Sri Lanka Brief
පුවත්විවරණජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමු! – සුනන්ද දේශප්‍රිය

ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමු! – සුනන්ද දේශප්‍රිය

by

යුරෝපීය සංගමයේ ජීඑස්පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට උදා වී ඇති අවස්ථාව යළි තීරණාත්මක මං සන්ධියකට පැමිණ තිබේ. අගමැති වික්‍රමසිංහට ලිපියක් එවමින් යුරෝපා සංගමය කියා ඇත්තේ එලඹෙන මැයි 14 දින වන විට අවම වශයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අපරාධ විධි විධාන සංග්‍රහය අන්තර් ජාතික ප්‍රමිතීන්ට අදාළ වන සේ සංසෝධනය කිරීම ජිඑස්පී ප්ලස් සහනය ලබා දීම සඳහා අවශ්‍ය වනු ඇති බවයි. දැනට පෙනෙන අන්දමට මෙම කොන්දේසි සැපැරීමට ආණ්ඩුවෙහි සූදානමක් නැත.

අගමැති වික්‍රමසිංහ පසුගිය ජනවාරි මාසයේදී මෙසේ කීවේය. ‘මා ඇතුලූ කණ්ඩායමක් පසුගිය දා බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවරට ගොස් යුරෝපා සංගමයේ ප්‍රධානීන් මුණගැසී, අපේ ඇඟළුම් ඇතුලූ භාණ්ඩ ගණනාවක් අපනයනය කිරීම සඳහා ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය නැවත ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කළා. ඒ බිලියන 500 ක් පමණ විශාල යුරෝපා වෙළෙඳපොළට ඇතුලූ වීම සඳහායි. ඒ අනුව නැවතත් යුරෝපා වෙළෙඳපොළට ඇතුලූ වීම සඳහා ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලැබුණු බව ඊයේ අපට වාර්තා වුණා. මෙම සහනයත් සමග ඉදිරියේ දී අපට විශාල දියුණුවක් ලබා ගැනීමට හැකි වනවා.’

නමුත් දැන් ලැබෙන තොරතුරු පෙන්වන්නේ ශ්‍රී ලංකාව  මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන බවට යුරෝපා සංගමයේ විශ්වාසය පවත්වා ගැනීමට සමත්වී නැති බවයි.  මෙම ආණ්ඩුව පත් වූ අලුත ආණ්ඩුව පිළිබඳව අන්තර් ජාතික ප්‍රජාව තුළ ඇතිවූ විශ්වාසය පළදු වී යෑම මෙම වර්ධනය විසින් ද පෙන්නුම් කරයි.

ජීඑස්පී ප්ලස් මගින් අදහස් වන්නේ තීරුබදු රහිතව හෝ අවම තීරුබදු යටතේ යුරෝපා සංගමයට භාණ්ඩ අපනයනය කිරීම සඳහා සංවර්ධනය වෙමින් ඇති රටවලට ලබා දෙන සහනයකි. එම සහනය ලබා දෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිදනය විසින් පිළිගෙන ඇති මානව හිමිකම් ප්‍රඥාප්ති 27 ක්‍රියාත්මක කිරීම මිනුමක් ලෙස ගෙනය.

ආණ්ඩුව විසින් ජිඑස්පී ප්ලස් සහනය ලබා ගැනීමට ඇති මෙම අවස්ථාව අතහැර දැමුව හොත් ඉන් පාඩුවක් සිදු වන්නේ ජනාධිපති සිරිසේනට  හෝ අගමැති වික්‍රමසිංහට  හෝ නොව මෙරට ජනයාටය.

එම සහනය මෙරටට ලැබුනත් නැතත් දෙපාර්ශයේම දේශපාලනඥයින්ට පැදී ඇති පාරාදීසය නැති වන්නේ නැත. රටෙහි ආර්ථික අමාරුකම් ඇතැයි ( රංජන් රාමනායක වැනි අයකු හැර) මෙම කවර හෝ දේශපාලනඥයකු විසින් එපා යැයි කී කිසිදු වරදානයක් නැත. දෙපාර්ශවයේ පමණක් නොව පාර්ලිමේන්තුවේ සිටින සෑම දේශපාලනඥයකුම ජීවත්වන්නේ දේශපාලන වරප්‍රසාදවලින් ගහණ මිහිපිට පරාදීසයකය.

