Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගතොරතුරු පනත පොදුජන අවියක් – කිෂාලි පින්තු ජයවර්ධන

තොරතුරු පනත පොදුජන අවියක් – කිෂාලි පින්තු ජයවර්ධන

by

(තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමේ කොමසාරිස් – නීතිවේදී කිෂාලි පින්තු ජයවර්ධන සමඟ කරන ලද සාකච්ජාවකිනි.)

තොරතුරු දැනගැනීමේ අයිතිය පොදු ජනතාවගේ අයිතියකි. එහෙත් තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කරන්නට මූලික වූයේ ජනමාධ්‍ය සමාජයයි. එනිසා බොහෝ දෙනා සිතුවේ මෙම නීතිය ගෙනඑන්නේ ජනමාධ්‍යවේදීන්ගේ ප‍්‍රයෝජනයට යැයි කියාය. එහෙත් සාධනීය ලෙස මේ වනවිට එයින් වැඩි පල නෙළාගනිමින් සිටින්නෝ ජනමාධ්‍යවේදීන්ට වඩා පොදු ජනතාවය. කොමිසම හමුවට ඉදිරිපත්ව ඇති අභියාචනා ඊට සාක්ෂි දරයි. එයින් සාතිශය බහුතරයක් ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ සාමාන්‍ය ජනතාව විසිනි. එසේ බලද්දී සෙමින් සෙමින් වුවද රටක් හැටියට අප තොරතුරු සංස්කෘතියක් කරා පියනඟමින් සිටීම සන්තුෂ්ටියට කරුණකි.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කෙටුම්පතක් 2002 වසරේදී සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ද එය පාර්ලිමේන්තුව දක්වා පැමිණියේ නැත. එම අවස්ථාවේදී එය සාර්ථක වී නම් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතක් බිහි කළ දකුණු ආසියානු පළමු රට වන්නේ ශ‍්‍රී ලංකාවයි. කවර හෝ හේතු මත අවසානයේදී එය 2016 දී සම්මත වූයේ ලොව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත්වලින් ඉහළම ශ්‍රේණියක් හිමි කරගනිමිනි. කෙටියෙන් කිවහොත් ලොව හොඳම තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත්වලින් අංක තුන හිමිකරගෙන සිටින්නේ එයයි. කෙසේ වෙතත් පනත නීත්‍යනුකූල වපසරියෙහි හිමිකරගන්නා ශක්තිමත්භාවය හා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ සංස්කෘතිය අතර යම් සීමාසහිතකම් තිබෙන බව අප පිළිගත යුතුය.

තොරතුරු දැනගැනීමේ අයිතිය රටේ මූලික නීති අතරට එක්වන මුල් අවස්ථාවලදී නිර්මාණය වන මෙම තත්ත්වය ස්වාභාවික බව අප තේරුම්ගත යුතුය. තොරතුරු දැනගැනීම පිළිබඳ අයිතියක් හැටියට භුක්ති විඳින්නට ජන සමාජයට සා පිපාසාවක් ඇතිවන්නේ ක‍්‍රමානුකූලවය. පියවරෙන් පියවරය. කාලාන්තරයක් තිස්සේ තොරතුරු සැඟවීමේ සංස්කෘතියකට උරුමකම් කී ජන සමාජයක් එවැනි තත්ත්වයකට අවතීර්ණ වන්නේ මන්දගාමීවය. සංස්කෘතිකව පමණක් නොව නෛතිකව ගත්ත ද මෙරට පැවැතියේ තොරතුරු ලබාදීමට වඩා නොදීමට අනුබල දෙන පරිසරයකි. එවැනි පරිසරයක තොරතුරු දැනගැනීමේ අයිතිය රටේ මූලික නීතියක් බවට පත්වීම පුරවැසියන් හැටියට සතුටු විය යුතු කරුණකි.

