Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගආපදා කළමනාකරණයේ හෙළුව

ආපදා කළමනාකරණයේ හෙළුව

by

(බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)

‘ආපදා අනතුරු ඇඟවීමයි.- 2016 වසරේ මෙන් ගන්වතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් කැලණි ගඟ ආශ‍්‍රිත පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන්න.’

වෙසක් සඳ බැස යන පමාවෙන් පසුගිය මස 26 වැනිදා බස්නාහිර පළාතේ ජංගම දුරකථන හිමියන්ට අසුබ ආරංචියක් පැමිණියේය. ඒ කැලණි ගඟේජල මට්ටම ඉහළ යන බවටය.   බස්නාහිර, දකුණ හා සබරගමුව පළාත්වලට නොනවත්වා ඇද හැලූණු වැස්ස නිසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් එවූ පණිවුඩවලින් එකකි. මෙම අනතුරු ඇඟවීම කැලණි ගං ඉවුරේ ජීවත් වූ ජනයා ඉක්මනින් එම ස්ථානවලින් ඉවත් කිරීමට හේතුවිය.

මෑතක් වනතුරුම එවැනි අනතුරු ඇඟවීම් බොහෝවිට නිකුත් කරනු ලැබුවේ ෆැක්ස් පණිවුඩ හෝ අනෙකුත් යල් පැන ගිය ක‍්‍රමවලිනි. එහෙත් දැන් ලියාපදිංචි කරන ලද මිලියන විසි පහක් වූ ජංගම දුරකථනවලට අනතුරු ඇඟවීම් සෘජුවම ලබා ගැනීමට හැකිය. සැබැවින්ම මෙය අපේ රට ආපදා කළමනාකරණය විෂයෙහි දැක් වූ සැළකිය යුතු වෙනසක් පෙන්නුම් කරයි. එහෙත් ආපදා කළමනාකරණයෙහි ලංකාව සමත් රාජ්‍යක් බවක් ඉන් කියැවෙන්නේ නැත.

තවමත් අපේ අනතුරු ඇඟවීමේ පද්ධතිය පවතින්නේ පරිපූර්ණ බවින් බොහෝ ඈතය. පසුගිය දිනවල මිලිමීටර 550 ඉක්ම වූ වැසි සමඟ පුළුල්ව පැතිරුණු ගං වතුර හා නායයෑම් මගින් අඩුම තරමින් මිනිසුන් 200 ක්වත් මිය යමින් ලක්ෂ ගණනක් විපතට පත්වීමෙන් පෙන්නුම් කළේ එයයි.

විෂය ප‍්‍රවීණයන් පවසන්නේ   ස්ථිර අනතුරු ඇඟවීම් නොසලකා හැරියොත් ශ‍්‍රී ලංකාවේ ආයතන එක් නොනවතින ප‍්‍රශ්නයකට මුහුණ පාන බවයි. ජාත්‍යන්තර ළමා සංවර්ධන ප‍්‍රඥප්තියේ උපදේශකයකු වූ මේනක විජේසිංහ මහතා කියා තිබුණේ ආපදාව අතරතුරදී පණිවුඩ ලබාදීම හොඳින් කළ නමුත් වැස්සට පෙර එය නිවැදිව නොවූ බවයි. ”රාජ්‍ය නිලධාරිවාදය කඩා බිඳ දමමින් නව තාක්ෂණය පාවිච්චි කරමින් ආපදාවකට පෙර පූර්ව අනතුරු ඇඟවීම් වර්ධනය කළයුතුයි. එම`ගින් මාරක විපත් තවදුරටත් පහළ දාගන්න පුළුවන් ” විජේසිංහ පවසා තිබිණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සිය කල් ඉකුත් වූ යාන්ත‍්‍රණය අලූත්වැඩියා කරන්නට උත්සාහ ගනිමින් සිටී. මෙම වසර ආරම්භයේදී එය ජාතික විදුලි සංදේශ සේවා සපයන්නා සමඟ සම්බන්ධ වූයේ (Disaster and emergency waring network)  නමින් නව හදිසි පණිවුඩ සේවයක් දියත් කරන්නටය. මෙමගින් මහජනතාවට පණිවුඩය දීමට ප‍්‍රථමයෙන් හදිසි සේවා ක‍්‍රියාකාරින්ට දැන්විය හැකිය. මැයි 24-, 26 නැගෙනහිර ඉන්දීය මුහුදේ සුලිසුලං ඇතිවීම නිසා යාන්ත‍්‍රණය සිය පරිශීලකයන්ට පණිවුඩ යවන්නට වූයේ වැදියටය. අනෙක් අතට ආපදා කළමනාකරණ අමාත්‍යංශ වෙබ් අඩවියත් ට්විටර් ගිණුමත් කාලයක් තිස්සේ පැවැතියේ යාවත්කාලීන නොවීය.