මෙම ආණ්ඩුව බලයට පත් වූයේ මෙරට ජනයාගේ මානව හිමිකම් යළි පිහිටුවා ඔවුනගේ ජීවිත යහපත් කිරීමේ මහජන ගිවිසුම යටතේය.  ප්‍රථම දින සියය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට දෙන ලද පොරොන්දුවක්ද එම මහජන ගිවිසුමෙහි විය. දැන් දින සියය වෙනුවට දින 800ක් ගෙවී ඇතත් තවම එම මර්දනකාරී පනත එළෙසමය.  මෙරටට ලැබිය හැකි ජීඑස්පී වෙළද සහනය නැතිවී යාමට එක් හේතුවක් වනු ඇත්තේ මෙකී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට මෛත්‍රී – රනිල් ආණ්ඩුව මේ තාක් දුරට අසමත් වීමයි.

මෙරට භුක්තිවිදිමින් තිබූ එකී සහනය 2010 වසරින් පසු දීර්ඝ නොකිරීමට  බලපෑවේ රාජපක්ෂ පාලනයේ මර්දනකාරී ස්වභාවයි. රාජපක්ෂවරුන් ජීඑස්පී ප්ලස් සහනය සම්බන්ධයෙන් හැසිරුණේ ‘තොපේ සහනයට වඩා අපේ මර්දනය’ වාසිදායකයි යන පිළිවෙත උඩය. එම සහයන දිගටම ලබාදීමට නම් ශ්‍රී ලංකාවෙහි තත්වය නිරීක්ෂනය කිරීමට යුරෝපීය සංගමය මෙරටට එවීමට සූදානම් වූ දූත පිරිස පවා රාජපක්ෂවරුන් විසින් තහනම් කරන ලදී. එකළ මෙන්ම අදත් රාජපක්ෂවරුන් කියන්නේ ජීඑස්පී ප්ලස් සහනය නැතිවූවාට ප්‍රශ්ණයක් නැති බවය.

අදෝමැයි! දැන් මෛත්‍රී – රනිල් ආණඩුවෙන් අසන්නට ලැබෙන්නේද එවැනි කතාය. පසුගිය දවසක බීබීසී සිංහල සේවයට කතා කරමින් මෙම ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩළ ප්‍රකාශක වන ඇමැති රාජිත සේනාරත්න කියා තිබුණේ එම සහනය නැතිව මේතාක් කල් ශ්‍රී ලංකාව පැවැති බැවින් එය නැතිවීමෙන් ප්‍රශ්ණයක් නැති බවත්ය.

නමුත් කළකට පෙර ආණ්ඩුවේ ප්‍රධානීහු අපට දිගින් දිගටම කියා සිටියේ ජීඑස්පී ප්ලස් බදු සහනය දීර්ඝ කර  නොගැනීම රාජපක්ෂවරුන් කළ මහත් වරදක් බවත් ඒ නිසා රැකියා ලක්ෂයක් නැතිවී යන පරිදි කර්මාන්ත ශාලා ගණනාවක් වැසී ගිය බවත්ය.  අගමැති වික්‍රමසිංහට අනුව යළි එම සහනය ලැබීම ආර්ථික දියුණුවට මඟකි.

ආණ්ඩුව 2016 වසර මුලදීම යළි ජීඑස්පී ප්ල්ස් බදු සහනය ලබා දෙන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කළේය. එයට පෙර 2015 පෙරවාරි මාසයේදී බ්‍රසල්ස් නුවරට ගිය විදේශ ඇමැති සමරවීර එකී සහය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි. අනතුරුව 2-16 ඔක්තෝබරයේදී  අගමැති රනිල් වික්‍රමසිංහ යුරෝපා සංගමයේ මූලස්ථානය පිහිටි බෙල්ජියමෙහි බ්‍රසල්ස් අගනුවරට නිල දූත ගමනක නිරත වූයේ ද මෙම සහනය යළි ලබා ගනු පිනිසය.

යුරෝපා සංගමය 2010 වසරින් පසු ජීඑස්පී බදු සහනය නතර කළේ මානව හිමිකම් වලට අදාළ කොන්දේසි 15ක් ඉදිරිපත් කරමිනි. මේ තාක් ආණ්ඩුව ඉන් එකක්වත් ඉටු කිරීමට පියවර ගෙන නැත. මෙරට ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කරමින් ප්‍රවර්ධනය කරන බව සහතික කිරීමට ආණ්ඩුව ගෙන ඇති පියවර ද අල්පය.

