Sri Lanka Brief
පුවත්විවරණව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අවස්ථාව ගිලිහී යමින් තිබේ – ජයදේව උයන්ගොඩ

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අවස්ථාව ගිලිහී යමින් තිබේ – ජයදේව උයන්ගොඩ

by

ජායාරූපය: ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම; ඉන් වසර තිහකට පසුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සංශෝධන ගෙන ඒමේ ගාමක බලය ශ්‍රී ලංකාව නැවතත් සීඝ්‍රයෙන් අහිමි කරගනිමින් සිටියි.

බෙහෙවින් අවමානයට පාත්‍ර වූ ඉන්දු ලංකා ගිවිසුමේ වඩාත්ම සුවිශේෂී දායකත්වය වී ඇත්තේ දිවයිනේ පශ්චාත් යටත්විජිතවාදී තත්ත්වය ප්‍රතිව්‍යූහගත කිරීමයි.

ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් 1987 ජූලි මස ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව, ඉතා සන්සුන් නොවන වසර තිහක් ගෙවී ගොස් තිබේ. මෙම ගිවිසුමේ කතාන්දරය ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද ඉතිහාසයේ කොටසක් බවට පත්වී තිබේ. කෙසේ වෙතත්” ගිවිසුමේ සම්ප්‍රාප්තියත් සමග ශ්‍රී ලංකාවේ දේශපාලනය වෙනස් වීද? එයට පිළිතුර ‘ඔව්’ සහ ‘නැත’ වේ.

ශ්‍රී ලංකාවේ 1987 වසරෙන් පසු සිදුවූ වැදගත්ම දේශපාලනික වෙනස එල්ටීටීඊ සංවිධානයේ පූර්ණ හමුදාමය පරාජය සහ එම සංවිධානයේ අභාවයයි. මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ වාර්ගික සිවිල් යුද්ධය දේශපාලනික-ව්‍යවස්ථාමය විසඳුමක අර්ථයෙන් අවසන් කිරීම සඳහා ගනු ලැබූ එක් මුල්කාලීන පරිශ්‍රමයන්ගෙන් එකක් විය. රජීව් ගාන්ධි තමන්ගේ පාර්ශවයෙන් කල්පනා කළේ, ඉන්දියාවේ මුල පිරීම හේතුවෙන් දිවයිනේ වාර්ගික අරගලය විසඳනවා ඇත යන්න පමණක් නොව, පශ්චාත් යුධ ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන්පථය හැඩගැස්වීමෙහිලා ඉන්දියාවේ භූමිකාව එයින් සාක්ෂාත් කරනු ඇත යනුවෙනි. මෙම චින්තනය ගිවිසුමේ අතුරුවිධාන මෙන්ම ඇමිණුම් මගින් ද සියුම් ලෙස විදහා දැක්විණි.

ඉන්දු-ලංකා ගිවිසුමෙහි ආසන්න අරමුණු ද්විත්වයක් විය. පළමුවැන්න වූයේ ආයුධ බිම තබා, ඉන්පසු ඊනියා දේශපාලන මධ්‍ය ධාරාවට සම්බන්ධ වන ලෙස දමිල සන්නද්ධ කල්ලිවලට පෙළඹවීමක් ඇති කිරීම හරහා ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය නිමා කිරීමයි. දෙවැන්න වූයේ ශ්‍රී ලංකා රාජ්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ ව්‍යූහික රාමුව විවර්තනය කිරීම සහ බලතල බෙදාහැරීම මගින් සුළුතර දමිල ප්‍රජාවට කලාපීය ස්වයංපාලනය ප්‍රදානය කිරීමයි. මෙම අරමුණු දෙකම ආංශික වශයෙන් පමණක් සාර්ථක විය.

ශ්‍රී ලංකාවේ ගනුනෙුවක්; එය කල්පවතියිද? 1987 අගොස්තු ටයිම් සඟරාවේ කවරයේ කතාව.

