Sri Lanka Brief
පුවත්විශ්ලේෂනසයිටම් සහ උමා ඔය: අරගලයක සුජාතභාවය උප්පැන්නයෙන් තහවුරු නොවේ… – සුනිල් ජයසේකර

සයිටම් සහ උමා ඔය: අරගලයක සුජාතභාවය උප්පැන්නයෙන් තහවුරු නොවේ… – සුනිල් ජයසේකර

by

ජායාරූපය: උමා ඔය අරගලය රජපක්ෂ සමයේ දායාදායකි.( පින්තූරය ඩේලි එෆ් ටී)

රටක හෝ ජන සමාජයක පැන නැගෙන ඕනෑම අරගලයකට මුල්වන හේත සාධක බොහොමයක්ම සාධාරණ විය හැකි නමුත් ඒ නිසාම ඒ සෑම අරගලයක්ම යුක්ති සහගතයැයි සැළකිය යුතු නොවේ. 1971 හා 1988, 89 යුගයේ දී දකුණේ සිංහල සමාජය තුළින් මතුවූ කැරළිකාරී තත්ත්වය මෙන්ම උතුරේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් මතුකළ ත්‍රස්තවාදය මැනවින් විමසා බැලීම තුළ ඒ බව තේරුම්ගත හැකිය.

යම් කිසි අරගලයක් අසාධාරණයැයි සැලකීමට ඒ සඳහා උපයෝගි කර ගන්නා ත්‍රස්තවාදය පමණක් හේතුවක් කරගත යුතු නැත. අහිංසාවාදීව සිදුකරන අරගලයකදී පවා එවැනි අසාධාරණ අවස්ථාවන් උදාවිය හැකිය. ඒ අනුව සෑම අරගලයක්ම සාධාරණ හේතු මත පදනම් විය යුතුවා පමණක් නොව ශිෂ්ටසම්පන්න ද විය යුතුය. රටක, ජන සමාජයක හෘද සාක්ෂියට එකඟවිය යුතුය. ඇතැම්විට දැවැන්ත කැපවීම් හමුවේ ඉදිරියට ගෙන යන අරගලයකදී පවා තම සතුරු පාර්ශවය පරාජය කිරීම තුළ පමණක් සියල්ල ජයග්‍රහණය වනු ඇතැයි සිතිය යුතු නැත.

පසුගිය සියවස තුළ ඒ පිළිබඳ අසමසම නිදර්ශනය සපයා ඇත්තේ ඉන්දීය නිදහස් සටනට අසහාය නායකත්වයක් ලබාදුන් මහත්මා ගාන්ධි විසින්ය. මහත්මා ගාන්ධි සටන් කළේ ඉන්දියාව බි්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් කරගන්නටය. ඒ සඳහා මහත්මා ගාන්ධි ගෙන ගිය අරගලය සම්පූර්ණයෙන්ම අහිංසාව මත පදනම් වූ එකක් වුවත් ඔහුගේ ප්‍රතිවාදියා ඒසේ වූයේ නැත. ගාන්ධි විසින් ගෙන ගිය අහිංසාවාදී සටනට බි්‍රතාන්‍යයන් පිළිතුරු බැන්දේ තුවක්කුවෙනි. තම අනුගාමිකයන් දහස් ගණනගේ ජීවිත බි්‍රතාන්‍ය හමුදා ප්‍රහාර හමුවේ අහිමි කරමින් පැවතියද ඒ නිසාම තම අහිංසාවාදී ප්‍රතිපත්තිය දශමයකින් හෝ වෙනස් කරන්නට මහත්මා ගාන්ධි කල්පනා නොකළා පමණක් නොව සතුරාගේ විනාශය තුළ පමණක් තම ජයග්‍රහණය රැඳී ඇතැයි කිසිවිටෙක විශ්වාස නොකළේය.

දෙවන ලෝක යුද්ධයේදී බි්‍රතාන්‍ය හමුදාව ජර්මනිය ප්‍රමුඛ නාසිවාදී බලවේගයන් සමග යුද වදිද්දී මහත්මා ගාන්ධි බි්‍රතාන්‍ය වෙත තම සහයෝගය පළ කිරීම ඒ සඳහා දැක්විය හැකි ඉහළම උදාහරණයයි.

