Sri Lanka Brief
පුවත්විවරණපශ්චාත් සාධක (සත්‍ය) සමාජය සහ ආධිපත්‍යවාදය 02 – රංජිත් හේනායකආරච්චි

පශ්චාත් සාධක (සත්‍ය) සමාජය සහ ආධිපත්‍යවාදය 02 – රංජිත් හේනායකආරච්චි

by

පින්තූරය: වත්මන් දේහපාලනඥයින් බොරු කීවාට පිනෝ කියෝගේ මෙන් නහය දික්වන්නේ නැත.

දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල අලුතින් පැතිරී ඇති නැම්ම ලෙස මතුව ඇත්තේ ඒකාධිපති නැඹුරුවයි. මින් පෙර සමාජයේ කුඩා කණ්ඩායමකට හිමිකම් කියූ මෙම අධිපතිවාදී සිතුවිලි සහ අධිකාරීවාදී අදහස් අද වන විට එක්තරා පැතිරුණු සමාජ කණ්ඩායමක් වැළඳගනිමින් පවතී. එම නැඹුරුවට නායකත්වය සපයන ජනප්‍රියවාදී අධිදක්ෂිනාංශික දේශපාලඥයන් පෝලන්තයේ, හංගේරියාවේ, ප්‍රංශයේ, නෙදර්ලන්තයේ, තුර්කියේ, ජර්මනියේ ඇමරිකා එක්සත් ජනපදය ආදී නොයෙකුත් රටවල පෙරමුණට පැමිණෙමින් සිටිතී. මෙම කණ්ඩායම් ලොකු කුඩා වෙනසක් නොමැතිව තමන්ව හදුන්වා ගන්නේ තමන් ‘ජනතාව’ ලෙස වන අතර පවතින ‘පාලක ප්‍රභූන්’ සුළුතරය බවත් ජනතාව වන තමන්ව යටපත් කරගෙන සිටින බවත් පවසති. ඇමරිකා එක්සත් ජනපදය, හංගේරියාව, පෝලන්තය, තුර්කිය වැනි තැන්වල පැහැදිලිව පෙනෙන්නට පවතින්නේ මෙම ‘ජනප්‍රියවාදී’ දේශපාලඥයින්ට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර දැමීමට ප්‍රජාතන්ත්‍රවාදය අවියක් ලෙස පාවිච්චි කිරීමට හැකියාවක් ලැබී ඇති බවයි. දැන් මතුවන ප්‍රශ්නය වන්නේ සමාජයක වැඩි දෙනාගේ කැමැත්ත ඒකාධිපතිවාදය ඇති කිරීමට නම් ප්‍රජාතන්ත්‍රවාදය එයට එරෙහි විය යුතු නැද්ද යන්නයි.

ඉතිහාසය ලෝක ජනතාවට කියා දෙන පාඩම් මෙහිදී අප අමතක නොකළ යුත්තෙමු. 1922 දී බෙනිටෝ මුසෝලිනි ඉතාලියේ බලයට පත්වන්නේ වැඩි ඡන්දයෙනි. ෆැසිස්ට්වාදය ආරම්භය ඔහු ඉතාලියෙන් සනිටුහන් කළ බව අප දන්නෙමු. ඒවාගේම 1933 ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ බලයට පත්වන්නේ ද වැඩි දෙනාගේ කැමැත්තෙනි. නට්සිවාදය (ජාතික සමාජවාදය) ලෝකයට කළ හානිය විස්තර කළ යුතු නැත.

එසේ නම් යම් අයෙකු ප්‍රජාතන්තවාදය සහ වැඩිදෙනාගේ කැමැත්ත යනු එකක් ලෙස ගන්නේ නම් එහිදී විශාල වැරදි වටහා ගැනීමකි. යම් සමාජයක   ස්ථාවරව පවතින බෙදී ගිය බවක් (ඇති නැති පරතරය, ආගමික වෙනස්කම් කිරීම හෝ සුළුතර ජනවර්ගවලට වෙනස්ව සැලකීම ආදී) නොමැති නම් මේ දෙක එකට ගත හැකිය. වැඩි දෙනාගේ කැමැත්ත සම්පූර්ණයෙන් වලංගු විය හැක්කේ යම් සමාජයක සියළු දෙනාටම එක හා සමාන අවස්ථාවන් ( Chances) බෙදී ඇත්නම් පමනි. නමුත් එවැන්නක් තාම බිහි වී නොමැත. සෑම තැනකම එක්තරා පහළ සමාජ කණ්ඩායමක් අඩුවරප්‍රසාදයන් ලබන අතර අඩු සහභාගීත්වයකට හිමිකම් කියති.

