Sri Lanka Brief
පුවත්විවරණරූප පෙට්ටිය: අතදරු දෙමව්පියන්ට අනතුරු ඇඟවීමක් … – සුනිල් ජයසේකර

රූප පෙට්ටිය: අතදරු දෙමව්පියන්ට අනතුරු ඇඟවීමක් … – සුනිල් ජයසේකර

by

ඉරිදා දවසේදී වෙළෙඳපොළට නිකුත්වන අතිවිශාල පුවත්පත් ගොන්නෙහි පළවී තිබූ ප්‍රවෘත්ති අතර එක් සුවිශේෂී පුවතක් දක්නට හැකිවිය. එහි සිරස්තලය ලෙස සටහන්වී තිබුණේ පොඩි ළමයි ටීවී බැලිය යුතු පැය ගණන් මෙන්න යනුවෙනි. අදාළ පුවතට පාදකකරගෙන තිබුණේ රජ රට විශ්ව විද්‍යාලයේ මානසික සෞඛ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන fවෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු මහතාගේ අදහස් දැක්වීමකි. එකී අදහස් දැක්විමට හේතු පාදක කරගෙන ඇත්තේ ඇමරිකානු ළමා රෝග විශේෂඥ සංගමය මගින් සිදුකළ පර්යේෂණයක් හරහා එළැඹ ඇති නිගමනයකි. ඒ අනුව ඇමරිකානු ළමා රෝග විශේෂඥයන්ගේ සොයා ගැනීම පෙන්වාදෙමින් ළමා රෝග විශේෂඥ මනෝජ් ප්‍රනාන්දු මහතා අවධාරණය කරන්නේ වයස අවුරුදු දෙක සම්පූර්ණවන තුරු කිසිදු දරුවෙකුට කිසිදු රූපවාහිනි වැඩසටහනක් නැරඹීමට ඉඩ නොදිය යුතුය යන්නයි. එපමණක් ද නොව ඇමරිකානු ළමා රෝග විශේෂඥ සංගමයේ උපදෙස වී ඇත්තේ අවුරුදු 05 ට අඩු දරුවන්ට පවා රූපවාහිනිය නැරඹීම සඳහා ඉඩදිය යුතුව ඇත්තේ දිනකට පැය භාගයක පමණ කාලයක් වන බවය.

විවිධ නාළිකා මගින් විකාශනය කරන රූපවාහිනි චැනල් අතිවිශාල ප්‍රමාණයක් හරහා අප රටේ ජන ජීවිතය කෙරෙහි ඇතිකර ඇති බලපෑම පිළිබඳව ගැඹුරු සමීක්ෂණයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු නැතත් රූපවාහිනිය අප රටෙහි ජන සමාජයට කරමින් සිටින බලපෑම කිසිසේත්ම අඩු මට්ටමක නොපවතී. ඒ අනුව රටේ ළමා පරපුරට අදාළව පමණක් නොව රටේ වැඩිහිටි පරපුරේ රසවින්දනය, දැනුම හා විනෝදය කෙරෙහි අද රටේ පවතින විවිධ රූපවාහිනි නාළිකා මගින් විකාශනය කරන වැඩසටහන් හරහා කෙබඳු බලපෑමක් සිදු කරන්නේ ද යන්න සොයා බැලීම අත්‍යාවශ්‍ය වී තිබේ. එහෙත් එහිදී ඊට පෙර ළමුන්ට අදාලව පිළිගත් වෘත්තීය විශේෂඥ කණ්ඩායමක් සිදුකර ඇති පර්යේෂණයේ ප්‍රතිඵල ගැන අවධානයක් යොමුකළයුතුව තිබේ. එහිදී ප්‍රමුඛ කාර්ය භාරයක් පැවරෙන්නේ සමාජයේ ජීවත්වන වැඩිහිටියන්ටය. ඒ අතරින් ද කුඩා දරුවන් සිටින දෙමාපියන්ට ය.

අප ලබා ඇති අත්දැකීම් අනුව අපගේ ළමා කාලයට අදාළව ද ළමයින්ගේ නිර්මාණාත්මක කුසලතා බොහෝ දුරට පාලනය කරනු ලැබූයේ වැඩිහිටියන්ය. ඒ දරුවන්ට ලබාදෙන අධ්‍යාපනය, දැනුම හා විනෝද මාර්ග හරහාය. එහිදී පොත පත ද ඇතු`ථ කුඩා කාලයේදී අපට දැනුම ලබාදුන් මාර්ග සැලකීමේදී ඒවා ළමයින්ට උචිත මාතෘකාවන් හා බොහෝ දුරට අනුරූප විය. අනෙක් අතට ළමයින්ට අදාළ නොවන ඇතැම්විට නුසුදුසු මාතෘකාවන් යටතේ පවා පළවන මුද්‍රිත කෘති සළකා බැලීමේදී ළමයාගේ සාක්ෂරතා මට්ටම අනුව ඒවා ග්‍රහණයට ගැනීමට ඇති අසීරුව ද අවසානයේ ළමයාගේ වාසියට හේතුවනවා ද විය හැකිය.

