Sri Lanka Brief
විශ්ලේෂනයටත් වැසියන් වෙනුවට පුරවැසියන් බිහි කිරීමට ජවිපෙ සැළැස්මක්

යටත් වැසියන් වෙනුවට පුරවැසියන් බිහි කිරීමට ජවිපෙ සැළැස්මක්

by

“අපේ රටේ ඉතිහාසය පුරාවටම පුරවැසියන් වෙනුවට යටත්වැසියන් හා පාලකයන් සිටියා. යටත් විජිත යුගයේත් ඉන් පස්සේ අවුරුදු 68 පුරාත් තත්ත්වය ඒකයි. අපි මේ දිරිය පුරවැසි සමුළුව කැඳවා තිබෙන්නේ යටත් වැසියන් වෙනුවට දිරිය පුරවැසියන් බිහි කරන්නයි. මේ පාලකයන්ට හැකියාව තිබෙන්නේ වහලුන් වැනි මිනිසුන් බිහිකිරීමට පමණයි. එවැනි පාලනයන් ඉදිරියට යන්නේ නැහැ. පාලනයට හා රට ගොඩනැගීමට සම්බන්ධ වන පුරවැසියන්ගෙන් සමන්විත රටක් බිහි කළ යුතුයි.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසිනායක මහතා  22 දින පෙරවරුවේ මහරගමදී පැවති දිරිය පුරවැසි සමුළුව අමතමින් ප්‍රකාශ කර තිබේ.

පුරවැසි අයිතින් ගැන අලුතින් කිසිවක් නැති, සිවිල් සමාජය යන වචනයවත් නැති එමෙන්ම ජවිපෙ වැඩ පිළිවෙළ පමණක් ඉදිරිපත් කරමින් ඔහු විසින් පවත්වන ලද කතාව පහත පළවේ:

“පාලකයන් කළ වැරදිවලට ජනතාව වගකිව යුතු නැහැ. රට ණය කන්දක ගිලීමටත්, වංචාවන්ට හා දූෂණයන්ටත්, ආර්ථික අර්බුදයටත් ජනතාව වගකිව යුතු නැහැ. අපේ දුවා දරුවන් මත මේ ප‍්‍රශ්න යටවිය යුතු නැහැ. ඒ බව තීරණය කළ යුතු සංධිස්ථානයකට අප පැමිණ තිබෙනවා.

ජනතාවට තමන්ගේ ප‍්‍රශ්න කිසිවකට විසඳුම් ලබාගත නොහැකි පාලනයක් අප තවත් කොපමණ කාලයක් ඉදිරියට ගෙන යා යුතුද? අද රජයේ කාර්යාලයකට ගියොත් ජනතාවට විසඳුම් ලබා ගන්න පුළුවන්ද? ජනගහනයෙන් 14 දෙනෙකුට එක් රජයේ සේවකයෙක් බැගින් ඉන්නවා. රජයේ සේවකයන්ට වැටුප් ලෙස කෝටි 44,000කට වැඩි මුදලක් ගෙවනවා. එහෙත් ජනතාවට තමන්ගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාගන්න දේශපාලනයට යටවුණු මේ රාජ්‍ය සේවය අසමත්. මාරුවීම, උසස්වීම, දේශපාලනය අනුව තීරණයවීම නිසා මේ රාජ්‍ය සේවය අද ජනතාවට බරක් වූ බරවා කකුලක් බවට පත්වී තිබෙනවා. ඒ වෙනුවට ජනතාවට කාර්යක්ෂම පරිපාලනයක් අවශ්‍ය වී තිබෙනවා.

නීතිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතන ගණනාවක් තිබෙනවා. ශක්තිමක් නීති පද්ධතියක් ද තිබෙනවා. අවශ්‍යතාවය තිබෙන්නේ එය නිසි පරිදි ක්‍රියාත්මක වීමයි. ඒත් අමුණුගම අමාත්‍යවරයා කියනවා, වංචනිකයින්ට දඬුවම් කරන්න අලුත් නීතියක් ගේනවා කියලා. දැනටත් පොදු දේපළ පනත තිබෙනවා. රුපියල් 25,000ට වැඩි රාජ්‍ය මුදල් අවභාවිතයක් වෙනුවෙන් ඇප ලබාදීමට පවා නොහැකියි. මුදල් විශුද්ධිකරණ පනත යටතේ වත්කම් උපයාගත් ආකාරය පැහැදිලි කළ නොහැකි වුවහොත් ඒ දේපළ පවරා ගන්නත් එම වටිනාකම වගේ තුන්ගුණයක් වගේ දඩයක් ගහන්නත් පුළුවන්කම තිබෙනවා. අල්ලස් දූෂණ පනත යටතේ රුපියල් 10ක් ගත්තත් නඩු දාන්න පුළුවන්. එෆ්.සී.අයි.ඩී එකට පොදු දේපළ පනත, මුදල් විශුද්ධිකරණ පනත, ක්‍රියාත්මක කළ හැකියි. සී.අයි.ඩී. එකට අපරාධ පනත, පොදු දේපළ පනත ක්‍රියාත්මක කළ හැකියි. නීතිය ක්‍රියාත්මක කළ හැකි ආයතන ගණනාවක් තියෙනවා. නීතිපති ඉන්නවා. අධිකරණ තිබෙනවා. එසේ නම්, වංචනිකයන් හොරුන් නිදැල්ලේ ඉන්නේ කොහොමද? නඩු පැවරෙන්නේ නැත්තේ ඇයි? ප‍්‍රශ්නය තමයි අතරමැද ආණ්ඩුවක් තිබෙනවා. නඩු පැවරීමට අවශ්‍ය අය නැති අය තෝරනවා. මහදවල් පොලිස් ඇමති පොලිස්පතිට කෝල් කරලා දූෂිතයන් බේරන්නැයි ඉල්ලනවා. පාලකයාගේ කැමැත්ත නීතිය බවට පත්වී තිබෙනවා. මේ නීතියේ කඩා වැටීමට ජනතාව වගකිව යුතු නැහැ.

ජනතා මුදල් විශාල ලෙස නාස්ති වෙමින් පවතිනවා. ෆොන්සේකා ඇමතිවරයාට තිබෙන්නේ හදබිම අධිකාරය පමණයි. මධ්‍යම කඳුකරයේ පාංශු සංරක්ෂණයත්, වටු බිත්තර එකතු කිරීමත් එයට පැවරී තිබෙනවා. ඒත් එම අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ මාසික කුලිය රුපියල් ලක්ෂ 110යි. දුමින්ද දිසානායකගේ අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ මාසික කුලිය දෙකෝටි දශලක්ෂයයි. මේ ආණ්ඩුවලට නාස්තිය නතර කරන්න බැහැ. ඔවුන්ගෙන් එවැනි දෙයක් ඉල්ලල තේරුමකුත් නැහැ. මෙවැනි තත්වයක් යටතේ රට අඟලක්වත් ඉදිරියට යන්නේ නැහැ.

අපේ රටේ පරිසර පද්ධතිය වේගයෙන් විනාශ කෙරෙමින් තිබෙනවා. උමාඔය ව්‍යාපෘතිය ආශ‍්‍රිතව බරපතළ පරිසර විනාශයක් වී තිබෙනවා. කැලණි ගඟේ ජල මූලාශ‍්‍රවලින් 80%ක් දූෂිත වී තිබෙනවා. මධ්‍ය කඳුකරයේ බරපතළ විනාශයක් වී තිබෙනවා. දේශපාලකයින්ගේ ගෝලබාලයන්ට පස් කපන්න, වැලිකපන්න ඉඩදී තිබෙනවා. මේ විනාශය තවත් ඉදිරියට යා යුතුද?

