Sri Lanka Brief
පුවත්විවරණමියන්මාරය: ධ්‍රැවීකරණ දේශපාලනය පිළිබඳව හොඳ උදාහරණයක් – ලයනල් බෝපගේ

මියන්මාරය: ධ්‍රැවීකරණ දේශපාලනය පිළිබඳව හොඳ උදාහරණයක් – ලයනල් බෝපගේ

by

ජායාරූපය: ලුනු මළු රුගෙන යන  බංගලදේශයේ සිටින සරණාගත රෝහින්ගා පිරිස්  REUTERS/Mohammad Ponir Hossain.

හැඳින්වීම
රොහින්ගානුවෝ ලෝකයේ පුරවැසි අයිතිය නොමැති විශාලතම ජනප්‍රජාව වෙති. ඔවුන්ගෙන් ඉතා වැඩි දෙනෙක් ජීවත් වන්නේ මියන්මාරයේ දුප්පත්ම ප්‍රාන්තයක් වන බටහිර වෙරළබඩ රහයින් ප්‍රාන්තයේයි. රෝහින්ගා බහුතරය මුස්ලිම් වන අතර ශතවර්ෂ ගණනාවක් පුරා බෞද්ධ මියන්මාරයේ වාසය කොට ඇත. රොහින්ගා ජනයා කථා කරන්නේ රොහින්ගා හෙවත් රුවයින්ගා නමැති උපභාෂාවකි. රහයින් ප්‍රාන්තයේ සහ මියන්මාරයේ කතා කරන උපභාෂාවන්ට වඩා මෙම උපභාෂාව වෙනස් ය. ඔවුන් රටේ නිල වශයෙන් පිළිගත් ජනවාර්ගික කණ්ඩායම් 135 අතරෙන් එකක් ලෙස සළකනු නොලබන අතර, 1982 සිට මියන්මාරයේ පුරවැසිභාවය ප්‍රතික්‍ෂේප කරනු ලැබීම හේතුවෙන් ක්‍රියාත්මක ලෙස පුරවැසි අයිතිය නොමැති තත්වයට ඔවුන් පත් කොට තිබේ. 2017 අගෝස්තු මාසයේ සිට මියන්මාරයෙන් බංග්ලාදේශයට පමණක් ලක්ෂ පහකට වඩා වැඩි රොහින්ගාවරු පිරිසක් පලා ගොස් ඇත.

මෑතකදී ශ්‍රී ලංකාවේ භික්ෂූන් කිහිප දෙනෙක් වැඩි වශයෙන් ස්ත්‍රීන් සහ දරුවන්ගෙන් සමන්විත සරණාගතයන් 31 ක් දෙනෙකුට රැකවරණය දී තිබුනු නිවසක් ඉදිරිපිට විරෝධතා දැක්වූහ. ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම සරණාගතයින් මේ වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලාංකික මුහුදු සීමාවේ හමුවුනු බෝට්ටුවක සිට බේරාගෙන තිබුනේය. මියන්මාරයේ තත්ත්වය ලංකාවේ තත්ත්වය හා සැසඳිය හැකිවුවත් දසක පහකටත් වඩා ලංකාවේ පැවති තත්ත්වයට වඩා එහි තත්ත්වය අතිශයින් නරකය. සුප්‍රකට කළු ජූලි කෝලාහල 1983 ජූලි මාසයේදී දමිල ඊලාම් කොටි සංවිධානය (කොටි සංවිධානය) විසින් ශ්‍රී ලංකා යුධ හමුදා සෙබළුන් 13 ක් ඝාතනය කිරීමට එරෙහිව හොඳින් සැලසුම් කරන ලද ” ප්‍රතිචාරයක්” විය. එසේ දියත් කරන ලද ප්‍රචණ්ඩත්වය කොටි සංවිධානයේ ශ්‍රේණීන් වර්ධනයකිරීමට උදව්වූවා පමණක් නොව, දමිල ජනයා සමූහ වශයෙන් දකුණේ සිට උතුරු නැගෙනහිර තම වාසභූමි කරාත් එතැනින් විදේශයන් කරාත් නික්මයාමත් සමඟ ජනවාර්ගික ගැටුම ජාත්‍යන්තරකරණයටද ලක්‌ කළේය.

මියන්මාරයේ වත්මන් කැළඹීමට තුඩු දෙන ලද ඓතිහාසික තත්වයන් හා සමාන්තර වන බොහෝ කරුණු ශ්‍රී ලංකාවේ තිබේ. ශ්‍රී ලංකාව මෙන්ම මියන්මාරයද බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය යටතේ පැවතින. රටවල් දෙකේදීම යොදා ගන්නා ලද ආධිපත්‍යයේ උපාය මාර්ගය වූයේ “බෙදා වෙන් කොට පාලනය කිරීම” යි. යටත් විජිතවාදී පාලනයෙන් නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවත් මියන්මාරයත් යන රටවල් දෙකම ගමන් කර ඇත්තේ එක හා සමාන මාවත් ඔස්සේ ය. එකමුතු වූ ජාතියක් ගොඩනැගීම සඳහා විවිධ ජනප්‍රජාවන් එක්සත් කරන්නට කිසි විටෙකත් උත්සාහ නොකරන ලදි. දමිල සහ මුස්ලිම් වැනි ඇතැම් ජනවාර්ගිකත්වයන් විසින් තමන්ට එරෙහිව කරන ලද වෙනස්කම් වශයෙන් සලකනු ලැබූ වතු කම්කරු ඡන්ද බලය අහෝසි කිරීම, ජනපද පිහිටුවීම, දමිල භාෂාව නොසලකා හැර සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, අධ්‍යාපන ප්‍රමිතිකරණය සහ රැකියාවලට බඳවා ගැනීමේදී හා උසස් වීම් දීමේදී වෙනස්කම් කිරීම වැනි පියවරයන් ක්‍රියාවට නංවන ලදි. අසමඟිය, ධ්‍රැවීකරණය සහ බැහැර කිරීම එම පියවරවල කටුක ප්‍රතිඵල වූයේය.

වසර 100 කට වැඩි බ්‍රිතාන්‍ය පාලන කාලය තුළදී මියන්මාරය පරිපාලනය කරන ලද්දේ ඉන්දියාවට අයත් පළාතක් වශයෙනි

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය

වසර 100 කට වැඩි බ්‍රිතාන්‍ය පාලන කාලය තුළදී මියන්මාරය පරිපාලනය කරන ලද්දේ ඉන්දියාවට අයත් පළාතක් වශයෙනි. බෙංගාලය සහ ඇරකන් අතර කිසිදු ජාත්‍යන්තර දේශ සීමාවක් තිබුණේ නැතුවා පමණක් නොව, එම කලාප අතර සංක්‍රමණය වෙන්නට කිසිදු සීමාවක් තිබුනේද නැත. 12 වන සියවස තරම් ඈත කාලයක සිට මුස්ලිම්වරු මියන්මාරයේ ජීවත් වූ බව පෙනේ. රොහින්ගානුවෝ (දැන් රහයින් ලෙස හඳුන්වනු ලබන) ඇරකන් කලාපය තුල ඉතා දිගු කාලයක් තිස්සේ ජීවත් වෙමින් සිටිති.

යාබද කලාපවල සිට ගොවිපළ කම්කරුවන් ලෙස ඇරකන් වෙත සංක්‍රමණය වෙන්නට බෙංගාලි වැසියන් දිරිමත් කළේ බ්‍රිතාන්‍ය යටත්විජිත ප්‍රතිපත්තිය යි. මියන්මාරයේ පැතිර පැවතුන වැඩවසම් සමාජ සැකැස්ම මත ධනේශ්වර ආර්ථිකයක් උත්තරාරෝපණය කිරීම සඳහා ලාභ ශ්‍රමය අවශ්‍යවීම මූලික වශයෙන් මෙම සංක්‍රමණ රැලිවලට හේතුපාදක විය. 17 වන සියවසේදී රොහින්ගාවන් බොහෝ දෙනෙක් මෙම ප්‍රතිපත්ති හේතුවෙන් මියන්මාරයට ඇතුල් වෙන්නට ඇත. ‘ ස්වදේශීය’ වූ ඉතා වැඩි දෙනෙක් කම්කරුවන්ගේ සංක්‍රමණය දුටුවේ නිෂේධාත්මක ලෙසිනි.

