Sri Lanka Brief
පුවත්විවරණනව ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයි? – මහාචාර්ය නවරත්න බණ්ඩාර

නව ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයි? – මහාචාර්ය නවරත්න බණ්ඩාර

by

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී. එහි ඇතැම් කොටස් මේ වන විටත් සකස් වී තිබේ. තවත් කොටස් සකස් කරමින් තිබේ. මතභේදයට තුඩු දිය හැකි කරුණු පිළිබඳ එකඟත්වයක් ඇති කරගැනීමට අගමැතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන පක්ෂ නායක කමිටුවට බාරදී තිබේ. විධායක ජනාධිපති ක්‍රමය බලය බෙදාහැරීම මැතිවරණ ක්‍රමය රාජ්‍යයේ ස්වභාවය ආදී කරුණු ඊට පවරා ඇත. ඒ පිළිබඳ සාකච්ඡා සිදුවෙමින් තිබේ. මේ සියල්ල එකතු කළ විට අලුත් ව්‍යවස්ථාවක් සඳහා වන පූර්ණ සාකච්ඡාවක් මේ වන විට පාර්ලිමේන්තුව තුළ පවතී. ඒවා තවමත් එළියට පැමිණ නැත්තේ මෙහෙයුම් කාරක සභාව විසින් අනුමත කරනු ලැබ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුව ඇති බැවිනි.

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අනුකමිටු තම වාර්තා ඉදිරිපත් කර ඇති අතර ඒවා ප්‍රකාශයට පත් කර ඇත. ඒවායේ අඩංගු කරුණුවලින් ව්‍යවස්ථාවට ඇතුළත් කළ හැක්කේ මූලික මූලධර්මීය කාරණා පමණි. ඉතිරි ඒවා පාර්ලිමේන්තු නීති සහ පරිපාලන විධිවිධාන ලෙස පැමිණිය යුතුය. උදාහරණ ලෙස පළාත් සභා ක්‍රමය සහ රාජ්‍ය සේවය පිළිබඳ යෝජනා දෙස බලනවිට පෙනෙන්නේ ඒවා සඳහා වෙනම පණත් ද අවශ්‍ය වන බවයි.

මේ අතර දේශපාලන ක්ෂේත්‍රයේ වෙනත් සාකච්ඡාවක් ද සිදුවෙමින් පවතී. එමගින් උත්සාහ කරනු ලබන බව පෙනෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බව පෙන්වා දීමය. පවතින ව්‍යවස්ථාවම සංශෝධනය කොට ගෙන ඉදිරියට යාම එහි අරමුණයි . විධායක ජනාධිපති ක්‍රමය, ඡන්ද ක්‍රමය ආදී වෙනස් කළ යුතු දේවල් පමණක් වෙනස් කිරීම ප්‍රමාණවත් බවද ඇතැමෙක් කියති. මා අද වැඩිපුර අවධානය යොමු කරන්නේ පවතින ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් පැනවීම අවශ්‍ය වන්නේ මන්දැයි පෙන්වාදීමටය.

පවතින ව්‍යවස්ථාව 1978 සම්මත කරගන්නා ලද්දකි. එතැන් සිට ගතව ඇති කාලය අවුරුදු තිස් අටකට වැඩිය. එදා එය සෑදීමට මුල් වූ අයට ඒ සඳහා පැවතියේ ජනතාව වශයෙන් අපට තිබුණු අවශ්‍යතාව නොවේ. පාලකයන්ට තමන් ලබා ගත් බලය තවත් තහවුරු කරගෙන ලැබුණු බලය රැකගැනීමේ අවශ්‍යතාවයයි. එය තුළින් තමන්ට එදා අවශ්‍යව තිබූ කටයුතු ක්‍රියාවට නැගීම පහසු කරගැනීමයි.

එම ව්‍යවස්ථාව 1978 සැප්තැම්බර් 30 දින අනුමත කෙරුණි. ඒ වන විට විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කොට එහි පුද්ගලයකු දිවුරුම් දී තිබිණ. එය සිදුවූයේ 1978 පෙබරවාරි 4 වෙනිදාය. එතෙක් ක්‍රියාත්මක වූයේ 1972 ව්‍යවස්ථාවයි. ඒ අනුව විධායක ජනාධිපති ධූරය ඇති කරන්නේ 1972 ව්‍යවස්ථාව උපයෝගී කොට ගනිමිනි. 72 ව්‍යවස්ථාවේ බලය සංවිධානය කොට තිබූ ආකාරයට සහ ජනාධිපති ධූරයේ බලතල ව්‍යවස්ථාවේ ලියා තිබූ අන්දමට සංශෝධනයකින් බලය විධායක ජනාධිපති අතට ගැනීමට ජයවර්ධන මහතාට බෙහෙවින් පහසු විය. ඔහු කළේ “අගමැති විසින් ජනාධිපති පත් කෙරේ. ජනාධිපති අගමැතිගේ උපදෙස් පිට ක්‍රියා කල යුතුය “ යනාදී වගන්ති ඉවත් කිරීමය. පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට අගමැතිට බලය පැවරුණු වගන්තියද ඉවත් කිරීමය. තවදුරටත් “අගමැතිගේ උපදෙස් පිට ක්‍රියා කිරීම අවශ්‍යය.“ වැනි ජනාධිපති බලයට පැවති බාධා ඉවත් කිරීම ද මගින් ඉබේම ජනාධිපති ධුරය ඉහළට එසවිණි. ඔහු පූර්ණ බලය ඇති විධායකයා බවට පත් කෙරිණ.

