Sri Lanka Brief
පුවත් විශේෂාංග‘‘මගේ ඉඩම මට දෙන්න‘‘: සෙල්ලම්මාගේ (83) කතාව – රැකී  ප්‍රනාන්දු

‘‘මගේ ඉඩම මට දෙන්න‘‘: සෙල්ලම්මාගේ (83) කතාව – රැකී  ප්‍රනාන්දු

by

සෙල්ලම්මාට වයස අවුරුදු 83 කි. ඇගේ ගෙවල් පිහිටා තිබෙන්නේ උතුරු පළාතේ, මුලතිව් දිස්ත්‍රික්කයේ, පුදුකුඩිඉරුප්පු නැගෙනහිර, අංක 7 කලාපයේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එහා පැත්තේය.

සති දෙකකටත් වැඩි කාලයක්, ඇය තම නිවස ඉදිරිපිට මහ පාරේ ගිනියම් අව්වත්, රාත්‍රියේ සීතලත් නොතකා අනේක දුක් ගැහැට විඳිමින් සිටියාය. ඒ ඇගේ ගෙදර සහ ඉඩම හමුදාවෙන් අල්ලා ගෙන සිටින බැවිනි. හැන්දෑවේ වියැකෙන එළිය අතරින්, හමුදා මුර කුලුනට එහායින් පිහිටා ඇති ඇගේ ගෙදර ඇය මට පෙන්නුවාය. නිවසේ අයිතිකාරයාගේ – එනම් ඇගේ – අවසරය ඇතිව, එම නිවසේ ඡායාරූපයක් ගැනීමට මා තුළ වූ බලවත් කැමැත්ත මා මැඩ ගත්තේ, සිදු විය හැකි කරදර වළකා ගැනීමටය.

සෙල්ලම්මාගේ පුතකු සහ බෑනා හමුදාවෙන් මරා දැමුනේ 1985 දී සිදුවූ පුදුකුඩිඉරිප්පු මිනිස් සංහාරයේදීය. එදා හමුදාවෙන් මරා දැමුනු 24 දෙනා අතර ඒ අය ද සිටියහ. ඇගේ සැමියා මැරුණේ 2014 දීය. තම සැමියාගේ මිනිය තමන්ගේ ඉඩමේ පිහිටි තමන්ගේම ගෙදර තියාගෙන අවසන් කටයුතු කරන්නට ඇයට අවශ්‍ය විය. ඒත් ඇයට එසේ කරන්නට බැරි වුණේ හමුදාව ඇගේ ඉඩම අල්ලාගෙන සිටින බැවිනි. තම සිරුර භූමිතෙල්වලින් නාවා ගෙන, විරෝධය පාමින් ගිනි තියා ගන්නට වරක් ඇය සූදානම් වූ නමුදු, අසල සිටි අනික් අය විසින් ඇයව නවතා ඇත.

සෙල්ලම්මා දැන් හොඳටම වයස්ගත වී ඇත. මැරෙන්නට පෙර ඇයට ඇත්තේ එකම එක ප්‍රාර්ථනාවකි. “මගේ ගෙදර, මගේ ඉඩමේ ජීවත් වෙලා, මට මැරෙන්න ඕනා”, ඇය මට කීවාය.

“මගේ වත්තේ ගොඩක් පොල් ගස් තියෙනවා. ඒත් දැන්, හමුදාවෙන් ඒවා කඩා ගන්නවා, මම කඩෙන් පොල් ටික ගන්න ඕනේ. හමුදාවෙන් මගේ ගෙදර ඉන්නවා, ඒත් මම රුපියල් 8,000ක කුලියක් ගෙවා ගෙන පිට ඉන්න ඕනා”

සෙල්ලම්මා තවත් ස්ත්‍රීන් සමඟ උපවාසයේ ( පසුපස දකුණේ සිට දෙවැන්නී) පින්තූරය ටිවිටර් ජාලයෙනි.

ඇය මට තවදුරටත් කීවාය.

