Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගරාජ්‍ය මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී නොකොට මාධ්‍ය නියමනයක් ගැන කතා කිරීමට ආණ්ඩුවට අයිතියක් නැහැ!

රාජ්‍ය මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී නොකොට මාධ්‍ය නියමනයක් ගැන කතා කිරීමට ආණ්ඩුවට අයිතියක් නැහැ!

by

ආණ්ඩුව විසින් පවත්වාගෙන යනු ලබන මාධ්‍ය ආයතන දේශපාලන වශයෙන් පාවිච්චි කරන මෙම ආණ්ඩුවට රජයට අයත් නැති ජනමාධ්‍ය ආයතන සඳහා ආචාර ධර්ම සහ නීති පැනවීමට සදාචාරාත්මක අයිතියක් නැති බව ශ්‍රී ලංකා බ්‍රීප් කියා සිටී. මේ බව සඳහන් වන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධ කරන ලදජනමාධ්‍ය අයිතීන් සහ ප්‍රමිතීන් පිළිබඳ ලියැවිල්ලට ශ්‍රී ලංකා බ්‍රීප් විසින් යවන ලද යෝජනා මගිනි.

(එම සම්පූර්ණ ලියැවිල්ල මෙම සටහන අවසානයේ පළ කර ඇත)

දැන ගන්නට ඇති පරිදි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඉහත සඳහන් ලියැවිල්ල පාදක වී ඇත්තේ විජයානන්ද ජයවීර විසින් සකස් කරන ලද පනත් කෙටුම්පතක් අනුවය. . එකී කෙටුම්පත සකස් කිරීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද සහභාගි වී ඇති අතර එහි සාමාජිකයකු වන මා හට එම කෙටුම්පත ලැබී තිබේ. එය නිල වශයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් බාරගෙන ඇත්ද නැත්ද යන්න පැහැදිලි නැත. ප්‍රථමයෙන්ම එම කෙටුම්පත නිල ලියැවිල්ලක් ලෙස පිළිගෙන ඇත්ද නැත්ද යන්න ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධ කළ යුතු ය. එවැනි තත්වයක් යටතේ සාකච්ජාවට ගත යුත්තේ එම පනත් කෙටුම්පත ය.

රාජ්‍ය මාධ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණය

උදාහරණයක් වශයෙන් 1994 වර්ෂයෙහි එවකට ජනමාධ්‍ය ඇමැතිවරයා වූ ධර්මසිරි සේනානායක විසින් පත් කරන ලද ජනමාධ්‍ය වෘත්තීයට අදාළ කමිටු හතරෙහි වාර්තා නිල ලියැවිලි වශයෙන් ප්‍රසිද්ධ කරන ලදී. එම වාර්තාවන්හි අන්තර්ගතයන් වර්තමානයටත් අදාළ වන බැවින් එම වාර්තාවන්හි එන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මෙම රජය කටයුතු කළ යුතුය. විශේෂයෙන්ම ජනමාධ්‍ය නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ආර්. කේ. ඩබ්. ගුණසේකර වාර්තාවෙහි සහ රජයට අයත් ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙහි අයිතිය සම්බන්ධයෙන් සිදත් ශ්‍රී නන්දලෝචන වාර්තාවෙහි අඩංඟු යෝජනා ක්‍රියාත්මක කළ යුතු බව අපි කියා සිටිමු.

