Sri Lanka Brief
පුවත්විවරණලංකාවේ ජනාධිපතිවරුන්ගේ සහ අගමැතිවරුන්ගේ ගොයිගම ඒකාධිකාරිය (1)

ලංකාවේ ජනාධිපතිවරුන්ගේ සහ අගමැතිවරුන්ගේ ගොයිගම ඒකාධිකාරිය (1)

by

ජායාරූපය: ඉන්දීය ජනාධිපති ධුරයට පත්වන දෙවැනි කුලහීන (දලිත්) ජනාධිපතිවරයා වන්නේ  රාම් නාත්  කෝවින්ද් ය. (NBC news)

ඩී. බී. එස්. ජෙයරාජ්.

71 වියැති නීතිඥයෙකු වන රාම් නාත් කෝවින්ද් පසුගිය ජුලි 20 වැනි බ්‍රහස්පතින්දා ඉන්දියාවේ 14 වැනි ජනාධිපතිවරයා සේ තේරී පත්විය. ඒ ගැන ඉන්දියාවේ ‘ද හින්දු’ දිනපතා ඉංග්‍රීසි පුවත්පත මෙසේ සඳහන් කෙළේය:

“සියයට 34 ක් ඡන්ද ලබා ගත්, පහළ මන්ත්‍රණ සභාවේ හිටපු කතානායකවරිය මෙයිරා කුමාර් මහත්මිය පරාජය කරමින්, සියයට 65.6 ක් ඡන්ද ලබා ගත් රාම් නාත් කෝවින්ද්ව ඉන්දියාවේ 14 වැනි ජනාධිපතිවරයා වශයෙන් පසුගිය බ්‍රහස්පතින්දා පත්කර ගැනුණි. ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන කේ. ආර්. නාරායන්ගෙන් පසු, ඉන්දීය ජනාධිපති ධුරයට පත්වන දෙවැනි කුලහීන (දලිත්) ජනාධිපතිවරයා වන්නේ කෝවින්ද් මහතා ය. ඊටත් වඩා වැදගත් වන්නේ, ඔහු දේශපාලනික වශයෙන් ඉන්දියාවේ ඉතා වැදගත් ස්ථානයක් ගන්නා උත්තර් ප්‍රදේශයෙන්, ඉන්දීය නිදහසෙන් පසු එම තනතුරට පත්වන පළමුවැන්නා වීමත්, භාරතීය ජනතා පක්ෂයෙන් ඒ සඳහා පත්වන පළමුවැන්නා වීමත් ය.

මැතිවරණ කොමසාරිස් අනූප් මිශ්‍රා විසින් ජයග්‍රාහකයා ප්‍රකාශයට පත්කිරීමෙන් පසු, එය තමාට ඉමහත් ‘හද ගැස්මක් ඇති කළ’ මොහොතක් වූ බව රාම් නාත් කෝවින්ද් මාධ්‍යයට කියා සිටියේය. ‘මං කවදාවත් මෙහෙම තනතුරක් ගැන හීන දැක්කේ නැහැ. ඒක මගේ ඉලක්කයක් වුණෙත් නැහැ. මේ තනතුරට මාව පත්කිරීම, අවංකව සහ සෘජුව වැඩ කරන හැමෝටම හොඳ පණිවිඩයක් කියලා මං හිතනවා.” යනුවෙන්, ඉන්දීය ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමටත්, සියල්ලන්ට සාමය සහ සමෘද්ධිය ළඟා කර දීමටත් ප්‍රතිඥා දෙමින් ඔහු කීය.”

ඉන්දීය ජනාධිපති ධුරය බොහෝ සෙයින් චාරිත්‍රානුකූල තනතුරක් වෙතත් එහි සංකේතාත්මක වැදගත් කමක් තිබේ. ජනාධිපතිවරයාව ඡන්දයෙන් තෝරා පත්කර ගනු ලබන්නේ, ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාව (ලෝක් සභා) සහ උත්තර මන්ත්‍රණ සභාව (රාජ්‍ය සභා) නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ රටේ විවිධ ප්‍රාන්තවල ව්‍යවස්ථාදායකයන් නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසිනි. ඒ එකිනෙක ඡන්දවලට වෙන වෙනම අගයන් තිබේ. වර්තමාන ජනාධිපති තේරීමේදී ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රීවරුන් සහ ප්‍රාන්ත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 4851 ක් වූ අතර, ඒ පිරිසේ ඡන්දවල සංයුක්ත ඡන්ද වටිනාකම 1,090,300 ක් විය. කෙසේ වෙතත්, ඡන්ද 77 ක් අවලංගු වීම නිසා (ඉන් ඡන්ද 21 ක් පාර්ලිමේන්තුවෙනි) මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව වුණේ 4774 කි. එහි සංයුක්ත ඡන්ද වටිනාකම වුණේ 1,069,358 කි. ඉන්දියාවේ වර්තමාන පාලන බලය හොබවන භාරතීය ජනතා පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද කෝවින්ද් මහතා, 702,044 ක සංයුක්ත වටිනාකමකින් යුත් ඡන්ද 2,930 ක් ලබා ගත් අතර, විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද කුමාර් මහත්මිය ලබා ගත්තේ, 367,314 ක සංයුක්ත වටිනාකමකින් යුත් ඡන්ද 1844 ක් පමණි.

