Sri Lanka Brief
පුවත්මුස්ලිම් විරෝධී ප්‍රහාර ඥනසාර සම්බන්ධ අන්තවාදීන්ගේ සංවිධානාත්මක මෙහෙයුමකි – ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු.

මුස්ලිම් විරෝධී ප්‍රහාර ඥනසාර සම්බන්ධ අන්තවාදීන්ගේ සංවිධානාත්මක මෙහෙයුමකි – ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු.

by

ජායාරූපය: ඥනසාර සහ ගෝඨාභය.

ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු විසිනි.

දැනට දේවල් සිදුවෙමින් පවතින බව පෙනෙන්නේ අතරින්පතර ය. එහෙත් ඒවා උසිගන්වන්නන් මැඩලීම සඳහා දැඩි පියවර කඩිනමින් නොගත්තොත්, ඒ විසිරී පවතින සිදුවීම් ඒකරාශී වී, වඩාත් උග්‍ර විය හැකිය. ගංවතුරින් පීඩාවට පත් සියල්ලන් කෙරෙහි වන හෘදයාංගම සානුකම්පාව පළ කරන අතරේම, ස්වභාවික ව්‍යසනය සහ පරිපාලනමය නොසැලකිල්ල මගින් ඇති කරන ලද එකී හදිසි ආපදා තත්වය කෙරෙහි වර්තමානයේ තත්පර වන ආකාරයෙන්ම මේ ප්‍රශ්නය කෙරෙහිත් යොමු වීම වැදගත් ය.

මුස්ලිම් පල්ලි සහ මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළඳ ව්‍යාපාරවලට මෑතක සිට එල්ල කෙරෙන ප්‍රහාරයන්හි ස්වභාවය දෙස බලද්දී, ඒවා සාමාන්‍ය ජනතාවගේ අප්‍රසාදයක නිරූපණයක් නොව, අන්තවාදී ආගමික සහ ජාතිකවාදී කල්ලි ගණනාවක් විසින් මනාව සංවිධානය කොට ක්‍රියාවේ යොදවනු ලබන දෙයක් බව පෙනේ. මෙහි ඇති භයානක කම වන්නේ එය තවත් උස් මහත් වී අලූත් අනුගාමිකයන්වත් ආකර්ශනය කර ගනිමින් වෙනත් අයටත් බලපෑම් කිරීමට තරම් ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත්වීමට ඇති ඉඩකඩයි. තත්වය පාලනය කර ගැනීම සඳහා වහා පියවර නොගතහොත්, රට තුළ මෙන්ම රටින් පිටස්තරව පවතින තත්වයන් ද ඔවුන්ගේ වාසියට සිටීමට ඉඩ තිබේ.

මේ සිදුවීම් තුළ බොදුබල සේනා සහ එහි නායක ගලගොඩඅත්තේ ඥානසාරගේ සෘජු මැදිහත්වීම් ඇති බවට සෘජු පැහැදිළි සාක්ෂි තිබේ. ඔහුට හිමියන් හෝ ස්වාමීන් වහන්සේ යැයි ඇමතීමට හෝ ඔහුව සැබෑ බෞද්ධ භික්ෂුවක් සේ සැළකීමට හෝ මට පුලූවන් කමක් නැත. මුස්ලිම් ජාතිකයන්ටත්, ඔවුන්ගේ පුජණීය ස්ථාන සහ ව්‍යාපාරික ස්ථානවලටත් පහර දෙමින් රට පුරා කරක් ගසන්නේ, ඔහුගේ අනුගාමික අතලොස්සක කල්ලියකි. කුරුණෑගල මුස්ලිම් පල්ලියට පහර දීම ඇතුළු මේවායින් ඇතැම් සිදුවීම් තුළ ඔහුගේ සෘජු සහභාගීත්වය පැහැදිළිව පෙන්නුම් කෙරේ. මෑතම වාර්තාගත සිදුවීම වන්නේ, ගංවතුර ඒමට කලින් (මැයි 22 වැනි දා) රත්නපුරේ කහවත්ත නගරයේ මුස්ලිම් කඩයක් ගිනි තබා විනාශ කිරීමයි.