බටහිර දියුණු ධනපති රටවල ලිබරල්වාදී චින්තනය සමාජයක් තුල ප්‍රචලිතවීමෙන් ප්‍රජාතන්ත්‍රවාදීව මෙම අවස්ථා බෙදී යාම සම්බන්ධව උද්ඝෝෂණ මතුව තිබේ. ඒ සෑම උද්ඝෝෂණයක්ම මෙම කොන් වූ සමාජ ස්ථරය සහ වරප්‍රසාද ලත් සමාජ ස්ථරය අතර පරතරය මකා දැමීම ඉල්ලමින් ඇති වූ ඒවායි. මෙම අසාමාන්‍යතාවට එරෙහිව 1960 සහ 1970 ගනන්වල උද්ඝෝෂණ රැලි නැගී සිටියේය. ඉන්පසු අසූ ගණන්වල විවිධ සමාජ සංවිධාන බලවේග ලෙස එක්දහස් නමසිය අසූගණන්වල නැගී ගියහ. ඊළඟ අවධිය ලෙස එක්දහස් නමසින අනූගණන්වල ස්වේච්ඡාවෙන් වැඩ කිරීමේ බලවේග මතුවේ. අන්තර්ජාල ක්‍රියාකාරිකයන් දෙදහස් ගණන්වල මතුවේ. මේ විවිධ අවධීන්වල ඇති වූ සෑම බලවේගයක්ම සෑම රැල්ලක්ම ඇති නැති පරතරය නැති කිරීම අරමුණු කරගෙන මතු වූවා වුවත් මේ එකකටවත් එය සාක්ශාත් කළ නොහැකි වේ. මේ සෑම නැගිටීමකටම සෑම බලවේගයකටම වරප්‍රසාද අහිමි පහල කොටස් සම්බන්ධ වීම සිදුවූයේ ඉතා සුළුවෙනි. මෙම සෑම බලවේගයකටම පිරිමි සහභාගීත්වය අති විශාල වූ අතර ස්ත්‍රී සහභාගීත්වය ඉතා අඩුය. බොහෝ විට තරුණ ජනකොටස් පක්ෂ දේශපාලනය ආයතනමය දේශපාලනය වැනි දෙයට සහභාගී වන්නේ ඉතා අඩුවෙනි. සමාජ මාධ්‍ය ජාලාවලින් ඉතා ක්‍රියාකාරීව බැඳුන සබඳතා ඇති කර ගත්තා වුවත් ඒවායින් විශාල ප්‍රමාණයක් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කතිකාවක කිසිම අයුරකින් සම්බන්ධ නැත. බ්‍රෙක්සිට්වලදී බ්‍රිතාන්‍ය යේ තරුණ කොටස් ඡන්දයට නොයෑම බ්‍රෙක්සිට් දිනීමට හේතු වූ බව පසුව හෙලිවිය. ඉන්පසු දශ ලක්ෂ ගණන් තරුණ කොටස් පෙළපාලි ගියමුත් එවිට පමා වී හමාරව තිබුනි. සමාජයේ වරප්‍රසාද අහිමි වී ගිය කොටස් තම අයිතීන් සඳහා ඒවා දිනා ගැනීමට ක්‍රියාකාරී විය හැකි තත්වයන් කිසි විටෙක ප්‍රයෝජනයට නොගනී. ඇත්තෙන්ම එතුලින්ම සමාජයේ සැමදා පරාජය ලබන කොටස් ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉවත්ව සිටිති.