දශක ගණනක් තිස්සේ ඉන්දීය දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳ යම් උනන්දුවක් දක්වන කෙනෙකු වශයෙන්, ඉන්දීය ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දය මා බෙහෙවින් අගය කරන අභ්‍යාසයකි. එහිදී මගේ වඩාත් හිත ගත් කාරණය වන්නේ, රටේ ජීවත් වන විවිධ මිශ්‍ර ජන කොටස් නිරූපණය වන ආකාරයෙන් රටේ ජනාධිපතිවරුන් තෝරා ගැනීමේ සම්ප්‍රදාය, ඉන්දියාවේ බලයට පත් ආණ්ඩු කවදත් අනුගමනය කොට ඇති ආකාරයයි. මේ තෝරා ගැනීමේ ක්‍රියාවලිය තුළ, කාලාන්තරයක් තිස්සේ, ඉන්දියාවේ විවිධ ප්‍රාදේශීය, ආගමික සහ භාෂාමය සුළු ජන කොටස් මාරුවෙන් මාරුවට ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත්වන ආකාරයෙන්, ඉන්දීය බලධාරීන් හිතාමතාම කටයුතු කොට ඇති බවක් දක්නට ලැබේ. මෑතක සිට කුලය සහ ස්ත්‍රී-පුරුෂ භාවයත් සැලකිල්ලට ගෙන තිබේ.

බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් සහ රට දෙකඩ වීමෙන් වසර විස්සකට පසු 1967 දී ඉන්දියාව ස්වකීය ප්‍රථම මුස්ලිම් ජාතික ජනාධිපතිවරයාව පත්කර ගත්තේය. ඉන් පසු 1974 දී සහ 2002 දී නැවත දෙවරක් මුස්ලිම් ජාතිකයන්ව ජනාධිපති තනතුරට පත්කර ගත්තේය. එමතුද නොව, 1982 දී ප්‍රථම වරට ඉන්දියාව ෂීක් ජාතිකයෙකුව ජනාධිපති තනතුරට පත්කර ගත්තේය. මේ ආකාරයට, අන්ද්‍රා ප්‍රදේශ්, කර්නාටක, තමිල්නාඩු සහ කේරල වැනි ඉන්දියාවේ දකුණු ප්‍රාන්තවලින් මෙන්ම, හින්දි භාෂාව කතා නොකරන මහාරාෂ්ට්‍ර සහ බටහිර බෙංගාල වැනි ප්‍රාන්තවලිනුත් ජනාධිපතිවරුන් තෝරා පත්කරගෙන තිබේ. එසේම, 2007 දී ප්‍රථම වරට ඉන්දියාව කාන්තාවක් ජනාධිපති ධුරයට පත්කර ගත්තේය. නිදහසින් අවුරුදු පනහකට පසු 1997 දී ප්‍රථම වරට කුලහීන (දලිත්) ජනාධිපතිවරයෙකු පත්කර ගත්තේය. දැන් නිදහසින් අවුරුදු හැත්තෑවකට පසුව, නැවත වරක් කුලහීන (දලිත්) ජනාධිපතිවරයෙකුව පත්කරගෙන තිබේ. මෙහි ඇති සිත් ගන්නා කාරණය වන්නේ, විපක්ෂයෙන් ඉදිරිපත් වූ මෙයිරා කුමාර් යනු, ඓතිහාසික හීනකුල දලිත් නායක ජග්ජීවන්රාම්ගේ දියණිය වීමයි. ඇය මේ අවස්ථාවේ ජයග්‍රහණය කෙළේ නම්, දෙවන දලිත් ජනාධිපති සේම ප්‍රථම දලිත් ජනාධිපතිවරියත් ඇය වනු ඇත. මේ ආකාරයට, ඉන්දියානු ජනාධිපති තෝරා පත්කර ගැනීමේ ක්‍රියාවලිය තුළ, ඉන්දියාවේ ජන විවිධත්වය සහ බහුත්ව භාවය සංකේතීයව පිළිගනු ලැබීමක දියුණු සම්ප්‍රදායක් දැකිය හැකිය.

