Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංග“කාන්තා නියෝජනය සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ මහජන අභිවෘද්ධිය සඳහා ය” – ෆයිසර් මුස්තාපා

“කාන්තා නියෝජනය සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ මහජන අභිවෘද්ධිය සඳහා ය” – ෆයිසර් මුස්තාපා

by

ජායාරූපය: ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානයේ උද්ඝෝෂණයක්.

පළාත් සභා මැතිවරණ පනත සාර්ථකව සංශෝධනය කර ගැනීමට ඉතා මෑතකදී මගේ අමාත්‍යාංශය සමත් විය. එදා පටන්, එම සංශෝධනය සම්මත කර ගත් ආකාරය පිළිබඳ ඇතැම් සාධාරණ විවේචන මතු කෙරුණි. සංශෝධනයේ ඇති සාධනීය ස්වරූපය ප්‍රශ්නයට ලක් කිරීමට කලින් මේ විවේචනවලින් ඇතැම් ඒවා ප්‍රතික්ෂේප කළ යුතුව තිබේ.

මුලින්ම සඳහන් කළ යුතු වඩාත් වැදගත් කාරණය වන්නේ, පනත කෙරෙහි ඇති කළ වැදගත් සංශෝධන කවරේද යන්නයි. මුලින්ම, මේ සංශෝධනය හරහා සියලු පළාත් සභාවල සියයට 25 ක කාන්තා නියෝජනයක් සහතික කෙරේ. අතීතයේදී අපේ දේශපාලනයේ කාන්තා නියෝජනය පැවතියේ ඉතා අඩු මට්ටමක ය. පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාවෙන් අද කාන්තාවන් හොබවන්නේ සියයට 5.8 ක් පමණි. 2013 සංඛ්‍යා ලේඛනවලට අනුව, පළාත් සභා මන්ත්‍රී ආසනවලින් කාන්තාවන්ට හිමිව ඇත්තේ සියයට 3.9 ක් පමණි. අතීතයේ තත්වයත් එයින් වෙනසක් පෙන්නුම් නොකෙළේය. 2004 දී පළාත් සභාවල කාන්තා නියෝජනය සමන්විත වුණේ සියයට 5 කිනි. 1999 දී ඒ ප්‍රමාණය සියයට 3.2 ක් පමණක් විය.

ඒ සමගම සඳහන් කළ යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ, මෙසේ තෝරා ගැනුණු කාන්තාවන්ගෙන් සියයට 80 ක්ම දේශපාලනික පසුබිමකින් පැමිණි අය වීමයි. ඉන් පිටස්තර ඕනෑම ගැහැනියක් දේශපාලනයට පිවිසීම, මාධ්‍ය මගින් මෙන්ම, පීතෘ මූලික චින්තනයෙන් යුත්, දේශපාලනික වශයෙන් නාරි-ද්වේශී දේශපාලඥයන් විසින් වළක්වාලනු ලැබේ. ඒ තත්වය තුළ බොහෝ කාන්තාවෝ, දූෂිත දේශපාලනයට එනවාට වඩා, තම තමන්ගේ පවුල් අභිවෘද්ධියට සරිලන පරිසරයක් ගොඩනගා ගැනීමට කැමැත්තක් දක්වති.

ලොව පුරාම ස්ත්‍රීහු දේශපාලන ක්ෂෙත්‍රෙයහි පෙරට පැමිණෙමින් සිටිති.

කෙසේ වෙතත්, මේ අවධියේ සහ යුගයේ කාන්තාවන් ලෝකය පුරා දේශපාලනය තුළ වඩාත් වැදගත් කාර්ය භාරයක් ඉටු කරන බවත්, ලෝකයේ දේශපාලනික දියුණුව සඳහා ඔවුන්ගේ භුමිකාව වඩාත් වැඩදායී වී ඇති බවත් කවුරුත් පිළිගත යුතුය. බීජිං නුවර 1995 දී පැවති කාන්තාවන් සඳහා වන හතර වැනි ලෝක සමුළුවේ දී යෝජනාවක් හඳුන්වා දෙනු ලැබිණ. එනම්, රටක ආණ්ඩුවක් තුළ සියයට 30 ක කාන්තා නියෝජනයක් තිබිය යුතු බවයි. එවැනි ක්‍රියාමාර්ග ගත් ආණ්ඩු අද වන විට උසස් දේශපාලනික ප්‍රගතියක් අත්කරගෙන තිබේ.

