Sri Lanka Brief
පුවත්විවරණව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අභ්‍යාසය තවත් නාස්ති කර ගත් අවස්ථාවක් වේද? – ජාවිඞ් යූසුෆ්

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අභ්‍යාසය තවත් නාස්ති කර ගත් අවස්ථාවක් වේද? – ජාවිඞ් යූසුෆ්

by

ජායාරූපය: මාදුළුවාවේ සෝභිත හිමිගේ දේහය අභියස ජනාධිපති සිරිසේන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යළි පොරෙන්දු විය ( ඩේලි නිව්ස් ජායාරූපයකි)

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ප‍්‍රශ්නය, වර්තමාන ජාතික න්‍යාය පත‍්‍රයේ වැදගත් මාතෘකාවකි. එම කාර්යය තුළ වඩාත් තීරණාත්මක අංගය වන්නේ, විධායක ජනාධිපති ධූරය පිළිබඳ ප‍්‍රශ්නයයි. හතළිස් වසකට ආසන්න කාලයක් තිස්සේ මේ මහ බලගතු ආයතනය වෙතින් ලබා ඇති අත්දැකීම් සමුදාය නිසා, එම ආයතනය ප‍්‍රතිසංස්කරණය විය යුතු බවටත්, විධායක ජනාධිපති ධූරය අහෝසි විය යුතු බවටත් පොදු පිළිගැනීමක් ඇති වී තිබේ. එසේ වෙතත්, එය ආරක්ෂා කර ගත යුතු බවට තර්ක කරන්නෝ ද වෙති. අනේක ප‍්‍රතිවාද සාක්ෂි මධ්‍යයේ වුව, කේන්ද්‍රගත පාලන ක‍්‍රමයක් රටට වැඩදායක යැයි සැබවින් විශ්වාස කරන ඇතැමුන් සිටියත්, එම ක‍්‍රමය තබා ගත යුතු බවට වඩාත් කෑකොස්සන් ගසන පිරිස එසේ කරන්නේ වෙනත් අභිමතාර්ථයන් පෙරදැරිවයි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඉල්ලා සිටීම පසුපස ඇති ප‍්‍රධාන හේතුව වන්නේ, රාජ්‍ය ව්‍යුහය ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය කිරීමේ ඇති අවශ්‍යතාවයි. ව්‍යවස්ථානුකූලව ශ‍්‍රී ලංකාවේ පරමාධිපත්‍යය හිමි වන්නේ ජනතාවට ය. සර්ව බලධාරී විධායක ජනාධිපති ක‍්‍රමයක් පිළිබඳ සංකල්පය, මේ මහජන ස්වෛරීත්වය සමග සපුරා ගැටෙයි. මන්ද යත්, එම විධායක බලය, ස්වෛරී මහජනතාවගෙන් එකලාව වෙනස් තැනක පිහිටන බැවිනි.

1978 ව්‍යවස්ථාවේ නිර්මාතෘ ජේ. ආර්. ජයවර්ධන මේ විධායක ජනාධිපති ක‍්‍රමය සාධාරණීකරණය කෙළේ, ‘එය පාර්ලිමේන්තුවේ හිතුමතයට යටත් නොවීම’ යන පදනම මත ය. පාර්ලිමේන්තුව යනු මහජන නියෝජිතයන්ගෙන් සමන්විත ආයතනයක් බව සිත්හි ධාරණය කර ගත් විට, ඔහුගේ එම ප‍්‍රකාශයෙන් ගම්‍ය වන්නේ, ජනතා අභිමතයෙන් විධායකය නිදහස් වන බවත්, එසේ හෙයින් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රතිවාදය වන බවත් ය.

1978 ව්‍යවස්ථාව සම්මත කර ගැනීමටත් කලින්ම, විධායක ජනාධිපති ක‍්‍රමයක අනතුර ගැන දුර දුටු නායකයෝ වුහ. එය මුලින්ම යෝජනා වූ අවස්ථාවේ ඩඞ්ලි සේනානායක ඊට විරුද්ධ විය. 1978 මේ ව්‍යවස්ථාව කෙටුම්පත් කරන අවස්ථාවේ, ආචාර්ය එන්. එම්. පෙරේරා සහ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, එය තදබල ලෙස විවේචනය කරමින් ඒ මගින් රටට ඇති කළ හැකි විනාශය පෙන්වා දුන්හ.

සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව 1972 ජනරජ ව්‍යවස්ථාව සකස් කරන අවස්ථාවේ විධායක ජනාධිපති ධූරය ඊට ඇතුළත් කළ යුතුව ඇතැයි ජේ. ආර්. ජයවර්ධනය යෝජනා කෙළේය. එහෙත් එවැන්නක් ශ‍්‍රී ලංකාවට නොගැළපෙන බව පවසා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකාව එම යෝජනාව ප‍්‍රතික්ෂේප කළාය. ඇය එසේ කෙළේ, අසීමිත බලතල සහිත අදාළ විධායක ක‍්‍රමය තුළ ඉතා පහසුවෙන්ම තමාට සර්ව බලධාරී වීමට ඇති අවස්ථාව ගැනත් හොඳින්ම දැනුවත්ව සිටියදී ය. විධායක ජනාධිපති ක‍්‍රමය තුළ ලංකාව ලද අවාසනාවන්ත අත්දැකීම් පිළිබඳ මනා අවබෝධයකින් සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ, ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය’ ගොඩනගමින් එම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා අප‍්‍රතිහත උත්සාහයක් ගත්හ. එතුමන්ගේ ඒ අසීමිත වීරිය මත 2015 ජනවාරි 8 වැනි දා ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රිපාල සිරිසේන ජයගත්තේය.

මෛත‍්‍රීපාල සිරිසේනගේ සමස්ත ජනාධිපතිවරණ ව්‍යාපාරය පදනම් වුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව මත ය.

එකී ආණ්ඩු වෙනසින් අවුරුදු දෙක හමාරකට පසුව අද වන විට ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය, පීලි පනින, අවිනිශ්චිත ගතියක් පෙන්නුම් කොට තිබේ. පාර්ලිමේන්තුව ‘ව්‍යවස්ථා සභාවක්’ බවට පත් කිරීමේ යෝජනාව ප‍්‍රකාරව, මේ ක‍්‍රියාවලියේ ඊළඟ පියවර වනුයේ, මෙහෙයුම් කමිටුවේ වාර්තාව විවාදය සඳහා ‘ව්‍යවස්ථා සභාවට’ ඉදිරිපත් කිරීමයි. එය කළ යුතුව පැවතියේ් පසු ගිය ජනවාරියේදී වුවත්, ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කණඩායම තමන්ගේ යෝජනා ඉදිරිපත් නොකරමින් පස්ස ගැසීම නිසා දෝ, තවමත් එය පමා වෙමින් තිබේ.

‘ව්‍යවස්ථා සභා’ යෝජනාව ප‍්‍රකාරව, ‘මෙහෙයුම් කමිටු’ වාර්තාව ‘ව්‍යවස්ථා සභාව’ තුළ විවාදයට ගැනීමෙන් පසුව එහිදී මතු වන යෝජනා අන්තර්ග‍්‍රහණය කර ගනු වස්, නැවත වරක් එය ‘මෙහෙයුම් කමිටුව’ වෙත යවනු ලැබේ. අනතුරුව යෝජිත ව්‍යවස්ථාව පිළිබඳ කෙටුම්පතක් ‘මෙහෙයුම් කමිටුව’ විසින් සකස් කරනු ලබන අතර, එම කෙටුම්පත ‘ව්‍යවස්ථා සභාවේ’ විවාදයට ගැනේ. අනතුරුව එහිදී සම්මත වීමෙන් පසු ඇමති මණ්ඩලයේ අනුමැතිය සඳහා එය ඉදිරිපත් කෙරෙන අතර, ඉන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ. ඊළඟට, පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව, අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට එය ඉදිරිපත් කළ යුතුව තිබේ.

මේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය ගමන් ගනිමින් තිබෙන වේගය අනුව සළකන කල, ඉහත කී අදියර සියල්ල පසු කරන විට ලබන වසර අවසානය දක්වා කාලයක්වත් අවශ්‍ය කරනු ඇත. පළාත් පාලන ඡන්ද සහ පළාත් සභා මැතිවරණ ඊළඟ වසරේත්, 2019 දී ජනාධිපතිවරණයත් පැවැත්වීමට නියමිතව ඇති තත්වයක් තුළ, ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ බලාපොරොත්තුව එන්න එන්නම ඈතට යන බවක් පෙනෙන්ට තිබේ.