මහත්මා ගාන්ධි ඒ මගින් ප්‍රදර්ශනය කරන ලද්දේ කුමක්ද තම ජාතියේ විමුක්තිය රදා පැවතියේ ප්‍රතිවාදියාගෙන් නිදහස්වීම තුළ වුවත් ප්‍රතිවාදියා විනාශ කිරීම තුළින් නොවන බවයි. සාධාරණත්වය මත පදනම් වූ හෘද සාක්ෂියක් සහිත සටනක් පිළිබඳ දැක්විය හැකි ඉහළම ආදර්ශය එයයි.
එහෙත් අවාසනාවකට නිදහසින් පසු අප රට තුළ ඇති වූ සෑම අරගලයකම පාහේ ඒ උතුම් ගුණය දැකගත නොහැකි විය. ඒ සෑම අරගලයක් තුළම දැකගත හැකි වූ පොදු ලක්ෂණයක් වූයේ ප්‍රතිවාදියා විනාශ කිරීම තුළ පමණක් ජයග්‍රහණය රැදී ඇතැයි විශ්වාස කිරීමය. නිදහසින් පසු ගෙවුණ දශක හතක පමණ කාලය තුළදී මතුවූ විවිධ අරගලයන් තුළ ලක්ෂ ගණනාවකගේ ජීවිත පූජ කර ඇතත් ඒ කිසිදු අරගලයක් අවසාන වශයෙන් ජයග්‍රහණය කර ඇතැයි සැලකිය නොහැක්කේ ඒ නිසාය.

ඒ යතාර්ථය අදටත් වලංගුය. අද පවා මතුව ඇති අරගලයන්ට ද පොදුය. උමා ඔය වේවා, සයිටම් විරෝධි වේවා ඒ ඕනෑම අරගලයක් පසුපස ඉතාමත් යුක්තිසහගත හේතු තිබිය හැකිය. අත්‍යාවශ්‍යයෙන්ම විසදාගත යුතු බොහෝ කාරණා ඒ තුළ විය හැකිය. එහෙත් අවසානයේ එහි ජයග්‍රහණය හෝ පරාජය තීන්දුවනු ඇත්තේ ඒ සඳහා යොදාගන්නා අරගලයේ ස්වභාවය අනුවය. යුක්තිසහගතභාවය අනුවය. අරගලකරුවන්ගේ හෘද සාක්ෂියේ ස්වභාවය අනුවය.

උමා ඔය සැබෑ ජනතා ප්‍රශ්නයට විසදුමක් ලබාගැනීමටනම් ප්‍රශ්නයට මුල් වූ සැබෑ ගැටලුවලට විසඳුමක් ලබාගතයුතුවා මිසක විසදුම කුමක්දැයි සොයා බැලීමට එන ඇමතිවරුන් ප්‍රාණ ඇපයට ගැනීමෙන් ප්‍රශ්නයට විසදුමක් ලබාගතහැකි යැයි කිසිවෙකු විශ්වාස කළයුතු නොවේ. සයිටම් ගැටලුවට අදාළව ද එය එසේමය. රටේ අසරණ රෝගින් ප්‍රාණ ඇපයට තබා හෝ ඒ අතරින් යම් පිරිසක් මරු කටට යවා ඒ මතා විසදුමක් ලබාගත හැකියැයි විශ්වාස කරන්නේනම් එය අතිශයින්ම මුලාවක් වනු ඇත.

මේ යතාර්ථය තේරුම් ගැනීම මෙන්ම අරගලයක් ජය ගනු ඇත්තේ ඊට පදනම්ව ඇති කරුණු කාරණාවල යුක්තිසහගතබව නිසාම නොවන බවද ඒ සඳහා යොදා ගන්නා අරගලයේ සාධාරණත්වය තුළ බව ද මෙහිදී තේරුම් ගැනීම ඉතා වැදගත්ය.
සුනිල් ජයසේකර
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

Back to Top