රොහින්ගානුවෝ තමන් අරාබි, මෝගල් හා පෘතුගීසි සංස්කෘතීන්ගෙන් ආභාෂය ලැබූ බටහිර මියන්මාරයේ ස්වදේශීය ඇරකන්වරුන් බව තරයේ කියා සිටිති. රොහින්ගා භාෂාව මහා ඉන්දු-යුරෝපීය භාෂා පවුලට අයත් ඉන්දු-ආර්ය උප ශාඛාවේ කොටසක් ලෙස සැලකේ. එම භාෂාව මියන්මාරයට යාබද බංග්ලාදේශයේ වඩාත්ම දකුණු දෙසට පිහිටි කොටසේ කථා කරන චිතගොනු භාෂාවට සම්බන්ධ ය. රොහින්ගා සහ චිතගොනු යන භාෂා දෙකම බෙංගාලි භාෂාවට සම්බන්ධ වේ.

මුස්ලිම් ජනාවාස

ඇරකන් ප්‍රදේශය නාවික වෙළ ඳ කටයුතුවලට හා සංස්කෘතික හුවමාරුවට අදාල ප්‍රධාන මධ්‍යස්ථානයක් විය. අටවෙනි සියවසේ සිට පැවති අරාබි මිෂනාරි කටයුතු හේතුවෙන් බොහෝ ස්වදේශිකයෝ ඉස්ලාම් ආගමට හැරී ඇති බව පෙනේ. රොහින්ගාවරු අනුගමනය කරන්නේ සු(න්)නි ඉස්ලාම් ය. ශ්‍රී ලංකාවේ මෙන්ම, මියන්මාරයේද ඉතිහාසය පිළිබඳ විවිධ කතා පවතී. ඒයින් එක් කතාවකින් කියවෙන්නේ ආගම මාරු කිරීමට අමතරව, අරාබි වෙළෙදුන් දේශීය කාන්තාවන් සමඟ විවාහ වී ඇරකන්හි පදිංචිවීම හේතුවෙන් මුස්ලිම් ජනගහනය වර්ධනය වූ බවය. මෙම මුල් ජනප්‍රජාවන්ගෙන් තමන් පැවත එන බව රොහින්ගාවරු විශ්වාස කරති.
තවත් කතාවකින් කියවෙන්නේ රහයින්වරු, නව වන සියවසේදී ඇරකන් කඳුවැටිය හරහා ඇරකන් ප්‍රදේශයට සංක්‍රමණය වී එහි නගර කිහිපයක් ගොඩ නගා ගෙන ජීවත්වූ ටිබෙටෝ-බර්මන් කතා කරන පියු ජනයා අයත් ගෝත්‍රවලින් එකකට අයත් බවය. බුරුම හමුදාව 1406 දී රහයින් නගර ආක්රමණය කලේය. මේ නිසා රහයින් පාලකයන්ට බෙංගාලයේ රැකවරණය ලබාගැනීමට බල කෙරුනේය. පිටුවහලේ රැඳී සිටීමෙන් පසුව, 1430 දී ඔවුහු බෙංගාලි හමුදා අනුග්‍රහය ඇතිව ඇරකන් ප්‍රදේශය නැවත අත්පත් කර ගත්හ. රහයින්වරු සමඟ පැමිණි බෙන්ගාලි ජනයා එම ප්‍රදේශය තුල තමන්ගේම වූ ජනාවාස ඇති කර ගත්හ.

19 වන සියවසේ මුල් භාගයේදී දහස් ගණන් බෙන්ගාලි ජනයා රැකියා සොයමින් ඇරකන් ප්‍රදේශයේ පදිංචි වූහ. නව බෙංගාලි සංක්‍රමණිකයෝ, බුරුම ආක්‍රමණවලදී බෙංගාලයට බලහත්කාරයෙන් පිටුවහල් කරනු ලැබ පසුව බ්‍රිතාන්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් ආපසු පැමිණියවුන් වැනිම කොටසක් ද නැතිනම් ඇරකන් ප්‍රදේශයට පාරම්පරික සම්බන්ධයක් නැති නව සංක්‍රමණික ප්‍රජාවක්ද යන්න පැහැදිලි නැත. 15 වන සහ 16 වන සියවස් තුල ඇරකන්හි ජීවත්වූ මුස්ලිම්වරුන් සමග පාරම්පරික සම්බන්ධතාවයක් ඇතැයි රොහින්ගාවරු ප්‍රකාශකළද, රොහින්ගාවරුන්ගෙන් බහුතරය 19 වන සහ 20 වන සියවස්වල බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ සේන්දු වූ අය විය හැකිය. ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම (International Crisis Group) ට අනුව, මෙම සංක්‍රමණිකයෝ දෙවන ලෝක යුද්ධයෙන් අවතැන් කෙරුනු රොහින්ගාවරු ය. බුරුමයට නිදහස ලැබීමෙන් පසුව ඔවුහු ඇරකන් වෙත ආපසු පැමිණියද, ඔවුන්ව සළකන ලද්දේ නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙසිනි. බොහෝ දෙනෙකුට ආපසු පැමිණෙන්නට ඉඩකඩ නොදෙන ලදි.

මෙම ආගමණයේ බලපෑම ඇරකන් ප්‍රදේශයේ විශේෂයෙන්ම තියුණු විය. එයින් යටත් විජිත ආර්ථිකය වැඩිදියුණු කෙරුන නමුත් දේශීය ඇරකන් වාසීහු එය දැඩිසේ නොරිස්සූහ. බ්‍රිතාන්‍ය පාලනය යටතේ විසූ බුරුම ජාතිකයෝ අසරණව සිටියහ. ඔවුහු ප්‍රතිචාර දැක්වූයේ අනෙක් අයට වඩා උසස්කම හා භීතිය යන දෙකේම හැඟීම් එකට කැටි කල ජාතිවාදයකිනි. මෙය බිම් මට්ටමේ පදනම් වූ බුරුම ජාතිකවාදයකට මඟ පෑදීය. දෙවන ලෝක යුද්ධයට පෙරාතුව බුරුම ජාතිකවාදය වඩ වඩාත් දැඩි ලෙස තහවුරු වීමත් සමඟ, ඉන්දියානුවන්ගේ පැමිණීමත් ඔවුන් සමඟ ‘ආනයනය’ කරන ලද මුස්ලිම් ආගමත් ප්‍රහාරයට ලක් විය. 1930 ගණන්වල මුල් භාගයේදී බරපතල ඉන්දියානු විරෝධී කෝලාහල පැවති අතර 1938 දී විශේෂයෙන්ම ඉන්දියානු මුස්ලිම් ජනප්‍රජාවට එරෙහිව මෙහෙයවුනු කැරලි ඇති විය. උතුරු ඇරකන් ප්‍රදේශයේ මුස්ලිම්වරු මෙම කැරලි කෝලාහලවල අතරමැදියන් බවට පත් වූහ.

“බෙදා වෙන් කොට පාලනය කිරීමේ” උපාය මාර්ගය

බුරුම ජාතිකවාදීහු දෙවන ලෝක යුද්ධ සමයේදී ජපනුන්ට සහයෝගය දැක්වූහ. මුස්ලිම්වරු ජපන් පාලනය යටතේ පැවති බෞද්ධ බහුතර ප්‍රදේශවල සිට බ්‍රිතාන්‍ය පාලනය යටතේ මුස්ලිම් ආධිපත්‍යය පැවති උතුරු ඇරකන් ප්‍රදේශය වෙත පලා ගියහ. 1942 ඇරකන් සමූලඝාතන බ්‍රිතාන්‍යයන් විසින් සන්නද්ධ කොට බඳවා ගත් රොහින්ගාවන් සහ ජපන් පාක්‍ෂික රහයිනුවන් අතර පැවත් වාර්ගික ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ වූයේය. මෙම තත්වය බුරුමයේ අනෙක් ප්‍රදේශද ඇතුලත්ව සමස්ත කලාපයම ජනවාර්ගික සීමා ඔස්සේ ධ්‍රැවීකරණයට ලක් කලේය. බ්‍රිතාන්‍යයන්ගේ පසුබැසීමත් සමඟ ජපන්නු ඇරකන් ප්‍රදේශය වෙත ළඟා වූ අතර බෞද්ධයෝ මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය උසි ගැන්වූහ. ජපන් හමුදාව ඇරකන්හි මුස්ලිම්වරුන් දූෂනය කිරීම්, මිනීමැරුම් සහ වධහිංසාවලට ලක් කළහ. බොහෝ දෙනා මරා දමන ලද හෝ සාගින්නේ මිය ගිය අතර දහස් ගණන් දෙනා පලා ගොස් ඇති බව පෙනේ.