මෙය ත්‍රස්තවාදයකි

එය ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදයේ නව ආකෘතියක් වන්නේ ඇයි? සාමාජික රටවල් අතරේ පවතින මතභේද නිසා තවමත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ත්‍රස්තවාදය පිළිබඳ සාරාර්ථ නිර්වචනයක් සොයා ගැනීමට අසමත්ව ඇති බව ඇත්තයි. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 1566 දරණ යෝජනාව තුළ ත්‍රස්තවාදය පිළිබඳ යම් විස්තරයක් සපයයි: “ඕනෑම ක්‍රියාවක්.. එහි ස්වභාවය සහ සන්දර්භය අනුව ජනතාවක් තැති ගන්වයි නම් හෝ, යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් ලවා යමක් කැරැවීමට හෝ නොකැරැවීමට බල කෙරෙයි නම්“ එය ත්‍රස්තවාදය වන්නේය.

බොදුබල සේනා සංවිධානය “ආණ්ඩුව ලවා යමක් කැරැවීමට හෝ යමක් නොකැරැවීමට“ අදහස් කරයිද නැද්ද යන්න අපි මොහොතකට පැත්තකින් තියමු. එහෙත් ඉතා පැහැදිළි කාරණය වන්නේ, “එහි ස්වභාවය සහ සන්දර්භය තුළ බොදුබල සේනා ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනතාව තැති ගන්වන“ බවයි. එය “තැති ගැන්වීම“ පමණක් නොව, දැනටමත් මුස්ලිම් ජනතාවට ඔවුන්ගේ ආගම ඇදහීමට එරෙහිව තර්ජනය කොට තිබීමට අමතරව, ඔවුන්ට හානි පමුණුවා ඔවුන්ගේ දේපොල විනාශ කොට තිබේ. ඔවුන්ගේ ආගම ඇදහීමට එරෙහිව තර්ජනය කිරීම යනු, ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු මූලික අයිතියක් වන “ආගමික නිදහස“ ඔවුන්ගෙන් උදුරා ගැනීමකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතීන් තුළ 10 වැනි වගන්තිය යටතේ මෙසේ කියැවෙයි: “සෑම පුද්ගලයෙකුටම තමන් කැමති ආගමක් හෝ විශ්වාසයක් ඇදහීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස තිබේ.“ ඥානසාර විසින් මුස්ලිම් ආගමට ගර්හා කිරීම සහ ඔහුගේ බොදුබල සේනා අනුගාමිකයන් විසින් මුස්ලිම් පල්ලි සහ ආගමික ස්ථානවලට පහර දීම තුළින් උල්ලංඝණය කෙරෙනු ලැබෙන්නේ මුස්ලිම් ජනතාව සතු එකී නිදහසයි.

