Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගශ්‍රී ලංකාවේ දේශපාලනය සහ ශ්‍රම බලකාය තුළ කාන්තාවෝ

ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ ශ්‍රම බලකාය තුළ කාන්තාවෝ

by

ජායාරූපය: රැකියා විරහිත උපාධිධාරී උද්ඝෝෂනයකට එක් වූ තරුණ කාන්තාවෝ. Credit: Amantha Perera/IPS.

ඊ.එම්. බී. මැණිකේ විසිනි.

අපේ රටේ ඡන්ද දායකයන්ගෙන් සියයට 52 කාන්තාවන්. ඒ කියන්නේ බාගයකටත් වැඩිය. ඒත් පාර්ලිමේන්තුව තුළ කාන්තා මන්ත‍්‍රීවරියන් ඉන්නේ සියයට 06 ක් පමණයි. ඒ කියන්නේ 13 දෙනයි. පළාත් සභාවල මන්ත‍්‍රිවරියෝ ඉන්නේ ඊටත් අඩුවෙන්. ඒ කියන්නේ සියයට 04 ක්. ප‍්‍රාදේශීය සභාවල ඊටත් අඩු යි සියයට 02ක් පමණයි කාන්තා නියෝජිතවරියන් ඉන්නේ. මෙතන විශාල පරතරයක් තියන බව ඕනම කෙනෙකුට පේනවා. මේ තත්වය තියෙන්නේ දේශපාලනය තුළ පමණක් නොවෙයි.

රැකියා ක්ෂේත්‍ර ගණනාවක වැඩි ප‍්‍රමාණයක් ඉන්නේ කාන්තාවන්. නමුත් ඒ අංශවල පවා  තීරණ ගන්නා ඉහළ තනතුරු වල කාන්තාවන් අඩුයි.

විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නා ශිෂ්‍ය ප්‍රජාවෙන් සියයට 60 ශිෂ්‍යාවන්.

උපාධිධාරීන්ගෙන්  සියයට 54 ක් කාන්තාවන්.

පළාත් සභා රාජ්‍යසේවයේ යෙදී සිටින්නන් අතුරින් සියයට 59 කාන්තාවන්.

වෘත්තිකයන්ගෙන් සියයට 62 කාන්තාවන්.

එහෙත් විදුහල්පති සේවයේ  සියයට 20ක් පමණයි කාන්තාවන් ඉන්නේ. අධ්‍යාපන අධ්‍යකෂ තනතුරු දරන අය ඊටත් අඩුයි.

දේශපාලන නියෝජනය සහ විශම සැළකීම සහ සම්බන්ධයක්

ජන්දය ප්‍රකාශ කිරිමෙහිදී ද ස්ත්‍රීහු හරි හරියට සහභාගි වෙති.

කාන්තා දේශපාලන නියෝජනයක් නැතිකම සහ ශ්‍රම බලකාය තුළ කාන්තාවන්ට ඇති විෂම සැලකීම අතර සම්බන්ධයක් තිබෙනවා. අපේ පාර්ලිමේන්තුව තුළ හෝ පළාත් සභා තුළ හෝ ප්‍රාදේශීය සභා තුළ හෝ වැඩ කරන කාන්තාවන් මුහණ දෙන ප්‍රශ්න සාකච්ජා වෙන්නේම නැති තරම්. විවිධ ක්ෂෙත්‍රයන්හි සේවයේ  නියුතු කාන්තාවන් එම සෑම ක්ෂේත්‍රයකදීම වාගේ ලක්වන්නේ අඩු සැළකීමටයි. කාන්තාවන්ට සමතැන ලබා දීම ගැන කතා පැවැත්වූවාට එම තත්වයේ කැපි පෙනෙන වෙනසක් නැති බව අප හැම දන්නවා. මෙම ප්‍රශ්ණ ප්‍රමාණවත් පරිදි පාර්ලිමේන්තුව හෝ පළාත් සභා තුළ හෝ සාකච්චා නොවන්නේ ඒවායේ ප්‍රමාණවත් කාන්තා නියෝජනයක් නැති නිසයි.

