Sri Lanka Brief
පුවත්විවරණලංකාවේ ජනාධිපතිවරුන්ගේ සහ අගමැතිවරුන්ගේ ගොයිගම ඒකාධිකාරිය (2)

ලංකාවේ ජනාධිපතිවරුන්ගේ සහ අගමැතිවරුන්ගේ ගොයිගම ඒකාධිකාරිය (2)

by

ජායාරූපය: 1960 දී බලපිටියේ සලාගම කුළ සී.පී. ද සිල්වාට අගමැතිකම දෙනු වෙනුවට ආණ්ඩුව විසුරුවා හැර ගොයිගම සිරිමා බණ්ඩාරනායකට එම තැන පිරිනැමුණි.

ඩී. බී. එස්. ජෙයරාජ් විසිනි.

කලින් ද සඳහන් කළ පරිදි, සිංහලයන් අතරේ සංඛ්‍යාත්මක වශයෙන් බලගතු කුලය වන්නේ ගොයිගම ය. ඊට සමාන දෙමළ කුලය වන්නේ, වෙල්ලාල ය. 1948 දී බි්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගත් දා සිට, එක් තනි ව්‍යතිරේකයක් හැරුණු කොට, ලංකාවේ බලයට පත් සියලු අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන් අයත් වුණේ, ‘බහුතර’ සිංහල ජන වර්ගයටයි. ‘බහුතර’ බෞද්ධ ආගමටයි. ‘බහුතර’ ගොයිගම කුලයටයි. එකම ව්‍යතිරේකය (හෙවත් සමහරුන් කියන පරිදි, එකම පීලි පැනීම) වන්නේ, රණසිංහ ප්‍රේමදාස ය. ඔහු සිංහලයෙකු සහ බෞද්ධයෙකු වුවත්, අධිකාරී බලය දරණ ගොයිගම කුලයේ කෙනෙකු නොවුණි.

ප්‍රථම ශ්‍රී ලාංකීය අග්‍රාණ්ඩුකාරවරයා වුණේ, 1954 දී එම තනතුරට පත්, ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක ය. ඔහු ගොයිගම කුලයට අයත්, සිංහල, ප්‍රොතෙස්තන්ත කිතුණුවෙකි. ඔහුගෙන් පසු 1962 දී එම තනතුරට පත් විලියම් ගොපල්ලව, උඩරට රදළ පෙළපතින් පැවත ආවෙකි. 1972 දී ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමත් සමග මොහු ව්‍යවස්ථානුකුල ජනාධිපතිවරයා බවට පත්විය. 1978 දී එම තත්වය වෙනස් කළ ජේ. ආර්. ජයවර්ධන, විධායක ජනාධිපති බවට පත්විය. එතැන් පටන් අගමැති තනතුර සාපේක්ෂ වශයෙන් ‘බල රහිත’ විය. එසේ තිබියදී පවා එම තනතුරත් හිමි වුණේ, එක් අවස්ථාවක් හැරුණු කොට, සිංහල බෞද්ධ ගොයිගම කුලයේ කෙනෙකුටයි. අගමැති ධුරයේ එම සම්මතය 1978 දීත්, ජනාධිපති ධුරයේ එම සම්මතය 1988 දීත් කඩා දැමිය හැකි එකම පුද්ගලයා වුණේ රණසිංහ ප්‍රේමදාසයි.

1960 දී ගොයිගම නොවන කුලයක පුද්ගලයෙකුට ලංකාවේ අගමැති විය හැකිව තිබුණි. ඒ, එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වු සී. පී. ද සිල්වාට ය. එය අසාර්ථක කරන ලද්දේ එවක අග්‍රාණ්ඩුකාර ධුරය හෙබැවූ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක විසිනි. සලාගම කුලයේ කෙනෙකු අගමැති ධුරයට පත්වීම ගැන තමා තුළ තිබූ ‘විචිකිච්ඡාව’ ගැන, එස්. ජේ. වී. චෙල්වනායගම් සහ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා වැනි දේශපාලන නායකයන් සමග පසු අවස්ථාවක ඔහු කියා තිබුණි. සී. පී. ද සිල්වා ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. දක්ෂ පරිපාලකයෙකු වශයෙන් නමක් දිනා සිටි සිවිල් සේවා නිලධාරියෙකි. එසේම, බහුතරයකින් යුත් ආණ්ඩුවක් පිහිටුවීමට තරම් පාර්ලිමේන්තුවේ සංඛ්‍යාත්මක බලයක් ද ඔහුට තිබුණි. එහෙත්, ලංකාවේ අගමැතිවරයා වශයෙන් මේ ‘මින්නේරියේ දෙවියන්ව’ පත් කිරීම වෙනුවට අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක කෙළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ය. අනතුරුව සී. පී. ද සිල්වාගේ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම නායකයා වශයෙන්, බලපිටියේ සී. පී. ද සිල්වා වෙනුවට, බලංගොඩ සිරිමා රත්වත්තේ බණ්ඩාරනායකව තෝරා පත්කර ගැනීමට කටයුතු කෙළේය. සී. පී. ද සිල්වා ‘ස්වේච්ඡාවෙන්’ පක්ෂ නායකත්වය අත්හැරියේය. කෙසේ වෙතත්, 1964 දී එම පක්ෂය අතහැර, තවත් මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ කණ්ඩායමක් සමග ඔහු විපක්ෂයට එක් විය. ඒ අතරින් අඩු වශයෙන් 6 දෙනෙකු සලාගම කුලයේ ය.