ආණ්ඩුව හම්බන්තොට වරාය, ත්‍රීකුණාමල වරාය, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, පුල්මුඩේ ඛනිජවැලි නිධිය, ලංකා හොස්පිටල්, හිල්ටන් හෝටලය, කහටගහ පතල, ආදී රාජ්‍ය දේපළ, ස්වභාවික සම්පත් විකුණමින් යනවා. මේ විනාශකාරී ගමන යන්න රනිල්ට අසීමිත බලතල අවශ්‍ය වී තිබෙනවා. විශේෂ සංවර්ධන පනත ගේන්න හදන්නේ ඒකයි. එදා ජේ.ආරුත් විනාශකාරී ආර්ථික ගමනක් ගියා. දැඩි මර්දනයක් කළා. දැන් රනිල් මතුපිටට පෙන්නන ලිච්ඡුවී රජදරුවන්ගේ ප‍්‍රතිපත්තිය බොරුවක්. සාමයෙන් රැස්වීමක්, සාමයෙන් විසිර යාමක් නැහැ. හම්බන්තොට ජනතා උද්ඝෝෂණයට දින දෙකකට පෙර සිරිකොතේ සාකච්ඡාවකදී ඒ උද්ඝෝෂණයට ගහන්න සැලසුම් කළා. මේ ජනතා විරෝධය මැඩපවත්වන්න කොළඹින් පිරිසක් ගෙනයන්න කතා කළා.

හම්බන්තොට වරාය චීනයට දෙනවාට ඉන්දියාව විරුද්ධ නැහැ. එහෙම විරුද්ධ වුනා නම්, ඔවුන් තමන්ගේ හිතවත් සංවිධාන ලව්වා ඒකට විරෝධතාවය පළ කරනවා. ඒත් ඔවුන් බලාගෙන ඉන්නේ ඒ හිලව්වට ත්‍රීකුණාමලය වරාය ඔවුන් සතු කරගන්න. ඉන්දියාව මේ ක‍්‍රමය දන්නවා. මහින්ද කළේ මේ වැඩේමයි. මත්තල ගුවන්තොටුපොළ චීනයට දෙනකොට පලාලි ඉන්දියාව දුන්නා. නොරොච්චෝලේ චීනෙට දෙනකොට සාම්පූර් ඉන්දියාවට දුන්නා. දුම්රිය මාර්ග ඉදිකිරීම් දුන්නෙත් එහෙමයි. මේ පැවරීම් නිසා රටට දැවැන්ත අවාසියක් වී තිබෙනවා. ත්‍රීකුණාමලයේ තෙල් ටැංකිවල බෙදාහැරීමේ අයිතිය සංස්ථාවට ලැබෙනවා නම්, සංස්ථාවට කෝටි හැත්තෑවක් ලාභයි. ඒත් ආණ්ඩුව හදන්නේ හැමදේම විකුණන්නමයි. දැන් ත්‍රීකුණාමලය වරාය ඉන්දියාවට දෙන්න සාකචඡා කරන බව ෆොන්සේකා ඇමතිවරයා එළිපිට කියනවා. හැම ආණ්ඩුවක්ම රටේ ජාතික සම්පත් පෞද්ගලික අංශයට, විදේශ රටවලට විකුණා දමද්දි, සුරංගනා කතා කිව්වා. අපේ රෙදි කම්හල්, සිමෙන්ති, කිරිපිටි, බීජ ගොවිපලවල්, විකුණා දමද්දි විවිධ කතා කිව්වා. ඒත් රටට ඒවායින් ලැබිච්ච කිිසිම ප‍්‍රයෝජනයක් නැහැ. අපි ඒවායේ විනාශය අත්දැක තිබෙනවා. හම්බන්තොට, මත්තල, ත්‍රීකුණාමල වරාය විකිණීම ඊට වඩා වෙනස් වෙන්න කිසිම විදිහක් නැහැ.

සටන් දෙකක් අප ඉදිරිපිට තිබෙනවා. පළමුවැන්න ජනතාව සංවිධානය කිරීමේ සටනයි. සමන්ත විද්‍යාරත්න සහෝදරයා උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් ජනතාව සංවිධානය කරමින් සටනක් දියත් කර තිබෙනවා. අප ඒ සටන ජයග‍්‍රහණයෙන් කෙළවර කළ යුතුයි. ආණ්ඩුවට මොරගහ කන්ද ජලාශයට යටවෙන සතුන් බේරාගැනීමට උවමනාවක් තිබුණත් විපතට පත්වෙන ජනතාවට බේරාගැනීමට වැඩපිළිවෙළක් නැහැ. ගමගෙදර දිසානායක සහෝදරයා මාතලේ ඒ ජනතාව සංවිධානය කරමින් සටනක් දියත්කර තිබෙනවා. අප ඒ සටන ජයග‍්‍රහණයෙන් කෙළවර කළ යුතුයි.

