Sri Lanka Brief
පුවත්GSP සහනයෙන් ඵල නෙළිය හැකිද?

GSP සහනයෙන් ඵල නෙළිය හැකිද?

by

ආර්ථික විශ්ලේෂක – අමිල මුතුකුට්ටි.
ගෝලීය ආර්ථික වටපිටාවක් තුළ, ලොව කිසිදු ආර්ථිකයකට ආනයන අපනයනවලට නොගොස් හුදෙක් ස්වයං පෝෂිත ආර්ථිකයක් තුළ ජීවත් වීම අපහසු කාර්යයකි. සෑම රටකටම තමන්ට අවශ්‍ය සියලූම දේ නිපදවීම කළ නොහැකි දෙයකි. මෙනිසා ලෝකයේ රටවල් තමන්ට වඩාත්ම පහසුවෙන් ලාබදායී ලෙස නිපදවිය හැකි දේ නිපදවා අපනයනය කිරීමටත්, අනෙකුත් දේ ආනයනය කිරීමටත් යොමුවී තිබේ. මේ අනුව අන්තර්ජාතික වෙළෙඳාම තුළ ඌන සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ගැටලූ මගහරවා ගැනීමේ අරමුණෙන් යුතුවවිවිධ වෙළෙඳ සහන හඳුන්වා දී ඇත. මෙයින් ප‍්‍රධානතම වෙළෙඳ සහනයක් ලෙස GSP චකමි හඳුන්වා දිය හැකිය. ප‍්‍රථම වරට මෙම සහනය ශ‍්‍රී ලංකාවට ප‍්‍රදානය කරන්නේ 2005 වසරේදී ය. මෙමගින් ඇඟලූම් අපනයනයට, මත්ස්‍ය නිෂ්පාදන අපනයනයට විශාල පිටිවහලක් ලැබුණු අතර එමගින් ශ‍්‍රී ලාංකික අපනයන බදු රහිතව සහ සහනදායී බදු ක‍්‍රමයක් මත යුරෝපීය වෙළෙඳපොළට අපනයනය කිරීමට හැකි විය.

කෙසේ වෙතත්, 2010 වසරේ දී එවකට ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් මෙම සහනය ශ‍්‍රී ලංකාවට ලබා දීම තාවකාලිකව අත්හිටුවීමට යුරෝපා සංගමය තීරණය කළේය. එහෙත් මේ වන විට රට තුළ පවතින යහපත් දේශපාලන පරිසරය සලකා බලමින් නැවත වරක් GSP චකමි ශ‍්‍රී ලංකාවට හිමිවී ඇති අතර එය රටේ අපනයන සංවර්ධනය කිරීමට විශාල දායකත්වයක් ලබා දෙන බව පොදු පිළිගැනීමයි.

මෙම සහනය දිනා ගැනීම ආර්ථිකමය වශයෙන් විශාල ජයග‍්‍රහණයක් සේ සැලකීමට හේතු කිහිපයක් පවතී. එය ඉතාමත් කාලෝචිත යැයි හැෙඟන්නේ ශ‍්‍රී ලංකාවේ තේ වලට ලෝක වෙළෙඳපොළේ ඉල්ලූම අඩු වීම, ඇඟලූම් කර්මාන්තයට බංග්ලාදේශය වැනි තරගකාරී රටවල් සමඟ තරග කිරීම අපහසු වීම වැනි හේතු සාධක පදනම් කොට ගෙන අපනයන අංශය ඉතාම පහළ මට්ටමකට ඇදවැටී තිබුණු මොහොතක මෙවැනි සහනයක් ලැබීම ය. තවද අපනයනවලින් ආර්ථිකයට විදේශ මුදල් ගලා ඒම සිදු වන අතර එය සංචිත වැඩි කර ගැනීමට සහ රුපියල ශක්තිමත් කිරීමට ද හේතු වේ. 2009 වසරේදී යුරෝපීය රටවල් මුහුණ දුන් ආර්ථික පරිහානියෙන් මිදී වර්තමානය වන විට තරමක් යහපත් අතට හැරෙමින් පවතී. මෙවැනි වාතාවරණයක යුරෝපීය ජනතාවගේ ක‍්‍රය ශක්තිය යහපත් වීමෙන් ශ‍්‍රී ලාංකික අපනයනවලට ඉහළ ඉල්ලූමක් නිර්මාණය වේ. මෙහි තවත් එක් විශේෂත්වයක් වන්නේ දකුණු ආසියානු කලාපීය රටවල්වලින් ශ‍්‍රී ලංකාව හැරුණුකොට මෙම සහනය හිමි වන්නේ පකිස්ථානයට පමණක් වීමයි.

කලාපයේ ඇඟලූම් අපනයනය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලන බංග්ලාදේශයට මෙම සහනය හිමි නොවීමෙන් අපේ රටෙන් අපනයනය කරන ඇඟලූම් සඳහා යුරෝපීය වෙළෙඳපොළේ තරගකාරී වාසියක් නිර්මාණය වීම ද වාසිසහගත වෙයි. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට මෙම සහනය ලැබීම ස්ථීර විසඳුමක් නොව තාවකාලික විසඳුමකි. මානව සම්පත් සුරැකීම, පරිසරය ආරක්ෂා කිරීම සහ යහ පාලනය වැනි නිර්ණායවලට ශ‍්‍රී ලංකාව අනුගත වනතාක් ශ‍්‍රී ලංකාවට මෙම සහනය ලැබෙන බවට තර්කයක් නොමැත. එහෙත් එය තාවකාලික එකක් වන්නේ ශ‍්‍රී ලංකාව මැදි ආදායම් ලබන තත්ත්වයෙන් මිදී ඉහළ මැදි ආදායම් ලබන රටක්වීමෙන් පසු ශ‍්‍රී ලංකාවට මෙය තවදුරටත් හිමි නොවීමයි. පවතින ආර්ථික වර්ධනයත් සමඟ 2020 පමණ වන විට මෙම මට්ටමට ශ‍්‍රී ලංකාව ළඟා වනු ඇතැයි විශ්වාස කෙරේ. එසේ නම් නුදුරු අනාගතයේදී සහන නොමැතිව අපනයන වෙළෙඳපොළ ජයගැනීමට අවශ්‍ය කරන සැලසුම් අද සිටම සම්පාදනය වීම අනිවාර්ය වේ. රටක් වශයෙන් සංවර්ධනය වීමට නම් සහනාධාර මානසිකත්වයෙන් මිදීමට අපට සිදු වන බව ද අප අමතක නොකළ යුතුය.