මෙයට ප්‍රතිචාර දක්වමින් මුස්ලිම්වරු බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති ප්‍රදේශවල සිට එල්ල කළ ප්‍රති ප්‍රහාර හේතුවෙන් බෞද්ධයන්ට දකුණු ඇරකන් ප්‍රදේශය වෙත පලා යන්නට සිදුවිය. බ්‍රිතාන්‍යයෝ රොහින්ගාවරුන් ඇතුලත් “V-Force” යන නමින් ස්වේච්ඡා බලකායයන් පිහිටවූහ. ඇතැම් වාර්තාවලට අනුව, ජපනුන්ට එරෙහිව සටන් කරනවා වෙනුවට මෙම “V-Force” ස්වේච්ඡා බලකාය උතුරු ඇරකන් ප්‍රදේශයේ ම්ලේච්ඡ ක්‍රියාවන්හි නිරත වෙමින් බෞද්ධ සිද්ධස්ථාන විනාශ කර දමා ඇත. අළුතෙන් බඳවා ගත් රොහින්ගා කොටස් ඇරකන් ජනප්‍රජාවන්ට එරෙහි ව්‍යාපාරයක නිරත වී සිටියහ. රොහින්ගාවරු ජපනුන්ට එරෙහිව බ්‍රිතාන්‍යයන් සමග එකට සටන් කළහොත් “මුස්ලිම් ස්වයංපාලන ප්‍රදේශය”ක් ලබා දෙන බවට බ්‍රිතාන්‍යයෝ රොහින්ගාවරුන්ට පොරොන්දු වී තිබේ. කෙසේ වෙතත්, 1948 දී බ්‍රිතාන්‍යයෝ මියන්මාරය හැර ගිය විට, රොහින්ගාවරුන්ට ස්වයංපාලන ප්‍රදේශයක් ලැබුනේ නැත.

බ්‍රිතාන්‍යයන් පොරොන්දු වූ ස්වයංපාලන ප්‍රදේශය ලබා නොදීම හේතුවෙන්, අනාගතයේ ඇති විය හැකි බෞද්ධ ආධිපත්‍යය සහිත ආණ්ඩුවක් ගැන රොහින්ගා මුස්ලිම්වරු බියට පත්ව සිටියහ. 1946 දී ඇරකන් ප්‍රදේශයේ මුස්ලිම් නායකයෝ ආගමික වශයෙන් තිබෙන සමානත්වයත් සහ භූගෝලීය වශයෙන් ඇති සමීපත්වයත් නිසා රහයින් කලාපය පකිස්ථානය වෙතට ඇතුලත් කර ගන්නට අලි ජින්නාගේ සහාය ඉල්ලා සිටියහ. ඔවුහු ඒ අනුව උතුරු ඇරකන් මුස්ලිම් ලීගය ද පිහිටුවා ගත්හ. බුරුමයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙන්නට ජින්නා අකැමති විය. ඔහු එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසුව, ඇතැම් රොහින්ගා වැඩිහිටියෝ ස්වයංපාලන මුස්ලිම් රාජ්‍යයක් බිහිකිරීමේ අරමුණ සහිතව උතුරු ඇරකන් ප්‍රදේශයේ මුජාහිද් පක්ෂය පිහිටුවා ලූහ.

බුරුම මහා විරෝධතා ව්‍යාපාරයේ වීරයා නිදහස් ව්‍යාපාරයේ නායකයා සහ බුරුම කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘවරයා අවුන් සාන් , වත්මන් නායිකා අවුන් සාන් සුකී ගේ දිවංගත පියාය.

නිදහස ලැබීමෙන් පසු

1947 දී ඇරකන් ඉන්දියානුවන් දෙදෙනෙකු බුරුමයේ ව්‍යවස්ථා මණ්ඩලයට තේරී පත් වූහ. බුරුම මහා විරෝධතා ව්‍යාපාරයේ වීරයාවුද, නිදහස් ව්‍යාපාරයේ නායකයා සහ බුරුම කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘවරයාවුද අවුන් සාන් (වත්මන් නායිකා අවුන් සාන් සුකී ගේ දිවංගත පියා) සහ ඔහුගේ ඇමතිවරු හිටපු අගමැතිවරයෙකු වූ යූ සෝ විසින් දියත් කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් මරා දමනු ලැබීමෙන් පසු, නිදහස ලබන්නට ආසන්නව තිබියදී ඌ නූ බලයට පත්විය. ඌ නූ ගේ නායකත්වය යටතේ 1948 සිට 1962 දක්වා බුරුමය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස පැවතිනි. ඔහුගේ පාලනය විසින් ʻරොහින්ගාවරු ʼ ස්වදේශීය ජනවාර්ගික ජාතිකත්වයක් ලෙස පිළිගනු ලැබුවද 1990 දශකය වන තෙක් එම පිළිගැනීම පුළුල් ලෙස භාවිතා නොකෙරුණි.

මියන්මාර පාර්ලිමේන්තුව විසින් පුරවැසිභාවය ලබාගත හැක්කේ කුමන ජනවාර්ගිකත්වයන්ට දැයි නිර්වචනය කළ 1948 සංගම පුරවැසි පණත (Union Citizenship Act) සම්මත කර ගන්නා ලදී. රොහින්ගා ජනයා එයින් බැහැර කොට තබන ලදි. එසේ වුවද, අවම වශයෙන් පරම්පරා දෙකක් වත් මියන්මාරයේ ජීවත්ව සිට ඇති පවුල්වල අයට හැඳුනුම්පත් සඳහා අයදුම් කරන්නට එම පණතින් අවසර ලැබුනේය. එවැනි අනන්‍යතාකරනයක් හෝ පාරම්පරික විධිවිධාන යටතේ පුරවැසිභාවය වූවද රොහින්ගාවරුන්ට මුලදී ලබා දෙන ලදී. 1950 දී රොහින්ගාවරු පුරවැසිභාවය ඉල්ලමින්ද, බ්‍රිතාන්‍යයන් පොරොන්දු වූ රාජ්‍යය ඉල්ලා සිටිමින්ද රාජ්‍ය ප්‍රතිපත්තිවලට එරෙහිව ප්‍රබල විරෝධතා ව‍්‍යාපාරයක් දියත් කළහ.

රොහින්ගා වාර්ගික නීති සම්පාදකයෝ නොකඩවා පාර්ලිමේන්තුවේ සිටි අතර 1951 දී රොහින්ගාවරු පස් දෙනෙක්ද 1956 දී හය දෙනෙක්ද ඊට තේරී පත් වූහ. ඔවුන්ගෙන් සමහර දෙනෙක් අගමැති ඌ නු ගේ කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු ලේකම්වරුන් සහ ඉහළ පෙළේ රජයේ නිලධාරීන් ද ලෙස සේවය කළහ. අගමැති ඌ නු 1960 මැතිවරණ ව්‍යාපාරයේ දී සියළු ඇරකන් ප්‍රදේශ එක පළාතක් වෙත ඇතුළත් කරන්නට පොරොන්දු විය. මහ මැතිවරණයෙන් අනතුරුව ඌ නු ඇරකන්හි රොහින්ගා බහුතරයක් වසන උතුරු ඇරකන් ප්‍රදේශ සඳහා, මායු ප්‍රාන්ත දිස්ත්‍රික්කය ලෙස නම් කරන ලද වෙනම පරිපාලන කලාපයක් පිහිටුවා ලීය. බුරුමයේ ජාතික ආන්ඩුව විසින් කෙළින්ම මෙම කලාපය පාලනය කරන ලදි.
“සමාජවාදී” කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීම

දෙවන ලෝක යුද්ධයේ දී ජපනුන් වෙනුවෙන් සටන් කිරීම සඳහා සිය මිලිටේරි වෘත්තිය ආරම්භ කල ජෙනරාල් යූ නේ වින්, 1962 මාර්තු මාසයේදී එතෙක් පැවති වෙස්ට්මිනිස්ටර් මාදිලියේ දේශපාලනය මත පදනම් වූ පාලන ක්‍රමය අවසන් කර දමමින් බලය අල්ලා ගත්තේය. අවුරුදු 26 ක් පුරා පැවති යුදහමුදා ඒකාධිපතිවාදී පාලනය, මහ රෑ අත් අඩංගුවට ගැනීම්, නඩු විභාගවලින් තොරව සිරගත කිරීම් හා පාලනයට නතු කර ගන්නා ලද පුවත්පත්වලින් ද, ම්ලේච්ඡ හමුදා බුද්ධි අංශයකින් ද සමන්විත පොලිස් රාජ්‍යයක් බිහි කළේය. සියලුම පුරවැසියෝ ජාතික ලියාපදිංචි කාඩ්පත් ලබා ගත යුතු වූහ. රොහින්ගාවරුන්ට ලබා දෙන ලද්දේ විදේශීය හැඳුනුම් පත් පමණකි. ඒ අනුව, ඔවුන්ට ලබා ගත හැකි වූයේ සීමිත රැකියා සහ අධ්‍යාපන අවස්ථාවන් පමණකි. රොහින්ගාවරුන් සතුව තිබූ වගා කළ හැකි ඉඩම් රාජසන්තක කල හමුදාව, එසේ අල්ලා ගන්නා ලද ඉඩම් එම කලාපයට බැහැරින් පැමිණි බෞද්ධ පදිංචිකරුවන්ට ලබා දී තිබේ.