ආණ්ඩුව විසින් මෙරට ජනමාධ්‍ය සම්බන්ධයෙන් කවර හෝ ප්‍රතිපත්තියක් සකස් කරන්නේ නම් ප්‍රථමයෙන්ම ක්‍රියාවට නැගිය යුත්තේ රජය විසින් පාලනය කරන පොදු දේපල ගනයට වැටෙන ජාතික රූපවාහිනී සංස්ථාව, ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර සමාගම, ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිශන් නෙට්වර්ක් සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යන මාධ්‍ය ආයතන සම්බන්ධ ප්‍රතිසංස්කරණයන්ය.. මෙම ආයතන අද පාලනය වන්නේ හුදෙක් බලයේ සිටින දේශපාලන පක්ෂයන්හි ප්‍රචාරක මාධ්‍ය ලෙසය. තමන් විසින් පවත්වාගෙන යනු ලබන මාධ්‍ය ආයතන දේශපාලන වශයෙන් පාවිච්චි කරන මෙම ආණ්ඩුවට රජයට අයත් නැති ජනමාධ්‍ය ආයතන සඳහා ආචාර ධර්ම සහ නීති පැනවීමට සදාචාරාත්මක අයිතියක් නැත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙහි ඉහත සඳහන් ලියැවිල්ලට අප පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරන්නේ එම ලියැවිල්ල පිළිගැනීමක් ලෙස නොව මෙරට ජනමාධ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණය සඳහා ලැබී ඇති අවස්ථාවක් ලෙස සලකමිනි.

ජනමාධ්‍ය ආයතනයක් වෙනුවෙන් ප්‍රවෘත්ති හා තොරතුරු රැස්කරන ජනමාධ්‍යවේදීන්ට හිතාමතා බාධා කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් වශයෙන් නීතිගත කිරීම කළ යුතුද?  රටක නීතියේ පාලනය නිසි පරිදි ක්‍රියාත්මක වේ නම් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයම අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශේෂ නීති අවශ්‍යද යන්න අදාළ විශේෂඥ දැනුමැති පිරිස් විමසීම වැදගත්ය. අංක දෙක දැක්වෙන ඉහත වගන්තිය ව්‍යාකූලත්වයන්ට මඟපෑදිය හැකි අතර එවැනි නීතියක් ජනමාධ්‍යවේදීන් විසින්ම අවභාවිතයේ යෙදවීමට ඉඩ තිබේ. එබැවින් අවශ්‍යම නම් මෙම වගන්තිය මෙයට වඩා නිශ්චිත වීමද වැදගත්ය.

පිළිගත් වෘත්තීය ආචාරධර්ම සංග්‍රහය (recognised professional codes of practice) කඩ කිරීම ප්‍රතික්ෂේප කරන ජනමාධ්‍යවේදියෙකුට හෝ සංස්කාරක වරයෙකුට දඩුවම් කිරීම හෝ සේවය අවසන් කිරීම හෝ නීති විරෝධී ක්‍රියාවක් වශයෙන් සැලකීම යන වගන්තිය වඩා නිරවුල් විය යුතුය. මේ සඳහා සංස්කාරක ස්වාධීනත්වය පිළිබඳ අන්තර් ජාතික ප්‍රමිතීන් පිළිගැනීම අවශ්‍ය ය. එනම් හිමිකරු විසින් සිය පුවත්පත්හි ආචාර ධර්ම පද්ධතිය සහ සංස්කාරක පිළිවෙත ලිඛිතව එම ආයතනයේ ජනමාධ්‍යවේදීන්ගේ පත්වීම් ලිපි සමඟ ලබා දීමෙන් පසු හිමිකරුවන් විසින් එකී මාධ්‍යයන්හි අන්තර්ගතයට අත නොපෙවීමයි.

හිමිකරුට සිය ආයතනයේ කවර හෝ මාධ්‍යයක සංස්කාරක වීමට අවශ්‍ය නම් එය කළ යුත්තේ නිල වශයෙනි. නමුත් අද මෙරට බොහෝ ජනමාධ්‍යයන්හි අන්තර්ගතය හිමිකරුවන් විසින් ඍජුවම පාලනය කරනු ලැබේ.ඊට විරුද්ධ වීමට මෙරට ජනමාධ්‍යකරුවනට සම්ප්‍රදායක් හෝ ශක්තියක් නැත. ඊට එක් හේතුවක් නම් ජනමාධ්‍යකරුවාට සිය අයිතීන් සඳහා වෘත්තීයම වශයෙන් එක්වීම බොහෝ හිමිකරුවන් විසින් තහනම් කොට තිබීමයි.