ඡන්දය දීම සඳහා ඡන්ද පොළට නොයාම පසුගිය වකවානුවේ ප්‍රජාතන්ත්‍රවාදී රටවලට තිබූ විශාල අභියෝගයයි. මිනිසුන් දේශපාලන වශයෙන් උද්යෝගිමත් නොවීමට හේතු ගණනාවකි. ඉන් එක කොටසක් දේශපාලනයට ඇති නොහැකියාව නිසාත් තවත් කොටසක් ඒ සඳහා උවමනාවක් නොමැතිකම නිසාත් තවත් කොටසක් ඔවුනට කිසිවෙකු ආමන්ත්‍රණය නොකිරීමේ හේතුව නිසාත් දේශපාලනයට සහභාගි නොවේ.

පසුගිය දශක තුනක් පමණ කාලය තුල බොහෝ දෙය වේගයෙන් වෙනස්විය. ලෝකය ඉතා සීඝ්‍රයෙන් එකිනෙකට ලංවිය. ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය හේතුවෙන් ඇති නැති පරතරය ඉතා පැහැදිලිව විද්‍යාමානවිය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඇති උනන්දුව ඒ සඳහා වන සහභාගීත්වය ඒහා සමානව නැගීමක් සිදුව නොමැත. සමාජයක් තුල ඇති නැති පරතරය නැතිනම් සැමදා පරාජයටම හිමිකම් කියන්නන් තුළ අසංතෘප්තිය ලෝකය තුල මතුවූ මූල්‍ය අර්බුදය, සුභ සාධන කපා හැරීමේ දේශපාලනය, සරණාගත ප්‍රශ්නය, ගෝලීයකරණය ආදී හේතූන් ඉදිරියේ තීව්‍ර කරනු ලැබීය. මේ තත්වය තේරුම් ගන්නා දක්ෂිණාංශික කණ්ඩායම් නව ජාතිකවාදී ජනප්‍රියවාදීන් තමන් ආමන්ත්‍රණය කළ යුතු කොටස කවුදැයි හදුනාගනු ලැබීය. ඒ මා ඉහත සඳහන් කරනු ලැබූ තුන්වැනි කණ්ඩායමයි. ජාතිකවාදය හා අධිපතිවාදය දේශනා කරන ජනප්‍රියවාදීන් මෙතෙක් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට අයත් නොවූ  මෙම කොටස්වලට ආමන්ත්‍රණය කිරීමේ ක්‍රමවේදය හදුනාගන තිබේ.  ඩොනල්ඩ් ට්‍රම්ප්ලා, ස්ටීව් බැනන්ලා, ඉදිරිපත් කරන සරල සූත්‍රය වන ජාතිකවාදය, වර්ගවාදය, අධිපතිවාදය, මෙතෙක් සහභාගීත්වයක් නැතිව සිටි ඉහත කොටස ඡන්ද පොළවල් කරා රොක් කරවනු ලැබ ඇත. මෙය ප්‍රංශයේදීත් ඕලන්දයේදීත් හංගේරියාවේදීත් ජර්මනියේදීත් ලෙස පැතිරී ඇති තත්වයකි.

ඇමරිකාවේදී  හෝ එංගලන්තයේදී පමණක් නොව මෙම නව ජාතිකවාදීන්ගේ අවිය වී ඇත්තේ සත්‍ය යෙන් තොර කරුණු ඉදිරිපත් කිරීමයි. ඒ සඳහා ඔවුන් සයිබර් අවකාශය ඔවුන්ගේ ප්‍රධාන වාහකයා කරගෙන ඇත. සමාජ වෙබ් ජාලා වන්හි දිරිපත් කරන දත්තයන් සහ කරුණු පිළිබඳ කිසිවෙකුට වගකීමක් නොමැත. මුලින්ම බොහෝ විට අසත්‍ය තොරතුරු සහ දත්තයන් පුද්ගලයින්ට පහර දීමට සහ මඩ ගැසීමට යොදාගනු ලැබීය. මාධ්‍ය සදාචාරයන්ට මෙන්ම නීති රීතිවලට හසු නොවන මානයක පැවතීම හේතුකර ගෙන එතුල විශාල හිතුවක්කාරී ක්‍රියාදාමයකට ඉඩ සැලසේ. මුලින්ම පුද්ගල කෝන්තර පිරිමසා ගැනීමට මෙසේ ප්‍ර යෝජන ගත්තා වුවත් ක්‍රමක්‍රමයෙන් එය දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනීමේ අරමුණින් යොදා ගැනීම ඇරඹිණි. විශේෂයෙන්ම දක්ෂිණාංසික කණ්ඩායම් නව නාට්සි කණ්ඩායම් සහ ෆැසිස්ට් බලවේග බටහිර රටවල ජාලගතවීම් සහ ඔවුන්ගෙ වෙබ් තුලින් සහ සමාජ ජාල තුලින් අසත්‍ය සත්‍ය ලෙස ගෙන හර පෑම වැරදි දත්තයන් ඉදිරිපත් කරමින් අසත්‍ය සමාජ ගත කිරීම කරගෙන යනු ලැබීය. ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට මහත් සේවාවක් කළ බ්‍රයිබ් බාට් (Breitbart), ටී පාටි හෝ අල්ටා රයිට් (Alta Right) වැනි බලවේගයන් (මේවා නව ෆැසිස්ට්වාදී අති දක්ෂිණාංශික බලවේගයන්ය) විශාල ප්‍රචාරක වැඩ පිළිවෙලවල් මෙතුලින් දියත් කරනු ලැබීය.