යුද හමුදා පාලනය සිය පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා බුරුම ජාතිකවාදයත් ථෙරවාදී බුද්ධාගමත් භාවිතා කිරීම මත දැඩි විශ්වාසය තැබීය. බලයේ රැඳී සිටීම සඳහා යුද හමුදා පාලනය සුළුතර ජන කොටස්වලට එරෙහිව වෙනස්කම් කිරීම් කළා පමණක් නොව, බෞද්ධයන් විසින් මෙහෙයවන ලද කැරලි කෝලාහල අවුළුවා ලන්නටද උදව් කලේය. නේ වින්ගේ පාලනය දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ රොහින්ගාවරුන්ට එරෙහිව යුද මෙහෙයුම් දියත් කලේය. ඔවුන් විසින් රොහින්ගා කැරලිකරුවන් ලෙස හඳුන්වනු ලැබූවන් පලවා හැරීම සඳහා 1978 දී “කිං ඩ්රැගන්” (මකර රාජයා) නමින් හැඳින්වූ මහා පරිමාණ යුද මෙහෙයුමක් දියත් කරන ලදී. මෙම මෙහෙයුමෙන් සිය දහස් ගනන් ජනයාට අසල්වැසි බංග්ලාදේශය, පකිස්තානය, මැලේසියාව සහ තායිලන්තය වෙත පලා යන්නට බල කෙරුනි.

1978 දී බංග්ලාදේශය දහස් ගණන් බුරුම මුස්ලිම්වරුන් පලවා හැරීම සම්බන්ධයෙන් බුරුම ආණ්ඩුවට විරෝධය පළ කළේය. පළවා හැර ඇත්තේ නීති විරෝධී ලෙස බුරුමයේ පදිංචිව සිටි බංග්ලාදේශිකයන්ය යන තර්කය බුරුමය ඉදිරිපත් කොට තිබුනද, එම ප්‍රකාශ සනාථ කරන්නට ඔවුහු කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකළහ. සරණාගතයින් 200,000 ක් ආපසු ගන්නට එකඟ වූ බුරුම පාලන තන්ත්‍රය, ඔව්හු ඇරකන් ප්‍රදේශයෙහි පදිංචි කරන ලදි. ඒ කාලයේ මියන්මාරය හා බංග්ලාදේශය විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයකින් ද, 1992 දී යලිත් වරක් කරන ලද ප්‍රකාශයකින්ද, රොහින්ගාවරු නීත්‍යානුකූල බුරුම පදිංචි කරුවන් බව පිළිගනු ලැබිණි. අතීතයේ දී රොහින්ගා යන පදය පාවිච්චි කර තිබියදීත්, යුද හමුදා පාලනය දැන් ඔවුන් හැඳින්වීමට රොහින්ගා යන පදය යොදා ගැනීම දිගින් දිගටම ප්‍රතික්‍ෂේප කරයි.
1982 මියන්මාර ජාතිකත්ව පණත

1982 දී සම්මත කර ගන්නා ලද මියන්මාර් ජාතිකත්ව පණත අතීතයට බලපාන ලෙස රොහින්ගාවරුන්ගේ පුරවැසිභාවය අහෝසි කොට ඔවුන් පුරවැසි අයිතිය නොමැතිවුන් බවට පත් කලේය. මේ පනතට අනුව යම් කෙනෙකුගේ පවුල 1948 ට පෙර මියන්මාරයේ ජීවත් වූ බවටත් ඔහුට හෝ ඇයට ජාතික භාෂාවක් ව්‍යක්ත ලෙස හැසිරවිය හැකි බවටත් ඔප්පු කළ යුතු විය. බොහෝ රොහින්ගාවරුන්ට ලිපි ලේඛන තිබුනේ නැත. එක්කෝ ඔවුන්ට එම ලිපි ලේඛන ලබාගත නොහැකි බවට පත් කොට තිබිණි; නැතහොත් ඔවුන්ට එම ලිපි ලේඛන ලබා දීම ප්‍රතික්‍ෂේප කොට තිබිණි. පුද්ගලයෙකු පුරවැසියෙකු වීමට නම්, එම පුද්ගලයාගේ මුතුන් මිත්තන් 1823 බ්‍රිතාන්‍ය පාලනයට පෙර ජාතික පෙළපතකට හෝ කණ්ඩායමකට අයත් විය යුතු විය. 12 වන සියවස දක්වා කාලයක් තිස්සේ රොහින්ගාවරුන්ගේ පැවැත්ම තිබුනේ වුවද ඔවුහු බෙන්ගාලි විදේශිකයන් බව ප්‍රකාශයට පත් කරන ලදී.

එනයින් ගත් කල, අනාගතයේ ජාතිකත්වය ලබා ගන්නට ඇති හැකියාව ඔවුන්ට අහිමි කරමින් ඉගෙන ගන්නට, රැකියාවක යෙදෙන්නට, ගමන් බිමන් යන්නට, විවාහ වෙන්නට, ඔවුන්ගේ ආගම අදහන්නට සහ සුව සේවාවන් ලබා ගන්නට ඔවුන්ට ඇති අයිතිය සීමා කරන ලදි. ඔවුන්ට දේපල මිලදී ගන්නට හෝ තනතුරු සඳහා තරඟ කරන්නට හෝ නොහැකිය. මැතිවරණ තරග කරනු ලැබීමෙන් වැළැක්වීම සඳහා රොහින්ගා දේශපාලනඥයන් සිරගත කරනු ලැබ ඇත. 2017 වන විට බුරුමයේ එකදු රොහින්ගා මන්ත්‍රීවරයකු හෝ නැත. රොහින්ගාවරුන්ට ඡන්ද අයිතියක් නොමැති අතර ඔවුන් විවිධ ආකාරයේ කප්පම් ගැනීම්වලට, අත්තනෝමතික බදු ගෙවීම්වලට, ඉඩම් රාජසන්තක කිරීම්වලට, බලය යොදා පිටමං කරනු ලැබීමට, නිවාස විනාශ කර දැමීමට, විවාහ සීමා කිරීම්වලට සහ දරුවන් අපලේබන ගත (blacklist) කිරීමට ලක් කරනු ලැබේ. ඔවුහු කුමන ආාකාරයෙන් හෝ “රට වැසියන්” බවට පත් වුවද, වෛද්‍ය විද්‍යාව හා නීතිය වැනි වෘත්තීන්ට ඇතුළ්වීම ඔවුන්ගෙන් වළක්වා ඇත. ඔවුන්ගේ නූගත්බව සියයට 80 ක් පමණ වේ.

අවුන් සං සුකී: ආගමික ජනප්‍රායතාවය වෙනුවෙන්  මානව හිමිකම් අමතක වීම

ප්‍රජාතන්ත්‍රවාදයට පක්‍ෂපාත ව්‍යාපාර

රොහින්ගා ප්‍රජා නායකයෝ 8888 නැගිටීමට සහයෝගය දැක්වූහ. මෙය සංවිධානය කරන ලද්දේ සහ බොහෝ සෙයින් මෙහෙයවන ලද්දේ විශ්ව විද්යාල සිසුන් විසිනි. ජන බල නැඟිටීම සහ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය ලෙසද හැඳින්වුනු එම ව්‍යාපාරය දීප ව්‍යාප්ත විරෝධතා, පෙලපාලි සහ සිවිල් කැලඹීම් මාලාවකට මඟ පෑදීය. එම විරෝධතා 1988 අගෝස්තු 08 වන දා (එහෙයින් “8888 නැගිටීම” යන නම) උච්ච අවස්ථාවට පත් විය. 1990 පවත්වන ලද මහ මැතිවරනයේදී රොහින්ගා නායකත්වයෙන් යුත් මානව අයිතීන් සඳහා වන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන හතරක් දිනා ගත්තේය. අවුන් සාන් සුුචි ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය මැතිවරනය ජයග්‍රහණය කළ නමුත් ඇය අගමැති වීමෙන් වැළැක්වීමට නිවාස අඩස්සියේ තබන ලදි. බුරුම මිලිටරි ජුන්ටාව 1992 දී මානව අයිතීන් සඳහා වන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තහනම් කලේය. එහි නායකයන් අත්අඩංගුවට ගෙන, සිරගත කොට වධ බන්ධනයට ලක් කරන ලදි.

