Sri Lanka Brief
පුවත්විවරණ40 වසරක අසාර්ථක විවෘත අාර්ථිකය ගැන දියුණූ සංවාදයක් අවශයයි.

40 වසරක අසාර්ථක විවෘත අාර්ථිකය ගැන දියුණූ සංවාදයක් අවශයයි.

by

ඇන්ටන් මාකස් විසිනි.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ තිස් පස් වසරක සටන්කාමී ඉතිහාසය සැමරීම.

මේ වසරේ අගෝස්තු මස අවසානය වන විට අප සංගමය වසර 35 ක සාර්ථක පැවැත්මක් සම්පූර්ණ කරන්නේය. ඒ සඳහා වූ පූර්ව සූදානමද ගත් විට, අපගේ ඉතිහාසය විවෘත වෙළඳ පල ආර්ථිකයේ වසර 40 ට සමාන්තරව පැවතෙන්නකි. විවෘත වෙළඳ පල ආර්ථික ක්‍රියාකාරිත්වය විශාල මැතිවරණ ජයග්‍රහණයක් සහතික කරගනිමින් 1977 ජූලි මහ මැතිවරණයෙන් බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය රට සංවර්ධනය කරන්නට යැයි ගෝලීය ආර්ථිකය හා බද්ධ කෙරුණු නව ලිබරල් ආර්ථිකය වේ. ඒ වෙනුවෙන් ලංකාවේ ප්‍රථම නිදහස් වෙළඳ කලාපය කටුනායක පිහිටුවා දැනට වසර 39 කි. ඉන් දෙවසරකට පසු 1980 ජූලි මහා වැඩ වර්ජනය ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාකාරී කමිටුව විසින් දියත් කෙරිණ. එය විවෘත ආර්ථිික ක්‍රියාවලිය තුල වෘත්තීය සමිති විසින් මෙතෙක් තීන්දු කරනු ලැබූ ප්‍රථම හා එකම මහා වැඩ වර්ජනය වන්නේය. එම වැඩ වර්ජනයට හතුරු වෙමින් ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජයවර්ධනගේ ආණ්ඩුවට හිතැති ආකාරයෙන් කටයුතු කළ අතර, ජයවර්ධන ආණ්ඩුව විසින් හදිසි නීතිය යොදා ගනිමින් ‘80 ජූලි මහ වැඩ වර්ජනය බරපතල ලෙස බිඳ දමනු ලැබිණ. අප වෘත්තීය සමිතිය මීට වසර 35 ට පෙර පිහිටුවනු ලබන්නේ එවැනි පසුබිමක ය.

ගමට ඉතිරි වූ ‘ඉරිදා පොල‘

අවුරුදු 40 ට පෙර ජයවර්ධන ජනාධිපති විසින් විවෘත ආර්ථිකය ස්ථාපිත කරනු ලැබූයේ එතෙක් පැවති ආර්ථිකය සහමුලින් වෙනස් කරමින්ය. නිදහසින් පසු පළමු අවුරුදු 30 හැම ආණ්ඩුවක්ම පවත්වා ගත් මිශ්‍ර ආර්ථිකය රාජ්‍ය නියාමනය හා පැවති අතර, ආනයන නිෂ්පාදන ආදේශන සඳහා දිරි ගැන්වූ දේශීය කර්මාන්ත සමගින් ක්‍රියාත්මක විය. ඒ වෙනුවෙන් සෘජු රාජ්‍ය මැදිහත්වීම් සමග ආරම්භ කෙරුණු රාජ්‍ය සංස්ථාපිත නිෂ්පාදන කර්මාන්ත සමූහයකට අමතරව, සැළකිය යුතු පහසුකම් සැපයූණු ඒකල කාර්මික ජනපදය මෙන්ම රත්මලාන කාර්මික ප්‍රදේශයද විය.

