Sri Lanka Brief
පුවත් විශේෂාංගවිදේශ ඇමැති සමරවීර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි කළ සම්පූර්ණ කතාව

විදේශ ඇමැති සමරවීර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි කළ සම්පූර්ණ කතාව

by

ජිනීවා හි එ. ජා. මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයේ ශ්‍රී ලංකාවේ දේශනය කරමින් සමරවීර මහතා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්තුමනි
සම්භාවනීය නියෝජිතවරුනි,
නෝනාවරුනි, මහත්වරුනි,

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයට අද දින  සහභාගීවීමට ලැබීම මා හට මහත් ගෞරවයක් අත්කර දෙයි.  සම්භාවනීය පුද්ගලයන්  වැඩි පිරිසක් මෙම කවුන්සිලයට පැමිණ ඇතැයි මම විශ්වාස කරමි.

මා අද මීට සහභාගිවන්නේ, මානව හිමිකම්වල මූලික පදනම හා හරයන් පිළිබඳව ලොව පුරා රටවල් ප්‍රශ්න කරමින් සිටින අවධියකදීය.  ජනතාවගේ ගැටලු විසඳීමට ඉදිරිපත් වන ජනතාවාදීන්ගේ නොදැනුවත්කම නිසා අප විසින් වැළඳගන්නා ලද බොහෝමයක් විශ්ව වටිනාකම් ජනතාවාදය යන නාමයෙන් අභියෝගයට ලක් වී ඇත.  මෙම සන්දර්භය අනුව, මෙම සංවිධානයේ කාර්යභාරය අන් කවරදාකටත් වඩා ඉතා වැදගත් තත්ත්වයකට පත්වෙමින් තිබේ.

සභාපතිතුමනි,

ශ්‍රී ලංකාවේ කථාව මෙම කවුන්සිලයට හොඳින් හුරු පුරුදුය.  වසර ගණනාවක් පුරා පැවති ප්‍රතික්ෂේපකිරීම්, කටයුතුවල නොනියැලිම් හා ස්වයං හුදකලාවීම්වලින්  පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජාතික ආණ්ඩුව මගින් මානව හිමිකම් යහපාලනය, නීතියේ ආධිපත්‍ය, යුක්තිය, ප්‍රතිසන්ධානය හා ආර්ථික සංවර්ධනය කේන්ද්‍රකොටගත්  පරිවර්තනීය ගමන් මගකට අප රට යොමු කරන ලදී.

2015 ජනවාරි මස පැවති මැතිවරණයේ දී අප රටේ ජනතාව විශාල වශයෙන් ඔවුන්ගේ ඡන්දය පාවිච්චිකරමින් ජනාධිපති සිරිසේන මැතිතුමාට විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දුන්හ.  අන් සෑම ජනාධිපති අපේක්ෂකයෙකුටම වඩා ඉහළම ඡන්ද ප්‍රතිශයක් මෙහි දී වාර්තා වූ අතර උතුරු හා නැගෙනහිර පළාත්වලදී ජනාධිපති සිරිසේන මැතිතුමා ලබා ගත් ඡන්ද ප්‍රමාණයද ඉතා ඉහළ අගයක් ගත් අතර ඊට හේතු වූයේ අතීතයේ මෙන් ඔවුන්ව නොරවටන බවට ජනාධිපති සිරිසේන මැතිතුමා මත තැබූ විශ්වාසයයි.  එහෙයින්, වසර දෙකකට පෙරාතුව අපට ඡන්දය ලබා දුන් ජනතාවට පමණක් නොව ඔවුන් තැබූ එම විශ්වාසය සුරකින ලද ඉතිහාසයට පවා අප ණය ගැති වෙමු.

සභාපතිතුමනි,

2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය නිම වීමත් සමගම “ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධානය හා වගවීම ප්‍රවර්ධනය කිරීම” යටතේ වූ 30/1 යෝජනාවලියට අප සම අනුග්‍රහකත්වය ලබා දුන් අතර එම යෝජනාවලිය 2015 ඔක්තෝබර් 01 දින මෙම කවුන්සිලය විසින් ඒකමතිකව පිළිගනු ලැබුවේ එම දැඩි විශ්වාසය මතය.

ශ්‍රී ලංකාව 30/1 යෝජනාවලිය සම අනුග්‍රහකත්වය ලබාදීමේ ඓතිහාසික පියවර ගැනීමෙන් වසරකට ආසන්න කාලයක් හෝ මාස 15ක් මේ වන විට ඉක්ම ගොස් ඇත.  අප රටේ සිටින බහුතරයක් මෙම පියවර ගැනීම සම්බන්ධයෙන් දිගින් දිගටම විවේචනය කරමින් සිටිති.  සමහරු මෙය ද්‍රෝහිවීමක් හා ජාතිය පාවාදීමක් ලෙස සලකති. ස්වාධීන ජාතියක් බවට පත් වී වසර 70 ක් සපිරෙන 2018 වසරේදී අපට ඔවුන් වෙත සියුම් පණිවිඩයක් දීමට තිබේ.

සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් වශයෙන් විවිධ විශ්වාසයන් හා ඇදහීම් දරන අපි ස්ත්‍රී පුරුෂ භාවය, කුලය හෝ වංශය නොතකා 1948 දී අප ජාතියේ නිදහස වෙනුවෙන් සියලු දෙනා එකට ඒකරාශී වීමු.  එය එසේ දිනාගත් නමුදු, සියලු දෙනා සමාන අයිතිවාසිකම් භුක්ති විඳින පිරිපුන් මිනිසුන්ගෙන් යුත් ජාතියක් ලෙස අප රට ගොඩනගමින් අපට ලබාගත හැකි උපරිමය කරා ලඟාවීමට අපි අපොහොසත් වීමු.  එහි ප්‍රතිඵලයක්  ලෙස වසර 69 මුළුල්ලේ අපි, වේදනාව, හිංසනය, අත්විඳිමින් අගනා ජීවිත අහිමිකර ගනිමින්  හා සමාජ ආර්ථික ප්‍රගතිය සඳහා වූ ඉඩප්‍රස්ථා අහිමි කර ගනිමින් දුෂ්කර ගමනක යෙදුනෙමු.

මෙය සත්‍ය වශයෙන්ම තවත් ඉදිරියට සිදුනොවිය යුතු ජාතිය ගොඩනැගීම පිළිබඳ වැරදී ගිය අත්හදා බැලීමකි.  එම සත්‍ය පිළිගැනීමට අප සතුව ධෛර්යය තිබිය යුතු වනවා සේම එම යුගය නිමා කිරීමේ ශක්තිය ද අප සතු විය යුතුය.  මින් ඉදිරියට අප ගොඩ නැගීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකාව, යුක්තිය රජයන; මානව හිමිකම් අගයන; සෑම පුද්ගලයෙකුගේම ආත්ම ගෞරවය සුරකින, සිවිල් සමාජ මෙන්ම ජනමාධ්‍ය සිය කාර්යභාරය නිසි අයුරින් ඉටුකරන, අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍ය වැදගත් කොට සලකන එමෙන්ම සෑම දෙනාටම සමාන අයිතිවාසිකම් හිමිවන සමාජයක් සහිත විය යුතුය.

සභාපතිතුමනි,

මෙම ගමනේදී, බෙදී වෙන්වුණු දෙපාර්ශ්වය මතම ක්‍රියාත්මක වන අන්තවාදී මෙන්ම එදිරිවාදී බලවේග, පටු හා කෙටිකාලීන දේශපාලන වාසි තකා ගමන අවහිර කරන බාධා එල්ල කරනු ඇත.  පසුගිය වසර දෙක තුලදී අප ලබාගත් අසීරු ජයග්‍රහණයන් පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් අපි ප්‍රමාණයට වඩා වැඩියෙන් හෝ පමණට වඩා අඩුවෙන් වැඩ කරන ලදැයි ඔවුන්  වාද කරති.   පසුගිය වසර දෙක තුල ශ්‍රී ලංකාවේ ඇතිවූ ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් නොබෝදා ප්‍රකාශයට පත් කෙරුණු බ්‍රසල්ස් හි දී ලද ජී.එස්.පී.+ සහනය පිළිබඳ නිර්දේශ සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලද එම්.සී.සී (MCC) අනුග්‍රහය පිළිබඳ නිර්දේශ සම්බන්ධයෙන් මේ මොහොතේ දී මා සඳහන් කරන අතර ඉදිරි මාස කීපය තුලදී ඒ පිළිබඳ නිල අනුමැතිය අපි අපේක්‍ෂා කරමු.