මේ සියල්ල ලිවීමෙන් අනතුරුව “ඒ අවස්ථාව වන විට අගමැති ධුරයේ සිටින මන්ත්‍රීවරයා 1978 පෙබරවාරි 4 දින ජනාධිපති වශයෙන් පත්වේ.“ කියා සංශෝධනයක් ද එකතු කරන ලදී. එම සංශෝධනය කිසිම අවස්ථාවක ජනතා සංවාදයට ලක් වූයේ නැත. එසේ වීමට එය එළියට ආවේ ද නැත. ව්‍යවස්ථා සංශෝධනය පෙර දින උදයේ හදිසි කෙටුම්පතක් ලෙස අධිකරණයේ මතය ලබා ගෙන එදිනම සවස සම්මත කරගෙන ඇති බව අප දැනගත්තේ ද පසුදා උදේ පත්තරවලිනි. “ඊයේ සවස දෙකත් රාත්‍රි නවයත් අතර පාර්ලිමේන්තුවේදී මේ සංශෝධනය සම්මත කරන ලදී.“ යනුවෙන් උදෑසන පත්තරවල පළ වී තිබුණි.

ජනතාව නිදි අතරේ ආ විධායක ජනාධිපති

1972 ව්‍යවස්ථාවට සංශෝධනයන් එක් කිරීමක් සිදුවීමක් බැවින් කැබිනට් එක එය හදිසි කෙටුම්පතක් බව කියන්නේ නම් එය ගැසට් කිරීමක් හෝ එළියට දැමීමක් නොකරයි. ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පැය හතළිස් අටක් ඇතුළත දැනුම් දිය යුතුවේ. ඒ පැය හතළිස් අටේ තීරණය එදා උදේ දහයට දුන්නේය. කථානායක එය පාර්ලිමේන්තුවට දැනුම් දුන් පසු ඇමැතිවරයෙකු ප්‍රකාශ කළේ අද සවස දෙකට මේ විවාදය ආරම්භ කරන බවය. ඒ වන විට ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තිබුණි. එබැවින් දවල් දෙකට පටන් ගෙන සවස අට වෙන්නට කලින් අවසන් කළේය. මෙසේ ජනතාව නිදා සිටි රාත්‍රියක පැය හයකට අඩු කාලයකදී එලෙස විධායක ජනාධිපති ධූරය ලංකාවට හඳුන්වා දෙන ලදී. පැවැති කැබිනට් ආණ්ඩු ක්‍රමය ජනාධිපති ක්‍රමයකට පරිවර්තනය කිරීමේ වෙනස ආරම්භ කළේ ඒ අන්දමට ය.

1977 මා විශ්ව විද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස සිටි එම අවධියේ දී සිදුවූ මේ සංශෝධනයේ ප්‍රතිවිපාක පිළිබඳ එවක මම ඇත්ත පුවත්පතට ලිපියක් ලීවෙමි. එය 1977 ඔක්තෝබර් මාසයේ දී “ඇත්ත“ පුවත්පතේ කොටස් තුනකට පළ විය. මේ සංශෝධනය මගින් අලුත්ම ආණ්ඩුක්‍රමයක් රට තුළ ස්ථාපිත වෙන බව එම ලිපියෙන් මම පෙන්වා දුන්නෙමි. 1947 ව්‍යවස්ථාව යටතේ පැවැති ක්‍රමය යටතේ සිට නාමික විධායකය අග්‍රාණ්ඩුකාරයා විය. අග්‍රාණ්ඩුකාරයාට එරෙහිව නඩු පැවරිය නොහැකි විය. හේතුව අග්‍රාණ්ඩුකාරයා එංගලන්තයේ රැජිනගේ නියෝජිතයා වීම සහ එංගලන්තයේ රැජින වැරදි නොකරන බවට වන පූර්ව නිගමන මූලධර්මයයි. නාමික තනතුරකට වගකීම් පැවරීමක් සිදු නොකරන පදනම මතය. එය 1972 ව්‍යවස්ථාව ද ඉදිරියට ගෙන ගියේය. එදා ජනාධිපති නාමික විධායක වූ බැවිනි. 1977 මේ සංශෝධනයේ දී ජනාධිපති දේශපාලන විධායකය බවට පත් කෙරුණ ද එම වගන්තිය ඉවත් නොකෙරිණ. මෙසේ දේශපාලන නායකයකු වන ජනාධිපතිවරයා නීතියට ඉහළින් තබන ලදී.

මෙලෙස නිර්මාණය කරන ලද ජනාධිපති තනතුරේ බලය ශක්තිමත් කිරීම ඉලක්ක කර ගෙන 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන ලදී. මැතිවරණ ක්‍රමය ආදී සියලූ දේ සකස් කරන ලද්දේ ජනාධිපති ධූරය ශක්තිමත් කිරීමට අවශ්‍ය වන ආකාරයටය. එහි බලය දුර්වල කළ හැකි සියලු දේම ඉවත් කරන ලදී. පැනවුණු එකම සීමාව වූයේ එක් පුද්ගලයෙකුට විධායක ජනාධිපති ධුරයට දෙවරකට වඩා පත්විය නොහැකි බවට වන සීමාවය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 18 වන සංශෝධනය ගෙන එමින් පසුව ඒ එකම සීමාව ද ඉවත් කර දැමීය.