මහවැලි කලාපවල අමතර කන්නයක් වැඩකරන්න පුළුවන් කියලා එදා කිව්වත් අද ගොවිතැන විශාල ලෙස කඩාවැටෙමින් තියෙනවා. ගොවි ජනතාව පීඩාවට පත්වෙමින් සිටිනවා. ඒ ප‍්‍රශ්නවලට එරෙහිව ගොවිජන සම්මේලනයේ නාමල් සහෝදරයා සටනක් දියත් කර තිබෙනවා. අප ඒ සටන ජයග‍්‍රහණයෙන් කෙළවර කළ යුතුයි. ආණ්ඩුව කිව්වා අක්කර ලක්ෂ දෙකහමාරක වී වගාව නතර කරන එක ඔවුන්ගේ අරමුණ කියලා. අපේ ප‍්‍රධාන ආහාරය බත් නම්, ආහාර සුරක්ෂිත කරලීම වෙනුවෙන් ආණ්ඩුවට සැලැස්මක් තිබිය යුතුයි. නමුත් රටට බත සපයන ගොවි ජනතාව අසරණ කිරීමට එරෙහිව අපට සටනක් තිබෙනවා. මේ සටන් අප ජයග‍්‍රහණයෙන් කෙළවර කළ යුතුයි.

අපේ රටේ පිහිටීම ඉතා වැදගත්. ලෝක සිතියමේ තිතක් වගේ තිබුණත් අපේ රට ආර්ථික හා යුදමය වශයෙන් ඉතා වැදගත් පිහිටීමක තිබෙනවා. අපේ වරාය ලෝකයේ 26 වෙනි තැනට පැමිණ තිබෙන්නේ මේ නිසයි. අපේ ආර්ථික උපාය මාර්ගයේදී මේ පිහිටීම ඉතාම වැදගත් කොට සැලකිය යුතුයි. එහෙත් පාලකයන්ට මේ පිළිබඳ වුවමනාවක් නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ වරායේ ජැටියක් පීඇන්ඩී ඕ සමාගමට විකුණුවා. මහින්ද පාලන සමයේ දකුණු කොළඹ ව්‍යාපෘතිය නමින් ජැටියක් චීනයට දුන්නා. දැන් රනිල් වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න යනවා. මේ පාලකයන්ගෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

රටේ ජනතාවගේ දුකට පිහිට වෙන, ජනතාව තමන්ගේ ගැටලුවලට විසඳුම් සොයා එන, හදවතේ පක්ෂය බවට අප පත්වී තිබෙනවා. එය අපගේ පළමු පියවරයි. අපි එතනින් ඔබ්බට බලය හුවමාරු කළ හැකි පක්ෂය බවට වර්ධනය විය යුතුව තිබෙනවා. එය අපගේ දෙවැනි සටනයි.

මට හමුවූ එක් ව්‍යාපාරිකයෙක් පසුගියදා කිව්වා, “හොරුන් මට්ටු කිරීම සඳහා ජවිපෙ පාර්ලිමේන්තුවට යා යුතුයි කියලා ඔහු එදා හිතුවා” කියලා. ඒත් ඔහු අද කියනවා “ජවිපෙට මේ රටේ බාරදිය යුතුයි කියලා”. එයා එහෙම කියන්නේ හොඳ විපක්ෂයක් ඕන වෙන්නේ හොඳ පාලනයක් තියෙනවා නම් විතරයි කියලා. මොකද පාලනය අයහපත් නම්, විපක්ෂයක් වැඩක් නැති නිසා. අද හොරාට හොරා කියලා කියනකොට හිනාවෙලා ඉන්නවා. ජනතා දේපළ හොරකම් කළ අය වීරයන් වගේ මාධ්‍යවල පෙනී සිටිනවා. ඒ නිසා හොරකම් කරනවා, නාස්ති කරනවා, දූෂිතයන් රකිනවා කියල ආණ්ඩුවට කියලා වැඩක් නැහැ. ඒගොල්ලො එහෙම තමයි. පවතින ආයතනවලින් දූෂිතයන්ට දඬුවම් ලැබෙන්නේ නැත්නම් ඒ ආයතන ඒවාට අසමත් නම්, ජනතාව ඒ කටයුත්ත බාරගත යුතු වෙනවා. දූෂිතයන් බලයෙන් පහකර ජනතාව ඒ කටයුත්ත කළ යුතුයි.