එල්ටීටීඊ ය හැර සෙසු දමිල සන්නද්ධ කල්ලි තමන් වෙත විවර ව තිබූ දේශපාලන ගමන් මග අනුගමනය කිරීමට එකඟ වූහ. ගිවිසුම ප්‍රතික්ෂේප කළ එල්ටීටීඊ ය, ශ්‍රී ලංකා රජය සමග ඵමණක් නොව ඉන්දීය රජය සමගද නැවත යුද්ධයට එළඹුණේය. ගිවිසුම අත්සන් කර මාස හතරක් ඇතුළත එහි අනුග්‍රාහකයා වූ ඉන්දියාව යුද්ධයේ සෘජු කොටස්කරුවෙකු බවට පත්වූයේ සිවිල් යුද්ධය තුළ ශ්‍රී ලාංකේය දේශපාලනයේ පෙර නොදුටු සංකීර්ණතා විදහා දක්වමිනි.

යුද්ධය දිගටම කෙරුණු අතර 2009 මැයි මාසය වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව, එල්ටීටීඊ ය තීරණාත්මක ලෙස පරාජය කරමින් කළ නොහැකි යැයි පෙනී ගොස් තිබූ ඒකපාර්ශවික යුධ ජයග්‍රහණයක් ලබාගත්තේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතර ආඛ්‍යානයට පටහැණි ව ඉන්දියාව, චීනය, රුසියාව, පාකිස්ථානය, ජපානය, යුරෝපා සංගමය, ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බොහෝ පාර්ශවයන්ගේ සහයෝගය සහ ආශිර්වාදය සමගිනි. ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයේ ‘ප්‍රථම සාර්ථකත්වය’ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා, අවිශ්වාසය සහ ප්‍රමෝදය මධ්‍යයේ පුද්ගලිකව ලකුණු දමාගත්තේය. මෙමගින් වාර්ගික අරගලය සඳහා ‘දේශපාලන විසඳුම’ නමැති, 1987 ජූලි මාසයේ ගිවිසුම කෙටුම්පත් කිරීමට මගපෙන්වූ ප්‍රවේශය බලාත්මක හා ස්ථිරසාර ලෙසම අවසන් කර දැමූ බව පෙනෙන්නට තිබේ.

ගිවිසුමේ දෙවැනි අරමුණ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සංශෝධනයක් ඉල්ලා සිටියේය. 1987 නොවැම්බරයේදී 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකළ 13 වැනි සංශෝධනය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලදී. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය බෙදාහැරීමේ මොඩලය සමීපයෙන් අනුගමනය කළ නව නීතිය, ශ්‍රී ලංකාවේ පළාත් නවයක් තුළ පළාත් සභා ක්‍රමයක් නිර්මාණය කළේය. දමිල ජාතික ප්‍රශ්නයට ප්‍රමාණවත් නොවන විසඳුමක් වශයෙන් එල්ටීටීය විසින් එය ප්‍රතික්ෂේප කළද, දහතුන් වැනි සංශෝධනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණය කළ නොහැකිව තිබූ පශ්චාත් යටත්විජිත තත්ත්වය, බහුත්වවාදය සහ බහුවාර්ගිකත්වයේ දිශාව වෙත නීති ප්‍රකාරව අවම වශයෙන් ප්‍රතිව්‍යූහගත කළේය.

අතීතාවලෝකය තුළ මෙය වනාහී දැඩි ලෙස අවමන් ලද ගිවිසුම විසින් ශ්‍රී ලංකාවේ අද්‍යතන දේශපාලනය වෙත සිදුකළ වඩාත්ම සුවිශේෂීම සහ කල්පවත්නා දායකත්වය වන්නේය. 1987 විමධ්‍යගතකරණ ක්‍රමය නිර්මාණය වූයේ ගිවිසුමේ පාඨයන් හි පැහැදිලිව දක්වා තිබෙන ආකාරයට වැදගත් පූර්ව නිගමනයන් කට්ටලයක් මත පිහිටා ය. අ) ශ්‍රී ලංකාව බහුවාර්ගික සහ බහුසංස්කෘතික සමාජයක් බව” ආ) දමිල ඉල්ලීම්වල නිර්ගමනය අවබෝධාත්මක වුවද එය දේශපාලනික වශයෙන් නොබිඳිය හැකි බව, ඇ) ඒකීය රාජ්‍යයක් සහ වෙන්වී යාම යන ද්විත්වය ම සඳහා කලාපීය ස්වයංපාලනය හොඳම විකල්පය බව, ඈ) වාර්ගික සුළුතරයන්ට නීත්‍යානුකූල දේශපාලනික සහ සෙසු දුක්ගැනවිලි හා අපේක්ෂා තිබෙන බවට වූ මුල්බැසගෙන තිබූ පිළිගැනීම තුළ, ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදය වඩාත්ම හොඳින් කළමනාකරණය කළ හැක්කේ දේශපාලන අර්ථයෙන් බව මෙම පූර්ව නිගමනයන්ට ඇතුළත් විය.