ආපදා කළමනාකරණයට වෙනම අමාත්‍යංශයක් පිහිටුවූයේ 2004 සුනාමියෙන් පසුය. 2005 අංක 13 දරණ විපත් කළමනාකරණ පනත සම්මත කරමින් ආපදා කළමනාකරණයට වෙනම මධ්‍යස්ථානයක් පිහිටුවමින් ආණ්ඩුව ඉන්පසුව නෛතික වශයෙන් පියවර සක් ගත්තේය. ජනපතිගේ සභාපතිත්වයෙන් යුතුව ආපදා කළමනාකරණයට ජාතික සභාවක් පිහිටුවීම එහි ඉහළම පියවරක් විය. අගමැති, විපක්ෂ නායක ඇතුලූව පාර්ලිමේන්තුවත් පළාත් මහ ඇමැතිවරුන් ප‍්‍රමුඛ ප‍්‍රාදේශීය ආණ්ඩුකරණයත් යා කළ පාලමක් වූ එය සැබැවින්ම වටිනා කියන ආකෘතියකි. එහෙත් මේ කමිටුවේ ක‍්‍රියාකාරිත්වය සැබෑ ලෙසම ප‍්‍රශ්න කෙරුණු අවස්ථා ගණනාවක්ම ගත වූ වසරවලදී පෙරහරක් මෙන් පැමිණියේය.

මිනිසුන් මිහිදන් වනතුරුම කමිටු සාමාජිකයන් දෙදෙනකුගේ කඹ ඇදිල්ල හොඳින්ම පෙන්නුම් කළ මීතොටමුල්ල විපත එහි කූටප‍්‍රාප්තියයි. නුදුරු ආපදාවකට මුහුණදීමට තරම් අමාත්‍යංශය ලකලැහැස්ති නැති බව සන්ඩඬේ ටයිම්ස් පුවත්පත පසුගිය සතියේ හෙළිකළේය. විශ්වසනීය ආරංචි මාර්ග පවසන ආකාරයට මෙවිපත සිදුවන විට ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ අරමුදල තිබී ඇත්තේ හිඳීගොසිනි. තවද ජංගම වැසිකිලි, පානීය ජලය, විදුලි පන්දම්, බ්ලැන්කට් ආදී ආපදා තත්ත්වයකට අවැසි මානුෂීය අවශ්‍යතා ලැයිස්තුවකම හිඟ පාඩුවකින් ද පෙලෙමිනි. අන්තිමේදී ආණ්ඩුවට ගතහැකි එකම පියවර වී ඇත්තේ විදෙස් රාජ්‍යන්ගෙන් සහාය පැතීමය. ආපදා කළමනාකරණයට සුවිශේෂී සංචිතයක් නිර්මාණය කර තිබුණ ද ඉන්දියාව පවා ලංකාවට එවා තිබුණේ සිය නාවික භටයන් පිරිසකි. ඊට හේතුව ලෙස පැවැසෙන්නේ ද අපට ආපදා කළමනාකරණයට හරිහමන් වැඩපිළිවෙලක් නැති බවය.

මේ අතරේ බර කරට ගෙන ක‍්‍රියාත්මක වූ ප‍්‍රධාන සමාජ බලවේගයක් හැටියට ”ෆේස් බුක් කණ්ඩායම්” හෙවත් නව සමාජ මාධ්‍ය පිරිවර හැඳින්විය හැකිය. ආපදාපන්න ජනතාව හමුවීමේදී ලියුම්කරුවන්ගේ ප‍්‍රධාන මූලාශ‍්‍රයක් වූයේ ද රාජ්‍ය නිලධාරින්ට පවා ප‍්‍රවේශ විය නොහැකි උවදුරු බහුල තැන්වලට පවා ප‍්‍රවිශ්ට වූ මේ පිරිසයි. පූර්ව අනතුරු ඇඟවීම් පද්ධතියක් සැකැසීමේදී නව සමාජ මාධ්‍ය පිරිවරෙහි ඇති අගය ප‍්‍රතිපත්ති සම්පාදකයන් හඳුනාගෙන තිබුණේ 2005 තරම් ඈතකදීය. අවාසනාවකට දශකයක් ගතවුවත් එය ක‍්‍රියාවට නැංවීමට ආණ්ඩු දෙකම අසමත විය. අඩු ගානනේ එයවත් හරි හැටි ක‍්‍රියාත්මක වී තිබුණේ නම් විදේශ ආධාර ලැබෙන පමාවට දේශීය ආධාර ටික හෝ කළමනාකරණයට ආණ්ඩුවට හැකියාව ලැබෙන්නේය. ආපදා කළමනාකරණ කමිටු අන්දුන් කුන්දුන් වෙද්දී සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරිකයන් කළේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පුද්ගලික සබඳතා මගින් ආධාර ප‍්‍රවාහනය කිරීමය.