වර්තමාන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැහැදිළි කිරීමට වඩා නිශ්චිත අර්ථයක් ඇමරිකාවේ ෆෙඩරල් රෙගුලාසි පද්ධතියේ අංක 28 යටතේ දැක්වෙයි: “දේශපාලනික හෝ සමාජ අරමුණු පෙරදැරිව ආණ්ඩුවක්, සිවිල් ජනතාවක් හෝ එහි යම් අංශයක් තැති ගැන්වීම හෝ බලහත්කාරය පෑම සඳහා, පුද්ගලයන්ට හෝ දේපොළට එරෙහිව බලය සහ හිංසනය නීති විරෝධීව භාවිත කිරීම“ ත්‍රස්තවාදයකි. එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇමරිකාවේ ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් තහනමට ලක්කෙරුණේ එකී නිර්වචනය යටතේ ය. එම තහනම ශ්‍රී ලංකාවේ මහත් ප්‍රශංසාවට එදා හේතු විය. ශ්‍රී ලංකාවේ වර්තමාන බොදුබල සේනා ක්‍රියාකාරකම් එම නිර්වචනය යටතේම ත්‍රස්තවාදයක් වශයෙන් සැළකිය හැකිව තිබේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙන් බොදුබල සේනාවේ බලහත්කාරය සහ හිංසනය එල්ල වන්නේ ආණ්ඩුවට එරෙහිව නොවේ. වඩාත් ජුගුප්සාජනක අන්දමින් එය එල්ල වන්නේ “සිවිල් ජනතාව“ ඉලක්ක කරමිනි. එය අලූත් ආකෘතියක ත්‍රස්තවාදයක් වන එක් හේතුවක් එයයි. ඒ වනාහී, නව-ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක ආරම්භක රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමකි. “ක්ලු ක්ලක්ස් ක්ලෑන්“ (KKK) වැනි බොහෝ නව-ෆැසිස්ට්වාදී ව්‍යාපාර ඉස්මතු වුණේ ආණ්ඩු විරෝධී ප්‍රහාර දියත් කිරීමෙන් නොව, වෛරයට පාත්‍ර සිවිල් ජන කොටස්වලට ප්‍රහාර එල්ල කරමිනි. ජාත්‍යන්තර තලයේ ඉස්ලාමීය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පවතින අද වැනි වකවානුවක, මුස්ලිම් ජනතාව ඉතා පහසු ඉලක්කයක් වන්නේය. කෙසේ වෙතත්, දෙකොණ පැටලෙන කාරණය වන්නේ, බොදුබල සේනාවත් මැද පෙරදිග අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ සහ තලිබාන් ත්‍රස්තවාදීන්ගේ දෘෂ්ටිවාදීමය ප්‍රතිරූපයක් වීමයි. ඥානසාර නායකත්වය සපයන බොදුබල සේනාව, මියන්මාරයේ අෂින් විරතු නම් භික්ෂුව නායකත්වය සපයන “969 ව්‍යපාරයට“ වඩාත් නෑකම් කියයි.

බොදුබල සේනාව යනු, ‘බද්ධ වෛරය‘ පතුරුවන නායකත්වයක් යටතේ කණ්ඩායම් කිහිපයක් ලිහිල් ආකාරයෙන් කල්ලි ගැසී සිටින එකතුවක් මිස හොඳින් බැඳුණු සංවිධාන ක්‍රමයක් හෝ හමුදාමය ආකාරයකින් සංවිධානය වූ එකතුවක් නොවන නිසාත් එය අලුත් ආකෘතියක ත්‍රස්තවාදයක් වන්නේය. එකට කල්ලි ගැසී සිටින අනිත් කණ්ඩායම් වන්නේ, ‘සිංහල රාවය‘, ‘රාවණා බලය‘, ‘සිංහ ලේ‘, ‘මහසෝන් බලය‘ සහ ‘සිංහල ජාතික බලය‘ ආදියයි. බොදුබල සේනාව ඒ සියල්ල ආවරණය කෙරෙන සංවිධානය වශයෙන් ක්‍රියා කරයි. ඔවුන් සියල්ලන් තුළම ‘ත්‍රස්තවාදී දෘෂ්ටිවාදය‘ තිබේ. එය, පසුගිය ලිපියකදී (‘මැන්චෙස්ටර් සංහාරය සහ ත්‍රස්තවාදය මැඩලීමේ අවශ්‍යතාව‘) මා දක්වා ඇති පරිදි, ‘බද්ධ වෛරය‘ සහ ‘විනාශය සඳහා වන ප්‍රේරණය සහ ජීවිත පූජා කිරීමේ අධිෂ්ඨානයට‘ අමතරව ය.

විශේෂයෙන් මේ පසුව කී කාරණා ගැන ආණ්ඩුවත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීනුත් පරිස්සම් විය යුතුව තිබේ. මන්ද යත්, මේ ක්‍රියාධරයන්ගෙන් සමහරෙක් තමන්ම බිළි වීමට ඉඩ ඇති බැවිනි. ඔවුහූ භක්ති-උන්මාදකයෝ ය. ‘සැබෑ බැතිමත්තු‘ ය. කෙසේ වෙතත්, මේ මුල් අදියරේදී නායකයන් අත්අඩංගුවට ගෙන ඔවුන් කළ වැරදිවලට නීතියෙන් දඬුවම් පැමිණවිය හැකි නම්, මේ ව්‍යාපාරය සාර්ථකව මෙල්ල කළ හැකිය. අකර්මණ්‍යව සිටීම වඩාත් රුදුරු රකුසෙකු නිර්මාණය කිරීමට තුඩුදෙනු ඇත.

