Sri Lanka Brief
පුවත්විශ්ලේෂනශ‍්‍රී ලංකාවේ අද තත්වය , අලුත්ගම ගිනිතැබූ 2014 පැවති තත්වයටත් වඩා බිහිසුණුය – සංජන හත්තොටුව

ශ‍්‍රී ලංකාවේ අද තත්වය , අලුත්ගම ගිනිතැබූ 2014 පැවති තත්වයටත් වඩා බිහිසුණුය – සංජන හත්තොටුව

by
ජාරූපය: අලුත්ගම මුස්ලිම් ජනයා අඔසරණ යැවූ 2014 ගිනිතැබීම.
ජාතිවාදී වේදිකාව මත අහඹුවලට ඉඩක් නැත. අස්ගිරි කාරක සංඝ සභාවේ රැස්වීමකින් පසු අස්ගිරි මහ නාහිමියන් ප‍්‍රකාශයක් නිකුත් කිරීමත්, ඊට පසුව දා බොදුබල සේනාවේ ඥානසාර හිමි, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු දෙකක් සහිතව මාසයක් තිස්සේ සැඟවී සිට අධිකරණයට භාර වීමත් අතරේ යම් සැලසුමක්, ක‍්‍රියාවලියක්, අභිමතාර්ථයක් සහ ඇත්තෙන්ම මහත් වූ අනතුරක් ගැබ්ව තිබේ.

සහජීවනය, විවිධත්වය සහ ආගමික සහනශීලීත්වය පිළිබඳ අගමැතිවරයාගේ සහ කැබිනට් ඇමතිවරුන්ගේ නිල ප‍්‍රකාශ කෙසේ වෙතත්, සමස්ත පොලිස් සහ බුද්ධි සේවා අංශවල පරීක්ෂණ සහ සෝදිසි බලමහිමය මොන තරම් ව්‍යාප්තව තිබියත්, ඥානසාර හිමියන් ස්ව-කැමැත්තෙන් භාර වීමට තීරණය කරන තෙක්ම සැඟවී සිටීමට සමත් විය. මාධ්‍ය මගින් ප‍්‍රශ්න කිරීමේදී පොලිස් ප‍්‍රකාශකයාගේ වචන හරඹවලින් පෙන්නුම් කෙළේ, මේ තෙරුන් වහන්සේ බලගතු දේශපාලඥයන්ගේ රැකවරණය භුක්ති විඳින බවයි. සමහර විට ඔහුත් නොදැනුවත්ව යම්කිසි පුළුල් සැලැස්මක ඔහු ඉත්තෙකු වී සිටිනවා විය හැකිය. අවසානයේ ඔහු භාර වීමත්, අනතුරුව පොලීසියෙන් ඔහු ලද වරප‍්‍රසාදිත සැලකිල්ලත් තුළින් පෙන්නුම් කරන්නේ, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රීය විභවය පරිපූර්ණව සාක්ෂාත් කර ගැනීම සඳහා ජනවාරි 8 වැනි දා දෙන ලද ප‍්‍රතිඥාව නායයාමකට තුඩුදිය හැකි, නරක සහ භයානක ප‍්‍රවණතාවකි. ගිය සතියේ ඇති වූ සිදුවීම්, ආණ්ඩුවට පිටින් මෙන්ම ඇතුළෙන් ද ස්ඵන්දනය වන සැඟවුණු බල ජාලකයක ගති ලක්ෂණ කියාපායි. එය දැක ගත හැකි වන්නේ, පැහැදිළිවම ෆැසිස්ට් තර්ජනයක් ඉදිරියේ සිද්ධ වන පද්ධතිමය කඩා වැටීම දෙස බැලීමෙනි. ඒ සර්පයාගේ හිස බොදුබල සේනාවයි. එහෙත් එහි විස, ආණ්ඩුවේ නහරවැල් දිගේ ගලා යමින් නහරවැල් අඹරවයි.