ව්‍යවස්ථා ජනමත විචාරණයකින් ජය ගැනීමට නම් ආණ්ඩුවට අවශ්‍යතාවයක් ඇතොත් එය සිය අභිප්‍රායන් සම්බන්ධයෙන් මහජනයා අතර විශ්වාසයක් ඇති කළ යුතුය.  මහජන විශ්වාසය දිනා ගැනීම යනු නව දේශපාලන සංස්කෘතියක් රටෙහි බිහි කිරීමට කටයුතු කිරීමයි.  දේශපාලනඥයින් විසින් කරගෙන යන දූෂණය, වංචාව නැති කිරීම. අනවශ්‍ය වියදම් නතර කිරීම, දේශපාලනඥයින් භුක්ති විදින අසම සම වරප්‍රසාද අහෝසි කිරීම, රාජ්‍ය සේවයට කැරෙන දේශපාලන ඇඟිළි ගැසීම් නතර කිරීම, ඥාති සංග්‍රහය නතර කිරීම, මහජනයා කෙරෙහි සංවේදී වීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, රාජ්‍ය ඔත්තු සේවා මගින් දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වයන් සම්බන්ධයෙන් කරගෙන යන පරීක්ෂාවන් නතර කිරීම, යනාදිය මෙවැනි විශ්වාසය ගොඩ නැගීමේ ක්‍රියාවළියකට අයත් විය යුතුය.

එවැනි පියවරයන් නොගන්නා ආණ්ඩුවක් විසින් තමන් බලයට පත් වී දෙවසරක් ගොස් තිබියදී අවංකව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් කරනු ඇතැයි සිතිය හැකිද? දැන් මෙරට ජනයා විනය ගරුක කිරීමට සහ ආණ්ඩුවේ පිට කොන්ද කෙලින්කර ගැනීමට හිටපු හමුදාපති සරත් පොන්සේකාගේ පිහිට පැතීමෙන් පෙන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක ලක්ෂණ නොවේ.

ජීඑස්පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවට යළි ලබා ගැනීමෙන් වැඩ කරන ජනතාවට මෙන්ම රටටද සෙතක් වන්නට නියතවම ඉඩ තිබුණි. නමුත් දැන් පෙනෙන හැටියට ආණ්ඩුව ගත යුතු අවම පියවරයන් පවා නොගෙන ඇති තත්වයක් තුළ එම සහනය නැතිවී යාමට ඉඩ තිබේ. අපේ ස්ථාවරය විය යුත්තේ ජීඑප්සී ප්ලස් සහනය නතර කිරීම නොව ඒ සඳහා අවශය මානව හිමිකම් කොන්දේසි සැපිරීම මගින් එය ලබා ගන්නා ලෙස ආණ්ඩුවට බල කිරීමයි.

මැයි 14වන දිනට පෙර ඉටු කළ යුතු බවට යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි දෙක සම්පූර්ණ කරන සේ අප සතු වගකීමයි. මෙම අණ පනත් දෙකම සම්බන්ධයෙන් ආණ්ඩුව මේ තාක් ක්‍රියා කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රජයකට නොහොබිනා ලෙස රහසිගතවය. මෙම පෙනත් දෙක සංසෝධනය කරනු පිණිස ඉදිරිපත් කර ඇති කෙටුම්පත් එකක්වත් විවෘත මහජන සංවාදය සඳහා ඉදිරිපත් කර නැත.  එබැවින් අප කියා සිටිය යුත්තේ එකී කෙටුම්පත් වහාම ප්‍රසිද්ධ කර මහජන සංවාදයට යොමුකර පාර්ලිමේන්තුවෙහි සම්මත කරන ලෙසයි.

ශ්‍රී ලංකාව තුළ එවැනි උද්ඝෝෂණයක් ගොඩ නඟන්නේ නැතිව හුදෙක් අන්තර් ජාතික වශයෙන් ජීඑස්පී ප්ලස් මෙරටට නොදෙන සේ කියා සිටීම ජනතාවට සහ රටට වළ කැපීමකි. මන්ද යත් ඉන් පාඩුවක් වෙන්නේ වැඩ කරන ජනයාට සහ රටට මිස දේශපාලනඥයින්ට නොවන  නිසාය.

 

 

 

Back to Top