ඉන්දියාවේ ප්‍රථම අගමැති

ඉන්දියාවේ අගමැති තනතුර තුළ පවා, බහු-වාර්ගික, බහු-ආගමික, බහු-භාෂාමය සහ බහු-කුල ඉන්දීය සමාජය නිරූපණය වනු දක්නට ලැබේ. ඉන්දියාවේ විශාලතම බහු-භාෂාමය ජන කොටස වන්නේ, හින්දි භාෂාව කතා කරන ප්‍රජාවයි. එය රටේ මුළු ජනගහනයෙන් සියයට 41 ක් පමණ වෙයි. ඉතිරි ජනතාව කතා කරන්නේ වෙනත් භාෂාවන් ය. ආගම සම්බන්ධයෙන් බැලූ විට, ජනගහනයෙන් සියයට 80 ක් හින්දු භක්තිකයන් වන අතර සියයට 15 ක් පමණ ඉස්ලාම් භක්තිකයන් ය. නිදහසින් පසු මුල් කාලයේ ඉන්දියානු අගමැතිවරුන් බිහි වුණේ හින්දි භාෂාව කතා කරන උත්තර් ප්‍රදේශයෙනි. වැඩිම ජනගහනයක් ඇති ප්‍රාන්තයත් එයයි. ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහර්ලාල් නේරු, උත්තර් ප්‍රදේශයේ අලහබාද් පළාතෙන් වුවත් ඇත්තෙන්ම ඔහු කාශ්මීර දේශයේ පණ්ඩිත් බ්‍රාහ්මණ වංශයෙනි. ඔහුගේ ඇවෑමෙන් අගමැති ධුරයට පත් ලාල් බහදූර් ශාස්ත්‍රී ද උත්තර් ප්‍රදේශයෙනි. එසේම තුන්වැනි සහ ප්‍රථම කාන්තා අගමැතිනිය වන ඉන්දිරා ගාන්ධිත් ඒ ප්‍රාන්තයෙනි. ඉන්දිරා ගාන්ධි විවාහ වුණේ, පාර්සි ජාතිකයෙකු වන ෆෙරෝස් ගාන්ධි සමගයි. ඔවුන්ගේ පුත් රජීව් ගාන්ධි 1984 දී ඉන්දීය අගමැති ධුරයට පත්විය. ඔහු තරග කෙළේත් උත්තර් ප්‍රදේශයේ පිහිටි මැතිවරණ කොට්ඨාශයකිනි.

හින්දි භාෂාව කතා කරන ප්‍රාන්තවලින් අගමැති ධුරයට පත් තවත් අය වෙති. චෞද්‍ර චරාන් සිං, වී. පී. සිං, චන්ද්‍රසේකර් සිං සහ අතාල් බිහාර් වාජ්පායි ඒ අතර වෙති. කෙසේ වෙතත්, හින්දි භාෂාව කතා නොකරන ප්‍රාන්තවලින් ද අගමැතිවරු පත්වුහ. හින්දි භාෂාව කතා නොකරන ප්‍රදේශයකින් අගමැති තනතුරට පත් ප්‍රථමයා වන මොරාජි දේශායි, ගුජරාට ජාතිකයෙකි. වර්තමාන අගමැති නරේන්ද්‍ර මෝදි ද ගුජරාටයෙනි. ජවහර්ලාල් නේරුගේ සහ ශාස්ත්‍රීගේ අභාවයන්ගෙන් පසුව දෙවරක්ම වැඩ බලන අගමැති වශයෙන් කටයුතු කළ ගුල්සරිලාල් නන්ද, පන්ජාබ් ජාතික හින්දු භක්තිකයෙකි. ඉන්ද්‍ර කුමාර් ගුජ්රාල් ද එසේ ය. ඉන්දියාවේ දකුණේ පිහිටි ප්‍රාන්ත වන අන්ද්‍රා ප්‍රදේශ් සහ කර්නාටක යන ස්ථානවලින්, පිළිවෙලින් නරසිංහ රාඕ සහ දේව් ගෝඩා අගමැති ධුරයට තෝරා පත්කර ගැනුණි. මුස්ලිම් ජාතිකයෙකු මේ දක්වා අගමැති තනතුරට පත්ව නැතත්, ෂීක් ජාතිකයෙකු වූ ආචාර්ය මන්මෝහන් සිං 2004 සිට 2014 දක්වා අගමැති තනතුර හෙබැවීය.