 

දුසමාන ආරංචි

 

ගං වතුර අස්සේ පාලම් කඩන, වේලි පුපුරුවන කතා ද කණින් කොනින් ඇසෙන්නට විය. මේ කතා නිසා ද බොහෝ මිනිස්සු අතිරේක භීතියකින් කල් ගෙවූහ. ඒවා දුසමාන ආරංචි ද නැද්ද යන්නවත් නිවැරදි තීන්දු මොනවාද යන්නවත් හරි හැටි සන්නිවේදනය කරන වැඩපිළිවෙලක් ආණ්ඩුවට තිබුණේ නැත. මේ නිසා විවිධ මතිභ‍්‍රමයෝ තටු ලැබ ඉගිල ගියහ. එහෙත් ඇතැම් තැන්හි සැබැවින්ම පැණසර නොවන තීන්දු ගැන ද කතා වී තිබූ අතර එවැනි මංමුලා වැල් ගාලක පැටලෙන්නට දේශපාලන අධිකාරියට හේතු වී තිබුණේ ද තමන්ම සම්පාදනය කළ රාජ්‍ය ප‍්‍රතිපත්ති නිසි ලෙස ක‍්‍රියාවට නොනැගීමය. බද්දේගම නගරයේ ගිං ගඟ ෙවේල්ලෙන් වතුර කාන්දු වීම හා එහි පසුබිම් කතාව මීට හොඳ නිදසුනකි.

අප දෙවැනි වරට එහි ගිය මැයි 30 වැනිදා වනවිට ගං වතුර සෙමින් බැසයන්නට පටන්ගෙන තිබුණත්  වේල්ලේ වතුර කාන්දුව නතර වී නොතිබුණි. කාන්දු වන දිය කෙලින්ම ගලාගෙන යන්නේ බද්දේගම නරය දෙසටය. වතුර කාන්දු වන ස්ථානයට මීටර කිහිපයක්   නුදුරේ ඇත්තේ කඩපිලයි. එහි එක් වෙළෙඳ සැලක් පවත්වාගෙන යන නන්දන ගුණතිලක (45) මහතාගෙන් අපි අදහස් විමසුවෙමු.

”25 උදේ වතුර ආවා. කඬේ අය තමයි දැක්කේ. ටික ටික වැඩිවුණා. අපි වාරිමාර්ගෙට ප‍්‍රාදේශීය ලේකම් එකට පැමිණිලි කළා. ? ප‍්‍රාදේශීය ලේකම් එකෙන් ආවා. වාරිමාර්ග ඉංජිනේරු කිව්වෙ සාමාන්‍ය දෙයක් කියලයි. පස්සෙ කවුරුහරි මේක ඉන්ටර්නෙට් දාලා. එතකොට තමයි නේවි එකෙන් ඇවිත් වැලි කොට්ට ගහන්න ගත්තේ. පොලිසිය බද්දෙගම ටවුන් එකෙන් බැරියර් එකක් දාලා වාහන නැවැත්තුවා. අපි කඩ පේලියේම අය බඩු අස්කරගත්තා. දැන් අපි බැලූවෙ බඩු ටික ආයේ දාගන්න. මේක දිගටම වහලා තියන්නත් බෑනෙ. 2003දිත් මේක වුණා. ඒ අවස්ථාවෙත් අපි පැමිණිලි කළා. නමුත් ස්ථිර විසදුමක් දුන්නේ නෑ.   හැබැයි ආයෙ ලොකු ගං වතුරක් ආවොත් බද්දෙගමම ඉවරයි. ”

2003 මහ ගං වතුර අවස්ථාවේ දී පැලැස්තර විසඳුම් යෙදීමෙන් පසු යළි ප‍්‍රශ්නය කරළියට ආවේ මෙවර මහා ගංවතතුරෙන්ය. ඉහළ දේශපාලනයේ අවකළමනාකරණය නිසා ගං වතුරට හසු වූ ආපදා කළමනාකරණ විෂය එසේම තිබියදී පවා නිවැදිව සිය වගකීම ඉටු කළ රාජ්‍ය නිලධාරිහු නැත්තේ ද නොවෙත්. මේ එවැනි කතාවකි.

