Sri Lanka Brief
විවරණශ්‍රී ලංකාව යළි ජිනීවා මානව හිමිකම් කවුන්සිල අභියස – සුනන්ද දේශප්‍රිය

ශ්‍රී ලංකාව යළි ජිනීවා මානව හිමිකම් කවුන්සිල අභියස – සුනන්ද දේශප්‍රිය

by

පින්තූරය: ජානීවාහි මානව හමිකම් කවුන්සිලය ඉදිරිපස තබා ඇති සාම සංකේතය ©s.dshapriya.

මානව හිමිකම් කවුන්සිලයේ 34වන සැසිවාරය මෙම මස 27දා ඇරඹී මාර්තු 24දා අවසන් වෙයි . මෙම සැසි වාරය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්ය. ඒ 2015 සැප්තැම්බර්හි පැවැති  30වන සැසිවාරයේදී කවුන්සිලය සම්මත කරන ලද ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව ක්‍රියාත්මක කර ඇත්ද යන්න සම්බන්ධයෙන් මහ කොමසාරිස් සෙයිඩ් විසින් වාර්තාවක් මෙවර කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත බැවිනි. 30/1 දරණ එම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ශ්‍රී ලංකාණ්ඩුවේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙහි මූලිකත්වයෙන් හා  සම්මුතියෙනි.

මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය ඉදිරි ක්‍රියා මාර්ග තීරණය කිරීමට නියමිතව තිබුණේ එකී වාර්තාව අනුවය. එසේ නමුත් දැන් ශ්‍රී ලංකාන්ඩුව එම යෝජනාවෙහි එන එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම පිණිස කල් ඉල්ලා තිබේ. බොහෝ විට ඉදිරි සති දෙක තුලදී මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව කල්තබා ප්‍රසිද්ධියට පත් කැරෙනු ඇත.

වාර්තාවන අන්දමට ශ්‍රී ලංකාව ඒ සඳහා තවත් මාස 18ක් ඉල්ලා ඇති අතර ඒ අනුව 2018 වසරෙහි සැප්තැම්බර් දක්වා මහ කොමසාරිස්වරයාගේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම කල් තැබෙනු ඇත. මෙවර ඉදිරිපත් කැරෙන සෙයිඩ්ගේ වාර්තාවෙන්  මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමෙහිලා ශ්‍රී ලංකාවෙහි ආණ්ඩුව ගෙන ඇති පියවරයන් ප්‍රශංසාවට ලක් කැරෙන බව නිසැකය. එසේ නමුත් වාර්තාව විසින්  ලංකාණ්ඩුව අන්තර් ජාතික ප්‍රජාව සමඟ ගිවිස ගත් සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ මන්දගාමී ස්වභාවය බරපතල ලෙස විවේචනයට ලක් කැරෙනු ඇතැයිද අපේක්ෂා කැරේ.

ලංකාවේ ස්ත්‍රී අයිතීන් සම්බන්දයෙන් පසුගිය 22 දින පැවැති එජා සීඩෝ විමර්ශනයට දියක වීමට පැමිණි ශ්‍රී ලංකා ස්ත්‍රීන් ක්‍රියාධර පිරිසක්

තවද  ශ්‍රී ලංකාවෙහි නිරීක්ෂණයේ යෙදුනු එජා විශේෂ වාර්තාකරුවන්ගේ වාර්තා දෙකක් එනම් ද වධහිංසා සහ සුලුතර ප්‍රජා අයිතීන් සම්බන්ධයෙන් මෙම සැසිවාරයට ඉදිරි පත්වෙයි. එමෙන්ම බලහත්කාර අතුරුදහන්වීම් පිළිබඳ වැඩ කණ්ඩායමේ ශ්‍රී ලංකා නිරීක්ෂනයන්හි වාර්තාවද මෙම සැසිවාරයට ඉදිරිපත් කැරේ.