බුරුම සංගමයේ පළමු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගන්නා ලද්දේ 1947 දීය. 1962 හමුදා කුමන්ත්‍රණයෙන් පසුව, දෙවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 1974 දී සම්මත කර ගන්නා ලදි. තෙවන හා වත්මන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වන 2008 ව්‍යවස්ථාව යටතේ, මියන්මාර යුද්ධ හමුදාව තව දුරටත් ස්වදේශීය, ආරක්ෂක සහ දේශසීමා අමාත්‍යාංශද ඇතුළුව රටේ ආණ්ඩුවේ වැඩි කොටසක් පාලනය කරයි. එක් උප ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තුවේ ආසනවලින් සියයට 25 ක් යුද හමුදාවෙන් පත් කෙරෙයි. එහෙයින්, අවුන් සාන් සුුචි වැනි රටේ සිවිල් නායකයන්ට ආරක්ෂක ආයතන කෙරෙහි ඇත්තේ මඳ බලපෑමකි.

60 වසරක මිලිටරි පාලන කාලය තුලදී, රොහින්ගාවරුන්ගේ තත්වය වඩා නරක අතට හැරුනේය. ඔවුහු 1978, 1991-92, 2012, 2015, 2016 සහ දැන් 2017 දී හමුදා ප්‍රහාරවලට මුහුණ දුන්හ. 1990 ගණන්වල සිට අළුත් ‘රොහින්ගා’ ව්‍යාපාරයක් මතු වී ඇති බව පෙනේ. “රොහින්ගා” යන පදය ප්‍රචලිත කරන නව ව්‍යාපාරය, බෙංගාලයෙන් ඔවුන් ජනිතවූ බව විදහා දැක්වීම ප්‍රතික්‍ෂේප කරමින් ඔවුන්ගේ ඩයස්පෝරාව ප්‍රජාව හා එක්ව ජාත්යන්තර ලෙස බලපෑම් (lobby) කරති.

රොහින්ගා මුස්ලිම්වරුන් සහ රහයින් ජනවාර්ගික කොටස් අතර 2012 ඇතිවූ කෝලාහලවලට තුඩු දුන්නේ බෞද්ධ රහයින්වරු ඉක්මණින් සුළුතරයක් බවට පත්වනු ඇතැයි ඔවුන් අතර පුළුල් ලෙස පැතිර පවතින බිය යි. රහයින් ප්‍රාන්තයේ අගනුවරින් රහයින්වරුන්ට අනුබල ලබා දුන් බවත් ඔවුන් සන්නද්ධ කරනු ලැබූ බවත් කියැවේ. රහයින්වරුන් ගේ “ජාතිය සහ ආගම” ආරක්ෂා කර ගන්නැයි ඔවුන්ට පවසමින්, පාලන තන්ත්‍රය මෙම සංහාරය උසිගන්වා ඇති බව පෙනුනද පාලන තන්ත්‍රය එම චෝදනාව ප්‍රතික්‍ෂේප කොට තිබේ.

ඇඳිරි නීතිය පනවා, හමුදාව යෙදවූ පාලන තන්ත්‍රය 2012 ජුනියේ දී රහයින් ප්රාන්තයේ හදිසි නීතියක් පැනවීය. එහෙත්, රොහින්ගාවරුන්ට එරෙහිව කරන ලද පහර දීම් පිළිබඳව පාලන තන්ත්‍රය කිසි දිනක කිසිවෙකුට එරෙහිව නඩු පවරා නැත. රොහින්ගාවරු ජාතික අනන්‍යතාවයට තර්ජනයක් ලෙස සලකන ලදි. අවතැන් කඳවුරුවල රඳවා සිටි 140,000 ක් පමණ වූ රොහින්ගාවරු අත්තනෝමතික ලෙස හිරබාරයේ තැබීමට, පහරදීමට, දූෂණයට, වධබන්ධනයට, ගිනි තැබීමට සහ මරාදැමීමට ලක් වූහ. ආරක්ෂක හමුදා ඔවුන්ගේ සමාජ හා දේශපාලන සංවිධාන වසා දමා ඇත. ආණඩුව ඔවුන්ගේ පුද්ගලික වෙළඳ ව්‍යාපාර පවරා ගැනීමෙන් ඔවුන් මූල්‍යමය වශයෙන් බෙලහීන බවට පත් කෙරුණි.

රොහින්ගාවරු ලෝකයේ අතිශයින්ම හිංසනයට ලක් කරන ලද සුළුතරය ලෙස 2013 දී එක්සත් ජාතීන් විසින් හඳුනා ගන්නා ලදි.

අතිශය හිංසනයට ලක් වූ සුළුතරය

රොහින්ගාවරු ලෝකයේ අතිශයින්ම හිංසනයට ලක් කරන ලද සුළුතරය ලෙස 2013 දී එක්සත් ජාතීන් විසින් හඳුනා ගන්නා ලදි. රොහින්ගාවරු බංග්ලාදේශයෙන් පැමිණි පුරවැසි අයිතිය නොමැති මුස්ලිම්වරු ලෙස වර්ග කරන ලද බැවින් 2014 මියන්මාර සංගණනයට ඔවුන් ඇතුළත් කර නොමැත. බොහෝ රොහින්ගාවරු මෙය දකින්නේ ඔවුන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් ලෙසයි. මියන්මාරයේ මානව හිමිකම් හා සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා ද ඒ හා එකඟ විය. 2015 දී දහස් ගණන් රොහින්ගාවරු මලක්කා සමුද්‍ර සන්ධිය හා අන්දමන් මුහුද හරහා බෝට්ටු මගින් පලා ගියහ. 2015 ජනවාරි සිට මාර්තු මස දක්වා පමණක් 25,000 ක් පමණ දෙනා එසේ බෝට්ටුවලින් පලා ගිය බවට එක්සත් ජාතීන් ඇස්තමේන්තු කරයි. තක්සේරු කර ඇති අන්දමට 3,000 ක් පමණ සරණාගතයින් බේරාගෙන හෝ වෙරළට ගොඩ බැස හෝ ඇත. තවත් දහස් ගණනක් දෙනා මුහුදේ බෝට්ටුවල කොටුවී සිටින බව විශ්වාස කරන ලදි. 100 ක් පමණ ඉන්දුනීසියාවේ දීත්, 200 ක් මැලේසියාවේ දීත්, 10 ක් තායිලන්තයේ දීත් මියගොස් ඇති බව පැවසේ.
අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා ස්වාධීන, ජාත්‍යන්තර නියෝජිත කණ්ඩායමක් පිහිටුවීමට එක්සත් ජාතීන් යෝජනාවක් සම්මත කර ගත්තේය. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පරීක්ෂණයක් පවත්වන්නට අවසර දෙන්නට හෝ එක්සත් ජාතීන්ගේ විමර්ශකයන් පිළිගන්නට මියන්මාරය අකමැති විය. රහයින් ප්‍රදේශයේ කරන ලදැයි කියන අකටයුතු හා ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනය කරන එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කමිටු සාමාජිකයින්ට වීසා බලපත්‍ර නිකුත් තිරීම ඔවුහු ප්‍රතික්‍ෂේප කළහ. ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් කරන ලෙස අවුන් සාන් සූචීටත් මියන්මාරයේ ආරක්ෂක හමුදාවන්ටත් කියා සිටි එක්සත් ජාතීන්, ආරක්ෂක මෙහෙයුම් “ජනවාර්ගික ශෝධනයේ පෙළපොත් උදාහරණයක්” ලෙස නම් කලේය. එළැඹෙමින් පවතින “මානව ව්‍යසනය”ක් පිලිබඳවද එක්සත් ජාතීන් අනතුරු ඇඟවීය.