විවෘත වෙළඳ පල ආර්ථිකය තහවුරු කෙරුණේ ආනයන ආදේශනය වෙනුවට, අපනයනය සඳහා නිෂ්පාදනය කිරීමට සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීම සඳහා වෙළඳපල සීමා තහංචි ඉවත් කිරීමෙනි. එපමණින්ම විදේශ ආයෝජන පැමිණෙන්නේ යැයි සහතිකයක් නොවුනි. එබැවින් නිදහස් වෙළඳ කලාප හැදීමේ පළමු පියවර තැබුණේ මහ කොළඹ ආර්ථික කොමිසම් පනත සමග කටුනායක නිදහස් වෙළඳ කලාපය පිහිටුවීමෙනි. නිදහස් වෙළඳ කලාප පිහිටුවනු ලැබූයේ මෙරට කාර්මික හා කම්කරු නීති අක්‍රීය කෙරුණු විශාල ශ්‍රම ගාල් වෙනුවෙනි. ඒවා පිහිටවනු ලැබූයේ සේවා අයිතිවාසිකම් බරපතල ලෙස කප්පාදු කෙරුණු සංවිධිත ශ්‍රමයකට ඉඩ නොතැබූ විශේෂිත කලාප වශයෙනි. එවැනි ආර්ථිකයක් සාධාරණය කරමින් කටුනායක නිදහස් වෙළඳ කලාපය පිහිටුවන විට ජනාධිපති ජයවර්ධන පැවසූයේ ලෝකයේ පළමු පෙළ යෝධ සමාගමක් වන මෝටරෝලා සමාගම මෙහි පැමිණ ආයෝජනය කිරීමට මග බලා ඉන්නා බවත් එවැනි ආයෝජන සමග මේ රට සමෘද්ධිමත් දේශයක් කළ හැකි බවත්ය.

ජනාධිපති ජයවර්ධන මෝටරෝලා කටුනායකට පැමිණෙනවා යැයි කියූ දින සිට පසුගිය අගෝස්තු මහ මැතිවරණයේදී ෆෝක්ස්වාගන් වාහන කම්හලක් කුලියාපිටියට පැමිණෙනවා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ කියූ මේ වර්තමානය දක්වා අවුරුදු 40 ට ආසන්න කාලයේ සෘජු විදේශ ආයෝජන වෙනුවෙන් විදේශ ව්‍යාපාරිකයින්ට ලබා දී ඇති බදු සහන, බදු නිවාඩු, බදු ඉවත් කිරීම් ඇතුලු මූල්‍යම වාසි පමණක් ගණන් බැලුවහොත් මේ රටේ ජනතාවට අහිමි කර ඇති ආදායම රුපියල් ප්‍රකෝටි ගණනක් විය යුතුය. එහෙත් ඒ වෙනුවෙන් රටට ලැබුණු සංවර්ධනයක් සමෘද්ධියක් නැත.

ඒ මුලු කාලය පුරා බස්නාහිර පළාතට සියලු වාසි වරප්‍රසාද ගොඩ ගැසුණේය. රටේ ජාතික ආදායමෙන් සියයට 43 ට වැඩි ප්‍රමාණයක් බස්නාහිරට එකතු වූ අතර, සියයට 70 ට වැඩි ග්‍රාමීය ජනතාව ජාතික ආර්ථික ක්‍රියාවලියෙන් අත හැරිණ. ඔවුන් ඉතිරි වූයේ ගමේ “ඉරිදා පොලේ” සිල්ලර වෙළඳාමෙහිය. ඒ ග්‍රාමීය වෙළඳ පොලේ 2016 වන විට වයස අවුරුදු 16 ත් 24 ත් අතර විරැකියාව සියයට 21 ඉක්මවා තිබූයේ එබැවින්ය. මේ ලාභ ශ්‍රමය සඳහා නිදහස් වෙළඳ කලාප වෙත සහ ඇඟළුම් කර්මාන්තයට ගාල් කරනු ලබන්නේ එවැනි ග්‍රාමීය දුප්පතුන් වන අතර, සියලු හිංසන විඳ ගනිමින් ගෘහ සේවිකාවන් ලෙස සොච්චම් වැටුපකට මැද පෙරදිග යන්නේද ඒ ග්‍රාමීය සමාජයේ තරුණ මව්වරුන් ය.