මෑතකදී සිදු වූ පහරදීම්

අප්‍රේල් මැද භාගයේ සිට මුස්ලිම් පල්ලිවලට, කඩසාප්පුවලට සහ ගම්මානවලට කරන ලද පහරදීම් 12 ක් වාර්තා වී තිබේ. මේ සිදුවීම් පිළිබඳ නිරවද්‍ය භාවය තවම සනාථ කරගෙන නැති බව ඇත්ත. කෙසේ වෙතත්, එය පොලීසියට පැවරෙන රාජකාරියකි. මේ සිදුවීම්වල දිග පළල ගැන විස්තර නිවැරදි විය නොහැකි වෙතත්, එවැනි සිදුවීම් ඇති වී තිඛෙන බව සහ ඒවා යම් රටාවකට අනුව සිදුව ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැක. එකම ස්ථානයට කිහිප වතාවක්ම පහර දුන් අවස්ථාත් තිබේ. එහි තේරුම, එම පළාතේ පොලීසිය අහක බලාගෙන සිට ඇති බවයි. එබැවින්, ආණ්ඩුව පැත්තෙන් ගත් විට, ‘වෛරීය අපරාධ සඳහා වන විශේෂ පොලීසියක්‘ පිහිටුවීම ආණ්ඩුව පැත්තෙන් ගත් විට යහපත් පියවරකි. එහෙත් විශේෂ පොලීසියක් හෝ වෙනම පොලිස් අංශයක් ඒ සඳහා ඇති නිසා පළාතේ පොලිස් ස්ථාන තමන්ගේ රාජපකාරී නොකර සිටීමට එය හේතුවක් කර ගත යුතු නැත.

ඉහත සඳහන් ප්‍රහාරයන්ට කලින්, බොදුබල සේනාව සහ එහි නායක ගලගොඩඅත්තේ ඥානසාර විසින් ඒවාට උසිගැන්වීම් කළ යම් මාදිලියක් තිබේ. මුලින්ම ඔවුන්ගේ අවධානය යොමුව තිබුණේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉර්රාකමම් ප්‍රදේශය කෙරෙහි ය. ඒ අවට පෙදෙස්වල ඔවුන්ට පක්ෂපාතී අනුගාමික ශක්තියක් තිබුණි. එහෙත් ඉර්රාකමම් යනු මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන ප්‍රදේශයකි. අධිකරණය හෝ වෙනත් නිල මාර්ගයකින් විසඳාගත හැකිව තිබූ ඉඩම් ආරාවුලක් ව්‍යාජ අවසරයක් වශයෙන් ගෙන එම ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනුණි. ඒ, අප්‍රේල් මැද භාගයේ ය. එම ස්ථානය නැරඹීමට ගොස් ඇති ඥානසාර, මුස්ලිම් ජනතාව සහ ඔවුන්ගේ ආගමට එරෙහි ප්‍රකාශ ගණනාවක්ම එහිදී සිදු කොට තිබේ.

මේ මුස්ලිම් ප්‍රදේශයේම, ඔහුගේ අනුග්‍රහය යටතේ මැයි 10 වැනි දා වෙසක් උත්සවත් පවත්වා ඇත. මියන්මාරයේ සිට මුස්ලිම් සරණාගතයන් ලංකාවට පැමිණෙන බවටත්, එම ජනතාවට ඉඩම් අල්ලා ගැනීමට මේ පළාතේ මුස්ලිම් ජනතාව ආධාර කරන බවටත් ඔහු ප්‍රචාරයක් ගෙන ගියේ ද මේ කාලයේ ය. පොලොන්නරුවේ ඔනගම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඥානසාර එතැන රැඳී සිට තිබේ. ඔහු අල්ලා දෙවියන් වහන්සේ පිළිබඳ පරිහාසයෙන් කතා කිරීම තවත් අපරාධයකි. මේ සියලූ සිදුවීම් පිළිබඳ පැහැදිළි සාක්ෂි තිබේ. බොදුබල සේනාව හැසිරී ඇත්තේ, අයි.එස්. ත්‍රස්තවාදයට ලංකාවට එන ලෙස ආරාධනා කිරීමට මෙනි.

