Sri Lanka Brief
පුවත්අපේ ප්‍රචණ්ඩ ලෝකය – ජොනතන් පවර්

අපේ ප්‍රචණ්ඩ ලෝකය – ජොනතන් පවර්

by

ජායාරූපය: දකුණු සූඩානය ලෝකයේ වැඩිම ප්‍රචන්ඩ රට වේ.

ඔස්ට්‍රේලියාවේ සිඞ්නි නුවර ‘ආර්ථික සහ සාමය පිළිබඳ ආයතනය’ මගින් ප්‍රකාශයට පත්කළ, පිටු 136 කින් සමන්විත “ලෝක සාම සූචිය” අලුතෙන් පෙන්වා දෙන පරිදි, ලෝකයේ වැඩියෙන්ම සාමකාමී රටවල් වන්නේ, අයිස්ලන්තය, පෘතුගාලය, ඔස්ටි්‍රයාව, නවසීලන්තය සහ ඩෙන්මාර්කයයි. ලෝකයේ වඩාත්ම ප්‍රචණ්ඩ රටවල් වන්නේ, ඇෆ්ගනිස්තානය, ඉරාකය, සිරියාව, යේමනය සහ දකුණු සුඩානයයි.

අහසේ සිට බැලූ විට, මේ වඩාත් ප්‍රචණ්ඩ රටවල් ගොන්න, අඩු වැඩි වශයෙන්, මහ පොළොවේ එක කොණකට අයත් වන බව පෙනේ. ලෝකයේ ඉතිරි රටවල් සාමකාමී බවක් මෙයින් අදහස් නොවේ. එහෙත් සටන් පවතින එවැනි වෙනත් තැන්වල ඉහත කී රටවල්වල තරම් විනාශයක් දක්නට නොලැබේ. සිරියාවේ බහු-පාර්ශ්වීය සිවිල් යුද්ධය පිළිබඳව දෛනිකව නිකුත් වන රූපවාහිනී රූප රාමු අනුව, සිදු වෙමින් ඇති විනාශය අපට දැක ගත හැකිය. මේ රටවල් පහෙන් පිටස්තර තැන්වල ප්‍රචණ්ඩකාරීත්වය යම් පළාතකට හෝ දෙකකට සීමා වෙයි. ඒ කිසි තැනක මුළු සමාජයක්ම එකී ප්‍රචණ්ඩත්වයෙන් වෙලාගනු ලැබීමක් දක්නට නැත. පවතින තත්වයන් පිළිබඳ සමබර තත්වයක් නිරූපණය වීමට නම්, රූපවාහිනී කැමරාවේ චපල ඇසට, හිංසාවට වඩා වැඩියෙන් දර්ශනය විය යුත්තේ සාමයයි.

කොන්ගෝව, මාලි, නයිජීරියාව සහ සෝමාලියාව වැනි අප්‍රිකාවේ රටවල්වල තැනින් තැන සටන් ඇති වෙයි. ආසියාවෙන් ගත් විට, කාශ්මීරයේ, දකුණු තායිලන්තයේ, පිලිපීනයේ සහ මියන්මාරයේ මුස්ලිම් කැරලි කෝලාහල තිබේ. ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර ගැටුම් මහා යුද්ධයක ඉද්දරට වරින් වර පැමිණියත්, අවසානයේ ඇති විය හැකි ඝෝර විනාශය නිසාම, ඒවා ඊට කලින් පාලනය කර ගැනේ. කලකට පෙර නිත්‍ය දෙයක් වශයෙන් පැවති, ‘ඉන්ටිෆාඩා’ දැන් දක්නට නැත. උතුරු ඇමරිකාවේ මෙන්ම දකුණු ඇමරිකාවේත්, කැරිබියානු කලාපයේත්, කියන්නට තරම් සටන් රාශියක් නැත. එල් සැල්වදෝරයේ කල්ලි ප්‍රචණ්ඩත්වය තිබේ. හොන්ඩුරාස්හි, මිනිමැරුම් අධිකයි. කොලොම්බියාවේ සාම ගිවිසුම අස්සේත්, තැනින් තැන සටන් ඇවිලෙයි. එහෙත් සමස්තයක් වශයෙන් ගත් විට, සාමය සම්බන්ධයෙන් මෑත කාලයේ ලෝකයේ වැඩිම ප්‍රගතියක් අත් කරගෙන ඇති කලාපය දකුණු ඇමරිකාවයි.