අපේ රටේ ආර්ථික කේෂත‍්‍රයේ ගත්තොත් වැඩිම දායකත්වය තියෙන්නේ කාන්තාවන්ගෙන්. අපේරටේ ආර්ථිකයේ කුළුණු 3ක් තිබෙනවා. ආර්ථිකයට වැඩිම දායකත්වය ලබාදෙන ආදායම් මාර්ග වන්නේ වැවිලි කර්මාන්තය, ඇඟළුම් කේෂත‍්‍රය, විදේශ රැකියා ක්ෂේත්‍රය යන අංශ තුනයි. මේ අංශ තුනෙහිම වැඩි ප‍්‍රමාණයක් රැකියා කරන්නේ කාන්තාවන්‍. අද අප කතා කරන්නේ ඇඟළුම් කේෂත‍්‍රය ගැනයි.

නිදහස් වෙළඳ කලාප ශ‍්‍රමිකයන් ගෙන්  සියයට 85 ක් පමණ කාන්තාවන්. 2013 වර්ෂයේ ශ‍්‍රී ලංකාවට ඇගළුම් කර්මාන්තයෙන් ලැබු ආදායම රුපියල් බිලියන 4.5 තරම්.

2013 තේ වලින් රුපියල් බිලියන 1.5ක් ද,රබර් වලින් රුපියල් මිලියන 877, විදේශ රැකියාවලින් රුපියල් බිලියන 6.8ක් ද ලැබී තිබෙනවා.

නමුත් මෙම කාන්තාවන්ගේ ප්‍රශ්න ආණ්ඩුකරණ යාන්ත්‍රණයන් තුළ සාකච්චා වෙන්නේම නැති තරම්.

රාජ්‍ය අංශයේ හා සංස්ථාවල සේවය කරන ලක්ෂ 7ක් පමණ සේවය කරන කාන්තාවන් හැරුණ විට ඉතිරි අය අඩු පහසුකම් අඩු වැටුප් ඇති රැකියා තෝරාගෙන තිබෙනවා. වෙළද කලාපය, විදේශ ගෘහසේවය, තේ දළු නෙලීම, රබර් කිරි කැපීම, වෙළඳ සහායිකා, දුරකතන මධ්‍යස්ථාන, සම්බාහන ආයතන, ලිංගික ශ‍්‍රමිකයන්, විද්‍යුත් ජනමාධ්‍ය ආයතන, පරිගණක ආයතන යනාදියෙහි වැඩිපුර රැකියාවන්හි යෙදි සිටින්නේ කාන්තාවන්ය. නිදහස් වෙළද කලාපයෙහි  රැකියා කරන කාන්තාවන්ගෙන් 58% ක්ම කරන්නේ කම්කරු රැකියාවන්.

නිදහස් වෙළද කලාපයේ මොකද වෙන්නේ?

අප නිදසුනක් ලෙස දැනට දශක හතරක් පුරා පැවැත ඇති නිදහස් වෙළද කලාප කාන්තා ශ්‍රමිකයින් මුහුණ දෙන ප්‍රශ්න ටිකක් දීර්ඝව බලමු.

නිදහස් වෙළද කාලාප තුළ වැඩකරන කාන්තාවන් විවිධාකාරවූත් අප‍්‍රමාණවුත් ගැටළු සහ ප‍්‍රශ්න වලට මුහුණ දෙයි. වැඩ කාර්යක්ෂම කිරීම සදහා යැයි කියමින් පාලකයින්  ‘ඩාන්සින් මොඩියුලය නමැති පැය ගණන් හිටගෙන වැඩ කිරීමේ ක‍්‍රමයක් ඇති කර තිබේ. ඔවුන් ලබන වැඩුප ජිවත් වීමට ප‍්‍රමාණවත් නැත. 2016 වර්ෂයේ කම්කරු කාන්තාවකගේ සාමාන්‍ය මාසික වැටුප රුපියල් 13000ක් පමණක් විය. මෙවැනි වැටුපක් ලබා අවම ජිවන තත්වයක් හෝ පවත්වා ගත නොහැකි බව අලුතෙන් කීමට අවශ්‍ය නැත.

