Sri Lanka Brief
පුවත්විවරණඑ්කීය රාජ්‍යය-ඔරුමිත්ත නාඩු: නොබෙදුණු සහ නොබෙදිය හැකි ශ්‍රී ලංකාවක් උදෙසා – ඩී.බී.එස්. ජෙයරාජ්

එ්කීය රාජ්‍යය-ඔරුමිත්ත නාඩු: නොබෙදුණු සහ නොබෙදිය හැකි ශ්‍රී ලංකාවක් උදෙසා – ඩී.බී.එස්. ජෙයරාජ්

by

ජායාරූපය: 62ලක්ෂයේ අයිතිය සුරකිනු! අගෝස්තු 17 කොළඹ ©s.deshapriya.

අගමැති රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් ‘ව්‍යවස්ථා මන්ත‍්‍රණ සභාවේ’ මෙහෙයුම් කමිටුව බොහෝ වෙර වීරිය ගෙන, අපේක්ෂිත අලූත් ව්‍යවස්ථාවක් සඳහා වන යෝජනා මාලාවක් අන්තර්ගත අතුරු වාර්තාව දැන් ඉදිරිපත් කොට ඇත. මේ වාර්තාවේ අනාගත විභවය ගැන පේන කීමට හෝ එහි අන්තර්ගත කාරණා සම්බන්ධයෙන් වැඩිමනත් විස්තර කීමට හෝ මෙය කාලය නොවේ. එසේ වෙතත්, වර්තමාන දේශපාලනික වටපිටාව තුළ මේ වාර්තාව එළිදැක්වීම වූ කලී, කාෂ්ටක පොළොවකට වට සැපවත් පොද වැස්සක් වාගේය.

‘ව්‍යවස්ථා මන්ත්‍රණ සභාවේ’ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව, එහි සභාපතිවරයා වන අගමැතිවරයා විසින්, ‘ව්‍යවස්ථා මන්ත‍්‍රණ සභාවක්’ වශයෙන් දැනට රැස්වන පාර්ලිමේන්තුවට පසුගිය දා ඉදිරිපත් කරන ලදී. මේ අතුරු වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඔක්තෝබර් 9, 10 සහ 11 යන දිනවල පැවැත්වෙනු ඇත.

ඉන් පසු, සැලසුම් කළ පරිදි සියල්ල සිදු වෙතොත්, මේ වසර අවසාන වන විට අවසන් වාර්තාවක් සකස් කොට නිමා වන අතර, එය 2018 ජනවාරියේ දී ‘ව්‍යවස්ථා මන්ත‍්‍රණ සභාවට’/පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. මෙහිදී, මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ යහපාලන ආණ්ඩුව කටයුතු කොට ඇත්තේ, ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් 1972 දී සහ 1978 දී කටයුතු කළ ආකාරයට වෙනස්වය.

මුලින්ම 2016 මාර්තු 9 වැනිදා, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේ ඒකච්ඡන්දෙයන් සම්මත කර ගත් යෝජනාවක් ප‍්‍රකාරව සමස්ත පාර්ලිමේන්තුව, ‘ව්‍යවස්ථා මන්ත‍්‍රණ සභාවක්’ බවට පත්විය. මේ ‘ව්‍යවස්ථා මන්ත‍්‍රණ සභාවේ’ සභාපතිවරයා වන්නේ කතානායක කරු ජයසූරියයි. ව්‍යවස්ථා මන්ත්‍රණ සභා ලේකම් කාර්යාලයක් ද මේ සමග ස්ථාපිත කෙරිණි.

මෙහෙයුම් කමිටුව

2016 අප්‍රේල් 5 වැනිදා ‘ව්‍යවස්ථා මන්ත්‍රණ සභාව’ විසින් සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන ආකාරයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 21 දෙනෙකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත්කර ගැනුණි. එහි සභාපතිවරයා වුයේ අගමැති රනිල් වික‍්‍රමසිංහය. ඉතිරි සාමාජිකයන් වූයේ: ලක්ෂ්මන් කිරිඇල්ල, නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම්, විජයදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත, රිෂාඞ් බද්යුද්දීන්, පාඨලී චම්පික රණවක, ඩී.ඇම්. ස්වාමිනාදන්, මනෝ ගනේෂන්, මලික් සමරවික‍්‍රම, ආර්. සම්බන්දන්, අනුර කුමාර දිසානායක, ඩිලාන් පෙරේරා, දිනේෂ් ගුණවර්ධන, ජයම්පති වික‍්‍රමරත්න, එම්.ඒ. සුමන්දිරන්, තුසිතා විජේමාන්න, බිමල් රත්නායක, ප‍්‍රසන්න රණතුංග සහ ඩග්ලස් දේවානන්දය.

මේ මෙහෙයුම් කමිටුව මගින් ප‍්‍රධාන විෂය ක්ෂේත්‍ර 12 ක් හඳුනා ගැනුණි. ඒ අතරින් ඇතැම් විෂය පථයන් තමන් විසින්ම සැලකිල්ලට ගනු ලබන බව මෙහෙයුම් කමිටුව තීරණය කෙළේය. ඒවා නම්, ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ පළමු සහ දෙවැනි පරිච්ඡේද යටතේ ගැනෙන, රාජ්‍යයේ ස්වභාවය, ස්වෛරීත්වය, ආගම, ආණ්ඩුවේ ආකෘතිය, මැතිවරණ ප‍්‍රතිසංස්කරණ, බලතල බෙදා හැරීමේ සහ ඉඩම් ප‍්‍රතිපත්තිය වන්නේය. ඉතිරි ප‍්‍රධාන විෂය ක්ෂේත‍්‍ර 6, එ් සඳහා විශේෂයෙන් පිහිටුවන ලද අනුකමිටු 6 කට භාර කෙරුණි.

මේ අනුකමිටු 6 පත්කෙරුණේ, 2016 මැයි 5 වැනි දා රැස් වූ ‘ව්‍යවස්ථා මන්ත්‍රණ සභාව’ මගිනි. මේ අනුකමිටු 6 ට භාර කෙරුණු තේමාවන් 6 වුණේ, මූලික අයිතිවාසිකම්, අධිකරණය, නීතිය හා සාමය, රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය සේවා සහ කේන්ද්‍ර-පරිධිය සම්බන්ධතා ය. මේ එකිනෙක අනුකමිටුව, සභාපතිවරයෙකු ඇතුළු සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත වන්නේය. ඒවායේ සභාපතිවරුන් තෝරා ගැනුණේ, ජ්‍යෙෂ්ඨත්වය මත, ඒවායේ සාමාජිකයන් අතුරින්මය.