”අපේ ගමේ ගෙවල් පනස් ගාණක් යටවුණා. මේ දම්බුළුවන කහවත්තේ ඇලපාත වසමේ දෙමටකැටිය ගම. ප‍්‍රාදේශීය ලේකම්ට ලේකම්ට ග‍්‍රාමනිලධාරිට තාම එන්න බෑ. ඒත් අපිට ඒ.ජී ඔපිස් හරහා කලින්ම දැනුම්වත් කරලා තිබුණනෙ. ප‍්‍රවෘත්තිවලට එහෙම දුන්නා. රත්නපුරේ ටවුන් එක යට වෙද්දී ප‍්‍රාදේශීය ලේකම්තුමා මෙහේ වතුර වැඩිවෙනවා කියලා තිබුණා. එතකොට රජයේ නිලධාරින් ගෙයක් ගානේ ගිහින් අයින්වෙන්න කිව්වා. අපිට හාල් කිලෝ 9ක් පරිප්පු පන්සීයක් හම්බුණා. අපේ බඩු මලූ ඇලපාතින් කිරිඇල්ලට ගෙනැත් කිරිඇල්ලෙන් බෝට්ටුවලින් ගේනවා කිව්වා.” ඒ දෙමටකැටියේ කාන්තාවකි.

ඈ පවසන ආකාරයට පූර්ව අනතුරු ඇඟවීමේදී ප‍්‍රාදේශිය ලේකම්වරයා ඇතුලූ නිලධාරින් සිය රාජකාරිය අකුරට ඉටු කර තිබේ.   ඇතැම් තැන්වලදී දකින්නට ලැබුණේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙලෙහි ඓන්ද්‍රීය පියවරවල බිඳවැටීමයි. ඉන් එකක් වන්නේ අනතුරු ඇඟවීම් කළ පසුව එයට මහජනතාව දක්වන ප‍්‍රතිචාරයයි. මහ ගං වතුරක් බව දැන දැනත් ඇතැම්මු සිරි නරඹන්නට ගියහ.

නව මාධ්‍ය ඔස්සේ පර්ව අනතුරු ඇගවීම් ලබා දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ආරම්භ කළේ 2016 වසරේ දී ය. ඒ අරණායක නාය යෑම සහ එම වකවානුවේම ඇතිවූ ගංවතුරෙන් පසුය. සමාජ මාධ්‍ය ගැන පර්යේෂණ කරන සංජන හත්තොටව වැනි පිරිස් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දිගින් දිගටම කළ බලපෑම් හමුවේ 2016 ජුනි මාසයේ දී අපදා කළමනාකරණ මධ්‍යස්ථානය මෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද ෆේස්බුක් හා ට්විටර් හරහා තොරතුරු ලබා දීම ආරම්භ කළේය. එම වසරේ ගංවතුර තත්ත්වය ගැන වරින් වර අනතුරු ඇගවීම් කිහිපයක් සිදු කළ අතර මේ ආයතන දෙකේම ෆේස්බුක් සහ ට්විටර් ගිනුම් එම වසරේ අගභාගය වන විට යාවත්කාලීන කිරීම නතර කර තිබිණි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යළි ට්විටර් ගිනුම යාවත්කාලීන කිරීම ආරම්භ කළේ පසුගිය අවුරුදුදා මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් අනතුරුවය. දින කිහිපයක් යාවත්කාලීන කිරීමෙන් පසු යළිත් එය නතර කර දැමූ අතර ආපදා කළමනාකරණයට සමාජ මාධ්‍ය යළි මතක් වූයේ මැයි 25 වැනිදායින් පසු ගැලූ මහා ගංවතුරෙන් හා නායයෑමෙන්වලින් ජීවිත සිය ගණනක් විනාශ වූ පසුවය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථායෙන්  පසුගිය වකවානුවේම සිදු වූයේ ආපදාව ගැන තොරතුරු ලබා දීම මිස ආපදාවට පෙර පූර්ව අනතතුරු ඇඟවීම නොවේ.

කලූතරන් ආරම්භ කර ගාල්ල, මාතර, හම්බන්තො සහ රත්නපුර දිස්ත‍්‍රික්කවල ප‍්‍රදේශ සක අපි සංචාරය කළෙමු.  මෙවර ජීවිත හානි වැඩියෙන්ම සිදුවූ කිසදු ප‍්‍රදේශයකට හරි හැටි පූර්ව අනතුරු ඇඟවීම් ලැබී තිබුණේ නැත. පර්ව අනතුරු ඇඟවීම් ලැබුණු සමිත ප‍්‍රදේශවල ජීවිත හානි අවම වී තිබිණි. ඊට හොදම උදාහරණය කැලණි ගං මිටියාවතයි. කතාව ආරම්භයේදීම අප සඳහන් කළ පරිදි ජංගම දුරකතන වලට කෙටි පණිවුඩ මගින් අනතුරු ඇඟවීම් ලැබීම සහ සමාජ මාධ්‍ය හරහා එය ප‍්‍රචාරය කිරීම නිසා කැලණි ගං මිටියාවතේ අනතුරු ඇතිවිය හැකි ප‍්‍රදේශයේ ජනතාව ඉවත්වූහ.