2015 දී මුලින් හඳුන්වා දෙන ලද සැලැස්මක් යටතේ ලියවිලි රහිත මියන්මාර් ජාතිකයන් මෝසම් කාලයේදී ගංවතුරට ලක් විය හැකි හා මිනිස් වාසයට නුසුදුසු දුරස්තර දිවයිනකට ගෙන යන්නට බංග්ලාදේශයට වුවමනා විය. බලයෙන් කරනු ලබන මෙම විවාදාත්මක යලි පදිංචි කරවීම පිළිබඳව එක්සත් ජාතීන්ද කනස්සල්ලට පත් විය. බංග්ලාදේශ අගමැතිවරයා රොහින්ගා සරණාගතයින්ට ආපසු පැමිණෙන්නට ඉඩ දෙන්නැයි මියන්මාරය වෙත බලපෑම් කරන ලෙස එක්සත් ජාතීන්ගෙන් හා ජාත්‍යන්තර ජනප්‍රජාවෙන් ඉල්ලා සිටියේය. බංග්ලාදේශයේ විදේශ ඇමතිවරයා පවා රොහින්ගාවරුන්ට එරෙහිව දියත් කොට ඇති ප්‍රචණ්ඩත්වය “සංහාරයක්” ලෙස නම් කලේය. බංග්ලාදේශයේ මානව හිමිකම් පිළිබඳ ජාතික කොමිසම, මියන්මාර හමුදාවට එරෙහිව සංහාරක චෝදනා මත ජාත්‍යන්තර අධිකරණයක් පත් කරන ලෙස බල කරන්නටද සලකා බලමින් සිටියේය.
රහයින් කොමිසම

දිගුකාලීනව පවත්නා බෙදීම් සුව කර ලන්නට මාවත් සොයා ගැනීම 2016 සැප්තැම්බරයේ දී කොෆි අනාන් මෙහෙයවූ උපදේශක කොමිසම (රහයින් කොමිසම) වෙත පැවරූ අවුන් සාන් සූචි, එම කොමිසමේ සොයාගැනීම් කෙරෙහි ආණ්ඩුව බැඳී සිටින බවද ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ නිශ්චිත සිද්ධීන් විමර්ශනය කරන්නට එම කොමිසමට බලයක් නොවීය. 2016 ඔක්තෝබරයේදී මියන්මාර් බංග්ලාදේශ දේශ සීමාවේ පිහිටි බුරුම මුරපොළවල් තුනකට පහර දෙන ලදි. කැරලිකරුවෝ ගිනි අවි හා පතොරම් පෙට්ටි දුසිම් ගණනක් කොල්ල කෑහ. මෙයින් ආරක්‍ෂක නිලධාරීන් කිහිප දෙනෙක්ද මරණයට ලක් විය. රොහින්ගාවරු වාසය කළ ගම්මානවලට ප්‍රහාර එල්ල කරන්නට හමුදා භටයෝ රහයින් ප්රාන්තයේ ගම්මානවලට කඩා වැදුනහ.

2017 අගෝස්තු මාසයේදී කොමිසම එහි නිර්දේශ ඉදිරිපත් කළේය. මියන්මාරය තුල රොහින්ගාවරුන්ගේ ආරක්ෂාව වැඩිදියුණු කරන අන්දමේ පියවර ගන්නා ලෙස කොමිසමේ වාර්තාව කියා සිටි නමුත් එම වාර්තාව විවිධ රොහින්ගා කන්ඩායම් ඉල්ලා සිටි සියළු පියවරයන් අනුමත කළේ නැත. මියන්මාර් හමුදාවට අනුව, ඇරකන් රොහින්ගා ගැලවීමේ හමුදාව (ARSA) පසුව පොලිස් මුරපොල හා දේශසීමා ආරක්ෂකයන් වෙත සම්බන්ධීකරණය කළ ප්‍රහාර ගණනාවක් දියත් කළේය. මෙය වත්මන් මානව ව්‍යසනයට මඟ පෑදීය. මෙම ප්‍රහාරවලින් පසුව, හමුදාවත් ඇතැම් අන්තවාදී බෞද්ධයෝත් රහයින් ප්‍රාන්තයේ බටහිර කලාපයේ රොහින්ගා මුස්ලිම්වරුන්ට ප්‍රධාන ප්‍රහාරයක් එල්ල කළහ.

රහයින් ප්‍රාන්තයේ පාලන තන්ත්‍රය මුලින් ඉස්ලාමීය කැරලිකාර කණ්ඩායමකට චෝදනා කළේය. එහෙත්, ඇරකන් රොහින්ගා ගැලවීමේ හමුදාව (ARSA) සහ තවත් කණ්ඩායම් හයක් මෙම ප්‍රහාරවල වගකීම භාර ගත්හ. මෙම ප්‍රහාරය නීති විරෝධී ඝාතන, සමූහ දූෂණ, ගිනි තැබූම් සහ වෙනත් කෲරකම් ඇතුලත් පුළුල් පරිමානයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට හේතු කාරක විය. එක්සත් ජාතීන්, ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ මැලේසියානු ආණ්ඩුව මෙම මිලිටරි ප්‍රහාරය විවේචනය කලේය. “වැඩි වෙන ත්‍රස්තවාදී ක්‍රියා” වලට එරෙහිව “නීතිමය මාර්ග යොදා ගනිමින් රට ආරක්ෂා කිරීමේ අයිතිය” තමන්ට ඇති බව පැවසූ පාලන තන්ත්‍රය, දේශීය පරීක්ෂණයක් පමණක් ප්‍රමාණවත්යයි කියා සිටියේය. පාලන තන්ත්‍රය මාධ්‍යවේදීන් සහ ආධාර කන්ඩායම් උතුරු රහයින් ප්‍රාන්තවලට ප්‍රවේශ වීම නොයෙක් විට සීමා කර ඇත.

සරණාගත රෝහින්ගියා ජනයා ජීවත්වන්නේ අඩක් හාමතිනි. NBC NEWS

කොමිසමේ නිර්දේශ, රොහින්ගා ජනයා වාසය කරන අසල්වැසි ප්‍රදේශවලට දැඩි මිලිටරී ප්‍රහාර එල්ල කිරීම අවසන් කරන ලෙසත් ගමනේ බිමනේ යෙදෙන්නට සහ පුරවැසිභාවයට එරෙහිව ඔවුන්ට පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙසත් පාලන තන්ත්‍රයෙන් දැඩිව කියා සිටියේය. යුද අපරාධ ගනයේ ලා සැළකිය හැකි බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් යුද හමුදාව බොහෝ විට සිදු කරන්නට ඇතැයි එක්සත් ජාතීන් පවසන අතර ආණ්ඩුව එම චෝදනාව ප්‍රතික්‍ෂේප කොට ඇත. මෙම සොයා ගැනීම්වලට එක්සත් ජාතීන් සහයෝගය දුන් අතර, එහි නිර්දේශ ඉටු කරන ලෙස ආණ්ඩුවට කියා සිටියේය. මියන්මාර රජයද මෙම නිර්දේශයන් පිළිගනිමින් “බිම් මට්ටමේ පවතින තත්වයන්ට අනුව … නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අදහස ඇතිව සම්පූර්ණ අවධානය” යොමු කරන්නට පොරොන්දු විය. එසේ වූවත් තවම කිසිවක් සිදු කර නැත.
පාලන තන්ත්‍රය ඉදිරිපත් කොට තිබෙන මරණ සංඛ්‍යාවට පරස්පර අන්දමින්, 2016 ඔක්තෝබර් මාසයේ සිට පුද්ගලයන් 1000 කට වඩා මරා දමා ඇති බව එක්සත් ජාතීන් විශ්වාස කරයි. 2017 සැප්තැම්බරයේ දී ඇරකන් රොහින්ගා ගැලවීමේ හමුදාව තාවකාලික සටන් විරාමයක් ඒකපාර්ශ්විකව ප්‍රකාශයට පත් කළ නමුත් මියන්මාර රජය, “අපි ත්‍රස්තවාදීන් සමග සාකච්ඡා නොකරමු” යයි පවසමින් එම සටන් විරාමය ඉවත හෙලීය. රහයින් කොමිසමේ නිර්දේශ කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා මියන්මාරය නව කොමිසමක් පිහිටුවනු ඇති බව මියන්මාර ජනාධිපති ප්‍රකාශකයා නිවේදනය කලේය. අවුන් සාන් සූචි ගේ අකර්මන්‍යබව හා නිශ්ශබ්දතාවය ගැනත් මිලිටරියේ සීමා ඉක්මවා යෑම් වළක්වා ලීම සඳහා වැඩි දෙයක් නොකිරීම ගැනත් ඇය විශේෂයෙන්ම විවේචනයට ලක් වූවාය. පසු කාලීනව අවුන් සාන් සූචි රහයින් ප්‍රදේශයේ කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෙළා දුටුවද, බංග්ලාදේශයට පලා ගොස් ඇති රොහින්ගා ජනයා කිසිවිටෙකත් නමින් සඳහන් කලේ නැත.