බටහිර ජන සමාජයේ පුරවැසි දියුණුව ගැන අන්තවාදී නොවී සිතන්නේ නම් තොරතුරු දැනගැනීමේ අයිතිය සංස්කෘතියක් දක්වා වර්ධනයවීමට එංගලන්තයේදී ද ගත වූ කාලය විශාල බව අවධාරණකටයුතුය. ඒ හා සසඳද්දී ඉන්දියාව තරමක් වෙනස්ය. තොරතුරු දැනගැනීමේ අයිතිය පනතක් බවට පත්වීමට සැලකිය යුතු කාලයකට පෙර සිටම රාජස්ථානය, කර්නාටක ඇතුළුව එරට ප‍්‍රාන්ත මට්ටමින් තොරතුරු දැනගැනීමේ සංස්කෘතියක් උදෙසා බිහි වූ සමාජ ව්‍යාපාර ඊට මූලික හේතුවයි. ගමේ සංවර්ධනයට වෙන්කරන මුදල්වලට දේශපාලකයන් කරන්නේ කුමක්ද යන්න එහිදී ඉන්දීය ජනයා නැගූ මූලිකම හා අතිසරල පැනය විය. මෙමගින් දේශපාලකයන් කෙරෙහි ඇති කළ මහජන තෙරපුම සුළු පටු නැත.

ප‍්‍රාන්ත මට්ටමින් සම්මත කෙරුණු නීතියේ කූඨප‍්‍රාප්තිය හැටියට 2005 වසරේදී ඉන්දීය පාර්ලිමේන්තුවෙන් එය ජාතික මට්ටමේ නීතියක් හැටියටම සම්මත කෙරුණි.

ශ‍්‍රී ලංකාව ඉන්දියාව සමඟ සැසඳුවහොත් තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් සටන් වැදුණු බිම් මට්ටමේ සමාජ ව්‍යාපාරයක් මෙරට නිර්මාණය වුණේ නැත. ශ‍්‍රී ලංකාවේදී එහි පෙරටු බලඇණිය වන්නට සිදුවුණේ ජනමාධ්‍ය සමාජයටය. ඔවුන් සමඟ ඒකාබද්ධ වූ නීතිඥ කණ්ඩායම් ඇතුළුව සිවිල් සමාජය නිසා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ සැලකිය යුතු හඬක් මතු විය. ආරම්භය එසේ වුවද ගත වූ දෙවසරකට අඩු කෙටි කාලයේදී අප සැලකිය යුතු ජයක් අත්පත් කරගෙන ඇති බව මගේ අදහසයි. පනත ක‍්‍රියාත්මකවීම ආරම්භ වුණේ මේ වසරේ පෙබරවාරි 03 වැනිදාය. එතැන් සිට ගෙවුණු හය මාසයක් තරම් කෙටි කාලයේදී රජයේ ආයතනවලටත් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමටත් මහජනතාවගෙන් කෙරුණු ඉල්ලීම් සංඛ්‍යාත්මකව අතිවිශාලය. පැමිණිලි සංඛ්‍යාත්මකව ගත්තද ඒවායේ ස්වභාවය අනුව ගුණාත්මකව බැලූව ද තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන පොදු ජනයා අතරෙහි යම් කැලඹීමක් නොවේ නම් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීමට බැරිය. බොහෝ පැමිණිලි ලැබී ඇත්තේ කොළඹින් නොවේ. මාතර, හම්බන්තොට, යාපනය, අනුරාධපුරය, පොළොන්නරුව, නුවර වැනි පිට පළාත්වලිනි. දුර පළාත්වල ජනතාව මෙම නීතිය ගැන හොඳින් දැනුම්වත්ය. ඔවුන්ට පනත හා රෙගුලාසි ගැන හොඳ කියැවීමක් තිබේ. කොමිසම හමුවේ ඔවුන් අදහස් දක්වන අයුරින් එය ඉතා කදිමට විෂද වේ.