ආණ්ඩුව යුරෝපා සංගමයේ ජිඑස්පී ප්ලස් බදු සහනය ලබා ගත්තේ කම්කරු අයිතින් සුරකින බවට ද  පොරොන්දු වෙමිනි. එනමුත් දශක ගණනාවකට පසුත් නිදහස් වෙළද කලාපයේ සමහර කර්මානතශාලා තුළ වෘත්තිය සමිති පිහිටුවීමට  ඉඩ දෙන්නේ ද නැත. එවැනි උත්සාහයන් දරණ ලද පිරිස් රැකියාවලින් නෙරපා තිබේ.  පවතින කම්කරු නීති කම්කරුවන් ආරක්ෂා කිරීමට සමත් වී  නැත.

මැයි දිනයෙහි පාරට ආ වෙළද කලාප සේවිකාවෝ

නිදහස් වෙළද කලාප තුළ ක‍්‍රියාත්මක වන කර්මාන්ත ශාලාවන්හි විදේශීය ආයෝජිකයින්  රටහැර ගිය පසු ඒවායෙහි වැඩ කරන සේවකයින් අතරමං වූ අවස්ථාද තිබේ. රැකියා සුරක්ෂතභාවය කියා දෙයක් නිදහස් වෙළද කලාප තුළ නොමැත.

කම්කරු කාන්තාවක් ලිංගික අතවරයන්ට ලක්වූ අවස්ථාවන් ද වාර්තා වි තිබේ. ලක්වෙයි. නිවාඩු ලබාගැනීමේදී සහ වෙනත් රාජකාරි කටයුතු වල දි ලිංගික සුරාකෑමට ලක්වූ අවස්ථා සහ වෙනත් ලිංගික අල්ලස් දීමට සිදුවීම් ද වාර්තා වි තිබේ. සමහර තරුණයින් විවාහ කර ගන්නා බවට පොරොන්දු වි තරුණියන් රවටා මුදල් හා ආභරණ පැහැරගත් අවස්ථාද විරල නැත.

නීතිමය රාමුව තුළ සතියට උපරිම වශයෙන් වැඩ කළ යුතු වන්නේ පැය 60ක‍‍‍‍්. නමුත් සමහර අවස්ථාවන්හිදී  සතියට පැය 100 ක් වැඩ කිරීමට මෙම තරුණ කාන්තාවන්ට සිදුවේ. ඒ ඉලක්ක සපුරාදීම සදහාය. විවාහ වු පසු වැඩකරන කාන්තාවන් වෙළද කලාපය තුළ සිටින්නේ 10% ක් පමණය. විවාහයෙන් පසු ඔවුහු රැකියා අත හැර යන්නේ පවුල් ජිවිතයක් පවත්වා ගත හැකි වැඩ කිරීමේ සංස්කෘතියක් එහි නැති නිසාය.

ගාමන්ට් කෙල්ලෝ යනුවෙන් හැදින්වීම තුළ නිදහස් වෙළඳ කලාප කාන්තාවන් කෙරෙහි පහත් හැඟිමක් ඇති කර තිබේ. යුද්ධය  අවසන්වීම නිසා මඩකලපුව. ත‍්‍රිකුණාමලය, මුලතිව් වැනි ප‍්‍රදේශ වලින් දෙමළ කාන්තාවන් නිදහස් වෙළද කලාපයට රැකියාවට පැමිණ තිබේ. එනමුත් කර්මාන්ත ශාලා තුළ භාවිතා වන්නේ සිංහල භාෂාව පමණකි. දෙමළ භාෂාව භාවිතා නොවන නිසා ඔවුන් මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙයි. දෙමළ වු නිසාම පහත් කොට සැලකීමටත් නේවාසිකාගාර, බෝඩිම්, කර්මාන්තශාලා යන හැම තැනදීම මෙම විෂම සැලකීම තිබේ.  ගැබිනි මව්වරුන්ට පවා දිනකට පැය 12 ක් හිටගෙන වැඩ කිරීමට සිදුවූ අවස්ථා වාර්තා වි තිබේ. මන්ද පෝෂණය, කොන්ද කැක්කුම, හිසරදය, ආතතිය, තුවාල, මිගේ‍්‍රන්,  හුස්ම ගැනීමේ අපහසුතාවය, දණහිස් අමාරු, බෙල්ලේ අමාරු, දඳ කුෂ්ඨ, ආදි නානාප්‍රකාර රෝගාබාද වලින්ද ඔවුහු පීඩා විදිති.