කළමනාකරණ කමිටුව

2016 අප්‍රේල් 28 වැනිදා රැස්වූ මෙහෙයුම් කමිටුව කළමණාකරණ කමිටුවක් පිහිටුවීමට තීරණය කෙළේය. මෙහෙයුම් කමිටුවේ සහ අනුකමිටු හයේ වැඩ කටයුතු පහසු කැරැවීමත්, වෙනත් සියලු ලේඛන කටයුතු මෙන්ම කාර්යාලීය අවශ්‍යතා සම්පාදනය කිරීමත්, ඊට භාර විය. ඒ අනුව, පහත සඳහන් පුද්ගලයන් ඒ සඳහා පත් කෙරුණි: ජයම්පති වික්‍රමරත්න (සම සභාපති), එම්.ඒ. සුමන්තිරන් (සම සභාපති), පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම් සහ කාර්යාල ප‍්‍රධානී නීල් ඉද්දවෙල, පාර්ලිමේන්තු සභානායකග‍ෙ ලේකම් නවුෆල් අබ්දුල් රහමන්, අගමැතිවරයාගේ අතිරේක ලේකම්වරියක වන ජනාධිපති නීතිඥ බිම්බා ජයසිංහ තිලකරත්න ඒ අය වෙති.

කලින් ද සඳහන් කළ පරිදි, මෙහෙයුම් කමිටුවේ කාර්ය භාරය වන්නේ, ‘ව්‍යවස්ථා මන්ත්‍රණ සභාවේ’ සැලකිල්ලට භාජනය කිරීම සඳහා ව්‍යවස්ථා යෝජනා කෙටුම්පතක් සකස් කිරීමයි. ඒ ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත ‘ව්‍යවස්ථා මන්ත්‍රණ සභාවේ’ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් පිළිගෙන සම්මත වූ පසු එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබේ. අනතුරුව වෙනස්කම් ඇතිව හෝ නැතිව කැබිනට් මණ්ඩලය මගින් එය සම්මත කරනු ලබන අතර, ඉන් අනතුරුව කෙටුම්පතක් වශයෙන් තුනෙන් දෙකක වැඩි ඡන්දයකින් සම්මත කර ගැනීම සඳහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ. ඉන් පසුව, රට පුරා පැවැත්වෙන ජනමත විචාරණයකින් ඒ සඳහා ජනතා කැමැත්ත ලබා ගත යුතුය. එවිට ශ‍්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් ලැබෙතැයි අපේක්ෂා දල්වා ගත හැකිය.

මෙහෙයුම් කමිටුව, අතුරු වාර්තාවක් සේම අවසාන වාර්තාවක් ද සම්පාදනය කළ යුත්තේය. අනුකමිටු 6 වාර්තාවන් 2016 නොවැම්බර් 19 වැනි දා ‘ව්‍යවස්ථා මන්ත්‍රණ සභාව’ වෙත ඉදිරිපත් කෙරුණු අතර, මෙහෙයුම් කමිටුව මගින් පත්කරන ලද තවත් තත්කාර්ය කමිටුවක වාර්තාවක් 2016 දෙසැම්බර් 16 වැනිදා මෙහෙයුම් කමිටුව වෙත ඉදිරිපත් කෙරිණි. 2016 අප්‍රේල් සිට 2017 සැප්තැම්බර දක්වා කාලය තුළ ‘ව්‍යවස්ථා මන්ත්‍රණ සභාවේ’ මෙහෙයුම් කමිටුව 73 වරක් රැස්ව තිබිණි. අවසානයේ 2017 සැප්තැම්බර් 21 වැනි දා තමන්ගේ අතුරු වාර්තාව ඉදිරිපත් කරමින් එම මෙහෙයුම් කමිටුව ස්වකීය කාර්යභාරයේ ප‍්‍රථම අදියර අවසන් කොට තිබේ.

රනිල් වික‍්‍රමසිංහ

පුරාතන ඉන්දියාවේ මගධ රාජධානියේ ලිච්ඡවී සම්ප‍්‍රදාය තුළ පැවති සාමූහිකත්ව ප‍්‍රතිපත්තිය සහ සාකච්ඡාමය ආණ්ඩුකරණය පිළිබඳ මූලධර්මයන්ගෙන් ඔහු ආභාෂය ලැබූ බවක් පෙනේ.

අතුරු වාර්තාව ප‍්‍රකාශයට පත්කෙරෙන අවස්ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ වෙතින් පළවුණු සංතෘප්තිය ඉතා පැහැදිළිව පෙනෙන්ට තිබුණි. ඇත්ත වශයෙන්ම, අලුත් ව්‍යවස්ථා ව්‍යාපෘතිය පසුපස සිටි ගාමක බලය ඔහු බව අවිවාදිතය. 1972 දී සහ 1978 දී ඇති කර ගත් ව්‍යස්ථා සම්පාදන ක‍්‍රියාවලිය තුළ පැවති අතපසුවීම් පිළිබඳ මනා අවබෝධයක් ඇතිව සිටි ඔහු මෙවර එම ක‍්‍රියාවලිය සඳහා යොදා ගත්තේ, සියල්ලන් ඇතුළත් කර ගන්නා සහ සියල්ලන්ගේ අදහස් සැලකිල්ලට ගන්නා ප‍්‍රවේශයකි. පුරාතන ඉන්දියාවේ මගධ රාජධානියේ ලිච්ඡවී සම්ප‍්‍රදාය තුළ පැවති සාමූහිකත්ව ප‍්‍රතිපත්තිය සහ සාකච්ඡාමය ආණ්ඩුකරණය පිළිබඳ මූලධර්මයන්ගෙන් ඔහු ආභාෂය ලැබූ බවක් පෙනේ.

සියල්ලන් සහභාගී කර ගන්නා සම්මුතිවාදී එළැඹුමක් කෙරෙහි සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුව එසේ යොමු වීම ගැන ඊට ප‍්‍රශංසාව හිමි වන අතරේම, එ් වනාහී, පවතින කොන්දේසිවලට අනුගත වීමේ අවශ්‍යතාවක් විසින් ඇති කරන ලද තත්වයක් වශයෙන්ද අනිත් පැත්තෙන් සැළකිය හැකිය. සිරිමා බණ්ඩාරනායකගේ එක්සත් පෙරමුණු ආණ්ඩුව 1972 දී ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගන්නා අවස්ථාවේ එදා 157 දෙනෙකුගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුවෙන් ඇගේ ආණ්ඩුවට ආසන 116 ක් (ශ‍්‍රී.ල.නි.ප-91, ලංකා සමසමාජ පක්ෂය-19, කොමියුනිස්ට් පක්ෂය-06) හිමි විය. ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව 1978 දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගන්නා අවස්ථාවේ පාර්ලිමේන්තුව සැදුම්ලත් මන්ත්‍රීවරුන් 168 දෙනාගෙන් ඔහුගේ ආණ්ඩුවට ආසන 142 ක් හිමි විය. එම ආණ්ඩු දෙකටම තුනෙන් දෙකක බහුතරයක් තිබුණු හෙයින් ව්‍යවස්ථා සම්පාදනයේදී සම්මුතිවාදී සහ බහුපාර්ශ්වීය එළැඹුමක් ඇතිකර ගැනීම කෙරෙහි ඔවුන් උනන්දු නොවීය. එබැවින් එම ආණ්ඩු දෙකම කටයුතු කෙළේ ඒක-පාර්ශ්විකවය.