ඊළඟ හොඳම උදාහරණය මාතර නිල්වලා ගං දෙපසයි. මැයි 27 වැනි දා රාත‍්‍රී නවයයි ගණනට අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ෆේස්බුක් පිටුවේ අනතුරු ඇඟවීමක් ලෙස දක්වා තිබුණේ නිල්වලා ගඟේජල මට්ටම වැඩිවන බැවින් මාතර ප‍්‍රදේශ කිහිපයක වැසියනට ඉවත් වන ලෙසයි. අනතුරු ඇඟවීම මහ ? ලැබුණ ද සමාජ මාධ්‍ය හරහා එම අනතුරු ඇඟවීම සීග‍්‍රයෙන් ව්‍යාප්ත විය. මේ පණිවුඩය වැඩි වේලාවක් යන්නට මත්තෙන් අදාළ ප‍්‍රදේශවල වැසියනට සන්නිවේදනය වීමේ ප‍්‍රතිඵලය වූයේ එම ප‍්‍රදේශයේ සියලු ජීවිත ආරක්ෂා වීමයි.

පසුගිය ආපදාවේදී සිදුවූ තවත් එක් දුර්වලතාවක් වූයේ ආයතන අතර සම්බන්ධයක් නොමැති වීමයි. එහි ප‍්‍රතිඵලය ලෙස ජනතාව අනිසි බිය වැද්දවීම්වලට ලක් විය. කළුතර පැත්තේ වේල්ලක් කැඩීයාමේ අවධානමක් ඇති බැවින් ප‍්‍රදේශවාසීන්ට ඉවත් වන ලෙස පොලිසිය දැනම්වත් කරද්දී වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ප‍්‍රකාශ කළේ එවැනි තත්ත්වයක් නැති බවයි. වඳුරඹ කොතේකන්දේ ජනතාව ද දිය බුබුලක් නිසා භීතියට පත් වූ විට පොලිසියට කරන්නට ඉතුරු වුණේ ලහි ලහියේ ඒ මිනිසුන් ආරක්ෂිත ස්ථානයකට යැවීමය. එහෙත් පසුව නිලධාරින් පවසා තිබුණේ එය අස්ථාන බයක් බවයි.

ආපදා තත්ත්වයක දී පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමේ වගකීම ඇත්තේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයටය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සාමාන්‍ය ක‍්‍රමයට කාලගුණ අනාවැකි පළ කරන අතර ගංගා ජල මට්ටමේ වැඩි වීම ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාර්තා සපයයි. නායයෑම් ගැන දැන්වීමේ හැකියාව ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයටය.  එම වාර්තා විශ්ලේෂණය කරමින් අනතුරු ඇඟවීම් නිකුත් කළ යුත්තේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයයි.

ආපදා කළමනාකරණය ද මේ වන විට බලවත් විෂයකි. ආසන්න කාලයේ දී ආපදා කලමනාකරණයට පත්වූ සියලු ඇමැතිවරු පාහේ ද ම් ආණ්ඩුවේ බලවන්තයෝ ය. බලය මෙන්ම විෂය අත්දැකීම ද ඇති නිසා ලංකාවට මුහුණ පාන්නට සිදුව ඇති ව්‍යසනයේ තරම ගැන මීට වඩා සංවේදී වීමට ඔවුන්ට හැකියාව තිබුණි. එහෙත් රටේ කරුමයට මෙන් සියලූ ජාතික ප‍්‍රශ්න යට ගොස් පසුගිය කාලය පුරාම මතුවුණේ පක්ෂ දේශපාලන ව්‍යාපෘතිවල අංචි ඇදීම් හා කුලල් කා ගැනීම්ය. මේ නිසා හටගෙන ඇත්තේ ”ආපදා කළමනාකරණ ඇමැතිවරු යති එති. මිනිස්සු අකල්හි මිය යති. ” පන්නයේ තත්ත්වයකි.

අප රටේ ඇති ලොකු අවුලක මුල නම් භූමිකා පටලවා ගැනීමයි. අමාත්‍යංශවල දේශපාලනයෙන් ඔබ්බට යද්දී මේ සන්තෑසිය අද රාජ්‍ය ආයතනවලට ද උරුම කරුමයක් වී තිබේ. ආපදා කළමනාකරණය නිසි ලෙස සිදුනොවීමට ද මෙය හේතු වී තිබේ. මේ පසුපස තිබෙන්නේ ද දේශපාලනයයි.