එහෙත් පැවරුණු බලය විශාලය. ජනාධිපති රාජ්‍යයේ නායකයා. විධායකයේ නායකයා. ආන්ඩුවේ නායකයා සහ සේනාධිනායකයා ද විය. රාජ්‍යයේ නායකයා වන විට කිසිදු භේදයකින් තොරව සියලු ජනතාවගේ නායකයා විය යුතුය. එහෙත් විධායකයේ නායකයා වූ විට තත්ත්වය ඊට ප්‍රතිවිරුද්ධ විය. ඇමැතිවරුන් පත් කරනු ලබන්නේ ද ජනාධිපති විසින්ය. ඔවුනට පැවරෙන්නේ ජනාධිපති පවරණ විධායක බලතලය. බලය නොවේ. ජනාධිපති පත්කරන ඇමැතිවරුන් අමාත්‍ය මංඩලය ලෙස ආණ්ඩුව වේ. ඒ ආණ්ඩුවේ නායකයා ජනාධිපතිය. එම නිසා ඇමති මංඩල රැස්වීම්වල මූලාසනය ගන්නේ ජනාධිපතිය. ජනාධිපතිවරයාට හිතුමතයේ ඇමැතිවරුන් පත් කිරීමට හැකියාව ව්‍යවස්ථාවෙන් ලැබිණ. ඇමැතිවරුන් පමණක් නොව අගමැතිවරයකුද හිතුමතයේ පත් කිරීමේ බලය ජනාධිපතිට හිමි විය. ව්‍යවස්ථාවේ අගමැතිවරයකු පත් කිරීම පිළිබඳ සඳහන් වන්නේ “පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ විශ්වාසය ඇතැයි ජනාධිපතිවරයාට හැඟෙන මන්ත්‍රීවරයා“ අගමැතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිට බලය ඇති බවය. ජනාධිපතිට “හැඟෙන“ මන්ත්‍රීරයා මිස සැබෑ ලෙසම බහුතරයේ විශ්වාසය හිමි මන්ත්‍රීවරයා පත්කළ යුතු වන්නේ නැත. එවැනි වගන්තියක් දැමුවේ ප්‍රේමදාස මහතා කැපීමට යැයි එකල අදහසක් තිබිණ. එහෙත් ප්‍රේමදාස මහතා පැරදවීමට නොහැකි විය. ආණ්ඩු පක්ෂයේ අර්බුධයක් ඇති කොට ඇතුළත්මුදලි ආදීන් පරදවා ගෙන ඔහු මතුවිය. එනිසා ප්‍රේමදාස මහතාට අගමැති ධුරය දීමට සිදුවිය. තමන්ට අවශ්‍ය පුද්ගලයා අගමැති ධුරයට පත් කිරීමට ජයවර්ධන ජනාධිපතිවරයාට නොහැකි විය.

පාතාල බලයද මාෆියා බලයද විධායක බලයට එකතු වුනා

ජනාධිපති ධුරය ක්‍රියාත්මක වූ ආකාරය හේතුවෙන් විධායක ජනාධිපති ධුරය ඉවත් කළ යුතු බවට විශාල රැල්ලක් මතුවුණේ 1994 දීය. භීෂණය, දූෂණය හා මර්ධනය ජනාධිපති ධූරය සමග සම්බන්ධ බව ජනතාවට පෙනී ගොස් තිබීම ඊට හේතු විය. එබැවින් විධායක ජනාධිපති ධුරය ඉවත් කරන බවට වන සටන් පාඨය සමග මැතිවරණයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජයග්‍රහණය කළේය. පසුගිය ජනාධිපතිවරණයේ දී, යුද්ධය දිනූ නායකයා ලෙස මහා බලයක් සමග පැමිණි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව පරාජය කළේද විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට වන ප්‍රබල සටන් පාඨය මගිනි. මුළු රටේම ඡන්ද භේදයකින් තොරව ඡන්ද ලැබුණේ ජනාධිපති ධුරය නුසුදුසු බවට වන අදහස මිනිසුන්ගේ මනසේ මතය පැලපදියම්ව ඇති බැවිණි.

මෙයට හේතුව පසුගිය කාලවල ජනාධිපති ධුරය ක්‍රියාත්මක වූ ආකාරයයි. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට මන්ත්‍රී මණ්ඩලය පාලනය කළ හැකිය. ඇමැති මණ්ඩලය පාලනය කළ හැකිය. උසාවිය ද පාලනය කළ හැකිය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට අවශ්‍ය නැති අගවිනිසුරු දින කිහිපයක් තුළ එළියට දැමූ හැටි අපි දුටුවෙමු. අග්‍රවිනිශ්චයකාර ධුරයද ඉතාමත් බලවත් ධුරයකි. ඊට ඉහළින් කිසිවෙකුට යා නොහැකි ආකාරයෙන් ස්ථාපිත කරන ලද්දකි. එහෙත් ඒ ධුරය හා ගැටෙන තත්ත්වයකට ජනාධිපති පත්විය. එහි ප්‍රතිඵලය වූයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අගවිනිසුරුවරිය තනතුරින් ඉවත් කිරීමය.

පරමාධිපති යැයි කොතෙක් කීව ද පාර්ලිමේන්තුව ද මෙම විධායක ජනාධිපති ධුරය ඉදිරියේ පරඬැලක් බඳු දුර්වල ආයතනයකි. විධායක ජනාධිපතිට පාර්ලිමේන්තුව ද අවශ්‍ය පරිදි හැසිරවිය හැකිය. එපමණක්ද නොව විධායක ජනාධිපති ධුරය සතු අති මහත් බලය නිසා රටේ සිවිල් සමාජ බලය ද එයට නතු කර ගත හැකිය. හමුදාපතිවරුන්ගේ සිට ව්‍යාපාරිකයින්ද එතැනින් හංදියේ ත්‍රීවීල් රියදුරන් දක්වා ද එයට නතුකර ගත හැකිය. එසේ වූ ආකාරය අපි පසුගිය කාලයේ දී අත්දුටුවෙමු. එයට මා කියන්නේ “පූර්ණ බලය“ කියාය. ව්‍යවස්ථාවෙහි සඳහන් බල සීමාව ඉක්මවා යමින් ව්‍යාපාරික බලයද පාතාලයේ බලයද මාෆියා බලය ද ආදී වශයෙන් සකල විධ බලයන් විධායක ජනාධිපති ධුරය යටතට කේන්ද්‍රගත කර ගත හැකිය. හොරුන් ද දූෂිතයන් ද පාදඩයන් ද ආදී සියලූ සමාජ විරෝධී බලවේග ද එය යටතට ගත හැකිය. ඊට අවනත නොවන ඕනෑම අයෙකුට ඕනෑම ආකාරයකින් ප්‍රතිචාර දැක්වීමට ද ජනාධිපති ධුරය බලවත්ය.