සදාචාරමය වශයෙන් අජූවයි

බොදුබල සේනා ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටක සිදුවීම සදාචාරමය වශයෙන් අජූව ය. පටු ‘වාර්ගික‘ හෝ කල්ලිවාදී හේතු පෙරදැරිව වෙනත් ආගමකට පහර දීමටත්, වෙනත් ආගමකට එරෙහිව වෛරය වැපිරවීමටත් ප්‍රචාරකවාදීව බුද්ධාගම පාවිච්චි කරන ආකාරය සිතා ගැනීමත් දුෂ්කර ය.

ධර්මාශෝක සිය 12 වැනි රාජාඥාවේ නියම පත්කොට ඇති පරිදි, “සෑම ආගමකම මූලික ධර්මතා වර්ධනය විය යුතුය. මූලික ධර්මතා වර්ධනය විවිධාකාරයෙන් සිද්ධ විය හැකිය. එහෙත් ඒ හැම දෙයකම මූලය වශයෙන් පවතින්නේ, සම්මා වාචා ය. එනම්, යහපත් හේතුවකින් තොරව, තමන්ගේ ආගම වර්ණනා කිරීමත් වෙනත් ආගමක් ගර්හාවට ලක්කිරීමත් නොකළ යුතු බව ය. යම් විවේචනයකට හේතු ඇත්නම් එය කළ යුත්තේ මෘදු ආකාරයෙනි.“

ශ්‍රී ලංකාවේ සිදුවීම් සම්බන්ධයෙන් වඩාත් වැදගත් වන්නේ සහ අදාළ වන්නේ මෙයයි:

“මේ හේතුව නිසා වෙනත් ආගම්වලට ගරු කිරීම යහපති. එසේ කිරීමෙන් තමාගේ ආගම සේම වෙනත් ආගම් ද බැබළෙයි. එසේ නොකිරීමෙන් අනුන්ගේ ආගම් මෙන්ම තමාගේ ආගමත් පිරිහෙයි. අධික භක්තිය නිසා ‘මගේ ආගම උත්කර්ෂයට නැංවිය යුතු‘ යැයි සිතා තමාගේ ආගම ගැන පාරම්බාන සහ අනෙක් ආගම් ගැන ගර්හාවෙන් කටයුතු කරන තැනැත්තා තමාගේ ආගමටත් හානි පමුණුවයි.“

ඥානසාරගේ අරමුණ ආගමික අරමුණකැ යි ගැනීම උගහට ය. ආගම් පිළිබඳ කිසි අර්ථවත් විවේචනයක යෙදෙනවා වෙනුවට ඔහු කරන්නේ අනිත් ආගම්වලට නිග්‍රහ කිරීම සහ පහර දීමයි. ඔහුගේ හැසිරීම ප්‍රචණ්ඩ ය. ඔහුට හෝ වෙනත් කෙනෙකුට ආගම් පිළිබඳ යම් විවේචනයක් ඇත්නම් එය කළ යුත්තේ සංයමයෙනි. අශෝක රජතුමා කීවා සේ, ‘යම් විවේචනයකට හේතු ඇත්නම් එය කළ යුත්තේ මෘදු ආකාරයෙනි.‘ එහිදී ‘විවේචනයේ නිදහස‘ අහිමි කෙරෙන්නේ නැත. එහෙත් එම විවේචනය වෙනත් ආගමක් ගැරහීම සඳහා නොවිය යුතුය. අවාසනාවකට ලංකාවේ බොහොමයක් දෙනා තුළ ඒ ගුණය දකින්ට නැත. මානව හිමිකම් ගැන කතා කළත් එසේමැයි. ‘විවේචනයේ නිදහස‘ යනු මොන විදිහකින්වත් මුස්ලිම් කඩ සාප්පු ගිනි තැබීම හෝ මුස්ලිම් පල්ලිවලට පහර දීම හෝ නොවේ.