වර්තමාන තත්වය ඊට වෙනස්ය. වර්තමාන පාර්ලිමේන්තුව, කිසි පක්ෂයකට බහුතරයක් නැති පාර්ලිමේන්තුවකි. එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ සරළ බහුතරයක්වත් නොමැත. යහපාලන ආණ්ඩුව සමන්විත වන්නේ, එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (මෛත‍්‍රී පිළ), ජාතික හෙළ උරුමය, දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය සහ ඒ.සී.පී.සී. යන පක්ෂවලිනි. එම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයක් ලබා ගැනීමට නම්, දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලබා ගැනීම අනිවාර්ය වන්නේය. එබැවින් පුළුල් එකඟතාවක් ඇති කර ගැනීම, පවතින තත්වය යටතේ නැතිවම බැරි දෙයකි.

(2)

කෙසේ වෙතත්, වර්තමාන ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය තුළ සැලකිල්ලට ගත යුතු වැදගත් පැතිමාන දෙකක් තිබේ. මුලින්ම, එම ක‍්‍රියාවලිය ද්වි-පාර්ශ්වික එකකි. දෙවැනුව, එය බහු-වාර්ගික එකකි.

මෛත‍්‍රිපාල සිරිසේනගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ දේශපාලනික සුජාත භාවය පිළිබඳ සැකසාංකා තිබිය හැකි වෙතත්, නෛතික අරුතින් එම නායකත්වයේ කිසි දෝෂයක් නැත. ඒ අනුව, ලංකාවේ ප‍්‍රථම වරට එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ කාර්යයේදී එක්ව කටයුතු කරනු දක්නට ලැබේ. ඒ වගේම, දෙමළ ජාතික සන්ධානය විසින් නායකත්වය සපයනු ලබන දෙමළ ජනතාවත්, රවුෆ් හකීම් සහ රිෂාඞ් බද්යුද්දීන් විසින් නායකත්වය සපයනු ලබන මුස්ලිම් ජනතාවත් ඉහත කී ප‍්‍රධාන පක්ෂ දෙක සමග මේ කාර්යයේදී සහයෝගයෙන් වැඩ කරති. 1972 දෙමළ එක්සත් පෙරමුණ රටේ දෙමළ ජනතාවට නායකත්වය සපයන අවස්ථාවේ සහ 1978 දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ දෙමළ ජනතාවට නායකත්වය සපයන අවස්ථාවේ එවැනි තත්වයක් මේ රටේ පැවතියේ නැත. එදා එම අවස්ථා දෙකේදීම එම දෙමළ නායකත්වය ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියෙන් ඉවත්ව සිටියේය.

වර්තමාන ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියේ ආසන්නතම ප‍්‍රතිඵලය වශයෙන් පවතින්නේ මෑතකදී ප‍්‍රසිද්ධියට පත්කළ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවයි. මන්ත‍්‍රීවරුන් 21 දෙනෙකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවේ සෑම සාමාජිකයෙකුගේම අනුමැතිය ඊට ලැබී එම අතුරු වාර්තාව තුළ දක්නට ලැබෙන වැදගත්ම ලක්ෂණයයි. එහි අදහස වන්නේ, මෙහෙයුම් කමිටු අදියර සම්බන්ධයෙන් සළකන කල, එම වාර්තාව පොදු එකඟතා ප‍්‍රකාශනයක් වන බවයි.

මතුපිටින් බැලූ විට මෙම වාර්තාව කලඑළි බැසීම බලවත් සංතෘප්තියට කාරණයක් වෙතත්, වෙනත් ඇතැම් කරුණු නිසා යම් කුකුසක් ද දනවයි. ඒ සම්බන්ධයෙන් සලකන කළ, ව්‍යවස්ථා ක‍්‍රියාවලිය තුළ අපට හමුවන ප‍්‍රභාමත් අවස්ථාවක් වශයෙන් මෙම වාර්තාව දොහොත් මුදුනින් පිළිගැනීමට බාධා කරන ප‍්‍රධාන කාරණා දෙකක් හඳුනාගත හැකිය.

අතුරු වාර්තාවේ සම්පාදකයෝ

මුලින්ම, මීට අත්සන් තැබූ ඇතැම් අය මෙම වාර්තාවට එක් කළ යම් නිරීක්ෂණ හරහා වෙනස් ස්ථාවරයන් දරා සිටින බවක් පෙනේ. ඒවායින් සමහරක්, වාර්තාවේ මූලික ප‍්‍රස්තුතයන්ටත් ඉඳුරා ප‍්‍රතිපක්ෂව සිටී. පෙනෙන විදිහට, මේ පක්ෂ තමන්ගේ පැරණි ස්ථාවරයන් වෙනස් කොට ඇති සෙයකි. කිහිප දෙනෙකු, ‘වාර්තා සම්පාදකයන්’ නැමැති යෙදුම පාවිච්චි කරමින් එම වාර්තාවෙන් හැකි තාක් තමන් ඈත්ව සිටීමටත් වගබලාගෙන තිබේ. එහි අදහස වන්නේ, තමන් එම වාර්තාව අනුමත කොට ඇතත්, වෙනත් අයවළුන් විසින් සම්පාදනය කරන ලද එම වාර්තාවේ ඇතැම් අන්තර්ගතයන් පිළිබඳව තමන් මොනම එකඟත්වයක්වත් නොදක්වන බව ප‍්‍රකාශ කොට සිටීමකි. ඇතැම් මතිමතාන්තර අතර බරපතල විරසකයක් තිබේ. ඒවා සමනය කර ගන්නේ කෙසේද යන්න ඇත්තෙන්ම ප‍්‍රශ්නයකි.

ඊළඟට, මේ අතුරු වාර්තාව ප‍්‍රකාශයට පත් කිරීමට ගත් කාලයත් අතිශය දීර්ඝ එකකි. එය මීට බොහෝ කලකට පෙර අවසන් කොට තිබුණත්, එය මහජනතාවගේ දැන ගැනීම සඳහා ප‍්‍රකාශයට පත් කිරීම කල් ගොස් තිබුණි.

ඒ වෙනුවට සිදුවුණේ, ඇතැම් දේශපාලන පාර්ශ්වයන්හි පොරබැදීම් සමග එක දිගටම මේ ක‍්‍රියාවලිය ඇදෙමින් තිබීමයි. එයින් පෙන්නුම් කෙළේ ඒ ඒ දේශපාලන පක්ෂ අතර ඒ ගැන ඇති අව්‍යාජත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් සහ කැපවීමේ දුර්වල බව ප‍්‍රකාශයට පත්වීමක් ය. එවැනි තත්වයක් අලූත් ව්‍යවස්ථාවක් පිළිබඳ අනාගතයට එතරම් සාධනීය දෙයක් නොවන්නේය.