ජයවර්ධන ජනාධිපතිවරයා වරක් තමන්ට කළ නොහැක්කේ පිරිමියෙකු ගැහැණියක් කරවීම හෝ ගැහැණියක පිරිමියෙකු කරවීම පමණකැයි කීවේ එබැවිනි. එහෙත් මෙය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින රටක නායකයෙකු කිසි විටෙක නොකරන ප්‍රකාශයකි. එහෙත් ලංකාව තුළ ක්‍රියාත්මක වන දේශපාලන සංස්කෘතිය අනුව අවශ්‍ය නම් එම කටයුත්ත ද කරනු ඇත. මන්ද මෙම ක්‍රමය යටතේ බලවත් කර තිබෙන්නේ ලැජ්ජා භය ‍හඳුනන්නේ නැති උදවිය බැවිනි. අපි ලැජ්ජයි කියා සිතන දේවල් කිසිදු ලැජ්ජාකින් තොරව සිදුකරමින් අමු අමුවේ අශිෂ්ඨ ආකාරයට හැසිරෙමින් සමහර දේශපාලකයින් ක්‍රියාකරන ආකාරය අපි පසුගිය කාලයේ අත්දුටුවෙමු. මෙවැනි තත්ත්වයකට රට පත් කිරීමෙන් රටේ පැවැති යම් තරමක ශිෂ්ඨ සමාජ සංස්කෘතියක් පවත්වාගෙන ගිය දේශපාලනය සම්පූර්ණ වෙනසකට ලක් කිරීම මේ විධායක ජනාධිපති ධුරය විසින් පසුගිය කාලයේ සිදු කරනු ලැබ තිබේ. මෙම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ඉවත් කර වඩා යහපත් ව්‍යවස්ථාවක් සම්මත කොට ගැනීම අඩුම වශයෙන් ශිෂ්ඨ සම්පන්න සංස්කෘතියක් යළි ගොඩනගා ගැනීම සඳහා අත්‍යවශ්‍යය.

විධායක ජනාධිපති ධුරය මෙහි ස්ථාපිත කරනු ලැබුවේ ඒ වන විට ලෝකයේ ව්‍යාප්තව තිබුණු විවෘත ආර්ථීක ක්‍රමය ලංකාවටද හඳුන්වා දීමට පාලකයන්ට තිබුණු වුවමනාව හේතුවෙනි. කාලයක් තිස්සේ තිබුණු සුබසාධක රාජ්‍යය කඩා දමන්නට ඔවුනට වුවමනා වී තිබිණ. 1962 දී ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ සංවර්ධනය ඉදිරියට ගෙනයාමට නම් ජනතාව අකමැති තීරණ ගැනීමට සිදුවන බවය. ඒ සඳහා ඉඩ ලබා ගත හැකි විධායක ක්‍රමයක් ලංකාවේ ඇති කළ යුතු බව ද ඔහු එහි දී කීවේය. අඩුම තරමින් ප්‍රංශයේ ඩිගෝල් ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාව වැනි ව්‍යවස්ථාවක් හෝ සෑදිය යුතු බව ඔහුගේ අදහස විය. 1972 ව්‍යවස්ථාව සාදන විට ඒ සා විශාල බලතල ප්‍රමාණයක් අගමැති ධුරයට දෙන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කොට සිටියේය. එය දිය යුත්තේ ජනාධිපති කෙනෙකුට බව ඔහුගේ මතය විය.

ජනාධිපතිවරයා දෝෂාභියෝගයකින් හැර ඉවත් කළ නොහැකි අයුරින් විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කෙරිණ. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය ගෙන විමර්ශනයක් කොට යෝජනා සම්මත කොට එය උසාවියට ඉදිරිපත් කොට උසාවියෙන්ද අනුමත කොට නැවත පාර්ලිමේන්තුවට ගෙනැවිත් යළිත් තුනෙන් දෙකකින් සම්මත කිරීමට අවශ්‍ය විය. එය නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් සෙවීමේ ක්‍රියාවලියකි. පහසුවෙන් කළ නොහැකි දෙයකි. ප්‍රේමදාස යුගයේ දී එය කරන්නට උත්සාහ කළ අවස්ථාවේ සිදුවූ දේ අපි දුටුවෙමු.

විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කළ යුත්තේ සංවර්ධනය සඳහා වන ගමන යාමට බව ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. සංවර්ධනය පළමුව ප්‍රජාතන්ත්‍රවාදය පසුව යනුවෙන් (Development First Democracy Later) ප්‍රවාදයක් ඔහු ගොඩනැගුවේය. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය අද නොවේ හෙටය.

ප්‍රජාතන්ත්‍රවාදය යැයි කීව ද රටක මුලූ ප්‍රජාවටම එක් වී රට පාලනය කිරීමේ හැකියාවක් නොමැත. පාලනයක් කළ හැක්කේ එක්කෝ එක් පුද්ගලයෙකුටය. එක්කෝ ටික දෙනෙකුටය. මැතිවරණ මගින් අප සිදුකරන්නේ එලෙස පාලනය සඳහා පිරිසක් තෝරාගැනීමය. එහෙත් එලෙස තෝරාගන්නා අය හොඳින් එම කටයුතු ඉටු කරන්නේ ද යන්න පිළිබඳ අපට සහතිකයක් නොමැත. එබැවින් එය සිදුවන බවට සහතිකයක් ගැනීමට හැකි පාලකයන් ද ජනතාව වන අපද එකවිට පාලනය වන නීතියක් ඉහළින් නිර්මාණය කළ යුතුය. මෙය වසර දෙදහස් පන්සීයකට ඉහත ඇරිස්ටෝටල් ප්‍රකාශ කළ දෙයකි. එයට නීතියේ පාලනයයැයි කියනු ලැබේ. පාලිතයාද පාලකයාද එක සේ නීතියට යටත් විය යුතුය. ඡන්ද තිබූ පමණින් ප්‍රජාතන්ත්‍රවාදය ඇති වන්නේ නැත. එය සහතික කරන්නේ නීතියේ ආධිපත්‍යය සහතික වූ විටය.