ලංකාණ්ඩුවෙහි පැත්තෙන් බලන විට එයට සිය ප්‍රගතිය ගැන කීමට බොහෝ දේ තිබේ. රාජපක්ෂ සමයෙහි සහමුලින්ම වාගේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂ වාර්තාකරුවන්ට තහනම් කොට තිබූ ශ්‍රී ලංකාව දැන් විවෘතය. එමෙන්ම අන්තර් ජාතික මානව හිමිකම් සංවිධානයන්ටද මෙරටට පැමිණ නිරීක්ෂනයන්හි යෙදීමට කිසිදු අවහිරයක් නැත. 19වන සංසෝධනය සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම තවත් සාධනීය වර්ධනයකි. මහජනයාගේ තොරතුරු දැන ගැනීමේ නිදහස දැන් නීතිගතය. ප්‍රකාශණයේ  සහ සාමකාමීව රුස්වීමේ නිදහස අද මහජනයා පුලුල් ලෙස භුක්ති විදිති.  තවද 2017- 2021 දක්වා කාලය සඳහා ආණ්ඩුව විසින් සකස් කර ඇති මානව හිමිකම් ක්‍රියාකාරී සැළැස්මද බොහෝ දුරට කවුන්සිලයට ඉදිරිපත් කරන්න ඉඩ තිබේ.

එසේ නමුත් ජනවාර්ගික ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් සැපයීම සහ බරපතල මානව හිමිකම් කෙළෙසීම් පරීක්ෂා කොට නිසි අධිකරණ ක්‍රියා මාර්ගයන්ට යොමු කරවීම සිදුව නැත. ආණ්ඩුව දැන් කියන්නේ සංක්‍රාන්ති යුක්ති ක්‍රියා මාර්ගය කල් තබා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගත යුතු බවයි.

එසේ වෙතත් දැන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජනාධිපතිගේ පක්ෂය වන ශ්‍රීලනිපය විසින් අඩාළ කර තිබේ.

එළෙස අඩාළ කරන ලද ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පෙරමුණට ගැනීමේ මුවාවෙන් මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ පරීක්ෂන යටපත් කිරීම දේශපාලන ඇස් බැන්දුමකි. එවැනි ඇස් බැන්දුමකට අන්තර් ජාතික ප්‍රජාව හසුකර ගැනීම ලෙහෙසි නැත.

මෙම නිශේධාත්මක වර්ධනයන් නිසා දේශපාලන වශයෙන් ඉතාම දුෂ්කර තත්වයකට පත්ව ඇත්තේ දෙමළ ජාතික සන්ධානයයි. ජිනීවා කරා රශ්ණය දැනෙන සේ මේ දිනවල උතුර පුරා සංවිධානය කැරෙන දෙමළ ජනතා උද්ඝෝෂණ රජයට පමණක් නොව දෙජාසයටද අභියෝගයකි.මෙම තත්වය යටතෙහි සම්මුති විරෝධී දෙමළ ජාතිකවාදීන්ගේ බලපෑමට ප්‍රතිචාරයක් වශයෙන් දැන් දෙමළ සන්ධානයට සිය පසුතැවිලි ප්‍රසිද්ධියේ කීමට සිදුව තිබේ.

පසුගිය සතියෙහි ජිනීවා බලා පැමිණි දෙජාස ප්‍රකාශක වන පා.ම. සුමන්දිරන් ඇතුළු පිරිසක් මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයට කියා සිටියේ ශ්‍රී ලංකාණ්ඩුව මානව හිමිකම් කවුන්සිලයට වූ පොරොන්දු ඉටු කිරීම දිගින් දිගටම පමා කරන බැවින් එයට කල් දෙනු ලබන්නේ නම් ඒ සඳහා නිරීක්ෂන යාන්ත්‍රණයක් පිහිටුවිය යුතු බවයි. පසුදා ශ්‍රී ලංකාවට පැමිණි  ඉන්දීය විදේශ ලේකම්වරයා සහ ඇමෙරිකානු මණ්ත්‍රණ සභා නියෝජිත පිරිසක් හමුවූ දෙජාස ප්‍රධානී සම්පන්දන්ද එකී අදහස්ම ප්‍රකාශ කර තිබුණි. මේ අතර දෙමළ සන්ධානයට සම්බන්ධ ඊපීආර්එල්එෆ්, ප්ලොට් සහ ටෙලෝ යන පක්ෂ තුනම මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට තවත් කල් නොදිය යුතු බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කළ යුතු බවට ජිනීවාහි තානාපති ප්‍රජාව දැනුවත් කිරීමට කොලඹ ප්‍රභූ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීහු ගණනාවක්ම පසුගිය දිනයන්හි මෙහි පැමිණියහ.

අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන මෙන්ම බොහෝ දෙමළ ඩයස්පෝරා සංවිධානද දැනටමත් ශ්‍රී ලංකාවේ සංක්‍රමනීය යුක්ති ක්‍රියාදාමයේ මන්දගාමී ස්වභාවය විවේචනයට ලක් කරන ප්‍රකාශ නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් 34වන සැසිවාරය අතරතුර සමාන්තර රැස්වීම් 13ක් සඳහා විවිධ සංවිධාන විසින් සාකච්ජා ශාලා වෙන්කර ගෙන තිබේ. මංගල සමරවීර සහ මනෝ තිත්තවැල්ල කරුණු ඉදිරිපත් කිරීමට නියමිත ඉන් එකක්  ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මාර්තු 01 දින පවත්වයි.

විදේශ ඇමැති මංගල සමරවීර 27 හෝ 28 දිනයක මානව හිමිකම් කවුන්සිලය අමතනු ඇති අතර ශ්‍රී ලංකාව සම්බන්ධ බොහෝ රටවල අදහස ද මෙම දෙදින තුල අසන්නට ලැබෙනු ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවෙහි සම දායකත්වය ඉසුලූ ඇමෙරිකා එක්සත් ජනපදය මෙම සැසිවාරයේදීද එම භූමිකාවම දක්වනු ඇතැයි වාර්තාවේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ පිළිවෙත තවම මානව හිමිකම් කවුන්සිලයට බලපා නැත.  එසේ නමුත් ඇමෙරිකාව මෙන්ම අනෙක් සංවර්ධිත රටවල්ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන්නට ඇති ඉඩ වැඩිය.

මේ අතර ශ්‍රී ලංකාවේ සම්මුති විරෝධී දෙමළ දේශපාලන ධාරාවන් සමග එක්ව කටයුතු කරන දෙමළ ඩයස්පොරා සංවිධානයන්හි ඉල්ලීමක් වන්නේ එක්සත් ජාතීන්ට වූ පොරොන්දු ඉටු කිරීමට ශ්‍රී ලංකාවට තවදුරටත් කාලයක් නොදිය යුතු බවයි. උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ගේ මතවාදයද එයම වේ.

ඔවුන්ගේ එක් ඉල්ලීමක් නම් බරපතල මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ කටයුතු කිරීම නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කර ඒ හරහා අන්තර් ජාතික යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි. මානව හිමිකම් කවුන්සිලයෙහි යෝජනාවක් සම්මත නොකොට එවැනි පියවරක් ගත නොහැකිය. එසේ නමුත් අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ බල තුලනය අනුව ශ්‍රී ලංකාවේ සමදායකත්වයෙන් තොරව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් එහි සම්මත වීමට කිසිදු ඉඩක් නැත.

එබැවින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් රැකගැනීමත් ප්‍රවර්ධනය කිරීමත් අරමුණූ කරගත් බලවේගයන් ජිනීවාහිදී මුහුණ දෙන අභියෝග සංකීර්ණය.

කොතරම් දුබලතා තිබුණද ආණ්ඩුව සමඟ පලදායක සාකච්ජාවකට අවතිර්ණවීම මිස ආන්ඩු විරෝධී ප්‍රකාශ මත පමණක් පදනම් වීම අද යථාර්තය සමඟ ගැලපෙන්නේ නැත. න්‍යාය පැහැදිලි හරිත වර්ණ විය හැකි නමුත් භාවිතය දුඹුරු පැහැතිය. කතාව සහ භාවිතය අතර ඇති වෙනස එයයි.

ආණ්ඩුව විසින් උරා නොගත් සහ ඉන් ස්වාධීනව කටයුතු කරන සිවිල් සමාජ කන්ඩායම් වශයෙන් වශයෙන් අප සතු වගකීම සහ භූමිකාව ජිනීවා සංවාද ඇසුරෙන් පසුව කතා කරමු.

 

 

 

Back to Top