Sri Lanka Brief
පුවත්මගී ප්‍රවාහනයේ ස්ත්‍රීන් 90% ලිංගික හිංසනයට ලක්වන බව සමීක්ෂණයක් පෙන්වයි.

මගී ප්‍රවාහනයේ ස්ත්‍රීන් 90% ලිංගික හිංසනයට ලක්වන බව සමීක්ෂණයක් පෙන්වයි.

by

බස්වල දුම්රිවල සිදු වන එක්තරා හිංසනයක් පොදු ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ ජැක් ගැසීම ලෙසයි. ඇත්තෙන් ම ජැක් ගැසීම කියන්නේ වාහනයක් ජැක් යන්ත්‍ර‍ය මගින් එසවීමටයි. බස්වල සිදු වන මෙම ක්‍රියාවටත් එම වදන හාස්‍යෝත්පාදක ලෙස යොදා ගැනෙනවා.  එහෙත් එය හිනාවෙන්නට දෙයක් නොව පිටුදැකිය යුතු සමාජ උවදුරකි.

පොදු ප‍්‍රවාහන බස් රථ හා දුම්රියවලදී කාන්තාවන්ගෙන් 90%ක් ම ලිංගික හිංසනයට ලක් වන බව 2015දී එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් කරන ලද සමීක්ෂණයකදී  හෙළිදරව් විය.

පොදු ප‍්‍රවාහන සේවාවන්හිදී, විශේෂයෙන් ම බස්වලදී, නිතර දක්නට ලැබෙන ප‍්‍රතිචාරයක් වන්නේ වින්දිතයන් හිංසනය අතරතුර මෙන් ම ඉන් පසුව ද නිහඬව සිටීමයි.

ප‍්‍රතිචාර දැක්වූවන්ගෙන් 92%ක් දෙනා පොදු ප‍්‍රවාහන සේවාවන්හිදී ලිංගික හිංසනයට ලක් වුව ද, නීතිමය බලධාරීන්ගෙන් කිසි විටෙක හෝ උපකාර පතා නැත. පොලිසියේ උපකාර සොයා ඇත්තේ 4%ක් පමණි.

ලොව පුරා ම කාන්තාවෝ පොදු ප‍්‍රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දෙති. විවිධ ශාරීරික හා වාචික හිංසනයන් ලෙස සිදු වන මෙය ඇතැම් විට ස්ත‍්‍රී දූෂණය පවා විය හැකි ය.

එය නිසා කාන්තාවන් තැනින් තැනට යාම සීමා වේ. සමාජ ව්‍යූහයන්ගේ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවී අසමානතාවන්ගේ ගැඹුර ද එමගින් පරාවර්තනය වේ. කාන්තාවන්ගේ හා ගැහැනු ළමයින්ගේ මූලික හිමිකම් හා නිදහස අහිමි කරනවාට අමතරව, අනාරක්ෂිත වාතාවරණයක් නිර්මාණය කිරීමට ද එය ඉවහල් වේ. එමගින් කාන්තාවන් හා ගැහැනු ළමයින් පොදු ජීවිතය තුළ, රැකියාවන්ගේ හා අධ්‍යාපනයේ සම්පූර්ණයෙන් නිමග්න වීම ද සීමා කරනු ලැබේ.

ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමෙන් සංවර්ධනයේ  උත්පේ‍්‍රරකයක් වීමේ හැකියාව ශ‍්‍රී ලාංකිකයන් බහුතරයකට වඩාත් ම ලාභදායී ගමනාගමන විකල්පය වන පොදු ප‍්‍රවාහනයට තිබේ. කෙසේ වෙතත්, පොදු ප‍්‍රවාහනය වෙත පිවිසීමේදී හා භාවිතා කිරීමේදී කාන්තාවන් හා පිරිමින් අතර කැපී පෙනෙන විෂමතාවක් තිබේ. අධ්‍යයන මගින් පෙන්වා දී ඇති පරිදි කාන්තාවන් පිරිමින්ට වඩා පොදු ප‍්‍රවාහන සේවා මත යැපෙති. විශේෂයෙන් ම පහළ ආදායම් මට්ටම්වල කාන්තාවන් අතර මෙය දැකිය හැකි ය.  ගෘහාශ‍්‍රිත කටයුතුවලින් වැඩි බරක් දරා ගන්නට සිදු වන කාන්තාවෝ වඩා ලාභදායී ප‍්‍රවාහන මාධ්‍ය ඔස්සේ වැඩිපුර ගමන් කරති. එහෙත්, පොදු ප‍්‍රවාහනයේදී ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව සිදු වන වෙනස්කම් නිසා කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක් තිබේ.