මැතිවරණයකට පෙර මෙම කටයුත්ත කළ හැකිනම් හොඳයි. ඒත් සාම්ප‍්‍රදායිකව බලය හුවමාරු වන්නේ ජාතික මැතිවරණයකදියි. එළඹෙන ජාතික මැතිවරණයේදී බලය හුවමාරු කිරීමට සමත්විය හැකි ප‍්‍රබල ජාතික මධ්‍යස්ථානය අප විසින් ගොඩනැගිය යුතුයි. අද මේ රටට ආදරය කරන මිනිසුන්ගෙන් මේ වේදිකාව පිරී තිබෙනවා. අපට එය කළ හැකියි. නීතිවේදීන්, විද්වතුන්, මාධ්‍යවේදීන්, කම්කරුවන්, ඇතුළු සියලු සමාජ බලවේග හා කොටස් ඒකරාශී කරගත් මධ්‍යස්ථානයක් ගොඩනැගිය යුතුයි. අශෝක පීරිස් මහතා වැනි සිවිල් සේවයේ ජ්‍යෙෂ්ඨයින් මේ වේදිකාවට ගොඩවන්නේ ඒ බලාපොරොත්තුව ඇතිවයි.

දිස්ත්‍රික් හා ආසන මට්ටමින් අප විද්වත් කමිටු ජාලයක් ද පිහිටුවනවා. දැනටමත් දිස්ත්‍රික්ක කීපයක එම කටයුතු අවසන්. එය අපේ බහුජන මධ්‍යස්ථානයේ ඉහළ වැඩ කොටසක් කරනවා. ඒත් අති විශාල ජනතාවක් සිටින බිම සංවිධානය කරන්නට දිරිය සමිති ජාලය අවශ්‍යයි. මේ සඳහා ශක්තිමත්ම පුරවාසි සමිති ජාලය අප විසින් ගොඩනැගිය යුතුයි. පසුගිය මාර්තු මාසයේ සිට මාස 9ක කාලය තුළ පුරවැසි සමිති 1000කට වැඩි ප‍්‍රමාණයක් අප විසින් ගොඩනඟා තිබෙනවා. ඉතිරි සියලු සමිති ඉක්මනින්ම සකස් කර අවසන් කරන බවට අප සපථ කර සිටිනවා. මේ සමිති බිම වෙළාගත් ශක්තිමත්ම ජාලය බවට පත්කරනවා.

මිලියන ගණනක් පුරවැසියන් සිටින්නේ හඬක් නොමැතිවයි. කම්කරුවන්ට වෘත්තීය සමිති තිබෙනවා. ගොවීන්ට ගොවි සමිති තිබෙනවා. නමුත් ගම්වැසියන්ට තමන්ගේ ගම තුළ ප‍්‍රශ්න විසඳා ගැනීමට කැපවන මධ්‍යස්ථානයක් නැහැ. අප ගොඩනඟන දිරිය පුරවැසි සමිතිය ඒ සඳහා කැපවන මධ්‍යස්ථානය බවට පත් කළ යුතුයි. එය හුදු බලය ලබාගැනීම පමණක් ඉලක්ක කරගත් සංවිධානයක් නොවෙයි; බලය ලබාගත් පසු බලය හසුරුවන මධ්‍යස්ථානය බවට ද එය පත්විය යුතුයි. දැන් දේශපාලන පක්ෂවලට ගමේ සමිති තිබෙන්නේ බලය ලබාගත් විට සභාපතිවරයාට ටෙන්ඩර් ලබාගැනීමටයි. මේක එහෙම තැනක් නොවෙයි. ජනතාවගේ ගැටලු විසඳා ගැනීම සඳහා වන, ගම ගොඩනඟන මධ්‍යස්ථානය බවට පත් කළ යුතුයි. ගමට අධිෂ්ඨානය, සංස්කෘතිය, එකමුතුකම, සාමූහිකත්වය රැගෙන යන සමිතිය බවට පත්විය යුතුයි.”

උපුටා ගැනීම ලංකා ට්රුත් අඩවියෙනි.

Back to Top