Sri Lanka Brief
පුවත් විශේෂාංගවධක බිමකට නායකත්වය දෙමින් සමාජ විප්ලවයකට මග සෙවිය හැකි ද ? – සුනිල් ජයසේකර

වධක බිමකට නායකත්වය දෙමින් සමාජ විප්ලවයකට මග සෙවිය හැකි ද ? – සුනිල් ජයසේකර

by

ජායාරූපය: මෙරට සරසවි නවක වධයක අවස්ථාවක්.

ලංකාව ලෝක අවමානයට පත්කර ඇති සමාජ ව්‍යසනයක් මෙන්ම මානසික ව්‍යාධියක් ලෙස ද සැලකිය හැකි විශ්වවිද්‍යාල නවක වධය ඉතාමත්ම සංවිධානාත්මක ලෙස අද වනවිට විශ්වවිද්‍යාල භූමි භාගයන්ගෙන් බැහැරට ද ව්‍යාප්ත වී ඇති බවක් පෙනේ. ඉන්දීය විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් සිදුකළ පර්යේෂණයකට අනුව විශ්වවිද්‍යාල තුළ සිදුකෙරෙන නවක වධය හේතුවෙන් ශ‍්‍රී ලංකාව වැඩියෙන්ම බැටකන රටක් ලෙස හඳුන්වා ඇත. අද වනවිට සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇති නවක වධය නිසැක වශයෙන්ම බිහිසුණු අනතුරක තවත් පැතිකඩක් ලෙස සැලකිය හැකිය.

ඒ බව පැහැදිළි වන්නේ පේරාදෙණිය පොලිසිය මගින් සිදුකර ඇති විශේෂ වැටලීමකදී ය. ඒ අනුව පේරාදෙණිය සරසවියේ නවක සිසුන් නවක වධයට ලක්කිරීම සඳහා යොදාගෙන පැවති පේරාදෙණිය මෙගොඩ කලූගමුවේ කුලී නිවසක් පසුගිය දා වැටලූ පොලිස් කණ්ඩායමක් පේරාදෙණිය කෘෂිකර්ම පීඨයේ නවක සිසුන් පිරිසකට නවක වධය දෙමින් සිටියදී ඉන් මුදාගෙන තිබේ. එහිදී වධකයන් ලෙස ක‍්‍රියාකළ ජේ්‍ෂ්ඨ සිසුන් පහළොස් දෙනෙක් පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම ස්ථානයේදී නවක වධයට ගොඳුරු වී ඇති සිසුන් 8 දෙනෙක් ප‍්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර වධකයන් ලෙස ක‍්‍රියාකර ඇති ජේ්‍ෂ්ඨ සිසුන් පහළොස් දෙනා අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු මාර්තු මස 02 වනදා තෙක් රිමාන්ඞ් භාරයට පත්කර තිබේ.

රූපා රත්නසිලි හිෂ්‍යයාව අනතුරට පසු

මනුෂ්‍යත්වයට අවමානයක් ද උගත් කමට නිගාවක් ද ගෙනදෙමින් ශ‍්‍රී ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පිළිලයක් ලෙස තහවුරු වී ඇති නවක වධයට ගොදුරු වීම නිසාම ජීවිත පූජාකර ඇති, සදාකාලික ලෙස ශාරීරික හා මානසික රෝගීන් බවට පත්ව ඇති තරුණ ජීවිත රැුසක් ගැන වාර්තා තිබේ. මෙයට දශක කිහිපයකට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකව සිටි රූපා රත්නසීලි සහ වසර කිහිපයකට පෙර නවක වධයේ ගොදුරක් වීම නිසා ජීවිතය අහිමි වූ ශ‍්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ සමන්ත විතානගේ යනු ඉන් දෙදෙනෙක් පමණකි. ශිෂ්ට සම්පන්න ජනසමාජයක නම් මේ අභාග්‍ය සම්පන්න සංස්කෘතිය මුලිනුපුටා දැමීම සඳහා මෙම සිදුවීම් දෙක පමණක් හොඳටම ප‍්‍රමාණවත්ය. එහෙත් ඇත්ත වශයෙන්ම නවක වධයට ගොදුරු වීම නිසා ඇතිවූ මානසික පීඩාවන් හේතුවෙන් සිය දිවි නසාගත් සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව ඊට වඩා බොහෝ සෙයින් වැඩි බවට තොරතුරු තිබේ. එයට අමතරව අමානුෂික කුරිරු පීඩාවන්ට මුහුණ දීමට නොහැකි වීම නිසා උපාධියක් ලබාගැනීමට ඇති කැමැත්ත අතහැර උසස් අධ්‍යාපනයට සමුදුන් හා වෙනත් විකල්ප සොයාගිය සිසු සිසුවියන්ගේ ප‍්‍රමාණය ඊටත් වඩා බොහෝ සෙයින් වැඩිය. එය එසේ වුවත් සමාජයක් ලෙස ශ‍්‍රී ලාංකීය ජනසමාජය ඊට ප‍්‍රමාණවත් අවධානයක් යොමුකර තිබේද යන්න නම් බරපතළ ප‍්‍රශ්නයකි.