නව ව්‍යවස්ථාව ඉක්මන් කළ යුතු බවට හඩ නඟන ඇමැති මනෝ ගනේෂන් පුසගිය අගෝ 17 වන දින පැවැති මහජන රැස්වීම අමතමින් ©s.deshapriya

මුලින්ම ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය පටන් ගැනුණේ ඉතා සාධනීය ආකාරයකිනි. සියලූ පාර්ශ්ව එකතු කර ගනිමින්, සියල්ලන් ඇතුළත් කර ගන්නා ක‍්‍රියාවලියක් ආරම්භ කිරීම කෙරෙහි අගමැතිවරයා දැක්වූ කැප වීම විශිෂ්ට ය. මේ කාර්යයේදී ඔහුගේ සහයෝගශීලී ප‍්‍රවේශය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොන්ග‍්‍රසය ආදී සියලූ පක්ෂවල ප‍්‍රශංසාවට ලක්විය. ඇතැම් අංශ වෙතින් සැක සාංකා මතුවෙමින් පැවතියත්, ක‍්‍රියාවලිය එක දිගට ඉදිරියට ගියේය. කොටින්ම, මේ මුල් කාලයේ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය කෙරෙහි බරපතල විරෝධයක් එල්ල වුණේ නැත.

අලූත් ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවත්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ අලූත් මැතිවරණ ක‍්‍රමයක් ඇති කර ගැනීම වැනි කාරණා වෙනත් ව්‍යවස්ථා සංශෝධන හරහා ඇති කර ගත හැකි බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා තිබුණි. මෙවැනි ප‍්‍රකාශ කර තිබියේ වී නමුත්, ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට එරෙහි බරපතල විරෝධයක් ඔහු දැක්වූයේ නැත. මහින්දවාදී ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන සහ ප‍්‍රසන්න රණතුංග වැනි මෙහෙයුම් කමිටුවේ සිටි අයවළුන් පවා එක දිගටම කමිටුවේ සිටි අතර එය කඩාකප්පල් කිරීමට ඔවුන් තැත් කෙළේ නැත.

අනුකමිටු වාර්තා

අනුකමිටු වාර්තා සහ මෙහෙයුම් කමිටුවේ ප‍්‍රථම කෙටුම්පත පවා ගිය වසරේ නොවැම්බර් මාසය වන විට අවසන්ව තිබුණි. එහි අඩංගු යෝජනාවන්ට සාමාජිකයන් 21 දෙනාගේම අනුමැතිය ලැබී තිබුණි. කෙසේ වෙතත්, ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ අනුකමිටු වාර්තා පමණි. මෙහෙයුම් කමිටු යෝජනා පක්ෂ අතරේ බෙදා ගැනුණි. ඒ අවස්ථාවේ ඒවා අධ්‍යයනය කිරීමටත්, යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමටත් තව කාලය අවශ්‍ය බව ඇතැම් පක්ෂ කියා සිටියේය. ඒ අතරින් ප‍්‍රමුඛ වුණේ, මෛත‍්‍රිපාල සිරිසේනගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

කලින්ද කී පරිදි, අනුකමිටු හයේ කාර්ය භාරය වුණේ තමන්ට අදාළ විෂය පථයන් සම්බන්ධයෙන් සකසා ගත යුතු ව්‍යවස්ථාමය ප‍්‍රතිපත්ති සකස් කොට ඒවා මෙහෙයුම් කමිටුවේ අවධානය සඳහා යොමු කිරීමයි. එම කරුණු අවසානයේ අලූත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේදී මෙහෙයුම් කමිටුව විසින් සැලකිල්ලට ගෙන ‘ව්‍යවස්ථා මන්ත‍්‍රණ සභාව’ වෙත ඉදිරිපත් කළ යුතුව තිබුණි. කෙසේ වෙතත්, එම වාර්තා ප‍්‍රකාශයට පත්වීමත් සමග දැඩි ව්‍යකූලත්වයක් හටගැනුණි. එම අනුකමිටු වාර්තා, අවසාන ව්‍යවස්ථාව යැයි ඇතැම්හු සලකන්ට වූහ.

ඉන් අනතුරුව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියේ වේගය මන්දගාමී වන්නට පටන් ගත්තේය. ආණ්ඩු-විරෝධී බලවේග මේ ව්‍යවස්ථා ක‍්‍රියාවලිය ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීමට පටන් ගත් අතර නොයෙක් ආකාරයෙන් ඊට විරෝධය පාන්නට විය. මේ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය හරහා හොර රහසේ ෆෙඩරල් ක‍්‍රමයක් ඇති කිරීමට තැත් කරතියි මේ අතරේ චෝදනා නැගුණි. එම කි‍්‍රයාවලිය පසුපස, ජාත්‍යන්තර කොටස්, රහස් න්‍යාය පත‍්‍ර සහිත රාජ්‍ය නොවන සංවිධාන සහ දෙමළ ඩයස්පෝරාවේ කොටි බෙදුම්වාදී කණ්ඩායම් සිටිතැයි චෝදනා නැගුණි. එම විරෝධයට ඇතැම් බෞද්ධ සංඝයා වහන්සේලාද එක් වූහ.

පස්ස ගැසීමේ ප‍්‍රවණතාව

මේ තත්වය තුළ දේශපාලන පක්ෂ කිහිපයක් තුළ සැකසාංකා මතු වන්නට විය. ඒ අනුව තමන්ගේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා තව තවත් කාලය අවශ්‍ය බව ඔවුහූ කියා සිටියහ. මෙම පක්ෂවල සාමාජිකයන් මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් වුවත්, මෙම ක‍්‍රියාවලිය තුළ එවැනි සැක කටයුතු කිසිවක් නැති බව ඔවුන් හොඳින් දැන සිටියත්, මෙම තත්වය තුළ අර කී පක්ෂ පස්ස ගසන්ට වුහ. ඒ අනුව, මෙහෙයුම් කමිටුවේ ව්‍යවස්ථා කළලයේ මූලික ස්වභාවයට පවා ඇතැම් පක්ෂ එරෙහි වන තත්වයක් වර්ධනය වුණි.

ශ‍්‍රී ලංකා දේශපාලනයේ ‘කුප‍්‍රකට’ නමක් ඇති ‘ෆෙඩරල්’ යන්න මෙම සංවාදය තුළ මතු කෙරුණි. අලූත් ව්‍යවස්ථාව හරහා ශ‍්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කිරීමේ සූදානමක් ඇතැයි මේ අය චෝදනා නැගූහ. මීට අදාල අදහස් උදහස් මෙහෙයුම් කමිටුව තුළ සාකච්ඡුාවට ගැනී තිබුණත් ඒ සම්බන්ධයෙන් කිසි අවසාන තීරණයකට එළැඹ තිබුණේ නැත. අවසාන ලියැවිල්ලක් හෝ වාර්තාවක් හෝ තිබුණේ නැත. කෙසේ වෙතත්, විරෝධතා ප‍්‍රචාරණය එක දිගටම ගෙන යන ලදි. අවාසනාවකට එම චෝදනා ඉදිරියේ ඇත්ත තතු පහදා දීමට ආණ්ඩුව අපොහොසත් විය. මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් විපක්ෂයේ කණ්ඩායම් සමග එක් වූ බෞද්ධ මහ නායක හිමිවරු අලූත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බව කියා සිටියහ.