උදාහරණයක් මෙසේය. මාතර හක්මන පාරේ අනවසර ඉදිකිරීමක් ගැන තොරතුරු විමසා පුරවැසියෙක් මාර්ග සංවර්ධන අධිකාරියෙන් තොරතුරු විමසීමක් කළේය. අනවසර ඉදිකිරීමක් මෙසේ නිරුපද්‍රිතව පවතින්නේ කෙසේද යන්නත් ඊට එරෙහිව මාර්ග සංවර්ධන අධිකාරිය යම් පියවර ගෙන ඇත්නම් ඒ කුමක්ද යන්නත් ඔහුට මූලිකවම දැනගැනීමට අවශ්‍ය විය. පුරවැසියාගේ ඉල්ලීම සමඟ මාර්ග සංවර්ධන අධිකාරිය කළේ කුමක්ද? තොරතුරු ලබාදීම වෙනුවට ඉදිකිරීම එතැනින් ඉවත් කිරීමයි. ඉන්පසුව ඔහු කළේ අපූරු වැඩකි. ඒ, වසරකට වැඩි කාලයක් නිරුපද්‍රිතව පැවැති අනවසර ඉදිකිරීම මාර්ග සංවර්ධන අධිකාරිය හිටි අඩියේ ඉවත්කළේ ඇයිදැයි විමසා තොරතුරු දැනගැනීමේ කොමිසම හමුවට පැමිණිලි කිරීමය. මෙම පියවර ගැනීමට අදාළව මාර්ග සංවර්ධන අධිකාරියේ කොළඹ කාර්යාලයේ නීති නිලධාරින් හා පළාත් කාර්යාල නිලධාරින් අතර හුවමාරු වූ අදහස් දැනගැනීම ද ඔහුගේ ඉල්ලීමේ විය. අවසානයේදී කොමිසමේ දැනුම්දීම අනුව මාර්ග සංවර්ධන අධිකාරියට පුරවැසියාගේ අදාළ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්නට සිදුවිය. මේ එක් කුඩා උදාහරණයක් පමණි. අප කොමිසමට පැමිණි පළමු අභියාචනය වූයේ පානදුර නගර සභාව ඉඩමක් පිරවීමට කොන්ත‍්‍රාත්කරුවකුට අවසර දීමක් සම්බන්ධයෙන් තොරතුරු ලබානොදීම ගැනය. පානදුර, හිරණ පිහිටි අදාළ ඉඩම පිරවීම නිසා අවට පරිසරයෙහි ගං වතුර තත්ත්වයක් හටගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන් විය. මේ නිසා ඉඩම පිරවීමට නගර සභා බලධාරින් අවසර දුන්නේ කවර හේතු පදනම් කරගෙනදැයි ඔහු විමසීය. කොමිසමෙන් කළ දැනුම් දීම අනුව ඊට අදාළ සියලූ විස්තර සපයන්නට පානදුර නගර සභාවට සිදුවිය. මේ ආදී ලෙස ගත්විට මහජන සුබසිද්ධිය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව සිදුකර ඇති තොරතුරු ඉල්ලීම් සංඛ්‍යාත්මකව අතිවිශාලය. මෙවැනි අනෙකුත් සිදුවීම් ද නිරීක්ෂණය කරද්දී තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත පුරවැසියන් මිත‍්‍රශීලී අවියක් කරගෙන ඇති ආකාරය සාධනීය බව කිව යුතුමය.

මීට අමතරව රාජ්‍ය නිලධාරිහු ද තොරතුරු ලබාගැනීමේ අයිතිය සාධනීය ලෙස භුක්ති විඳිමින් සිටිති. බොහෝවිට තමන් සම්බන්ධයෙන් ආයතනිකව ගන්නා විනය පියවර ඇතුළු කටයුතුවලදී ඊට අදාළ තොරතුරු ඉල්ලා සිටීමට ඔවුහු දැන් දැන් කටයුතු කරමින් සිටිති. ඇතැමුන් පෞද්ගලික මට්ටමින් තොරතුරු ඉල්ලද්දී ඇතැම්මු මහජන සුබසිද්ධියට අදාළව ඉල්ලති. ජනමාධ්‍ය සමාජය ගැන කියද්දී මේ සම්බන්ධයෙන් වැඩි උද්‍යෝගයක් හටගෙන ඇත්තේ උතුරේ ජනමාධ්‍යවේදීන් අතරය. මේ අතර පෞද්ගලිකව විස්තර ලබාගැනීමේදී දකුණේ පාසල්වල පළමු වසරට ළමයින් ඇතුළත් කිරීමට අදාළ තොරතුරු ඉල්ලීමේ ප‍්‍රවණතාවක් පවතී. එසේ බලද්දී පනත සම්මත කිරීමට ජනමාධ්‍ය සමාජය මුල් වුණ ද එය භුක්ති විඳීමේදී අප අපේක්ෂා කළ පරිද්දෙන්ම පොදු ජනතාව උද්‍යෝගී ලෙස පෙරට පැමිණීමක් පැහැදිලිව දැකිය හැකිය. ජනමාධ්‍යයේ දැන් කාර්යභාරය වන්නේ පනත පිළිබඳ වැඩි වැඩියෙන් මහජනතාව දැනුම්වත් කිරීමය. සක‍්‍රීය පුරවැසි සමාජයක් නිර්මාණයට එය මහ`ගු පිටුබලයකි. එහෙත් ගත වූ කාලයේදී මෙම දෙවැනි කාර්යභාරය ජනමාධ්‍ය විසින් ප‍්‍රමාණාත්මකව ඉටු කරනු ලැබුවේද යන්න ප‍්‍රශ්නයකි.