සාපරාධි ක‍්‍රියාවක් බව හොඳින් දැනදැනම නවක වධය හේතුවෙන් අහිමි වී ගිය මිනිස් ජීවිත හා ඒ තුළ අසරණභාවයට පත්වන රටේ අනාගත පරපුර පිළිබඳව සංවේදී බවක් නොමැති කිසිවෙකුට මනුෂ්‍යත්වයේ වටිනාකම් වලට අදාළව හිමිකමක් පෑ නොහැකිය. එහෙත් අවාසනාව වන්නේ සමස්තයක් ලෙස සැලකීමේදී මුළු මහත් සමාජයම මේ පිළිබඳව අඩුවැඩි වශයෙන් බලවත් නිද්‍රාවක ගිලී සිටීමය.

අප සොයා යා යුත්තේ ඊට හේතු වී ඇති ඇත්ත තත්වයයි. සියවස් ගණනාවක් වැඩ වසම් රාජාණ්ඩු යටතේ වහල් මානසිකත්වයෙන් ජීවත් වීම නිසා නිධන්ගත වී ඇති ජාන විසිඑක්වන සියවසයේදී ත් අතහැර ගොස් නැති බවක් ඉන් අදහස් වන්නේ ද? නිදහසින් පසු ගෙවුණු දශක හතකට ආසන්න මෑත ඉතිහාසය තුළ ජාතීන් වශයෙන් හෝ වේවා ආගමික ලෙස හෝ වේවා පසුගාමී අවහරයන් තුළ එකිනෙකා කෙරෙහි ඇතිකරන පීඩනය හරහා පරපීඩකත්වය සමස්ත සමාජ දේහය තුළ ම නිධන්ගත කර තිබීම එවැනි තත්වයක් ඉවසා සිටින්නට අප හුරුකර තිබේද යන්න එහිදී ගැඹුරින් සිතා බැලිය යුතුව තිබේ. සමාජයක් ලෙස ඒ පිළිබඳව අවංක වීම හා ඒ තුළ සබුද්ධික වීම හැර වෙන අන්කිසිදු ක‍්‍රමයකින් ඊට පිළියම් සොයාගත හැකි යැයි සිතිය නොහැකිය.

ඒ සමගම අප ඉතා පැහැදිළි ලෙස තේරුම්ගත යුතු දෙයක් තිබේ. එනම් අද අප ජීවත් වන්නේ විසිඑක්වන සියවසේ වන බවය. නූතන ලෝකයේ පිළිගත් සාරධර්ම හා මානව හිමිකම් වලට අනුගත සංස්කෘතික මිනිසෙකු ජීවත් වන ශිෂ්ට සම්පන්න ජාතියක් ලෙස නැගී සිටීමට නම් අන් සියල්ලටම පෙර සමාජය තුළ නිධන්ගතව ඇති පරපීඩකත්වය මුල් කරගත් සකලවිධ ප‍්‍රඩණ්ඩ මූලයන් ට එරෙහි වියයුතුමය. ඒ සඳහා ප‍්‍රමුඛ හා එකම අවිය ලෙස යොදාගත යුතුව ඇත්තේ රටේ පවත්නා නීතියයි. අද පවත්නා නීතිය තුළ ඒ සඳහා ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන නැතැයි කිව නොහැකිය. ඒ සමගම මේ පිළිබඳව අන් සියල්ලන්ටම පෙර පු`එල් සමාජ සංවාදයක් ද ඇතිවිය යුතුව තිබේ. එහිදි පෙරමුණ ගතයුතුව ඇති පිරිස අතර විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාවට ද බලවත් වගකීමක් තිබේ. එහෙත් අවාසනාවට අප රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව තුළින් එම වගකීම ඉටුවන බවක් පෙනෙන්නට නැත.