චිකාගෝ නගරය හැරුණු කොට ඇමරිකාවේ සෑම ප්‍රධාන නගරයකම පාහේ මිනිමැරම් අනුපාතිකය පහළ ගොස් ඇතත්, ඇමරිකාවේ සාමාන්‍ය මිනිමැරුම් අනුපාතිකය සහ සංවිධානගත සාපරාධීත්වය ඉහළ මට්ටමක පවතී. බොහෝ නගරවල මෙම අනුපාතිකය පහළ යාමට හේතුව, සමහර විට කාර්යක්ෂම පොලිස් සේවාවත්, තම පුතුන් ප්‍රචණ්ඩකාරීත්වයෙන් වළක්වා තබා ගැනීමට තරම් ස්ථාවර පවුල් ජීවිතයක් සහ වෙනත් මාර්ග අහිමි දිළිඳු කාන්තාවන් සඳහා ගබ්සා කිරීමේ පහසුකම් පසුගිය අවුරුදු 30 තරම් කාලයක් තුළ පුළුල්ව තිබීමත් විය හැකිය.

ලෝකයේ වඩාත් සාමකාමී කලාපය වන්නේ යුරෝපා සංගමයයි. එසේ වෙතත්, සංවිධානගත අභ්‍යන්තර ගැටුම්වල තීව්‍රතාවත්, ප්‍රචණ්ඩ විරෝධතා නිසා ආපසු පෙර තත්වයන්ට පල්ලම් බැසීමට ඇති හැකියාවත් නිසා එම කලාපයේ ඇතැම් රටවල් අවිනිශ්චිත භාවයක සිටී. එහිදී කැපී පෙනෙන රට වන්නේ පෝලන්තයයි.

යුරෝපයේ දැක ගත හැකි මේ මහා සාමය පසුපස ඇති ප්‍රධාන හේතුව වන්නේ තවත් ලෝක යුද්ධයක් දැකීමට එම කලාපයේ ජනතාව අතර ඇති නොකැමැත්තයි. විසි වැනි සියවසේ වඩාත් ප්‍රචණ්ඩකාරී කලාපය වුණේ යුරෝපයයි. එය පුදුමයට කාරණයක් නොවේ. මන්ද යත්, අවුරුදු දහස් ගණනක් තිස්සේ, වෙනත් තැන්වලට වඩා, එම කලාපයේ යුද්ධ කෙරෙහි තද නැමියාවක් පැවතී තිබීමයි. යුරෝපා සාමයේ තවත් පදනම් ගලක් වන්නේ යුරෝපා සංගමයක් පිහිටුවා ගැනීමයි. මෝඩ ‘බ්‍රෙක්සිට්’ ව්‍යාපාරය ඉදිරියේ, යම් හෙයකින් යුරෝපයෙන් වෙන් වීමේ තීරණයක් බි්‍රතාන්‍ය ගතහොත් නැවතත් යුරෝපය පුරා යුද ගැටුම් ඇති වීමේ තත්වයක් නිර්මාණය විය හැකි බවට, හිටපු බි්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් අනතුරු ඇඟෙව්වේය. එය සමහර විට අතිශයෝක්තියක් විය හැකිය. එහෙත්, එහෙත් එය, ඇතැමුන් කියන පරිදි, පහසුවෙන් ඉවතලිය හැකි අනතුරු ඇඟවීමක් ද නොවේ. ලෝකය සමස්තයක් වශයෙන් ගත් විට, උප-සහරා අප්‍රිකාවේත්, උතුරු අප්‍රිකාවේ සහ මැද පෙරදිගත් හැරුණු කොට, හැම තැනකම දේශපාලනික භීෂණය අවම වී තිබේ. නීතියට පිටින් කෙරෙන මිනිමැරුම්, නීති විරෝධී සිරගත කිරීම් සහ වධහිංසා පැමිණවීම් ආදිය මේ කලාපයේ අඩු වී ඇත.