බ්‍රෙක්සිට් සඳහා ප්‍රචාරනයේ යෙදුණූ බෝරිස් ජොන්සන්ලා, නයිජෙල් ෆෙරාජ්ලා විසින් ගෙන ගිය ප්‍රචාරයන්ද ඒසේම වැරදි දත්තයන් සහ බොරුව මත සිදුකරනු ලැබූ බවට ප්‍රකටය.

මෙම ප්‍රචාරයන්හිදී අසත්‍ය ගෙනහැර පෑම කරනු ලබන්නේ හැගීම් මුල්කර ගත් කාරණා සහ දත්තයන් උපයෝගී කර ගනිමින් දේශපාලන බලපෑම කිරීම සඳහායි.

බ්‍රෙක්සිට් හිදී බෝරිස් ජොන්සන්ලා පැවසුවේ සතියකට මිලියන 1350 ක ප්‍රමාණයක් බ්‍රිතාන්‍යය යුරෝපා හවුලට ගෙවනු ලබන බවයි. එය නවතා දැමූ පසු එම මුදලින් මහජන සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යා හැකි බව පැවසීය. නමුත් බ්‍රෙක්සිට්වලින් පසු එම කියමන් වැරදි බව ඔවුන්ම පිළිගත්හ.

ජර්මනියට සරණාගතයට මිලියනක් පමණ ඇතුළත් වීමට ඉඩදුන් කාලවකවානුවේ බර්ලින් නගරයේ 13 හැවිරිදි දැරියක් සරණාගතයින් පැහැරගෙන ගොස් බලෙන් රඳවාගෙන ලිංගික බලහත්කාරකම් කරතියි කියා සරණාගතයන්ට සහ ජර්මන් දේශපාලන නායකත්වයට එරෙහිව උද්ඝෝෂණ සහ පිකටින් කිරීම බර්ලින් සහ මොස්කව් නගර වල සිදුවිය. එම දැරිය රුසියන් සම්බවයක් ඇති ජර්මන් පවුලක දැරියකි. ජනාධිපති පූටිං මෙන්ම විදේස් අමාත්‍යවරයාද මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ජර්මනියේ සරණාගත හිතවාදී දේශපාලනය විවේචනය කරනු ලැබීය. නමුත් ජර්මන් පොලිසිය දින 2 -3 ක් ඇතුළත මෙම දැරිය ඇගේ මස්සිනා කෙනෙකුගේ ගෙදර සිටිනු සොයා ගනු ලැබිණි. නමුත් එම සිද්ධිය  සහ ඒ ගැන ප්‍රචාරය සම්පූර්ණයෙන් බොරු බව ඔපුප් කර පෙන්වීය. නමුත් ඔවුන් මෙම කාරණය පිළිබඳව දිගින් දිගටම පිකටින් සහ ප්‍රචාරයන් තවදුරටත් කරගෙන යනු ලැබීය.