මේ තත්වය තුළ ඇතැම් පක්ෂ මේ සම්බන්ධයෙන් වන තමන්ගේ ආස්ථානයන් ගැන නැවත සිතා බලන්ට වූහ. විමල් වීරවංශ, ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියෙන් මුලින්ම ඉවත් විය. ඔහු සහ ඔහුගේ පක්ෂයේ මන්ත‍්‍රීවරු හතර දෙනෙක් පසුගිය ජුලි මාසයේ තමන් ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියේ ඉවත් වන බව කතානායක කරූ ජයසූරිය වෙත ලිඛිතව දන්වා සිටියහ. ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපියේ, ඉල්ලා අස්වීමට හේතු කාරණා වන කරුණු 10 ක් ඉදිරිපත් කොට තිබුණි. කිසිවක් පිළිබඳ අවසාන තීරණයක් තවම ගෙන නැති බව පෙන්වා දෙමින්, ඔවුන්ගේ ඉල්ලා අස්වීම අධෛර්යමත් කිරීමට කතානායකවරයා උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැත. කෙසේ වෙතත්, ‘ඒකාබද්ධ විපක්ෂයේ’ සෙසු පිරිස් ඔවුන්ව අනුගමනය කෙළේ නැත. විවේචන ඉදිරිපත් කරමින් වුවද ඔවුහූ එක දිගටම ක‍්‍රියාවලිය තුළ රැුඳී සිටියහ.

මහින්ද රාජපක්ෂ

තවත් පැත්තකින්, සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අර්බුදය වර්ධනය වන්නට විය. එම කණ්ඩායමේ ඇතැමුන්ට ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියෙන් ඉවත් වීමට අවශ්‍ය විය. තවත් සමහරුන්ට මහින්ද රාජපක්ෂ සමග යළි එක් වීමට අවශ්‍ය විය. තවත් සමහරුන්ට, මහින්ද රාජපක්ෂ සහ මෛත‍්‍රීපාල සිරිසේන අතර පාලමක් යා කිරීමට අවශ්‍ය විය. ඒ සියල්ල අස්සේ, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ආස්ථානය දුර්වල වන බවක් පෙනෙන්ට තිබුණි.

ජනපති සිරිසේනගේ අනුදැනුමක් නොමැතිව ශ්‍රීලනිපය විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගැනීමටට පෙනී සිටිනු ඇත්ද? ©s.deshapriya

දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට විධායක ජනාධිපති ක‍්‍රමය තබා ගැනීමට අවශ්‍යව තිබේ. එවැනි බරපතල ප‍්‍රතිපත්ති වෙනසක්, ජනාධිපතිවරයාගේ අනුදැනුම නොමැතිව ඇති කර ගැනීමේ හැකියාවක් ඔහුගේ පක්ෂයේ සාමාජිකයන්ට තිබිය නොහැකි බව ඇතැමුන් පෙන්වා දෙනු ලැබේ. එම තත්වය තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතරේ බලවත් නොපෑහීමක ලකුණු පහළ වන්ට විය. අලූත් ව්‍යවස්ථාවක් පිළිබඳ ඇතැම් පක්ෂ නැවත වරක් සිතා බලමින් සිටි තත්වය තුළ බොහෝ පක්ෂ දැන් ඒ සම්බන්ධයෙන් මෙතෙක් දරමින් සිටි ප‍්‍රතිපත්ති සංශෝධනය කර ගැනීම හෝ දියාරු කර ගැනීම දක්වා තල්ලූ විය.

කෙසේ වෙතත්, අගමැති රනිල් වික‍්‍රමසිංහ ඊට එකඟ නැත. මේ අන්තර්-වාර යෝජනා සම්බන්ධයෙන් කලින් ඇති කර ගත් එකඟත්වයන් හැකි තාක් එසේම තබා ගැනීම ඔහුගේ අවශ්‍යතාවයයි. එසේම, ප‍්‍රධාන වාර්තාවක් සහ ඒ සමග ඉදිරිපත් කෙරෙන වෙනත් විසම්මුතික වාර්තා වශයෙන් මෙය ඉදිරිපත් කිරීමටත් ඔහු එකඟ නැත. මෙහෙයුම් කමිටුව තුළ තිබිය හැකි විවිධ මතිමතාන්තර සහ විසම්මුතික අදහස් උදහස් සැලකිල්ලට ගන්නේ වී නමුත් අවසානයේදී ඒ සියල්ල ඇතුළත් කර ගත් තනි වාර්තාවක් ඉදිරිපත් කිරීම ඔහුගේ අභිලාෂයයි.

එබැවින් ඉදිරිපත් වූ විවිධ අදහස් සැලකිල්ලට ගත් මෙහෙයුම් කමිටුව ඒවා සහසම්බන්ධී නිර්දේශ වශයෙන් ප‍්‍රධාන වාර්තාවට ඇතුළත් කෙළේය. වැදගත්ම කාරණය වන්නේ, මේ අවසාන යෝජනා සංගෘහිත කිරීමේදී මෙහෙයුම් කමිටුව ඉතා විවෘත ආකාරයකින් කටයුතු කිරීමයි. ඒ අනුව, දැඩි තීන්දුවල එල්බ ගන්නවා වෙනුවට, පාරිභාෂික කෝෂයත් වඩාත් නම්‍යශීලීව තබා ගැනීමට ඔවුන් උත්සුක විය. ‘පහත සඳහන් සූත‍්‍රය සලකා බැලිය හැකිය.’ ආදී වශයෙන් එහි සඳහන් වෙයි. එහි අදහස වන්නේ, යෝජනා කරන ලද සෑම කරුණක්ම සාකච්ඡුාවට ගත හැකි බවත්, කිසිවක් බලහත්කාරයෙන් නොපැටවිය යුතු බවත් ය. එසේම, වෙනම ලේඛන වශයෙන් තමන්ගේ වෙනස් අදහස් ඉදිරිපත් කිරීමටත් අවස්ථාව සලසා දෙන ලදි. ඒවා අතුරු වාර්තාවට ඇමුණුම වශයෙන් එක් කළ යුතුව තිබුණි.

කෙසේ වෙතත්, ඒ සඳහා පාවිච්චි කරන ලද පාරිභාෂික යෙදුම වුණේ, ‘නිරීක්ෂණ’ යන්නයි. ඇමිණුම් වශයෙන් ඒවා හැඳින්වීමට අගමැතිවරයාගේ කැමැත්තක් නොවීය. ඒ බව වාර්තාවේ හරියටම සඳහන් වන්නේ මෙයාකාරයෙනි: ‘‘මෙම වාර්තාවේ සඳහන් ප‍්‍රතිපත්ති සහ සූත‍්‍ර පිළිබඳ මෙහෙයුම් සභා සාමාජිකයන්ගේ නිරීක්ෂණ සහ අදහස් මේ වාර්තාවට ඇතුළත් වෙයි.’’