මියන්මාර හමුදාවටත් එහි ක්‍රියාකාරිත්වයටත් සහාය පළ කල ඇගේ පූර්ව ස්ථාවරය ඇය බොහෝ දුරට ආරක්ෂා කලේය. රොහින්ගා ගම්මාන බොහොමයක් කිසිදු හානියකට ලක් නොවී පවතින බවත් හැම තැනකම ගැටුම් පැන නැඟී නොමැති බවත් පවසමින් ඇය ජාත්‍යන්තර විවේචන මඟ හැරවූවාය. මිලිටරිය පිලිබඳව කිසිදු විවේචනයක් නොකරමින්ද සැප්තැම්බර් 5 දා සිට සන්නද්ධ ගැටුම් හෝ සුද්ද කිරීමේ (clearance – නිෂ්කාශන) මෙහෙයුම් කිසිවක් සිදුවූ බව ප්‍රතික්‍ෂේප කරමින්ද මියන්මාර රාජ්‍යය පුරා සාමය, ස්ථාවරභාවය සහ නීතියේ ආධිපත්‍යය යලි ස්ථාපිත කරන්නට කැපවී සිටින බව පැවසූවද ඒවා සාක්‍ෂාත් කරගන්නේ කෙසේදැයි යන්න ඇය පැහැදිලි කලේ නැත. ඇගේ ආණ්ඩුව රහයින් ප්‍රාන්තයේ හැම කෙනෙක්ම ආරක්ෂා කරන බව පවසමින් ඇය මාධ්ය වාර්තා යනු ත්‍රස්තවාදීන්ට වාසි අත් කර දුන් වැරදි තොරතුරු බවට විවේචනය කළේය.
පලා ගිය අයගේ තත්ත්වය පිළිබඳව සත්‍යය සොයා බලන්නට ආණ්ඩුව “ඕනෑම අවස්ථාවක” සූදානම් යයි අවුන් සාන් සූචි පැවසූවද, එම සත්‍යය සොයා බැලීමේ ක්‍රියාවලිය කුමක් වෙනු ඇත්දැයි යන්න සහ ආපසු එන්නට සුදුසුකම් ලබනු ඇත්තේ කවුරුන් දැයි යන්න නිශ්චිත ලෙස සඳහන් කළේ නැත. ඇගේ කතාව මෙම මානුෂීය ගැටළුව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ලෝක මහජන මතය සමනය කරන්නට දරන ලද උත්සාහයක් බව ඇතැම් කොටස් විශ්වාස කරයි. මියන්මාර ආණ්ඩුව නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කළ යුතු බවත් සරණාගතයින්ට තම නිවෙස් බලා ආපසු යන්නට ඇති අයිතිය පිළිගත යුතු බවත් අවධාරනය කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මිලිටරි ක්‍රියාමාර්ග අත්හිටුවන ලෙසත් ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙසත් මියන්මාර බලධාරීන්ගෙන් කියා සිටියේය. මියන්මාරයේ ආරක්ෂක මෙහෙයුම් වලදී යොදා ගන්නා ලද, වාර්තාවී ඇති අධික ප්‍රචණ්ඩත්වය පිළිබඳව “කනස්සල්ල” පල කළ ආරක්ෂක මණ්ඩලය, තත්ත්වය තවත් උත්සන්න වෙන්නට ඉඩ නොදෙන ලෙසත්, නීතිය හා සාමය යළි ස්ථාපිත කරන ලෙසත්, සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙසත්, සරණාගත ගැටලූව නිරාකරනය කරන ලෙසත් ඉල්ලා සිටියේය.

කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ තමන් සම්බන්ධකම් නොපවත්වන බවටත්, කිසිදු සිවිල් වැසියෙකුගේ ආගමිත හා ජනවාර්ගික සම්භවය නිසා ඔවුන්ට එරෙහිව භීෂණ කටයුතු නොකරන බවටත් එසේ වුවද රොහින්ගා ජනප්‍රජාව ආරක්ෂා කරන්නට, ගලවා ගන්නට සහ රැක බලා ගන්නට තමන් බැඳී සිටින බවටත් පවසමින් 2017 මාර්තු මාසයේ දී ඇරකන් රොහින්ගා ගැලවීමේ හමුදාව (ARSA) ප්‍රකාශයක් නිකුත් කලේය. ආත්මාරක්‍ෂාව පිළිබඳ මූලධර්මයට අනුකූලව තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා තමන්ට ජාත්‍යන්තර නීතිය යටතේ නීත්‍යානුකූල අයිතිය තිබේයයි ඔවුහු සලකති.
නිගමණය

කඳවුරුගත ජීවිතය දැන් ලක්ෂ ගණනාවක් රෝහින්ගියාවරුන්ගේ ඉරණම බවට පත් තිබේ. NBC NEWS

පටුවූත් වෙනස්කම් කරන්නාවූත් ජාතිකවාදයක බීජ, මහා පරිමාණයේ මානුෂීය ව්‍යසනයක් බවට පුපුරා ගොස් තිබේ. මියන්මාර සමාජයේ ජනවාර්ගික හා ආගමික විවිධත්වය වැළඳ ගනු ලබන ඇතුළත් කර ගන්නා සමාජයක් ගොඩ නඟන්නට දේශපාලණ විසඳුම් කටයුතු කළ යුතු වෙයි. දුෂ්කර වුවද දශක ගණනාවක් තිස්සේ පවතින සන්නද්ධ ගැටුම ආමන්ත්‍රනය කරන්නට ඇති එකම ප්‍රතිචාරය වනු ඇත්තේ එයයි. රහයින් බෞද්ධ හා මුස්ලිම් ජනප්‍රජාවන්ගේ ඉල්ලීම් සහ අපේක්ෂාවන් සංහිඳවීම ප්‍රධාන අභියෝගයක් වෙනවා ඇත. එවැනි පරිසරයක් තුල අන්තවාදයට හා ද්වේෂ සහගත කථාවලට එරෙහිව සටන් වැදීමත් සියලු දෙනාගේ මූලික අයිතිවාසිකම් සහ ස්වාධීනත්වයන් සුරක්‍ෂිත කිරීම අත්‍යවශ්‍ය වෙයි.

මෙම උත්සන්න වෙන ව්‍යසනය ඵලදායක මෙන්ම නිර්මාණශීලී ආකාරයකින් ආමන්ත්‍රණය කිරීම මියන්මාර ආන්ඩුවට තීරණාත්මක වන්නේය. ඇතුළත්, එකමුතු සහ සංහිඳවූ අනාගතයක් වෙනුවෙන් කටයුතු කරන්නට සිය ගණනකට වඩා අධික ජනප්‍රජා ප්‍රමාණයක් එකට එකතු කිරීම සඳහා දිගුකාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙයි. දශක ගණනාවක් පුරා මුල් බැස ඇති සන්නද්ධ ප්‍රචණ්ඩත්වයේ හා අධිකාරීවාදී පාලනයේ ගැටළු විසඳා ගැනීමට තිරසාර මානවවාදී හා සංවර්ධනාත්මක ප්‍රතිචාරයක් අවශ්‍ය ය. දැනට රජයන වැරදිවලට දඬුවම් නොලබා සිටීමේ වාතාවරණය අවසන් කිරීම දේශපාලන ස්ථාවරභාවය ඇති කරන්නට දායක වනු ඇති අතර එකමුතු සමාජයක් ගොඩනැඟීමේ ඉදිරි අපේක්ෂාවන්ද වැඩිදියුණු කරලනවා ඇත.