‘ඒකාබද්ධ විපක්ෂයේ’ කෑකෝගැසීම් අනුව, මේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියට බාධා පැමිණවීමට ඔවුන් කැසකවන බව ඉතා පැහැදිළි ය. මේ මගින් බුද්ධාගමට ඇති විය හැකි අනතුරක් සහ රට දෙකඩ වීමේ අනතුරක් පිළිබඳ බිල්ලෙකු මැවීමට ඔවුන් තතනනු පෙනේ. මේ සඳහා අදාළ යෝජනා ඉදිරිපත් කිරීම පමා කිරීමෙන්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ කෙරෙහි දෙපැත්තක කකුල තියාගෙන සිටින බවක් පෙනේ. ඔවුන්ගෙන් ඇතැමෙක් විධායක ජනාධිපති ක‍්‍රමය පවත්වා ගැනීමට උත්සුක වෙත්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මතයට ජනාධිපතිවරයා කන් දිය යුතු බව ඔවුහූ පෙන්වා දෙති. එය, 2015 ජනවාරියේ මේ ජනාධිපතිවරයා ලැබු ජන වරමට පටහැනි වුව ද ඔවුන්ට කම් නැත.

ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් මේ ගැන සිතන ආකාරය ගැන, පසුගිය ජුලි 16 වැනි දා ‘ද නේෂන්’ පුවත්පතට එස්. බී. දිසානායක දුන් සම්මුඛ සාකච්ඡාවක් ආශ‍්‍රයෙන් අපට පැහැදිළි අවබෝධයක් ලබා ගත හැකිය. අලූත් ව්‍යවස්ථාව සඳහා ප‍්‍රමුඛත්වය නොදීම ගැන මතු කරන ලද ප‍්‍රශ්නයකට ඔහු පිළිතුරු දෙන්නේ මෙලෙස ය: ‘‘ඒ සම්බන්ධයෙන් කිසි දෙයක් වෙන්නේ නැහැ. ත්‍රෛනිකායික මහා සංඝයා වහන්සේලා කියන විදිහට අපි වැඩ කරනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපේ තීරණය වෙන්නේ, පවතින ව්‍යවස්ථාවේ කිසි දෙයක් වෙනස් කළ යුතු නැහැ කියන එකයි. කොහොම වුණත්, අලූත් ව්‍යවස්ථාවක් ගැන අපි කතා කළාට අපේ ප‍්‍රමුඛත්වය ලැබෙන්නේ 20 වැනි සංශෝධනය යටතේ ගෙනෙන මැතිවරණ ක‍්‍රමයේ වෙනසකටයි. අපි 19 වැනි සංශෝධනයට ඡන්දය දුන්නේ, මේ 20 වැනි සංශෝධනය ගෙනෙනවා කියන පොරොන්දුව පිටයි. ඒත් අද වෙනකල් ඒ 20 වැනි සංශෝධනය ගෙනල්ලා නැහැ. ඒක නිසා මේ අවස්ථාවේ අපේ ප‍්‍රමුඛත්වය වෙන්නේ, ඒක.’’

ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වන්නේ මෛත‍්‍රිපාල සිරිසේන යැයි එස්. බී. දිසානායක කියූ විට, පසුගිය ජනාධිපතිවරණය තමාගේ එකම ජනාධිපතිවරණය බව මෛත‍්‍රීපාල සිරිසේනම කියා ඇති බව එස්. බී. දිසානායකට මතක් කර දුනි. ඊට එස්. බී. දිසානායක දුන් පිළිතුර අපූරු ය: ‘‘ඔහු එහෙම කිව්වේ පක්ෂයේ සභාපතිත්වය ගන්න කලින්. ඒ නිසා ඒක අපිට අදාළ නැහැ. පක්ෂයේ අපේක්ෂකයන් කවුද කියන එක තීන්දු කරන්නේ අපි. ඒක තීරණය කරන්නේ පක්ෂය විසින්. පක්ෂය එහෙම තීරණයක් ගන්නේ, ඔහු පක්ෂයට ආදරය කරන කෙනෙක් නිසා. පක්ෂයත් එක්කම ඉහළට ආපු කෙනෙක් නිසා. එහෙම තියෙද්දි, පක්ෂයේ මතයට ඔහු පිටුපාන එකක් නැහැ.’’

මෙහි අරුත වන්නේ, පක්ෂයේ තීන්දුව (එනම්, මූලික වශයෙන් ගත් විට, පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි අයගේ තීන්දුව) ජනතා වරමට පටහැනි වෙතත්, ජනාධිපති සිරිසේන ඊට අනුකූලතාව දැක්විය යුතු බවයි.

