යවශ්‍ය වනවා.

බදු නොගෙවා සිටි විටක රටක සාමාන්‍ය පැවැත්ම එනම් පුනරාවර්තන වියදම් පවා සිදු කරගන්න බැහැ. උදාහරණයක් වශයෙන් නිදහස්ව ලාබ දෙන අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්ෂාව මෙන්ම විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහාත් විදේශීය ආධාරම ලබාගන්න සිදු වුව හොත් එයින් එම රටේ ආර්ථිකය කිසි දිනක ඉහළ නංවාගන්න බැහැ. අපේ රටේ විශ්‍රාම වැටුප් සඳහා පමණක් වසරකට රුපියල් බිලියන 200ක් වැය වනවා.

දශක කිහිපයකට පෙර සිටි අය විසින් ගෙවන ලද බදු නිසා අප මේ වන විට නිදහස් අධ්‍යාපනය ඇතුළු සියල්ල භුක්ති විඳින අතර, මතු පරපුරටත් ඒ තත්ත්වය ඒ පරිද්දෙන්ම ලබා දීමට නම් අප විසින් අවංක රට වැසියන් ලෙස අපේ සත්‍ය ආදායම පෙන්වා අවශ්‍ය නම් ඒ සඳහා බදු ගෙවීම් කළ යුතු වෙනවා.
පැහැදිලිව කිව යුත්තේ කිසිදු හේතුවක් මත මසකට රුපියල් ලක්ෂයකට අඩු කිසිදු පුද්ගලයකු කිසිදු බද්දක් ගෙවිය යුතු නැහැ. එමෙන්ම විහාරස්ථාන හෝ කිසිදු ආගමික ආයතනවලින් කිසිදු බදු මුදලක් අය කරනු ලබන්නේ නැහැ. මේ සත්‍ය තත්ත්වය ගැන ජනතාව අවබෝධාත්මක වීමයි වැදගත් වන්නේ.

තාරක වික්‍රමසේකර
ඡායාරූපය – සමන් ශ්‍රී වෙදගේ
23 සැප්තැම්බර්, 2017
සිළුමිණ
සල්පිල

 

Back to Top