ඩී. ඇස්. ගේ සිට රනිල් දක්වා

ඩී. ඇස්. සේනානායකගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා ලංකාවේ බලයට පත් සෑම අගමැතිවරයෙකුම (ඉහත කී ව්‍යතිරේකය හැරුණු කොට) ගොයිගම ය. විලියම් ගොපල්ලවගේ සිට මෛත්‍රීපාල සිරිසේන දක්වා සෑම ජනාධිපතිවරයෙකුම (ඉහත කී ව්‍යතිරේකය හැරුණු කොට) ගොයිගම ය.

චන්ද්‍රිකා තොරා ගත්තේ ද ගොයිගම රත්නසිරි වික්‍රමනායකය. credit: Tharaka Basnayaka

විජය කුමාරතුංග සමග අවාහ වීමෙන් ආගම, කුලය සහ පංතිය වැනි බැමි සිය පෞද්ගලික ජීවිතයේදී මායිම් නොකළ, ප්‍රගතිශීලී යෝනිසෝ චරිතයක් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට පවා දේශපාලන දිවියේ දී එසේ කළ නොහැකි විය. සිය මව වෙනුවට අගමැති ධුරයට වෙනත් කෙනෙකු පත්කර ගැනීමේ අවස්ථාව ආ මොහොතේ එම තනතුරට ගැළපෙන, ගොයිගම නොවන නිමල් සිරිපාල ද සිල්වා, ජී. ඇල්. පීරිස් සහ මංගල සමරවීර වැනි බොහෝ දෙනා ඈට සිටියහ. එහෙත් ඒ වෙනුවට ඈ තෝරා ගත්තේ කිසි ඔපයක් නැති ගොයිගම කුලයේ රත්නසිරි වික්‍රමනායකවයි.

ගොයිගම නොවන ‘සිංහලයන්ගේ’ සහ ‘බෞද්ධයන්ගේ’ ඉරණම මෙය නම්, මේ මොහොතේ ශ්‍රී ලංකාවේ වාර්ගික සහ ආගමික සුළුතරයන්ට අයත් ජනතාවගේ වාසනාව කුමක් වනු ඇත්ද? අවාසනාවම ය. විධායක ජනාධිපති ක්‍රමය යටතේ ලංකාවේ අගමැති ධුරයට පත්වීමට ආසන්න අවස්ථාවක සිටි පුද්ගලයා හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ය. එහෙත් ඔහුව අගමැති තනතුරට පත් කිරීමට චන්ද්‍රිකා කුමාරතුංගට අවශ්‍ය කළ අවස්ථාවේ කදිරගාමර් තිත්ත පාඩමක් උගත්තේය. මහින්ද රාජපක්ෂ සිය නූල් සූත්තරවලින් කදිරගාමර්ව කපා 2004 දී එම තනතුර තමාට ලබා ගත්තේය. කෙසේ වෙතත්, 2005 නොවැම්බර් මාසයේ විධායක ජනාධිපති තනතුරට පත්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ විසින්, අඩු වශයෙන් ලෝක මාන්නයටවත් කදිරගාමර්ව අගමැති තනතුරට පත් කිරීමට යම් ඉඩක් තිබුණි. එහෙත් ජනාධිපතිවරණයටත් කලින්ම කදිරගාමර්ව ඝාතනය කෙරුණු නිසා ඒ ප්‍රශ්නය පැනනැංගේ නැත. රටක බහුත්වවාදී උරුමය සහ වාර්ගික-සංස්කෘතිකමය විවිධත්වය නිරූපණය කෙරෙන සේ සියලු ජන කොටස් ඇද බැඳ ගන්නා දේශපාලනික සංස්කෘතියක් කෙමෙන් වර්ධනය කරගත යුත්තේය. ජනාධිපති ධුරය සම්බන්ධයෙන් දැනට ඉන්දියාවේ අනුගමනය කෙරෙන භාවිතය, දශක ගණනාවක් තිස්සේ ඉතා සුපරීක්ෂාවෙන් යුතුව ගොඩනගා ගත් සම්ප්‍රදායකි. එක පැත්තකින්, සියලු ජන කොටස් ඇද බැඳ ගන්නා සහ තවත් පැත්තකින් ජනතා නියෝජනත්වය ඉතා පුළුල් මට්ටමකින් සහතික කෙරෙන ඉන්දියානු ආදර්ශය දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනැගුණේ කෙසේද යන්න මනාව වටහා ගැනීම සඳහා, එරටේ ජනාධිපතිවරුන්ගේ ඉතිහාසය සහ ජනාධිපති ධුරයේ ස්වභාවය ගැන කෙටියෙන් හෝ යළි සළකා බැලීමක් අවශ්‍ය කෙරේ. ඒ ගැන මීට පෙර නොයෙක් වර මා ලියා ඇති අතර මේ ලිපිය සඳහා ද ඒ තොරතුරු නැවත භාවිත කරමි.