උදාහරණයක් වශයෙන් ජර්මනියේ ඇන්ජෙලා මර්කෙල් ගැන, එක්සත් රාජධානියේ තෙරේසා මේ ගැන, ආර්ජන්ටිනාවේ ක්‍රිස්ටිනා ෆර්නැන්ඬේස් ගැන, එසේත් නැත්නම් බංග්ලාදේශයේ ෂීක් හසීනා වසේඞ් ගැන වුව සිතා බලන්න. ඒ, තවත් බොහෝ එවැනි ප්‍රකට කාන්තාවන්ගෙන් කිහිප දෙනෙකු පමණි. එපමණක් නොව, ලෝකයේ පෞද්ගලික අංශයේ බොහෝ සමාගම් ද කාන්තාවන්ගේ නායකත්වය යටතේ බැබළී ඇත. ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරිනී ෂෙරිල් සැන්ඞ්බර්ග්, හැව්ලට් පැකාඞ් ප්‍රධාන විධායක නිලධාරිනී මෙග් වයිට්මෑන්, පෙප්සි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී ඉන්ද්‍රා නූයි හෝ ලංකාවේ ඔඩෙල් සමාගමේ ප්‍රධානී ඔටාරා ගුණවර්ධන හෝ ලංකාවේ ව්‍යවස්ථා සභාවේ වර්තමාන සාමාජිකාවක් වන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජ්‍ය මහලේකම්වරියක වූ ආචාර්ය රදිකා කුමාරස්වාමී වැනි අය සැලකිල්ලට ගන්න. බොහෝ කාලයක් තිස්සේ මේ කාන්තාවන් තමන්ට විශිෂ්ඨ නායකයන් විය හැකි බව පෙන්වා දී තිබේ.

තම තමන්ගේ පවුල් කුටුම්භ තුළ කාන්තාව කරන අත්‍යාවශ්‍ය මෙහෙවර ගැන සිතන අයට මා මතක් කර දිය යුතු කාරණයක් තිබේ. එනම් ලංකාවේ ගෘහ මූලික කාන්තාවන් සංඛ්‍යාව, මුළු ගෘහ මූලික සංඛ්‍යාවෙන් සියයට 24.2 ක් වන බවයි. කාන්තාවන්ට තම තමන්ගේ කුටුම්බ එසේ සාර්ථකව ගෙන යා හැකි නම් මේ රටට නායකත්වය දීමට ඔවුන් අසමත් විය යුත්තේ ඇයි?

මේ සියලු කරුණුවලට අමතරව, කාන්තාව වෙනම ගුණාංගයන්ගෙන් ද සමන්විත වන්නේය. ඔවුන් ස්වභාවයෙන්ම, වෙනත් අයව රැකබලා ගන්නා සහ බලාකියා ගන්නා පිරිසකි. දේශපාලනය පිළිබඳ ඔවුන්ගේ අදහස් සහ ආකල්ප පිරිමින්ගේ පර්යාලෝකයෙන් වෙනස් විය හැකිය. ඒ නිසාම කාන්තා දායකත්වය අත්‍යාවශ්‍ය වන්නේය. දේශපාලනය තුළ, නීතිය සහ රැකියා තුළ ලිංගික සමානත්වය රැක ගැනීම සඳහා ඔවුන්ගේ සහභාගීත්වය අවශ්‍ය කරන්නේය. ඒ ආකාරයෙන් රටේ කාන්තාන් සහ පිරිමින් එක්ව ශ්‍රී ලංකාව දියුණුවට පත්කළ හැකිය.