අස්ගිරියේ මහ නාහිමියන්ගේ ප‍්‍රකාශනය පෙර නොවූ විරූවකි. මීට හරියටම වසර තුනටක පෙර, රාජපක්ෂ සමයේ හටගත් අලූත්ගම මුස්ලිම්-විරෝධයේ උච්ච අවස්ථාවේ පවා නිශ්ශබ්දව සිටිමින්, එදා ඥානසාර හිමියන්ගෙන් යම් දුරස්ථ භාවයක් තබා ගැනීමට මෙම නාහිමිවරු වගබලාගත්හ. එදා එම ක‍්‍රියාවන් ඔවුන් හෙළාදුටුවේ නැත. එසේම ඒවා අනුමත කෙළේ ද නැත. කොටින්ම, ඒ කිසිවකට ඔවුන් මැදිහත් නොවුණි. ඒ නිශ්ශබ්දතාවයේ නපුරු අවකාශය තුළ ගොඩනැගුණු බොදුබල සේනාව සම්බන්ධයෙන් පසුගිය සතියේ නිකුත් වූ ප‍්‍රකාශනය වනාහී, උන්වහන්සේලාගේ චර්යාවේ ගතිකයන් ඉඳුරා කනපිට හැරවීමකි. එය අනර්ථයකි. සිංහල ප‍්‍රකාශනය ප‍්‍රචාරය කළ ප‍්‍රධාන ප‍්‍රවාහයේ ඉංග‍්‍රීසි මාධ්‍ය තුළ තනි වාක්‍යයක් කෙරෙහි අවධානය යොමු කෙරුණි. එනම්, ඥානසාර හිමියන්ගේ කලහකාරී හැසිරීම සහ භාෂණය කාරක සංඝ සභාව අනුමත නොකරන බවයි.

බොහෝ දෙනා ඥානසාර හිමියන්ට නිගරු කරන බව එහි කියැවෙයි. විශේෂයෙන් උන්වහන්සේට ඇතැමුන් අමතන ආකාරය ගැන සඳහන් කරන ප‍්‍රකාශනය එය හෙලාදකී. දේශපාලඥයන් ප‍්‍රකාශ කරතියි ඔවුන් සිතන ජාතිවාදී ප‍්‍රකාශන ගැන විරෝධය පාන භික්ෂුන් වහන්සේලා ඉලක්ක කොට එම භික්ෂූන් වහන්සේලා නිහඬ කිරීමට කටයුතු කරන්නේය යන්න මේ ප‍්‍රකාශනය මගින් හෙලාදකී. එසේම, ශ‍්‍රී ලංකාවේ සිංහල-බෞද්ධයන් ඉලක්ක කොට හඳුන්වා දීමට යන්නේ යැයි ඔවුන් කියන ප‍්‍රයත්නයත් මේ ප‍්‍රකාශනය මගින් හෙලාදකී. සංහිඳියාවේ නාමයෙන් උතුරේ සහ නැගෙනහිර පෞරාණික පුරාවිද්‍යා කෞතුක වස්තු විනාශ කිරීම සහ ආරක්ෂිත ඉඩම් අත්පත් කර ගැනීමක් වශයෙන් ඔවුන් දකින තත්වයත් මේ මගින් හෙලාදකී. 
අත්අඩංගුවට පත්ව, ඇප මත නිදහස් කොට නැවත අත්අඩංගුවට පත්ව නැවත ඇප මත නිදහස් කිරීමෙන් පසු මාධ්‍ය සමග පැවැත්වූ ප‍්‍රථම කතාබහේදී මේ කාරණය ගැන වක‍්‍රාකාරයෙන් අදහස් දක්වන ඥානසාර හිමියෝ, තමන්ට වඩා ශිෂ්ට සම්පන්න, තමන්ට වඩා දැන උගත් සහ තමන්ට වඩා සිල්වත් භික්ෂූන් වහන්සේලාට මේ සටන ඉදිරියට ගෙන යාම භාර කරන බව කීහ. බොදුබල සේනාවේ ව්‍යාපෘතිය දැන් අස්ගිරියේ ප‍්‍රකාශනය සමග එකට ගත් විට සෑම භික්ෂුවකගේම ව්‍යාපෘතියක් බවට එය පත්ව ඇත. ඉතා සූක්ෂම සහ කපටි සිංහලෙන් සකසා ඇති මුල් ප‍්‍රකාශනයේ තානය සහ ගැම්ම සමග එය හොඳින් පෑහේ. ඥානසාර හිමියන් කෙරෙහි හුරතල් විවේචනයක් කිරීම හරහා මේ ප‍්‍රකාශනය තුළින් සංගත කොට විස්තාරණය කෙරුණේ, සැබවින්ම අතීතයේ පටන් බොදුබල සේනාව මගින් රැගෙන ආ මතවාදයයි.