ජන හා නිවාස සංගණනය අනුව, ශ‍්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ශ‍්‍රම බලකා සහභාගිත්වය 2006දී 39.5%ක මට්ටමේ සිට 2014දී 34.7% දක්වා පහත වැටී තිබේ.

ශ‍්‍රී ලංකාව සිය ආර්ථික විභවයන් අත්පත් කර ගන්නට නම්, ශ‍්‍රම බලකායේ ජන සහභාගිත්වය උපරිම කර ගත යුතු ය. ශ‍්‍රම බලකායෙහි කාන්තා සහභාගිත්වයේ පහළ වැටීම තේරුම් ගන්නට නම් කාන්තාවන්ගේ ගැටලූ කෙරෙහි සංවේදී විය යුතු ය.  ඒ පිිළිබඳ හේතු ලෙස දක්වා තිබෙන කාරණා අතර, පොදු ප‍්‍රවාහනයේදී සිදු වන කාන්තා හිංසනය ද කාන්තාවන් ආර්ථික කටයුතුවලට සහභාගි වීම වළක්වන ප‍්‍රධාන බාධකයක් ලෙස සැලකේ.

(එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ ජනගහණ සංකථන ප්‍රතිපත්ති සාරාංශය ඇසුරෙනි. මෙතැනින් බාගත කරගන්න.)

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල  දිවයින පුරා 2500ක් දෙනා සම්බන්ධ කර ගනිමින් කරන ලද සමීක්ෂණයක් අනුව, එයට ප‍්‍රතිචාර දැක්වූවන්ගෙන් 52%ක් ලිංගික හිංසනය අපරාධයක් ලෙස සැලකෙන නීතියක් තිබෙන බව දැන සිටිය හ.

කෙසේ වෙතත්, 60%ක් දෙනා ලිංගික හිංසන වරදට දඬුවමක් තිබෙන බව දැන සිටියේ නැත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය අනුව, ‘ කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත‍්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේ ය.’

වසර 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග‍්‍රහ සංශෝධන පනතේ 345 කොටස අනුව ද ලිංගික හිංසනය යනු දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි. මෙම කොටස අනුව ලිංගික හිංසනය යටතට ලිංගික ස්වරූපී පහරදීම්, සාපරාධී බලය යෙදවීම, හිංසනයට ලක් වන පුද්ගලයා කුපිත කිරීමට හේතු වන වචන හෝ ක‍්‍රියා අයත් වේ.

ලිංගික හිංසනය යනු ඇත්තෙන් ම කුමක් ද?

’‘ඕනෑම අයෝග්‍ය ලිංගික බලපෑමක් හෝ ලිංගික සැලකීමක් සඳහා ඉල්ලීමක් හෝ ලිංගික ස්වරූපයේ වාචික නැතිනම් ශාරීරික ක‍්‍රියාවක් හෝ හැසිරීමක් හෝ වෙනත් අයෙකුට වරදක් හෝ අවමානයක් ඇති කරන බව සාධාරණ ලෙස පෙන්නුම් කරන වෙනත් ඕනෑම ආකාරයක ලිංගික ස්වභාවයේ චර්යාවක් හෝ ලිංගික හිංසනයක් ලෙස සැලකිය හැකි ය. එය එක් සිද්ධියක් හෝ සිද්ධි මාලාවක් හෝ වීමට ද පුළුවන. ලිංගික හිංසනය සිතාමතා කරන ක‍්‍රියාවක්, ඉල්ලීමකින් තොරව කරන ක‍්‍රියාවක් හෝ බලහත්කාරයෙන් කරන ක‍්‍රියාවක් විය හැකි ය.’’

– කියන්න වෙබ් අඩවියෙනි.

Back to Top