Sri Lanka Brief
විශ්ලේෂනකුහක නැති අයට වෙනස සැපයි – චමීර පෙරේරා

කුහක නැති අයට වෙනස සැපයි – චමීර පෙරේරා

by

චමීර පෙරේරා කැඳවුම්කරු වමේ කේන්ද්‍රය.

ආණ්ඩුවේ ගමන් මඟ, ඒ පිළිබඳ විවිධ පාර්ශ්ව නඟන චෝදනා පළාත් පාලන මැතිවරණයේ කල්යාම, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආදී දේශපාලන කාරණා රැසක් සම්බන්ධයෙන් සිය මතය පළකරමින් වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා අද එහා ඉවුරට මෙසේ එක්වෙයි.

අප රටේ වර්තමාන දේශපාලන වාතාවරණය ඔබ දකින්නේ කොහොමද?

අපි ජනවාරි 08 වැනිදා සිදුවූ දේශපාලන පරිවර්තනයට මැදිහත්වුණු අය. මේ විවෘත වෙලා තියෙන දේශපාලන වටපිටාව ගැන සතුටු‍ වෙනවා. සමහර අය අහනවනේ වෙනස සැපක් ද කියලා. අපි නම් කියන්නේ සැපයි කියලා.

මේ සිදුවූ වෙනස සැපක් ලෙස ඔබ දකින්නේ කවර කාරණා මුල්කරගෙනද?

දේශපාලන කුහකයෝ නොවෙයි නම් පසුගිය වසර දහය තුළ මේ රටේ පැවැති දේශපාලන වාතාවරණයත් එක්ක දැන් තත්ත්වය සැපක් කියලා දකින්න ඕනා. හැබැයි පසුගිය කාලේ රාජපක්ෂ කල්ලියත් එක්ක හිටපු අයට මේක දුකක් ලෙස දැනෙනවා ඇති. ඒ තමන්ට ලැබෙන වරදාන, වරප්‍රසාද නොලැබීම හා තමන්ගේ අරමුණු අභිලාෂයන් ඉටුකරගන්න නොහැකි නිසයි.

ඔබ මගෙන් අහන සැපක් කියන්නේ ඇයි කියන කාරණයට හොඳම උදාහරණය තමයි, පසුගිය දවසක බෙල්ලන්විල නායක හාමුදුරුවෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ වේදිකාවේ ඉඳන් යහපාලන ආණ්ඩුව බරපතළ ලෙස විවේචනය කළා. උන්වහන්සේ එහිදී පැහැදිලිව කිව්වා මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු වෙනස සිදුවුණේ නෑ කියලා. මම හිතනවා බෙල්ලන්විල නායක හාමුදුරුවන්ට එහෙම ප්‍රකාශයක් කරන්න ලැබීම රටේ සිදුවූ ලොකු වෙනසක් කියලා. රටේ නායකයා ඉදිරියේ ආණ්ඩුව හා ආණ්ඩුකරණය ගැන බයක් නැතිව විවේචනය කරන්න ඉඩ ලැබීම, ප්‍රශ්න කරන්න පුළුවන් වීම තුළ පැහැදිලියි මේ රටේ වැහිලා තිබුණු මහජන දේශපාලනය දැන් විවෘත වෙලා කියලා. ඉතින් අපිට මේ කාරණාත් එක්ක සතුටු වෙන්න බැරිද?

ඔබ මොනවා කිව්වත් ඒකාබද්ධ විපක්ෂය කියන්නේ මේ රටේ ජනතාව තවම ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්කයි කියල නේද?

ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් දෙවරක් ජනතාව ප්‍රතික්ෂේප කරලත් මහින්ද රාජපක්ෂ මහත්තයා පිළිගන්නේ නෑ ඔහු පරාජය වුණා කියලා. ඔය කියන ඒකාබද්ධ විපක්ෂය කියන්නේ කුමන්ත්‍රණයකින් මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කළැයි කියලයි. මට ඒ අයගෙන් අහන්න තියෙන්නේ මේ රටේ ලක්ෂ හැට දෙකක් ජනතාව මේ කුමන්ත්‍රණයට හවුල් වුණායි කියලයි. මේ ර‍ටේ පොදු ජනතාවට නම් ආයේ මහින්ද රාජපක්ෂ බලයට ගේන්න කිසිදු උවමනාවක් නෑ. හැබැයි මහින්ද වටා ඉන්න දූෂිතයන්ට, තක්කඩීන්ට, හොරුන්ට නම් ඔහුව බලයට ගේන්න උවමනාව තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාව මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරන කොටත් ඔය කෑගහන අය ඔය විදිහටම කෑගැහුවා. ඒත් රටේ ජනතාව ඒවා ඇහුවේ නෑ.

අපේ රටේ සාම්ප්‍රදායික ‍වමේ දේශපාලනය අද ඔබ දකින්නේ කොහොමද?

වමේ දේශපාලනය කියලා මම විශ්වාස කරන්නේ බොහොම ප්‍රසිද්ධියේ දේශපාලනය කරමින් මහජන අභිලාෂයන් නියෝජනය කරන එකයි. වමේ සම්ප්‍රදාය වුණේ දේශපාලනය මහජන කාර්යයක් බවට පත් කිරීමයි. ඒ සඳහා අතීතයේ වමේ නායකයන් කටයුතු කළේ යම් ආචාර ධර්ම, වටිනාකම් සමඟයි. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණත්වය වැනි කාරණා වමේ ව්‍යාපාරයේ කුලුනු බවට පත්වෙලා තිබුණා.

සූරියමල් ව්‍යාපාරය, මැලේරියා මර්දන ව්‍යාපාරය හරහා වමේ බලවේගය තමයි මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවෙන් පෙනී සිටියේ. නමුත් පසුකාලීන වමේ ව්‍යාපාරය වෙනත් පක්ෂ සමඟ ආණ්ඩු හදමින් හා ඒ ආණ්ඩුවල කොටස්කරුවන් වෙමින් මේ ආචාර ධර්ම රැකගන්න කටයුතු කළාද කියන එක ප්‍රශ්නයක්. ආරම්භයේ පටන් විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව කටයුතු කරපු වමේ ව්‍යාපාරයේ වර්තමාන නායකයෝ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපතිවරයාගේ වාර ගණන දීර්ඝ කරන්න පක්ෂව අත එසෙව්වා. මේ එදා සිට අද දක්වා වමේ ව්‍යාපාරයේ ඇතිවූ වෙනසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ආගමට හිමි තැන ගැන ඔබේ අදහස කිව්වොත්?

හැමදාම වමේ දේශපාලනයට ආගම හා ජාතිය ඈඳාගැනීමෙන් වැලකුණා. ඒකයි වමේ සම්ප්‍රදාය. අපි විශ්වාස කරන්නේ රටක රාජ්‍යය අනාගමික විය යුතු බවයි.

වමේ පක්ෂ මුල්වෙලා 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී ව්‍යවස්ථාවට ආගම ඇතුළත් කරන්නේ රටේ මහානායක හිමිවරුන්වත් එවැනි ඉල්ලීමක් නොකරපු අවස්ථාවකයි. එහෙම නම් ඇයි අද ඔබ රාජ්‍ය අනාගමික විය යුතු යැයි කියන්නේ.

ඔය විවේචනය මතුවුණේ 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණයේදී ප්‍රධාන කාර්ය භාරයක් ඉටුකළ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහෝදරයාටයි. ඒක ඉතිහාසයේ වමේ ව්‍යාපාරයට වැරදුණු තැනක්. මම ඒක ප්‍රතික්ෂේප කරන්න හදන්නේ නෑ, අද අපි ජීවත්වෙන පරිසරයට වඩා එදා පරිසරය වෙනස් බවත් අපිට හිතන්න වෙනවා.

