Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගගොල්පේස් මැයි දිනයට යන අය ඇස් හැර උතුරින් පෙනෙන වරාය නගරය දෙස බලන්න – සුනිල් ජයසේකර

ගොල්පේස් මැයි දිනයට යන අය ඇස් හැර උතුරින් පෙනෙන වරාය නගරය දෙස බලන්න – සුනිල් ජයසේකර

by

සුනිල් ජයසේකර විසිනි.

රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව ගෝල්ෆේස් පිටියේ කළයුතු අභ්‍යාසය.

ලෝක කම්කරු දිනය හෙවත් පොදු ව්‍යවහාරයේදී බොහෝ දෙනෙකු විසින් හ`දුන්වන මැයි දිනය අත ළඟටම පැමිණ තිබේ. ශ‍්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට අයත් මේ රටේ සැබෑ කම්කරුවන්ගේ සිට දේශපාලන ප‍්‍රවාහයට අයත් සියලූ දේශපාලන පක්ෂයන් ද සෑම වසරකදීම මැයි දිනය සමරනු ලබන්නේ මහත් ඉහළිනි. ලෝක කම්කරු දිනයේ ඉතිහාසය 1888 තරම් ඈතට දිවයන්නකි. එහි ඇරඹුම සටහන් වන්නේ තම වැඩකරන සේවා මුරයන් පැය අටකට සීමා කරන ලෙසට ඉල්ලා සිදුකරන ලද අරගලයකි. 1888 මැයි මස පළමු වනදා ඇමරිකාවේ චිකාගෝ නගරයට එක්රැුස් වූ හැටපන්දහසකට අධික කම්කරු ජනතාවක් සිය සේවා මුරය පැය අටකට සීමා කරන ලෙසට ඉල්ලමින් ගෙනගිය උද්ඝෝෂණයට එදා සිටි ඇමරිකානු පාලකයන් පිළිතුරු දී ඇත්තේ තුවක්කුවෙනි. ප‍්‍රථිඵලය වූයේ කම්කරුවන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමය.

එදා ඇමරිකාවේ චිකාගෝ නගරයේදී වෙඩි වැදුණ කම්කරුවන්ගේ සිරුරින් ගැලූ රුධිරයෙන් තෙත් වූ ඇඳුම්වල රතු පැහැය සංකේතවත් කරමින් රතු ධජය කම්කරු දිනයේ සළකුණ බවට පත්විය. එදා සිට අද දක්වාම සමස්ත ලෝකවාසී ජනතාව සිය වෘත්තීය අයිතිවාසිකම් උදෙසා මෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් උදෙසා කරන අරගල මුවහත් කරගැනීමට මැයි දිනය මනා පිටුවහලක් කරගනු ලැබීය. ඒ අනුව තවත් දින කිහිපයකින් එළැඹෙන මැයි දිනය ශ‍්‍රී ලාංකීය කම්කරු ප‍්‍රජාවට ද සුවිශේෂි වූ තවත් එක් අනුස්මරණීය දිනයක් වනවාට කිසිදු සැකයක් නැත.