ස්ත්‍රීන්ට පමණක් බලපාන ප්‍රශ්න නැත්ද?

අඩු වැඩි වශයෙන් මෙවැනි තත්වයන් කාන්තාවන් සේවය කරන බොහෝ ක්ෂේත්‍රයන්ට අදාළයි.මීට අමතරව  කාන්තාවන් පොදු වශයෙන් මුහුණ දෙන ප්‍රශ්න ගණනාවක්ද තිබේ.

විද්‍යා සිවයෝගනාදන් ලිංගික කෙළෙසා ඝාතනය කිරිමට එරෙහිව උද්ගෝෂණය කරන යාපනයේ බාලිකාවෝ

2015 දෙසැම්බර් 14 දා ජ.වි.පෙ. මන්ත‍්‍රි බිමල් රත්නායකගේ පැනයකට පිළිතුරු දුක් කාන්තා කටයුතු ඇමතිනි චන්ද්‍රාණි බණ්ඩාර පවසා තිබුණේ 2011-2015 කාලය තුළ ගැහැණූ ළමුන් හා කාන්තාවන් 1410 ක් සමිපතකම ඥතීන් අතින් ලිංගික කෙළෙසීම්වලට  ලක් වි ඇති බවයි. වාර්තා වන මෙවැනි සිදුවීම් සැබෑ ප්‍රමාණයට වඩා බෙහෝ අඩුය. කාන්තාවන මුහුණ දෙන ලිංගික අතවර සහ කෙලෙසීම් බලධාරින්ට වාර්තා කිරීමෙන් සහනයක් ලබා ගැනීම ඉතා දුෂ්කරය. එවැනි නඩු අවුරුදු ගණන් ඇදී යන අතර අධිකරණය තුළදී යළි යළි අතවරයන් නැවත නැවත විචිත්‍රණය වෙයි. කාන්තාවන් මුහුණ දෙන තවත් වැදගත් ප්‍රශ්නයක් නම් අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීමත් එවැනි තත්වයකදී ආරක්ෂිත  ගබ්සා කර ගැනීම් සඳහා අවකාශ නැති වීමත්ය.

කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබද මහාචාර්යය කේ.කේ. කරුණාතිලක මහතා කළ පර්යේෂණයකට අනුව දිනකට ලංකාවේ නීති විරෝධි ගබ්සා 658ක් ක් සිදුවන බව වාර්තා වී තිබේ. වාර්ෂිකව 240170කි. මෙම ගබ්සා කිරිම්  සිදුවන්නේ කිසිදු සෞඛ්‍යාරක්ෂිත තත්වයක් නොමැතිවය. එමගින් ද සිදුවන්නේ  කාන්තාවන්ගේ ජීවිතයට අවදානමකි. යුද්ධ සමයෙහි යුද සීමා ආරක්ෂිත ගම්මාන වලින් බාල වයස්කාර ගැබ්ගැනීම් බහුල වශයෙන් සිදු වුවද එම දරුවන්ට එකී අනවශ්‍ය ගැබ් ගැනීම් අවසන් කිරීමට ක්‍රමයක් තිබුණේ නැති බව අනුරාධපුරය සහ පොළෙන්නරුව වැනි රොහල් වලින් වාර්තා වී තිබුණා.

1883 පැන වූ දණ්ඩ නීති සංග‍්‍රහ පනතේ 303-307 වගන්ති අනුව කාන්තාවන්ගේ ජීවිතය බේරාගැනීම සදහා පමණක් සිදු කරන ගබ්සාවක් හැරුණුවිට අන් සියළු ගබ්සාවන් නීති විරෝධිය. මේ යල්පැන ගිය නීතිය හේතුවෙන් කළලය විකෘති වී තිබුණ ද ස්ත‍්‍රී දුෂණයක් නිසා කළලය පිළිසිදුණද, ගැබ්බර වු තරුණියගේ වයස අවු 16 ට අඩු වුවද කාන්තාව අනිවාර්යයෙන්ම දරුවා මෙලොවට බිහිකළ යුතුමය. කාන්තාවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහා මෙවැනි නිති වෙනස් කළ යුතුමය.