මේ සම්භාව්‍ය මාක්ස්වාදයේ තිබුණු ජාතික වාදය ඉතා ඉක්මනින් මැකේවි ආර්ථික සමානාත්මතාවය ඇතිවුණොත් කියන කාරණය සාර්ථක නොවුණු එක් අවස්ථාවක්. කොල්වින් ආර්. ද සිල්වා සහෝදරයා වරෙක පවසා තියෙනවා 72 ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී යම් වරදක් වුණු බව. ඒවගේම ඇන්. ඇම්. පෙරේරා සහෝදරයා වරෙක සඳහන් කරන්නේ මේ ව්‍යවස්ථාව මම හැදුවා නම් එයට කිසිදු ආගමක් හෝ ජාතියක් ඇතුළත් නොකරන බවයි. අද ඔබ හා ඔබේ පරම්පරාවේ තරුණයෝ අහන මේ ප්‍රශ්නය ගැන එදා ඔවුන්ට අවබෝධයක් නැතිවෙන්ට ඇති.

ඔබ කියන්නේ වමේ ක්‍රියාකාරීන්ගේ දේශපාලන චින්තනය කාලානුරූපව වෙනස් වෙනවා කියන එකද?

එදා වාමාංශික ව්‍යාපාරයේ පතාකයන් වූ ඇතැම් අය උග්‍ර ජාතිවාදීන් වෙලා තියෙනවා. බලන්න ගුණදාස අමරසේකර මහත්තයා, නලින්ද සිල්වා මහත්තයා හැටේ දශකයේ උග්‍ර ටොස්කිවාදීන්. අද ඔවුන් ජාතිවාදයේ න්‍යායාචාර්යවරු වෙලා තියෙන්නේ. වරෙක ඇන්. එම්. පෙරේරා මහත්තයාව ගුණදාස අම‍රසේකර මහත්තයා හඳුන්වන්නේ කොටා පාරේ මුනිවරයා ලෙසයි. අද ඔහුගේ චින්තනය කොච්චර වෙනස් වෙලාද?

පළාත් පාලන මැතිවරණය කල්දැමීම එතරම් රටේ ප්‍රජාතන්ත්‍රවාදී සෞඛ්‍යයට හොඳ නෑ නේද?

පළාත් පාලන ආයතනවලින් 85% ක් විතර මහින්ද රාජපක්ෂමහත්තයාගේ දඩබිම් නැත්නම් කෙළිබිම්. ඒවායේ ශ්‍රී. ල. නි. ප. යේ ප්‍රාදේශීය නායකයෝ වෙලා ඉන්නේ මහින්ද මහත්තයා හදපු බොරලු, පස්, වැලි, ගල් කොන්ත්‍රාත්කාරයෝ. මේ අයට තමයි ලොකු උවමනාවක් තියෙන්නේ මේ ඡන්දය තියන්න. මේ ඡන්දය වෙනුවෙන් කෑගහන අය ගම්වල කරපු දේශපාලනය අපි දන්නවනේ. අද වෙනකොට මෙතනට අඩු අතකොටා වගේ කිහිපදෙනෙක් විතරයි.

ඒකාබද්ධය කියන්නේ ශ්‍රී. ල. නි. ප. යට මැතිවරණය ජයගන්න බැරි නිසා කල්දානවා කියල නේද?

කවුරු දිනුවත් කවුරු පැරදුණත් මැතිවරණය පවත්වන්න ඕනා. මම කියන්නේ ශ්‍රී. ල. නි. ප. යට අභියෝගයක් තියෙනවා. එදා මෛත්‍රීපාල ජනාධිපතිතුමා ශ්‍රී. ල. නි. ප. යේ සභාපති ධුරය භාරගත්තේ මේ අභියෝගයත් එක්කයි. අලුත් දේශපාලන සංස්කෘතියක් ශ්‍රී. ල. නි. ප. ය තුළනිර්මාණය කිරීම තමයි මේ ලොකුම අභියෝගය. මොකද පසුගිය අවුරුදු දහය තුළම ශ්‍රී. ල. නි. ප. ය කියලා එකක් තිබුණේ නෑ.