කම්කරුවන්ගේ ජාතිය සෙවීම

විවෘත වෙළඳ පල ආර්ථිකය තහවුරු කළ එම කාලයේම, සිංහල මහ ජාතිවාදය දෙමළ ජනතාව මත මෘග ලෙස මුදා හැරුණු ‘83 කලු ජූලියෙන් පසු අප දීර්ග කාලීන යුද්ධයකටද තල්ලු විය. යුද්ධය වෙනුවෙන් සිංහල ජාතිවාදය උත්සන්න කරනු ලැබූයේ මෙරට කම්කරු ශ්‍රමයද ජාතිවාදයට ගොදුරු කරමින්ය. ඊට විරුද්ධව අප සමිතිය ප්‍රතිපත්තිමය වශයෙන් ජාතිවාදයට විරුද්ධව වැඩ බිමේ සියලු ශ්‍රමිකයින් කම්කරු අයිතිවාසිකම් හා රැකියා සුරක්ෂාව වෙනුවෙන් එක් රැස් කිරීමට ගත් උත්සාහය ඇතැම් හාම්පුතුන් වෘත්තීය සමිති මර්දනයට යොදා ගනු ලැබූයේ අප දෙමළ බෙදුම්වාදයට සහාය දෙන්නේ යැයි කියමිනි.

විවෘත ආර්ථික ක්‍රියාවලිය දිග හැරි පසු උත්සන්න වූ ජාතිවාදය, ග්‍රාමීය ජනතාව ආර්ථික ක්‍රියාවලියෙන් පිට මං කිරීම හා මහ පරිමාන පාඩු සහ අවාසි සමග ආයෝජකයින් ගෙන්වා ගැනීමට විටින් විට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පිහිටවූ නිදහස් වෙළඳ කලාප හා කාර්මික උද්‍යාන 14 ක්ද අවසරලත් පෞද්ගලික කාර්මික පුර 02 ක්ද දැනට ඇත. ඊටත් අමතරව සංශෝධනය කරනු ලැබූ ශ්‍රී ලංකා ආයෝජන පනත විසින් මුළු රටම එකම ආයෝජන කලාපයක් බවට පත් කර ඇත.

එවැනි ව්‍යාපාරික නිදහසක් සමගින් පසුගිය අවුරුදු 30 ක පමණ කාලය පුරා එතෙක් පෞද්ගලික අංශයේ හමු නොවුනු සම්මතයෙන් පිටත අලුත් ව්‍යාපාරික ක්ෂේත්‍ර ගණනාවක් විධිමත්ව තහවුරුව වර්ධනය වී ඇත. දැනට ඉන් විශාලම ක්ෂේත්‍ර වන්නේ පෞද්ගලික වෛi සේවා සහ රෝහල් වලට අමතරව, නවීන නාගරික සිල්ලර වෙළඳ ජාල ලෙස ව්‍යාපත්ව ඇති සුපර් මාකට් සහ බී.පී.ඕ නමින් හඳුන්වන අන්තර්ජාල ව්‍යාපාර ක්‍රියාදාම ක්ෂේත්‍රයන් ය. ඒවාටද පිටතින් පෞද්ගලික බස්, ත්‍රී රෝද රථ, ජාත්‍යන්තර පාසල් හා විදේශ අධ්‍යාපන ආයතන හා ගැට ගැසුණු තෘතියික අධ්‍යාපන මධ්‍යස්ථාන, විවිධාකාර ස්වයං රැකියාලාභී ව්‍යාපාර වැනි ආංශික ආර්ථික ක්‍රියාකාරකම් මගින් අතිශය විශාල සේවක පිරිසක් ඉන්නා අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් ක්ෂේත්‍රයක්ද විවෘත වෙළඳපල ආර්ථිකය මගින් බිහිකර ඇත.