සමරවීර මානව හිමිකම් කවුන්සිලයෙහි 34වන සැසිවාරය අතරතුර

සභාපතිතුමනි,

2016 වසරේ ජූනි මස 29 වැනි දින මා මෙම සභාව ඇමතූ දින සිට,
⦁    බලහත්කාර‍යෙන් සිදුකරන පැහැර ගැනීම්වලින් සෑම පුද්ගලයකුම ආරක්‍ෂා කිරීම සඳහා වන ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීම පිළිබඳ නෛතික කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව ගැසට් පත්‍රයේ පළකරන ලද අතර නොබෝ දිනකින් පාර්ලිමේන්තුවේ  සභාගත කිරීමට නියමිතය.
⦁    ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිළිබඳ යෝජිත පනත සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්තිමය සහ නෛතික වැඩපිළිවෙල සම්පාදනය කිරීමේ කටයුතු පිළිගත් ජාත්‍යන්තර පරිචයන්ට අනුකූලව සිදුකෙරෙමින් පවතී.
⦁    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින්,  අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ නිත්‍ය කාර්යාලයක් පිහිටුවීම සඳහා නෛතික කටයුතු ක්‍රියාත්මක කරනු ලැබේ.  පාර්ලිමේන්තුවේ කථානායක වරයා විසින්  සහතික කරන ලද එම පනත රටේ නීතියක් වශයෙන් පවතින අතර එය ක්‍රියාත්මක කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතී.  2017 වසරේ අයවැය මගින් මෙම කාර්යාලය සඳහා රුපියල් බිලියනයකට වඩා මුදලක් වෙන් කොට ඇත.
⦁    යුධ ගැටුම් හේතුවෙන් අවතැන්වූවන් වෙනුවෙන් කල්පවත්නා විසඳුමක් සඳහා වූ  ජාතික ප්‍රතිපත්තියක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.
⦁    2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ පනත (තාවකාලික විධිවිධාන) පාර්ලිමේන්තුව මගින් සංශෝධනය කළ අතර, නොපැමිණීමේ සහතික නිකුත් කිරීම බලාත්මක කරන ලදී.
⦁    එවකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් මහතා සහ සුළු ජාතීන්ගේ ගැටළු පිළිබඳව විශේෂ නියෝජිතවරයා විසින් රජයේ ආරාධනය පරිදි මෙරට සංචාරයක නිරත විය.
⦁    2012 අංක 01 දරණ එක්සත් ජාතීන්ගේ රෙගුලාසින් හි රෙගුලාසි 4(7) යටතේ පත් කරන ලද පුද්ගලයන්ගේ නාමලේඛනය තවදුරටත් සංශෝධන කරන ලදී;
⦁    විගමණික ශ්‍රමිකයන් පිළිබඳව කමිටුව, වාර්ගිකව වෙනස්කොට සැලකීම තුරන්කිරීම පිළිබඳව කමිටුව, වධහිංසා පිටුදැකීමේ කමිටුව, හා කාන්තාවන්ට එරෙහිව වෙනස්කොට සැලකීම තුරන් කිරීම පිළිබඳ කමිටු විසින් ශ්‍රී ලංකාවේ කාලීන වාර්තා සලකාබලනු ලබයි;
⦁    මූලික අයිතිවාසිකම්, අධිකරණය, නීතිය හා සාමය, රාජ්‍ය මුදල්, රාජ්‍ය සේවය, සහ කේන්ද්‍රීය -පරිවරණ සබඳතා පිළිබඳව වාර්තා සලකා බැලීමේ හා ඉදිරිපත් කිරීමේ කාර්ය පැවරුණ පාලන කමිටුවේ උප කමිටු 6 හි වාර්තා සම්පූර්ණ කර ව්‍යවස්ථා සභාවට බාර දී ඇත.
⦁    පළල් උපදේශන ක්‍රියාවලියක් ඔස්සේ විකාශනය වූ 2017-2021 කාලසීමාව සඳහා වූ ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
⦁    තොරතුරු දැනගැනීමේ පනත මෙම වසරේ පෙබරවාරි 3 වැනි දින බලාත්මක කරන ලදී.
⦁    අභ්‍යන්තරිකව අවතැන්වුවන් හට 2016 තුළ දී නිවාස 11,253 ක් බාරදුන් අතර; 2017 වසරේ අභ්‍යන්තරිකව අවතැන්වූවන් හට නිවාස 5,732ත් සඳහා රුපියල් මිලියන 4,785ක් වෙන්කර ඇත;
⦁    පුද්ගලයන් පුනරුත්ථාපන කිරීම, දේපළ හා කර්මාන්ත අධිකාරිය විසින් රු.605,809,359.00 ක් 2016 දී ප්‍රතිලාභීන් සඳහා ගෙවු අතර 2017 දී රු 574,000,000.00 ක් වෙන්කර ඇත.
⦁    2016 දී රජයේ ඉඩම් අක්කර 5,5015.98 හා පුද්ගලික ඉඩම් අක්කර 2,090.03ක් නිදහස් කළ අතර 2017 ජනවාරි හිදී එනම් පසුගිය මස රජයේ ඉඩම් අක්කර 1,383.51 ක් හා පුද්ගලික ඉඩම් අක්කර 30.54 නිදහස් කරන ලදී.
⦁    සියලුම රාජ්‍ය නිලධාරීන් මෙන්ම පාසල් සිසුන් ද ප්‍රතිඥාවක් ලබාදෙමින්, එක්ව වැඩකිරීමට තීන්දුවක් ලබාදෙමින්, අත්වැල් බැඳගනිමින්, අපගේ විවිධත්වයේ සාරවත්භාවයට ගරු කරමින්, සාමය පෝෂණය කිරීම සඳහා අවබෝධයෙන් හා අන්‍යොන්‍ය විශ්වාසයෙන් යුතුව විවිධත්වයෙන් එකමුතු වූ නව ශ්‍රී ලංකාවක් සඳහා ඉතිහාසයේ පළමු වරට 2017 ජනවාරි 08 දින සිට 14 දින දක්වා ජාතික ඒකාබද්ධතා හා සංහිඳියා සතියක් සනිටුහන් කරන ලදී.