මෙහි තිබූ උනන්දු සහගතම දෙයක් වූයේ ශ්‍රී ලංකාවේ දේශපාලන ඒකීයත්වය සහ ජාතිය ගොඩනැංවීම සඳහා මෙකී අරමුණු විදහා දක්වමින් රාජ්‍යය ප්‍රතිසංස්කරණය විය යුතු බව ශ්‍රී ලංකාවේ සිංහල පාලක පන්තියට අවධාරණය කිරීම සඳහා බලවත් පිටස්තරයෙකුට යම්කිසි බලහත්කාරිත්වයක් පෑමට සිදුවීමයි. තවද බොහෝ සෙයින් ඒත්තු ගන්වා නොතිබුණද, ශ්‍රී ලංකා දේශපාලනයට බොහෝ සෘණාත්මක දේ කළ ජේ.ආර්. ජයවර්ධන විසින් සිදුකළ වඩාත්ම වැදගත් ධනාත්මක දායකත්වය එය පිළිගැනීම විය හැකිය.

ඉඳින් 1987 නොවැම්බරයේ පටන් ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමයට සිදුවී ඇත්තේ කුමක්ද? එය බොහෝ සංකීර්ණතා සහිත කථාන්දරයකි. ඒකාබද්ධ කරන ලද ‘උතුරු නැගෙනහිර පළාත’ තුළ, දමිල සන්නද්ධ කල්ලි අතර වඩාත්ම වාමාංශික වූ දමිල ඊලාම් විප්ලවීය විමුක්ති පෙරමුණ (ඊපීආර්එල්එෆ්) පළමු පළාත් සභා මැතිවරණය ජයගැනීමෙන් අනතුරුව සන්ධානයක් පිහිටවූයේ කොළඹ තිබූ අනම්‍ය, අනුකම්පා විරහිත සහ වංක දේශපාලන පන්තිය හා නිලධාරීවාදය සමග ගැටීම සඳහා පමණි. මෙකී නෂ්ටාපේක්ෂාව විසින් ස්වාධීනත්වය ඒකපාර්ශවික ව ප්‍රකාශ කිරීමටත් දේශපාලන රැකවරණය සඳහා ඉන්දියාව වෙත පසුබැසීමටත් ඊපීආර්එල්එෆ් සංවිධානය වෙත මගපෙන්වීය. බලය විමධ්‍යගතකරණය සඳහා ඉල්ලීමක් නොවූ, මුළු ගණනින් හතක් වූ සිංහල බහුතරයක් සහිත පළාත්වල පළාත් සභා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක විය. මධ්‍යගත ඒකීය රාජ්‍යයක ප්‍රබල පරමාදර්ශීය වරනැගීම තුළට හසුවෙමින් සහ මෙකී පළාත් හතට සීමා වෙමින් සකල පළාත් සභා ක්‍රමයම, කලාපීය ස්වාධිපත්‍යය වෙනුවට සිය පැවැත්ම උදෙසා ස්වකීය වූ නව දේශපාලනික හේතු සොයාගත්තේය.