අලුතින් බිහිවූ එවැනි විධිමත් හා අවිධිමත් කිසිදු ක්ෂේත්‍රයක සේවක අයිතිවාසිකම් සඳහා අවකාශ නැත. එවගේම ඒවායේ ගොනුව ඉන්නා 80 ජූලි වර්ජනයෙන් පසු බිහිවූ තරුණ ශ්‍රමයද වෘත්තීය සමිති වැනි සංවිධිත ක්‍රියාමාර්ග ඔස්සේ තම සේවා තත්ත්වයන් දියුණු කර ගැනීමේ වුවමනාවක් දක්වන්නේ නැත.

අයිතීන් කප්පාදුවේ ‘සංවර්ධනය’

අවුරුදු 35 ක අපගේ වෘත්තීය සමිති ඉතිහාසය ඒ සියල්ලට හරස්ව ගමන් ගත් ඉතිහාසයකි. ඒ ඉතිහාසය තුල හැම ආණ්ඩුවක්ම රටේ “සංවර්ධනය” විදේශ ආයෝජකයින්ගේ කැමැත්තට ඔවුන්ගේ ලාභය මත තීන්දුවන්නට ඉඩ දුන්නක් වූයෙන් අප මුහුණ දුන් විශාලම අභියෝගය වූයේ, සේවක අයිතිවාසිකම් සහතික කර ගැනීම වෙනුවෙන් හාම්පුතුන් සමග ගනුදෙණු කිරීමටත් කේවල් කිරීමටත් ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් තබා බලාත්මක කර ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙහි 87 හා 98 ප්‍රඥප්තීන් ක්‍රියාත්මක කරවා ගැනීමය. ඒ කිසිත් ක්‍රියාවට නැගීමට මෙතෙක් කිසිදු ආණ්ඩුවකට අවශ්‍ය නොවුනි. ඒවා ක්‍රියාත්මක කිරීමෙන් ආයෝජකයින් ගෙන්වා ගැනීමට බාධා ඇති වන්නේයැයි හාම්පුතුන් ආණ්ඩුවට බලපෑම් කරන්නට විය. එයට අවනත වූ හැම ආණ්ඩුවක්ම කම්කරු නීති නිසියාකාරව ක්‍රියාවට නැගීමට උනන්දු නොවූහ.

ඒ සම්බන්ධ ඉතාම කදිම නිදසුන වන්නේ ශ්‍රී ලංකාවට ලැබුණු යුරෝපා ජී.එස්.පී අධි සහනයෙන් සේවකයින්ට සහ රටට ලැබිය යුතු වූ ප්‍රතිලාභ සියල්ල ව්‍යාපාරිකයින්ට රිසි සේ බුක්ති විඳින්නට ආණ්ඩුව ඉඩ හැරීමත් ප්‍රජාතන්ත්‍රවාදී මූලික අයිතීන් නොසළකා හැරීමත් හේතුවෙන් 2010 දී ශ්‍රී ලංකාවට එම වාසිය යුරෝපා සංගමය විසින් අහිමි කරනු ලැබීමය.

ඒ සියල්ල එසේ සිදුවන අතර ස්ථාපිත කෙරුණු විවෘත වෙළඳ පලෙහි පාරිභෝගික නිදහස ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ලඝු කෙරිණ. ඒ හේතුවෙන් සෘජු විදේශ ආයෝජන නොමැතිව කිසිවක් කළ නොහැකි යැයි මතයක් විශේෂයෙන් නාගරික මැද පංතික සමාජයේ කිඳා බැස ඇත. එහි ඉතා නිශේධාත්මක බලපෑමක් වනුයේ අධිකරණ ක්‍රියාවලියෙහි පවා සේවක අයිතිවාසිකම් විදේශ ආයෝජන හමුවේ හෑල්ලු වීමය. එයද පිටු බලයක් කරගත් හාම්පුතුන් වෘත්තීය සමිති සංවිධානය කිරීමේ උත්සාහ ඉතා කුරිරු ලෙස මර්දනය කරන්නට පසු බට නොවින. අවසානයේ මේ සියල්ලෙහි ප්‍රතිපලයක් ලෙස පළාත් දක්වා දිවෙන කම්කරු නීති ක්‍රියාත්මක කිරීමේ ආයතන ක්‍රියාවලියද දූෂණය වී ඇත.