ඉන්දියාවේ ජනාධිපති ධුරය, ශ්‍රී ලංකාවේ, ඇමරිකාවේ, ප්‍රංශයේ හෝ රුසියාවේ මෙන් විධායක ජනාධිපති තනතුරක් නොවේ. එය වඩාත් සමීප වන්නේ, 1972 ට කලින් ලංකාවේ තිබූ අග්‍රාණ්ඩුකාර ධුරයට සහ 1972 සිට 1978 දක්වා පැවති නාමික ජනාධිපති ධුරයටයි. එසේ වෙතත්, ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදයේ ජනාධිපතිවරයා වශයෙන් ඉන්දියානු ජනාධිපතිවරයාට ඉමහත් ගෞරවයක් සහ කීර්තියක් හිමි වෙයි. ඇත්ත වශයෙන්ම වඩාත් වැදගත් කාරණය වන්නේ, දීර්ඝ වසර ගණනාවක් තිස්සේ ඉන්දියාවේ යෝධ විවිධත්වය සහ වාර්ගික බහුත්වත්වය නිරූපණය කෙරෙන බලගතු සංකේතයක් වශයෙන් එය පරිණාම වී තිබීමයි.

අභ්‍යන්තර වශයෙන් මෙන්ම බාහිර වශයෙන් ද එල්ල වූ අනේක අභියෝග ඉදිරියේ ඉන්දියාව ශක්තිමත් සහ එක්සත් රාජ්‍යයක් වශයෙන් පැවත විත් තිබේ. ඉන්දියාවේ ප්‍රධාන ජාතික භාෂා 14 ක් තිබේ. කුඩා භාෂා සහ ප්‍රාදේශීය වහර 250 කට අධික සංඛ්‍යාවක් තිබේ. ලෝකයේ සෑම ප්‍රධාන ආගමක්ම එරටේ තිබේ. එරටේ විවිධ ප්‍රදේශ විසම ය. සංවර්ධනය අතින් අසමාන ය. ඒ සියල්ලටම වඩා, ඉන්දියාව කුල වශයෙන් බෙදී තිබේ. නිදහස ලැබීමෙන් අනතුරුව වෙන්ව යාමේ විභවතාවකින් ද යුක්ත වූවේය. වසර කිහිපයකින් ඉන්දියාව කෑලිවලට කැඩෙනු ඇතැයි එදා ඇතැම් විචාරකයෝ පුරෝකථනය කළහ. එවැනි බෙදෙනසුළු ප්‍රවණතාවන් ගැන බලවත් භීතිකාවකින් පෙලුණු ඉන්දීය රාජ්‍යය සහ එහි ප්‍රභූ පංතිය, ස්වකීය ව්‍යවස්ථාවේ අඩංගු ‘ෆෙඩරල් ලක්ෂණ’ අඩුවෙන් සළකුණු කොට එම ව්‍යවස්ථාවේ අඩංගු ‘ඒකීය ලක්ෂණ’ ගැන වැඩියෙන් අවධාරණය කළහ.

විවිධත්වයට තැනක් දීම

ඊට වෙනස්ව, ශ්‍රී ලංකාවට ඇත්තේ ප්‍රධාන භාෂා දෙකක් පමණි. සිටින්නේ ප්‍රධාන වාර්ගික ප්‍රජාවන් තුනක් පමණි. අදහන්නේ ප්‍රධාන ආගම් හතරක් පමණි. එසේ තිබියදීත්, අවාසනාවකට, දේශපාලනික තකතිරුකම් සහ අනාගත දැක්මක් නොමැති කම නිසා සමාජ ව්‍යකූලත්වයට සහ විනාශකාරී සිවිල් යුද්ධයකට පාර කැපුණි.

