Sri Lanka Brief
පුවත්විවරණආයෙත් ජන සංහාරක යුද්ධයක් එපා !

ආයෙත් ජන සංහාරක යුද්ධයක් එපා !

by

යුද්ධය අවසන් වී හරියටම අවුරුදු අටයි. එය විජයග‍්‍රහණයක් ලෙස පිරිසක් කතා කරයි. තවත් පිරිසක් එය මහා ජන සංහාරයක් ලෙස කතා කරයි. යුද ජයග‍්‍රහණ සැමරුම් මහ ඉහළින් නැති එක ගැනද බොහෝ අය බොහෝ කතා කියති. කවුරුන් මොනවා කිව්වත්, යුද්ධය අවසන් වීම සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ ජයග‍්‍රහණයකි. දෙමළ වේවා, සිංහල වේවා, මුස්ලිම් වේවා හැමෝම යුද්ධය අවසන් වීම ගැන සතුටු වෙති. ඒ පිළිබඳ නැවත නැවතත් අටුවා ටීකා අවශ්‍ය වන්නේ නැත. යුද්ධය යනු දහස් ගණනින් ජීවිත අහිමි කරන කුරිරු අත්දැකීම් ගෙන දෙන්නකි. දේපළ විනාශ කර දමන ඉතාම අමිහිරි අත්දැකීම් ගෙන දෙන්නකි. ඒ අර්ථයෙන් යුද නිමාව කොයි කවුරුනුත් සතුටු කරවන්නකි.

එහෙත්, මේ සතුට සැබෑ සතුටක් කර ගත යුතුය. එසේ කර ගත හැක්කේ එවන් කුරිරු යුද්ධයකට පාර කැපූ සැබෑ හේතු පරාජය කිරීමෙන් පමණකි. එකී හේතු බීජයන් මුළුමනින්ම පරාජය කළේ නම්, එදාට එය සැබෑ ජයග‍්‍රහණයක් ලෙස සැමරිය හැකි වනු ඇත. එසේ නොවන තාක් කල් ජයග‍්‍රහණ සැමරීම තවත් දහස් සංඛ්‍යාත ජනතාවගේ සිත් පෑරීමකි. මක් නිසාද යත්, එය එකී ජනතාවගේ පරාජයක් ලෙස දැනෙන බැවිණි. යුද්ධය අවසන් වීම මහා ජයග‍්‍රහණයක් ලෙස සලකන විට තවත් ජන කොට්ඨාසයකට එය දැවැන්ත පරාජයක් ය යන හැඟීම ගෙන දෙයි. එවිට එක පැත්තක් දිනුවා යැයි කියන විට අනෙක් පැත්තෙන් පැරදුණා යන මනෝභාවය ඇති වෙයි. එය කිසිසේත්ම යුද්ධය ඇති වීමට බලපෑ ප‍්‍රධාන හේතු පරාජය කිරීමක් නොවන්නේය. නැවත නැවතත් සැබෑ හේතු ඉස්මතු කිරීමට ඉවහල් වන්නකි.

යුද්ධය යනු යුද්ධයයි

කැමති වුණත්, අකමැති වුණත් යුද්ධය යනු යුද්ධයයි. එය සාමකාමී එකක් වන්නේ නැත. ජීවිත අහිමි වන අත-පය අහිමි වන දේපළ අහිමි කරවන දෙයකි. සැබැවින්ම එය ජනසංහාරක එකකි. දෙමළ ජනතාව දහස් ගණනින් මැරුණා වාගේම සිංහල හා මුස්ලිම් ජනතාවද දහස් ගණනින් මරුමුවට පත් වුණු එකකි. එදා අහිමි වූයේ වෙල්ලමුල්ලි වයික්කාල් දෙමළ ජනතාවගේ ජීවිත පමණක් නොවේ. සිංහල ගම්මාන පිටින් සමූහ ඝාතනය කෙරිණි. මුස්ලිම් ගම්මාන පිටින් සමූහ ඝාතනය කෙරිණි. යුද්ධය අවසන් සතියේ පමණක් සිදු වූ දෙයක් නොවේය. තිස් අවුරුදු කාලය පුරා විවිධ අවස්ථාවලදී සමූහ වශයෙන් මිනිස් ඝාතන සිදු විය. සාමාන්‍ය සිවිල් ජනතාව එහි ප‍්‍රධානම ඉලක්කයක් විය. සිවිල් ජනතාව පළිහක් විදියට යොදා ගැනීම සිදු  වූයේ අවසන් සතියේ පමණක් නොවෙයි. ඉතිහාසය මතක් කළහොත්, එවැනි අවස්ථා ගණනාවක්ම සිහියට නැගෙයි.