පරණ පුරුදු ලිහා දැමීම

එවැනි යුගයක එවැනි අහිතකර දේශපාලන පසු බිමක, අපගේ සංගමය සාර්ථක ගමනක් පැමිණියේ සම්මතයෙහි කොටු නොවීමෙනි. අනෙක් බොහෝ සාම්ප්‍රදායික වෘත්තීය සමිති නිදහස් වෙළඳ කලාප තාවකාලික ව්‍යාපෘතීන් ලෙස අත හරින විට, වෘත්තීය සමිති පිළිබඳව කිසිදු අවබෝධයක් නොතිබූ එහි වූ ග්‍රාමීය තරුණ සේවක සේවිකාවන්ගේ ගැටළු වෙනුවෙන් ආරම්භයේදී අපට මැදිහත් වන්නට සිදුවූයේ ඔවුන්ගේ නවාතැන් පල වලදී ය. කලමනාකාරිත්වය විසින් පිහිටුවනු ලැබූ සේවක සභා අප යොදා ගත්තේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් පුරුදු පුහුණු කෙරෙන ප්‍රාථමික පාසල් ලෙසිනි. එහි ඊළඟ පිම්ම වූයේ සේවක සභා සම්මේලනයක් පිහිටුවීම ය. ඒ අතරතුර අපගේ නායක්වය මැර ප්‍රහාරයන්ට මුහුණ දුන්හ. පොලිස් අත් අඩංගුවට ගෙන නඩු පවරනු ලැබිණ. ආයෝජක වුවමනාවන්ට අනුව දියත් වූ සියලු මර්දනයන්ට මුහුණ දෙමින් අපගේ නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ඉතිහාසය ගොඩ නැගෙන්නේ ඉන් ලැබුවාවූ අත්දැකීම් හා පන්නරයක් ඇතිවය.

අප ඒ සියල්ලෙන් ඉගෙන ගත් එක් වැදගත් පාඩමක් වූයේ මේ විවෘත වෙළඳ පල ආර්ථිකයෙහි අයිතිවාසිකම් දිනා ගැනීමටත් රැක ගැනීමටත් ගෝලීය වෘත්තීය සමිති ව්‍යාපාරයේ සහයෝගය අනිවාර්ය වන බවය. එනිසා ගොලීය ආර්ථිකයෙහි භූගෝලීය දේශ සීමා නොතකා ගමන් කරන්නට ආයෝජකයින්ට ඇති අයිතිය අපිද අපගේ වාසියට ගත්තෙමු. රටවල් 140 ක ලක්ෂ 500 ක සාමාජිකත්වයක් ඉන්නා ඉන්ඩස්ටි්‍රඔල් ගෝලීය වෘත්තීය සමිති සම්මේලනයෙහි සාමාජිකත්වය අපි ලැබූවෙමු. අපේ ක්‍රියාකාරිත්වය මත අපි තෙවන වරටත් එහි විධායක කමිටු සාමාජිකත්වය ලැබූවෙමු. කම්කරු, මානව සහ පාරිභෝගික හිමිකම් වෙනුවෙන් කටයුතු කරන ජාත්‍යන්තර ආයතන සමගින් ගනු දෙනු කිරීමේ වාසියද අපි ලැබූවෙමු. එහි ඇති වාසි බොහෝය. ඉතා මර්දනීය පාලනයක් සමගින් සේවක අයිතීන් හා වෘත්තීය සමිති නොතකා කටයුතු කරන ආයෝජකයින් අප සැපයුම් ක්‍රියාවලියේ විදේශ හිමිකරුවන් වෙත බලපෑම් කිරීමෙන් හීලෑ කළ අවස්ථා අපගේ සාමාජිකත්වය ලැබූ එවැනි ජයග්‍රහණයන් ය. මෙරටදී විසඳාගත නොහැකි විදේශ ආයෝජිකයින්ගේ සේවක හා වෘත්තීය සමිති විරෝධී ක්‍රියාවන් වලට එරෙහිව බලපෑම් කිරීමට අපි එළෙසින් ශක්තිය ලැබූවෙමු.