රාජ්‍ය ආයතන හා පනත ගැන කතා කළහොත් කොමිසමේ විශ්වාසය වන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත රාජ්‍ය නිලධාරින්ට මිත‍්‍රශීලී පනතක් බවය. උදාහරණයකට මහජනතාවට තොරතුරු ලබාදෙන තොරතුරු නිලධාරින්ට නීතිමය වශයෙන් රැකවරණයක් මෙම පනතින් සැලැසේ. කිසියම් අවස්ථාවක ලබා දෙන තොරතුරකට එරෙහිව අදාළ රාජ්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨයකු තොරතුරු නිලධාරියාට එරෙහිව පියවර ගැනීමට උත්සාහ කරන්නේ යැයි සිතමු. එවැනි පියවර ගැනීමක් වළකාලන නෛතික සුරක්ෂාව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතින් තොරතුරු නිලධාරියාට ලැබේ. මේ රැකවරණය ලබාගනිමින් ජනතාවට තොරතුරු ලබාදෙන සක‍්‍රීය තොරතුරු නිලධාරින් හා නිලධාරිනියන් සිටීම සතුටට කරුණකි. කෙසේ වෙතත් තොරතුරු දනගැනීමේ අයිතිය යැයි කියා ඕනෑම දෙයක් දැනගැනීමක් එයින් අදහස් නොවේ. තොරතුරු වෙත ප‍්‍රවේශවීම ප‍්‍රතික්ෂේප කළ හැකි හේතු ද පනතෙහි 5 වැනි වගන්තියෙන් නිශ්චිතව විස්තරාත්මකව දක්වා තිබේ. කෙසේ වෙතත් මහජන සුබසිද්ධිය එවැනි තොරතුරු හෙළි කිරීමෙන් සිදුවන හානියට වඩා වැඩි නම් එම තොරතුරු ලබාදීමට කටයුතු කළ හැකිවේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය හා පාර්ලිමේන්තු බලතල සම්බන්ධයෙන් පසුගිය කාලයේදී ජනමාධ්‍යයෙහි යම් කතාබහක් හටගෙන තිබෙනු දකින්නට හැකි විය. -මෙම පනතේ විධිවිධාන පාර්ලිමේන්තු බලතල, වරප‍්‍රසාද සහ පරිචයන් හීන කරනු නොලබන්නේය” යනුවෙන් පනතෙහි 3(2) වගන්තියේ මේ ගැන පැහැදිලිව සඳහන් වේ. කෙසේ වෙතත් මෙය තවදුරටත් විස්තර කළ යුතු වැදගත් මාතෘකාවකි. මෙහිදී වරප‍්‍රසාද යන්න පාර්ලිමේන්තුවට හිමිවන්නේ ආයතනයක් හැටියටය. නොඑසේව තනි පුද්ගලයන් හැටියට නොවේ. මේ වරප‍්‍රසාද ප‍්‍රශ්නය පළාත් සභා සම්බන්ධයෙන් එක් අවස්ථාවකදී මතු විය. ඊට අදාළ තොරතුරු ඉල්ලීම සිදුකරනු ලැබ තිබුණේ ජනමාධ්‍යවේදියකු විසිනි. ඔහු ඉල්ලා තිබුණේ පළාත් සභාවට කළ බඳවාගැනීම් කීපයක විස්තරය. පෞද්ගලික තොරතුරු ඉල්ලීමක් එහි නොතිබුණ ද අදාළ පළාත් සභාව විසින් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරනු ලැබ තිබිණි. තොරතුරු නිලධාරියා ද නම් කළ නිලධාරියා ද ඊට හේතු ලෙස දක්වා තිබුණේ වරප‍්‍රසාදය. පසුව එම ප‍්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අභියාචනයක් කොමිසමට ඉදිරිපත් වූ අතර කරුණු සොයාබැලීමෙන් පසුව කොමිසම තීන්දු කළේ අදාළ තොරතුරු ලබා දිය යුතු බවය. මන්දයත් වරප‍්‍රසාදවලට මුවා වී මහජන සුබසිද්ධියට අදාළ තොරතුරු ලබා නොදීමක් එයින් පෙනී ගිය බැවිනි. අදාළ පත්කිරීම්වලට පඩි නඩි ගෙවීම් කෙරෙන්නේ මහජන මුදලෙනි. ඒ නිසා එම තොරතුරු දැනගැනීමට මහජනතාවට