සිවාජිලිංගම් මේ ගෙවී යන සතිය ජනසංහාරක සතියක් ලෙස නම් කළේය. ඔහුට අනුව ඔහු සංකේතවත් කරන්නේ අවසන් සතියයි. එහෙත්, සැබෑ ලෙසම ගතහොත්, එය සතියකට පමණක් සීමා වන්නක් නොවේ. මුළු යුද කාලයම එවැනි අත්දැකීම් ගෙන දුන්නකි. සිංහල පවුල් ගම්මාන පිටින් විනාශ වූවකි. දෙමළ පවුල් ගම්මාන පිටින් විනාශ වූවකි. මුස්ලිම් පවුල් ගම්මාන පිටින් විනාශ වූවකි. කිසි දිනෙක කිසි විටෙක යුද්ධය ජනතාව උපද්දවන්නක් වූයේ නැත. යුද්ධය යනු ජනතාව විනාශ කර දමන්නක්ම විණි. එබැවින්, අප කවුරුනුත් හෙළා දැකිය යුත්තේ ජන සංහාරක සමස්ත යුද්ධයයි. එසේ නොමැතිව එක පැත්තකට පමණක් අත දිගු කිරීම තවත් ප‍්‍රශ්නයකට මුලපුරන්නකි.

සිවාජිලංගම්ගේ ජනසංහාරක සතිය

සිවාජිලිංගම්ගේ මේ ක්‍රියාවෙන් සිදු වන්නේ නැවතත් ජාතිවාදය ඇවිස්සීමකි. වෛරය මතු කිරීමකි. මෙවැනි ක්‍රියාවකට උතුරේ දෙමළ ජනතාව කැමති වන්නේද නැත. ඉතාම සුළු අන්තවාදී පිරිසක් මින් සතුටු වනවා විය හැකිය. එහෙත්, බහුතර දෙමළ ජනතාවක් මෙවැනි ක්‍රියාවන්ගෙන් නැවත නැවතත් භීතියට පත් වෙයි. ඒ නිසාම සිවාජිලිංගම්ගේ ජන සංහාරක සතිය නම් කිරීම වෙනුවෙන් උතුරේ ජනතාවගේ සහයෝගයක් ලැබුණේ ද නැත.

ජන සංහාරක සතිය යුද්ධයේ අවසන් සතිය පමණක් වුවහොත්, එය එක පැත්තකට සීමා වන්නකි. එය එසේ අර්ථ දැක්විය නොහැක්කකි. සමස්ත යුද්ධයම ජන සංහාරක එකකි. ඒ අර්ථයෙන් ජන සංහාරක යුද්ධය මුළුමනින්ම පිටුදැකිය යුතුය. ජයග‍්‍රහණ, විජයග‍්‍රහණ සමරනවා වෙනුවට ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවගේ හඬ විය යුත්තේ ‘ජන සංහාරක යුද්ධයක් නැවත එපා’ යන්නය. සිවාජිලිංගම් පමණක් නොව දකුණේ ජනතාවද ඒ වෙනුවෙන් හඬක් නැගීය යුතුය. මැයි දහනව වැනිදා ඒ තේමාවෙන් ප‍්‍රබල හඬක් මතු විය යුතුය. නමුත්, අවාසනාවකට අද එවැන්නක් දක්නට ලැබෙන්නේ නැත.

