Sri Lanka Brief
පුවත්විශ්ලේෂනසිය දිවි නසා ගැනිම් සහ ජනමාධ්‍ය වගකීම – සුනිල් ජයසේකර

සිය දිවි නසා ගැනිම් සහ ජනමාධ්‍ය වගකීම – සුනිල් ජයසේකර

by

පසුගිය සති කිහිපයට අදාළව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන සමාජය අතරින් වාර්තා වූ අනුවේදනීය පුවත් අතර ස්ථාන කිහිපයකදීම සිදුකරගෙන ඇති සියදිවි නසාගැනීම් පිළිබඳ පුවත්, සමාජය තුළ ප්‍රබල කම්පනයක් ඇතිකර ඇති බවත් පෙනෙන්නට තිබේ. ඒ එක් එක් සිදුවීම් වලට අදාළව මේ රටේ ජනමාධ්‍ය ඒ පිළිබඳව තොරතුරු වාර්තා කර ඇති ආකාරය හා එම වාර්තාකරණයන් සමාජය තුළ ඇතිකරන ලද කම්පනය මෙන්ම ඊට අදාළව සිදුව ඇති බලපෑම් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුවී ඇත්ද යන්න හා සිදුවන්නේ ද යන්න පිළිබඳව පැහැදිළි නැතත් සියදිවි නසාගැනීමට යොදාගත් උපාය උපාය මාර්ගයන් පිළිබඳව සැළකීමේදී කිසියම් රටාවක් දැකගත හැකිවනු ඇත. ඒ අනුව මාධ්‍ය වාර්තා හා සියදිවි නසාගැනීමට පෙළඹීම සඳහා ඇති ඉඩකඩ පිළිබඳ සමාජයේ ගැඹුරු අවධානයක් යොමුකළයුතුව තිබේ.

සියදිවි නසාගැනීම් පිළිබඳව ශ්‍රී ලංකාව තුළ වාර්තා වී ඇති දත්න හා සංඛ්‍යා ලේඛන සළකා බැලීමේදී සාපේක්ෂ වශයෙන් මෑත භාගය සියදිවි නසාගැනීම් අවම වූ කාලසීමාවක් බව පැහැදිළි කරගත හැකිය. 1950 දශකයේ ජනගහණයෙන් ලක්ෂයකට හයයි දශම නමයක්ව පැවති සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවය 1960 දශකයේදී සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් එහි උපරිම අගය වාර්තා කර ඇති 1980 දශකයේ මැද භාගයේදී එය ජනගහණයෙන් එක්ලක්ෂයකට හතළිස් හත් දෙනෙකු තරම් ඉහළ මට්ටමකට වර්ධනය වී තිබේ. එම කාලය ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම සියදිවි නසාගැනීම් අනුපාතයක් සහිත රටක් ලෙසට ද වාර්තාගත වී තිබිණ.

එහෙත් වාසනාවකට මෙන් 1996 න් පසු ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීමේ අනුපාතිකය වේගයෙන් පහළට ඇදි ආ අතර 2009 වසර වනවිට එම ප්‍රමාණය තවදුරටත් අඩුවෙමින් ජාත්‍යන්තර වශයෙන් ද ශ්‍රී ලංකාව කෙරෙහි මතුව තිබූ අයහපත් අවධානය වෙනසකට බදුන් කර තිබේ. එය එසේ වන නමුත් අදටත් අප සිටින්නේ යහපත් යැයි සතුටුවිය හැකි තත්වයක නොවේ. එය එසේ වන්නේ රටතුළ සිදුවන සියදිවි නසාගැනීම් පිළිබඳව මේ වනවිට වාර්තා වන තොරතුරු මෙන්ම ඒ සඳහා දරන උත්සාහයන් පිළිබඳව ද සළකා බැලීමේදීය. මේ පිළිබඳව අධ්‍යයනය කර ඇති සමාජ විද්‍යාඥයින්ට අනුව සමාජයක් ලෙස අප අවධානයට ගතයුතු කරුණු දෙකක් පවතී. එනම් සියදිවි නසාගැනීමට හෝ ඒ සඳහා තැත් කිරීමට මූලික වන හේතු සහ සියදිවි නසාගැනීම් පිළිබඳ වාර්තාකරණයේදි සදාචාරාත්මක මාධ්‍ය භාවිතයක ඇති වැදගත්කමයි.