බොහෝ දෙනා ඥානසාර හිමියන්ට නිගරු කරන බව එහි කියැවෙයි. විශේෂයෙන් උන්වහන්සේට ඇතැමුන් අමතන ආකාරය ගැන සඳහන් කරන ප‍්‍රකාශනය එය හෙලාදකී. දේශපාලඥයන් ප‍්‍රකාශ කරතියි ඔවුන් සිතන ජාතිවාදී ප‍්‍රකාශන ගැන විරෝධය පාන භික්ෂුන් වහන්සේලා ඉලක්ක කොට එම භික්ෂූන් වහන්සේලා නිහඬ කිරීමට කටයුතු කරන්නේය යන්න මේ ප‍්‍රකාශනය මගින් හෙලාදකී. එසේම, ශ‍්‍රී ලංකාවේ සිංහල-බෞද්ධයන් ඉලක්ක කොට හඳුන්වා දීමට යන්නේ යැයි ඔවුන් කියන ප‍්‍රයත්නයත් මේ ප‍්‍රකාශනය මගින් හෙලාදකී. සංහිඳියාවේ නාමයෙන් උතුරේ සහ නැගෙනහිර පෞරාණික පුරාවිද්‍යා කෞතුක වස්තු විනාශ කිරීම සහ ආරක්ෂිත ඉඩම් අත්පත් කර ගැනීමක් වශයෙන් ඔවුන් දකින තත්වයත් මේ මගින් හෙලාදකී. සිංහල ජාතිය විනාශ කර දැමීමට මාධ්‍ය තුළ ඇතැයි කියන ප‍්‍රයත්නයන්ට විරෝධය දක්වන එය, මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම රාජ්‍යයේ වගකීමක් බවත් පෙන්වා දෙයි. බුද්ධාගමේ නාමයට මුවා වී, බෞද්ධයන් සහ අබෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන ඇතැමුන් බෞද්ධ සංස්කෘතිය සහ සිංහලයා විනාශ කිරීමට කැසකවන බවත් තවදුරටත් කියයි.

මේ කරුණු විසඳීම සඳහා වන නීතිරීති වහා පනවමින් බෞද්ධ සංස්කෘතිය සහ බුද්ධාගම ආරක්ෂා කරන ලෙස මේ මගින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනු ලැබේ. වඩාත් බියකරු වන්නේ එහි සඳහන් අවසන් කාරණයයි. ශ‍්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව හැම දාමත් අබෞද්ධයන්ට ගරු කොට ආරක්ෂා කොට ඇති බව එහි සඳහන් ය. බුද්ධාගමේ මූලික වටිනාකම්වලට එරෙහිව කටයුතු කරන වෙනත් ආගම්වල අයවළුන්ගේ ක‍්‍රියාකාරකම් හෙලාදකින මෙම ප‍්‍රකාශනය, ඒ විනාශකාරී කූටෝපායට විවිධ දේශීය සහ විදේශීය බලවේගවල සහාය ලැබෙන බව කියයි. ප‍්‍රකාශනය අවසන් වන්නේ, ජනතාව බලමුළු ගැන්වීමේ ආයාචනයකිනි. එනම්, සිංහල-බෞද්ධයන්ට එරෙහිව සිදුවන මේ ක‍්‍රියාවලියට එරෙහිව නැගී සිටීම සියලූ දේශපේ‍්‍රමී ජනතාවගේ සහ සංඝයා වහන්සේගේ රාජකාරියක් බව පෙන්වා දෙමිනි.