අයිතියක් ඇති බව කොමිසම තීන්දු කළේය. ඇමැතිවරුන්ගේ විදේශ සවාරි පිළිබඳ විස්තර ද වරප‍්‍රසාද යටතේ ලබා නොදීමේ උත්සාහයක් තිබුණු අතර එහිදී ද කොමිසම තීන්දු කළේ මහජන මුදල් පරිහරණය වන එම අවස්ථාවේදී ද වරප‍්‍රසාදවලට මුවා වී තොරතුරු නොදී සිටින්නට නොහැකි බවය. මෙම තොරතුරු ලබාදීමෙන් පළාත් සභාවෙහි මතුවන තීරණාත්මක ප‍්‍රශ්නය කුමක්ද යන්න එසේ නම් පළාත් සභාව පැත්තෙන් පැහැදිලි කළ යුතුය. පළාත් සභාවට මතු නොව පාර්ලිමේන්තුවට ද අදාළ වන්නේ මෙම තර්කයමය. මෙවැනි අවස්ථා සුලභ ලෙස ඉන්දියාවේ දී ද මතුවිය. ඒ සෑමවිටම ඉන්දියාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම ද සිය තීන්දුවලට මූලිකවම පදනම් කරගත් කරුණක් විය. ඒ, ආණ්ඩුකරණයේදී පවත්වා ගත යුතු වගවීමයි.

ශ‍්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත ගෝලීය මට්ටමින් ඉහළ ශ්‍රේණියක් ගැනීමට පදනම් වූ ප‍්‍රධාන කරුණක් තිබේ. එනම් මෙය රාජ්‍ය ආයතනවලට පමණක් සීමා නොවී මහජන මුදල් පරිහරණයේදී ආණ්ඩුව සම`ග සම්බන්ධ වන සමාගම්වලට ද එය අදාළ වීමය. මහජන මුදල් භාවිතා වේ නම් අදාළ ආයතනය රාජ්‍ය ආයතනයක්ද සමාගමක් ද රාජ්‍ය නොවන සංවිධානයක් ද යන්න අදාළ නොවේ. ඒ සියලූ පාර්ශ්වවලට අදාළය. රාජ්‍ය නොවන සංවිධානයක් වුවද භාවිතා කරන්නේ ආණ්ඩුවක මුදල් නම් එයට ද මේ පනත අදාළය. ආණ්ඩුවක මුදල් යනුවෙන් මෙහිදී අදහස් වන්නේ මෙරට ආණ්ඩුව පමණක් නොවේ. එය විදේශ ආණ්ඩුවක් වීමට ද පුළුවන. උදාහරණයකට පින්ලන්ත රජයෙන් මෙරට රාජ්‍ය නොවන සංවිධානයක වැඩවලට මුදල් ලබාදීමක් කරන්නේ යැයි සිතමු. ඔවුන්ගේ ක‍්‍රියාකාරිත්වයට අදාළ විස්තර ඉල්ලා සිටීමට පුරවැසියන්ට අයිතියක් තිබේ. මන්දයත් පින්ලන්ත වැසියන්ගේ මුදල් එම ප‍්‍රදානයෙහි අන්තර්ගත වන බැවිනි. මෙකී අයිතිය සම්බන්ධයෙන් නම් ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත ඉන්දීය පනත ද පරයා ඉදිරියට පැමිණ තිබේ. මන්දයත් ඉන්දීය පනතින් අවසර දී ඇත්තේ ඉන්දියාවේ මහජන මුදල් සම්බන්ධයෙන් පමණක් වන බැවිනි.