නීතිය නමැති රජු හැදීම

1978 ව්‍යවස්ථාව යටතේ පාලනය කරන පුද්ගලයා හෙවත් විධායක ජනාධිපති වරයා නීතියට ඉහළින් සිටින්නෙකි. ජනාධිපති සිදුකරන විධායක ක්‍රියා පමණක් නොව පුද්ගලික ක්‍රියාවකට විරුද්ධව වුවද උසාවියේ නඩුවක් පැවරිය නොහැකිය. පාලකයා නීතියට ඉහළින් සිටින්නේ නම් එතැන ඇත්තේ නීතියේ පාලනයක් නොවේ. නීතියේ පාලනයක් නොමැති නම් එයට ප්‍රජාතන්ත්‍රවාදය යැයි කිව නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව ඡන්දයෙන් තෝරා පත් කර ගත් තනතුරු දරන්නන් ද පාලනය කර නීතියක් මගින් ඇති කරන නීතියේ පාලනයයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වසර දෙසීයකටත් වඩා පැරණි එකකි. කුඩා ලියවිල්ලක් වන එය සෑදීමට අදහස් එක් කළ තෝමස් පේන් මෙසේ කීවේය. “අපට රජෙක් සිටියේය. දැන් අපි ඒ රජු ඉවත් කොට නව පාලනයක් සෑදීමට කටයුතු කරමින් සිටිමු. අප හදන්නේ නීතිය නැමැති රජු හදන්නට ය.“ ඔහු කීවෙි Constitution is King කියාය. ඒ අනුව ඉන් පසු රජු වන්නේ නීතියයි.

ඔහු ඉදිරිපත් කල තවත් අදහසක් වන්නේ “ව්‍යවස්ථාවෙන් කරන්නේ ආණ්ඩුව නැමැති සත්වයා සෑදීමයි. ඒ අනුව ව්‍යවස්ථාව විසින් ආණ්ඩු හදනවා මිස ආණ්ඩු විසින් ව්‍යවස්ථාව හැදිය නොහැකිය. ව්‍යවස්ථාව සෑදිය යුත්තේ ජනතාවයි. ඒ ව්‍යවස්ථාව මගින් ආණ්ඩුව හැදිය යුතුය“. එහෙත් දැන් අපට කරන්නට සිදූව ඇත්තේ එහි අනෙක් පැත්තට යන්නටය. ඒ ආණ්ඩුව විසින් ව්‍යවස්ථාව සාදනු ලැබීමයි.

දැන් ව්‍යවස්ථාව හැදීමට එක්ව සිටින්නේ දේශපාලන බලයේ සිටින අය සහ ඉදිරියේ දී දේශපාලන බලය ගැනීමට බලා සිටින සහ දේශපාලන බලයට බලපෑමි කරන්නට අපේක‍්ෂා කරන පිරිසය. ඔවුන් එය අවසාන කරන්නේ මගේ බලය රැකේද, මට බලය ලැබේද, තිබෙන බලය තව ටිකක් වැඩිකර ගත හැකිවේද ආදිය පිළිබඳ කල්පනාවෙනි. මට තවත් සැරයක් ජනාධිපති ධුරයේ ඉන්නට හැකිවෙනවාද? අරයා නැවත ජනාධිපතිවිය හැකිද? අපේ පක්ෂයට ආසන කීයක් වැඩිකරගත හැකිවෙනවාද? ආදී වශයෙනි ඔවුන් බලන්නේ. එබැවින් අප බලාපොරොත්තු වන ආකාරයටම ව්‍යවස්ථා සෑදීම අවසන්වීම සිදුවන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු බලය දරන්නන්ගේ සහ බලය ලබාගැනීමට බලාසිටින්නන්ගේ බලාපොරොත්තු අනුව ඇති කරගන්නා සම්මුතියක් ලෙසින් තේරුම් ගත යුතුය. එහෙත් එම ක්‍රියාදාමයද නරක නැත. මන්ද එය තුළින් පවා දැනට පවතින තත්ත්වය වඩා හොඳ අතට යොමු කෙරෙන ආකාරයේ සාකච්ඡාවක් මතුවන බැවිනි. මහජනතාව අතර සුජාතභාවයක් ලබා ගත හැකි ආකාරයෙන් එය අවසන් කළ යුතුය.

උගත්කම සහ මනුස්සකම එකට යන්නේ නැත

මෙහි වැදගත්කම ඇත්තේ ජනතාව මේ ක්‍රියාදාමය කෙරෙහි දක්වන තෙරපුමයි. අප සැලකිල්ලට ගත යුත්තේ පුරවැසියන් වන අපට සාධාරණය ඉටුවන සාමයෙන් ජීවත්විය හැකි පරිසරයක් සෑදෙන ආකාරයට නව ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු අංග ලක්ෂණ මොනවාද? අපට ඡන්ද බලය ලැබෙන්නේ කෙසේද? නියෝජිතයන් තෝරාගැනීමේ දී ප්‍රශස්ථ පුද්ගලයන් තෝරාගැනීමට එමගින් ඉඩ ලැබෙන්නේද? ආදී කරුණුය. දැනට පාර්ලිමේන්තුවේ සිටින විශාල පිරිසක් අ.පො.ස සාමාන්‍ය පෙළ පවා සමත් නැති අය බවට වන සාකච්ඡාවක් සමාජයේ තිබේ. එහෙත් මම උගත්කම පිළිබඳ මෙම මිණුම් දණ්ඩ එතරම් අගය නොකරමි. මන්ද සාමාන්‍ය පෙළ නැති අය පමණක් නොව ආචාර්ය උපාධි ඇති අයද පරිපාලන හෝ ඉංජිනේරු උපාධි ඇති අය ද පාර්ලිමේන්තුවේ සිටිය ද ඔවුන්ගෙන් ද අමුතු යමක් සිදු නොවන බැවිනි. අධ්‍යාපනය නොව මෙහි දී වැදගත් වන්නේ මනුෂ්‍යකමය. උගත්කම යනු එයයි. විභාග පාස්කිරීම නොවේ. උගත්කම සහ මනුෂ්‍යකම එකට යන්නේ නැත. උගත්කම ඇති එහෙත් මිනිස්කමින් නූගත් උගතුන් බොහෝ සිටින බව මා පෞද්ගලිකව දන්නා කරුණකි.