ගිය වසරේ, ත්‍රස්තවාදය හේතුවෙන් ඇති වන මරණ සංඛ්‍යාව සියයට 10 කින් පහළ ගොස් ඇත. වඩාත් වැදගත් ප්‍රවණතාව වන්නේ එයයි. ලෝකයේ මාධ්‍ය ක්ෂේත්‍රය එම කාරණය නොසළකා හැර තිබේ. කෙසේ වෙතත්, වඩාත් ප්‍රබල සහ සවිමත් මාධ්‍ය සංස්කෘතියක් ඇති, එසේම තමන්ගේ රටවල ප්‍රචණ්ඩ ක්‍රියාවන් සඳහා වැඩි ආවරණයක් සපයන මාධ්‍ය ජාලයක් සහිත යුරෝපය සහ උතුරු ඇමරිකාව ආදී රටවල්වල ත්‍රස්තවාදය වැඩි වී ඇති බවක් පෙනේ. අනිත් අතට, ඇතැමෙකු විහිළුවට වුවත් පෙන්වා දී ඇති එක් සත්‍යයක් වන්නේ, ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මරුමුවට පත්වෙනවාට වඩා වැඩි ප්‍රමාණයක්, ඉනිමගකින් වැටීම නිසා හෝ අතදරුවන් නාන බාල්දියේ ගිලීමෙන් මරණයට පත්වීමේ ප්‍රවණතාවක් තිබෙන බවයි. මුළු ලෝකයේම ත්‍රස්තවාදයෙන් ඝාතනය වන සංඛ්‍යාවෙන් යුරෝපයට බැර වන්නේ සියයට 2 ක් පමණි.

මිනිස් ඝාතන සේම සාහසික අපරාධත්, ලෝකයේ බොහෝ තැන්වල අඩු වී තිබේ. ජාතික ආදායමේ ප්‍රතිශතයක් වශයෙන් හමුදා වියදම් ද පහළ ගොස් තිබේ. විදේශයන්හි කෙරෙන හමුදා මැදිහත් වීම්, ජනාධිපති බරක් ඔබාමා යටතේ බෙහෙවින් අඩු කෙරුණි. මෑත කාලයේ සාමය කෙරෙහි වැඩිම නැමියාවක් පෙන්නුම් කොට ඇති කලාපය වන්නේ දකුණු ඇමරිකාවේ පිහිටි පේරු, ආර්ජන්ටිනාව, පැරගුවේ සහ ගුයනා යන රටවල් ඉදිරියෙන් සිටී. දකුණු ඇමරිකාවේ රටවල් එකොළහෙන් අටක් සාමයේ ප්‍රගතියක් පෙන්නුම් කොට තිබේ.

ඊට ප්‍රතිපක්ෂව, අප්‍රිකාවේ දේශපාලනික අස්ථාවර භාවය, වසර කිහිපයක ප්‍රගතියකින් පසු, නැවත ආපස්සට ගොස් තිබේ. ආසියාවේ ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත්, මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩත්වය නිසා දීර්ඝ කාලයක් තිස්සේ ගැටුම් බහුලව පැවති පාකිස්තානයත්, සාමය සම්බන්ධයෙන් ඉදිරියට ගොස් තිබේ.

සංක්ෂිප්තව ගතහොත්, දකුණු සුඩානය, ඇෆ්ගනිස්තානය සහ මැද පෙරදිග හැරුණු කොට, ලෝකය මීට දශකයකට පෙර තමන් වෙත තිබුණු සාමකාමී භාවය නැවත අත්පත් කරගෙන ඇත. එහෙත් අප මේ ජීවත් වන්නේ හොඳම අඩියක නොවේ. එවැනි යහපත් තත්වයක් පැවතියේ සීතල යුද්ධය අවසන් වූ ආසන්න සමයේ ය. එහෙත් නපුරු දසාවකින් ඉවත්ව අප බොහෝ දුරක් පැමිණ ඇති බව නම් සහතික වශයෙන්ම කිව හැකිය.

2017 ජුලි 29 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Our Violent World? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

 

Back to Top