යුරෝපීය වෙළෙඳපොළේ ශ‍්‍රී ලාංකික අපනයන සඳහා නිර්මාණය වන ඉහළ ඉල්ලූම සපුරා ලීමට ලංකාවේ අපනයනකරුවන් සමත් වේ ද යන්න ගැටලූවකි. මන්ද යත් නිෂ්පාදන හැකියාව පුළුල් කිරීම (capacity expansion) එක රැයකින් කළ හැකි ලෙහෙසි පහසු වැඩක් නොවන නිසාය.

GSP සහනය නොමැතිව ලෝක වෙළෙඳපොළ තුළ තරග කිරීම අපහසු වීම හේතු කොට ගෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අපනයන කටයුතුවලින් ඉවත්ව සිටි අතර ඔවුන්ට නැවතත් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට මූල්‍යමය මෙන්ම ප‍්‍රතිපත්තිමය සහයෝගය අවශ්‍යව තිබේ. මෙම ක‍්‍රියාවලිය සාර්ථක කර ගැනීමට අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්ය භාරය ඉතාමත් තීරණාත්මක වේ. අපනයනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් මුහුණ දෙන එක් ප‍්‍රධාන ගැටලූවක් වන්නේ විශ්වසනීය ගැනුම්කරුවකු සොයා ගැනීමයි. විදේශීය ගැනුම්කරුවන් මුදල් ගෙවීම් පැහැර හැරීම වැනි සිද්ධි නිසා දේශීය කුඩා පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර බිඳවැටුණු අවස්ථා ද එමටය. මෙයට පිළියමක් ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය දේශීය සැපයුම්කරුවන් සහ විදේශීය ගැනුම්කරුවන් අතර සම්බන්ධීකරණ ආයතනයක් වශයෙන් කටයුතු කිරීම අතිශය වැදගත් වේ.

වසර 2019 වන විට බි‍්‍රතාන්‍ය යුරෝපා හවුලෙන් නිල වශයෙන් වෙන්ව යෑම ශ‍්‍රී ලංකාවට GSP සහනයෙන් ලබා ගැනීමට තිබූ ප‍්‍රතිලාභ අවම කිරීමට හේතු වේ. යුරෝපය වෙත යැවුණු අපනයන මගින් සියයට 80 පමණ යැවුණේ බි‍්‍රතාන්‍ය වෙතය. මෙනිසා ඉදිරියේදී බි‍්‍රතාන්‍ය සමඟ ද්වීපාර්ශවික වෙළෙඳ ගිවිසුමක් මගින් පාඩුව පියවා ගැනීමට අවධානය යොමු කළ යුතුය.

අපනයන කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ශ‍්‍රී ලංකාවට වඩාත්ම තදින් දැනෙන්නේ එය තිරසාර ක‍්‍රමවේදයක් බැවිනි. යුරෝපා කලාපය යනු ඉතා හොඳ වෙළෙඳපොළක් සත්‍යක් වුවද අනෙකුත් වෙළෙඳපොළ පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. ලතින් ඇමෙරිකානු කලාපයේ රටවල් සහ ගිනිකොන දිග ආසියාවේ රටවල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමෙන් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කර ගත හැකිය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ චීනයේදී සමුළුවක් අමතමින් ප‍්‍රකාශ කළේ ඉන්දියාව සමඟ පවතින වෙළෙඳ ගිවිසුම තවත් පුළුල් කරන බවත්, චීනය සහ සිංගප්පූරුව සමඟ වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවත් ය. GSP සහනය ලැබීමෙන් පසු ආර්ථිකයේ ඉදිරි ගමන උදෙසා තවත් රටවල් සමඟ මෙලෙස ගිවිසුම් ඇති කර ගැනීම ශ‍්‍රී ලංකාවේ අපනයන ක්ෂේත‍්‍රය සඳහා යහපත් වේ.

නව අපනයන වෙළෙඳපොළ පිළිබඳව ගවේෂණය කිරීම මෙන්ම අපනයන විවිධාංගීකරණය පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය. කොතරම් වෙළෙඳ ගිවිසුම්වලට අත්සන් තැබුව ද, කොතරම් වෙළෙඳ සහන ලබා ගත්ත ද රටක් වශයෙන් අප අපනයනය කරන්නේ සාම්ප‍්‍රදායික අපනයන භාණ්ඩ නම් අප මෙම වෙළෙඳ සහනවලින් නිසි ප‍්‍රයෝජනය ලබා ගන්නේ යැයි කිව නොහැකිය. දැන් කළ යුත්තේ අගය එකතු කරන ලද අපනයන භාණ්ඩ විදේශීය වෙළෙඳපොළ වෙත යැවීමට අවශ්‍ය පියවර ගැනීමයි.

Back to Top