මා දන්නා තරමින් ඩී.එස්. සේනානායක මහතාට උපාධියක් තිබුණේ නැත. එහෙත් ඔහු නරක පාලකයෙකු වූයේ නැත. සිරිමා බණ්ඩාරනායක මැතිණිය කවර විභාග සමත් කොට තිබුණි ද? ඇය නරක පාලිකාවක් වූයේද? ඇත්ත වශයෙන්ම අධ්‍යාපන තත්ත්වය පාලකයෙකු සම්බන්ධයෙන් වන තීරණාත්මක සාධකය නොවන බවට මෙවැනි උදාහරණ තව කොතෙකුත් තිබේ. සර්වජන ඡන්ද ක්‍රමය ස්ථාපිත කරමින් 1931න් පසුව පැමිණි වෙනසේ පදනම වන්නේ උගත්කම පාලන ක්‍රමයට පුද්ගලයන් පත් කරගැනීමේ ප්‍රමුඛ නිර්ණායකය නොවිය යුතු බවය. 1931 වන විට තිබුණේ උගත්කම පමණක් සැලකිල්ලට ගැනීමය. එවක ඉංග්‍රීසි කතා කරන්නට ලියන්නට කියවන්නට හැකි අයට පමණක් මැතිවරණයට තරඟ කළ හැකි විය. පසුව එලෙස තිබුණු තත්ත්වය වෙනස් කළේය. නැවත අප ආපස්සට යා යුතු නැත. අවශ්‍යවන්නේ ජනතාව සුදුසු පුද්ගලයන් පත් කිරීමට අවශ්‍ය දැනුවත් බව සහ හැකියාව ලබා ගන්නා ක්‍රමයකි. පවතින ඡන්ද ක්‍රමය ජනතාව දුර්වල කොට නායකයන්ට අවශ්‍ය බලවත් අයට අර ලජ්ජා බය නැති අයට ඉදිරියට එන්නට අවස්ථාව දීමය. ජනතාව බල ගන්වන නව ඡන්ද ක්‍රමයක් සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ නැති ද?

නව ව්‍යවස්ථාවක් හැදෙයිද නැද්ද යන්න පිළිබඳ විවිධ අයට සැක සංකා තිබේ. මේ මගින් වන්නේ පරාජිත මානසිකත්වයකට ජනතාව ගෙන යාමය. එබඳු කාරණාවලින් පසු නොබැස අප කළ යුත්තේ ජනතාවාදී හොඳ ව්‍යවස්ථාවක් රටට හදා ගැනීම පිළිබඳව වන සාකච්ඡාව ඉදිරියට ගෙන යාමය. මා අදත් කතා කරන්නේ 1977 දී මීට වසර 40කට පෙර අප විසින් අනුගමනය කරන ලද ප්‍රවේශය පසුව ඇතිවූ තත්වයන් සමග යළි සකසා ගනිමින් ඉදිරියට ගෙන යමින් ය.

මාක්ස් නොදුටු දේශපාලන පංතිය

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වසර 38 කට පෙර හැදුවේ කලින් කී ලෙසම තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගැනීමේ අරමුණිනි. විවෘත ආර්ථීකය තුළ ඇතිවී තිබෙන ක්‍රියාදාමය නිසා දේශපාලකයන්ගේ කරළ පැහෙන තත්ත්වයක් තිබේ. මන්ද දැන් ආණ්ඩුවේ ව්‍යාපෘති බිලියන ගණන් වටිනා ඒවාය. මාක්ස් කී ආකාරයේ ආර්ථික මොඩලයකින් පැන නගින පන්තිවලට අමතරව දේශපාලන බලය පදනම් කරගනිමින් දැන් අලුත් පන්තියක් පැන නැගී ඇත. එනම් සාමූහික දේපාලන බලය දේපොල ක්‍රමයක් බවට පත් කර ගෙන එමගින් අපව ආර්ථික වශයෙන් සූරා කන දේශපාලන පංතියක් මෙහි ද බිහි වී තිබේ. රටේ ආර්ථීකයේ අවසාන මූල්‍යමය ප්‍රතිඵලයෙන් සැලකිය යුතු කොටසක් ඔවුන් විසින් අත්පත් කර ගනු ලබයි. අප ඒ පන්තිය නඩත්තු කළ යුතුය. ඔවුන්ට කාර්යාල වාහන සහ අනිකුත් පහසුකම් සඳහා බිලියන ගණනක් මහජන සම්පත්වලින් වැය කළ යුතුය.

මූලික ප්‍රජාතනත්‍රවාදී යහපාලනයක් සඳහා බාධා කරන තත්වයන් සඳහා විසඳුම් සොයමින් මුල සිට නිසි ලෙස ලියන ලද නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍යය ය. එසේ නොමැතිව විධායක ජනාධිපති ධුරය පමණක් අහෝසි කළ හොත් එම ධුරයේ බලය අගමැතිවරයා අතට පත්වේ. 72 ව්‍යවස්ථාවෙන් සිටියේ විධායක බලය දරන එවැනි අගමැතිවරයෙකි. මතක තබා ගත යුතු කරුණ නම් රාජ නීතිඥ එස්. නඩේසන් මහතා බොහෝ කලකට පෙර කියූ ආකාරයට වැඩි කාලයක් ලංකාව පාලනය වී ඇත්තේ ව්‍යවස්ථාවෙන් නොව හදිසි නීතිය යටතේ බවය. එම තත්වය පැවතියේ අගමැති ධූරය යටතේය.

පවතින ව්‍යවස්ථාව අදට නොගැලපේ. සංවර්ධනය පළමුව කියන තැනින් අප ප්‍රජාතන්ත්‍රවාදය පළමුව කියන තැනට පැමිණිය යුතුය. වසර හැටකට පසුව ද අප තවමත් සංවර්ධනය වෙමින් පවතින රටකි. බිල්ඩින් පාරවල් ආදිය හැදී තිබිය හැකිය. එහෙත් ඒවායේ ජීවත් වන මිනිසුන්ට සිදුව ඇත්තේ කුමක්ද? දේශපාලන වශයෙන් අප සංවර්ධනය කර ඇත්තේ මිනිසුන් නොවේ. අධ්‍යාපනය පිරිහී ඇත. හිතන්න මතන්න බැරි ජනතාවක් බිහිවී ඇත. එබැවින් ජාතිවාදයට ඉතා පහසුවෙන් ආමන්ත්‍රණය කළ හැකි තත්ත්වයක් උදා වී ඇත. දේශපාලකයා එයින් ද ප්‍රයෝජන ලබමින් සිටියි.