අප හඳුන්වා දුන් පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත හරහා ඇති කෙරුණු තවත් වැදගත් දෙයක් වන්නේ, මිශ්‍ර සාමාජික සමානුපාතික ක්‍රමයයි. මෙය මුලින්ම නිර්දේශ කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු වන, අද විපක්ෂයේ අසුන්ගෙන සිටින ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මගිනි. අනතුරුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රකාශනය තුළ එය පොරොන්දුවක් බවට පත්වුණේ ඉන් පසුව ය. පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත හරහා වර්තමාන ඡන්ද ක්‍රමයට, කොට්ඨාශ ක්‍රමයෙන් මන්ත්‍රීවරුන් සියයට 60 ක් ද, සමානුපාතික නියෝජනය යටතේ මන්ත්‍රීවරුන් සියයට 40 ක් ද පත්කර ගැනීමට අදහස් කරන්නේය.

සියයට 50ක් ජන්දයදායිකාවන්ට නිසි නියෝජනය ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදයේ ළකුණකි.

ශ්‍රී ලංකාවේ පශ්චාත්-නිදහස් දේශපාලනය තුළ එක දිගටම, කොට්ඨාශ ක්‍රමයේ පැවති යහපත් ලක්ෂණ සහ අයහපත් ලක්ෂණත්, සමානුපාතික ක්‍රමය තුළ පවතින යහපත් සහ අයහපත් ලක්ෂණත් අප නිරීක්ෂණය කොට තිබේ. 1977 දක්වා අපට තිබුණේ කොට්ඨාශ ක්‍රමයයි. එය, වියදම් අඩු, ප්‍රචණ්ඩත්වය අඩු ක්‍රමයක් වූ අතර, ඒ ඒ පළාතේ නියෝජිතයන් ඒ යටතේ තෝරා ගනු ලැබූ අතර ඔවුන් ඒ පළාතේ ජනතාවගේ අභිලාෂයන් අනුව කටයුතු නොකළොත් එම ජනතාවට ඊළඟ වාරයේදී වෙනත් කෙනෙකු පත් කර ගැනීමට හැකියාව තිබුණි. එසේම, තනි පක්ෂ ආණ්ඩු පිහිටුවීමට ඒ යටතේ අවස්ථාව ලැබුණු අතර ජයග්‍රහණය සඳහා පක්ෂ ප්‍රතිපත්ති දියාරු කිරීමේ අවශ්‍යතාවක් නොවුණි. එවැනි ක්‍රමයක් තුළ විපක්ෂයත් ඉතා ප්‍රබල විය.

කෙසේ වෙතත් ඒ කොට්ඨාශ ක්‍රමය තුළ අසාර්ථකතා ද තිබුණි. භෞමික නියෝජනත්වය නිසා යම් අගතියක් ඇති වීමේ ඉඩක් තිබුණි. එහිදී සුළු ජාතිකයන් වැඩියත්ම පීඩාවට පත්වුණි. ප්‍රධාන පක්ෂවල දේශපාලනයට වෙනස් දේශපාලනයක් විශ්වාස කරන සුළු පක්ෂ ඒ ක්‍රමය යටතේ මහ පක්ෂ විසින් ඉතා පහසුවෙන් කොන් කළ හැකි විය. එසේම ජනතාව පාවිච්චි කරන ඡන්දවලින් විශාල ප්‍රමාණයක් නාස්ති වීම ද ඒ ක්‍රමය යටතේ දක්නට ලැබුණි. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1970 මැතිවරණයේදී සියයට 48 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා විට පාර්ලිමේන්තුව තුළ ඔවුන්ට සියයට 76.6 ක ආසන සංඛ්‍යාවක් හිමි කර ගත හැකි විය. ඊළඟට එක්සත් ජාතික පක්ෂය 1977 මැතිවරණයේදී සියයට 50.6 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා විට ඔවුන්ට සියයට 83 ක ආසන සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ හිමිකර ගත හැකි විය.

