Sri Lanka Brief
පුවත්විවරණපරණවිතානට එරෙහි වූ බකපඬියෝ – සුනිල් ජයසේකර

පරණවිතානට එරෙහි වූ බකපඬියෝ – සුනිල් ජයසේකර

by

රටට ඉතා වැදගත් වියහැකි ඇතැම් කරුණු පිළිබඳව අප රටේ සාමාන්‍ය ජන සමාජය එතරම් උනන්දුවක් නොදක්වන අවස්ථා තිබේ. ඒ පිළිබඳව නොසලකා සිටිය හැකිමුත් රටේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට අදාළව මෙන්ම ජනමාධ්‍යයන් ද එවැනිම වූ පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් ඒ පිළිබඳව සමාවක් දීමට අසීරුය. රටේ වන සතුන්ට අදාළව ඇතැම් කරුණු පිළිබඳව ඇති සමාජ ආකල්ප මෙන්ම ඒ සඳහා යෙදිය යුතු පිළියම් පිළිබඳව සැලකීමේදී අප රටේ ජනමාධ්‍ය දක්වන සාම්ප්‍රදායික මෙන්ම වගකීම් විරහිත භාවය පිළිබඳව සැලකීමේදී ද රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් ඒ පිළිබඳව දක්වන පසුගාමී ආකල්ප ද එහිදී බෙහෙවින්ම කැපී පෙනේ.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට ද බලවත් අහිතකර බලපෑමක් සිදුකරන වනසතුන් පිළිබඳව සමාජයේ ඇති පොදු ආකල්ප සලකා බැලීමේදී ඒ බව මැනවින් තේරුම්ගත හැකිය. විශේෂයෙන්ම අලි මිනිස් ගැටුම ආශ්‍රයෙන් හා වගාවන්ට හානි කරන වනසතුන් පිළිබඳව ද රටේ පවත්නා නීතිමය තත්වය මෙන්ම සමාජ ආකල්ප විමසා බැලීමේදී ඒ බව වටහාගත හැකිය. ඒ බව තේරුම් ගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වියහැකි සමාජ කතිකාවක් මේ දිනවල ඇති වී තිබේ. ඒ කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යවරයා පළකර ඇති එක්තරා අදහසක් පදනම් කරගෙනය. එහිදී කරුණාරත්න පරණවිතාන අමාත්‍යවරයා පළකර ඇති අදහස ඉතා සරළ වුවත් එහි අරුත බොහෝ සේ ගැඹුරුය. එහෙත් ඊට එරෙහිව මේ රටේ ඇතැම් ජනමාධ්‍ය මෙන්ම ඊනියා පරිසර සංවිධාන හා සමාජ ජාලා අරක්ගෙන ඇති ඇතැම් බක පණ්ඩිතයන් ද අවිඅමෝරා තිබේ.

කරුණාරත්න පරණවිතාන මහතා එහිදි ප්‍රකාශ කර ඇත්තේ සමාජයට අහිතකර වනසතුන් පාලනය කළයුතු අතර ආරක්ෂා කරගත යුතුව ඇති දුර්ලභ වන සතුන් සංරක්ෂණය කිරීම සඳහා ද වැඩපිළිවෙලක් සකස් කළයුතු බවකි. ඇතැම්විට ඔහු මේ අදහස ප්‍රකාශ කරමින් එය වැඩිදුරටත් විග්‍රහ නොකර සිටියේ නම් කිසිදු ප්‍රශ්නයක් මතු නොවීමට ඉඩ තිබුණි. එහෙත් එහිදි ඔහු මේ රටේ වන අලින් උදාහරණයට ගමිනින් අලි මිනිස් ගැටුම වළක්වා ගැනීම සඳහා හේතු වියහැකි විසදුමක් ද යෝජනා කර තිබේ. පෙර සඳහන් කළ ඇතැම් ජනමාධ්‍ය මෙන්ම ඊනියා පරිසර සංවිධාන මෙන්ම සමාජ ජාලාවන්හි සැරිසරන ඇතැම් බකපණ්ඩිතයන් ද අවිඅමෝරාගෙන ඇත්තේ එතැනදී ය.

