Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගසයිටම් අරගලය: ගීතිකා ධර්මසේනට ප්‍රතිචාරයක් – සුනන්ද දේශප්‍රිය

සයිටම් අරගලය: ගීතිකා ධර්මසේනට ප්‍රතිචාරයක් – සුනන්ද දේශප්‍රිය

by

ජායාරූපය: ඇය ඉගෙනුම ලබන කෝනෙල් සරසවිය ද මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගත හැකි ආයතනයක් වන අතර එහි වෙබ් අඩවියට අනුව වාර්ෂික අධ්‍යාපන ගාස්තුව ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 40 -75 අතරය.

ඇමෙරිකාවෙහි කීර්තිමත් පුද්ගලික සරසවියක ඉගෙනුම ලබන ගීතිකා ධර්මසිංහ, මවිසින් සයිටම් අර්බූදය පිළිබඳව පළ කරන ලද ලිපියට පිළිතුරක් ලියා තිබුණි. එයට තුති. දැනුවත් ශිෂ්ඨාචාරවත් සංවාදය අවබෝධයේ තෝතැන්න ය.

ඇයගේ ප්‍රධාන අදහසක් සේ පෙනෙන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල ලාබ නොලැබිය යුතුය යන්න යි. .ඇය ඉගෙනුම ලබන කෝනෙල් සරසවිය ද මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගත හැකි ආයතනයක් වන අතර එහි වෙබ් අඩවියට අනුව වාර්ෂික අධ්‍යාපන ගාස්තුව ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 40 -75 අතරය ඉතා දක්ෂ සිසු සිසුවියන්ට එහි ශිෂ්‍යත්වද ලබා ගත හැකිය. එමෙන්ම මුදල් ඇති සිසු සිසුවියන්ට මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගත හැකිය. මෙම කෝනෙල් සරසවියට රාජ්‍ය අරමුදල් ද ලැබේ.

යුරෝපයෙහි සහ උතුරු ඇමෙරිකාවෙහි ලාබ නොලබන පුද්ගලික පාසල් සහ සරසවි පවතින්නේ ඉතා ඉහළ ආදායම් ලබන පවුල්වල දරුවන් සඳහා ය. නිදසුනක් වශයෙන් වරක් වාර්ෂික හේලේන් දි බි()ර් මානව හිමිකම් දේශනය සඳහා මා ඇරයුම් ලද ස්විට්සර්ලන්තයේ ALGLON නම් උසස් පාසල ද ලාභ නොලබන එකකි. එනමුත් එහි වාර්ෂික අධ්‍යාපන ගාස්තුව පමණක් ස්විස් ප්‍රෑන්ක් ලක්ෂයක් හෙවත් රුපියල් ලක්ෂ 150කි. මා නිදහස් ජායාරූප ශිල්පියෙකු ලෙස සේවය කරන ජිනීවා පශ්චාත් උපාධි ආයතනයට දැවැන්ත රාජ්‍ය සහනාධාර ලැබෙතත් එයද මූලික වශයෙන් මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගත හැකි ආයතනයකි. එමෙන්ම එහි ද ශිෂ්‍යත්ව තිබේ.

සයිටම් විරෝධීන් ශ්‍රී ලංකාවෙහි එවැනි අධ්‍යාපන ආයතනයන් ඇතිකිරීමට එකඟදැයි මම නොදනිමි.

නව ලිබරල්වාදී දේශපාලන ආර්ථික ක්‍රමය විසින් අධ්‍යාපන, සෞඛ්‍ය සහ ප්‍රවාහන යනාදී මහජන සේවා පුද්ගලීකරණය කිරීම අප රටට අත්වූ මහත් විපතක් බවට මම ද එකඟ වෙමි. විශේෂයෙන්ම එහි පියවරක් වූ පොදු ප්‍රවාහන සේවය පුද්ගලීකරණය කිරීමෙහිදී ‍ පවත්වා ගත යුතු තුලන සංවරණ ගැනවත් ලෝක බැංකුව මෙරටදී උනන්දු වූයේම නැත. අධ්‍යාපනයද ඊට වෙනස් නැත.

ටියුෂන් නමින් පවත්වාගෙන යන අධ්‍යාපන කඩ, කෑමොර දෙමින් දුවන පුද්ගලික බස් සහ හතු පිපෙන්නා සේ බිහිව ඇති පුද්ගලික දිස්පැන්සරි සහ රටපුරා පැතිරී ඇති පුද්ගලික රෝහල් යනාදියෙහි තිබිය යුතු ප්‍රමිතියක් නැති බව ඇත්ත ය.

ඉහත කී සියලු කාරණයන්ට එකඟ වන අතරවාරයේ මා කියා සිටීමට උත්සාහ කළේ සයිටම් විරෝධී සටන ගස් මිස කැළය නොදකින සටනක් බවයි. එම කැළය පිළිබඳ අදහසක්වත් ඇති කර ගැනීමට සයිටම් අරගලයේ යෙදී සිටින බොහෝ බලවේගයන්ට අවශ්‍ය නැත. මන්ද යත් ඔවුන් බොහෝ දෙනෙකු මහජන සේවා පුද්ගලීකරණය කිරීමෙන් වාසි ලබන්නන් වන නිසාය.