රට, පවුල හා පක්ෂය කියන සාධක තුනම එකටයි තිබුණේ. එදා ශ්‍රී. ල. නි. ප. යේ නායකයෝ භාගෙට භාගයක් රාජපක්ෂ පවුලේ දෝලාව කරගහන අය බවට පත්වෙලයි හිටියේ. එහෙම අය සමඟ අතීතයේ පටන් ශ්‍රී. ල. නි. ප. යට උරුමව තිබුණු සාරධර්ම, ආචාර ධර්ම නැවත ඇතිකරන එක ලොකු අභියෝගයක්. ඡන්දය පවත්වන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒවගේම ආයෙත් ඡන්දෙ පවත්වලා වැලිකාරයන්ට, පස්කාරයන්ට මේ රට හූරගෙන කන්න ඉඩ නොතබන්නත් වගබලා ගන්න ඕනා. මොකද ඒ අය සමඟ යහපාලන අරමුණුවලට යන්න බෑ.

 අතුරලියේ රතන හිමියන් පසුගියදා ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට ජනවරමක් හිමි නොවුණු බවයි. මේ ගැන ඔබේ අදහස කිව්වොත්?

රතන හාමුදුරුවෝ නොදන්නවා වුණාට 2014 දෙසැම්බර් මාසයේ ඇතිකරගත්තු ගිවිසුමේ මේ ගැන ඉතා පැහැදිලිව සඳහන් වුණා. මේ ගිවිසුම ඇතිකර ගත්තේ මේ රටේ මහජනතාව සමඟයි. මේ සඳහා පුරවැසි සංවිධාන, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන එකතු වුණා. එහිදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා කියන සාකච්ඡාව වගේම විධායක ජනාධිපති ක්‍රමය, මැතිවරණ ක්‍රමය හා බලය බෙදීම කියන කාරණා තුන ගැනත් යෝජනා වුණා.

මේවා මහජන අභිලාෂයන්. මේවා රතන හාමුදුරුවෝ හෝ වෙනත් සුළු කණ්ඩායම් සමඟ ඇතිකරගත් එකඟතාවයන්ට සීමා කරන්න බෑ. ඔය අද අලුත් ව්‍යවස්ථාවක් එපා කියන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන කොටත් බරපතළ විරෝධයක් දක්වපු අයයි.

විධායක ජනාධිපති ක්‍රමය ගැන ඔබේ අදහස?

මේ ගේන නව ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි. හැබැයි ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුත්තේ 2020 වර්තමාන ජනාධිපතිතුමාගේ නිල කාලයෙන් පසුවයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කළ පසු අපේ රටේ අසහාය පාලකයෝ ඇතිවෙන්න බෑ. එහෙම කළොත් හිසේ ඇම්මට කොට්ට මාරු කළා වගේ වෙනවා.

යහපාලන ආණ්ඩුව රට විකුණන බවට කරන චෝදනා ඔබ දකින්නේ කොහොමද?

ඔය කෑගහන අය මේ රටේ රාජ්‍යසම්පත්, භූමිය විකුණුවේ නැද්ද? කොළඹ කොම්පඤ්ඤවීදියේ, වනාතමුල්ලේ පැල්පත්වල මිනිස්සු එළියට ඇදලා දාලා ඒ අය ජීවත්වූ ඉඩම් බහුජාතික සමාගම්වලට විකුණුවේ නැද්ද? එදා ඔය කියන පාලකයෝ හැසිරුණේ තමන්ට දෙවියන්ගෙන් වරමක් ලැබුණා වගේ. එදා ආණ්ඩුව ඒ දේවල් කරද්දී අද මාධ්‍යවේදීන් ලෙස ඔබ අහන ප්‍රශ්න අහන්න පුළුවන් වුණාද? මට මේ රජයත් එක්ක තියෙන ගැටලුව ‍එදා මහින්ද රාජපක්ෂලා ආරම්භ කරපු ඇතැම් ජනතා විරෝධී ව්‍යාපෘති ඉදිරියට ගෙන යෑම. අද ලොකුම විහිළුව තමයි ඒකාබද්ධ විපක්ෂයේ අය ඒ ව්‍යාපෘති යහපාලන ආණ්ඩුව පටන් ගත්තා වගෙයි විවේචනය කිරීම. ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේවා මෙහෙම කරන්න වුණේ ඇයි කියලා ජනතාවට කරුණු පැහැදිලි කර දෙන්න. නමුත් ආණ්ඩුව පැත්තෙන් ඒක සිදුවන්නේ නෑ.