විශේෂයෙන්ම නවක වධය තුළ අමානුෂික හිංසාවන්ට ගොදුරු වන නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ පිළිබඳව බැහැර සමාජයේදී පවා ප‍්‍රමාණවත් විරුද්ධතාවයක් නොදක්වති. වඩා දරුණු ප‍්‍රතිවිපාකයන්ට ඇති බිය, අධ්‍යාපනය අතරමගදී කඩාකප්පල් කරගැනීමට ඇති අකැමැත්ත, මුහුණ දුන් අත්දැකීම් සමග තම අනන්‍යතාවය හෙළිවීමේදී පත්විය හැකි අපහසුතා වැනි කරුණු ඊට හේතු වනවා ද වියහැකිය. එහෙත් රටේ බුද්ධිමය සාරය ලෙස සැලකිය හැකි ප‍්‍රජාවකට එය නිදහසට තරම් හේතූන් නොවේ. ඒ කෙසේ වෙතත් ශිෂ්‍යයන් නියෝජනය කරන ශිෂ්‍ය සංගම් වෙත එහිදී පැවරෙන්නේ විශාල වගකීමකි.

එහෙත් අවාසනාවන්තම කරුණ වන්නේ අද වනවිට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාවගේ පමණක් නොව මුළු මහත් අධ්‍යාපන ක්ෂේත‍්‍රයෙහිම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් එහිදී කැළෑ පැනීමය. ඒ තුළ මේ රටේ පොදු සමාජය අවබෝධ කරගත යුතු කටුක සත්‍යයක් වන්නේ මේ අමානුෂික ක‍්‍රියාවලිය පසුපස එය මෙහෙයවන්නාගේ භූමිකාව රඟ දක්වනුයේ අන් කිසිවෙකු නොව විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් විසින්ම වන බවය. විශේෂයෙන්ම එහිදී පොදුවේ ඇගිල්ල දිගු වන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය වෙතටය.

එය හුදු චෝදනාවක් හෝ හිතලූවක් ලෙස සැලකිය නොහැක්කේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අනුගමනය කරන පිළිවෙත තුළ ඔවුන්ගේ එකඟත්වය නොලැබෙන කිසිදු බාහිර ක‍්‍රියාකාරීත්වයකට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉඩක් නොලැබෙන නිසාය. ඔවුන් අතීතයේ දී ඒ සඳහා ශක්තිය ලබාගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තුළින් වුවද අද එහි ආධිපත්‍ය දරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස හැඳින්වෙන ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳිගොස් සිටින කණ්ඩායම ය. ඒ තුළ වෙනත් දේශපාලන මතයකට තබා තමන් කැමති අන්දමේ ඇඳුමකින් පවා සැරසී විශ්වවිද්‍යාලය තුළට පිවිසීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඇති නිදහසට ද විලංගු ලා තිබේ. ඒ සමගම ශිෂ්‍ය අයිතීන් හා ජනතාවගේ නිදහස පෙරට ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සිදුකරන අරගල වලදී පවා දැකිය හැකි සුවිශේෂි ලක්ෂණයක් ඇත. එනම් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය තුළ රටේ පොදු නීතියට සෘජුවම අභියෝග කරන අතර සාමාන්‍ය සමාජය තුළදී ඒ නීතියේම රැකවරණය පැතීමට දක්වන උනන්දුවයි. ඒ දෙබඩි ස්වභාවය තවදුරටත් තේරුම් ගැනීම සඳහා දැක්විය හැකි උදාහරණයක් වන්නේ සරසවි නවක වධය පිළිබඳව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වරින් වර දක්වමින් සිටින විවිධ ස්ථාවරයන් ය.