ව්‍යවස්ථා සම්පාදන අභ්‍යාසය මාස ගණනාවක් තිස්සේ සෑහෙන වේගයකින් ගමන් කළත්, එහි ප‍්‍රගතිය මෑතක සිට අඩාල වී තිබේ. අවශ්‍ය කරන වේගය පවත්වා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවමත් පරිස්සම්කාරී සහ ඇල්මැරුණු ස්වභාවයක් දරණ බව පෙනේ. ඊට ප‍්‍රධාන වශයෙන් හේතු වන්නේ, රට පුරා ඇති වෙමින් පවතින ව්‍යවස්ථා-විරෝධී ප‍්‍රචාරණයත්, ව්‍යවස්ථාවට අදාළ ප‍්‍රශ්න, විශේෂයෙන් විධායක ජනාධිපති ධුරය සම්බන්ධ ප‍්‍රශ්න අරභයා එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින මතභේදයි. ඒ නිසා වැඩියත්ම කණස්සල්ලට පත්වන්නේ දෙමළ ජාතික සන්ධානයයි. අලූත් ව්‍යවස්ථාවක් සඳහා වන සන්ධානයේ ප‍්‍රධාන බලවේගයක් වන දෙමළ ජාතික සන්ධානය, සමානාත්මතාව සහ සහජීවනය සාක්ෂාත් කර ගැනීම සඳහා අලූත් ව්‍යවස්ථාවක ඇති අතිශය වැදගත්කම අවධාරණය කරයි. ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය කෙරෙහි ආණ්ඩුවේ කැපවීම සහතික කර ගැනීම සඳහා අවශ්‍ය කරන ජාත්‍යන්තර බලපෑම් ඇති කර ගැනීමටත් දෙමළ ජාතික සන්ධානය කටයුතු කෙළේය.
ඒකීය රාජ්‍යය-ඔරුමිත්ත නාඩු: නොබෙදුණු සහ නොබෙදිය හැකි ශ‍්‍රී ලංකාවක් උදෙසා (3) – ඩී. බී. එස්. ජෙයරාජ්

(3)

ප‍්‍රධාන පෙළේ වැදගත් විදේශ රාජ්‍ය තාන්ත‍්‍රිකයන් දෙදෙනෙකු ශ‍්‍රී ලංකාවට පැමිණීම, ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට යම් තල්ලූවක් සැපයීය. ඉන් එක් අයෙකු වුණේ, දකුණු ආසියාව පිළිබඳ ඇමරිකානු වැඩ බලන සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මියයි. දෙවැන්නිය වුණේ, ඉන්දියානු විදේශ කටයුතු ඇමති සුෂ්මා ස්වරාජ් මහත්මියයි. දෙදෙනාම, කොළඹ පැවති ඉන්දියානු සාගර සමුළුව ඇමතූහ. එසේම ලංකාවේ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියේ ප‍්‍රගතිය ගැන සොයා බැලීමට සේම, හැකි ඉක්මණින් ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘතිය අවසානයක් කර ගැනීම සඳහා ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කිරීමටත් දෙදෙනාම එය අවස්ථාවක් කර ගත්හ.

අපේ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය, ශ‍්‍රී ලංකාවේ අන්තර්-වාර්ගික යුක්තිය සහ වාර්ගික සංහිඳියාව සඳහා මහෝපකාරී වන බව වොෂින්ටනයේ සේම නව දිල්ලියේ ද විශ්වාසයයි. ඉහත කී සංචාරයන්ට අමතරව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සයිඞ් අල් හුසේන් ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ මන්දගාමීත්වය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරය අමතමින් විවේචනාත්මක ප‍්‍රකාශයක් කිරීමත් එක්තරා ආකාරයකින් ලංකාවේ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට තල්ලූවක් සැපයීය.

මානව හිමිකම් මහ කොමසාරිස් සයිඞ් අල් හුසේන් ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ මන්දගාමීත්වය ගැන කළ ප්‍රකාශය බලපෑමක් ඇති කළේය.

මේ ආකාරයට එවන් ජාත්‍යන්තර බලපෑම්වල සංයෝගයෙන් ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියේ ඉදිරි ගමනට සහායක් ලැබුණි. එසේ ගොඩනැගෙමින් පැවති ‘විදේශීය’ තෙරපුම ඉදිරියේ විසඳුමකට තිබුණේ ව්‍යවස්ථා ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් යම් කාර්යයක් ඉටු කිරීම බවට හැඟීමක් ලංකා ආණ්ඩුව තුළ ඇති විය. ඒ අනුව ව්‍යවස්ථා ක‍්‍රියාවලිය යළි පණ ගැසීය. ඒ ආකාරයෙන් ජාත්‍යන්තර තෙරපුම තිබියදී ලංකාව ඇතුළෙන් ඇති වූ තෙරපුමත් ඊට ඉවහල් විය.

එක්සත් ජාතික පක්ෂ/ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව මේ අවස්ථාවේ ඡුන්දවලට මුහුණදීමට වැඩි කැමැත්තක් නොදක්වයි. පළාත් පාලන හෝ පළාත් සභා ඡන්දවලට ගියොත් මේ පක්ෂ දෙක එදිරිවාදි ස්ථාවරයන්ට අවතීර්ණ වීමට හොඳමට ඉඩ තිබේ. ආණ්ඩුව ඇතුළේ සිිටින කුඩා පක්ෂත් වෙනම තරග කළ හැකි අතර ඒ පක්ෂත් ප‍්‍රධාන පක්ෂ දෙකට ප‍්‍රතිපක්ෂව සිටිය හැකිය. ඒ සියල්ලටමත් වඩා බරපතල කාරණය වන්නේ, එක්සත් ජාතික පක්ෂය, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී පිල සහ මහින්ද පිළ අතර සිදු විය හැකි තුන් කොන් සටනකින් මෛත‍්‍රී පිළ තුන්වැනි ස්ථානයට පත්වීමේ අවදානමයි. එසේ වුවහොත්, අද මෛත‍්‍රීපාල සමග සිටින ඇතැම් අය පවා මහින්ද පිළට එක් වීමෙන් වර්තමාන ආණ්ඩු පක්ෂ බල තුලනයේ බරපතල වෙනසක් ඇති වීමට ඉඩ තිබේ.

අලූත් ව්‍යවස්ථාවක් හෝ ප‍්‍රධාන පෙළේ ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡුන්දයක් සේම ජනමත විචාරණයකින් ජය ගැනීමක් ද අවශ්‍ය කෙරේ. ජනමත විචාරණයක් ජය ගැනීම සඳහා දැනට ආණ්ඩුවේ සිටින පාර්ශ්වකරුවන් එක කඳවුරක් වශයෙන් විශ්වාසවන්තව සටන් කළ යුතුව තිබේ. ඒවා සතු ශක්‍යතාවන් සහ සම්පත් ඒකබද්ධව පාවිච්චි කළ යුතුව තිබේ. අනිත් අතට, පළාත් පාලන හෝ පළාත් සභා මැතිවරණ කලින් පැවැත්වීමෙන් සිදුවන්නේ, ආණ්ඩුව තුළ අද පවතින එක්සත් භාවය හානියට පත්ව, එය ව්‍යවස්ථා සම්පාදනය කෙරෙහි අහිතකර ආකාරයෙන් බලපෑමට ඉඩ තිබීමයි.