එවගේම, නැවත යුරෝපා ජී.එස්.පී අධි සහනය ලබා ගැනීමට මේ යහපාලන ආණ්ඩුව පසුගිය වසරෙහි ඉල්ලුම් කිරීමට ප්‍රථමයෙන්ම, කම්කරු හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඒ සමග තහවුරු කර ගැනීමට ජාත්‍යන්තර සහාය ඇතිව අපි මැදිහත් වීමු. ජී.එස්.පී අධි සහනය වෙනුවෙන් යුරෝපා සංගමය ඉල්ලා සිටින යහපාලනය, මානව හා සේවක අයිතිවාසිකම් සහ පරිසරය සුරැකීම සඳහා අප සැකසූ මාර්ග සිතියම අපි වෘත්තීය සමිති කිහිපයක් සමග ආණ්ඩුවටත් යුරෝපා සංගමයටත් ඉදිරිපත් කළෙමු. ඉන් අප ඉල්ලා සිටි ත්‍රෛපාර්ශවීය නිරීක්ෂණ කමිටුව යුරෝපා සංගමයේ කොන්දේසියක් ලෙස පිහිටු වන්නට මේ ආණ්ඩුව දැන් බැඳී ඇත.

මේ දීර්ඝ ගමනෙහි ප්‍රතිපලයක් ලෙස අපි නිදහස් වෙළඳ කලාපයන්හි වෘත්තීය සමිති ශාඛා පිහිටුවීමේ අයිතිය දිනා ගත්තෙමු. ඇඟළුම් කර්මාන්තයේත් ඉන් බාහිර වෙනත් අපනයන නිෂ්පාදන කම්හල් වලත් අද අපි සේවකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවත් අයිතියත් දිනා සිටිමු.

යහපාලනයේ ඇමෙරිකානු විජ්ජාව

එහෙත් ඒ අපේ ගමනෙහි අවසාන ජයග්‍රහණය නොවේ. එය අද මතුව ඇති තත්ත්වයන්ට මුහුණ දිය හැකි ශක්තිය සහ දැනුවත්වීම් ලැබූ ගමනක් පමණි. අප මේ පැමිණ ඉන්නේ යහපාලන ආණ්ඩුව විවෘත වෙළඳපල ආර්ථිකයෙහි හැම අංගයක්ම විදේශ ආයෝජකයින්ට අවශ්‍ය පරිදි රාජ්‍ය අධීක්ෂණයෙන් හා නියාමනයෙන් අත හරින ඔවුන්ගේ මූලික ප්‍රතිපත්තිමය ස්ථාවරය හා පරස්පරයකට ය. මේ ආණ්ඩුව කම්කරු දෙපාර්තමේන්තුව හා අමාත්‍යාංශය සතු මූලික වගකීම් අභිබවා සංවර්ධන මූලෝපායන් හා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍යාංශය සමග ජාත්‍යන්තර සංවර්ධනය සඳහාවන ඇමෙරිකානු ඒජන්සිය (ඹී්ෂෘ) වෙත පැවරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. ඒ සමග ඉදිරියේදී සේවක අයිතීන් හා සේවක සුරක්ෂාව පිළිබඳ බරපතල තර්ජනයකට මේ රටේ පෞද්ගලික අංශයේ ලක්ෂ 27 ක් පමණ වන සියලු සේවකයින් සමග ලක්ෂ 47 ක් වන අවිධිමත් ක්ෂේත්‍රයද හසු වනු ඇත. මේ ආණ්ඩුව විදේශ ආයෝජකයින් හා කරන්නාවූ ගනු දෙනුවෙහි වෘත්තීය සමිති හා සේවක අයිතීන් රැකීමට කිසිදු පියවරක් නොගන්නා බව ඇමෙරිකානු ඒජන්සිය කම්කරු නීති සැකසීමට හවුල් කර ගැනීමෙන් පැහැදිලි වන්නේය. රාජ්‍ය අධීක්ෂණය හා නියාමනය වඩ වඩාත් ලිහිල් කරමින්, අවශ්‍ය ඕනෑම විටෙක කිසිදු හේතු දැක්වීමක් නැතිව සේවකයින් අස්කිරීමේ හා තාවකාලික කොන්ත්‍රාත් පදනමින් සේවයේ යොදා ගැනීම නිත්‍යානුකූල කිරීමේත් අලුත් නිදහසක් ආයෝජකයින් වෙනුවෙන් සහතික කිරීමේ ආණ්ඩුවේ ගමනක් අපි එහි දකිමු.