ලෝක බැංකුවේ ආපදා අවදානම් කළමනාකරණ විශේෂඥ එඞ්වඞ් ඇන්ඩර්සන් පවසන්නේ ආපදාවක් යනු මුළුමනින්ම ස්වාභාවික දෙයක් නොවන බවයි. බොහෝවිට ආපදාවක් යනු සංවර්ධන සැලසුමක අසමත්භාවය යැයි ඔහු පවසයි. රටකට සංවර්ධන සැලැසුම් අවශ්‍ය වන්නේ ආර්ථිකය නගා සිටුවමින් මහජනයාගේ ජීවන තත්ත්වය නගා සිටුවීමටය. එහෙත් ඒ සැලසුම් විසින් ඇතිකරනු ලබන ව්‍යසනවලට යළිත් මහා පරිමාණයෙන් මහජන මුදල්ම වෙන්කරන්නට සිදුවන තත්ත්වයක් හටගත්තොත් ප‍්‍රතිපත්ති සම්පාදනයම විහිළුවක් වනු ඇත. වෙසක් සඳේ සෞම්‍ය කිරණ ජාත්‍යන්තර මට්ටමින් විඳගත් අපට හෙට පොසොන් පෝය ලබමින් තිබෙන්නේ එවැනි අභාවවාචක අත්දැකීම් මැද අපේම සහෝදර ජනකායකගේ කඳුළු ගං වතුරකට යටවීය. තම ප‍්‍රජාව ආරක්ෂා කරගන්නට අසමත් දේශපාලඥයන් එහි සිටින්නේ කරවටක් ගිලීය.

නව මාධ්‍ය පර්යේෂකයකු වන සංජන හත්තොටුව මහතා –

‘‘අද අපේ රටේ දුරකථන සිම්කාර්ඩ් මිලියන 22ක් තිබෙනවා . ඉස්සර පත්තරයක් බැලූ, ගුවන් විදුලි නාලිකාවකට සවන් දුන්නු පිරිසම තමයි අද තමන්ගේ අතේ තිබෙන ජංගම දුරකතනයෙන් තොරතුරු ලබා ගන්නේ. 2004 සුනාමියෙන් පස්සේ ආණ්ඩුව හා සවිල් සමාජය ක‍්‍රියාන්විත දෙකක් පටන් ගත්තා. ඒක පදනම් වන්නේ මොනම ආපදාවක් ආවත් රජයේ අපදා කළමනාකරණ ආයතනවලින් ක්ෂණිකවම දැනුම් දීමේ ක‍්‍රමවේදයක් ස්ථාපිත කිරීමයි. ඒ විතරක් නෙමෙයි  ඕනෑම ජංගම දුරකතනයකට එස්එම්එස් එකක් යවන්න පුලුවන්. සෙල් බ්‍රෝඞ්කාස්ට් කියලා තාක්ෂණයක් තිබෙනවා. එයින් කියන්නේ යම් කිසි ප‍්‍රදේශයක ආපදාවක් සිදුවෙනවා නම් එම ප‍්‍රදේශයේ ඉන්න ජංගම දුරකතනවලට පමණක්  පණිවිඩය යැවීම. පෙර අනතුරු ඇඟවීම යවන්නේ එස්එම්එස් හරහා. ස්මාර්ට් ජංගම දුරකතන වලට පමණක් නොවෙයි

මෙම තාක්ෂණය හැම දුරකතනයකටම තිබෙනවා. පසුගිය වසරේ ගංවතුර ගැලුවට පස්සේ පෙනුනා ෆේස්බුක්, ට්විටර් කෙතරම් භාවිත වුණාද කියා. තොරතුරු දැන ගන්න, කළමනාකරය කරන්න සහ ප‍්‍රදේශවලට අවශ්‍ය දේවල් දැනගන්න සමාජ ජාලා කෙතරම් භාවිතා  කළාද කියලා පැහැදිලිවම දැක්කා. මේ අවුරුද්දෙත් සමාජ ජාලා අතිෂයින්ම වැදගත් වුණා. ප‍්‍රධාන පෙළේ මාධ්‍යවලට වඩා වැඩියෙන් සමාජ මාධ්‍ය හරහා තමයි දැන් තොරතුරු නිකුත් වෙන්නේ. අපදා පැතිවලට බෙදන්න කොටුව දුම්රිය පොළට සමාජ මාධ්‍ය හරහා බත් පැකට් ඉල්ලා තිබුණා. ඊට ප‍්‍රතිචාර ලෙස පැකට් විශාල ප‍්‍රමාණයක් ලැබී තිබුණා. පණිවිඩය ලැබුණු අය කියනවා අපිට පණිවිඩය දැනගන්න ලැබුණේ ෆේස්බුක් හරහා බව. ඉතා දුර ප‍්‍රදේශවල සිට අය කොටුවට පත් පැකට් එවා තිබ්බා. ඔවුන් කියන ආකාරයට ඈත ප‍්‍රදේශවලට පවා පණවිඩය යවන්න දායක වෙලා තියෙන්නේ ෆේස්බුක්. ගංවතුර වැඩියෙන් තිබුණු දිනවල ට්විටර් හරහා හැෂ් ටැග් හතරක් හරහා විනාඩියකට ට්විට් දෙකකට වැඩි සංඛ්‍යාවක් නිකුත් වුණා.