බොදුබල සේනා නියෝජිතයන් විසින් මානව හිමිකම් කොමිසම හමුවට ගොස් චෝදනා ඉදිරිපත් කොට තිබීම හාස්‍ය දනවන කාරණයකි. ඔවුන් එසේ කෙළේ ඔහුව අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගන්නා යම් පියවරක් වශයෙන් නම් ඔහු කළ යුතුව ඇත්තේ මහේස්ත්‍රාත්වරයෙකු ළඟට ගොස් භාර වීමයි. නීතියේ ආධිපත්‍යයට මුහුණදීමයි. ඇත්ත තත්වය වන්නේ, මේ දක්වා පොලීසිය ඇතුලූ නීතිය ක්‍රියාවේ යොදවන බලධාරීන් ඥානසාර සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමයි. මැයි 21 වැනි දා කුරුණෑගල ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඔහු එම ස්ථානයේ සිට ඇති බවට වාර්තා වෙතත් පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන නැත.

ජාතික කාර්යභාරය

බොදුබල සේනාව සෘජුව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලීසියේ ඉහළ නිලධාරීන් වගකිව යුතු වීමටත් පිළිවන. නොවීමටත් පිළිවන. එහෙත් සාමාන්‍ය මුස්ලිම් පොදු ජනතාව සහ ඔවුන්ගේ ව්‍යාපාර ගැන පැතිරෙන ප්‍රචාරක අගතීන් සහ දුර්මත විසින් ඔවුන්ව යම් ව්‍යාකූලත්වයකට පත්කොට තිඛෙනවා හෝ ඔවුන් කෙරෙහි ඒ අගතීන් සහ දුර්මත බලපා තිඛෙනවා විය යුතුය. බොහෝ කාලයක් තිස්සේ අප දැක ඇත්තේ එවැනි තත්වයකි. 20 වැනි සියවසේ මුල භාගයේ පියදාස සිරිසේනගේ නවකතා හරහා මේ අගතීන් ප්‍රචාරය කෙරුණි. 1970/80 කාලයේ පේරාදෙණියේ මගේ අසල්වැසියන් මේ මුස්ලිම්-විරෝධී අගතීන්වලට ගොදුරු වී සිටි සැටි මම අත්දැකීමෙන් දැක ඇත්තෙමි.

ඒ හා සමානවම, මගේ ළමා වියේදී, සිංහල බෞද්ධයන් සහ මුස්ලිම් ජාතිකයන් මොරටුව-හොරේතුඩුව ප්‍රදේශයේ සහයෝගයෙන් සහ සහෝදරත්වයෙන් වෙසෙන සැටිත් මා අත්දැක තිබේ. එබැවින් එය මිශ්‍ර තත්වයක් හෝ පැවති තත්වයක් උග්‍ර වීමක් හෝ විය හැකිය. සමහර මුස්ලිම් ජාතිකයන් තමන්ගේ ව්‍යාපාර කරගෙන යන ආකාරය සම්බන්ධයෙන් ඇතැම් සිංහල ව්‍යාපාරිකයන් තුළ නොරිස්සුම් සහගත ස්වභාවයක් ඇති කරනවා විය හැකිය. එහෙත් එය, ඔවුන්ගේ කඩසාප්පු සහ ව්‍යාපාරික ස්ථානවලට පහර දීමට හෝ ගිනි තැබීමට හේතුවක් නොවිය යුතුය. එසේම මේ තත්වයට හේතු වන්නේ, ලාභය සඳහා වන තරගය හෝ හුදු ඊර්ෂ්‍යාව වීමටත් පිළිවන.