අප රටේ ශිෂ්‍යව්‍යාපාරය හැමදාම වමේ ව්‍යාපාරය සමඟ බද්ධව සිටියා. වර්තමාන සරසවි අර්බුද ඔබ දකින්නේ කොහොමද?

අතීතයේ වමේ නායකයෝ නිරන්තරයෙන් ශිෂ්‍යක්‍රියාකාරිකයින් දේශපාලනය දැනුමින් සන්නද්ධ කළා. එදා වමේ නායකයන් ශිෂ්‍ය ක්‍රියාකාරකයින් හමුවුණාම ඇහුවේ සහෝදරයා දැන් කියවන පොත මොකක්ද කියලයි. අද ශිෂ්‍යව්‍යාපාරයට නායකත්වය දෙන ඇතැම් වමේ නායකයෝ අහන්නේ ඔයාගේ කැම්පස් එකෙන් අපේ පිකට් එකට කීයක් බස්සන්න පුළුවන්ද කියලයි. අද සෘජුවම දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ශිෂ්‍ය ව්‍යාපාරය ගොදුරු කරගෙන තියෙනවා. අප රටේ නිදහස් අධ්‍යාපනයේ කඩාකප්පල්කරුවන් බවට ශිෂ්‍යව්‍යාපාරය පත්කරලා. මේක බොහොම කනගාටුදායක තත්ත්වයක්.

ජාතික ප්‍රශ්නයට විසඳුම් ලෙස ඔබ දකින්නේ ‍කුමක්ද?

උතුරු නැඟෙනහිරට පමණක් නොවෙයි මුළුරටේම ප්‍රාදේශීය මට්ටමේ ජනතාවට රාජ්‍යයේ තීන්දු තීරණ ගැනීමට මැදිහත්විය හැකි බලය බෙදීමක් අවශ්‍යයි. හුදෙක් මේක පළාත් සභාව වගේ තවත් ප්‍රභූ පිරිසක් නිර්මාණය කිරීමක් නොවිය යුතුයි.

උතුරු නැ‍ඟෙනහිර ඒකාබද්ධ කළ යුතු යැයි නඟන හඬ ගැන ඔබේ අදහස?

ඒක ‍උතුරු නැ‍ඟෙනහිර ජීවත්වන ජනතාවගේ අභිලාෂය අනුව සිදුකළ යුතු දෙයක් මිස දේශපාලන නායකයන්ගේ අවස්ථාවාදී වුවමනාවන්ට කරන්න ඕන දෙයක් නොවෙයි. මේ රාජ්‍යය ජාතීන්ටයි, ආගම්වලටයි ඕන ඕන ලෙස බෙදන්න බෑ කියන එක අපි මතක තබාගත යුතුයි. අද උතුරේ ඉඳන් මේවගේ ජාතිවාදී ඉල්ලීම් ඉල්ලන අයත් දකුණේ ඉඳන් මේ ඉල්ලීම් දුන්නා කියලා ජාතිවාදී ප්‍රකාශ කරන අයත් හොඳටම දන්නවා කවදාවත් අපි මේ කියන දේ මෙහෙම සිදුවන්නේ නෑ කියලා.

සටහන පබුදු සපුතන්ත්‍රි

ඡායාරූප – රොෂාන් පිටිපන

උපුටා ගැනීම දිනමිණ පුවත්පතිනි

Back to Top