මාගරට් කරුණානාදන්ට වයස 68කි. ඇය කියන විදියට ඇගේ ඉඩමේ පොල්ගස් 42 ක් තිබුනි. මාගරට් සිටින්නේ ද සෙල්ලම්මාගේ ගමේමය. ඇගේ සැමියා මැරුනේ ද හමුදාවෙන් 1985 දී කළ සංහාරයේදීය. ඔවුන් දෙදෙනා ද, මුලු ගම ද, දිස්ත්‍රික්කය ද 2009 අවුරුද්දේ දී අවතැන් වුනි. එයින් ඔවුහු ගොඩක් දුක් වින්දහ. පසුව ඔවුන්ව මැණික් ෆාම් කඳවුරේ රඳවා තබා ගන්නා ලදී. අවසානයේදී ඔවුන්ව නිදහස් කරන ලද අතර, තමන්ගේ ගෙවල් දොරවල්, ඉඩම් කඩම් වෙත නැවත එන්නට කිසි දිනක අවසර නොදෙන ලදී. ඔවුන් අවතැන් වී, රඳවා තැබෙන අතරතුර, අක්කර 19ක් පුරා විහිදුණු පවුල් 49කගේ ඉඩම් හමුදාව විසින් අත්පත් කර ගෙන, අද වෙන තුරු අයිති කර ගෙන සිටී. එසේම මට කියු ආකාරයට ගම්මුන් සමහර දෙනෙකුට ඔප්පු, පර්මිට් සහ ප්‍රදාන ආදී නීත්‍යානුකූල ලියකියැවිලි ද ඇත.

ගම්මු කිහිප වරක්ම, තමන්ගේ ගෙවල් සහ ඉඩම් හමුදාවෙන් ඉල්ලමින් උද්ඝෝෂණ සිදු කර ඇත. 2017 පෙබරවාරි 3 වැනි දින ඔවුහු තවත් උද්ඝෝෂණයක් අරඹා ඇත. මෙවර, තමන්ගේ ඉඩම්වලට ඇත්තටම ආපසු යන්නට අවසර ලැබෙන තෙක් තම උද්ඝෝෂණය අත නොහරින්නට, ඔවුහු අධිෂ්ඨානශීලීව සිටිති. ඔවුහු පාර අයිනේ උයන, පිහන අතර, දහවල් කාලයේ වාඩි වී සිට, රාත්‍රියේ නිදා ගන්නේ ද එතැනමය. ඔවුහු පාරේ සිට තමන්ගේ නිවෙස් සහ ඉඩම් දෙස බලා ඇසි පිය නොහෙළා සිටිති.

අපි එතැනට ගිය විට, ඔවුහු මුලින් මා ගැන සැක කළ අතර, මම හමුදාවට සම්බන්ධ කෙනෙකුදැයි මගෙන් අසන ලදී. පසුව ඔවුහු බොහෝ මිත්‍රශීලී වූහ. අමුත්තන්ට එකම කතාව වරින් වර කීමෙන් ඔවුහු වෙහෙසට පත්ව සිටියහ. ඒ වුවත් ඔවුහු එය තවත් පාරක් ම‍ටත් කීවෝය.

පෙබරවාරි 9 වැනි දා, ඔවුන්ගෙන් සමහර දෙනෙකු කොළඹට ගොස් අගමැතිතුමා හමුවී තිබුනි. හමුදාව ඔවුන්ගේ ඉඩම් අල්ලා ගැනීමත්, තමන්ගේ පවුලේ අය මරා දැමීමත් නොතකා, ඔවුහු යාබද රජයේ ඉඩමක හමුදාවට නැවතිය හැකි බව අගමැතිතුමාට යෝජනා කරන ලදී. ඔවුනට අනුව අගමැතිතුමා මුලතිවු දිස්ත්‍රික්කයේ දිසාපතිවරයාට (GA) කතා කර ඇති අතර, ඕස්ට්‍රේලියාවට යන ගමනකට පසුව මේ කාරණය දෙස අවධානය යොමු කිරීමට පොරොන්දු වී ඇත. අගමැතිවරයා විසින් ඔවුන්ගෙන් උද්ඝෝෂණය නවතන ලෙස ද ඉල්ලා ඇත. එවිට මිනිස්සු කියා ඇත්තේ තමන්ට තමන්ගේ ඉඩම්වලට ආපසු යෑමෙන් පසුව පමණක් තමන් උද්ඝෝෂණය නතර කරන බවයි. අගමැතිතුමා ඒ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් දීමට අගමැතිතුමාට නොහැකි වී ඇති අතර, ඔවුනට උද්ඝෝෂණය කර ගෙන යා හැකි බව පවසා, කිසිදු බාධාවක්, අවහිරතායක් ඇති නොකරන මෙන් ද ඔවුන්ගෙන් ඉල්ලා ඇත. තම නිවෙස් සහ ඉඩම් කරා යන මිනිසුන්ට බාධාවක්, අවහිරතාවයක් ඇති නොකරන ලෙස අග්‍රාමාත්‍යවරයාට හමුදාව වෙත පැවසීමට නොහැකි ද යන්න සම්බන්ධයෙන් මම පුදුමයට පත් වුනෙමි.