1978 ව්‍යවස්ථාව යටතේ සමානුපාතික නියෝජන ක්‍රමය ඇති කර ගැනුණේ ඒ දෝෂය නිවැරදි කිරීමට ය. එසේම එම අලුත් නියෝජන ක්‍රමය යටතේ සුළු ජාතික පක්ෂ සහ සුළු පක්ෂවලට පාර්ලිමේන්තුවේ නිසි ස්ථානයක් ලැබුණු අතර ඒකාබද්ධ ප්‍රතිපත්ති ගෙන යාමේ අවස්ථාවක් ද ලැබුණි. හැම පක්ෂයකටම කේවල් කිරීමේ හැකියාව ලැබුණු අතර අපතේ යන ඡන්ද වැළැක්වුණි.

ශ්‍රී ලංකාවේ ඇමැති මණ්ඩළය පිරිමි 23 ස්ත්‍රීන් 2!

කෙසේ වෙතත්, සමානුපාතික නියෝජන ක්‍රමය තුළත් අඩුපාඩු තිබුණි. එහිදී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර සඳහා විශාල මුදලක් අවශ්‍ය විය. දේශපාලන පක්ෂ අතර ප්‍රතිවාදී ප්‍රචණ්ඩත්වය වර්ධනය කෙරුණි. එසේම එක්තරා වර්ගවාදී පැහැයක් ද ඊට එක් විය. මෑතකදී අප අත්දැක ඇති පරිදි, මේ ක්‍රමය යටතේ වර්ගවාදී ප්‍රවණතා වර්ධනය වී තිබේ. ඒ නිසා, මේ ක්‍රම දෙක තුළම ඇති යහපත් අංග එක් කර ගනිමින් මිශ්‍ර-සාමාජික-සමානුපාතික ක්‍රමයක් දැන් ඇති කරගෙන තිබේ. බොහෝ දෙනා මේ ක්‍රමය අනුමත කරති. එය සාධාරණ වූත්, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා හිතකර වූත් ක්‍රමයකි.

මේ පනත හරහා අනාගතය සඳහා ඉතා සාධනීය දේවල් අත්පත් කරගෙන ඇති මුත්, එය සම්මත කර ගැනීම සඳහා අනුගමනය කළ ක්‍රමය විවේචනයට ලක්ව තිබේ. එසේ වෙතත්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ, කාරක සභා අවස්ථාවේදී සංශෝධන ගෙන ඒමට හැකියාව ඇති බව කිව යුතුය. ස්ථාවර නියෝග 56 යටතේ මෙසේ සඳහන් වෙයි: “පනතේ අදාළ විෂයට අනුගතව, යම් කිසි වගන්තියකට සංශෝධන ඉදිරිපත් කිරීම හෝ වගන්ති මකා දැමීම හෝ අලුතින් වගන්ති එකතු කිරීම හෝ කළ හැකිය. එසේම, ස්ථාවර නියෝග සමග වෙනත් ආකාරයකින් අනුගත වන අයුරින් ද සම්මත කර ගත හැකිය.”

මේ පනතට එක් කරන ලද අතිරේක වගන්ති එක් කරන ලද්දේ සුළු පක්ෂවල ඉල්ලීම පරිදි ය. දෙමළ ජාතික සන්ධානය ඇතුළු සුළු පක්ෂ රාශියක් මේ පනතට පක්ෂව ඡන්දය පාවිච්චි කෙළේ එබැවිනි. සුළු පිරිසක් මීට විරුද්ධ වුව ද, මේ ආණ්ඩුවෙන් ඉදිරිපත් වන ඕනෑම දෙයකට ඒ පිරිස විරුද්ධ වන බව මගේ විශ්වාසයයි. මන්ද යත්, මෙවැනි පනත් හරහා මහජන ප්‍රසාදය ආණ්ඩුව කෙරෙහි ගොඩනැගෙන බැවිනි.