පසුගිය කාලයේ යාපනයේ සංවර්ධනය දෙස බලන්න. එහි සිදුකළ සංවර්ධනය කුමක්ද? කොළඹින් ගිය මිනිසුන් පිරිසක් ඔවුන්ගේ හිතේ ඇති ආකාරයට සංවර්ධනයයැයි යමක් සිදු කොට ඇත. නැගෙනහිර පළාතේ දේශපාලකයන් ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට එම පළාතේ ඉඩම් අනූනව අවුරුදු බදු වලට ලබාගෙන ඇත. ඒවා හෝටල් ව්‍යාපෘති සඳහා දෙයි. පානම, මුලතිව්, යාපනය හා සාම්පූර් ජනතාව සිටි ඉඩම් හමුදාව අත්පත් කර ගනු ලැබ ඇත.. යාපනයේ අවතැන් වූවන් තවම කඳවුරුවලය. පානම ඉඩම් අල්ලා ගත්තේ මිනිසුන් රාත්‍රියේ පහර දී එළවා දැමීමෙන්ය. එම ඉඩම් සිංහල ජනතාවට අයිති ඉඩම්ය. දැන් ඒ ඉඩම්වල හමුදා බෝඩ් සවිකර හෝටල් ව්‍යාපෘති ක්‍රියාත්මක කොට තිබේ. මහා පරිමාණ ව්‍යාපාර සඳහා ඉඩම් අක්කර සිය ගණනින් ලබාදෙද්දී ඉඩම් නැති මිනිස්සු එදා මෙන්ම අදත් ඉඩම් හිමිකම් නොමැතිව සිටිති.

මේ ප්‍රශ්නවලටද නිවැරදිව අවධානය යොමුකරන ආකාරයට ව්‍යවස්ථාවක් සැකසිය යුතුය. දැනට සකස් වෙමින් පවතින ලියවිල්ලේ සඳහන් වන ආකාරයට නව ව්‍යවස්ථාව මගින් අධ්‍යාපනයට සෞඛ්‍යයට ඇති අයිතිය මූලික අයිතිවාසිකම් බවට පත් කිරීමට නියමිතය. සාධාරණ සහ අපක්ෂපාතී පරිපාලන ක්‍රියාදාමයක් සඳහා ජනතාවට ඇති අයිතිය ද එලෙස ඇතුළත් කිරීමට යෝජිතය. ජනතාවට මේවා සම්පූර්ණයෙන් ලබා දීම නොව ඒවාට ලඟාවීමේ හැකියාව සහතික කිිරීම රාජ්‍යයේ වගකීම වෙයි. එවැනි මූලික අයිතිවාසිකම් පරිච්ඡෙදයකින් එය ඉටුකර ගැනීමට අධිකරණයේ සහාය ඉල්ලීමට හැකි වේ.

1988 පළාත් සභා ක්‍රමය හදිසියේ හදාගත් එකකි. එහි අඩුපාඩු රාශියකි. එහෙත් එය යම් යම් වැඩකරමින් පළාත් මට්ටමේ දෙවෙනි ආණ්ඩුවක් ලෙස වැඩකරමින් සිටී. එය ඉවත් කිරීමට නොහැකි කලාපීය සහ දේශීය සාධක පවතී. එය පවත්වා ගැනීම අවශ්‍ය බවට පළාත් සභා නියෝජිතයින් සහ මහ ඇමතිවරු කියති. 13වන සංශෝධනයෙන් පළාත් සභාවලට බලය පැවරීමක් සිදුව නැත. සිදුව ඇත්තේ විෂය ලැයිස්තුවක් දැක්වීමය. එසේ කළ පමණින් බලය ලැබෙන්නේ නැත. ඒ බලය පැවරෙන්නේ ප්‍රඥප්ති සම්පාදනය කරමින් පළාතට අවශ්‍ය පරිදි යාන්ත්‍රණයන් සාදා ගත්විටය. එය සිදු කර ගන්නට උදව් කරන පළාත් නීතිපතිවරයකු පත් කරන වගන්ති ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය. පළාත් සභාවලට රාජ්‍ය ආදායමෙන් නිශ්චිතව කොපමණ පැවරෙන්නේදැයි ලිඛිතව ඇතුළත් කළ යුතුය. පළාත්වලට තම ජනතාවට කාර්යක්ෂමව සිය ජනතාවට සේවය කිරීමට හැකියාව ඇති කළමණාකරන නිපුණතාව ඇති පළාත් කළමණාකරණයක් සපයා දිය යුතුය. මෙම බලය බෙදාහැරීම ඒකීය ක්‍රමයකට අයත් එකකි. මධ්‍යය සහ පළාත අතර ඇත්තේ පිරමීඩාකාර ධූරාවලි සම්බන්ධයකි. දෙවන සහ තෙවන මට්ටමේ ආණ්ඩු පවතින්නේ පළමු මට්ටමේ ආන්ඩුවට පහළිනි. මෙය ෆෙඩරල් ක්‍රමයක් නොවේ. රට බෙදෙන්නට ගියේ ඒකීය ක්‍රමය යටතේ අසීමිත ලෙස බලය මධ්‍යගත කරමින් අසමානතා බහුත්වාදයක් (unequal pluralism) පවත්වා ගෙන ගිය බැවිනි.