මේ නිසා, ව්‍යවස්ථා සම්පාදනය සඳහා අවශ්‍ය කෙරෙන ජනමත විචාරණයකට පෙරාතුව වෙනත් ඡුන්දයකට යාමෙන් වැළැකී සිටීමට ආණ්ඩුවට අවශ්‍ය කොට තිබේ. ජනමත විචාරණයකින් ලබන සාර්ථකත්වයක් හරහා ආණ්ඩුවේ බලය ස්ථායී කර ගැනීමට මෙන්ම රාජපක්ෂ බලය දුර්වල කිරීමටත් හැකි වෙතැයි ආණ්ඩුව විශ්වාස කරයි.

පුළුල් චිත‍්‍රය

පළාත් පාලන මැතිවරණ සහ පළාත් සභා ඡන්දවලට අදාළ නීති සංශෝධන කෙරෙහි ආණ්ඩුව යොමු වීම පසුපස පැවති හේතු ඒවා ය. එම සංශෝධනය ගෙන ඒමේදී ආණ්ඩුව අනුගමනය කළ ක‍්‍රියාමාර්ගය, එනම් කමිටු අවස්ථාවේදී සංශෝධන ඇතුළත් කිරීම, දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. එම චෝදනාවන්ගෙන් බොහොමයක් සාධාරණ ය. එහෙත් ආණ්ඩුව පැත්තෙන් ඡන්ද කල් දමා ගැනීම අත්‍යාවශ්‍යව තිබුණි. ආණ්ඩුවේ ප‍්‍රවේශය, නරක දෙකක් අතරින් අඩු නරක තෝරා ගැනීමක් වශයෙන් ආණ්ඩුවට අර්ථ දැක්විය හැකිය. පුළුල් චිත‍්‍රය තුළ බහා ඒ දෙස බැලිය යුතු යැයි ආණ්ඩුව කිව හැකිය. ආණ්ඩුව සිතන්නේ, පළාත් පාලන සහ පළාත් සභා ඡන්ද පැවැත්වීම කල් දැමීමේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවට වඩා, ආණ්ඩුවේ එක්සත් භාවය රැුක ගැනීමත්, ප‍්‍රගතිශීලී ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමත් වැදගත් වන බව ය.

62 ලක්ෂයේ අයිතිය යුරකිනු! අගෝ 17 කොළඹදී ©s.deshapriya

තමන්ට තිබෙන කාලය සීමිත බව ආණ්ඩුව වටහාගෙන තිබේ. ඡන්ද කල් දැමීම හැමදාමත් කළ නොහේ. පළාත් සභා සඳහා වන සීමා නිර්ණය කිරීම් සඳහා තව මාස කිහිපයක් ගත විය හැකි වෙතත්, පළාත් පාලන සහ පළාත් සභා ඡුන්ද දින නියමයක් නොමැතිව කල් දැමීම යුක්ති සහගත කිරීම අසීරු ය. එසේ වෙතත්, ජනමත විචාරණයකට කලින් මෙම ඡන්දවලට යෑමට ආණ්ඩුවේ කැමැත්තක් නැත.

එම ජනමත විචාරණය ජය ගනිමින් අලූත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම මගින් ආණ්ඩුවේ ශක්තිය වර්ධනය කර ගත හැකිය. ඉන් පසුව, පළාත් පාලන සහ පළාත් සභා ඡුන්දවලට වඩාත් ශක්තිමත්ව මුහුණදිය හැකිය. එසේම, ජනමත විචාරණයෙන් ජය ගැනීම හරහා මහින්ද රාජපක්ෂගේ සහ විපක්ෂයේ දේශපාලන හයියත් දුර්වල කළ හැකිය. මේ සියල්ල සාර්ථක කර ගැනීමට නම් ජනමත විචාරණය නොපමාව පැවැත්විය යුත්තේය. එසේ කිරීම සඳහා අදාළ ව්‍යවස්ථා කෙටුම්පත නොපමාව සකස් කර ගත යුතුය. ඒ සඳහා, ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය වේගවත් කළ යුතු වන්නේය. බොහෝ කලක් තිස්සේ බලාපොරොත්තුව සිටි මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පසුගිය දා ආණ්ඩුව විසින් ඉදිරිපත් කෙළේ ඒ සන්දර්භය තුළ ය.

මෙම අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමට ටික කලකට පෙර පටන්, එම වෑයම අඩාල කිරීමටත්, එහි අඩංගු ඇතැම් කරුණු මගින් පොදුවේ සිංහලයාව සහ විශේෂයෙන් බෞද්ධයාව පාවා දීමක් සිදුවන බවටත් ප‍්‍රචාරයක් දියත් කොට තිබුණි. වර්තමාන ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට හිමි තැන මේ අලූත් ව්‍යවස්ථාවෙන් අහෝසි කෙරෙන බවක් එහිදී කියැවුණි. එසේම, ශ‍්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමත් ඒ මගින් සිදුවෙතැයි විවේචකයෝ කීහ.

ගෝඨාභය රාජපක්ෂ

අලූත් ව්‍යවස්ථාවට එරෙහිව ගොඩනංවන ලද වඩාත් ප‍්‍රබල විරෝධය කුළුගැන්වුණේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් පැවති ‘එළිය’ තුළිනි. මේ ව්‍යාපාරයේ මුඛ්‍ය අභිලාෂය වන්නේ අලූත් ව්‍යස්ථාවට විරෝධය දක්වා එය නතර කිරීමයි. එහිදී කතා කළ ගෝඨාභය රාජපක්ෂ මෙසේ කීය:

‘‘තිස් අවුරුද්දක් තිස්සේ මේ රටේ පැවති ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු, රට එකසේසත් කළ පසු, එම ජයග‍්‍රහණය අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හරහා හෝ පාර්ලිමේන්තුව හරහා හෝ පාවා දීමට අපට ඉඩ දිය නොහැක. අද අලූත් ව්‍යවස්ථාවක් හරහා ඒ මහා ජයග‍්‍රහණය ආපස්සට හැරවෙතැයි අප තුළ මහා බියක් තිබේ.’’

‘‘ඒ අනුව, අලූත් ව්‍යවස්ථාවට එරෙහි වීමේ අවශ්‍යතාව මහජනතාව අතරට ගෙන යා යුතු බවට විද්වතුන් සහ වෘත්තිකයන් යෝජනා කරන ලදි. එම අදහස ජනතාව අතර සමාජගත කිරීම සහ අලූත් ව්‍යවස්ථාවට විරෝධය පෑම ‘එළිය’ ව්‍යාපාරයේ කාර්ය භාරයයි.’’