යුද විරත්වයට නොපෙනෙනු මානුෂී්‍ය ඛේදවාචකය

ජන සංහාරක යුද්ධයක් යළි ඇති නොවනු පිනිස

ජන සංහාරක යුද්ධයක් නැවත ඇති වීම වැළැක්විය හැක්කේ යුද්ධයේ සැබෑ හේතු පරාජය කිරීමෙනි. ඒ සඳහා ආර්ථිකයේ සාධාරණත්වය, සමාජ සාධාරණත්වය අත්‍යවශ්‍යය. ආගමික සහජීවනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අත්‍යවශ්‍යය. සැබැවින්ම එය සැලසුම් සහගත ක්‍රියාවලියකි. එහෙත්, එවැන්නක් දක්නට ලැබෙන්නේ නැත. ආර්ථිකයේ පැත්ත කෙසේ වෙතත්, නීතියෙන් හෝ යම් ඉඩක් සැදීමද අද පස්සට තල්ලු වෙමින් ඇත. නීතියෙන් යම් ඉඩක් හදන ප‍්‍රධාන මෙවලමක් වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවය. එය රටේ මූලික නීතියයි. ජාතික සමගිය, සංහිඳියාව ඇති කිරීම සඳහා මෙය යම් සාධකයක් වනු ඇත. ආණ්ඩුව මේ වෙනුවෙන් විවිධ පොරොන්දු ලබා දුණි. එහෙත්, අද එය බාලගිරි දෝෂයට ලක් වී ඇත. එකිනෙකාගේ පටු දේශපාලන බල වුවමනාවන්ට එය යට වී ඇත. සැබෑ අවංක වුවමනාවකින් ජාතික ප‍්‍රශ්නයට මැදිහත් වීමක් දක්නට ලැබෙන්නේ නැත. ජිනීවාවලට භයේ හෝ ජී.එස්.පී. ප්ලස්වලට භයේ යමක් කරනවා හැර අවංක වුවමනාවකින් මැදිහත් වීමක් කිසිසේත්ම දක්නට නොමැත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එකී ධුරයට පත්වන්නේම ව්‍යවස්ථාව මුල් කරගෙනය. ඒකාධිපති බලතල සහිත විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම එහි ප‍්‍රධානතම පොරොන්දුවය. ඒ හා බැඳුණු ඡන්ද ක‍්‍රමය, ජාතික ප‍්‍රශ්නයේදී සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අලුත් ව්‍යවස්ථාවක් සෑදීම ආණ්ඩුවේ ප‍්‍රධානතම ඉලක්කයක් විය. ඒ සඳහා පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත්කෙරිණි. මෙහෙයුම් කමිටුව හා විවිධ අනු කමිටු පත් කෙරිණි. අනු කමිටු සියල්ලේම කටයුතු අවසන්ව වාර්තා ඉදිරිපත් කර අවසන්ය. එහෙත්, මෙහෙයුම් කමිටුවේ වැඩ තවමත් අවසන් වී නොමැත. විවිධ අය විවිධ දේ කියමින්, එය පස්සට තල්ලු කරමින් යයි. පස්සට තල්ලු කරන්නේ වෙන කවුරුත් නොව ආණ්ඩුවේම හවුල්කරුවන්ය. ඉන් පෙනී යන්නේ මෙය මඟහරින්නේ ආණ්ඩුවම බවය. මැයි දහනවය සැමරුම් විජයග‍්‍රහණය සමරනවා වෙනුවට වහා කළ යුත්තේ සිවාජිලිංගම්ලාගේ. විග්නේශ්වරන්ලාගේ, වීරවංශලාගේ අන්තවාදය පරාජය කරන ව්‍යවස්ථාමය පදනම කඩිනම් කිරීමය.

සිරිසේන රාජපක්ෂ ජාතිවාදයට බිලිවීම

ශ්‍රීලනිපය මෙය පස්සට අදින්නේ රාජපක්ෂ කල්ලියේ ජාතිවාදය ඇවිස්සීමට භයේය. අනෙක් පැත්තට හීන් නූලෙන් ආයෙත් වතාවක් මෛත්‍රීව විධායක පුටුවේම වාඩි කරවීමේ බලාපොරොත්තුවෙන්ය. මේ දෙකෙන්ම සිදුවන්නේ යුද්ධයේ සැබෑ හේතු තව තවත් වර්ධනය වීමය. ගෙවෙන හැම මොහොතකදීම ජාතිවාදය, ආගම්වාදය නැවත නැවතත් ඉස්මතු වෙයි. වර්ධනය වෙයි. ආණ්ඩුවක් විදියට ජාතික සමගිය ඇති කරන්නට බිය විය යුතු නැත. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට එදා ජාතිවාදීන් විරුද්ධ විය. එහෙත්, අද එය පුස්සක් බවට පත් වී ඇත. ආණ්ඩුව ඒ ගත් තීරණය නිවරදිය. එහෙත්, ඒ ධෛර්යය අද ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නැති වීම කනගාටුදායකය. එතන ඇත්තේ, ‘ආසයි භයයි’ තත්ත්වයක්ය. භය ඇත්තේ, තමන්ට බලය නැති වේවි දෝ යන්න ගැනය.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පොදු ජනතාවගේ ඒකායන බලාපොරොත්තුවයි. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීමේ ප‍්‍රධානතම සාධකයයි. එය සිදු කරන්නට කිසිසේත්ම භය විය යුතු නැත. භය නැතිව එයට ඉදිරිපත් විය යුතුය. ඒ සඳහා ජනමත විචාරණයක් අත්‍යවශ්‍යය. රටේ බහුතර ජනතාවක් ඒ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීම ගැන කිසිදු විවාදයක් නැත. එබැවින්, ආණ්ඩුව දැන් භය නැතිව ඒ පියවර තැබිය යුතුව ඇත. රට බෙදන රට කඩන බුද්ධාගම ඉවත් කරන බොරු බියවැද්දීම් සියල්ල එතැනින් අහෝසි කළ හැකිය. රට බෙදන්න, රට කඩන්න කිසි කෙනෙකුට කිසිම විදියකින් නොහැකි වන අලුත් වගන්ති ව්‍යවස්ථාවට ඕනෑ තරම් ඇතුළු කළ හැකිය. කිසිවෙකුට ඊට විරුද්ධ වන්නට හැකියාවක් නැත. බොරුවට කෑ ගහන අවස්ථාවාදී බල වුවමනාවෙන් පෙළෙන්නන් ඔය හැම දේටම විරුද්ධ වනු ඇත. එය තඹදොයිතුවකට ගණන් ගත යුතු නැත.

