Sri Lanka Brief
පුවත්දුෂණය එරෙහි ක්‍රියාන්විතය ‘යහපාලනය’ කරා සුළු පියවරක් වෙතත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එය විශාල පිම්මකි.

දුෂණය එරෙහි ක්‍රියාන්විතය ‘යහපාලනය’ කරා සුළු පියවරක් වෙතත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එය විශාල පිම්මකි.

by

හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ අවසාන ධුර කාලය තුළ සිදු කරන ලදැයි කියන දූෂණ චෝදනා විභාග කර බලනු වස්, 1978 දී එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් පත්කරන ලද, එස්. ෂර්වානන්ද සහ ජේ. ජී. ටී. වීරරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ අභියාචනාධිකරණ විනිසුරුවරු කේ. සී. ඊ. ද අල්විස් යන අයගෙන් සමන්විත විශේෂ ජනාධිපති කොමිෂන් සභාව, සිරිමාවෝ බණ්ඩාරනාකය මැතිණිය එම වැරදිවලට වැරදිකාරිය බවට 1980 දී තීරණය කෙළේය.

මෙම විශේෂ ජනාධිපති කොමිසමේ නිර්දේශ මත පදනම් වෙමින් පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද නීතියක් හරහා ඇගේ ප්‍රජා අයිතිවාසිකම් අවුරුදු හතකට තහනම් කෙරුණි. එකී විශේෂ ජනාධිපති කොමිසමේ විනිශ්චයට එරෙහිව හෝ අනතුරුව පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු නිර්දේශයට එරෙහිව හෝ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අධිකරණයක් ඉදිරියට ගියේ නැත. කෙසේ වෙතත්, ඇය නිසි පාඩම් උගෙන ගෙන ඇතැයි යන පදනම මත, 1986 ජනවාරි මාසයේ, ජනාධිපති ජයවර්ධන ඇගේ ප්‍රජා අයිතීන් යළි ස්ථාපිත කෙළේය.

ඊට තිස් එක් වසරකට පසු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම ධුර කාලය තුළ සිදු විණැයි කියන බැඳුම්කර වංචා, එනම් 2015 පෙබරවාරියේ සිට 2016 මාර්තු දක්වා කාලය තුළ සිදු විණැයි කියන බැඳූම්කර වංචා ගැන සොයා බැලීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත්කෙළේය. දැනට මාස නවයක් තිස්සේ ක්‍රියාත්මක වන එම ජනාධිපති කොමිසම, කේ. ටී. චිත්‍රසිරි සහ ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකු වන කන්දසාමි වේලුපිල්ලේ යන සාමාජිකයන්ගෙන් සමන්විත වෙයි. එහි පරීක්ෂණ කාලය ලබන මාසයෙන් අවසන් වෙයි.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයා වු ලලිත් වීරතුංගට සහ එවක විදුලි සංදේශ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් වූ අනූෂ පැල්පිටට එරෙහිව පැවති ‘සිල් රෙදි’ නඩුවෙන් ඔවුන් වැරදිකරුවන් බව පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ මහාධිකරණය තීන්දු කෙළේය. 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී, විදුලි සංදේශ නියාමන අධිකාරිය සතු රුපියල් මිලියන 600 ක මුදලක් සිල් රෙදි 700,000 ක් බෙදා දීම සඳහා අවභාවිත කොට ඇති බව ඔවුන්ට එරෙහිව නැගුණු චෝදනාවයි. 2015 සැප්තැම්බර් මාසයේ ආරම්භ කෙරුණු මේ නඩුවට මාස 24 ක් ගත විය.

රාජපක්ෂ ගැත්තන්ට එරෙහි නඩු, එක්කෝ හුදු අහම්බෙන් හෝ ඇතැමුන් කියන පරිදි, තලතා අතුකෝරාල අධිකරණ අමාත්‍ය ධුරයට පත්වීම නිසා හෝ ඇසෙන්ට පටන්ගෙන තිබේ. චීනය සමග අත්සන් කෙරුණු හම්බන්තොට වරාය ව්‍යාපෘතියට එරෙහිව කටයුතු කිරීම නිසා හෝ තවත් අය කියන පරිදි, රාජපක්ෂලාට සහ ඔවුන්ගේ ගැත්තන්ට අදාළ අක්‍රමිකතා පිළිබඳ නඩු පමා කිරීම නිසා, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී, හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂව එම ධුරයෙන් පහ කෙරුණි.