වටිනාමක් නැති ගෘහ සේවය

මෙරට දී ගෘහ සේවයට වටිනාකමක් තිබේද?

ශ්‍රී ලංකාවෙහි ගෘහණියන් ලෙස කාන්තාවන් යෙදී සිටින ගෘහස්ථ සේවයට වටිනාකමක් නැහැ. දරුවන් හදා වැඩීම සහ ගේ දොර කටයුතු පවත්වා ගැනීම  අපේ වැනි රටවල  මූලික වශයෙන්ම  කාන්තාවන්ගේ කටයුත්තක්. කාන්තාවන් මෙම කාර්ය භාරය නොකරන්නේ නම් පුරුෂයන්ට විවිධ රාජකාරි සඳහා කාලය සහ නිදහස ලැබෙන්නේ නැහැ. ඒ නිසයි දැන් දික්කසාද නඩු වලදී විවාහයෙන් පසු පවුල උපයාගත් දේපල අඩක් බිරිඳට අයත් විය යුතු බවට පිළිගැනීමක් තිබෙන්නේ. නමුත් එම කාර්ය භාරය වෙනුවෙන් ආණ්ඩුව සැළකීමක් කරන්නේ නැහැ. අද ලෝකයේ පවතින සමාජ ප්‍රජාත්‍රන්තුවාදී රටවල් එම ගෘහණියගේ කාර්ය භාරය සමාජ සේවයක් ලෙස සලකා ඔවුන්ට විශ්‍රාම වැටුප් ගෙවනවා.

මේ හැරුණවිට ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය තවත් බරපතල ප්‍රශ්නයක්. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයන්හි ගොදුරු බවට පත්වන කාන්තාවන් ඒවා වාර්තා කරන්නේ නැති තරම්. මෑතදී  පුත්තලමේ කාන්තාවක් මුහුණ පෑ බිහිසුනු සිදුවිමක් මැයි 16 දා වාර්තා වුණා. ඇගේ සැමියා ඇයව පුටුවක බැඳ ඇඟට තෙල් වක්කර සිරුරට ගිනිතබා තිබුණා.  පසුව රොහල් ගත කළ ඇය මැයි 21 දා මිය ගියා. ඒ වන විට ගැබ්බරව සිටි ඇයට මාස හතක දියණියක් ද සිටියා.  ඇය ළමා විවහයකට ලක්ව සිටි අතර ඇය පුළුස්සා මරා දැම්මේ ආගමික නායකයෙක්.

මේ තත්වය යටතේ අප ඇසිය යුතු ප්‍රශ්නය නම් සමස්තයක් වශයෙන් කාන්තාවන්ට මේ ඉරණම අත්වී තිබෙන්නේ ඇයි?

මෙහෙම වෙන්නේ උප්පත්ති වරදක් නිසාද?

ලොව පුරාම පුරුෂ මූලික සමාජයන්හි ස්ත්‍රිය පහත් කොට සැළකීම අනාදිමත් කාලයක් පුරා ප්‍රධාන ලක්ෂණයක් විය. එමෙන්ම බොහෝ සමාජයන්හි කුලය, ගෝත්‍රය, වර්ණය සහ ජන්මය අනුව පහත් කොට සැලකීම පැවැති අතර සමහර රටවල වහල් සේවය පැවැතුණා. එකල එම විෂම සැලකීම් සළකනු ලැබූයේ සාමාන්‍ය තත්වයක් ලෙසයි. නමුත් සෑම පුද්ගලයකුටම සෑම මානව හිමිකමක්ම අයත්ය යන පිළිගැනීම මූලික පදනමක් වන වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන්හි එවැනි කිසිදු විෂම සැලකීමක් සාධාරණ කැරෙන්නේ නැහැ.

නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් විසින් ස්ත්‍රී – පුරුෂ සමානතාවය නීතියෙන් පිළිගෙන ඇතත් එම පිළිගැනීම සමාජ, දේශපාලන සහ ආර්ථික සංස්කෘතියක් බවට පත්ව නැහැ. මෙම ක්ෂේත්‍රයන් තුනෙහිදීම අපේ වැනි රටවල කාන්තාව විෂම සැලකීමට ලක් වන්නේ අන්න ඒ වෙනස ඇති කර ගැනීමට අප අසමත්ව ඇති නිසායි.

ලෝකය වෙනස් වෙනවා; අපත් වෙනස් විය යුතුයි.

මැක්‍රොන්ගේ නව ඇමැති මණ්ඩලයේ සියයට 50ක් කාන්තාවන්ය.

ලෝකය වෙනස් වෙනවා. දියුණුව කරා යන සමාජයන් කාන්තාවන්ට සමාන තැන ලබා දීමට සෑම ක්ෂේත්‍රයකදීම කටයුතු කරනවා. පසුගියදා බලයට පත් වූ ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රෝන් සිය අමාත්‍ය මණ්ඩලයට හරි අඩක්ම කාන්තාවන්  පත් කර ගත්තා. එහි ක‍්‍රීඩා ඇමතිනිය ඔලිම්පික් පදක්කම 5ක් දිනා ඇති ක්ෂේත්‍රයේ නම දිනූ කාන්තාවක්. ආරක්ෂක ඇමති ද කාන්තාවක්. කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ ද සිය අමාත්‍ය මණ්ඩලයේ හරි අඩක් පුරවා ඇත්තේ කාන්තාවන්ගෙන්. ස්කැන්ඩිනේවියානු රටවල ඇත්තේත් එවැනි තත්වයක්. ඉන් සමහර රටවල ඉපදුණු දරුවකු බලා ගැනීමට පියාට මාස හයක් පීතෘ නිවාඩු ලබා ගැනීමට අවස්ථාව දී තිබෙනවා. ඔස්ට්‍රියාවෙහි ගෘහණියන් නිසි වයසට පැමිණි කළ විශ්‍රාම වැටුප් ලබා දෙනවා. අපේ අසල් වැසි ඉන්දියාවෙහි පන්චායත් නම් ගම්සභාවන්හි ලක්ෂ ගණනාවක් කාන්තාවන් මහජන නියෝජිතවරියන් ලෙස කටයුතු කරනවා.

අප ද සමාජයක් සහ රටක් ලෙස සැබැවින්ම ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාවය සහිත රටක් බවට පත් කිරීමට අපහැම කටයුතු කළ යුතුයි නේද ?

මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇතුළු කාර්යයමණ්ලය රටපුරා මේ ගැන දැනුවත් කිරීම ආරම්භ කර තිබීම මහත් සතුටට කාරණයක්. එයට අපගේ නොමසුරු සහයෝගය ලබා දෙන බව අප කීමට කැමැතියි.

එසේ නමුත් මේ සඳහා දීර්ඝ ගමනක් යා යුතු වෙනවා. කාන්තාවන් සෑම ක්ෂේත්‍රයකම නායකත්ව භූමිකාවක් කරා ගෙන ඒමට නම් නිවෙසින්, පාසැලින්, ක්‍රීඩා පිටියෙන්, රැකියා ස්ථාන කෙරෙන් ජනමාධ්‍යයෙන් ඇයට අත්වැල දීම අවශ්‍යයි. සමාජ දේශපාලන ආකල්ප වෙනස් කරන්න පුළුවන්. ඒ සඳහා නොනැවත කරගෙන යන මතවාදී සහ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි.

(මැතිවරණ කොමිසම සහ ස්ත‍්‍රි මධ්‍යස්ථානය එක්ව නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන්  දැනුවත් කිරීම සදහා 2017 මැයි 21 දින ඒකල ස්ත‍්‍රී මධ්‍යස්ථානයේදි ඊ.එම්.බී. මැණිකේ විසින් පවත්වන ලද කතාව ඇසුරින් සකස් කරන ලදී)

Back to Top