සිය ඉඩම් ඉල්ලා උද්ඝෝෂණය කරන දෙමළ මවක් (ජායරූපය ශාලින් ටිවිටර්)

උද්ඝෝෂණයේ තුන් වැනි සතියේ දී, එනම් අගමැතිතුමා හමුවී දින 10කට පසුව, බලධාරීන්ගෙන් තවමත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත. එබැවින් මිනිස්සු තමන්ගේ උද්ඝෝෂණය ක්‍රමයෙන් තීව්‍ර කරමින් එය උපවාසයක් බවට හරවා ගෙන ඇති අතර, මාරුවෙන් මාරුවට උපවාසයේ නියැළෙති. ඔවුන් කිසිදු උදව්වක් ඉල්ලන්නේ නැත. ඔවුන් ඉල්ලන්නේ ඔවුනට සිදු වූ වරද නිවරැදි කර දෙන ලෙස පමණි. එනම් ඔවුන්ගේ නිවෙස් සහ ඉඩම් වෙත යාමට ඉඩ දීමය.

ඔවුන්ගේ අරගලය සිය නිවෙස් වෙත යාමට උත්සාහ කරන අවතැන් වූ බොහෝ මිනිසුන්ගේ අරගල අතරින් එකක් පමණි. නව රජය බලයට පත් වූ දා සිට, හමුදාව විසින් අල්ලාගෙන සිටි සමහර ඉඩම් නිදහස් කර ඇත. එසේ වුවද අවතැන් වූ ශ්‍රී ලාංකිකයෝ දස දහස් ගණනක් බලා සිටින්නේ තමන්ට ගෙදර යාම සඳහා තම ඉඩම් අත්පත් කර ගෙන සිටින හමුදාව ඒවායෙන් ඉවත් වෙන තුරුය. මෙසේ හමුදාවෙන් අත්පත් කර ගෙන ඇති ගම්මාන පුදුකුඩිඉරිප්පු අසල පිහිටි කේපාපුලාවු සිට මුල්ලිකුලම් සිට අෂ්‍රෆ්නගර් සිට පානම සිට යාපනය දක්වා විහිදේ. තවත් බොහෝ තැන් ඇති අතර, එය දිගු ලැයිස්තුවකි. ඔවුහු උද්ඝෝෂණය කරමින්, අාණ්ඩුව වෙත ඉල්ලීම් කරමින්, නඩු කියමින්, තවමත් බලා ගෙන සිටිති.

සෙල්ලම්මා සහ මේ සියලු ජනතාවට, සංහිඳියාව කියන්නේ තමන්ගේ ගෙවල් දොරවල්වලට සහ ඉඩම් කඩම්වලට ආපහු යන්න ලැබෙන එකය. ඔවුනට ඔවුන්ගේ ඉඩම් ආපසු ලැබේවි ද, එසේ ලැබේ නම් කවදා ලැබෙන්නේද යන්න ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ සංක්‍රාන්ති යුක්ති ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් වනු ඇත. නමුත් සෙල්ලම්මාට, වැඩි කාලයක් බලා සිටිය නොහැක. ඇයට අවශ්‍ය වන්නේ ඇගේ මරණයට පෙර ඇගේ ගෙදර සහ ඉඩමේ නැවත පදිංචි වීමට ය.

රුකී ප්‍රනාන්දු | Ruki Fernando පරිවර්තනය – දමිත් චන්දිමාල්

Back to Top