බැඳුම්කර වංචා පිළිබඳ පරීක්ෂණවල සමාරම්භය සනිටුහන් වන්නේ, අවුරුදු දෙක හමාරකට කාලයකට ඉහතදී 2015 මැයි මාසයේ පැවති, ‘රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව’ හෙවත් ‘කෝප්’ විමර්ශනවලිනි. 2015 පෙබරවාරි 27 වැනි දා, පළමුව රුපියල බිලියන එකක් සඳහා විවෘත කළ මහ බැංකු බැඳුම්කර නිකුතුව පසුව දහ ගුණයකින් වැඩි කොට රුපියල් බිලියන 10 ක් දක්වා ඉහළ නැංවීම ගැන ‘කෝප්’ කමිටුව විමර්ශනය කෙළේය. ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගේ සභාපතිත්වයෙන් යුත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකුගෙන් සමන්විත ‘කෝප්’ කමිටුව, අගමැති රනිල් වික්‍රමසිංහ විසින් මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත් කළ අර්ජුන මහේන්ද්‍රන් එම වංචාවට වගකිව යුතු බව නිර්දේශ කෙළේය.

මහ බැංකුවේ නිලධාරීන්ට සහ ඊට අදාළ ආයතනවලට මේ වංචාව සම්බන්ධයෙන් දඬුවම් කළ යුතු බව ‘කෝප්’ කමිටුව නිර්දේශ කෙළේය. එම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වු, අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන ඇලෝසියස්ගේ පවුලට අයත්, ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු සහ සමාගමක් වන ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ ආයතනය මේ ගනුදෙනුවට වගකිව යුතු බවත්, එම ගනුදෙනුව නිසා රටට සිදු වූ පාඩුව, එම නිලධාරීන්ගෙන් සහ සමාගම්වලින් අයකර ගත යුතු බවත් ‘කෝප්’ කමිටුව නිර්දේශ කෙළේය.

එහෙත් එම නිර්දේශ ප්‍රකාරව කිසිවක් සිදු නොවන බවක් පෙනෙන්ට වූ කල, ඊට මාස තුනකට පසු ජනවාරියේදී, ජනාධිපති සිරිසේන ඒ කියන වංචාව ගැන සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත්කෙළේය. මේ දක්වා ඒ මගින් කරන ලද විමර්ශනවලදී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් යන දෙදෙනාම සම්බන්ධයෙන් ඉතා බරපතල කරුණු හෙළදරව් වී තිබේ. ඒ අතරේ, ඇතැම් හෙළිදරව් වීම් නිසා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ‘ඒකාබද්ධ විපක්ෂය’ විසින් විදේශ ඇමති රවි කරුණානායකට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට තැත් කළ අතර, ඊට කලින් රවි කරුණානායක ඉල්ලා අස් විය. ඔහුගේ ඉල්ලා අස්වීම, නිදහසෙන් පසු ගත වු වසර 69 ක කාලය තුළ අපවාද චෝදනාවක් ඉදිරියේ කැබිනට් ඇමතිවරයෙකු ඉල්ලා අස්වූ ප්‍රථම අවස්ථාවයි. එය, නිදහසෙන් පසු ගතවූ ලංකාවේ කෙටි ඉතිහාසය තුළ පිරිසුදු ආණ්ඩුවක් දෙසට තබන ලද කුඩා පියවරකි.

2005 නොවැම්බරයේ සිට 2015 ජනවාරිය දක්වා, දස වසකට ආසන්න කාලයක් තිස්සේ පැවති මහින්ද රාජපක්ෂ පාලනය තුළ ආණ්ඩුවේ දූෂණ පිළිබඳ කතා කිරීමට කිසිවෙක් නිර්භීත නොවුහ. එවැන්නක් ගැන කතා කිරීම හෝ ලිවීම, ඕනෑම කෙනෙකු වෙත මරණය කැඳවා ගැනීමක අවදානමකින් යුක්ත විය. ඊට හොඳම උදාහරණයක් වන්නේ, දැනට මුද්‍රණය නොවන ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංගව 2009 ජනවාරියේ දී ඝාතනය වීමයි.

එහෙත් එවක් පටන්, 2015 ජනවාරියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පදවියට පත්වීමත් සමග සිදුවීම් පෙළ ගැසෙමින් පවතින ආකාරය අනුව, තමන්ගේ දේශපාලනික හතුරන්ගේ පමණක් නොව, තමන්ගේම ආණ්ඩුවේ පවා සිදුවන දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව කටයුතු කිරීමට වර්තමාන ආණ්ඩුව තීරණය කොට ඇති බවක් පෙනෙන්ට තිබේ. එය ‘යහපාලනය’ කරා තැබෙන සුළු පියවරක් වෙතත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් විට එය විශාල පිම්මකි.

2017 සැප්තැම්බර් 09 වැනි දා ‘සිලෝන් ටුඬේ’ පුවත්පතේ පළවූ Acting on Corruption  නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

 

Back to Top