පේරාදෙණියේ වධකාගාරය පොලිසිය මගින් වැටලීමෙන් පසුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දැන් දස අතෙහි සපථ කරමින් සිටින්නේ පේරාදෙණියේ නවක වධයට අන්තරය ගෑවිලාවත් නැති බවය. ඔවුන් මෙසේ කියන ලද ප‍්‍රථම අවස්ථාව ද මෙය නොවේ. 2016 වසරේ මාර්තු මාසයේදී අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු බී.බී.සී සිංහල සේවයට ප‍්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ කිසිදු සරසවියක නවක වධයක් නැති බවය. එහෙත් ඊට මාස දෙකකට පසු එම කැඳවුම්කරුම එකී මාධ්‍යයටම ප‍්‍රකාශ කර ඇත්තේ සරසවි සිසුන් හිරේ දමා නවක වධය නැවැත්විය නොහැකි බවය. එහිදී ඔහු තවදුරටත් අවධාරණය කර ඇති කරුණක් තිබේ. එනම් සරසවි නවක වධය යනු විශ්වවිද්‍යාල උපසංස්කෘතියක් බවය. විශ්වවිද්‍යාල තුළ නවක වධය සිදුවන බව මෙන්ම එය විශ්වවිද්‍යාල සංස්කෘතියේම කොටසක් බව ද ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පිළිගෙන ඇත.

එහිදී පැන නැගෙන ඉතාමත්ම සාධාරණ ප‍්‍රශ්නයක් වන්නේ ඔවුන් කියන මේ සරසවි උප සංස්කෘතියේ ප‍්‍රථිපල වන ඛේදවාචකයන් සැලකීමේදී ඒ අමානුෂික සංස්කෘතිය තුරන් කිරීමට ප‍්‍රමාණවත් හා සෑහිමකට පත්විය හැකි කිසිදු හෝ උත්සාහයක් නොගන්නා ඔවුන් රටේ බාහිර ප‍්‍රශ්න වලට විසදුම් ඉල්ලා මරාගෙන මැරෙන්නට සිසුසිසුවියන් පොළඹවන්නේ ඇයි ද යන්නයි. එය මේ රටේ සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක් විසින්ම තමාගෙන් ද එකිනෙකාගෙන් ද ඇසිය යුතුව ඇති ප‍්‍රශ්නයකි. සරසවි වල ඉගෙන ගන්නා දරුවන් සිටින සෑම දෙමාපියෙක්ම තම දරුවන්ගෙන් ඇසිය යුතුව ඇති ප‍්‍රශ්නයකි. නිදහස හා සමාජ විනය පිළිබඳව අපේක්ෂා ඇති සෑම පුරවැසියෙක් විසින්ම ගැඹුරින් අවධානයට යොමුකළ යුතුව ඇති ප‍්‍රශ්නයකි. එය ප‍්‍රශ්න කරන තෙක් අද මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දී ඇති අර්බුදය හ`දුනාගත නොහැකිය. එය නිවැරදිව හඳුනාගන්නා තෙක් ඊට නිසි ප‍්‍රතිකර්ම යෙදීමට ද නොහැකිය. ඊට ප‍්‍රතිකර්ම යොදන තෙක් මේ රටේ දරුවෙකුට නිදහසේ, නිදහස් මනසකින් යුතුව රාජ්‍ය විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන්නට ඇති හැකියාව අහිමිවනු ඇත. ඒ අනුව අද අප රැුකගත යුතුව ඇත්තේ මේ රටේ අනාගත පරපුරේ එම අයිතියයි. නිදහස් අධ්‍යාපනයේ අයිතිය මෙන්ම එය අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය ද වන නිසා ඒ සඳහා පෙරමුණ ගැනීම සමස්ත ශිෂ්‍ය ප‍්‍රජාවගේම වගකීම වේ. එහිදී ඔවුනට සැබෑ සතුරා හඳුනාගත හැකිවනු ඇත.

සුනිල් ජයසේකර

Back to Top