ජර්මනියේ ප්‍රයිබර්ත් නගරයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්ව ලිංගික බලහත්කාරකම් කර මදා දමා එයට සැකකරු ලෙස ඇෆ්ගන් තරුණයෙකු අත්අඩංගුට ගැනුනි. මේ අතර ජර්මන් හරිත පක්ෂ නායිකාවකගේ ෆේස්බුක් පිටුවේ ‘අපි දැන් මේ තරුණයාට අනුකම්පා කර ඔහුව පුනරුත්තාපනය කර නැවත සමාජගත කළ යුතුයි කියා ප්‍රවෘත්තියක් පලවිය. මෙය එක දිනක් ඇතුළත දස දහස් වාරයක් කොපිකර පළකර තිබූ අතර මෙම හරිත පක්ෂයේ නායිකාව වන කූනාට්ස් මහත්මිය මේ පිළිබඳව කිසිවක් දැන නොසිටියහ. දසතින් මතුව ආ විවේචනයන් මැද ඇය එයට තමාගේ කිසිම සම්බන්ධයක් නැති බව පැවසූ අතර අවසානයේදී  පොලිසිය මේ පිළිබඳව සැබෑ තොරතුරු හෙළි කර ගත් අතර ෆේස් බුක් වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගනු ලැබීය

මේ ඉහත සදහන් කලේ උදාහරණ කිහිවයකි. මෙසේම ට්‍රම්ප්ගේ ඡන්ද ප්‍රචාර දිනවල දින 5 ක් වැනි කෙටි කාලයක් තුල අසූ හත් වතාවක් වැරදි ප්‍රකාශයන් සහ දත්තයන් ඉදිරිපත් කළ බව ඒ දිනවල නිව්යෝක් ටයිම්ස් පුවත්පත විසින් පෙන්වා දෙනු ලැබීය. ඒ අතරින් ප්‍රකාශයන් 37 ක්ම ඉතා බරපතල කාරණා සම්බන්ධයෙන් බවද පෙන්වා දෙන ලැබීය. නමුත් ට්‍රම්පගේ ඡන්දාදායකයාට, ඔහුගේ අනුගාමිකයන්ට, එ්වා තව තවත් උදම් ඇනීමට කාරනා මිස ඔල්වර හඬනැගීමට කාරණා මිස ඒවා ඔහුව ප්‍රතික්ෂේප කිරීමට කාරණා නොවීය.

බොරු කීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේදී දේශපාලඥයෙකු ප්‍රතික්ෂේප වන ප්‍රධාන කාරණයකි. නමුත් මෙම නව ජාතිකවාදී දේශපාලනයට බොරු කීම, ප්‍රසිද්ධියේ බොරුව වෙනුවෙන් පෙනී සිටීම ආභරණයක් බවට පත්ව ඇත. ඒ සමාජයේ එක්තරා කණ්ඩායමකට සත්‍ය සාධකයන් මුල්කර ගත් දේශපාලනයක් පිළිබඳව උවමනාවක් නොමැති නිසාවෙනි. දැනට වසර ගණනකට උඩදී නම් බටහිර දේශපාලඥයෙකු බොරුකී බව හෙලිදරව් වීම ඔහුට හෝ ඇයට  ගෙදර යාමට හේතු වේ. නමුත් ඔවුන් අද බොරු කියු තරමට, වහසි බස් දෙඩු පමණට, තව තවත් පහත් නිගරු වචන භාවිතා කළ පමණට අද ඔවුන් වටා රොද බදින සමාජයක්, ඔල්වරසන් නගන සමාජයක් බිහි වී ඇත. මෙම සමාජය මෙවැනි සාහසික මත ඉදිරිපත් කරන ජාතිකවාදීන් පිලිගන්නේ හුරේ දමමිනි. මෙය පශ්චාත් සාධක සමාජයක් වන අතර මෙම සමාජය ඉල්ලා සිටින්නේ (තම) ආධිපත්‍යවාදී  ඒකාධිපතිවාදයකි.

ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට මුල් වූ හේතු සහ ඒ වටා රොක් වූ බලවේග හදුනා ගැනීම තුලින්  පශ්චාත් සාධක සමාජය ගැන අවබෝදයක් ලබා ගත හැක.

Back to Top