බබා සෝදා විසි කළ යුත්තේ බබා නොව බබා සේදූ වතුරය

19 වෙනි සංශෝධනය පොතක් ලෙස ගතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා එම පොත විශාලය. නව ව්‍යවස්ථාවකින් අපට අවශ්‍ය වන්නේ පුරවැසියාගේ බලය තහවුරු කරගැනීමය. ජනාධිපතිගේ බලය අගමැතිගේ බලය නොව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වැදගත් වන්නේ පුරවැසියා සතු බලයයි. දැනට පවතින්නේ දේශපාලකයන්ගේ රාජ්‍යයකි. එය වෙනස් විය යුතුය. ජාතීන් අතර සමගිය සමාදානය තහවුරු කෙරෙන වගන්තිද නව ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුය. ජාතික භාෂාවන් පිළිබඳවද පැහැදිලි සඳහන් කිරීමක් කළ යුතුය. දැනට ඇති ව්‍යවස්ථාව අනුව රාජ්‍ය සහ ජාතික භාෂා දෙකක් තිබේ. ඒවා පරිපාලන භාෂා ලෙස ද නම් කොට තිබේ. පරිපාලන භාෂාවන් පළාත් මට්ටමින් පමණක් නොව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමට ගෙන යාම සඳහා ව්‍යවස්ථා නියමයන් තිබේ. ජාතික භාෂා පිළිබඳ විධිවිධානය අනුව මේ රටේ ජාතික වාග් ප්‍රජාවන් දෙකක් තිබේ. ඔවුන්ගේ භාෂාවන් සහ සංස්කෘතීන් ශ්‍රී ලාංකික යන පොදු සංස්කෘතිය තුළ අන්තර්ගත බව එයින් පිළිගනියි. මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට අමතරව මෙම ව්‍යවස්ථාවේ ඇති වඩාත් ප්‍රගතිශීලි ප්‍රතිපාදනය වන්නේ මෙයයි. ජේ. ආර්. ජයවර්ධන මහතා සිය ජීවිතයේ අවසාන කාලයේ දී වරක් කියු අන්දමට “බබා සෝදා ගැනීමෙන් පසු විසි කළ යුත්තේ බබා නොව බබා සේදූ වතුරය.“

අද විට ලෝකයේ ව්‍යවස්ථා සම්පාදන සම්බන්ධයෙන් නව අත්දැකීම් තිබේ. යුද්ධයෙන් පසු නව ව්‍යවස්ථා ඇති කර ගත් රටවල් ද ඇත. දකුණු අප්‍රිකාව සාමාන්‍ය තත්ත්වයකට පත්වන ආකාරයේ ව්‍යවස්ථාවක් ඇති කරගෙන තිබේ. අපට ද මේවායින් අත්දැකීම් ගත හැකිය. ඉන්දියාවේ නේරු හැදූ ව්‍යවස්ථාවට ජාති ආගම් පමණක් නොව කුලයද ඇතුළත් කොට ඔවුන්ගේ අයිතිවාසිකම් ලිඛිතව ඊට ඇතුළත් කෙරිණ. අපගේ රටේ ප්‍රධාන භාෂා දෙකක් වුව ද තවත් සුළුතර භාෂා 21 ක් පමණ තිඛෙන බව හඳුනාගෙන ඇත. ඒ භාෂාවන් සංරක්ෂණය කිරීමද අප කළ යුතුය.

වර්තමානයේ ඇතිවෙන තාක්ෂණික දියුණුව හේතුවෙන් විශ්ව පුරවැසිභාවයක් ඇතිවෙමින් පවතියි. එවැනි පුරවැසිභාවයක් වෙත යා හැකි නිදහස් පුරවැසියෙක් සෑදීමේ අවශ්‍යතාව ද අපට තිබේ.

පුද්ගලයෙකුටම කතා කිරීමේ නිදහස රැස්වීමේ නිදහස ආදී සිවිල් අයිතිවාසිකම් හිමිවීම ඉතා වැදගත්ය. සංවර්ධය පිළිබඳ කාරණා එන්නේ ඉන් අනතුරුවය. අතීතයේ සුබසාධක රාජ්‍ය සංකල්පය ඉදිරියට ආවේ සිවිල් අයිතිවාසිකම් තහවුරු වන විට ය. සිවිල් අයිතිවාසිකම් නිසි පරිදි භුක්ති විඳිය හැක්කේ අධ්‍යාපනය සෞඛ්‍යය සමාජ ආරක‍්ෂාව යන සමාජ අයිතිවාසිකම් තහවුරු කිරීමෙන් බව එමගින් පිළිගත්තේය.

ආණ්ඩුවලට සල්ලි නැති නිසා මහජනතාවගේ සියලු සුබසාධක රාජ්‍යය හැකිළවීමට අවශ්‍යවී තිබෙනවා වන්නට පුලුවන. නමුත් සමාජ අයිතිවාසිකම් වන අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා ප්‍රවේශ වීමට ජනතාවට ඇති අයිතිය අහෝසි කරන්නට ඉඩ දිය යුතු නැත. මේවා ලිඛිතව සඳහන් විය යුතුය. එවිට ඒවා සාක්ෂාත් කර දීමට රජයට ඇති වගකීම අධිකරණය මගින් බල ගැන්වීමට හැකිය.

වත්මන් ව්‍යවස්ථාව පුරුදු කර ඇත්තේ ජනතාවට දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නටය. සිවිල් පුරවැසි විඥානය වර්ධනය වීමට ඉඩක් ලැබී නැත. එම තත්ත්වය වෙනස් කළ යුතුය. පවතින ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සඳහා උද්ඝෝෂණය කරන්න. හොඳම නොවුනත් මීට වඩා පුරවැසියාට බලය ලැබෙන ව්‍යවස්ථා විධිවිධාන ඇතුල් කර ගැනීමට මහන්සි වෙමු. පුරවැසියා ගේ බලය තහවුරු කරන ව්‍යවස්ථාවක් කවදා හරි ලැබෙන තුරු මෙතනින් ද ඉදිරියට යමු.

-මහාචාර්ය නවරත්න බණ්ඩාර විසිනි-

(2017 අප්‍රේල් 02 වන දින ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය සඳහා වූ සංසදය විසින් හැටන් නගරයේ ශ්‍රී ක්‍රිෂ්ණ භවන් සංස්කෘතික ශාලාවේදී “ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ඇයි?“ මැයෙන් මහාචාර්ය නවරත්න බණ්ඩාර විසින් පවත්වන ලද දේශනය.)

Back to Top