මෙය ඉතිහාසයේ නොවුණු තත්ත්වයක්. ඒකෙන් කියැවෙනවා ට්විටර් කොපමණ භාවිත වුණාද කියලා. ම් වසරේ තවත් අලුත් දෙයක් වුණා. ඒ තමයි වට්ස්අප් හරහාත් ආපාදා කළමනාකරණයට දායකත්වය ලැබුණා. මේකෙන් පෙන්නේ සමාජ මාධ්‍ය නැතුව සිදුවීමක් ගැන අවබෝධයක් ගන්න බැහැ කියන එකයි. ඒ වගේම ආපදාවකට පෙර අනතුරු ඇඟවීමක් තිබුණොත් මහජනතාවට වැඩිපුරම තොරතුරු යවන්න පුලූවන් සමාජ මාධ්‍ය හරහා. 2017 වෙද්දිත් රජයේ ආයතන සමාජ මාධ්‍ය භාවිතා කරන්න පසුගාමී වෙන්නේ ඇයි කියා කථිකාවක් ඇති වුණා. අපේ යෝජනා කිහිපයක් තිබෙනවා. අපි පුන පුනා කව්වත් මේකට උනන්දුවක් නැති තත්ත්වයක් තමයි තිබෙන්නේ.

ජනතාව ඉන්න ස්ථානවලට ආපදා කළමනාකරණය යන්න  ඕනෑ. ෆේස්බුක්, ට්විටර්, වට්ස්අප් ලංකාවේ මිලියන ගණනක් භාවිත කරනවා. මේවා තේරුම් ගත හැකි, තාක්ෂණික පැත්තෙන් දැනුමක් තිබෙන පිරිස් ආපදා කළමනාකරණයට බඳවා ගන්න  ඕනෑ. ඉස්සර වගේ මාධ්‍ය නිවේදනයක් දාලා ආපදා කළමනාකරණය කරන්න බෑ.  ඒ වගේම සමාජය මාධ්‍යවල තිබෙන තොරතුරු විශ්ලේෂණය කර මේවා ගත යුතුද නැද්ද කියා තීරණයක් ගැනීමේ හැකියාවක් ඒ ආයතන වල තබිය යුතුයි. ඒ වගේම පසුගිය වකවානුව් වැඩි විෂයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් තොරතුරු ලබා දුන්නේ සිංහලෙන් සහ ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණයි. දමිළ භාෂාව පමණක් දන්නා අයට එය අසාධාරණයක්. මේ නිසා ජීවිත හානි පවා වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයන් තේරුම් ගෙන රජය අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගත යුතුයි.

විද්‍යා ලේඛක හා මාධ්‍ය පර්යේෂක නාලක ගුණවර්ධන

නව මාධය්‍ය සහ නව තාක්ෂණය යොදා ගෙන ආපදාවලට පෙර සාර්ථක අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වීම ගැන ලෝකයේ උදාහරණ මොනවාද?

ආපදාවලින් සමස්ත සමාජය හැකි තරම් ප්‍රවේශම් කර ගැනීමට කරන ක්‍රමීය සැළසුම්කරණයටල ආපදා අවදානම් අවම කිරීම (disaster risk reduction) යයි කියනවා. එහි වැදගත් කොටසක් තමයි ආපදා අනතුරු ඇඟවීම්.

සොබාවික උවදුරු (hazards) මානව සමාජයන්ට හානි කරන විට එයට ආපදා (disaster) යයි කියනවා. ආපදාවකට පෙරල ආපදාව දිග හැරෙන විට ආ ඉන් පසුව ටික කලක් යන තුරු යන තුන් අදියරේදීම ප්‍රශස්ත සන්නිවේදනවලට මාහැඟි මෙහෙවරක් ඉටු කළ හැකියි.

ආපදා අනතුරු ඇඟවීම් (disaster early warings) යනු මහජනයාගේ ආරක්ෂාව සැළසීමට රජයකට තිබෙන වගකීම් සමුදායෙන් ඉතා වැදගත් එකක්. රටක  ජාතික ආරක්ෂාව සළසනවාට සමාන්තර වැදගත්කමක් මා එහි දකිනවා.

අනතුරු ඇඟවීම හරිහැටි කිරීමට, බහුවිධ උවදුරු ගැන විද්‍යාත්මකව නිතිපතා දත්ත එකතු කිරීමල ඒවා ඉක්මනින් විශ්ලේෂණය කිරීම හා ඒ මත පදනම් වී තීරණ ගැනීම අයත් වනවාග

මෙරට විවිධ ආපදා පිළිබඳව අනතුරු ඇඟවීම් කිරීමේ වගකීම නොයෙක් රාජ්‍ය ආයතනවලට නිල වශයෙන් පවරා තිබෙනවා. සුනාමි හා කුණාටු ගැන නිල වගකීම ඇත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට.