එහෙත් රූපවාහිනිය එසේ නොවේ. රූපවාහිනියේ විකාශය වන දර්ශනයක් ග්‍රහණය කර ගැනීමට ගැඹුරු සාක්ෂරතාවයක් අවශ්‍ය වන්නේ නැත. මෙකී සරල සත්‍ය තුළම රූපවාහිනිය හා ළමා පරපුර අතර පවත්වාගත යුතු සම්බන්ධතාවය පිළිබඳව ගැඹුරු අනතුරු ඇඟැවීමක් සැඟව පවතී. විශේෂයෙන්ම දියුණු විද්වත් ප්‍රජාවක් ඊට අදාළව සිදුකරන ලද විද්‍යාත්මක පරීක්ෂණයක් තුළින් ලබාදුන් උපදෙසක් බැහැර කිරීම කිසිසේත්ම නොකළ යුතුය. මේ රටේ කුඩා දරුවන් සිටින දෙමව්පියන් විශේෂයෙන්ම ඒ පිළිබඳ අවධානයක් යොමුකළ යුතුව ඇත්තේ ඒ නිසාය.

අනෙක් අතට රූපවාහිනිය හා ගෘහස්ත සමාජය අතර ඇති දැඩි සමීපතාවය තුළ අප රටේ වැඩිහිටි සමාජය ද ඒ ගැන අවධානයක් යොමු කිරීම ඉතා වැදගත්ය. එය එසේ වන්නේ යම් පුද්ගලයෙකුගේ පෞර්ෂ සැලැස්ම හා සමාජ සැලැස්ම අතර ඇති සබඳතාවයන් අනුව චරිත නිර්මාණය වන නිසාය. පුද්ගල ස්වභාවයන් බොහෝ විට ඒ ඒ පුද්ගලයන් ඇසුරුකරන, ගරුකරන, ඇ`ථම්කරන පුද්ගලයන්ගේ හැසිරීම් රටා අනුකරණය කරන බව පිළිගත් සත්‍යයකි. ඒ අනුව සමාජයක් රූපවාහිනිය ඇසුරුකරන ස්වභාවය ද, ඒ ඇසුරුකරන චරිතවල ස්වභාවය හා ඇගයීම් අනුව ද සමාජයක ස්වරූපය තීන්දුවනු ඇත.

දැන් අප සරලව විමසා බැලිය යුත්තේ අප සමාජය රූපවාහිනි නාළිකා සමග සිදුකරමින් ඇති ඇසුර කෙබඳු එකක්ද යන්නය. ඒ පිළිබඳව සිදුකර ඇති එක් සමීක්ෂණ නියැදියකට අනුව ප්‍රේක්ෂකයන් අතරින් සියයට 22 ක් ටෙලි නාට්‍ය කෙරෙහි ප්‍රමුඛ ආකර්ෂණයක් දක්වයි. එය බොහෝ දෙනක් එකී ටෙලි නාට්‍ය කෙරෙහි ආශක්ත වී ඇත්තේ එම ටෙලි නාට්‍යවල ඇති චරිත, ආකර්ශණීය ප්‍රතිරූප තම ජීවිතයට සමීප නිසා හෝ සමීපකර ගැනීමට ඇති කැමැත්ත නිසාය. ඒ අනුව ඔවුන් මෙම චරිත හා ප්‍රතිරූපවලට අනුගතවීමක් ද නිතැතින්ම සිදුවිය හැකිය.

ඒ සමගම අප අවධානය කළයුතු වැදගත්ම දේ වන්නේ එකී සමීක්ෂණයේදි ප්‍රතිචාර දක්වා ඇති අවුරුදු 20-30 ප්‍රේක්ෂකයන් වඩා ඇල්මක් දක්වන්නේ ඉන්දියාවෙන් ආනයනය කර ස්වදේශීය භාෂාවන්ගෙන් හඬකවා විකාශනය කරන ටෙලි නාට්‍ය කෙරෙහිවන බවයි. එවැනි ටෙලිනාට්‍යවල ආඛ්‍යානය මගින් බොහෝ විට සන්නිවේදනය කරන්නේ වෛරය, ද්වේශය, පවුල් ජීවිතයේ බිඳවැටීම් හා ඒ සඳහාවන කුමන්ත්‍රණ ආදියයි.

ඒ අනුව සාමාන්‍ය ජනසමාජයේ සිතුම් පැතුම් පිළිබඳ පමණක් නොව පොදු ආකල්ප ගොඩනැගීම කෙරෙහිද එකී ටෙලිනාට්‍ය ඇතිකරනු ඇතැයි කියන බලපෑම තේරුම්ගැනීමට අපහසු නොවේ. අපේ රටට අදාළව සැලකීමේදී බොහෝ දෙනෙක් මේ ටෙලි නාට්‍ය නරඹන්නේ තම දූ දරුවන් ද පිරිවරාගෙනය. අතදරුවන් පවා උකුලෙහි තබාගෙනය. ඒ අනුව දරුවන් ටී.වී බැලිය යුතු පැය ගණන ගැන මනෝ වෛද්‍ය විශේෂඥයන් පළ කර ඇති පෙර කී අදහස පිළිබඳව අප සියලුදෙනාම ගැඹුරු අවධානයක් යොමුකළයුතුව තිබේ. මක්නිසාද යත් එය ඔබේ දරුවාට අදාළව පමණක් නොව ශ්‍රී ලාංකීය ජන සමාජයේ අනාගත පැවැත්වමට අදාළව ද ඒ තුළ ගැඹුරු අනතුරු ඇඟැවීමක් සිදුකර ඇති නිසාය.

 

Back to Top