නීතියේ ආධිපත්‍යය වැදගත් වන්නේ එවැනි තත්වයකයි. අනවබෝධය සහ අගතීන් ගැන පවා, දැනට ඉමහත් ප්‍රසිද්ධියක් ඇති ජාතික සංහිඳියා ප්‍රයත්නයන් සහ ඊට අදාළ වැඩ පිළිවෙලවල් තුළ සාකච්ඡාවට ගැනීම වැදගත් ය. එහිදී මුස්ලිම් ජාතිකයන්ටත් යම් කාර්ය භාරයක් පැවරෙයි.

එසේ නොමැතිව, ශ්‍රී ලංකාවට මේ විදිහට ඉදිරියට යාමට පුලූවන් කමක් නැත. 2014 ජුනි මාසයේ දී අළුත්ගමදී කරන ලද ප්‍රහාරයන්ගෙන් පසුව, 1915 සිංහල-මුස්ලිම් ගැටුමේ ශත සංවත්සරය 2015 දී පැවැත්වීමට බොදුබල සේනාව ලකලෑස්ති වන බව හැම පැත්තකින් පෙනෙන්ට තිබුණි. එම විනාශය වැළැකුණේ අලුත් ආණ්ඩුවක් යටතේ අලුත් දේශපාලන තත්වයක් ඇති වීම නිසා ය. එනිසා තත්වය කළමනාකරණය කර ගැනීමේ විශේෂ වගකීමක් වර්තමාන ආණ්ඩුවට තිබේ. එහෙත් අතීත ආණ්ඩුවේ කොටසක් වර්තමාන ආණ්ඩුවේ කොටසක් ද වීම, සමහර විට මේ ප්‍රශ්නයේ කොටසක් විය හැකිය.

පසුගිය අප්‍රේල් සහ මැයි මාසයේ ඇති වූ සිදුවීම් ජාතික ඒකාග්‍රතාවට සහ සංහිඳියාවට අනර්ථකාරී ය. එය පාලනය කළ යුත්තේ, ඇතැමුන් කියන පරිදි, යකඩ හස්තයකින් නොව, නීතියේ ආධිපත්‍යයෙනි. පක්ෂ දේශපාලනයෙන් එහා යන ජාතික සම්මුතියක් ඇති කරගත යුතු අතර සියලූ පක්ෂ සහ කණ්ඩායම් හැකි තාක් ඒකරාශී කළ යුතුව තිබේ. කිසිම දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක්, වර්තමාන බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරකම් හෘද සාක්ෂියකට එකඟව අනුමත කරනු ඇතැයි සිතිය නොහැක. සියලූ දේශපාලන පක්ෂවල ස්ථාවරය වන්නේ, එවැනි තත්වයක් පිටුදැකීම බව පැහැදිළි ය.

එබැවින් එම විභවය උපරිමයෙන් ප්‍රයෝජනයට ගත යුතුය. බොදුබල සේනාවේ නරුම ක්‍රියාකාරකම් අනුමත නොකරන පක්ෂ (වමේ) එකාබද්ධ විපක්ෂය තුළ පවා සිටී. එම බලවේගත් මේ තත්වයට එරෙහිව යොදාගත යුතුව තිබේ.

මේ දිනවල ජාතික ආරක්ෂාව පිළිබඳ බොහෝ කතාබහ කෙරේ. ජාතික ආරක්ෂාවට තිබෙන භයානකම තර්ජන වන්නේ, ජාතික වශයෙන් සේම ජාත්‍යන්තර වශයෙන් ද, රටේ පවතින ආගමික අසමගියයි. එම තත්වය සමහන් කර ගැනීමේ එල්ලය සහිත, පොදු එකඟත්වයක් ඇති කර ගැනීම අරමුණු කරගත්, විශේෂ පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය කෙරේ. ගංවතුර ආපදා කළමණාකරන කටයුතු තරමටම මේ කාරණයත් වැදගත් වන්නේය.

(2017 ජුනි 1 වැනි දා ‘ඩේලි එෆ්.ටී.‘ පුවත්පතේ පළවූ  A New Form of Anti-Muslim Terrorism in Sri Lanka: What is to be done? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය   “යහපාලනය ලංකා“ අනුග්‍රහයෙනි )

Back to Top