රහයින්වරුන්ගේ දුක්ගැනවිලි ශ්‍රී ලංකාව ඇතුළු ලෝකය පුරා සිටින අනෙකුත් ජනවාර්ගික සුළුතරයන්ගේ දුක්ගැනවිලි වලට, එනම්: වෙනස්කම්වලට ලක් කිරීම, පුරවැසිභාවය සහ දේශපාලන ප්‍රකාශනය අහිමි කර තිබීම, ආර්ථික වශයෙන් කොන් කිරීම (ආන්තීකරණය marginalisation), මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ භාෂාමය හා සංස්කෘතික සීමා පැනවීම වැනි ඒවාට සමානය. ඊට අමතරව, නැවැත්විය නොහැකි රොහින්ගා ජන රැල්ලකින් ඔවුන්ගේම ප්‍රාන්තය ගිලී ගියහොත්, ඔවුහු ඉක්මණින් සුළුතරයක් බවට පත් විය හැකි බවට රහයින් ජනප්‍රජාවන් බියට පත් වී සිටිති. ඔවුහු බංග්ලාදේශයේ පවතින අධි ජනගහණය හා ජනගහණ ඝනත්වය හේතුවෙන් මානසිකව කණස්සල්ලට / පීඩාවට පත්ව සිටිති.

තත්වය ඉතා සංකීර්ණ එකක් වන අතර අන්ත දුගී භාවය, ඌන සංවර්ධනය හා මුස්ලිම්වරුන් හා ඇති ජනවාර්ගික හා ආගමික ගැටුම් සමඟ ඓතිහාසික මධ්‍ය-පර්‍යන්ත සමිබන්ධතා පිළිබඳ ගැටළු එකට පැටලී තිබේ. පුරවැසිභාවය අවශ්‍ය වුවද, අවශ්‍යයෙන්ම එයින් මුස්ලිම් ජනයාගේ අයිතිවාසිකම් වඩා යහපත් අතට පත්වීමකට මඟ පෑදෙන්නේ නැත. ගමන්බිමන් යන්නට නිදහසක් නොමැතිව ඉස්ලාම් භක්තික බොහෝ දෙනෙක් අවතැන් කඳවුරුවලට සීමා කොට තිබේ. ඔවුන්ට ඔවුන්ගේ පාරම්පරික ඉඩකඩම් වෙත ආපසු යන්නට ඉඩ දෙනු නොලැබේ.

වියලි ආහාර සඳහා දැත් දිගු කරන රෝහින්ගියා සරණාගතයෝ The Hindu/ Photo Credit: DANISH SIDDIQUI

මෙම තත්ත්වය ආමන්ත්‍රණය කරන්නට නම් වෙනස්කම්වලට ලක් කිරීමේ ප්‍රතිපත්ති සහ ගමන්බිමන් යෑමට පනවා ඇති සීමාවන් අවසන් කළ යුතු අතර, ආරක්ෂාව හා නීතියේ ආධිපත්‍යය පිළිබඳ තත්වය ප්‍රබල ලෙස වැඩිදියුණු කළ යුතුය. කෙසේ වෙතත්, බංග්ලාදේශය එහි සරණාගත කඳවුරුවල ජීවත්වන්නන් මියන්මාරය වෙත ආපසු යවන්නට කටයුතු පිළියෙල කරන විට, එවැනි ආපසු යැවීම්වලට අවහිර කරමින් රහයින් ප්‍රාන්තයේ කැරලි කෝලාහල පැන නැඟීමේ රටාවක් දකින්නට තිබේ. නොකඩවා පවතින ප්‍රචණ්ඩත්වය හා ආපසු ගිය විට පීඩාවට පත් කරනු ඇතැයි යන බිය, රොහින්ගා සරණාගතයන්ගේ අතිශය බහුතරය මියන්මාරයේ තම නිවෙස් බලා ආපසු යෑමෙන් වළකා ඇති බව පෙනේ.

මියන්මාර් පාලන තන්ත්‍රය මෙම තත්ත්වය ආමන්ත්‍රණය කිරීම පටන් ගන්නේ ලියකියවිලි රහිත මුස්ලිම්වරුන්ගේ පුරවැසිභාවය පිළිබඳ සත්‍යය සොයා බැලීම මත වීම අතිශයින්ම ගැටලුකාරී වෙයි. පූර්ණ පුරවැසිභාවයේ අයිතිවාසිකම් ලබා නොදෙන රටවැසිභාවය ලබා දීමෙන් ජනයා වඩාත් අනාරක්ෂිත බවට පත් කරනු ඇත. ආණ්ඩුව සහ රහයින් ජනප්‍රජාව “රොහින්ගා” යන පදය භාවිතා කිරීම ප්‍රතික්‍ෂේප කිරීමත් රොහින්ගා ප්‍රජාව “බෙන්ගාලි” යන පදය භාවිතා කිරීම ප්‍රතික්‍ෂේප කිරීමත් විසඳිය නොහැකි අන්ද මේ අවුලකට මඟ පාදා ඇත. මෙම කරුණ විසඳා ගන්නේ නැත්නම් රොහින්ගාවරු බහුතරයක් එවැනි සත්‍ය සොයා බැලීමේ ක්‍රියාවලියක් ප්‍රතික්‍ෂේප කරනවා ඇත. ඒ කෙසේ වුවත්, මැදහත් රොහින්ගා ජනයා සම්මුති සහගත ලෙස රොහින්ගා යන පදය යොදා ගැනීමක් මත වුවද පුරවැසිභාවය ලබාගැනීමට අපේක්‍ෂා කරන බව පෙනේ. ඔවුන්ට පුරවැසිභාවය ලබා දෙන්නේ නම්, ඔවුහු “බෙංගාලි” හෝ ” රොහින්ගා ” නොවන අනන්‍යතාවයක් ලබා ගැනීමට කැමති බවද පෙනේ.

මුස්ලිම් ජනප්‍රජාවෝ, විශේෂයෙන්ම රොහින්ගාවරු වසර ගණන් තිස්සේ සමාජ දේශපාලන ජීවිතයෙන් වැඩි වැඩියෙන් කොන් කර දමා තිබේ. ඔවුන් පුරවැසි අයිතිය නොමැති සහ ප්‍රජා අයිතිය අහෝසි කළ අයවළුන් ලෙස තබා ගැනීමෙන් ඔවුන්ගේ සාධාරණය කළ හැකි දුක්ගැනවිලිවලට යුක්ති සහගත හා සතුටුදායක විසඳුමක් අත් කර ගැනීමට ඔවුන් තුල ඇති බලාපොරොත්තු විනාශ කර දමනවා ඇත. ඇතැමෙක් දැනටමත් සියළු බලාපොරොත්තු සුන් කර ගෙන ඇත. ඔවුන්ගේ අති දුෂ්කර තත්වයට ප්‍රජාතන්ත්‍රවාදී සහ ඇතුළත් කර ගන්නා අන්දමේ විසඳුමකට ඉඩකඩ ලබා නොදීමෙන්, ඔවුන්ගේ මානුෂීය ගැටළු විසඳා ගැනීමට තිබෙන එකම ඵලදායක විකල්පය ලෙස ප්රචණ්ඩත්වය සොයා යන්නට ඔවුන්ට බල කෙරෙනු ඇත.

රහයින් ප්‍රාන්තයේ සහ මියන්මාරයේ අනාගතය උදෙසා දේශපාලන විසඳුම් ලබා දීම තීරණාත්මක වෙයි. ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රතිචාර දැක්වීමෙන් දේශපාලන ප්‍රශ්න කිසි විටෙකත් විසඳී නොමැති අතර ඉදිරියට විසඳෙන්නේද නැත. මෙම තත්වයෙන් මිදෙන්නට ඇති විශ්වාසනීය අන්දමේ ක්‍රියාවලියක් තුල මියන්මාරයේ දැවැන්ත සංස්කෘතික, ජනවාර්ගික හා ආගමික විවිධත්වය සාකල්‍යයෙන්ම වැළඳ ගන්නා මියන්මාර් ජාතික අනන්‍යතාවක් පිළිබඳ නව අවබෝධයක් නිර්මාණය කිරීම අඩංගු කර ගැනීම අවශ්‍ය වෙනවා ඇත. සියලු ජනප්‍රජාවන්ගේ දිගුකාලීන පාරම්පරික දිළිඳුබවත් ඌන සංවර්ධනයත් සාධාරණ සහ අපක්‍ෂපාතී සංවර්ධන යෝජනා ක්‍රම මගින් ආමන්ත්‍රනය කිරීම අවශ්‍ය වෙයි. එසේ නොවුවහොත් මියන්මාරයේ සාමය සහ ස්ථාවරත්වය සාක්‍ෂාත් කර ගැනීම අනාගතයේ තවත් දිගු කාලයකට අසීරු වෙනවා ඇත.

2017 ඔක්තෝම්බර් 17 වන දා’

Back to Top