සභාපතිතුමනි,

සංහිදියා යාන්ත්‍රණ පිළිබඳ උපදේශාත්මක කාර්ය සාධක බලකාය විසින් කරන ලද මහජන විමසීම් මෙම කාලය තුළදී සාර්ථකව නිම කරන ලද තවත් වැදගත් කාර්ය භාරයකි.  මේ ආකාරයේ මහජන විමසුමක් මේ රටෙහි   කරන ලද  ප්‍රථම අවස්ථාව මෙයයි.  සියලුම තරාතිරම්වල පුද්ගලයින් 7000 ක ට වැඩිදෙනෙකු විසින් ලිඛිතව කරුණු ඉදිරිපත් කොට තිබූ අතර ඔවුන්ගෙන් බහුතරයක් තම අදහස් ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටියේ මානව හිමිකම් කඩවීම්වලට ගොදුරු වූ වින්දිතයන් වශයෙනි.  සත්‍ය සෙවීම, හානිපූරණය, සාධාරණත්වය සලසා දීම හා සංහිඳියා ක්‍රියාවලීන් සඳහා අදාළ යාන්ත්‍රණයන් සැලසුම් කිරීම අරභයා කාර්ය සාධන බලකායේ වාර්තාව දැනට අධ්‍යයනය කරගෙන යනු ලැබේ.

සත්‍ය සෙවීමේ කොමිසමේ නීති කෙටුම්පත් ඉදිරි දෙමස තුළදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇතැයි අපි විශ්වාස කරමු.  මානව හිමිකම් කඩ කිරීම නිසා වින්දිතයන් බවට පත්වූවන් ට සාධාරණය ඉටුකිරීම පිළිබඳ අපගේ අධිෂ්ඨානය අචලව පවතී.

අඛණ්ඩ හිංසනයන්  පිළිබඳ චෝදනා බරපතල සිද්ධීන් ලෙස සලකනු ලබන අතර පසුගිය වර්ෂයේදී වධ හිංසාවලට එරෙහි රැස්වීම් සඳහා ජනාධිපතිතුමාගේ සහභාගිත්වය තුළින් පිළිබිඹු වන්නේ රජය වධහිංසාවලට කිසිසේත්ම ඉඩ ලබා නොදීමේ ප්‍රතිපත්තියක් පිළිපදින බවයි.  ශ්‍රී ලංකාවේ වධහිංසා පැමිණවීමේ සිද්ධීන්වල  අඩුවීමේ ප්‍රවණතාවක් ඇතැයි මෑතකදී ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිසම විසින් පෙන්වා දී ඇතත් වධහිංසා පැමිණවීමේ එක් සිද්ධියක් වුවද අප විසින් සලකනු ලබන්නේ අතිශයින්ම බරපතල තත්ත්වයක් ලෙසය.  හිංසා පැමිණවීමේ සිද්ධීන් මැඩපවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය හා වෙනත් අදාල ආයතන  මගින් කටයුතු කරනු ලැබේ.  වෙනත් ක්‍ෂේත්‍රයන්ට මෙන්ම මෙම ක්‍ෂේත්‍රය සඳහා ද අපට තාක්‍ෂණික සහාය අවශ්‍ය වේ.  මෙම ක්‍ෂේත්‍රයේ අත්දැකීම් ලැබ ඇති රටවල් අපගේ සහයට ඉදිරිපත් වනු ඇතැයි අප විශ්වාස කරමු.