එබැවින් වෘත්තීය සමිති නිදහසද ඇතුළු ජනමාධ්‍යවේදීන් සතු සංවිධානයවීමේ අයිතිය නීති මගින් තහවුරු කිරීමට ආණ්ඩුව පියවර ගත යුතුය.
එමෙන්ම පුවත්පත් හිමිකාරිත්වය පාරදෘශ්‍ය විය යුතු බවටත් ලැදියාවන්හි ගැටුමක් ඇතොත් එය ප්‍රසිද්ධියට පත් කළ යුතු බවටත් සහතික කළ යුතුය.

පුවත්පතක අන්තර්ගතයෙන් සියයට කොපමණ ප්‍රමාණයක් වෙළද දැන්වීම් වෙනුවෙන් වෙන්කළ හැකි උපරිම සීමාව කුමක්ද? ටෙලි නාට්‍ය අතරතුර ප්‍රචාරය කළ හැකි වෙළද දැන්වීම් වෙලාව කොපමණද යනාදිය මාධ්‍ය හිමිකරුවන්, මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජයේ සහභාගිත්වයෙන් තීරණය කළ යුතුය.

මේ සම්බන්ධයෙන් ක්‍රියාවට නැගිය හැකි පියවරක් නම් ස්වාධීන සිවිල් මාධ්‍ය නිරීක්ෂණ ජාලයක් පවත්වා ගැනීමට ආණ්ඩුව සහය වීමයි.
ආචාර ධර්ම පද්ධතිය ක් සකස් කිරීම උදෙසා දැනට ශ්‍රී ලංකා කර්තෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ පුවත්පත් හිමිකරු සංගමය විසින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය යටතේ පිළිගෙන ඇති ආචාර ධර්ම පද්ධතිය මේ සඳහා ආරම්භක් ලෙස යොදා ගත යුතුය.

අවශ්‍ය වන්නේ ආචාර ධර්ම පද්ධතියක් පමනක් නොවේ. ගුණාත්මක වශයෙන් උසස් මහජන සේවා ජනමාධ්‍ය අගයන් ප්‍රවර්ධනය කිරීම උදෙසා පියවර ගනු ලැබීමද අත්‍යවශ්‍ය ය. එහිලා ප්‍රවෘත්ති කාමරයේ විවිධත්වය සහ මෙන්ම පිළිතුරු දීමේ අයිතිය තහවුරු කිරීම ද සැලකිල්ලට ගත යුතුය.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය යටතේ පිළිගෙන ඇති ආචාර ධර්ම පද්ධතිය කෙළෙසීම් නිරීක්ෂණය කිරීම සඳහා පිහිටුවා ඇති ශ්‍රී ලංකා පුවත්පත් කොමිසම අසාර්ථක වී තිබේ. එයට සියළු මුද්‍රිත මාධ්‍ය බැදී නැති අතර එහි බලාධිකාරය විසින් ඉඩ සලසා ඇති පරිදි පැමිණිළි ලැබෙන තුරු බලා නොසිට ආචාර ධර්ම කෙළෙසීම් ගැන පියවර ගැනීමට එක් අවස්ථාවකදී හෝ පියවර ගෙන නැත. එබැවින් මේ සඳහා නව යාන්ත්‍රණයක් අවශ්‍ය ය. එමෙන්ම එය සහමුලින්ම රඳා පවතින්නේ විදේශ ආධාර මතය. මෙම මාදිලිය විරස්ථායී එකක් නොවේ.

සම්පූර්ණ ලියැවිල්ල පීඩීඑෆ් ගොනුවක් ලෙස කියවන්න: මාධ්‍ය ප්‍රමිතීන් උදෙසා ශ්‍රී ලංකා බ්‍රීෆ් රංග කළන්සූරියට යවන ලද ලියැවිල්ල

Back to Top