ප්‍රංශයේ ඇමැති මණ්ඩළය: පිරිමි 13 ස්ත්‍රීන් 11!

එසේම මේ පනත කඩිනමින් සම්මත කර ගැනීම ගැනත් සමහරු සෑහීමකට පත් නොවෙති. මිශ්‍ර-සාමාජික-සමානුපාතික ක්‍රමය සඳහා වන සංශෝධන කාරක සභා අවස්ථාවේදී ගෙන ඒමට මත්තෙන් ඒ පිළිබඳ සංවාදයක් ඇති කරගෙන පොදු එකඟත්වයකට පැමිණිය හැකිව තිබිණි නම් යෙහෙකි යි මම සිතමි. එසේ වෙතත්, පැවති දේශපාලනික අවශ්‍යතාවන්හි වැදගත්කම සැලකිල්ලට ගෙන මේ මැතිවරණ ප්‍රතිසංස්කරණ ඇති කර ගත යුතුව තිබුණි. මෙසේ නොකෙළේ නම්, පළාත් සභා මැතිවරණ කිහිපයක් පැවැත්වීමට සිදුවනු ඇත්තේ පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ය. ඉතිරි ඒවා පැවැත්වීමට සිදු වනු ඇත්තේ පනත සංශෝධනය කර ගැනීමෙන් පසුව, මිශ්‍ර-සාමාජික-සමානුපාතික ක්‍රමය යටතේ ය. එය යෝග්‍ය ක්‍රමයකි යි මම නොසිතමි.

අනවශ්‍ය කඩිමුඩියක් සිදු නොවුණි. අනුගමනය කළ ක්‍රියා පිළිවෙත මුළුමණින්ම නීත්‍යානුකූල පරිපාටියට අනුගත වූ අතර, ඇති කර ගත් වෙනස්කම් මේ රටේ අභිවෘද්ධියට වැඩදායක වනු ඇත. කෙසේ වෙතත්, අලුත් ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වීම සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීම අවශ්‍ය කරන්නේය. ඒ සඳහා කාලයත් ශ්‍රමයත් වැය වන්නේය. මෑත කාලීන අත්දැකීම් අනුව බලන විට, සීමා නිර්ණය සඳහා ගත වන කාලය මේ වෙනුවෙන් දැරීමට සිදු වන පාඩුවකි. ඒ නිසා මේ වෙනුවෙන් ඉක්මණින් සීමා නිර්ණය කාර්යය ආරම්භ කළ යුතු බවට යෝජනා වී තිබේ. එසේම මේ ඇති කර ගත් වෙනස්කම් ඇත්තෙන්ම රටට වැඩදායක වීමට නම්, දේශපාලනය සඳහා හැකියාව ඇති, උනන්දුව ඇති කාන්තාවන් ඒ කෙරෙහි යොමු විය යුත්තේය. අවශ්‍ය කරන නීතිරීති දැන් සම්පාදනය කරගෙන ඇති තත්වය තුළ, ඉදිරිය බලමින් ඒ සාධනීය තත්වය ඇති කර ගැනීම සඳහා උරදිය යුතුව තිබේ.

කාරක සභා අවස්ථාවේ ඇති කර ගත් සංශෝධන දෙස අප බැලිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතාවන් පිළිබඳ දෘෂ්ටි කෝණයෙනි. එහිදී දිනේෂ් ගුණවර්ධන කමිටු වාර්තාවේ ඉදිරිපත් කෙරුණු නිර්දේශ සහ වර්තමාන මැතිවරණ ක්‍රමය තුළට මිශ්‍ර-සාමාජික-සමානුපාතික ක්‍රමයක් හඳුන්වා දෙන බවට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දුන් පොරොන්දුවත් අප සිහියේ තබා ගත යුතුය.

(2017 ඔක්තෝබර් 11 වැනි දා ‘ඬේලි එෆ්.ටී.‘ පුවත්පතේ පළවූ   Women Representation and Electoral Reforms are for People’s  Benefit නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

Back to Top