එයට මුහුණ දිය හැක්කේ සාම්ප්‍රදායික ආර්ථික ක්ෂේත්‍රයන්ගෙන් බැහැරව අලුතින් තහවුරුව ඇති පෞද්ගලික අංශයන්හි සේවකයින්ද හවුල් කර ගැනීමෙනි. ඔවුන්ගේද රැකියා බරපතල අවදානමකට හසුවන බව ඔවුන්ටද ඒත්තු ගැන්වීමෙනි. ආණ්ඩුව සැළසුම් කරන්නාවූ මහ පරිමාන සේවක අයිතීන් කප්පාදුවට හරස්ව, මේ රටට විදේශ විනිමය ඉපැයීමේ අතිශය වැදගත් කාර්යට තම ශ්‍රමයෙන් සම්මාදම් වන පෞද්ගලික අංශයේ සියලු සේවකයින්ගේ අවම වැටුප රජයේ සේවකයින්ගේ අවම වැටුපට සමාන කරන ලෙසත්, මීට අවුරුදු 113 ට පෙර බි්‍රතාන්‍යයේ ෆෝඞ්ස් කොම්පැනිය පැය 08 ක වැඩ කරන දිනයක් හඳුන්වා දුන් තැන සිට අද අප පැමිණ ඇත්තේ නවීන ලෝකයේ දියුණු කලමනාකරණ පිළිවෙත් හා සියලු තාක්ෂණ පහසුකම් හමුවේ දින 05 ක පැය 35 ක සේවා සතියක් ඉල්ලා සිටිය යුතු තැනටය. එවගේම, විදේශ ආයෝජකයින් සමග රට සංවර්ධනය කිරීමේ විවෘත වෙළඳපල ආර්ථිකය අවුරුදු 40 ක් පුරා ගම අත හැර බස්නාහිර නාගරික ජීවිතයට සීමා වූ අසාර්ථක වූ සංවර්ධන මාදිලියක් ලෙස රට හමුවේ සංවාදයට තැබීමේ දියුණු කතිකාවකට මුල පිරිය යුතු සමාජ වගකීම බාර ගැනීමේ තීරණාත්මක අවදියකට ය.

එබැවින් සියලු කම්කටොළු. තර්ජන, අභියෝග හමුවේ වසර 35 ක් පුරා අප පැමිණි අභිමානනීය, සටන්කාමී ඉතිහාසය අප අද සමරන්නේ තවත් අභියෝගාත්මක ගමනකට සූදානම් වීමේ ස්ථිර අදිටන ඇතිවය.
– අැන්ටන් මාකස්, ලේකම්,නිදහස් වෙළඳ කලාප සහ   පොදු සේවා සේවක සංගමය

Back to Top