අගමැතිවරයා තෝරා පත්කර ගැනීම සිදුවන්නේ මැතිවරණ ප්‍රතිඵල සහ දේශපාලන බල තුලනයන් මත ය. හින්දි භාෂාව කතා නොකරන ප්‍රදේශවලින් අගමැතිවරුන් තෝරා පත්කරගෙන ඇතත් එය හිතමතා කරගත් දෙයක් නොවේ. එසේ වෙතත්, සංකේතීය ඉන්දියානු ජනාධිපති තනතුර සම්බන්ධයෙන් සළකා බැලීමේදී, ඉන්දියාවේ බහුත්වවාදී උරුමය නිරූපණය වන ලෙසින් සහ නියෝජනය වන ලෙසින් ජනාධිපතිවරුන් තෝරා පත්කර ගැනීමේදී, යම් නිශ්චිත සහ නිරන්තර ක්‍රමයක් භාවිතයේ යෙදී ඇති බව දැකිය හැකිය. අලුත්ම ජනාධිපතිවරයා පත්කර ගැනීමේදී උත්තර් ප්‍රදේශයේ හින්දි භාෂාව වහරන හින්දු භක්තිකයෙකු පත්කරගෙන ඇතත්, විශේෂත්වය වන්නේ, ඔහු (දලිත්) කුලහීනයෙකු ද වීමයි. දලිත් යනු, සමාජමය වශයෙන් සහ සංස්කෘතිකමය වශයෙන් පහත් කුල වශයෙන් සැළකෙන සමාජ පංතියකි. එබැවින් කෝවින්ද මහතාව ජනාධිපති වශයෙන් පත්කර ගැනීම තුළ, එක පැත්තකින් ඉන්දියාවේ බහු-කුලවාදී සමාජ ව්‍යුහය නිරූපණය කෙරෙන අතරම තවත් පැත්තකින් කුල අසමානතාව මුලිනුපුටා දැමීම අපේක්ෂා කරන්නන්ගේ ජයග්‍රහණයක් ද සනිටුහන් කරන්නේය.

සැසඳුම සහ පිළිසැසඳුම

ඉන්දියාවේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන සෑම අවස්ථාවකම ලංකාවේ තත්වය සමග එය සැසඳීමට සහ පිළිසැසඳීමට මගේ නැමියාවක් තිබේ. ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ඇත්තේත්, බහු-වාර්ගික, බහු-ආගමික සහ බහු-කුල සමාජයකි. ලංකාවේ ජනගහනයෙන් සියයට 75 ක් සිංහලයන් වන අතර, ඉතිරිය සමන්විත වන්නේ දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සහ වෙනත් වාර්ගික කණ්ඩායම් වලිනි. ආගමික වශයෙන් ගත් විට, බොහෝ සෙයින් සිංහල ජන වර්ගයට අයත් බෞද්ධයෝ සියයට 70 ක් වෙති. හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමිකයන්ගෙන් ඉතිරිය සමන්විතයි. කුලය සම්බන්ධයෙන් ප්‍රතිශත දැක්වීම අසීරු ය. එසේ වෙතත්, ගොයිගම සහ වෙල්ලාල යන ඉහළ කුලවලින්, පිළිවෙලින් සිංහල සහ දෙමළ ජන වර්ගයන්හි බහුතරයක් සමන්විත වන බව කිව හැකිය. බොහෝ කුලවලට අයත් ප්‍රජාවන් දේශපාලනයේ ඒ ඒ ස්ථරයන්හිදී විවිධ මට්ටම්වලින් විශේෂිත නියෝජනයක් අත්කර ගන්නා අතර, සිංහල සහ දෙමළ ප්‍රජාවන් අතරේ දේශපාලනික අධිකාරය හොබවන්නේ, පිළිවෙලින් ගොයිගම සහ වෙල්ලාල කුලයන් ය.

කුලය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම අප්‍රසන්න බව මා දන්නා මුත්, ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේත්, දේශපාලනය තුළ මෙන්ම යෝජිත විවාහවලදීත් කුල සාධකය ප්‍රධාන තැනක් ගන්නා බව අමතක කළ නොහේ. ඉන්දියාවේ මෙවර ජනාධිපතිවරණය සඳහා හීන-කුල සාමාජිකයන් දෙන්නෙකු එක විට තරග බිමට වැදීම නිසා කුල සාධකය දේශපාලන කතිකාව තුළ ප්‍රධාන තැනක් ගත්තේය. ඉන්දියානු විචාරකයෝ මේ මාතෘකාව ගැන කතා කිරීමට නොපැකිළෙති. ලංකාවේත් එම සාධකය, සිංහල දේශපාලනයේදී මෙන්ම දෙමළ දේශපාලනයේදීත් වැදගත් තැනක් ගනී. එබැවින් මේ ප්‍රශ්නය දෙස, කුහකත්වය හැකි තාක් පසෙක ලා, අවංකව බැලීම යෙහෙකි. (ඉතිරිය ඊළඟට)

(2017 ජුලි 22 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ  Govigama Monopoly of Presidents and Premiers of Sri Lanka නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

Back to Top