රට නොබෙදෙන ව්‍යවස්ථා කෙටුම්පත

රට බෙදෙයි යැයි කියා අවංකව සිතන ඇත්තටම රටට ආදරේ කරන අය ඔය අවස්ථාවාදීන්ගේ පටු වුවමනාවන්ගෙන් මුදා ගත යුතුය. ඒ සඳහා රට නොබෙදෙන ව්‍යවස්ථා කෙටුම්පත භය නැතිව ඉදිරිපත් කළ යුතුය. දැන් ඇත්තටම ඇත්තේ එකිනෙකා ඉදිරිපත් කළ අදහස්වල එකතුවකින් සැදුණු ලියවිල්ලකි. ඒ ලියවිල්ලේ තැන් තැන්වල තියෙන දේවල් අරගෙන වීරවංශලා, ගම්මන්පිලලා කෑ මොර දෙති. නමුත්, ව්‍යවස්ථාව පිළිබඳ අවසන් ලියවිල්ලක් මෙතෙක් ඉදිරිපත්ව නැත. තැන් තැන්වල කෑලි අහුලාගෙන ඒවා තමන්ගේ ජාතිවාදී වුවමනාවට පාවිච්චි කිරීම වළක්වන්න හැකි වන්නේ අවසන් ලියවිල්ලක් ඉක්මනින් ඉදිරිපත් කිරීමෙන්ය. රට බෙදිල්ලකුත් නැතිව බුද්ධාගම ඉවත් කිරීමකුත් නැතිව ඔහේ කාලය ගත කිරීමෙන් බොරු මතයක් ජනතාව තුළ තහවුරු වෙමින් පවතී. එයට තවත් හේතුවක් ලෙස ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිගේ ඉතිහාස භාවිතාවේ පැටිකිරියයි. ඔහු මුල් වූ ගමන් රනිල්ගේ පරණ දේවල් ජනතාවට මතක් වෙයි. ඒ නිසාම හදන්න යන්නේ රට බෙදන ව්‍යවස්ථාවක්ය යන මතයට යම් වලංගුභාවයක් ලැබෙයි. ඒ නිසාම දැන් ආණ්ඩුව කළ යුත්තේ, රනිල්ගේ පරණ භාවිතාවන් පරාජය කරන රට නොබෙදෙන විධායක ක‍්‍රමය අහෝසි කරන අලුත් ව්‍යවස්ථා කෙටුම් පත කඩිනමින් රට හමුවේ තැබීමය. එයට තවත් විදේශ බලපෑමක් එන තුරු බලා සිටිය යුතු නැත. රටේ ජනතාවගේ වුවමනාවන් වෙනුවෙන් වහාම ඒ පියවර තැබිය යුතුව ඇත.

යුද්ධය අවසන් වී අවුරුදු අටක් ගෙවී ඇතත්, තවමත් සත්‍යය හා ප‍්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවන්නට ආණ්ඩුවට නොහැකි විය. ඒ නිසාම පීඩාවට පත් වූවන් තවමත් මහපාරවල්වල හැඬූ කඳුළින් උද්ඝෝෂණය කරති. ඔවුන්ගේ සිත් සුවපත් කරන්නට හැකි උපරිමයෙන් දේවල් කළ යුතුය. කළ හැකිය. සිදු  වූ සියල්ල අමතක කළ හැක්කේ සිංහල, දෙමළ, මුස්ලිම් එකිනෙකා අතර වෙනසක් නොමැති යැයි භාවිතාවෙන් පෙන්වීමය. සහෝදරත්වය, ජාතික සංහිඳියාව තුළින් බොහෝ තුවාල සනීප කළ හැකිය. ඔවුනට යුක්තිය ඉටු කිරීම තුවාලය සුව කිරීමේ එක ම ප‍්‍රතිකාරයයි. ඒ නිසාම ඒ වෙනුවෙන් සෘජු, නිවැරදි තීන්දු තීරණ ගත යුතුය. අවුරුදු අටක් ගෙවෙන මේ මොහොතේ අනාගතය වෙනුවෙන් ඒ සත්කාර්යය ඉටු කිරීමෙහි ලා ධෛර්යවත් පියවර ගැනීම ජනතා සිත් සතන් සුවපත් කිරීමේ තවත් එක් සාධනීය පියවරක් වනු නො අනුමානය.

– ලංකා ඉරිදා සංග්‍රහය

Back to Top