එයින් හේතු ද්විත්වයක් අනෙක්වාට වඩා ඉහළින් සිටියි. පළමුවැන්න වන්නේ නීතියේ මුල් අරමුණට පටහැණිව යමින් මෙකී පළාත් සභා කොළඹ මධ්‍යම ආණ්ඩුවේ සහ පාලක පක්ෂයේ ආයතනයික දිගුවන් බවට පත්වීමයි. දෙවැන්න, දේශපාලනික දූෂණය සහ අනුග්‍රාහක දේශපාලනය විමධ්‍යගතකරණය සහ ප්‍රජාතන්ත්‍රීකරණය වූ ආයතන බවට ඒවා පරිණාමය වීමයි. යුද්ධයෙන් පසු 2013 වසරේදී අලුතෙන් පිහිටවූ සහ දෙමළ ජාතික සන්ධානයේ මහඇමතිවරයෙකු විසින් මෙහෙයවනු ලබන උතුරු පළාත් සභාව පවා මෙකී ආයතනයික පක්ෂඝාතය ආපස්සට හරවාගැනීමට සමත් වී නැත. මහ ඇමති සී.වී. විග්නේස්වරන්, තමන්ගේම පක්ෂයේ අපේක්ෂා පරදවමින් උතුරේ ජනතාවට කලාපීය ස්වයංපාලනය සැපයීමේ ව්‍යායාමය තුළ කිසිදු චිත්තෝත්පාදක කඩාබිඳ යාමක් සොයාගැනීමට සමත් වී නැත. එසේ හෙයින් උතුරු පළාත තුළ ‘විමධ්‍යගත කිරීම’ යන්නෙන් ‘විමධ්‍යගත නොවීම’ අදහස් වන අතර, බලය විමධ්‍යගතවීමක් නැත්තේ මන්ද යන්න පිළිබඳ වැඩිමනත් විවාදයක් නිර්මාණය වී තිබේ.

1987 ජූලි මාසයේ පටන් ශ්‍රී ලංකා දේශපාලනය තුළ සුවිශේෂී වෙනස්කම් සිදු වී තිබේ. වාර්ගික සිවිල් යුද්ධය අවසන් වී ඇති අතර, රාජ්‍යයට තර්ජනයක් වන සන්නද්ධ කැරළිකාර තත්වයක් රට තුළ නැත. ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විසින් මෙහෙයවූ කැරළිකාර තත්වය ද 1989 වැනි ඈත කාලයකදී පරාජය කරන ලදී. ජනතා විමුක්ති පෙරමුණ නියත වශයෙන්ම පාර්ලිමේන්තු පක්ෂයක් වශයෙන් තමන්ව නැවත සොයාගැනීමකට ලක්කරගෙන ඇත. අධිකාරිමය රෙජීමයන් ඇතිවීම සහ නැතිවීම සිදු වී තිබේ. ප්‍රති-ප්‍රජාතන්ත්‍රීකරණය සඳහා පරිශ්‍රමයන් සිදුකර ඇති අතර, ඒවා ආංශික වශයෙන් සාර්ථක වී තිබේ. ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් එකිනෙක ගැටෙන දැක්ම සහිතව, දේශපාලන නායකත්වයේ නව පරපුරක් නිර්ගමනය වී තිබේ.

මෙකී සියලු වෙනස්වීම් මධ්‍යයේ එක් නියතියක් පවතියි. එය නම් රාජ්‍යය ප්‍රතිසංස්කරණයට එරෙහිව පවතින ප්‍රතිරෝධය සහ සැබවින්ම බහුවාදිත්ව හා බහුවාර්ගික වීම සඳහා රාජ්‍යය දක්වන අසමත්කමයි. මෙය මෙසේ සිදුවී තිබෙන්නේ දේශපාලන නායකයන් විසින් මැතිවරණ දිනාගැනීම පිණිස එබඳු ප්‍රතිසංස්කරණයන් ට හා ප්‍රතිඥාවන්ට සහයෝගය දක්වමින් ලබාදුන් ජනප්‍රිය සහයෝගය නොතකා ය. ඉන්දු ලංකා ගිවිසුමෙන් වසර තිහකට පසුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සංශෝධන ගෙන ඒමේ ගාමක බලය ශ්‍රී ලංකාව නැවතත් සීඝ්‍රයෙන් අහිමි කරගනිමින් සිටියි.

ඉන්දු ලංකා ගිවිසුමේ වඩාත්ම වැදගත් උරුම දායාදය, ගිවිසුමට සහ 13 වැනි සංශෝධනයට මගපෙන්වූ, ඉහතින් දක්වා ඇති පූර්ව නිගමන කට්ටලය විය හැකිය.

(ආචාර්ය ජයදේව උයන්ගොඩ කොළඹ සරසවියේ දේශපාලන සහ මහජන ප්‍රතිපත්ති අංශයේ දේශපාලන විද්‍යා මහාචාර්යවරයා වශයෙන් කටයුතු කර පසුගියදා විශ්‍රාම ලැබීය.)

මෙම ලිපිය මුල් වරට ‘ද හින්දු’ පුවත්පතේ පළ විය.

පරිවර්තනය- නීතීඥ රදිකා ගුණරත්න

Back to Top