මීට මාස කිහිපයකට පෙර, ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය පිළිබඳව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට කරුණු පැහැදිළි කර දීම සඳහා, එම ක‍්‍රියාවලියේ ප‍්‍රමුඛයෙකු වන සහ එම ක‍්‍රියාවලිය පිළිබඳ ඕනෑම සැකයක් දුරු කළ හැකි මෙන්ම කරුණු පැහැදිළි කළ හැකි පුද්ගලයෙකු වන ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්නට ආරාධනා කොට තිබීමට විරෝධය පළ කළ, ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වන සුසිල් පේ‍්‍රමජයන්ත සහ ෆයිසර් මුස්තාපා වැන්නන්ගේ චින්තනය අපට ලෙහෙසියෙන්ම හඳුනා ගත හැකිය. කෙසේ වෙතත්, සමස්තයක් වශයෙන් පක්ෂයේ මතිමතාන්තරවල ස්වභාවය අනුව, මේ කියන දෙන්නාගේ එකී විරෝධය තේරුම් ගැනීම අපහසු නැත.

පසුගිය ජනාධිපතිවරණයේදී සුසිල් පේ‍්‍රමජයන්ත සිටියේ මහින්ද රාජපක්ෂ සමග ය. ෆයිසර් මුස්තාපා, ජනාධිපතිවරණයේ අවසාන භාගයේ දින කිහිපයක් සිංගප්පූරුවේ ගත කොට ආපසු පැමිණෙන අවස්ථාවේ, සුළං හමන්නේ මෛත‍්‍රීපාල සිරිසේන පැත්තට බව හඳුනා ගනිමින්, ජනාධිපතිවරණයට දින කිහිපයට පෙර පැත්ත මාරු කළ කෙනෙකි. ඉතිං මොවුන් දෙන්නා තුළම, ජනාධිපති අපේක්ෂක සිරිසේන රට ඉදිරියේ තැබූ ප‍්‍රතිඥා කෙරෙහි පක්ෂපාතීත්වයක් හෝ තැකීමක් නොවීම අරුමයක් නොවේ.

එබැවින්, ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය වේගවත් කිරීමත්, සාකච්ඡාවට ගත හැකි සහ පනවා ගත හැකි ව්‍යවස්ථා කෙටුම්පතක් මේ වසර අවසන් වීමට පෙර නොපමාව ගෙන ඒමත් ආණ්ඩුවේ වගකීම වන්නේය. එසේ නොවුණහොත්, මෙය ද, ශ‍්‍රී ලංකාවට අතපසු වුණු දීර්ඝ ඓතිහාසික ලැයිස්තුවෙන් තවත් එකක් වීමට ඉඩ තිබේ.

ව්‍යවස්ථා සම්පාදනයේ අතීතය දෙස බලද්දී, පැහැදිළි රටාවක් දැක ගත හැකිය. 1972 ජනරජ ව්‍යවස්ථාව පනවා ගැනුණේ, එක්සත් පෙරමුණු ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් ඇතුළතදී ය. 1978 ව්‍යවස්ථාව පනවා ගැනුණේ, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත්වී වසරක් අවසානයේ ය. 1994 බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව ගෙනා යෝජනාවලිය, ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩපිළිවෙලක් දියත්ව තිබියදීත්, 2000 දී අසාර්ථකත්වයට පත්විය. එවැනි ජනතාව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් වර්තමාන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය තුළ දක්නට නොලැබීම කණගාටුවට කාරණයකි.

වර්තමානයේ දක්නට ලැබෙන යහපත් කාරණය වන්නේ, ‘දෙමළ ජාතික සන්ධානය’ මේ සම්බන්ධයෙන් නම්‍යශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමත්, ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රතිපත්තිමය තීරණයක පිහිටා මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමත් ය. මේ පක්ෂ දෙකට ආණ්ඩුව සමග මොන මතභේද තිබුණත්, ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියට සහයෝගය දැක්වීම ප‍්‍රශංසනීය ය. එසේ තිබියදී, මුස්ලිම් පක්ෂවල දැඩි නිහඬතාව කණගාටුදායක ය. මේ කාරණය අරභයා ඔවුන් වචනයක්වත් කතා කොට නැති අතර මෙම ක‍්‍රියාවලිය පහසු කැරැවීම සඳහා කිසිවක් කොට නැත.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුලූ ආණ්ඩුව, යහපාලන පරිපාලනයේ අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා යුහුසුළු විය යුතුව තිබේ. එහිදී, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ප‍්‍රතිසංස්කරණ සහ බලතල බෙදා හැරීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ. තවදුරටත් පමා වීම සහ තීරණාත්මක පියවර ගැනීමට අසමත් වීම මගින් ඔවුන්ගේ පදනම් දෙදරා යා හැකි අතර, ජාතික න්‍යාය පත‍්‍රය අසාර්ථක විය හැකිව තිබේ.

*2017 අගෝස්තු 13 වැනි දා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ Will the Constitutional Reform Exercise be another Lost Opportunity? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Back to Top