‘‘වර්තමාන ව්‍යවස්ථාව තුළ වැරදි නැතැයි මෙයින් නොකියැවේ. එහෙත් අලූත් ව්‍යවස්ථාව පසුපස සිටින පුද්ගලයන් ගැන සිතන විට, එය සකස් කරන්නේ කා වෙනුවෙන් සහ මොන කාරණයක් වෙනුවෙන් ද යන්න ගැන සිතන විට, අප තුළ බරපතල අනාරක්ෂාව පිළිබඳ හැඟීමක් ඇති වෙයි. මේ අලූත් ව්‍යවස්ථාව යන්නේ කොයිබට ද යන්න අපි දනිමු.’’

මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව එළිදැක්වුණේ, යෝජිත අලූත් ව්‍යවස්ථාව සඳහා වන එවන් විරෝධයක් ගොඩනැගෙමින් තිබූ පරිසරයක ය. එම අතුරු වාර්තාව එළිදැක්වීම නිසා, එතෙක් ඉදිරිපත් කෙරුණු බොහෝ විවේචන පදනම් විරහිත බව ඔප්පු වුණි. බුද්ධාගමට හිමි තැන එයාකාරයෙන්ම මේ අලූත් ව්‍යවස්ථාවේ ද සඳහන් වෙයි. එසේම, රාජ්‍යයේ ස්වභාවය ගැන සැළකීමේදී, නිර්මාණාත්මක අතරමැද එකඟත්වයක් මේ අලූත් යෝජනාවලිය තුළින් ඇති කරගෙන තිබේ. එකීය හෝ ෆෙඩරල් වශයෙන් හඳුන්වනවා වෙනුවට, ‘මැද තැනකට’ ගොස්, ශ‍්‍රී ලංකාව නොබෙදුණු සහ බෙදිය නොහැකි රාජ්‍යයක් වශයෙන් පවතිනු ඇතැයි එම වාර්තාව තුළ අවධාරණය කෙරේ.

ඒකීය සහ ෆෙඩරල්

මේ කාරණය අතුරු වාර්තාව තුළ පැහැදිළිව විස්තර කෙරේ. එහිදී මෙසේ සඳහන් වෙයි: ‘‘ව්‍යවස්ථා මන්ත‍්‍රණ සභාව පිහිටුවීමේ යෝජනාව ඉදිරියේ අදහස් දක්වමින් දකුණේ ජනතාව ‘ෆෙඩරල්’ යන වචනය ගැන බිය වන අතරේම උතුරේ ජනතාව ‘ඒකීය’ යන වචනය ගැන බිය වන බව ජනාධිපතිවරයා කීය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්, ජනතාව තුළ බිය දනවන ලියවිල්ලක් නොවිය යුතුය. ‘ඒකීය රාජ්‍යය’ නැමැති ඉංග‍්‍රීසි යෙදුම වෙනස්කම්වලට භාජනය වී තිබේ. ඒකීය රාජ්‍යයක් වන එක්සත් රාජධානියට අයත් උතුරු අයර්ලන්තයට සහ ස්කෝට්ලන්තයට දැන් වෙන් වීමේ හැකියාව තිබේ. එබැවින්, ඒකීය නැමැති ඉංග‍්‍රීසි යෙදුම ලංකාවට යෝග්‍ය නොවේ. ඒකීය රාජ්‍යය නැමැති සිංහල යෙදුම තුළ, නොබෙදුණු සහ බෙදිය නොහැකි යන අරුත ඉතා හොඳින් පැහැදිළි කෙරේ. ඊට සමාන දෙමළ යෙදුම වන්නේ, ‘ඔරුමිත්ත නාඩු’ යන්නයි. එම තත්වය තුළ පහත සඳහන් සූත‍්‍රය සලකා බැලිය හැක: ශ‍්‍රී ලංකාව නිදහස්, ස්වෛරී සහ ස්වාධීන ජනරජයක් වන අතර, ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි බලය අභ්‍යාස කෙරෙන මධ්‍යම සහ පළාත් ආයතනවලින් සැදුම්ලත් ‘ඒකීය රාජ්‍යයක්/ඔරුමිත්ත නාඩු’ වන්නේය. මේ වගන්තියේ සඳහන් ‘ඒකීය/ඔරුමිත්ත නාඩු’ යනු, නොබෙදුණු සහ නොබෙදිය හැකි රාජ්‍යයකි. එය තුළ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ බලය හෝ ව්‍යවස්ථාව අවලංගු කිරීමේ හෝ අහෝසි කිරීමේ බලය, මේ අලූත් ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි, පාර්ලිමේන්තුව සහ ශී‍්‍ර ලංකාවේ ජනතාව සතු වන්නේය.’’

කලින් ද සඳහන් කළ පරිදි, මේ වාර්තාවේ ශක්‍යතා අනාගතය ගැන අනාවැකි කීමට හෝ එහි සඳහන් කරුණු ගැන ගැඹුරින් සළකා බැලීමට හෝ මෙය අවස්ථාව නොවේ. කෙසේ වෙතත්, ඇතැම් දෙනා බලාපොරොත්තු වූ පරිදි, මහ විශාල විරෝධයක් මේ දක්වා මේ සම්බන්ධයෙන් මතු වුණේ නැත. ඒ නිහැඬියාව, සමහර විට නොපෙනෙන කුණාටුවකට කලින් පවතින සන්සුන් තත්වයක් විය හැකිය. ඔක්තෝබරයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදය ළං වෙද්දී තත්වය උණුසුම් විය හැකිය. සටන් පෙරමුණු, ඒ විවාදයට මත්තෙන්, විවාදය අතරතුරේදී සහ ඉන් පසුව, පැහැදිළිව ගොඩනැගෙනු ඇත.

ඉතිහාසයේ සන්ධිස්ථානය

අලූත් ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටින්නන් ඉදිරියේ තිබෙන්නේ විශාල අභියෝගයකි. ඉදිරියේදි ඇති වීමට නියමිත දරුණු දේශපාලන අරගලය තුළ බොහෝ වෙනස්කම් සහ හැරවීම් ලක්ෂ්‍යයන් තිබිය හැකිය. මේ අභියෝගය ඉදිරියේ නොසැලී සිටීමට සහ පටන් ගත් කාර්ය භාරය අවසානයක් දක්වා රැුගෙන යාමට ආණ්ඩුවට සහ එහි පාර්ශ්වකරුවන්ට ශක්තිය තිබේද යන්න ඉදිරියේදී බලා ගැනීමට ඇති දෙයකි. ලාංකීය ජනතාව සිටින්නේ ඉතිහාසයේ සන්ධිස්ථානයක ය. රටේ දෛවය සමග බැඳී ඇති ඒ නොවැළැක්විය හැකි අභියෝගය වෙත, අධිෂ්ඨානශීලීව සහ එක්සත්ව මේ ‘ඒකීය රාජ්‍යයේ/ඔරුමිත්ත නාඩු රාජ්‍යයේ’ ජනතාව ගමන් කරාවිද?

2017 සැප්තැම්බර්  හි ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Aekiya Raajya-Orumiththa Nadu: For an Undivided, Indivisible Sri Lanka නැමැති ලිපි ත්‍රත්වයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Back to Top