එහෙත් මෙහිදී අවධාරණය කළයුතු, මේ රටේ සමස්ත ජනතාවම තේරුම්ගත යුතු ඉතා වැදගත් කරුණක් තිබේ. එනම් විශේෂයෙන්ම අප රටට අදාළව සැලකීමේදී දේශීය ආර්ථිකයට මෙන්ම ශ‍්‍රී ලංකා ජනසමාජයේ ප‍්‍රගමනයට ද සුවිශාල දායකත්වයක් ලබාදෙන ශ‍්‍රී ලංකාවේ සැබෑ කම්කරුවන් අතරින් එක් කොටසක් අමතක කර දමා ඇති බවය. එනම් මැද පෙරදිග ද ඇතුළු විදේශගතව සිටින ශ‍්‍රී ලාංකීය කම්කරු ප‍්‍රජාවය. ඔවුන් විසින් ශ‍්‍රී ලංකාවට ලබාදෙන ඉහළම දායකත්වය නොවන්නට වර්තමාන ශ‍්‍රී ලංකාවේ සැබෑ තත්වය මීට වඩා බොහෝ සේ වෙනස්වීමට ඉඩ තිබේ. ඉතා සරළව පැහැදිළි කළහොත් අද ශ‍්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකයම රඳා පවතින්නේ විදේශගත ශ‍්‍රමිකයන් වෙතින් රටට උපයා දෙන විදේශ විනිමය මුල් කරගනිමිනි. එහෙත් මේ රටේ දේශපාලකයන් මෙන්ම වැඩකරන ජනතාව පෙරටු කරගත් ශ‍්‍රී ලාංකීය වමේ ව්‍යාපාරය මෙන්ම වෘත්තීය සමිති ව්‍යාපාරයද ඒ පිළිබඳව දක්වන අඩු සැලකිල්ල තේරුම්ගැනීමට ද අසීරුය.
ඒ සමගම ගැඹුරින් විමසා බැලියයුතු ප‍්‍රශ්නයක් ද තිබේ. එනම් කම්කරු දිනයේ අරමුණ හා අපේක්ෂා සහ දේශපාලන උපායමාර්ග අතර දක්නට ඇති බරපතළ පරස්පරයයි. ශ‍්‍රී ලංකාවට අදාළව සැලකීමේදී නම් එය සියලූ දේශපාලන ව්‍යාපාරයන්ට හා බොහෝ වෘත්තීය සමිති මෙන්ම සංවිධාන වලට ද අදාළය.

ඒ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණය මැයි මස පළමුවනදා ගෝල්ෆේස් පිටියේදී අත්දැකිය හැකිය. මෙවර සිය මැයි දින රැළිය සඳහා ගෝල්ෆේස් පිටිය තෝරාගෙන ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය විසින්ය. එහිදී ප‍්‍රතිවාදී බොහෝ දේශපාලන කණ්ඩායම් ඒකාබද්ධ විපක්ෂය දෙස ඇස් යොමා බලා සිටින්නේ ගෝල්ෆේස් පිටිය පිරවීම සඳහා ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන ආකාරය ගැනය. එහෙත් සත්‍යවශයෙන්ම විමසා බැලියයුත්තේ ඒ ගැන නොවේ. ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරන ආකාරයට ඔවුන් මේ වනවිට සමාජගත කරන්නට උත්සාහ කරන බලවත් සටන් පාඨයක් තිබේ. එනම් රාජ්‍ය දේපල විදේශිකයන්ට විකිණිමට එරෙහිවීමය. එය මේ රටේ ජනතාව ගැඹුරින් අවබෝධ කරගතයුතු ඉතා වැදගත් සටන් පාඨයකි. නිසි සමාජ සංවාදයක් මේ වනතෙක්ම ඇතිවී නැතත් එය සමාජයේ සංවාදයට ලක්විය යුතු වැදගත් මාතෘකාවකි.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මෙවර මැයි රැළියට සහභාගී වීමට අපේක්ෂා කරන සියලූම පාක්ෂිකයන්ට සිදුකළ හැකි වැදගත් අභ්‍යාසයක් තිබේ. නිසැක වශයෙන්ම එය ඔවුන්ගේ දේශපාලන අවබෝධයට ද ඉතා වැදගත්විය හැකිය. එහිදී ගෝල්ෆේස් පිටියට පැමිණ ඔවුන් මුලින්ම කළයුතුව ඇත්තේ හොඳින් නෙත් හැර උතුරු දිශාව නිරීක්ෂණය කිරීමය. එවිට දිස්වනු ඇත්තේ ඉදිකරමින් පවතින පෝර්ට් සිටි වැඩබිමය. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී එම භූමිභාගය චීන සමාගමකට පවරා දී තිබුණේ කෙසේද යන්න එවිට ඔවුන්ට මෙනෙහිවනවා නිසැකය. කෝට්ටේ යුගයේදී රජකළ දොන් ජුවන් ධර්මපාලගෙන් පසු මේ රටේ කිසිදු පාලකයෙක් සිදුකර නැති අන්දමේ ශ‍්‍රී ලංකා භූමියේ කොටසක් විදේශීය සමාගමකට සින්නක්කරවම ලියාදුන්නේ කවුරුන්දැයි ඔවුන්ට එහිදී ප‍්‍රශ්න කළ හැකිය.