සභාපතිතුමනි,

ප්‍රජාතාන්ත්‍රීකරණය සඳහා පමණක් නොව මතුවට ගැටුම් ඇති නොවන බව තහවුරු කර ගැනීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් ක්‍රියාවලිය අපට උපස්ථම්භක වන්නා සේම අත්‍යාවශ්‍ය ද වන්නේය.  මෙම සභාව දන්නා පරිදි කෙටුම්පත් ව්‍යවස්ථා පනත සකස් කොට පාර්ලිමේන්තුවේ සැලකිල්ලට යොමු කිරීමට 2016 අප්‍රියෙල්  මාසයේදී   ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඒකමතික තීරණයකට එළඹීය.

දීර්ඝ කාලයක් තුළ භේද භින්නව සිටි අප ජනතාව එකමුතු කිරීමේ පියවරක් වශයෙන්, නිදහස ලබා 70 වැනි වසරට එළඹෙද්දී අප රටේ නූතන ඉතිහාසයේ ප්‍රථමවරට මෙම ක්‍රියාවලියට එකසිතින් යොමුවී සිටිමු.  පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා ජනමත විචාරණය මේ සඳහා අත්‍යාවශ්‍ය වේ.    සම්මුතියෙන් හා අදහස් විමසීමෙන් තොරව එළඹි පෙර ව්‍යවස්ථා මෙන් නොව, 3 වන  ජනරජ ව්‍යවස්ථාව වන මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ජනතාවගේ නියම අපේක්‍ෂාවන් පිළිබිඹු වනු ඇතැයි අපි විශ්වාස කරමු.  වර්ෂාධික කාලයක් තුළ පැවති ගැටුම්වලින් පසුව  මෙම ක්‍රියාවලිය තුළින් විධායකය ව්‍යවස්ථාදායකය හා ස්වාධිපත්‍යය, එනම් රටේ ජනතාව අප ජාතියේ අනාගතය නිර්වචනය කිරීම සඳහා එක්සත් වනු ඇත.  එමගින් ජනතාවගේ සමාන අයිතිවාසිකම් ආරක්‍ෂා වන අතර බහුජාතික, බහු ආගමික, හා  භාෂා ගණනාවක් කථා කරන පුරවැසියෝ ජාතියක් වශයෙන් මෙම ක්‍රියාවලියට සහභාගි වී තම තමන්ගේ යන ජීවිතය පිළිබඳ තීරණවලට එළඹී යළි ගැටුම් ඇති නොවන බවට වගබලා ගනු ලැබේ.

අප රටේ ජනතාව වෙත අපගේ ඇති කැපවීම සහ මැතිවරණයේදී අප ලද ජනමතය තුළින් ඇරඹි අප යන ගමන්මග අභියෝගාත්මක වූවකි. මෙය ජයග්‍රහණයන් හා බාධාවන් යන දෙකෙන්ම යුත් ගමනක් විය හැකිය. යථාර්ථවාදී දේශපාලන ලෝකයේ පවතින බාධක හා අවහිරතා හමුවේ කළින් කළට පසුබෑම් පැවතිය හැකිය. නමුත් ගමනාන්තය දක්වා ගමන් කිරීමට අප තුළ ඇති අධිෂ්ඨානය නොවෙනස්ව පවතිනු ඇත. සංක්‍රාන්තික යුක්තිය සඳහා වන අපගේ අධිෂ්ඨානය හීන නොවී පවතී. අප රටේ ජීවත්වන සියළු ජනතාවගේත්, ජාත්‍යන්තර ප්‍රජාව තුළ සිටින අපගේ හිතමිතුරන් හා අපගේ හවුල්කරුවන්ගේත්, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේත් උපකාරයත්, ඉවසීමත්, අවබෝධයත්, නිරන්තර හා අඛණ්ඩ උත්සාහයත් තුළින් සංහිඳියා ක්‍රියාවලිය යථාර්ථයක් බවට පත්කිරීමටත්, සමාජ ආර්ථික සංවර්ධනයේ නවමු මට්ටමක් කරා අපගේ ජාතිය රැගෙන යාම සඳහා සාමකාමීව කටයුතු කරන එක්සත්, ප්‍රගතිශීලී සමාජයක් ගොඩනැගීමටත් හැකිවනු ඇතැයි අපි දැඩිව විශ්වාස කරන්නෙමු. ශ්‍රී ලංකාව සෞභාග්‍යමත්, විවිධත්වය තුළ ඒකීයත්වයට පත්වූ, මානව අයිතිවාසිකම්, යුක්තිය, හා නීතියේ ආධිපත්‍ය නඟාසිටුවන ලද ඉතා ඉහළ ආදර්ශයක් සපයන රටක් බවට පත්කිරීමට අපට හැකිවනු ඇතියි අපි විශ්වාස කරමු.

ස්තූතියි.

Back to Top