මා කීමට උත්සාහ ගත් අනෙක් කාරණය නම් අපේ වැනි කුඩා රටකට නව ලිබරල්වාදී ගෝලීයකරණයෙන් මිදී සිටීමට හැකියාවක් නැති බවත් එම සන්දර්භය තුළ පුද්ගලික වෛද්‍ය විද්‍යාල යනාදිය බිහිවීම වැළැක්විය නොහැකි බවත්ය. නිදසුනක් ලෙස ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට මලයාසියාවෙහි එක්ස් නම් වෛද්‍ය විද්‍යාලයෙන් උපාධි ලබා මෙරට වෛද්‍ය වෘත්තියට ඇතුල්විය හැකි නම් එම එක්ස් නම් ආයතනය මෙරට වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට විරුද්ධ වීමට පදනමක් නැත.

එමෙන්ම මගේ අවබෝධයට අනුව පුළුල් අර්ථයෙන් ධනවාදී සමාජ ආර්ථික සහ දේශපාලන පද්ධතියට විකල්ප සමාජවාදී පද්ධතියක් අද ක්ෂතිජයෙහි නැත. අද අප අත්දකින වැඩිම සමාජ සාධාරණත්වයක් සහිත පද්ධතීන් වන්නේ විවිධාකාර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයන්ය. ගීතිකා ධර්මසේන විසින් සඳහන් කරන ස්වීඩනය හෝ අනෙක් ස්කැන්ඩිනේවියානු රටවල පවතින්නේ එවැනි ක්‍රමයන් ය. එවැනි රටවලින් පුද්ගලික –රාජ්‍ය සමූහ ව්‍යවසායකත්වයට වඩා එකී රටවල පවත්නා ළමා කේන්ද්‍රීය සහ නූතන අධ්‍යාපන ක්‍රමයන් අපට ඉගෙන ගත හැකිය.

ඉහත කී දේශපාලන සන්දර්භය තුළ මට පෙනෙන හැටියට සිවිල් සමාජ කණ්ඩායම්වලට මෙන්ම කුඩා වාම කණ්ඩායම්වලටද ඇත්තේ එකම භූමිකාවකි. විටෙක එය දුරස්ථ පාලකයක් දක්වා වර්ධනය වීමට ඉඩ තිබුණ ද එය හරයෙන් බලපෑමේ දේශපාලනයකි.

එබැවින් අපට කළ හැක්කේ මූලික සහ දීර්ඝ කාලීන බලපෑමක් ඇති කරන ප්‍රතිසංස්කරණ සඳහා සටන් කිරීමයි. එම ප්‍රතිසංස්කරණ පුළුල් මහජන බලවේගයන්ට අදාළ වන්නේ නම් පුළුල් බලවේග ඇද ගැනීමට අපට හැකිවනු ඇත. අධ්‍යාපනයෙහි සයිටම් යනු සිද්ධි වාචක උද්ඝෝෂණයකි. ඒ සඳහා ගොඩ නැගී ඇති හවුල දැන් අවස්ථාවාදීන්ගේ වේදිකාවක් බවට පත්ව තිබේ. එසේ එම සටන් පාඨය අල්ලා ගැනීමට අවස්ථාවාදී දේශපාලන බලවේගවලට හැකිව ඇත්තේ අරගලයෙහි පටු බව නිසාය.

සයිටම් අරගලය වෙනුවෙන් යෙදෙවෙන දැවැන්ත සම්පත් විසින් මෙරට අධ්‍යාපනයේ කවර හෝ මූලික වෙනසක් ඇති කරනු ඇත්දැයි කියා අපට දෙතුන් වසරකදී දැක ගැනීමට හැකි වනවා ඇත.

මගේ අදහස නම් එය ඉතිහාස ගතවනු ඇත්තේ පපඩම් අරගලයක් ලෙස බවයි.

අවසානයට පෙර කිවයුතු එක් දෙයක් තිබේ. එනම් මගේ අදහස් රාජ්‍ය නොවන සංවිධානයන්හි අදහස ලෙස දක්වා තිබීමයි. එය වැරදි ය. සයිටම් විරෝධී අරගලයේ කොටස්කරුවන් වන ශක්තිමත් රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් ද තිබේ.

අප උත්සාහ කළ යුත්තේ ලේබල් ඇලවීමට නොව දැනුවත් වාද විවාද කිරීමය.

මා වෙත ගීතිකා ධර්මසේන විසින් වෙත අළවා ඇති ලේබල් ගැන මා කතා නොකරන්නේ එහෙයිනි. ඇයගේ මූලික අදහස ඊට වඩා බොහෝ වැදගත්ය.

Back to Top