එහෙත් ඉන්දීය ‘මාතාව’ තම රටට මග පෙන්වීමටත්, නායකත්වයටත් ඔබින බුද්ධිමත් දරුවන් වැදීමට සමත් වූවාය. විවිධත්වය සාදරයෙන් භාර ගැනීමටත්, එක්සත් භාවය ප්‍රායෝගිකව ගොනු කර ගැනීමටත්, නේරුවාදී දැක්ම තුළ පැවති හැකියාව නිසා, ශක්තිමත් සහ එක්සත් ඉන්දියාවක් සඳහා වන සමාජ පදනම් තහවුරු කර ගැනීමට ඊට හැකි විය. මේ කාර්යයේදී, නූතන ඉන්දියාව අලුතින් ගොඩනැගීම සඳහා මූලික වශයෙන් ඉවහල් වූ කාරණා තුනකි. ඒවා නම්, භාෂාමය පදනමක් මත රටේ ප්‍රාන්ත රාජ්‍ය යළි ගොඩනැගීම, රාජ්‍යයේ ලෞකිකත්වය සහ සමූපකාරී ෆෙඩරල්වාදයයි.

නිදහසින් පසු ඉන්දියාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා වුණේ, බ්‍රාහ්මණ වංශික දෙමළ ජාතිකයෙකු වූ සී. රාජගෝපල්ස්චාරි හෙවත් රාජාජී ය. මේ අතරේ, කුලහීන බී. ආර්. අම්බෙඞ්කාර්ගේ සභාපතිත්වය යටතේ ඉන්දියාවේ ජනරජ ව්‍යවස්ථාව ලියැවුණි. ඒ අනුව, 1950 ජනවාරි 26 වැනි දා, ඉන්දියාව ජනරජයක් බවට පත්විය. එම ජනරජයේ ප්‍රථම ජනාධිපතිවරයා වුණේ, රාජේන්ද්‍ර ප්‍රසාද් ය. හින්දි භාෂාව කතා කරන්නෙකු වූ ඔහු, ජවහර්ලාල් නේරු තරමටම විශිෂ්ටයෙකු සහ දේශපාලනික නායකයෙකු විය. ඒ කාලයේ ‘වම’ සහ ‘දකුණ’ යන දෙබෙදුමේදී රාජේන්ද්‍ර ප්‍රසාද් සිටියේ ‘දකුණේ’ ය. නේරු සිටියේ මැද වමේ ය. ප්‍රසාද්ව ජනාධිපති ධුරයට ඔසවා තැබීම නිසා සිදුවුණේ, නේරුට සිටි ප්‍රධාන එදිරිවාදියෙකු පැත්තකට කිරීමයි.

මෙය එක්තරා ආකාරයකින් ඩී. ඇස්. සේනානායකගේ එදා කූටෝපාය සිහිගන්වයි. ඔහු ශ්‍රීමත් බාරොන් ජයතිලකව ඉන්දියානු තානාපති වශයෙන් පත්කර යැවීමට වගබලාගත්තේය. දැන් ජනාධිපති ධුරයට අලුතෙන් පත්ව සිටින රාම් නාත් කෝවින්ද් ඉන්දියාවේ 14 වැනි ජනාධිපතිවරයා ය. රාජේන්ද්‍ර ප්‍රසාද් දෙවරක් ජනාධිපති තනතුරට පත්නොවන්නට රාම් නාත් කෝවින්ද් ඇත්තෙන්ම 15 වැනි ජනාධිපතිවරයා වශයෙන් සැළකීමට සිදුවෙනවා ඇත. පිට පිට දෙවරක් ජනාධිපති තනතුරට පත් එකම තැනැත්තා රාජේන්ද්‍ර ප්‍රසාද් ය.

1962 දී ඉන්දියාවේ ජනාධිපති තනතුරට පත්වුණේ, කීර්තිමත් විද්වතෙකු සහ දාර්ශනිකයෙකු වන, ආචාර්ය එස්. රාධක්‍රිෂ්ණන් ය. ඔහු පදිංචිව සිටියේ චෙන්නායි නගරයේ වෙතත් වර්ගයෙන් ඔහු තෙලුගු ජාතිකයෙකි. 1964 දී නේරු මියයන විටත්, 1966 දී නේරුගේ අනුප්‍රාප්තිකයා වූ ලාල් බහදූර් ශාස්ත්‍රී මියයන විටත් ඉන්දියාවේ ජනාධිපති ධුරය හෙබැවුයේ ආචාර්ය එස්. රාධක්‍රිෂ්ණන් ය.

(අවසාන කොටස ඉදිරියට)

2017 ජුලි 22 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ  Govigama Monopoly of Presidents and Premiers of Sri Lanka නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top