යම් ආපදාවක් ළඟ එන බව සෑහෙන දුරට තහවුරු කර ගත් පසු, එයින් බලපෑමට ලක් වන ප්‍රජාවන් සියල්ලට එය හැකි ඉක්මනින් දැනුම් දීල අවශ්‍ය නම් ඉවත් වීමට නිර්දේශ කළ යුතුයි. මෙකී භාරදූර කාරය කළ හැක්කේ රජයට පමණයි. ස්වේච්ඡා ආයතනවලට එය ප්‍රතිරාවය කරන්න පුළුවන්. ඒත් මුල් තීරණ අදාල රාජ්‍ය ආයතනයක් විසින්ම ගත යුතුයි.

අනතුරු ඇඟවීම් බෙදා හරින විට මේ මූලික සාධක කිහිපයක් සළකා බැලිය යුතුයි.

අනතුරක සේයාව පහළ වූ විට මූලික දැනුම්දීමක් (alert) හා එය වඩාත් තහවුරු වූ විට අනතුරු ඇඟවීමක් (warning) කළ යුතුයි.

ඉවත්වීමේ තීරණය (evacuation) සාවධානව ගත යුත්තක්ග ඉවත්ව යන මාර්ග හා එක් රැස් විය යුතු තැන් ගැන කල් තබා ප්‍රජාව දැනුවත් කර තිබිය යුතුයි. මේ සඳහා කලින් කලට ආපදා පෙරහුරු (disaster drills) පැවැත්වීම ඉතා ප්‍රයෝජනවත්.

ආපදා පිළිබඳව මූලික දැනුම්දීම් හා අනතුරු ඇඟවීම් කඩිනමිනුත් කාර්යක්ෂමවත් සමාජගත කරන්නට එක් සන්නිවේදන ක්‍රමයක් වෙනුවට එක වර සන්නිවේදන ක්‍රමවේද කීපයක් යොදා ගත යුතුයිග එකකින් මග හැරෙන ජනයා තව ක්‍රමයකින් හෝ ළඟා වීමට ටෙලිවිෂන්, රේඩියෝ, ජංගම දුරකථන මෙයට යොදා ගත හැකියි.

අමෙරිකාව හා ජපානය වැනි රටවල සියලු රේඩියෝ හා ටෙලිවිෂන් සේවාවන්වල එදිනෙදා විකාශයන් මදකට බාධා කොටල ඒවා හරහා රජයේ නිසි බලධරයන් විසින් එකවර ආපදා අනතුරු ඇඟවීම් විකාශ කිරීමේ තාක්ෂණමය හා පරිපාලනමය සූදානම තිබෙනවා.

මීට අමතරව cell broadcasting නම් තාක්ෂණයක් මෑතදී දියුණු කොට තිබෙනවා. එයින් ජංගම දුරකථන ජාලයක් හරහා නිශ්චිත ප්‍රදේශවල සිටින ජංගම ග්‍රාහකයන් පමණක් ඉලක්ක කොට ආපදාවක් ගැන sms කෙටි පණිවුඩ ඉක්මනින් යැවිය හැකියි. හදිසි අවස්ථාවල ජංගම දුරකථන ජාලයට දරා ගන්න බැරි තරම් සන්නිවේදන වැඩි වූ විටෙක (network overload) පවා මේ ක්‍රමයට යවන පණිවුඩ අවසාන ඉලක්කයට යනවා. හැබැයි ඒවා ලබන ජංගම දුරකථනවල බැටරි බලය තිබිය යුතුයි.

මේ (cell broadcasting) ක්‍රමවේදය මෙරටට අදාල කරන සැටි ගැන ලර්න් ඒෂියා පර්යේෂණායතනය පර්යේෂන කොට තිබෙනවා.

4G දක්වා නූතන දුරකථන තාක්ෂණය යොදා ගැනෙන,මිලියන් 25කට වඩා සක්‍රිය ජංගම දුරකථන ගිනුම් තිබෙන අපේ රටේ මේ තාක්ෂණය ආපදා අවස්ථාවල මීට වඩා උපක්‍රමශීලී ලෙස යොදා ගත යුතුමයි.

අපේ රටේ තිබෙන්නේ නවීන තාක්ෂණය නැතිකමක් නොවේ. තිබෙන නවීන තාක්ෂණයන් කාර්යක්ෂමව හා නිසි පරිදි මෙහෙයවා වැඩ ගැනීමට පරිපාලනමය සූදානම හා තීරණ ගැනීමේ ධාරිතාව මදි වීමයි. මේවා ආණ්ඩුකරණය දුර්වලවීමේ ලක්ෂණ ලෙසයි මා දකින්නේ. ආපදා කළමනාකරණය හරියට කරන්න නම් නිසි ආණ්ඩුකරණයක් තිබීම තීරණාත්මකයි.

Courtesy of Lankadeepa.

 

Back to Top