එපමණක් ද නොවේ. ගෝල් ෆේස් පිටියේ සිට නැගෙනහිර දෙසට නෙත් යොමුකළ විට එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක පිළිරුව පුංචි කුහුඹුවකු කරමින් අහස්කුස කරා යොමුවූ දැවැන්ත ගොඩනැගිලි දෙකක් ඔවුන්ට දැකගත හැකිය. ඒ ඉදිවෙමින් පවත්නා ෂැංග‍්‍රිලා හෝටලයයි. එය ඉදිවන බිම චීන සමාගමකට පවරා දුන්නේ කවුරුන්දැයි ඔවුනට එහිදී ප‍්‍රශ්න කළහැකිය. එපමණක්ද නොව නූතන වෙළෙඳ පොළ වටිනාකම අනුව රුපියල් කෝටි ගණනාවකට වඩා වටිනා එම ඉඩමේ පර්චසයක් රුපියල් ලක්ෂ අටක් තරම් අඩු මුදලකට විකිණීමේ රහස ද එහිදී ඔවුනට තේරුම්ගත හැකිය. අභ්‍යාසය එතැනින්ද නතර කළයුතු නැත. ගෝල්ෆේස් පිටියට මදක් නුදුරින් කොටුවේ ට‍්‍රාන්ස්වර්ක් හවුස් අසළ පිහිටි ඉඩමට ද ඔවුන් පැමිණිය යුතුමය. එම ඉඩමේ වර්තමාන අයිතිය හිමිව ඇත්තේ කවුරුන් වෙත දැයි හොඳින් විමසා බැලිය හැකිය. එම ඉඩම විකිණීමෙන් ලබාගෙන ඇති රුපියල් දසලක්ෂ හයසිය පනහක කොමිස් මුදල තැන්පත්ව තිබුණේ කාගේ බැංකු ගිණුමේද යන්න ඒ සමගම විමසා බැලිය හැකිය.

දේශීය සම්පත් විදේශිකයන්ට විකිණීම ගැන තවදුරටත් කරුණු ප‍්‍රත්‍යක්ෂ කරගැනීමට අවශ්‍ය වන්නේ නම් මරදානේ ටෙක්නිකල් වටරවුමට ගොස් එහි ඇති අක්කර 29යි රූඞ් දෙකක ඉඩම ද හොඳින් දැකබලාගත හැකිය. ඉහත සඳහන් කළේ ගෝල්ෆේස් පිටිය හා ඒ අවට ඇති ස්ථාන තුනක් පමණය. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට එන සෑම කෙනෙකුටම එතැන් සිටම තම විරෝධය ඇරඹිය හැකිය. ඒ විරෝධය අවංක එකක් වේ නම් අවබෝධයෙන් යුතුව සිදුකරන්නේ නම් ඊට වගකිවයුත්තන් පහසුවෙන්ම සොයාගැනීමට ඔවුනට හැකිවන ඇත.
එය අවබෝධ කරගතහොත්, මැනවින් හ`දුනාගතහොත් මේ රටේ දේශීය සම්පත් විදේශිකයන්ට විකිණීම කෙරෙහි සැබෑ සටන ඇරඹෙනු ඇත්තේ එතැනදී ය.

සුනිල් ජයසේකර

Back to Top