එහිදී පරණවිතාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ රටේ පවත්නා වන ගහණයට ඔරොත්තු නොදෙන අතරික්ත වන අලින් අල්ලා ඔවුන් රැකබලා ගැනීම සඳහා වැඩපිළිවෙලක් සැකසිය යුතු බවකි. ඒ හරහා රජයට විශාල ආදායමක් ද ලබාගත හැකි බවකි. එය ඉතා නිවැරදි මෙන්ම වෙනත් විකල්පයක් හඳුන්වා දීමට අපහසු ප්‍රායෝගික යෝජනාවකි. එය එසේ වන්නේ කරුණු දෙකක් නිසාය. පළමු කාරණය වන්නේ අලින්ට නිරුපද්‍රිතව බාහිරෙන් එල්ල වන බාධා වලින් තොරව ජීවිත් වියහැකි ඒ සඳහා අවශ්‍ය වන්නා වූ වන ගහණය වහාම සම්පූර්ණ කළ නොහැකි නිසාය. දෙවන කාරණය වන්නේ අද අප රටේ පවත්නා වන ගහණය අනුව ඊට ඔරොත්තු දෙන අලි ඇතුන්ගේ සංඛ්‍යාව හාරදහසක් පමණක් වුවත් මේ වනවිට අලි ඇතුන් හයදාහක් පමණ අප රටේ වනාන්තර වල ජීවත්වන හෙයිනි.

ඒ තත්වය තුළ අලි මිනිස් ගැටුමක් ඇති වීම අතිශයින්ම ස්වභාවිකය. සෑම වසරකදීම අලි ඇතුන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද අතිවිශාල සංඛ්‍යාවක් ඒ තුළ මියයාම නොවැළැක්විය හැකිය. මිය යන්නේ මිනිසෙකු වුවද, අලියෙකු වුව ද ඔවුන් දෙපාර්ශවයම එවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරු කළයුතු නැත. ඒ අනුව මෙකී ගැටලුවට ප්‍රායෝගික විසදුමක් සපයා ගැනීම අප හමුවේ ඇති අභියෝගයක් වී තිබේ. ඒ සඳහා බොහෝ දෙනෙකු කරන අලි වැට ඉදිකිරීම වැනි යෝජනා තුළ ස්ථීරසාර විසදුමක් සොයාගැනීමට අසීරුය. මක්නිසාද යත් රටේ වන ඝනත්වයට ඔරොත්තු නොදෙන අලි ඇතුන් ප්‍රමාණයක් මේ වනවිට ශ්‍රී ලංකාවේ වනාන්තර වන ජීවත් වන නිසාය.

ඒ අනුව කිසියම් පැහැදිළි ප්‍රතිපත්තියකට අනුව නීතිමය රාමුවක් තුළ තෝරාගත් අලි ඇතුන් යම් ප්‍රමාණයක් ගෘහාශ්‍රිතව ඇති දැඩි කිරීම හැර අන් විකල්පයක් අප හමුවේ නැත. ඒ සඳහා සංස්කෘතික පදනමක් ද අප සතුව වන අතර වෙහෙර විහාර ද ඇතු`එ ඒ සඳහා සූදානම් සැලකිය යුතු ප්‍රජාවක් ද රට තුළ සිටිති. එහෙත් එය සිදුකළ යුත්තේ ඒ සඳහා වන විශේෂ නීති සම්පාදනයකින් පසු නිසි අධික්ෂණයක් හා ස්ථීරසාර නියාමනයකින් ද යුත් යාන්ත්‍රණයක් ගොඩනගාගැනීමෙන් පසුවය. පසුගිය කාලයේදී මෙන් අලි ජාවාරම්කාරයින්ට එම කාර්යය බාරදීමෙන් නොවේ.

ඒ සමගම මේ රටේ කෘෂි කාර්මික නිෂ්පාදනයෙන් අතිවිශාල පංගුවක් විනාශ කර දමන වල් ඌරා, රිලවා, මොණරා පිළිබඳව මෙන්ම ඇතැම් ප්‍රදේශ වල ජනජීවිතයට තර්ජනයක්ව ඇති කිඹුලන් පාලනය කිරීම සඳහා ද නිසි වැඩපිළිවෙලක් සැකසිය යුතුව තිබේ. ඒ සඳහා බාධා මතුකරන යල් පැනගිය ඇතැම් විහිලු සහගත නීති වෙනස් කරමින් ප්‍රායෝගික වැඩපිළිවෙලකට අප යොමුවිය යුතුමය. එය සිදුකළ යුතුව ඇත්තේ ගොවිතැනට හා ජනජීවිතයට අහිතකර තර්ජනයක් වන, වන සතුන් පාලනය කරමින් දුර්ලභ හා රටට ආවේණික සතුන් සංරක්ෂණය කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම තුළිනි. එය නොපමාවම සිදුකළ යුතුය.

සුනිල් ජයසේකර විසිනි.

Back to Top