මා දන්නා පරිදි, මේ ප‍්‍රකාශනයේ නිවැරදි පරිවර්තනයක් ඉංග‍්‍රීසි මාධ්‍ය තුළ පළවී නැත. එයම, කාරණය මනාව විදාරණය කරයි. මේ විශේෂ ප‍්‍රකාශනයේ තානය සහ ගැම්ම ගැනෙන්නේ රටේ බහුතර ප‍්‍රජාව සහ බහුතර ආගම අරමුණු කොටගෙනයි. අස්ගිරි පාර්ශ්වයේ බලගතු සංකේතමය මුද්‍රාව යටතේ බොදුබල සේනාවේ ආස්ථානය සමාජගත කිරීමේ පදනම සංඝාඥාවෙන් ස්ථාපිත කෙරේ. බොදුබල සේනාවට සහ ඥානසාර හිමියන්ට ප‍්‍රසිද්ධියේ විරෝධය පෑ, මේ වන විට අස්ගිරි පාර්ශ්වයට සහ එහි සංඝ කාරක සභාවටත් විරෝධය දක්වන පූජ්‍ය දඹර අමිල වැනි ස්වාමීන් වහන්සේලා ඉදිරියේදී අදටත් වඩා තනි වීමට ඉඩ තිබේ. පසුගිය සතියේ සිදුවීම්වල අවසාන ප‍්‍රතිඵලය වනු ඇත්තේ, අස්ගිරි පාර්ශ්වයේ සහ වෙනත් නායක භික්ෂූන්ගේ ආස්ථානය, බොදුබල සේනාවේ න්‍යාය පත‍්‍රය, දුක්ගැනවිලි, සැකසාංකා සහ ඉලක්කයන් සමග සමපාත වෙමින්, බොදුබල සේනා ආස්ථානය තවත් තර කරනු ලැබීමයි. මේ සහසම්බන්ධය, මියන්මාරයේ තත්වය සමග මූලික වශයෙන් වෙනස් වන ආකාරය මෙහිදී සැළකිල්ලට ගැනීම වටී. එම රටේ සංඝ සාසනය නියාමනය කිරීම භාර, ආණ්ඩුවෙන් පත්කරන ලද ‘සංඝ මහනායක කමිටුව’, බොදුබල සේනාවට සමානව එම රටේ ක‍්‍රියාත්මක වන ‘මා බා තා’ නැමැති භික්ෂු සංවිධානය කාරණා හතරක් මත තහනම් කෙළේය.

ඒ අනුව ශ‍්‍රී ලංකාවේ තත්වය පවතින්නේ බලවත් අවදානමකයි. එය, 2014 පැවති තත්වයටත් වඩා බිහිසුණු ය. බ්‍රෙක්සිට් ජනමත විචාරණයට මත්තෙන් බි‍්‍රතාන්‍යයේ නින්දිත ‘යූ.කේ.අයි.පී’ සංවිධානය තරමේම මැතිවරණ බලපෑමක් කිරීමට බොදුබල සේනාව සමත් විය හැකිය. බහුතර ඡන්දය අහිමි කර ගැනීමේ බියෙන් පෙළෙන මාධ්‍යමික බලවේගය වඩාත් දකුණට තල්ලූ කරමින්, ආන්තික ඔල්මාදය තහවුරු කොට සුළුතරයන් අරභයා රාජ්‍යය ගෙන යන වර්ගවාදී ප‍්‍රතිචාරයන්, අදාළ ව්‍යුහයන් සහ වෙනස් සැළකීම් දිගටම පවත්වා ගත හැකිය. මේ අනර්ථකාරී දේශපාලන ව්‍යාපෘතිය, ඇත්තෙන්ම පාර්ලිමේන්තුවට යාමේ ඡන්ද උපයා ගැනීමක්ම නොවේ. එය වනාහී, සෑම දෙයක් සහ සෑම කෙනකු අරභයාම අවිශ්වාසය, භීතිය සහ සැකය ජනනය කිරීම හරහා, ජනමත විචාරණයක් මගින් හෝ වෙනත් මැතිවරණ තරගයක් මගින් යෝජනා විය හැකි විකල්ප අනාගතයක් ප‍්‍රතික්ෂේප කිරීමකි. ඒ අර්ථයෙන් ගත් විට ඥානසාර හිමියන්ගේ සිද්ධියට වඩා ප‍්‍රශ්නකාරී වන්නේ අස්ගිරියේ ප‍්‍රකාශනයයි. දැනටත් පලූදු වී ඇති වාර්ගික-දේශපාලනික සම්බන්ධතා ඒ මගින් තවත් උග‍්‍ර කරමින්, එක දිගට ඇදගෙන යා හැකි ගැටුම්කාරී තත්වයක් සඳහා වන නිරායාස හිංසනයේ කෙම්බිමක් විය හැකි, අස්ථාවරත්වයේ බිම් බෝම්බ වැළලූ භූමියක් බවට සමාජය පත්කළ හැකිය.

