Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගශ්‍රී ලංකාවට කල්දීමේ මානව හිමිකම් මණ්ඩලයේ පිළිබඳ යෝජනාවට සියළුම රටවල් පක්ෂ වෙයි.

ශ්‍රී ලංකාවට කල්දීමේ මානව හිමිකම් මණ්ඩලයේ පිළිබඳ යෝජනාවට සියළුම රටවල් පක්ෂ වෙයි.

by

ජායරූපය: බ්‍රිරිතාන්‍ය තානාපති ජුලියන් බ්‍රෙත්වෙයිට්සහ අෙමරිකානු රාජ්‍ය දෙපාර්ථමේන්තුවේ සහකාර ලේකම්වරියක වන එරින් එම්.බාක්ලේ සාකචජා සභාව අාරම්භ වීමට පෙර සුහද පිළිසඳරක ©s.deshapriya.

ශ්‍රී  ලංකාවේ සංහිදියාව, මානව හිමික සහ වගවීම සම්බන්ධයෙන් දැන් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 34වන සැසි වාරයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට කිසිදු රටක් විරෝධය පළ නොකරයි.

ශ්‍රී ලංකාවේ සම දායකත්වයෙන් යුතුව බ්‍රිතාන්‍ය, ඇමෙරිකා එක්සත් ජනපදය, මොන්ටෙනීග්‍රෝ සහ මැසඩෝනියා යන රටවල් සමඟ ඉදිරිපත් කැරෙන මෙම යෝජනාව පිළිබඳ නිල නොවන අදහස් විමසීමේ සභාවක් පසුගිය 07 දින ජාතීන්ගේ නිවහන නම් ගොඩනැගිල්ලෙහි 21 වන කාමරයෙහි පවත්වන ලදී. එයට පෙර ප්‍රසිද්ධියට පමුණුවා තිබූ එම යෝජනාවෙන් 2015 සැප්තැම්බර් මාසයේදී සම්මත කරන ලද 30/1 දරණ යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම පිණිස ශ්‍රී ලංකාවට තවත් දෙවසරක් ලැබේ.

මෙම සාකච්ජා සභාවට මානව හිමිකම් මණ්ඩලයේ බහුතරයක් රටවල නියෝජිතියෝ පැමිණ සිටියහ. සාකච්ජ ආරමිභ කරමින් බ්‍රිතාන්‍ය තානාපති ජුලියන් බ්‍රෙත්වෙයිට් (Julian Braithwaite) කියා සිටියේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමෙහිලා ශ්‍රී ලංකාව සැළකිය යුතු ජයග්‍රහණයන් දිනා ගෙන ඇතත් 30/1 දරණ යෝජනාවෙන් ශ්‍රී ලංකාව එකඟ වූ නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට තව කාලයක් ලබා දිය යුතු බවයි.

මූලාසනයේ අසුන්ගෙන සිටි රටවල් හතරම කියා සිටි කරුනක් වූයේ 30/1 දරණ යෝජනාව සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නැගීම අවශ්‍ය බවත් එමෙන්ම ඒ සඳහා කාලය අවශ්‍ය බව තමන් පිළිගන්නා බවත්ය. ඇමෙරිකාව නියෝජනය කරමින් කතා කළ රාජ්‍ය දෙපාර්ථමේන්තුවේ සහකාර ලේකම්වරියක වන එරින් එම්.බාක්ලේ (Erin M. Barclay) අවධාරණය කළ කරුණක් වූයේ එකී 30/1 දරණ යෝජනාව සංසෝධනය කිරීමට කිසිදු ඉඩක් නැති බවයි.

ශ්‍රී ලංකාණ්ඩුවේ දූත පිරිස තානාපති ආරියවංශ මූලිකත්වයෙන් සහභාගි විය‍

ශ්‍රී ලංකාවේ රාජපක්ෂවාදී හොරණෑකරුවන් පසුගිය දිනයන්හි කියමින් සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමග එක්ව වැඩ කරමින් එම යෝජනාවෙහි සැර ල කර ගැනීමට දැන් අවස්ථාවක් එලඹ ඇති බවයි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්ථමේන්තුව නියෝජනය කළ එරීන් බාක්ලේ කියා සිටියේ හරියටම එහි අනෙක් පැත්තය.

මෙම සාකච්ජා සභාවට සහභාගී වූ කිසිදු රටක් මෙම යෝජනාවට විරුද්ධත්වයක් දැක්වූයේ නැත. ශ්‍රී  ලංකාවට තවත් දෙවසරක කාලයක් ලබා දීමට සියලු රටවල් කැමැති බව පෙනුනි.

සාකච්ජාවෙහි කැපී පෙනුන ළකුනක් වූයේ යුරෝපා සහ උතුරු ඇමෙරිකානු රටවල් හැරුණ විට අනෙක් රටවල් දැක්වූ නිහඬතාවයයි. ආසියාවෙන් කතා කළ චීනය, පකිස්ථානය සහ බංගලදේශය ශ්රී ලංකාවට තම සහයෝගය දිගටම ලබා දෙන බව කියා සිටියහ.  අදහස් දැක්වූ අනෙක් ආසියානු රටවල් දෙක වූ ජපානය සහ දකුනු කොරියාව යුරෝපා රටවල් සමඟ සමාන්තර අදහස් දැක්වූහ. එනම් ශ්‍රී ලංකාවෙහි සැළකිය යුතු මානව හිමිකම් වර්ධනයක් සිදුව ඇතත් තව බොහෝ දුර යා යුතුව තිබෙන බවයි. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය දැක්වූයේ ද එවැනිම අදහසකි.

මූලාසනයෙහි සම දායක රටවල් හතරම අසුන්ගෙන සිටියහ ©s,deshapriya

ස්විස්ටර්ලන්තය, ඩෙන්මාර්කය, යුරෝපා සංගමය සහ අයර්ලන්තය ශ්‍රී ලංකාවට තවත් දෙවසරක් ලබා දෙන අතර   කඩඉම් සහිත පැහැදිළි මාර්ග සිතයමක් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළහ. එමෙන්ම  යෝජනාව ක්‍රයාත්මමක කිරිමෙහි  ප්‍රගතිය නිරීක්ෂණය කැරෙන එකසත් ජාතීන්ගේ යාන්ත්‍රණයක අවශ්යතාවය ද රටවල් ගණනාවක් විසින් පෙන්වා දෙන ලදී.

කිසිදු අප්‍රකානු හෝ ලතින් ඇමෙරිකානු රටක් මෙහිදී අදහස් දැක්වූයේ නැත. 2012, 2013 සහ 2014 යන වසරවලදී එකී මහාද්වීප නියෝජනය කරන රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවේ මානවහිමිකම් ප්රවර්ධනය දම වගවීමේ අවශ්යතාවය අවධාරණය කරමින් කරුණු දැක්වූහ.

සාකච්ජා සභාව අමතමින් කතා කළ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියවංශ කියා සිටියේ මානව හිමිකම් මණ්ඩලය සමග දිගටම කටයුතු කරමින් මෙම යෝජනාවට සම දායකත්වය දීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි.

එහිදී අදහස් දැක්වූ දෙමළ ඩයස්පෝරා නියෝජිතයින් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට තවත් කල් නෙදෙන ලෙසත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හරහා අන්තර් ජාතික යුද අධිකරණයට ශ්‍රී ලංකාව යොමුකළ යුතු බවයි. එම අදහසට කිසිදු රටක අනුමැතියක් ඇති බව පෙනෙන්නට තිබුණේ නැත.

Back to Top