සියදිවි නසාගැනීම හා ඒ සඳහා තැත්කිරීම පිළිබඳව සළකා බැලීමේදී සරළ හා පැහැදිළි නිශ්චිත හේතු ගෙනහැර දැක්වීමට අපහසු වියහැකි වුවත් සියදිවි නසාගන්නා පිරිසෙන් තුනෙන් එකක පමණ කොටසක් විශාදය නම් රෝගයෙන් පෙළී ඇති අය බව පැහැදිළි වී තිබේ. ඒ අනුව පැනනගින්නේ අප රටේ සාමාන්‍ය සමාජය මානසික සෞඛ්‍ය පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන්නේ ද යන ප්‍රශ්නයයි. මෙහිදී බොහෝ දෙනෙකු උමතුබව හා ඇතිවිය හැකි මානසික රෝග පිළිබඳව පටලවා ගෙන ඇති ආකාරයක් ද දක්නට තිබේ. ඒ අනුව පෙනී යන්නේ උමතු භාවයට පත් නොවන එහෙත් යම් යම් සුළු මානසික රෝගී තත්වයන්ගෙන් පෙළෙන සැලකියයුතු පිරිසක් අප ජීවත් වන සමාජය තුළ අප සමගම ජීවත් වන නමුත් අප ඒ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවයි.

ඒ හා සමගම සමාජයක් ලෙස අප ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන තවත් තීරණාත්මක පැතිකඩක් ද තිබේ. එනම් සදාචාර සම්පන්න මාධ්‍ය භාවිතයක ඇති වැදගත්කමයි. සියදිවි නසාගැනීම් පිළිබඳ පුවත් වැරදි ආකාරයට වාර්තා කිරීම නිසා බරපතළ ප්‍රතිවිපාක ඇතිකළ හැකි බව අප තවමත් වටහා නොගැනීමයි. මේ තත්වය සමාජය කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරන බව මේ දක්වාම අප තේරුම් ගෙන ඇති බවක් දකින්නට නොමැති වීම මෙහිදී ගැඹුරින් සැලකිල්ලට ගතයුතුව තිබේ. විශේෂයෙන්ම මෑත කාලයට අදාළව අප රටේ සිදුව ඇති සියදිවි නසාගැනීම් වලට අදාළ මාධ්‍ය වාර්තාකරණය සළකා බැලීමේදී ඒ බව පැහැදිළි කරගත හැකිය. අප රටේ ඇතැම් විද්‍යුත් මාධ්‍ය නාලිකා මෙන්ම පුවත්පත් ද එහිදී හැසිරෙන්නේ ඉතාමත් කණගාටුදායක ආකාරයකට ය.

සියදිවි නසාගැනීම් වාර්තාකරණයේදි වගකියයුතු ජනමාධ්‍යවේදීන් ප්‍රමුඛ වශයෙන් අවධානයට යොමුකළයුතුව ඇති කරුණු තුනක් තිබේ. එනම් වාර්තා කිරීමක් හේතුවෙන් කිසියම් මානසික අවපීඩනයක සිටින අයෙක් සියදිවි නසාගැනීමට පෙළඹීමට ඉඩතිබේ ද යන්න ඉන් පළමුවැන්නයි. එමෙන්ම දෙවැනි කාරණය වන්නේ අදාළ වාර්තා මගින් මියගිය අයගේ ඥාතීන්ට හා සමීපතමයන්ට ඇතිකරන බලපෑමයි. තුන්වන කරුණ වන්නේ වාර්තාව දකින නිරෝගී අයෙකු වුවත් ඒ තුළ රෝගී භාවයට පත්වීමට ඇති ඉඩකඩයි.

එහිදී විශේෂයෙන්ම සියදිවි නසාගන්නා අයගේ නම් හා ඔවුන්ගේ අනන්‍යතාවය හෙළිවන ආකාරයට තොරතුරු ඉදිරිපත් කිරීම, ඔවුන් සියදිවි නසාගත් ආකාරය පැහැදිළි කිරීම හා ඔවුන්ගේ ඡායාරූප පළකිරීම කිසිසේත්ම නොකළයුතු දේවල් ය. එහෙත් අවාසනාවකට අප රටේ බොහෝ ජනමාධ්‍ය ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමුකරන්නේ නැති තරම්ය. අද දවසේ පළවූ පුවත්පත් හි සියදිවි නසාගැනීම් පිළිබඳ සිදුකර ඇති වාර්තා අධ්‍යයනය කිරීමෙන් ඒ බව පැහැදිළි කරගත හැකිය. එය අතිශයින්ම කණගාටු වියයුතු, පිටු දැකිය යුතු තත්වයකි. එමෙන්ම සමාජ වගකීමක් ඇති කිසිදු මාධ්‍යයක් සිදුනොකළ යුතු කාර්යයකි.

සුනිල් ජයසේකර
2017-07-03

Back to Top