මේ සියල්ල සිදුවන්නේ ජනමත විචාරණයක් ඉදිරියේ තබාගෙන වීම හුදු අහම්බයක් නොවේ. ඒ වනාහී, කල් තියා සැලසුම්ගත කළ පියවර මගින් ආණ්ඩුවේ විශ්වාසය පලූදු කොට මහජනයා අතර අප‍්‍රසාදය ඇති කරමින් අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අනාගතය කුරුවල් කිරීමකි. මෙය තවත් උග‍්‍ර කෙරෙන්නේ, යම් යාන්ත‍්‍රණයක් ඇතුළෙන් විනාශ කරන පරිඝණක වෛරසයකට සමාන අධිකරණ ඇමතිවරයා වැන්නන් අතිනි. නීතිඥ ලක්ෂාන් ඩයස් මහජන අවකාශයේ තිබෙන විමර්ෂණ දත්ත පදනම් කර ගනිමින් ප‍්‍රසිද්ධියේ කරන ලද ප‍්‍රකාශයකට එරෙහිව ඇමතිවරයා ගෙන යන ප‍්‍රහාරයන් සේම, වර්තමානයේ පවතින ජාතිවාදය පිළිබඳ ප‍්‍රශ්නයට අර්ථවත්ව ආමන්ත‍්‍රණය කිරීම සඳහා ආණ්ඩුව සතු ඕනෑම ව්‍යාපෘතියකට, අභිලාෂයකට එරෙහිව ඇමතිවරයා කරන ලද හෝ නොකර හරින ලද සෑම දෙයක්ම අස්සේ ඔහු ඇමති තනතුර දරා සිටින තාක්, එය කුරිරු සරදමක් වන්නේය.

සිංහල-බෞද්ධයන්ගෙන් විශාල පිරිසක් සහ සිංහල කතෝලික ප‍්‍රජාවන් පවා, ආගමික සුළුතරයන් සහ මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව කෙලින්ම නැතත් කඳවුරු ගස්වමින් තිබේ. වෛරය, හිංසනය සහ අනෙකා මැඩලීම සමාජය පුරා සාමාන්‍ය දෙයක් බවට පත්කළ ‘ලීබ්ර දෙ මිල් කොලින්ස්’ නමින් ගුවන් විදුලි ටෙලිවිෂනයක් රුවන්ඩාවේ තිබුණි. මීට වසර තුනකට පෙර හිංසනයට උසි ගැන්වීම සඳහා එක තනි රැස්වීමකින් කළ හැකි තරම අලූත්ගම දී අපි දැක්කෙමු. ඒ පන්නයේ අලූත් නාටකයක් සඳහා වේදිකාව දැන් සැකසෙමින් තිබේ. ඒ සඳහා ඕනෑම මොහොතක වේදිකාවට කැඳවිය හැකි කහ සිවුරුකාර ගිලටීන සූදානමින් තිබේ.

*2017 ජුනි 24 වැනි දා ‘සන්ඬේ අයිලන්ඞ්’ පුවත්පතේ පළවූA New Play නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.

Back to Top