තොරතුරු දැනගැනීමේ පනත සංස්කෘතිකව යථාර්ථයක් කිරීමට රාජ්‍ය නිලධාරි තන්ත‍්‍රයෙන් ලැබෙන සහාය ගැන ආරම්භයේදී බොහෝ දෙනාට තිබුණේ යම් කුකුසකි. එහෙත් ගත වූ කාලය නිරීක්ෂණය කරද්දී සියයට හැත්තෑ පහක් පමණ සතුටු විය හැකි තත්ත්වයක් ඇති වග කිවමනාය. ඇතැම් අමාත්‍යාංශ හා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ මට්ටමින් බලද්දී තොරතුරු ලබාදීමට ඔවුන් දක්වන උනන්දුව පැහැදිලිය.

එහෙත් මේ අතරේම තවමත් තොරතුරු නිලධාරින් හෝ නම් කළ නිලධාරියා පත් නොකළ තැන් ද නැත්තේ නොවේ. අනෙක් අතට යම් ආයතනයක තොරතුරු නිලධාරියකු පත්කළ පමණින් කාරිය නිමා නොවේ. එය මහජනතාවට දැකගත හැකි ලෙස ප‍්‍රසිද්ධ කළ යුතු අතර වෙබ් අඩවි නිර්මාණය කර යාවත්කාලීන කිරීම ඇතුළු පියවර කීපයක්ම වේ. ඇතැම් තැන්වල තොරතුරු නිලධාරින් පත් කළ ද මේ ද්විතීයික පියවර ගෙන නැත.

තොරතුරු දැනගැනීමේ මූලික අයිතියට පිටුපාන යම් ආයතනයක් වේ නම් එවැනි අවස්ථාවල අධිකරණය හමුවට යන්නට කොමිසමට නොහැකියාවක් නැති බව ද කිව යුතුය. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතෙන්ම ඊට අවශ්‍ය බලය කොමිසමට ලබා දී ඇත. එවැනි අවස්ථාවක වැරැදිකරුවකු වන තැනැත්තකුට නීතියෙන් හිමි වන දඬුවම ද බරපතළය. එහෙත් මේ දක්වා කොමිසම හමුවට පැමිණි අභියාචනාවලට අදාළ සියලූ රාජ්‍ය ආයතන අවශ්‍ය තොරතුරු ලබාදීමට පියවර ගත්තේය. එබැවින් නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවක් ද ඉස්මතු වුණේ නැත. කෙසේ වෙතත් තොරතුරු කොමිසම හැටියට මේ සියල්ල නිරීක්ෂණය කරමින් අප කියා සිටින්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය නමැති පැටි වයසේ පනත යථාර්ථයක් වීමට තවත් කාලයක් දිය යුතු බවය. කොමිසම හැකි සෑමවිටම උත්සාහ කරන්නේ සුහද හා මිත‍්‍රශීලී ලෙස තොරතුරු ලබාගැනීමේ ක‍්‍රියාවලියට සහාය වීමටය. මන්දයත් තොරතුරු ලබාගැනීමේ අයිතිය වනාහි හුදු නෛතික කාරියකින් ඔබ්බට ගිය සක‍්‍රීය පුරවැසි සමාජයකට පාර කපන මහජන අවියක් වන බැවිනි

ස්තුතිය ලංකාදීප ඔන් ලයින් අඩවියට.

Back to Top